ලංකාවේ අට වන (08) කොරෝනා මරණය වාර්තා වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ අට වන (08) කොරෝනා මරණය වාර්තා වෙයි (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට

• නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් 1031 ක් නිරෝධායනයට

• ජාතික වෙසක් සතිය ඇරඹේ

• ග්‍රාම නිලධාරීවරුන්ගෙන් යළිත් රතු එළියක්

• අප්‍රේල් මස පූර්ණ කාලීනව සේවය ලබා ගත් සේවයකයින්ට වැටුප් ලබාදෙන්න – කම්කරු කොමසාරිස්

• ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල, හැඳුනුම්පතේ අංකය අනුව නිවසින් බැහැර යාමේ ක්‍රමවේදය 11 වන දා සිට

• ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ?

• කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීමට බහුපාර්ශ්වීය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය ලබාදෙනවා – ජනපති (විඩියෝ)

• මහා සංඝරත්නයට අපහාස කරන LTTE ඩයස්පෝරාවේ අලුත්ම සැලසුමක් රාවණා බලය හෙළිකරයි (විඩියෝ)

• රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශ කාර්ය මණ්ඩලය පැමිණිය යුත්තේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණයි (විඩියෝ)

• මහාමැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ අදහස් (විඩියෝ)

• පාස්කු ප්‍රහාර ගැන අත්අඩංගුවට ගත් කල්පිටියේ සැකකරුගේ කාර්යාල දෙකක් මුද්‍රා තබයි

• අන්තවාදීන් සොයා ගිය මෙහෙයුම (විඩියෝ)

• රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසයේත් නිවෙසටම

• රෝහල්වල සායනික අපද්‍රව්‍ය දහනය කරන ආයතනයක සේවකයෙකුටත් කොරෝනා

• බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ රුධිර සාම්පල ලබා ගැනීම අදත් (04)

• බ්‍රිතාන්‍යයෙන් පැමිණි ලාංකිකයින් නිරෝධායනයට

• ඔස්ට්‍රේලියා රජය ලංකාවට ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 1.5 ක මුදලක් පරිත්‍යාග කරයි

• කොරෝනා නිසා බලපෑම් ඇති වු ව්‍යාපාර ගැන තොරතුරු ලබා ගැනීමේ කාලය දිගු වෙයි

• කොළඔ පැල්පත්වාසීන් 50,000 ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන හෙට (05) ඇරඹෙයි

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ අට වන (08) කොරෝනා මරණය වාර්තා වෙයි

(04.05.2020 – 19:29 +0530 – sinhala.adaderana.lk)

මෙරට කොරෝනා ආසාදිත අටවන (08) මරණය අද (04) සවස සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගියේ වයස අවුරුදු 72 ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අද (04) සවස 06:45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් ‍දෙදෙනෙකු (02) වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 721 ක් දක්වා ඉහළ‍ ගොස් ඇත.

කෙසේ වෙතත් ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 194 ක් දක්වා වැඩි වී තිබේ.

කෙසේ වෙතත් ලංකාවේ කොරෝනා ‍ආසාදිත තත්ත්වයෙන් මිය ගිය පළමු කාන්තාව වන්නේ මෙම කාන්තාවයි.

මියගිය කාන්තාව හෝමාගම රෝ‍‍හලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළී ඇතැයි ද වාර්තා වෙයි.

මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර කොටිකාවත්ත සුසාන භූමියේ දී සිදු කර තිබේ.

+++++++++++++++++++++

ඇය පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයෙකුගේ සමීපතමයෙක්.
.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) පස්වරුවේ නිරෝධායන නීති රෙගුලාසි අනුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට

(04.05.2020 – 23:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේවන විට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ප්‍රතිකාරවලින් පසු සුවය ලැබූ 194 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 08 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් 1031 ක් නිරෝධායනයට

(04.05.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ කොරෝනා වෛරසය අසාදිනය වී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන රෝගින් 528 දෙනා අතරින් 328 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මේ අතර, අද (04) දිනයේදීත් එක් කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ද 719 ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බවයි.

ඔහු රෝහලෙන් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙනවා.

එසේම, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතමයින් 1031 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින බවයි.

අද (04) දිනයේදී බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් 122 ක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගිය බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථානවල සිට එය අවසන් කර පිටත්ව ගිය සංඛ්‍යාව 5052 ක්.

මේ අතර, අද (04) දිනයේදී එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි 208 දෙනෙකු යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (03) දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1636 ක් සිදුකළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, පළමු පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි කුරුණෑගල – පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය මීට දින දෙකකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ බෝ වන රෝග විද්‍යායතනය මගින් හෝමාගම මූලික රෝහල වෙත යොමුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂණවලදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ බවයි හෝමාගම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බෝවන රෝග විද්‍යායතනය වෙත රැගෙන ගිය බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි ෴

***************************************

ජාතික වෙසක් සතිය ඇරඹේ

(04.05.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ජාතික වෙසක් සතිය අදින් (04) ආරම්භ වුණා.

බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ අද (04) සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

බුදුරජානන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකරමින් ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුව ඇත්තේ කොවිඩ්-19 වසංගතය හමුවේ සමස්ත ලෝකවාසීන්ම දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණපා ඇති පසුබිමකයි.

මේ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සදහන් කළේ එළඹෙන 06, 07, 08 යන දිනයන්හි මස් මාංශ වෙළඳාම තහනම් වන බවයි ෴

***************************************

ග්‍රාම නිලධාරීවරුන්ගෙන් යළිත් රතු එළියක්

(04.05.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක් ලබාදීමේ ක්‍රියාවලියෙන් යළි ඉවත් වීමට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

මීට පෙර ද රුපියල් 5000 ලබාදීමේ ක්‍රියාවලියෙන් ඔවුන් ඉවත් වූයේ සමෘද්ධි නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් මෙලෙස රාජකාරි කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බවයි මහනුවර අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ නියෝජිතයින් සඳහන් කළේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමි වන රුපියල් 5000 සේ දීමනාව මැයි මාසය සඳහාත් ලබාදීමට රජය ඊයේ (03) තීරණය කළා.

වෙසක් පොහොයට පෙර අදාළ දීමනාව ගෙවා නිම කිරීම සඳහා අද (04) සිට මෙම දීමනාව ලබාදීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට රුපියල් පන්දහස බැගින් ගෙවීමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අද (04) දිනයේදීත් ප්‍රදේශ රැසක රුපියල් 5000 සේ දීමනාව ලබා ගැනීම සඳහා ජනතාව එක්රැස් වී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

දෙමටගොඩ සහ පානදුර යන ප්‍රදේශවල එලෙස රුපියල් 5000 සේ දීමනාව ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ බලධාරීන් සහ ජනතාව අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ෴

+++++++++++++++++++++++++++++++++++

අප්‍රේල් මස පූර්ණ කාලීනව සේවය ලබා ගත් සේවයකයින්ට වැටුප් ලබාදෙන්න – කම්කරු කොමසාරිස්

(04.05.2020 – 18:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සේවකයින්ට වැටුප් ලබාදීමට සේවා යෝජකයා කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ.විමලවීර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හලාවත – දුම්මලසූරිය – වතුගහමුල්ල පෞද්ගලික කර්මාන්තශාලාවක සේවකයින් අද (04) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ පසුගිය මාසයේ වැටුප් නොගෙවීම හා මේ මස සිට වැටුප් අඩකින් කප්පාදු කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබීම හේතුවෙන්.

මීටරයක දුර තබා ගනිමින් ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයා කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කර නිවෙස් වෙත යන ලෙස දැනුම් දුන්න ද ඔවුන් ඊට එකඟතාවය පළ කළේ නැහැ.

කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර මහතා සඳහන් කළේ අප්‍රේල් මාසයේ පූර්ණ කාලීනව සේවය ලබා ගත් සේවකයින්ට වැටුප් ලබා දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදුකරන ලෙසයි.

එසේම, කොරෝනා වෛරසය හේතුවෙන් සේවයට වාර්තා නොකර නිවෙස්වල රැදී සිටින සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කම්කරු අමාත්‍යවරයා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියා.

මේ අතර, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ (03) දිනයේදියි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල, හැඳුනුම්පතේ අංකය අනුව නිවසින් බැහැර යාමේ ක්‍රමවේදය 11 වන දා සිට

(04.05.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එමගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෙසු දිස්ත්‍රික්කවල අද (04) සිට 06 වනදා බදාදා තෙක් රාත්‍රී 08:00 සිට අලුයම 05:00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

එසේම එම දිස්ත්‍රික්කවල මැයි 06 වනදා බදාදා සිට සෑම දිනකම රාත්‍රී 08:00 ට පනවන ඇඳිරි නීතිය 11 වනදා සඳුදා අලුයම 05:00 දක්වා බලාත්මකයි.

කෙසේ වෙතත්, ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය අනුව නිවසින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බවද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළා. කෙසේ වෙතත්, මැයි 11 සඳුදා සිට ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්කවලට එය අදාළ නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(ජාතික හැඳුනුම්පත් නීතිය අපැහැදිළියි ! පහත මාධ්‍ය නිවේදනය බලන්න – අමරසර)

මේ අතර, අද (04) දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කරන ලද ප්‍රදේශවල ජනතාව තම දෛනික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා නගර වෙත පැමිණ සිටි අතර එම ප්‍රදේශවල රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන බොහොමයක ද සාමාන්‍ය රාජකාරී අද ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, ඇතැම් නගර වෙත ජනතාව පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණීමේදී ඊයේ (03) අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 05 දෙනා අද (04) පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකරුවන්ට ලබන මස 06 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ.

+++++++++++++++++++++

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ?

(04.05.2020 – president.gov.lk)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?

• කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතී.
• සෙසු දිස්ත්‍රික්කවල අද (04) සිට මැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේ දිස්ත්‍රික්කවල මැයි 06 බදාදා, රාත්‍රී 8.00 ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා බලපවත්වයි.

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?

• කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට,
• මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික කාර්යයන් සිදු වන්නේ කෙළෙස ද?

• කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
• ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
• ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
• පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.
• දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.
• ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ.

ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද ?

• අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.
• නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ? කවදා සිට ද ?

• ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
• මැයි 11 සඳුදා සිට
• ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.

ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.
උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීමට බහුපාර්ශ්වීය ප්‍රයත්නයන්ට පූර්ණ සහාය ලබාදෙනවා – ජනපති

(04.05.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික රටවල් සමග බෙදාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අන්තර්ජාලය ඔස්සේ පැවති නොබැදි ජාතීන්ගේ නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මහා සංඝරත්නයට අපහාස කරන LTTE ඩයස්පෝරාවේ අලුත්ම සැලසුමක් රාවණා බලය හෙළිකරයි

(04.05.2020 – 21:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට මහා සංඝරත්නයට අපහාස වන අයුරින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව ගෙනයන සැලසුමක් පිළිබඳව ‘රාවණා බලය’ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන් අනාවරණය කළා.

ඒ, කොළඹදී අද (04) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර, එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මැදිහත්වීමෙන් මෙරට මාධ්‍ය ආයතන මිලදීගැනීම සම්බන්ධයෙන් ද පූජ්‍ය පක්ෂය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශ කාර්ය මණ්ඩලය පැමිණිය යුත්තේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණයි

(04.05.2020 – 21:47 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශ එළැඹෙන 11 වන දින නැවත ආරම්භ කිරීමේදී එම ආයතනවල කාර්ය මණ්ඩලය පැමිණිය යුතු වන්නේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඇඳිරිනීතියට පසු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහනේ දී අදහස් දක්වමින්.

+++++++++++++++++++++++++++++++++++

මහාමැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ අදහස්

(04.05.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාව හා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමඟි ජන බලවේගය කොළඹ දී අද (04) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවන්වලදී අදහස් පළ වුණා.

***************************************

පාස්කු ප්‍රහාර ගැන අත්අඩංගුවට ගත් කල්පිටියේ සැකකරුගේ කාර්යාල දෙකක් මුද්‍රා තබයි

(04.05.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරවල මහ මොළකරු වූ සහරන් හෂීම්ගේ දේශන සහ ආයුධ පුහුණුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ කාර්යාල දෙකක් මුද්‍රා තබා තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (03) අත්අඩංගුවට ගැනුණු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සැකකරු කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු කල්පිටිය – 04 වන හරස්වීදියේ පදිංචිකරුවෙක්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ අදාළ සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා ඔවුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කර ඇති බවයි.

සැකකරු මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ පුහුණු මධ්‍යස්ථානයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) සොයාගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අක්කර 17 ක් පමණ වන භූමි ප්‍රදේශයක් පුරා පවත්වාගෙන ගොස් තිබූ එම මධ්‍යස්ථානයේ තිබී සැකකටයුතු පොත්පත් හා ලිපි ලේඛන රැසක් හමුවී ඇති බවයි.

මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම පුහුණු මධ්‍යස්ථානයේ සහ එහි පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ භාරකරු වශයෙන් ද කටයුතු කර තිබුණා.

පොලීසිය සැක පල කරන්නේ මෙම ස්ථානයේදී තරුණයින්ට අවි පුහුණුව ද ලබා දී ඇති බවටයි.

සැකකරු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණු අතර, එහිදී අවසර ලබා දී ඇත්තේ සැකකරු රඳවා ගෙන ප්‍රශ්න කිරීමටයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, මෙම ප්‍රහාර මාලාවට අදාළව හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙක් වන රියාජ් බදියුදීන් සහ තවත් නීතිඥවරයෙකු ද පසුගිය මස 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කළා.

+++++++++++++++++++++

අන්තවාදීන් සොයා ගිය මෙහෙයුම

(04.05.2020 – 20:27 +0530 – sinhala.adaderana.lk)

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා ගෙන්වා අන්තවාදී දේශන පැවැත්වූ බවට සොයා ගැනුණු මධ්‍යස්ථානයේදී තරුණයන්ට අවි පුහුණුව ද ලබා දී ඇතැයි අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති එම මධ්‍යස්ථානයට ඊයේ (03) රාත්‍රියේ මුද්‍රා තැබුණු අතර එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම විසින් ඊයේ (03) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ කල්පිටිය ප්‍රදේශයේදීය.

ඔහු කල්පිටිය හතර වන හරස්වීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා ගෙන්වාගනිමින්, සැකකරු අන්තවාදය ප්‍රචාරය කිරීමේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මුන්දලම මදුරන්කුලිය අසාර් නගර් ප්‍රදේශයේ පිහිටි එම මධ්‍යස්ථානයේදී, තෝරාගත් තරුණ පිරිසකට අවි පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබා දුන් බවට ද කරුණු අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

එම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක නමින්ය.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුහුණු මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබුවේය.

එහි සිදුකළ සෝදිසියකදී සැකකටයුතු ලිපි ලේඛන රැසක් හමු වී තිබේ.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ පසුවන අතර මදුරන්කුලිය පුහුණු මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.‍

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන ලෙස නීතීඥවරු 216 දෙනෙකු ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා වෙත යොමු කෙරුණු ලිපියට ජනාධිපති නීතීඥවරු 07 දෙනෙකුගේ අත්සන් ද ඇතුළත්ය.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් නීතිඥවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන ලෙස මීට පෙර නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලිපියක් යොමු කළ නීතිඥවරු 158 දෙනා යම් දේශපාලන අරමුණක් අනුව කටයුතු කරන බවක් පෙනී යන බවයි.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෘත්තිමය කාරණාවකට නොවන බැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම සිදුවීමට මැදිහත් වුවහොත්,එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගෞරවයට හා කීර්ති නාමයට කැළලක් ඇති විය හැකි බවයි.

***************************************

රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසයේත් නිවෙසටම

(04.05.2020 – president.gov.lk)

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව දෙවන වටයේ ගෙවීම ඇරඹේ.

2020 අප්‍රේල් මස ඉහත දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනාව ගෙවනු ලැබේ.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවනු ඇත.

දීමනාව ගෙවීම් 2020 මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතය.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී පහත සඳහන් පරිදි ගෙවීම් කිරීමට තීරණය කෙරිණ.

i වැඩිහිටි දීමනාව : ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්
ii සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව : ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්

iii ආබාධිත දීමනාව : ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින්
iv වකුගඩු රෝගී දීමනාව : ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින්

v ගොවි විශ්‍රාම වැටුප : ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්
vi ධීවර විශ්‍රාම වැටුප : ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්

වැඩිහිටි දීමනාව, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු රෝගී ප්‍රතිලාභීන් වෙත දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සපයනු ලැබේ.

ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප හිමි ප්‍රතිලාභීන්ට දීමනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

රෝහල්වල සායනික අපද්‍රව්‍ය දහනය කරන ආයතනයක සේවකයෙකුටත් කොරෝනා

(04.05.2020 – 23:07 +0530 – sinhala.adaderana.lk)

ඊයේ දින (03) තුළ මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාසිතයින් දහතුන් දෙනෙකු (13) හඳුනා ගැණින.

ඉන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා සාමාජිකයින්ය.

ඊයේ දින (03) කෙරවලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයා එම ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය දහනය කරන ආයතනයක සේවකයෙකි.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසුවේ, ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේ වෛරස ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු (04) සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි.

එම නාවික භටයින් කෙරවළපිටිය සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයට අනුයුක්තව සේවය කර තිබේ.

මේ නිසාම අදාල ආයතනයේ සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය විසි අට වෙනිදා (28) සිදුකළත් එහිදි කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

කෙසේ වෙතත්, වෛරසය ආසාදිත පුද්ගලයා පසුගිය දා සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ රුධිර සාම්පල ලබා ගැනීම අදත් (04)

(04.05.2020 – 22:09 +0530 – sinhala.adaderana.lk)

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ රුධිර සාම්පල ලබා ගැනීම අදත් (04) සිදුකෙරුණි.

එම අවස්ථාවට මුඛ ආවරණයක් නොපැළඳගෙන බුර්කාවක් පමණක් හැඳ සිටි කාන්තාවක් පැමිණි අතර එහිදී ඇයව සෞඛ්‍ය අංශවලින් යලි හරවා යවනු ලැබුවේය.

මෙම අවස්ථාව රූපගත කරමින් සිටි ‘අද දෙරණ’ මාධ්‍යවේදියාට එහි සිටි පිරිසක් බාධා කළා.

මේ අතර නිවාඩු ගොස් හදිසි කැඳවීම්වලට අනුව පැමිණි වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළෙකුට කොවිඩ් නයින්ටීන් වැලදී තිබේ.

ගාල්ල නියාගම මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු නිවාඩු ගොස් ඇත්තේ, පසුගිය 22 වනදායි.

සියලු හමුදා නිලධාරීන් කඳවුරු වෙත වාර්තා කරන ලෙසට කළ දැනුම්දීමට අනුව අදාළ සෙබළා පසුගිය 27 වැනිදා සේවයට වාර්තා කර තිබෙනවා.

පසුව නාවික භටයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන් මෙම නාවික සෙබළාද වැලිසර නාවික හමුදා කඳවුරේ PCR පරීක්ෂණයකට යොමු කෙරුණා.

අදාළ සෙබළාගේ ඥාතීන් නාවික හමුදාවට අයත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ (03) යොමුකළ අතර සෙබළා ඇසුරු කළ බවට පැවසෙන නියාගම මත්තක හතර කණුව ප්‍රදේශයේ පවුල් 12 ක්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි ෴

+++++++++++++++++++++++++++++++++++

බ්‍රිතාන්‍යයෙන් පැමිණි ලාංකිකයින් නිරෝධායනයට

(04.05.2020 – 21:43 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියට මැදි වී එක්සත් රාජධානියේ රැඳී සිටි පළමු ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම අද (04) දිවයිනට ළඟා වුණි.

208 දෙනෙකුගෙන් සමන්විත එම සිසුන් පිරිස දිවයිනට රැගෙන එනු ලැබුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩසටහන යටතේය.

මේ අතර පන්දහස් පනස් දෙනෙකු (5050) මේ වනවිට නිරෝධායන කටයුතු අවසන් කර සිය ගම්බිම් බලා පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් අතරින් පළමු කණ්ඩායම දිවයිනට ළඟා වූයේ අද (04) අලුයම 03:36 ටයි.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-504 දරණ ගුවන්යානයෙන්ය.

එම පිරිස ගුවන්තොටුපළේදී විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

පිරිසක් මීගමුව JETWING BLUE හෝටලය වෙතත් තවත් පිරිසක් වස්කඩුව CITRUS හෝටලය වෙතත් රැගෙන යනු ලැබුවේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ තවත් විශේෂ ගුවන් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට (05) ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපොළ වෙතත්, මෙම මස 08 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙතත් එම ගුවන්වාර ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පාකිස්තාන සිසුන් ඇතුළු 40 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-1185 දරණ ගුවන්යානයෙන් අද (04) පෙරවරු 07:00 ට පාකිස්ථානයේ කරච්චි නුවර බලා පිටත්ව ගියේය.

මේ අතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඉතාලියේ ජෙනෝවා වරායේ නෞකාවක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් මව්රටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය අවසන් කළ බේරුවල ප්‍රදේශයේ 129 දෙනෙකු තම ගම්බිම්වලට අද (04) පැමිණියා ෴

+++++++++++++++++++++

එක්සත් රාජධානියේ සිට රැගෙන ආ ලාංකිකයෝ කටුනායකදී කෝප වෙති

(05.05.2020 – 11:54 +0530 – lankaleadnews.com)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවට පත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (04) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම පිරිස ඔවුන් අධීක්ෂණය කළ හමුදා සාමාජිකයන් සමග ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇත.

එක්සත් රාජධානියේ සිට ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට ගෙන්වූ 208 දෙනකුගෙන් සමන්විත මෙම පිරිසේ සිටි එක් තරුණියක කොවිඩ්–19 රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කළ බැවින් වහාම ඇයව මීගමුව මහ රෝහලට යොමුකර ඇත. පසුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

කොවිඩ්–19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියාවලිය ඔස්සේ මෙම පිරිස ඊයේ (04) අලුයම මෙරටට රැගෙන එන ලදී. ඔවුන් අතුරින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා මීගමුව ජෙට්වින්ග්, ඩොල්ෆින් හා වස්කඩුව සිට්‍රස් යන හෝටල් පරිශ්‍ර වෙත සහ අයගම තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. මේ අතුරින් පෞද්ගලිකව වියදම් දැරීමට කැමැත්ත පළ කළ පුද්ගලයන් පමණක් දෛනිකව රු. 7500 බැගින් ගෙවීමේ පදනම මත හෝටල් පරිශ්‍රවල ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියා රජය ලංකාවට ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 1.5 ක මුදලක් පරිත්‍යාග කරයි

(04.05.2020 – 21:34 +0530 – sinhala.adaderana.lk)

කොඩිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට සහ‍යෝගය දැක්වීම සඳහා ඔස්ට්‍රේලි ඩොලර් මිලියන 1.5 ක මුදලක් ඔස්ට්‍රේලියා රජය පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම්වලට හා ප්‍රජාවන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීමට මාර්තු 05 වන දින සිට ඔස්ට්‍රේලියා රජය කඩිනමින් ‍පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඔස්ට්‍රේලියා මඟින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපකරණ සහ වෙනත් සහාය ලබා දී ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව, ජාතික රසායනාගාර සහ රෝගී සිදුවීම කළමනාකරණය ශක්තිමත් කිරිම සඳහා වෛද්‍ය උපකරණ, ඉදිරි පෙළ සේවකයින් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ, සිද්ධි කළමනාකරණ සඳහා දත්ත රැස් කිරීම සඳහා නිලධාරීන් භාවිතා කළ යුතු තොරතුරු තාක්ෂණ උපකරණ, ‍කොවිඩ් ‍වැලැක්වීමේ පණිවිඩ ඇතුළු අවදානම් සන්නිවේදන ව්‍යාපාරයක්, අඟුල් දමා ඇති ප්‍රදේශවල කාන්තාවන්ට සහ පවුල් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරිමට සනීපාරක්ෂක භාණ්ඩ හා මඩලකලපුවේ පවුල් 3000 කට වියළි ආහාර සලාක ලබා දීම මේ අතර ඇතුළත්ය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා බලපෑම් ඇති වු ව්‍යාපාර ගැන තොරතුරු ලබා ගැනීමේ කාලය දිගු වෙයි

(04.05.2020 – 21:21 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇති වී තිබෙන ව්‍යාපාර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව දිගු කර තිබේ.

එය මැයි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා නිවේදනය කරයි.

තම ආයතන පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉතා යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන www.labourdept.gov.lk වෙත පිවිසීමෙන් මේ සඳහා ප්‍රතිචාර දැක්විය හැකි බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි ෴

***************************************

කොළඔ පැල්පත්වාසීන් 50,000 ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන හෙට (05) ඇරඹෙයි

(04.05.2020 – 22:46 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඔ නගරයේ පැල්පත්වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හෙට(05) දින පෙ.ව. 10:00 ට මැද කොළඹින් ආරම්භ කිරිමට නියමිතයි.

කොළඔ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත, ස්ටේඩියම්ගම, සිරිමුතු උයන අසල නිවාස 1000 කින් සමන්විත මහල් නිවාස සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් මෙම නිවාස 50,000 වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප‍්‍රමාණය වර්ග අඩි 550 කි.

ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකිර්ණය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5950 කි.

වසර 03 ක් ඇතුළත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතයි.

නාගරික සංවර්ධන ජලසම්පාදන නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියත්බන්දු වික‍්‍රම, නාගරික සංවර්ධ අධිකාරයේ සභාපති හර්ෂාන්ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් ප‍්‍රසාද් රණවීර මහත්වරුන්ගේ සහභාගීතවයෙන් නිවාස 1000 කින් සමන්විත මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු හෙට (05) දින ආරම්භ කිරිමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *