09 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ – මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• 09 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ – මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි (විඩියෝ)

• මෝදරින් සහ කොළොන්නාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සොයා ගැනේ

• මිරිහාන සහ නුගේගොඩ කොට්ඨාශවල 1200 ක් ගම්බිම් වෙත

• රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

• කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් දක්වා ඉහළට

• කොරෝනා සුව වූ දෙවන ‍නාවික සෙබළා මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි (විඩියෝ)

• රූපලාවන්‍යාගාර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කරන්න උපදෙස්

• ලන්ඩන් හි රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් විශේෂ ගුවන් යානයක්

• කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා

• විදේශයන්හි ලේඛනගත නොවූ ශ්‍රමිකයන්ට තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන්න එකඟත්වය

• විෂබීජහරණ කුටි ඵලදායී නොවන බව සෞඛ්‍ය බලධාරීන් කියයි (විඩියෝ)

• COVID-19 සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගම තවත් රොබෝ යන්ත්‍ර තුනක් (03) පරිත්‍යාග කරයි

• දුම්රිය මැදිරි සියල්ල අලුත් වැඩියා කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් (විඩියෝ)

• කොළඔ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඇරඹෙයි

• මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම කැඳවන්න දින දෙයි

• චම්පිකගේ සුදු රෙදි බිම.. හිටපු බිරිද අත් අකුරින් ලියූ ලිපියක් ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් අතේ.. (විඩියෝ)

• වෙසක් සැමරුම වෙනුවෙන් සමරු මුද්දර 3 ක්

+++++++++++++++++++++++++++++++++++

09 වන කොරෝනා ආසාදිත මරණය කාන්තාවකගේ – මසක් පමණ රෝගීව නිවසේ සිටි බව තහවුරු වෙයි

(05.05.2020 – 14:51 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව මසක පමණ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ (04) රාත්‍රීයේ දී ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව අද (05) අලුයම 01:00 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්තාකර ඒකකයට ඇතුළු කර ඇත.

ඒ අනුව අද (05) දහවල් 12:50 ට පමණ මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 09 වන මරණය මෙය වන අතර මිය ගිය දෙවන කාන්තාවන් ද වෙයි.

ඇය මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ ව්‍යෛ අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී මෙරට 08 වන කොරෝනා මරණය වාර්තා වු අතර, එම කාන්තාව කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාඒතාවකි.

කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මෝදරින් සහ කොළොන්නාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සොයා ගැනේ

(05.05.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මෝදර – මහල් නිවාස සංකීර්ණයකින් සහ කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (02) සොයාගෙන තිබෙනවා.

මෝදර මහල් නිවාස සංකීර්ණයෙන් සොයා ගත් කාන්තාව 62 හැවිරිදි වියේ පසුවන අතර කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

කොළඹ මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ මෝදර ප්‍රදේශයෙන් හමුවූ කාන්තාව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන බවයි ෴

කොලොන්නාව ප්‍රදේශයෙන් හඳුනා ගත COVID-19 රෝගියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 27 දෙනෙකු ද ඇතුළුව අද දින (05) නිරෝධායන මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් 138 ක් යවා ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මිරිහාන සහ නුගේගොඩ කොට්ඨාශවල 1200 ක් ගම්බිම් වෙත

(05.05.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යාමට නොහැකිව රැදී සිටින පුද්ගලයින් 1200 දෙනෙකු පමණ අද (05) සිය නිවෙස් වෙත පිටත් කර යැවූ බව හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පවසනවා.

රෝගී තත්වයන්ගෙන් පෙළෙන, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹට පැමිණි සහ ගර්භණි තත්තවයෙන් පසුවන කාන්තාවන්ට මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ගම්බිම් බලා පිටත් කරන පුද්ගලයින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ මාර්ගයෙන් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනවා.

මෙලෙස මිරිහාන පොලිස් වසමේ සහ නුගේගොඩ කොට්ඨාශයේ රැදී සිටින පුද්ගලයින් සිය ගම්බිම් කරා පිටත්ව කර හැරුණේ ලංගම බස් රථ යොදා ගනිමින්.

මේ අතර, අද (05) උදෑසන 06 අවසන් වු පැය 24 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 558 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 139 ක්.

ඇදිරි නිතීය ක්‍රියාත්මක කළ කාල සිමාවේ එය උල්ලංඝණය කළ පුද්ගලයින් 46,842 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 12,152 ක් පොලිස් භාරයට ගැනුණා ෴

+++++++++++++++++++++++++++++++++++

රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනයට

(05.05.2020 – 12:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් සිව් දෙනෙකු (04) අද දිනයේ (05) හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මොවුන්ගෙන් එක් අයෙකු රාජගිරිය – බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු 40 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු බවටද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මොහු සමඟ සබඳතා පැවැත්වූ පවුල් 05 ක පුද්ගලයින් 30 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි වැලිකඩ පොලිසිය සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ එම ප්‍රදේශයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් දක්වා ඉහළට

(05.05.2020 – 09:08 +0530 – sinhala.adaderana.lk)

අද (04) උදෑසන 08:30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු (04) වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි විය.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

කොවිඩි නයින්ටීන් ආසාදනය වීමෙන් මෙරට සිදු වූ අට වැනි (08) මරණය ඊයේ (04) සවස වාර්තා විය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (04) පස්වරුවේ මියගියේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

ඇය වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරිණි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සුව වූ දෙවන ‍නාවික සෙබළා මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි

(05.05.2020 – 15:36 +0530 – sinhala.adaderana.lk)

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ්-19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ්-19 ආසාධිතයෙකු වශයෙන් හඳුනාගත් පළමු නාවික හමුදා නිලධාරීයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව්-19 ආසාධනය වී ඇති බව පසුගිය අප්‍රේල් මස 23 වන දින හදුනා ගෙන ඇත.

පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා ඊයේ (04) රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධන වූ නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රූපලාවන්‍යාගාර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කරන්න උපදෙස්

(05.05.2020 – 10:57 +0530 – sinhala.adaderana.lk)

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.

COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එ‍කතු කිරීමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි.

එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුලු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදි.

එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය :

“රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග අද දින (04) සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රූපලාවන්‍යාගාර ආරම්භ කිරිම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි.

එම සියළු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවන්‍යාගාර විවෘත කිරිමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුනත් ලංකාව තුල මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව සළසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”

මෙම සාකච්ඡාවට එක් වූ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පෙන්වා දෙන ලද්දේ COVID-19 හේතුවෙන් රූපලාවන්‍යාගාර වැසීමට රජය තීරණය කළ ද බොහෝ රූපලාවන්‍ය කටයුතු පෞද්ගලිකව සිදු කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

එය ඉතාම භයානක තත්ත්වයක් බව ද පෙන්වා දෙන ලදි. විශේෂයෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බව ද පෙන්වා දෙන ලදි.

දැනට A,B,C යන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වර්ගීකරණයට අනුව ක්ෂේත්‍රය තුලින් ලක්ෂ 02 කට පමණ ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට කටයුතු කිරිමට තමන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අදහස් ලබාගැනිම සදහා සාකච්ඡාවක් ලබාදීම පිළිබද සිය ස්තූතිය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පුද කරන බවත් පැවැසීය ෴

+++++++++++++++++++++++++++++++++++

ලන්ඩන් හි රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් විශේෂ ගුවන් යානයක්

(05.05.2020 – 11:07 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ ලන්ඩන් නුවර සිර වී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළින් නික්මුණා.

08 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත යූ.එල්. 503 දරණ එම ගුවන් යානය අලුයම 12:51 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, ලන්ඩනයේ සිට භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් යානයක් අද (05) අළුයම 03:50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

අද (05) අලුයම ලන්ඩන් බලා පිටත්ව ගිය යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ හෙට (06) උදෑසනයි ෴

+++++++++++++++++++++++++++++++++++

කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ඇරඹීමට සාකච්ඡා

(05.05.2020 – 15:08 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය.

ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි.

සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය.

ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් ඔහු කිවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ අනුව කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මහතාද මෙහිදි කියා සිටියේ ලෝක සෙඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකාන් ගුවන් සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බවයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අදාල ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ගුවන්සේවා අධිකාරියට පැවරිනි.

රජයේ උපදෙස් අනුව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන 11 වෙනිදා සිට නැවත ආරම්භ කිරීම පිලිබදව ද මෙහිදි ඇමතිවරයාගේ අවධානයට යොමු විය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා ආයතන ප්‍රධානීන්ට මෙහිදි වැඩිදුරටත් උපදෙස් දුන්නේ සිය ආයතන කටයුතුවලදී සෙඛ්‍ය අංශ උපදෙස් නිසිආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි අධික්ෂණය කළ යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශයන්හි ලේඛනගත නොවූ ශ්‍රමිකයන්ට තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන්න එකඟත්වය

(05.05.2020 – 14:19 +0530 – sinhala.adaderana.lk)

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කර ඇත.

සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට පැමිණවීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කරයි.

ඊයේ(04) දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ ආයතන සමඟ පවත්වන ලද රැස්වීමක දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

විෂබීජහරණ කුටි ඵලදායී නොවන බව සෞඛ්‍ය බලධාරීන් කියයි

(05.05.2020 – 12:57 +0530 – sinhala.adaderana.lk)

වෛරසයෙන් වැළකීම සඳහා විෂබීජහරණ කුටි භාවිතය ඵලදායී නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා පවසා සිටියේ, විෂබීජහරණ කුටි සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් කිසිදු නිර්දේශයක් සිදු කර නැති බවයි.

ඇතැමුන් නව උත්පාදන සඳහා උනන්දුව ඇති පිරිස් විසින් මෙවැනි විෂබීජහරණ කුටි නිපදවීමට පෙළඹී ඇතැයි ද පැවසු අනිල් ජාසිංහ මහතා, සියයට 70 ක පමණ ඇල්කොහොල් විදීමක් සිදු වන බවත් පැවසීය.

ඒ තුළින් ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති විය හැකි බවත් පැවසු විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මෙහි ප්‍රයෝජනයක් ඇති බව මෙතෙක් තහවුරු වී නැතැයි ද කියා සිටියේය.

විෂබීජහරණ කුටියක් තුළින් කාර්යාලයට ගිය විට සියලු දේ නිසි ලෙස සිදුවුවා යැයි ඇතැමුන් සිතිය හැකි බවත් පැවසු වෛද්‍යවරයා, කොරෝනා හා වෙනත් වෛරස පාලනයේ දී වැදගත් වන්නේ, මිනිසුන් අතර දුරස්ථභාවය හා අත් නිතර සේදීම මෙන්ම අනෙකුත් සෙසු සනීපාරක්ෂක ක්‍රම බවත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගම තවත් රොබෝ යන්ත්‍ර තුනක් (03) පරිත්‍යාග කරයි

(05.05.2020 – biz.adaderana.lk)

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර මේවන විට ද කොරෝනා රෝගීන් සඳහා ම වෙන් වූ හෝමාගම මූලික රෝහලේත්, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේත් සාර්ථකව ක්‍රියාත්මක වේ.

මෙම නවත ම රොබෝ යන්ත්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී / මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම මෙම ව්‍යාපෘතිය දියත් කළහ. මෙය, එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මින් පෙර නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍රයක්වන අතර එම සමාගමේ ඉංජිනේරු අංශය විසින් එය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතාවලට සරිලන පරිදි වැඩිදියුණු කරන ලදි ෴

***************************************

දුම්රිය මැදිරි සියල්ල අලුත් වැඩියා කිරීමට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්

(05.05.2020 – 09:17 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඇති දුම්රිය මැදිරි සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අලුත් වැඩියා කිරිමට අවසර ඉල්ලා ඉදිරි සතිය තුළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රත්මලාන ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල අමාත්‍ය මහින්ද මරවිර මහතා ඊයේ (04) පස්වරුවේ රත්මලාන දුම්රිය අංගනයට පැමිණියේය.

එහිදි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට දුම්රිය දෙපාර්මේන්තුව මැදිහත්විය යුතු අකාරය සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකද නිරත වුණි.

***************************************

කොළඔ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඇරඹෙයි

(05.05.2020 – 16:02 +0530 – sinhala.adaderana.lk)

කොළඔ නගරයේ පැල්පත්වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40,000 ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අද (05) දින මැද කොළඹින් ආරම්භ කර තිබේ.

නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කර ඇත.

කොළඔ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත ස්ටේඩියම්ගම සිරිමුතු උයන අසල නිවාස 1000 කින් සමන්විත මහල් නිවාස සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් මෙම නිවාස වැඩසටහන අද දින (05) මෙසේ ආරම්භ කර තිබේ.

මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප්‍රමාණය වර්ග අඩි 550 කි.

ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකිර්ණය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5950 කි.

වසර 03 ක් ඇතුළත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතයි.

නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය සහිතව ඉතා සිමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කළ බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කරයි ෴

***************************************

මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම කැඳවන්න දින දෙයි

(05.05.2020 – 14:57 +0530 – sinhala.adaderana.lk)

ජුනි මස 20 වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 11 වන දා 13 වනදා හෝ 14 වනදා යන දිනවලින් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් ඉල්ලා තිබුණි.

ඒ අනුව මෙම පෙත්සම ලබන 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා සඳහන් කළේය.

නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ඔහූ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වූ දින සිට සති පහක් සහ සති හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කරුණු දක්වා ඇතැයි ද පවසයි.

ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුල නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි කියා සිටියි.

ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ ෴

***************************************

චම්පිකගේ සුදු රෙදි බිම.. හිටපු බිරිද අත් අකුරින් ලියූ ලිපියක් ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් අතේ..

(05.05.2020 – 10:00 +0530 – lankacnews.com)

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා නිසා මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් ගැන අත්අකුරින් ලියූ ලේඛනයක් ඔහුගේ හිටපු බිරිද විසින් තමනට ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

චම්පික රණවක මහතාගේ දික්කසාද නඩුව මෙහෙයවන ලද්දේ තමන් විසින් බවත් ඊට අදාළ සියළු ලේඛණ තමන් සන්තකයේ ඇති බවත් ඔහු කියයි.

ඇයට දියණියන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් සමාජයට මුහුණ දිය යුතු බවත් පැවසූ ඔහු තමන් එම ලේඛණ කිසිසේත්ම හෙළිදරව් නොකරන බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.

පවතින දේශපාලන තත්වය ගැනද ගම්මන්පිල මහතා අදහස් පල කලේය :

+++++++++++++++++++++

***************************************

වෙසක් සැමරුම වෙනුවෙන් සමරු මුද්දර 3 ක්

(05.05.2020 – 12:26 +0530 – sinhala.adaderana.lk)

මෙවර වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් විවිධ වටිනාකම්වලින් යුත් නව සැමරුම් මුද්දර 3 ක් සහ සිහිවටන පත්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව රුපියල් 10, රුපියල් 15 හා රුපියල් 45 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර මෙලෙස නිකුත් කරනු ඇත.

‍මෙම සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) වැනි දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතයි.

වෙසක් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව මුද්දර නිර්මාණ ශිල්පී පුලස්ති එදිරිවීර මහතා සහ රාජ්‍ය වෙසක් උත්සව මුද්දරය මුද්දර නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මහතා විසින් නිර්මාණය වී ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *