ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

• හෙට (04) ඇඳිරි නීතිය ලිහිල්වෙන හැටි (විඩියෝ)

• තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් – සමස්ත ආසාදිතයින් 718 ක් (විඩියෝ)

• රුපියල් පන්දහසේ (5000) දීමනාව සහ මැයි මස විශ්‍රාම වැටුප හෙට (04) සිට (විඩියෝ)

• විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ගෙවීම හෙට (05) සහ අනිද්දා (06)

• ‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරය අවට සිදුවන ඉඩම් කොල්ලය ගැන අගමැතිගේ අවධානය (විඩියෝ)

• මහා මැතිවරණය පැවැත්වීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල කියයි (විඩියෝ)

• හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘතයි – සුවය ලැබූ තවත් 10 ක් නිවෙස් වෙත (විඩියෝ)

• මිය ගිය මහර බන්ධනාගාර රැදවියාටත් කොරෝනා පරීක්ෂාවක් (විඩියෝ)

• කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩා කප්පල් කිරීමට විපක්ෂය උත්සාහයක – අගමැති මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• සහරාන් ගෙන්වා අවි පුහුණුව දීමට සැලැස්වූ කල්පිටිය NGO භාරකරු අත්අඩංගුවට (විඩියෝ)

• පාලන මිළ ඉවත් කිරීමෙන් පසු එළියට එන පරිප්පු සහ සැමන්

• නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා 244 ක වැඩ අරඹයි

• තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි

• ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි (විඩියෝ)

• මෙවර නාම යෝජනා අනුව ජවිපෙ පස්වෙනි බලවේගයයි.. පැරණි පාර්ලිමේන්තුව කැදවන්න මේ තරම් දත කන්නේ ඒ නිසා..

+++++++++++++++++++++++++++++++++++

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

(03.05.2020 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව රජය දැනුම් දී තිබෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ නොවන බවයි රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

+++++++++++++++++++++

හෙට (04) ඇඳිරි නීතිය ලිහිල්වෙන හැටි

(03.05.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (04), අනිද්දා (05) සහ මේ මස 06 වන දා අලුයම 05:00 ට ඉවත් කර රාත්‍රී 08:00 ට යළි පැනවීමට නියමිතයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මැයි මස 06 වන දා රාත්‍රී 08:00 ට පැනවෙන ඇඳිරි නීතිය මුළු දිවයිනටම මැයි මස 11 වන දා අලුයම 05:00 දක්වා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 05 දෙනෙකු මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයකින් පැමිණි මොවුන් මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට එහිදී අනාවරණ වුණා.

මොවුන් ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර, ශ්‍රී පාදස්ථානයට හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් හෝ සංචාරකයින්ට ගමන් කිරීමට පොලීසිය ඉඩ ලබාදෙන්නේ නැහැ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් – සමස්ත ආසාදිතයින් 718 ක්

(03.05.2020 – 23:20 +0530 – sinhala.adaderana.lk)

අද (03) රාත්‍රී 11:15 වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (03) දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ‍ආසාදිතයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රුපියල් පන්දහසේ (5000) දීමනාව සහ මැයි මස විශ්‍රාම වැටුප හෙට (04) සිට

(03.05.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මැයි මස දීමනාව ගෙවීම හෙට (04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කිරීමට නියමිතයි.

වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමිවනු ඇති.

මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට (04) ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ගෙවීම හෙට (05) සහ අනිද්දා (06)

(04.05.2020 – 06:52 +0530 – hirunews.lk/sinhala)

සියලුම රජයේ විශ්‍රාමිකයින් සඳහා වන මේ මස විශ්‍රාම වැටුප් ගෙවීම හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

විශ්‍රාමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප සෑම මසකම 10 වන දින ගෙවීම සිදුකරන අතර වෙසක් පොහොය සහ සති අන්ත නිවාඩුව එම දිනවලදී යෙදී තිබීම හේතුවෙන් මේ මස විශ්‍රාම වැටුප් හෙට (05) සහ අනිද්දා (06) දින වලදී ගෙවා නිමකිරීමට රජය මෙලෙස තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට රජය පසුකම් සැලසූ ආකාරයටම මෙම මාසයේදීත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ රාජකාරී කරන නිලධාරීන්ගේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ගමනා ගමන මණ්ඩලය එක්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි විශ්‍රාමිකයින්ට බැංකු වෙත යාමට අවස්ථාව ලබා දෙනවා ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරය අවට සිදුවන ඉඩම් කොල්ලය ගැන අගමැතිගේ අවධානය

(03.05.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කළ මුහුදු මහා විහාරය අවට සිදුවන ඉඩම් කොල්ලය පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අද (03) අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මුහුදු මහා විහාරයට අයත් පුරා විද්‍යා ඉඩම් කොල්ලකෑම පිළිබද සොයාබැලීම සදහා එම විහාරස්ථානය වෙත පැමිණියා.

නැගෙනහිර පළාතේ ඉතිරිව පවතින පුරාවිද්‍යා ස්ථාන අතුරින් මුහුදු මහා විහාරය අයත් භූමිය බෞද්ධ උරුමය සහිත අතිශය වටිනා පුරා විද්‍යාත්මක බිම්කඩක්.

පුරා විද්‍යා දෙපාර්තමේන්තු ලිපි ලේඛණ අනුව 1951 වසරේදී ගැසට් පත්‍රයක් මගින් මුහුදු මහා විහාරයට අක්කර 72 කට වැඩි වපසරියක් අයත් බව ප්‍රකාශයට පත් කර තිබුනා.

එහෙත්, යළි 1965 වර්ෂයේදී නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මුහුදු මහා විහාරයට වෙන් කර ඇති භූමි ප්‍රදේශය අක්කර 30 කට සීමා වුණා.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දිගින් දිගටම සිදු වු අනවසර ඉඩම් ආක්‍රමණයත් සමග දෙවන වර ගැසට් පත්‍රයේ සදහන් අක්කර 30 ක භූමිය ද මුහුදු මහා විහාරයට අහිමිවුයේ අතිශය සෝචනීය ලෙසයි.

මුහුදු මහා විහාරය සතු ගොඩ ඉඩම් මෙලෙස ආක්‍රමණය වද්දී, වෙරළ ආශ්‍රිත භූමිය ද සුසාන භූමියක් බවට පත් කර තිබුනේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහය මතයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා අප අවස්ථා ගණනාවකදී මෙම ඉඩම් කොල්ලය හෙළි කළ අතර, එහි ආසන්නතම සිදුවීම ලෙස අප වාර්තා කලේ, කොවිඩ් 19 උවදුර පාලනය කිරීමට ඇඳිරිනීතිය පනවා තිබු කාලයේ ද ඉඩම් ආක්‍රමණයක් සිදුවන අයුරුයි.

***************************************

මහා මැතිවරණය පැවැත්වීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල කියයි

(03.05.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් දිනවල නිත්‍යානුකූලභාවයේ කිසිදු ගැටලුවක් නොමැති බැවින් නියමිත පරිදි මහා මැතිවරණය පැවැත්වීමට හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ අදහස් පළකලේ කොළඹදී කැඳවා තිබු ප්‍රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘතයි – සුවය ලැබූ තවත් 10 ක් නිවෙස් වෙත

(03.05.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

දින 35 ක් තිස්සේ හුදෙකලා කර තිබූ මහනුවර, අකුරණ සහ දින 19 ක් තිස්සේ හුදෙකලා කෙරුණු බේරුවල – පන්නිල සහ චීනකොටුව ප්‍රදේශවලට මෙන්ම දින 32 ක් තිස්සේ හුදෙකලා කර තිබූ මරදාන – ඉමාමුල් අරුස් මාවත ප්‍රදේශයට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මහනුවර – අකුරණ ප්‍රදේශයේ පසුගිය මාර්තු 29 වන දා සිට හුදෙකලා කෙරුණු අතර, බේරුවල – පන්නිල සහ චීනකොටුව යන ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණු ලැබුවේ පසුගිය මස 14 වන දා සිටයි.

අප්‍රේල් මස 1 වන දා සිට මරදාන – ඉමාමුල් අරුස් මාවත හුදෙකලා කෙරුණා. එමෙන්ම, පසුගිය 27 වන දා සිට හුදෙකලා කෙරුණු වව්නියාව – මහකච්චිකොඩිය ප්‍රදේශය දින 6 කට පසු අද (03) යළි විවෘත කෙරුණා.

මෙරට 3 වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයා හමුවූ මරදාන – ඉමාමුල් අරුස් මාවත අද (03) යළි විවෘත කෙරුණා.

එමෙන්ම, අද (03) දිනයේ නව කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද (03) තවත් රෝගීන් 10 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය බවයි.

ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 182 ක්. එමෙන්ම, තවත් පුද්ගලයින් 517 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වැලිසර නාවික හමුදා කදවුර තුළ සිටි සාමාජිකයින් සහ නිවාඩු ලබා ගොස් සිට නැවත ගෙන්වා ගත් සෙබළුන් සියළු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති බවයි.

ඊයේ (02) දිනයේදී මෙරට වාර්තාගත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර එය 1681 ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙයින් 698 ක්ම සිදුකර ඇත්තේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වන අතර එම පරීක්ෂණවලට අනුව එක් පුද්ගලයෙකුට (01) පමණක් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.

මේ වන විට කොවිඞ් නයින්ටීන් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන 36 ක පුද්ගලයින් 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන බවයි.

මේ අතර, ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෞකාවක කාර්ය මණ්ඩලයට අයත් 230 දෙනෙකු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද (03) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණියා.

මෙම ගුවන් යානය අදාළ නෞකාවේ රැඳී සිටි සේවකයන් 53 දෙනෙකු රැගෙන අද (03) රාත්‍රී 8.30 ට නැවත නෙදර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම, කොරෝනා වෛරසයත් සමඟ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටස්තර කර්මාන්තශාලා යළි සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මැයි මස 11 වන දා වන විට තවත් කර්මාන්තශාලා රැසක් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අතර, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්තශාලා 62 ක් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මීට අමතරව බියගම නිදහස් වෙළඳ කලාපයේ ද කර්මාන්තශාලා 52 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ, කොවිඩ් නයින්ටීන් වසංගතය ආරක්ෂිත අංශ වෙත ව්‍යාප්ත වීමේ වගකීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් රජය භාර ගත යුතු බවත්, වෛරසය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අවිධිමත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මිය ගිය මහර බන්ධනාගාර රැදවියාටත් කොරෝනා පරීක්ෂාවක්

(03.05.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී තාප්පයකින් ඇද වැටී මිය ගිය රැදවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර හෙට (04) දිනයේ කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දිනවල සිදුවන හදිසි මරණ සියල්ලෙහිම කොරෝනා පරීක්ෂාව සිදුකිරීමට නිරෝධායන පනත අනුව සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ.

අද (03) අලුයම 03:30 ට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 09 දෙනෙකු අඩි 20 ක් පමණ උසැති එහි තාප්පයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී එක් අයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එලෙස ජීවිතක්ෂයට පත්වුණේ කඩවත – ඉහළ කරගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාවින්ද තිසේරා නැමැත්තෙක්.

ඔහු කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට මහර අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මීට දින 12 කට පෙරයි.

බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කළ අදාළ රැදවියන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බව බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය නොමැති තත්ත්වයක් තුළ ඇති වූ මානසික ව්‍යාකූලතාව හේතුවෙන් මොවුන් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දරා ඇති බවයි ඔහු කියා සිටියේ.

මියගිය රැදවියාගේ මරණය සිදුවූ ස්ථානය අද (03) වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා පැමිණ පරීක්ෂාවට ලක් කළ අතර, දේහය තැන්පත් කර ඇති උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ගොස් මළ සිරුර ද පරීක්ෂාවට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, රැදවියන් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔවුන් වැළැක්වීමට ගත් උත්සාහයේදී අහසට වෙඩි තැබීමක් ද සිදුකර තිබුණා.

එමෙන්ම, රැදවියන් සහ නිලධාරීන් අතර පොර බැදීමක් ද සිදුව ඇති අතර, එහිදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩා කප්පල් කිරීමට විපක්ෂය උත්සාහයක – අගමැති මහින්ද රාජපක්ෂ

(03.05.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

පැරණි පාර්ලිමේන්තුව යළිත් කැඳවා ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට විපක්ෂය උත්සාහ කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එමඟින් ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය වී ඇති බවයි.

රට තුළ ඇතිව තිබෙන ව්‍යවසනය මධ්‍යයේ වුවත් පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත්, විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට ආණ්ඩුවට නෛතික බලයක් නොමැති බවටත් විපක්ෂය චෝදනා කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ මෙරට තුළ එකදු කොරෝනා රෝගියෙකු නොසිටි අවස්ථාවක වුවත් ඉන් සති එකහමාරකට පසු රෝගියෙකු වාර්තා වීමත් සමහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම පියවර ගත් බවයි එහි දැක්වෙන්නේ.

ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව ඔවුන් සුදුසු අවස්ථාවක මැතිවරණය පවත්වනු ඇතැයි පවසන අග්‍රාමාත්‍යවරයා මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවද පෙන්වා දුන්නා.

විපක්ෂය චෝදනා කරන පරිදි අප්‍රේල් මස 30 වැනිදායින් පසු ජනාධිපතිවරණයට මුදල් වියදම් කිරිමට බලයක් නැතැයි තර්ක කිරීම විකාර ස්වරූපි තර්කයක් බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පැරණි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා ජනතාවට බොරු නොකියා සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මෙම අවස්ථාවේදි අප මැතිවරණ හා දේශපාලන ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වටයට පත් කිරීමට අවදානය යොමුකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සහරාන් ගෙන්වා අවි පුහුණුව දීමට සැලැස්වූ කල්පිටිය NGO භාරකරු අත්අඩංගුවට

(03.05.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම සහ අවි පුහුණුව ලබාදීමේ සිද්ධියකට කල්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම සංවිධානයේ භාරකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ සහරාන් හෂීම්ට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනෙකු (02) මෙම ස්ථානයේ අන්තවාදී දේශන පවත්වා ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාලන මිළ ඉවත් කිරීමෙන් පසු එළියට එන පරිප්පු සහ සැමන්

(03.05.2020 – 18:21 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් යලිත් රතු පරිප්පු සහ ටින් මාළු වල උපරිම පාලන සිල්ලර මිල ඉවත් කිරිමෙන් පසු හෙට (04) සිට ඇදිරි නිතිය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු වෙලදපොලේ අලෙවි කිරිම සදහා ටින් මාළු විශාල ප්‍රමාණයක් වෙලදසැල් වෙත ප්‍රවාහනය කරන අයුරු දක්නට ලැබුණු බව අප හැටන් වාර්තාකරු ප්‍රකාශ කළා.

කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පාරිභෝගික ජනතාවට සහන සැලසිම සදහා රජය විසින් ටින් මාළු සහ පරිප්පු සදහා පාලන මිලක් නියම කර තිබුණා.

එ අනුව රතු පරිප්පු කිලෝවක් රු 65 ටත් , ටින් මාළු ටින් එකක් රු 100 කටත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කිරිමට නියම වුණා.

සතොස ශාඛා වල සහ ඇතැම් පෞද්ගලික වෙලදසැල් සහ සුපිරි වෙලදසැල් වල එම පාලන මිලට රතු පරිප්පු සහ ටින් මාළු අලෙවි කළ අතර එවා පාරිභෝගික යන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට එම වෙලදසැල් හිමියන් අපෝසත් වූ බවයි ජනතාව චෝදනා කළේ.

ඇතැම් වෙලදසැල් වල ටින් මාළු සහ රතු පරිප්පු තොග සගවා ගනමින් පාරිභෝගිකයන්ට එම භාණ්ඩ නොමැති බව පැවසු අතර එම වෙළඳුන් ටින් මාළු සහ රතු පරිප්පු තොග රැස් කර සගවා තබාගෙන සිටි බවටද පාරිභෝගිකයින් චෝදනා කළා ෴

+++++++++++++++++++++++++++++++++++

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා 244 ක වැඩ අරඹයි

(03.05.2020 – 15:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයත් සමඟ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටස්තර කර්මාන්තශාලා යළි සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ අනුව ඒ පිළිබදව නිරන්තරයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසයි විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

දිවයින පුරා පිහිටි නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා 244 ක් මේ වන විට සිය නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා.

මැයි මස 11 වන දා වන විට තවත් කර්මාන්තශාලා රැසක් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අතර, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්තශාලා 62 ක් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

මීට අමතරව බියගම නිදහස් වෙළඳ කලාපයේ ද කර්මාන්තශාලා 52 ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි

(03.05.2020 – 19:58 +0530 – sinhala.adaderana.lk)

තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දිවයින පුරා පිහිටි සියලු තැපැල් කාර්යාලවල සේවා කටයුතු හෙට(04) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද තැපැල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ තැපැල් කාර්යාල ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

එහෙත් අද (03) පස්වරු පැවැති සාකච්ඡා සාර්තක විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා තැපැල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිරි මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර තැපැල් සේවාව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගත ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට තැපැල් වෘත්තිය සමිති හා විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (03) පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

(03.05.2020 – 14:58 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්හි ද නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතිය.

සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

මිරිසවැටිය රාජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැ දුටුවේය.

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව රාජපක්ෂ මහතා උන්වහන්සේ දැනුවත් කළේය.

එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බව මිරිසවැටිය විහාරාධිකාරී හිමියෝ සඳහන් කළහ.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

+++++++++++++++++++++++++++++++++++

මෙවර නාම යෝජනා අනුව ජවිපෙ පස්වෙනි බලවේගයයි.. පැරණි පාර්ලිමේන්තුව කැදවන්න මේ තරම් දත කන්නේ ඒ නිසා..

(03.05.2020 – 17:30 +0530 – lankacnews.com)

පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල්දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලිය කොවිඩ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

තම 2015 – 2019 පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් – සජිත් – අනුර – හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් ඒ බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් ප්‍රේමදාසගේ අලුත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත්‍රයකු ලවා ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා ඇති බවත් මුසම්මිල් මහතා අවධාරණය කර සිටියේය.

‘කොවිඩ් බිංදුව වන තෙක් සිටීම’

කොවිඩ්–19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික – සමාජ ක්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම යථාර්ථයට පිටුපා යමින් මෙරට මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීම කොවිඩි–19 පැතිරයාම බිංදුව වන තෙක් කල් දමා ඇති බවටත් එසේම එය අද රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇති බවටත් මුසම්මිල් මහතා චෝදනා කර සිටියේය.

‘ජවිපෙට 3%ත් නැහැ’

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතා ගැන කිඹුල් කඳුළු හෙළමින් යළිත් ගල් පැලෙන බොරු සමාජගත කරමින් සිටින ජවිපෙ නායක අනුර දිසානායක ඒ හරහා තම පක්ෂයට අවසන් වරට මැතිවරණයක දී ලැබුණු 3% ක ඡන්ද ප්‍රතිශතය රැක ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද මෙහිදී ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ (02) මැතිවරණ කොමිසම කැඳවා තිබූ රැස්වීමකදී මහා මැතිවරණය සඳහා යළි නාමයෝජනා කැඳවන ලෙසට අනුර දිසානායක කළ ඉල්ලීම පිටුපස ඇත්තේ රනිල් – සජිත් දෙපිලට යළි එක්ව නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තම පක්ෂය පස්වැනි තැනට වැටීමෙන් ගැලවීම බවත් පෙන්වා දුන් මුසම්මිල් මහතා, ජවිපෙට එවැනි පටු උවමනාවන් මිස කිසිදු ජනතාවාදී උවමනාවක් නොමැති බවත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *