කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට (විඩියෝ)

• නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනපති අවධාරණය කරයි

• සියල්ලන් හඬවමින් ඇමෙරිකාවේදී කොරෝනා බිලිගත් ශ්‍රී ලාංකිකයාගේ මව කියූ සංවේදී කතාව (විඩියෝ)

• කොරෝනා විෂබීජ මඩින්න I-CERT කණ්ඩායමෙන් නව යන්ත්‍රයක් (විඩියෝ)

• COVID-19 නිසා යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය කැපී පෙනන ලෙස පහළට

• දකුණු ආසියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට පැමිණ අවසන්

• ජාතික වෙසක් සතිය 4 වනදා සිට 8 වනදා දක්වා

• වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

• නාවලපිටිය-මහනුවර මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටී (විඩියෝ)

• කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු හා හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මකයි

• රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්

• පෘථිවි වායුගෝලයේ – සිදුර වැසුණු ඕසෝන් වියන (විඩියෝ)

• PCR පරීක්ෂණ සිදු කිරීමට පුද්ගලික රෝහල් හි රසායනාගාරයන් සූදානම් – රජයේ සෞඛ්‍ය අංශ මගින් එවනු ලබන සාම්පලයන්ගේ පර්යේෂණ කටයුතු පමණක් සිදු කෙරේ

• පොලිසිය තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි – නිලධාරීන්ට ශරීරයේ පැළඳිය හැකි අධිතාක්ෂණික කැමරා මොබිටෙල් වෙතින්

• ගමම පුදුම කරමින් මහියංගනය නිවසකට වැටුණු මාළු වැස්ස (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

(01.05.2020 – 13:02 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ (30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ‍ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17 ක්.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.

තවත් පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගියා.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

(30.04.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාර කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (30) ඉල්ලීමක් කළා.

+++++++++++++++++++++

අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනපති අවධාරණය කරයි

(30.04.2020 – president.gov.lk)

• ප්‍රතිශක්තීකරණවර්ධනයට දේශීය ඖෂධ දායකර ගැනීම පිළිබඳ අධ්‍යයනයක් …

• පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර …

• ආයතන පවත්වාගෙන යාමට ලබාදි ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේදැයි අවධානය …

• නිවෙස්වල සිටින ළමුන්ගේ මානසික සුවතාව රකින්න…

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80% ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක්ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

.
ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3% ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වෙ‍ළෙඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය දවිමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

සියල්ලන් හඬවමින් ඇමෙරිකාවේදී කොරෝනා බිලිගත් ශ්‍රී ලාංකිකයාගේ මව කියූ සංවේදී කතාව

(30.04.2020 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකාවේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් පසුගියදා මියගිය ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් ජයකොඩි නම් 54 හැවිරිදි දෙදරු පියෙක්.

සිය පුතුගේ වියෝව පිළිබඳව ඔහුගේ උපන්ගම වන අකුරැස්ස ප්‍රදේශයේ දිවිගෙවන උපුල් ජයකොඩිගේ මව දැක්වූයේ මෙවන් අදහසක්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා විෂබීජ මඩින්න I-CERT කණ්ඩායමෙන් නව යන්ත්‍රයක්

(30.04.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මානුෂීය මුදා ගැනීමේ කන්ඩායමක් ලෙස වූ ප්‍රසිද්ධියට පත්ව සිටින I CERT කණ්ඩායම විසින් විෂබීජහරණ රසායනික ද්‍රව්‍ය ඉසින ජංගම යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.

විශාල කණ්ඩායමක් මගින් සිදු කරන රසායන ඉසීමේ ක්‍රියාවලිය එක් පුද්ගලයෙක් යොදාගෙන සිදුකිරීමට හැකිවීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ.

වැඩි ජනගහනයක් වෙසෙන කුඩා ප්‍රදේශ සහ එම ප්‍රදේශ වල විශාල යන්ත්‍රවලට ගමන්කළ නොහැකි ස්ථානවල පවා මෙම යන්ත්‍රය මගින් විශබීජහරණය කිරීමට හැකියාව සහිත වීම තවත් විශේෂත්වයක්.

මෙම යන්ත්‍රය අද (30) පස්වරුවේ යුද හමුදාව වෙත ප්‍රදානය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

I-CERT නිර්මාතෲ සහ කණ්ඩායම් නායක සෑම් චන්ද්‍රසෝම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නිර්මාණය සිදුකර ඇති අතර එම නිර්මාණයට එක්වූ ඉංජිනේරු කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වන්නේ යොහාන් උත්පල, ජනිත් දිමන්ත, හසිත රංගජිත්.

මෙම නිර්මාණය සඳහා අනුග්‍රාහක දායකත්වය I-CERT හි සුරංග සමරසිංහ, වෛද්‍ය හර්ශන, අර්ථ සල්ගාදු, දීපාල් පීරිස්, අනුශ්ක රණසිංහ, දිමුතු කරුණාරත්න, කසුන් පෙරේරා, Auto Miraj සහ Würth ආයතන.

මේ අතර මෙම යන්ත්‍රය නිපදවීම සඳහා I CERT කණ්ඩායම සමඟ සිය ඉංජිනේරු දැනුම බෙදාගත් ජනිත් දිමන්ත පිළිබඳව අප මීට කලකට ඉහතදී අනාවරණය කළේ මෙලෙසින් :

https://www.youtube.com/watch?v=hhn-oc7bmns
28.09.2018

+++++++++++++++++++++++++++++++++++

COVID-19 නිසා යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය කැපී පෙනන ලෙස පහළට

(01.05.2020 – 12:21 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනන අයුරින් පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ කාලයේදී මෙසේ යුරෝපානු ආර්ථිකය කඩාවැටී ඇති අතර, එහි වැඩිම බලපෑමට ප්‍රංශය සහ ස්පාඤ්ඤය මුහුණදී ඇති බවද ඒ වාර්තාවේ සදහන්.

මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩිම යුරෝපා රාජ්‍යය වන ස්පාඤ්ඤයේ සමස්ත මරණ ගණන 24,543 ක් ලෙසින් සටහන් වන්නේ, ඊයේ (30) වාර්තා වූ නව මරණ 268ත් සමගයි.

ඉතාලියෙන් ගතවූ පැය 24 දී මරණ 285 ක් වාර්තා වී ඇත්තේ, එරට සමස්ත මරණ ගණන 27,967 දක්වා ඉහළ දමමින්.

මේ අතර ගතවූ දිනය තුළ ඉතාලියේ රෝගීන් 4,693 ක් සුවපත්වී ඇති අතර එය සැලකෙන්නේ වාර්තාගත අගයක් ලෙසයි.

එමෙන්ම ගතවූ දිනයේ සිදුවූ නව මරණ 289 සමගින්, ප්‍රංශයේ මරණ ගණනද 24,410 ක් ලෙසින් වාර්තා වී තිබේ.

ඒ අනුව විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ, යුරෝපානු කලාපීය වෛරස ව්‍යාප්ති අවදානම ක්‍රම ක්‍රමයෙන් පහවයමින් පවතින බැවින් ඒ රටවල කටයුතු යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.

මේ අතර ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමුව ඇති අමෙරිකාවෙන් ඊයේ (30) දිනයේදීත්, නව ආසාදිතයින් 30,825 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම එහි දෛනික මරණ ගණන දැක්වුණේ 2,201 ක් ලෙසයි.

මේ අතර නවතම වාර්තා පෙන්වාදෙන්නේ කොවිඩ් ව්‍යාප්තියත් සමගින් අමෙරිකාවේ මිලියන 30 ක ජනතාවක් රැකියා විරහිතභාවයට පත්ව ඇති බවයි.

එමෙන්ම රැකියා නොමැති බව පවසමින්, රජයේ ආධාර සදහා ඉල්ලුම්කර ඇති පිරිසද ලක්ෂ 38 ක් ලෙසින් දැක් වේ.

ටෙනිසි ප්‍රාන්තයේ වාර්තා උපුටාදක්මින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ එහි සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන්ම එක් අයෙකු විරැකියාවෙන් පෙලෙන බවයි.

මේ අතර, දැනට කරගෙන යන පර්යේෂණ සාර්ථක වුවහොත් ලබන ජනවාරි මාසය වනවිට සාර්ථක කොවිඩ් පාලන එන්නතක් සූදානම්කරගැනීමට හැකිවනු ඇති බව අමෙරිකාවේ ප්‍රවීණ වසංගත විද්‍යා ප්‍රධානියෙකු වන ආචාර්ය ඇන්තනී ෆෝචි පවසයි.

කොවිඩ් වෛරසය වූහාන් හි පර්යේෂණාගාරයක නිපදවූ බවට හෝ එය ආසාදිත සතුන් ස්පර්ශයෙන් ව්‍යාප්ත වූ බවට සොයාගැනීමට තමන් මෙතෙක් සමත් නොවූ බවට අමෙරිකානු බුද්ධි අංශ කාර්යාලය පසුගියදා අනාවරණය කළේය.

කෙසේ නමුත් ඊට පටහැනි ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් පවසන්නේ, කොවිඩ් නයින්ටීන් වෛරසය චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ නිර්මාණ කෙරුණු බවට තමන් සතුව විශ්වසනීය සාක්ෂි පවතින බව යි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ගෝලීය බලවතුන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව, ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසයි.

ජාතයන්තර ප්‍රජාව අතර පවතින අසමගිය ද ඊට දැඩිව බලපා ඇති බව ඔහුගේ මතයයි ෴

+++++++++++++++++++++++++++++++++++

දකුණු ආසියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට පැමිණ අවසන්

(01.05.2020 – 11:50 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට ඊයේ (30) සවස මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ දී සියරට පැමිණවීමේ මෙහෙයුම සාර්ථකව නිම විය.

2020 අපේ‍්‍රල් 21 වැනි දින සිට ආරම්භ කොට, ඉන්දියාවේ (පන්ජාබ්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා), පාකිස්තානයේ (කරච්චි සහ ලාහෝර්), නේපාලයේ (කත්මණ්ඩු) සහ බංග්ලාදේශයේ (ඩකා) පිහිටි ගමනාන්තවල සිට COVID 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් නැවත සියරට පැමිණවීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් විශේෂ ගුවන් ගමන් වාර නවයක් (9) භාවිතා කරන ලදී.

මෙසේ සියරට පැමිණවූවන් අතරට, අදාළ රටවල අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරි භාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වෙයි. මෙසේ ආපසු පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක්ව සිටිති.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන වඩාත් අවදානමට ලක්විය හැකි එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිර්දේශයෙන් අනතුරුව, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු නැවත මෙරටට ගෙන්වා ගන්නා පළමු කාණ්ඩය දකුණු ආසියාවේ සිටින සිසු සිසුවියන් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 14 වැනි දින උපදෙස් දුන්නේය.

ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිවන සංකීර්ණතා තුළින් පැන නගින ගැටලු රාශියක් මධ්‍යයේ, දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, ජනාධිපති ලේකම් කාර්යාලය, COVID 19 කාර්ය සාධක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින්, අදාළ විදේශ රජයන්ගේ ශක්තිමත් සහාය ද ඇතිව කලාපය තුළ බොහෝ නගරවල ස්ථානගතව සිටි සිසුන් ආරක්ෂිතව නැවත පැමිණීම මෙම අමාත්‍යාංශය මඟින් සහතික කරන ලදී.

එහි පළමු පියවර ලෙස දකුණු ආසියාවේ එනම්, ඩකා, කත්මණ්ඩු, නවදිල්ලිය, ඉස්ලාමාබාද්, චෙන්නායි, මුම්බායි සහ කරච්චි යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කොන්සල් ජනරාල් කාර්යාල විසින් තම අදාළ බල ප්‍රදේශවල සිටින සිසු සිසුවියන් පිළිබඳ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලද අතර, එමඟින් නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සිසු සිසුවියන් සහ අධ්‍යයන ආයතනවල ජාලය ගොඩනඟන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශය, එහි අධ්‍යක්ෂ ජනරාල් අරුණි රණරාජා මහත්මියගේ නායකත්වයෙන් යුතුව එම දූත මණ්ඩල සමඟ මෙම ක්‍රියාවලිය සමඟ සම්බන්ධීකරණය කළේය. නැවත සියරට පැමිණවීමේ සහ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලීන් දෙකම විධිමත් කිරීමේ අරමුණින් යුතුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සෑම ගමනාන්තයක් සඳහාම සිසුන් වර්ගීකරණය හා කණ්ඩායම් කිරීම ඇතුළුව සවිස්තර සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය පුරාම මෙම වෙන් කළ කණ්ඩායම් පොකුරු වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නිරෝධායන ක්‍රියාවලිය අවසන් වන තෙක්ම එය ක්‍රියාත්මක වේ.

වැඩබලන මහ කොමසාරිස් යූ.එල්. නියාස් මහතාගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ජී.එල්. ඥානදේව මහතාගේ නායකත්වයෙන් යුත් කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව සම්බන්ධීකරණය කොට 2020 අප්‍රේල් 21 වැනි දින මෙරටට පළමු ශිෂ්‍ය කණ්ඩායම පාකිස්තානයේ සිට ගෙන්වා ගත් අතර එහිදී පාකිස්ථානය පුරා අධ්‍යාපන හා පුහුණු ආයතන 12 ක සිටි පුද්ගලයන් 106 දෙනෙකු මෙරටට ගෙන්වා ගන්නා ලද අතර, ඉන් සමහරෙක් ගුවන් තොටුපළෙන් කි.මී. 1,500 ක් පමණ දුරින් සිටි අය වූහ.

වැඩබලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතාගේ නායකත්වයෙන් යුත් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද ඉන්දියාවේ සිට නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලියට අම්රිට්සාර්, නවදිල්ලිය සහ කොල්කටා සිට ගුවන් ගමන් වාර තුනක් (03) අයත් වූ අතර, හිමාචල් ප්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි (NCR), ඔඩීෂා, බටහිර බෙංගාලය, ඇසෑම් සහ චතිස්ගාර් ප්‍රදේශවලින් සිසු සිසුවියන් 369 දෙනෙකු මෙහි ගෙන්වා ගන්නා ලදී.

බටහිර ඉන්දීය කලාපයේ සිට නැවත සියරට පැමිණවීම කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, එමඟින් මහාරාෂ්ට්‍ර, ගුජරාට්, ගෝව, මධ්‍ය ප්‍රදේශ් සහ කර්ණාටක යන ප්‍රාන්ත 05 ක නගර 15 ක පිහිටි අධ්‍යයන හා පුහුණු ආයතනවලින් පුද්ගලයින් 164 දෙනෙකු ගෙන්වා ගන්නා ලදී.

නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතාගේ නායකත්වයෙන් යුත් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2020 අපේ‍්‍රල් 26 වැනි දින කොයිම්බතූර් සිට සහ 2020 අප්‍රේල් 28 වැනි දින බැංගලෝරයෙන් පිටත් වූ කණ්ඩායම් දෙකකින් පිළිවෙලින් සිසු සිසුවියන් 113 දෙනෙකු සහ 164 දෙනෙකු නැවත සියරට ගෙන්වා ගන්නා ලදි.

මෙම සිසු සිසුවියෝ තමිල්නාඩු, කේරළ, කර්නාටක, අන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා හි ආයතනවල සිටි අය වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සාමාන්‍ය ගුවන් ගමන් නොපවත්වන ගමනාන්තයක් වන කත්මණ්ඩු නුවර සිට 2020 අපේ‍්‍රල් 24 වැනි දින සිසුන් 76 දෙනෙකු නැවත මෙරටට ගෙන්වාගෙන තිබේ.

තානාපතිනි හිමාලී අරුණතිලක මහත්මියගේ නායකත්වයෙන් යුත් කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර එහිදී කත්මණ්ඩු නුවර සහ කි.මී. 200 ක් පමණ දුරින් පිහිටි පොඛාරා හි සිසුන් ද ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

ඩකා, චිතගොං, කොමිලා, සවර් සහ සිල්හෙට් යන නගර වලින් බංග්ලාදේශයේ විවිධ ස්ථානවලින් සිසුන් හැත්තෑ තුන් (73) දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම 2020 අප්‍රේල් 28 වැනි දින ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් සිදු කරන ලදී.

වැඩබලන මහ කොමසාරිස් සමීර දයාසේකර මහතාගේ නායකත්වයෙන් යුත් ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම නැවත සියරට පැමිණවීමේ කාර්යයෙහි පෙරමුණ ගත් අතර, ඊට බංග්ලාදේශයේ රාජ්‍ය සමාජ සංවිධාන ගණනාවක සහාය ලැබිණ.

මෙම නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානය යන රටවල රජයන්, ප්‍රාන්ත රජයන් හා පළාත් පාලන ආයතන, ආගමන හා විගමන දෙපාර්තමේන්තු, සිවිල් ගුවන් සේවා බලධාරීන්, අධ්‍යයන ආයතන, මෙම රටවල අදාළ ත්‍රිවිධ හමුදාවන් සහ විශේෂයෙන් කොල්කටාහි මහාබෝධි සමිතිය ඇතුළු ශ්‍රී ලාංකික සංවිධාන විසින් ලබා දෙන ලද නොමසුරු සහයෝගිතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය සහ දකුණු ආසියානු කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සිය කෘතඥතාව පළ කරයි ෴

***************************************

ජාතික වෙසක් සතිය 4 වනදා සිට 8 වනදා දක්වා

(01.05.2020 – 11:03 +0530 – sinhala.adaderana.lk)

ජාතික වෙසක් සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේය.

මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සදහා එක්කර ගැනිමට නියමිත බව අද දෙරණ සමඟ අදහස් දක්වමින් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය.

මේ අතර මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර හතරක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය ෴

+++++++++++++++++++++

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

(01.05.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ හැකිතාක් දුරට නිවස මුලික කර ගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, විහාරස්ථාන තුළ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසයි එම උපදෙස් මාලාවේ අඩංගු වන්නේ.

වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස ද අදාළ නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++

• Click on Image.
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the Image.

***************************************

නාවලපිටිය-මහනුවර මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටී

(01.05.2020 – 09:14 +0530 – sinhala.adaderana.lk)

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව හල්හින්න ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට අද (01) අලුයම 4 ට පමණ විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිට ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.

මාර්ගයට ගස කඩා වැටිමෙන් මාර්ගය අභිසය තිබු විදුලි රැහන් පද්ධතියට සහ දුරකථන රැහන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වි ඇත.

ගස කඩා වැටිම හේතුවෙන් මාර්ගය හරහා ගමන් ගන්නා අත්‍යාවශ්‍ය සේවා රථ අපහසුතාවයට පත් වී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

මාර්ගය ගමනා ගමනය සඳහා යථා තත්තවයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නාවලපිටිය පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටියි.

***************************************

කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු හා හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මකයි

(01.05.2020 – 08:09 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කරන තෙක් කොළඹ ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කළේ, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු (100) පමණක් බවයි.

මේ හේතුවෙන් සාමාන්‍ය පරිදි සායන හා බාහිර රෝගී සේවා පවත්වාගෙන යාම අපහසු වන අතර හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

එමෙන්ම අක්ෂි සායනවලට සහ ඖෂධ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

011 269 3911 යන දුරකථන අංකය මඟින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

එමෙන්ම 011 361 8678 යන දුරකථන අංකය ඇමතීමෙන් අක්ෂි රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්

(01.05.2020 – 07:20 +0530 – sinhala.adaderana.lk)

රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුව ද රටේ ශමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අදට (01) යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කර ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ අසීමිත කැපකිරීම් සිදුකරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාර පුදකිරීමට මෙවර ලෝක කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බව ද ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ සිදුවූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම වසරේ මැයි දින සැමරුමට සීමා පැනවුණු අතර මෙවර ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් කටයුතු අවලංගු කිරීමට සිදුව තිබේ.

කෙසේවෙතත් සාධාරණ සාමාජයක් නිර්මාණය කිරීමට කම්කරු ප්‍රජාව තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

පෘථිවි වායුගෝලයේ – සිදුර වැසුණු ඕසෝන් වියන

(30.04.2020 – 22:24 +0530 – sinhala.adaderana.lk)

පෘථිවි වායුගෝලයේ ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර මේ වන විට සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් අනාවරණ කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂිත පියවර සමඟ ඇති වූ පාරිසරික තත්ත්වය මීට හේතු වූ බවට ප්‍රචාර පැතිරගියත් එය තවමත් සනාථ කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඕසෝන් ස්ථරය යනු සමස්ත පෘථිවියම සූර්යාගේ පාරජම්බුල කිරණින් ආරක්ෂා කර දෙන වායු ස්ථරයක්.

පෘථිවි තලයේ සිට කිලෝමිටර් 23 ත් 30 ත් දක්වා උසකට එය පැතිර පවතියි.

ඕසෝන් ස්ථරය නොමැතිනම් සූර්යාගේ පාරජම්බුල කිරණ සෘජුවම පෘථිවිය වෙත එල්ලවීමෙන් සමේ පිළිකා ඇතිවීම, සම පිළිස්සීම, ඇසේ සුද ඇතිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හානි සිදුවීම සහ ජාන විකෘති වීම් වැනි බරපතළ සංකූලතා ඇති විය හැකියි.

ගෝලීය උණුසුම ඉහළයාම, දේශගුණික විපර්යාස ද ඒ අතර වේ.

කාර්මිකරණය හා සම්බන්ධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කාලයක් තිස්සේ ඔසෝන් ස්ථරයේ සමතුලිතතාවට දැඩි හානි සිදුවෙමින් පැවතුණි.

ඒ ක්ලෝරො ෆ්ලෝරො කාබන් හෙවත් CFC, මෙතිල් බ්‍රෝමයිඩ්, වැනි අහිතකර වායු අණු හේතුවෙන්.

1987 මොන්ට්‍රියල් සම්මුතිය නිර්මාණය වන්නේද ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමටයි.

කෙසේ වෙතත් ඕසෝන් වියනට හානිකරමින් උත්තරධ්‍රැවය ආශ්‍රිතව මෙතෙක් නිර්මාණය වූ විශාලතම සිදුර විද්‍යාඥයන් විසින් පසුගියදා සොයාගනු ලැබුවේය.

එහි විශාලත්වය සඳහන් වූයේ වර්ග සැතපුම් 620,000 ක් ලෙසයි.

මිනිස් ක්‍රියාකාරකම් හරහා වායුගෝලයට නිදහස් වන අහිතකර වායු සංඝටක, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන ධ්‍රැව ආශ්‍රිත වා සුළි ධාරා නිර්මාණය වීමේ සංසිද්ධිය හරහා උත්තරධ්‍රැවයට සංක්‍රමණය වීම මෙම සිදුර නිර්මාණයට හේතුවක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඔවුන් සිදුකළ නවතම අනාවරණය නම් ඕසෝන් වියන මත නිර්මාණය වී තිබූ මෙම සිදුර මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

එය පෘථිවිය මත වෙසෙන සියලු ජීවීන්ට සුබදායී පුවතක් ලෙස ද අන්තර්ජාතික මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

සමස්ත පෘථිවියේ පැවැත්ම තීරණය කරන ඕසෝන් වියනේ ආරක්ෂාව මිහිතලය මත ජීවී වර්ගයාගේ පැවැත්ම තීරණය කරන බැවින් එය රැකගැනීමට මිනිසා සතු වගකීම කිසි ලෙසකින් හෝ පැහැර හැරිය නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

+++++++++++++++++++++++++++++++++++

PCR පරීක්ෂණ සිදු කිරීමට පුද්ගලික රෝහල් හි රසායනාගාරයන් සූදානම් – රජයේ සෞඛ්‍ය අංශ මගින් එවනු ලබන සාම්පලයන්ගේ පර්යේෂණ කටයුතු පමණක් සිදු කෙරේ

(30.04.2020 – biz.adaderana.lk)

පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ ඉල්ලීම පරිදි තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බව පවසා සිටී. PCR පරීක්ෂණය පැවැත්වීම සඳහා අණුක රෝග නිර්ණය පහසුකම් ඇති ලංකා රෝහල, ආසිරි සර්ජිකල් රෝහල්, නවලෝක සහ ඩර්ඩන්ස් යන පුද්ගලික රෝහල් හි රසායනාගාර තුල රජයේ ඉල්ලීම පරිදි මෙම පොලිමරේස් චේන් රියැක්ෂන් පරීක්ෂණය (PCR)කෝවිඩ් 19 වෛරසය පැතිර යෑම සහ පාලනය කිරීමට රජයේ සෞඛ්‍ය අංශයන්ට සහාය වීමක් ලෙස සිදු කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්, යුධ හමුදාපති සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෛනිකව සිදුකරන PCR පරීක්ෂණය ප්‍රමාණය වැඩි කිරීම සඳහා පුද්ගලික රෝහල් සංගමයේ දායකත්වය ඉල්ලා සිටි අතර මීට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පුද්ගලික රෝහල් සංගමය මේ අවස්ථාවේදී මේ වසංගතය මැඩලීම සඳහා රජයට උපරිම සහාය ලබා දෙන බවට සහතික විය. මෙම එකඟතාව අනුව රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ මෙහෙයුම තුළ රජය මගින් පිහිටුවා ඇති කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ගෙන්, නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් සහ අනෙකුත් රජයේ අනුමත ආකාරයෙන් ලබා ගන්නා කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන්ගේ ශ්ලේශ්මල සාම්පල ඉහතින් සඳහන් කළ පුද්ගලික රෝහල් රසායනාගාරයන් වෙත යැවෙනු ඇත. මෙම ඒකාබද්ධ මෙහෙයුම යටතේ දෛනිකව පුද්ගලික රෝහල් 4 ක රසායනාගාරයන්හි රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සියලු නියාමනයන්ට යටත්ව PCR පරීක්ෂණ 100 ක් පැවැත්වීමට නියමිතය.

ඉහතින් සඳහන් කළ සියලු පුද්ලික රෝහල් හි රසායනාගාරයන් වල පැවැත්වීමට නියමිත සියලු PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් එවනු ලබන සම්පලයන් සඳහා පමණක් සිදු කරන බව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය යළිත් අවධාරණය කරන අතර දැනට පුද්ගලික රෝහල්වල වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා ද අවශ්‍යතාව පරිදි PCR පරීක්ෂණ පැවැත්වීමට පුද්ගලික රෝහල් පියවර ගෙන ඇත.

මේ පිලිබඳව අදහස් දක්වන එම සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසුවේ මෙම ව්‍යවසනකාරී තත්වයට මුහුණ දෙමින් කෝවිඩ් 19 වෛරසය මැඩලීමට හා පැතිරයෑම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් 19 වෛරසය වැලැක්වීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට උපරිම සහාය ලබා දීමට තම සංගමයේ සාමාජික පුද්ගලික රෝහල් මනා සූදානමකින් සිටින බවයි.

“විවිධ අභියෝග මැද රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පීඩනය අවම කිරීම සඳහා පුද්ගලික රෝහල් තමන්ට පැවරී ඇති ජාතික මෙහෙවර මනාව අවබෝධ කර ගනිමින් ක්‍රියාකරමින් සිටීම සැබවින්ම සතුටට කරුණක්. එමෙන්ම මේ අසීරු මොහොතේ රජය වෙනුවෙන් පවත්වාගෙන යායුතු අනෙකුත් සෞඛ්‍ය සේවා නොපිරිහෙලා ඉටු කරමින් විශේෂයෙන් සැත්කම්, හදිසි ප්‍රතිකාර ආදී සේවා පවත්වාගෙන යෑමටත් පුද්ගලික රෝහල් වලට හැකි වීම තුළ කෝවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් වදින රජයේ සෞඛ්‍ය අංශයන්ට විශාල අස්වැසිල්ලක් සපයන බවට කිසිදු සැකයක් නැහැ.

රජයේ සෞඛ්‍ය අංශයන් , වසංගත රෝග නිවාරණ ඒකකය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු සියලු මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් පුද්ගලික රෝහල් දවසේ පැය 24පුරාම සතියේ සෑම දිනකම රෝගීන් අපේක්ෂා කරන සෞඛ්‍ය සේවාව ලබා දීමට සහතිකවී සිටිනවා. එමෙන්ම රජයේ සෞඛ්‍ය අංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්ණායකයන් පිළිබඳව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සෑම සාමාජිකයකුම දැනුවත් කරන අතර එම නිර්ණායකයන් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස සාමාජිකයින් දැනුවත් කිරීම සිදු කරයි.

අපගේ හදිසි ප්‍රතිකාර සේවාවන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සායනික පහසුකම් වෙනදා මෙන්ම සිය විශිෂ්ට සේවාවන් එලෙසම පවත්වාගෙන යන අතර රජයේ සෞඛ්‍ය අංශයන්ට සිය කෝවිඩ් 19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ගයන්ට දැඩි අවධානය යොමු කිරීමට අපගේ ක්‍රියාමාර්ග මහෝපකාරී වනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

පොලිසිය තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි – නිලධාරීන්ට ශරීරයේ පැළඳිය හැකි අධිතාක්ෂණික කැමරා මොබිටෙල් වෙතින්

(30.04.2020 – biz.adaderana.lk)

• මොබිටෙල් වෙතින් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශිෂ්ට සහයෝගයක්
• කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ සටනට උරදී සිටින ති‍්‍රවිධ හමුදා සහ සෞඛ්‍ය අංශ සාමාජිකයින් වෙත ඉහළ තාක්ෂණික හැකියාවන් ලබා දෙමින් සවිබල ගැන්වීමේ සැලසුමක්

කොවිඩ්-19 වෛරස් වසංගතය පැතිර යෑම වැළැක්වීමේ ජාතික මෙහෙවරට තවත් අමතර ශක්තියක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම, ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට ශරීරයේ පැළඳ යා හැකි අධි තාක්ෂණික කැමරා පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදී. පොලිස් පාර්ක් මූලස්ථාන පරිශ‍්‍රයේ පැවැති මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ශී‍්‍ර ලංකා පොලිසියේ සහ මොබිටෙල් සමාගමේ නිලධාරීහු සහභාගීවී සිටියහ.

කොවිඞ්-19 වසංගතය පැතිර යාම වළක්වාලමින් රටේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මුරපොලවල විශාල කැපවීමකින් සේවය කරන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම වෙනුවෙන් මොබිටෙල් සමාගම පොලිස් දෙපාර්තමේන්තුවට වටිනා මුල්‍යමය දායකත්වයක්ද ලබා දී තිබේ. දවසේ පැය විසිහතර පුරාම සේවයට කැපවී සිටින, මෙන්ම මෙවැනි අවස්ථාවකදී විශාල අවධානමක්ද දරාගෙන සිටින පොලිස් නිලධාරීන් තවදුරටත් අගය කරමින් ඔවුන්ට ශක්තියක් විය යුතු බව මොබිටෙල් සමාගම දැඩිව විශ්වාස කරයි. දැඩි අර්බුදකාරී මෙන්ම අභියෝගාත්මක කාලසීමාවකදී ත‍්‍රිවිධ හමුදාවන් සහ සෞඛ්‍ය අංශය සමග ඒකාබද්ධ වෙමින් මොබිටෙල් සමාගම සිදුකරන මෙහෙවර සැබැවින්ම ප‍්‍රශංසනීය වේ. සන්නිවේදනයෙහි ඩිජිටල් නව්‍යකරණයන් නිරන්තරවම රටට හඳුන්වාදීමේ ප‍්‍රමුඛයා වන මොබිටෙල් සමාගම සිය ඩිජිටල් සෞඛ්‍යාරක්ෂණ විසඳුම් සහ ඩිජිටල් සන්නිවේදන විසඳුම් හරහා ශ‍්‍රී ලාංකිකයින්ට සිය උපරිම සහයෝගය ලබා දෙමින් සිටී ෴

***************************************

ගමම පුදුම කරමින් මහියංගනය නිවසකට වැටුණු මාළු වැස්ස

(01.05.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය ප්‍රදේශයට මත්ස්‍ය වර්ෂාවක් පතිතවූ බවට පුවතක් වර්තාවනවා.

මෙලෙස මත්ස්‍ය වර්ෂාව පතිත වී ඇති බවට වාර්තාවන්නේ මහියංගනය පැරකුම් පෙදෙසේ නිවසකටයි.

වර්ෂාවක් හෝ නොමැති මෙවැනි කාලසීමාවක මෙලෙස මත්ස්‍ය වර්ෂාවක් පතිතවීම ඇදහිය නොහැකි බවටයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එහිදී කුඩා මත්ස්‍ය පැටවුන් බිම වැටී සිටි අයුරු අප කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *