අධික සුළං සහ වර්ෂාව නිසා පළාත් හතරක පාසල් අද (30.11.2017) වසයි

(30.11.2017 – 01:05 +0530 – lankadeepa.lk)

අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාත්වල සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි.

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල පාසල් වාර විභාගය කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි ෴

+++++++++++++++++++++++++++++++++

කටුනායකට එන ගුවන් යානා දෙකක් මත්තලට
(29.11.2017 – 23:56 +0530 – lankadeepa.lk)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොල වෙත යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

බැංගලෝර් සිට පැමිණි 127 ගුවන් යානය සහ චෙන්නායි සිට පැමිණි 124 ගුවන් යානය එලෙස මත්තල ගුවන්තොටුපොළට යොමු කළ බව එම ආරංචි පවසයි.

ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ මත්තලට ගොඩබෑ ගුවන්යානා දෙක යළි කටුනායක බලා පැමිණෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
(29.11.2017 – 23:29 +0530 – lankadeepa.lk)

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 ක කාලයේදී ලද වර්ෂාපතනය මිලිමීටර 100 ඉක්මවා ඇතැයි ද විමසිල්ලෙන් සිටින්නැයි ද දෙවැනි අදියරේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියි.

හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද රාත්‍රී 10ට නිකුත් කළ එම නිවේදනය හෙට (30) රාත්‍රී 10 දක්වා වලංගු වේ ෴

+++++++++++++++++++++++++++++++++

මහ සුළඟින් දකුණ සහ කොළඹ කැළඹෙයි
(29.11.2017 – 21:23 +0530 – lankadeepa.lk)

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.

තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.

කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි ෴

+++++++++++++++++++++++++++++++

දිවයිනේ කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදනයක්
(29.11.2017 – nethnews.lk)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍ය‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “රතු නිවේදනයක්” නිකුත් කර ඇතැයි පැවසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි මෙන්ම විටින් විට හමන තද සුළං පැයකට කි.මී. 70 – 80 ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින ආශ්‍රිතව පැවති අවපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එ් නිවේදනයේ සඳහන්.

මේ හෙතුවෙන් ධීවර ජනතාවට මෙන්ම නාවිකයන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *