කොරෝනා මර්ධන හෙළ වෙද සමුළුව බාදක මැද උත්කර්ශවත් ලෙස පවත්වයි

+++++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා මර්ධන හෙළ වෙද සමුළුව බාදක මැද උත්කර්ශවත් ලෙස පවත්වයි (විඩියෝ)

• කොරෝනා සුව කරන්න දේශීය වෙදකමට බලධාරීන් තවමත් ලිඛිත අවසරයක් දී නෑ – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (විඩියෝ)

• හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනි

• කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

• ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝන යානයක් (ඔඩියෝ)

+++++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්ධන හෙළ වෙද සමුළුව බාදක මැද උත්කර්ශවත් ලෙස පවත්වයි

(06.05.2020 – 11:34 +0530 – lankaleadnews.com)

කොරෝනා මර්දන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඉදිරිපත් කළ දේශීය වෛද්‍යවරුන් 30 ක් පමණ සහභාගි වූ විද්වත් සැසිය ඉතා උත්කර්වශත් ලෙස පැවැත්වූ බව වාර්තා වේ.

‘ලංකා ලීඩ්’ වාර්තා කළ ආකාරයට එම විද්වත් සැයිය නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට හිටපු ඇමති රාජිතගේ ගෝලයින් විසින් ඉඩ ලබා නොදීම නිසා එම මහා ජාතික විද්වත් සැයිය පවත්වා ඇත්තේ පන්සලකය.

එසේ ඔවුන් එම විද්වත් සැසිය තාක්ෂණිකව ඉතා ඉහළ මට්ටමකින් පැවැත්වූ බව සංවිධායකයෝ පවසති. එම ජාතික විද්වත් සැසිය සංවිධානය කරනු ලැබුවේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසිනි.

++++++++++++++++++++++++

කොරෝනා සුව කරන්න දේශීය වෙදකමට බලධාරීන් තවමත් ලිඛිත අවසරයක් දී නෑ – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

(06.05.2020 – 12:26 +0530 – lankaleadnews.com)

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඊයේ (05) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී මෙරට සිටින කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදහස් පල විය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ, අද වන විට පාරම්පරික ආයුර්වේද ක්‍රම මගින් සුව කළ හැකි බව ඔප්පු කරමින් ඇති බවයි.

නමුත් මේ පිළිබඳව බලධාරීන් වාචිකව අවසර ලබා දුන්නාට ලිඛිතව පනතක් මඟින් හෝ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද උන්වහන්සේ පැවසීය.

මෙසේ සිදුවන්නේ ගුරු කුල පිළිබඳ ගැටළුවක් ඇති නිසාවෙන් බවත් පැවසු උන්වහන්සේ, අදටත් පාරම්පරික හෝ ආයුර්වේද හෝ වෙනත් ඕනෑම වෛද්‍ය ක්‍රමයක් ද්විතීක වශයෙන් සලකනු ලබන්නේ, දැනුමේ බලඅධිකාරිය නිසාවෙන් බවත් කියා සිටියේය.

බටහිර කුලාධිපත්ත්‍ය විසින් මෙම තත්ත්වය උදා කර ඇතැයි ද පැවසු උන්වහන්සේ‍් පැවසීය.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේ, දිර්ඝ කාලයක් පුරා කොරෝනා සුව කළ හැකි බව රජයට පැවසු බවයි.

නමුත් වගකිව යුතු සංවිධාන ලෙස ඉවසීමෙන් බලා සිටි නමුත් මෙම කොරෝනා වෛරසය පාලනයට අවස්ථාවක් හිමි නොවු බවත් වෛද්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරියට දේශීය වෛද්‍ය සහය ලබා ගන්නා ලෙස දැනුම් දුන්න ද එවැන්නක් සිදු නොවු බවත් ඒ මහතා කියා සිටියේය.

++++++++++++++++++++++++

හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනි

(06.05.2020 – 16:48 +0530 – lankaleadnews.com)

ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.

කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.

එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ ෴

*****************************************

කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(06.05.2020 – 10:24 +0530 – lankaleadnews.com)

මෑත කාලයේ ඇමරිකාවේ සංචාරය කරන ඊනියා නව ලිබරල් විද්වතුන්ට පෙනෙන්නේ නාගරික ඉදිකිරීම් සහ නගර අලංකරණය මුල්කරගත් ඉල්ලුම විසින් මෙහෙයවන අධිපරිභෝජනවාදී ආර්ථික මොඩලයකි. නමුත් මතුපිටින් ශක්තිමත් බව පෙනෙන එම උපරි ව්‍යුහය පදනම්වන හෙවත් ගොඩනගා ඇති අත්තිවාරම කුමක්දැයි ඔවුන් දකින්නේ නැත. සාමාන්‍ය අර්ථයෙන් ගත්තද ගොඩනැගිල්ලක අලංකාරය දකින පුද්ගලයෙකුට පොළොව යට ඇති අත්තිවාරම පෙනෙන්නේ නැත. එසේම අලංකාරයට පමණක් වශීවන පුද්ගලයෙකුට අත්තිවාරමක් පිළිබඳ සිතීමට අවශ්‍යතාවයක් මතුවන්නේද නැත. අප වැනි රටවල අහස් මාළිගාවක් ලෙස සැලකිය හැකි එම නූතන ඇමරිකානු ආර්ථික මොඩලය කඩා නොවැටී පවතින්නේ ශක්තිමත් ඓතිහාසික කෘෂි කාර්මික නිෂ්පාදන පද්ධතියක් මත එය ගොඩනගා තිබෙන නිසා බව එම නව ලිබරල් විද්වතුන් දකින්නේ නැත. ඒ නිසා ඔවුන් අත්තිවාරමක් නැතිව උපරි ව්‍යුහය ගොඩනැගීමට අප වැනි රටවල පාලකයින්ට උපදෙස් දෙති. උපරි ව්‍යුහයේ ආලෝකය නිසා පොළොව යට පවතින අත්තිවාරම ඔවුන් නොදකිනවා පමණක් නොව එහි ගැඹුර පිළිබඳවද ඔවුනට අවබෝධයක් නැත. ඔවුන්ගේ මිනුම් දඬු වලින් ඒ ගැඹුර මැනීමට හැකියාවක් නැති බව මහාචාර්ය හෝ ජූන් චැන් මහතාගේ ඉණිමඟට පයින් ගැසීම (Kicking Away The Ladder) නමැති කෘතිය කියවූ අයෙකුට තේරුම්ගත හැක.

එම කෘතිය මඟින් ඇමරිකාව තම කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය සහ ළදරු කර්මාන්ත පදිධතිය හෙවත් අත්තිවාරම ගොඩනැඟූ ආකාරය පිළිබඳ සහ ඊට අදාළ මූලික රහස වන ‘ආරක්ෂණවාදය’ හෙවත් විදේශීය නිෂ්පාදන අධෛර්ය මත් කොට දේශීය නිෂ්පාදන ආරක්ෂාකර ගැනිමේ ප්‍රතිපත්තිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැක. වසර 50 – 100 ක් අතීතයට ගොස් ඇමරිකාව තම නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂාකර ගැනීම සඳහා විශේෂයෙන්ම ආනයනික ආහාර අධෛර්යමත් කිරීම සඳහා බදු පැනවු ආකාරය සොයා බැලීමේදී එම බදු යම් අවස්ථාවල 300% දක්වා ඉහළ අගයක් ගත් බව දැකගත හැක. ඊට අමතරව විවිද බදු නොවන බාධක යොදා දේශීය නිෂ්පාදන ආරක්ෂාකරගත් ආකාරයද අද ජීවත්වන පරපුර දන්නේ නැත. මහාචාර්ය හෝ ජූන් චෑන් මහතා කියන ආකාරයට ඇමරිකාව ඉණිමගට පයින් ගසන්නේ ඉහලට නැගීමෙන් පසුවය. නමුත් අද අපට උපදෙස් දෙන ඇමරිකාව ගැන නොදන්නා ඇමරිකාවෙන් උගත් බව කියන පිරිස් කියන්නේ ඉහළට නැගීමට පෙර ඉණිමගට පයින් ගසන ලෙසය.

ඇමරිකානු මැදිහත්විමෙන් දෙවන ලෝක යුද්ධය අවසන් වු වහාම 1940 දශකයේදී ලෝකය පාලනය කිරිමේ නව යටත් විජිත උපාංග ලෙස ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වු බව රහසක් නොවේ. එහෙත් ඔවුන් ගෝලීය මට්ටමෙන් වෙළඳාම නිදහස් කිරීම සඳහා රටවල් පෙළඹවීම මුල්කරගෙන ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 1990 දශකයේ දී එනම් වසර 50 කට පසුවය. එම කාලය තුල ආරක්ෂණවාදී ඉණිමග භාවිතා කොට ඉහළට නැග ගත් පසුව දැන් අප වැනි රටවල ඉණිමඟට පයින් ගසන ලෙසට ඔවුහු උපදෙස් දෙති. දැන් ඔවුන් අපට කියන්නේ ‘ආරක්ෂණවාදය’ යනු බැහැර කළ යුතු දුප්පත් ප්‍රතිපත්තියක් බවය. ඔවුන්ගේ වට්ටෝරු අනුව ළදරු දේශීය නිෂ්පාදකයා විදේශීය වැඩිහිටි නිෂ්පාදකයා සමඟ තරඟ කොට ජය ගත යුතුය. ඒ අනුව රට තුළට විදේශීය නිෂ්පාදන ආනයනය කරන සමාගම් වලට බදු පැනවීම නොකළ යුතු වනවා පමණක් නොව ඔවුන්ට වෙනත් සහනද ලබාදිය යුතුය. ශ්‍රී ලංකාවට 1978 දි නිර්දේශ කළ එම වට්ටෝරු අනුව පක්ෂ හෝ ප්‍රතිපත්ති භේදයක් නැතිව සෑම ආණ්ඩුවක්ම එකම ඖෂධය පානය කරන බව රහසක් නොවේ. වර්ථමාන ආණ්ඩුව තිරිඟු පිටි ආනයනය සඳහා කි.ග්‍රෑම් 1 කට රු. 28 බදු සහනයක් ලබදෙන්නේ පසුගිය රජය විසින් තිරිඟු ඇට කි.ග්‍රෑම් 1 කට රු. 20 ක බදු සහනයක් ලබා දී ඇති තත්වයක් යටතේය.

තිරිඟු පිටිවලට ලබා දෙන එම නව බදු සහනය සාධාරණීකරණය කරෙන්නේ තිරිඟු ඇට ආනයනය කරන සමාගමේ ඒකාධිකාරිය බිඳීමේ නාමයෙනි. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ ආනයනික ආහාර සඳහා සහනාධාර ලබාදී දේශීය සහල් නිෂ්පාදනයට අභියෝග කිරීමය. මෙම බදු සහන සමාගම් වලට ලබා දෙන ලෙස හෝ එසේ ලබා දෙන සහන වලින් කොටසක් පමණක් මහජනයාට ලබා දෙමින් අඩු මිලට පාන් දෙන ලෙස ගොවින් හෝ පාරිභෝගිකයින් හෝ පොදු ජනතාව විසින් ඉල්ලා නැත. එම ඉල්ලීම කරන්නේ ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රභලයෙකු විසින් බව වාර්ථා වේ. ඉහත සඳහන් කළ ආරක්ෂණවාදී නොවීමේ න්‍යාය අනුව දැන් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදකයාට ඇමරිකාවේ තිරිඟු ගොවියා සමඟ තරඟ කොට ජය ගැනීමට සිදු වේ. අප වැනි රටවලට අඩු මිළට තිරිඟු පිටි ප්‍රතාපනය කරන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අනුව ගොවීන්ට ලබා දෙන 20% පමණ ඉතා ඉහළ සහනාධාරයක්ද යොදා ගනිමිනි. ශ්‍රී ලංකාවේදී ලබා දෙන බදු සහන මඟින් කෙරෙන්නේ විදේශයකදී එම රටේ ගොවියාට ලබා දෙන සහනාධාරය තව දුරටත් වැඩි කිරීමය. එසේනම් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදකයා තරඟ කළ යත්තේ තමා විසින්ම සහනාධාර ලබා දී ශක්තිමත් කරන ප්‍රතිවාදියෙකු සමඟය. එනම් අඩු මිල පාන් පිටි සහ පාන් සමඟ තරඟ කිරීම සඳහා ගොවියා සහ සහල් නිෂ්පාදකයා තම ශ්‍රමදායකත්වය වැඩි කරමින්, වියදම් සහ ලාභය අඩු කරගගත යුතු අතර තිරිඟු පිටි වලට වඩා ආකර්ෂණීය ලෙස සහල් නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කළ යුතුය.

මෙම වැරදි න්‍යාය මත පදනම් වන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ හැකිද? එසේ සිදු කළ රටක් ලෝකයේ කුමන අන්තයක හෝ තිබේද? එම ප්‍රශ්ණට පිළිතුරු දෙන, ඇමෙරිකාව සත්‍ය වශයෙන්ම කළ දේ නොදන්නා, විද්වතුන් අපට උපදෙස් දෙන්නේ කෘෂි ආර්ථිකයට වඩා කර්මාන්තකරණයට සහ සේවා අංශ වලට ප්‍රමුඛතාවය දෙන ලෙසටය. නමුත් තිරිඟු පිටි වලට බදු සහන දුන් විට සහල් කර්මාන්තය ඇඳවැටෙන බව හෝ පාම්තෙල් ආනයනයට බදු සහන දුන් විට පොල් ආශ්‍රිත කර්මාන්ත කඩා වැටෙන බව ඔවුන් පිළිගන්නේ නැත. අප රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% සඳහා දායක වන්නේ එවැනි කුඩා හා මධ්‍යම පරිමාන කර්මාන්ත වුවත් ඒවා අපනයනයට දායක වන්නේ 5% වැනි සුළු ප්‍රමාණයකි. ඊට හේතුව ආනයනික නිෂ්පාදන වලට ලබා දෙන බදු සහන – විශේෂයෙන්ම වෙළඳ ගිවිසුම් හරහා ලබා දෙන බදු සහන – නිසා වෙළඳපළ කඩා වැටීම තුළ එම නිෂ්පාදන වල ප්‍රමාණය සහ ගුණය වර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධන අතිරික්තයක් නොතිබීමය.

පොල් ආශ්‍රිත කාර්මික නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් තිබියදී පවා, විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව පවතින 90% වූ කුඩා සහ මධ්‍යම පරිමාන කර්මාන්ත වලට හිස එසවීමට නොහැකි වි ඇත්තේ ආනයනික ෂාම් තෙල් වලට ලබා දෙන මහා පරිමාන බදු සහන නිසාය. මෙම විකෘතිය නිසා පොල් තෙල් නිෂ්පාදන අපනයනය සහ පාම්තෙල් ආනයනය පවතින්නේ 1:9 අනුපාතයක වන අතර වසරකදී රට තුළ ආනයනය කරන පාම්තෙල් ප්‍රමාණය මෙ.ටො 240,000 ඉක්මවා යයි. ඒ මඟින් ඉතා සරලව පැහැදිළි වන්නේ ආරක්ෂණවාදී නොවී කෘෂිකාර්මික හෝ ඒ ආශ්‍රිත කාර්මික නිෂ්පාදන ආර්ථිකය ගොඩගත නොහැකි බව නොවේද? එසේම ඒ මඟින් කෘෂි ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය වෙන්කොට ප්‍රතිපත්තිමය තීන්දුගත නොහැකි බවද ඔප්පු වේ.

ඒ අනුව නව ආණ්ඩුවේ වගකීම වන්නේ පයින්ගසා බිම පෙරළා ඇති ඉණිමග විසිකිරීම නොව එය නැවත කෙලින් කොට ශක්තිමත්ව ස්ථානගත කිරීමය. ඒ සදහා වන පළමු පියවර ඉණිමගට පයින් ගැසීමට උපදෙස් දෙන රටවල් ඉණිමග භාවිතා කළ ආකාරය ගැඹුරින් තේරුම් ගැනීමය. එනම් යටිතල පහසුකම් සහ නාගරික ඉදිකිරීම් මුල් කරගත් නගර අලංකරණ සිහින මොඩලය සැබැවින්ම පැළකිරීම සඳහා ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍ය බව පිළිගැනිමය. අප රටේ ශක්තිමත් කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය භූ පාරිසරික සහ දේශගුණික තත්වයන් ස්භාවිකවම පිහිටා ඇත. ඊට අමතරව ඒ සඳහා මූලික අවශ්‍යතාවයක් වන වාරි යටිතල පහසුකම් පද්ධතියද වසර දහස් ගණනකට පෙර නිර්මාණය කොට ඇත. දැන් එම පද්ධතිය ස්වාභාවික පරිසරයේම කොටසක් බවට පත් වී ඇත. වර්ථමාන පාලකයින්ට ඉතිරි වී ඇත්තේ අතීත රජුන්ට පින් දී, ඔවුන් නිර්මාණය කළ දේ විනාශ නොකර ඉන් උපරිම ඵල නෙළා ගැනීම පමණි.

අප රටේ ජනගහණයෙන් 25% කට අධික පිරිසක් ජීවත් වන්නේ කෘෂි කර්මාන්තයෙනි. පවුල් ලක්ෂ 15 කගේ ජීවිත ඒ සමඟ බැඳී ඇත. දළ වශයෙන් දැනට හෙක්ටයාර් මිලියන 1.6 ක් පමණ වාර්ෂික සහ බහු වාර්ෂික බෝග වගා කිරීම සඳහා යොදා ගැනෙයි. ඊට අමතරව එම භූ ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 2.5 දක්වා වැඩි කිරීමේ විභවයක් ඇත. නමුත් අප දළ වහයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක් පමණ වැය කොට ආහාර ආනයනය කරන ලැජ්ජා නැති ජාතියකි. ඩොලර් මිලියන 10,000 පමණ වෙළඳ හිඟයක් පවතින අප රටේ ආහාර ආනයනය සඳහා ඩොලර් සොයා දෙන්නේ මැද පෙරදිග දහඩිය, ලේ, කඳුළු හෙළන අපරටේ කාන්තාවන් විසිනි. ඔවුන්ගේ මළකඳන් වසරකට 300 – 400 අතර ප්‍රමාණයක් එම ඩොලර් සමඟ රට තුළට පැමිණේ. එම මළකඳන් හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් සියළු දෙනා වෛද්‍ය පරීක්ෂණ වලින් සමත්ව විදේශීය අර්ධ වහල් සේවයට යන අය බව අමතක කළ යුතු නැත. ඒ අනුව අප ජාතියේ ලැජ්ජා නැති කමේ තරම කොතැක්දැයි තවදුරටත් පැහැදිළි වේ.

අප රටේ 2014 වසරේදී කිරි පිටි ආනයනය සඳහා රු. මිලියන 44,000 ක් සහ තිරිඟු පිටි ආනයනය සඳහා රු. මිලියන 52,000 ක් වැය කොට ඇත. එම ප්‍රමාණය 2018 වන විට පිළිවෙළින් රු. මිලියන 54,000 ක් දක්වා සහ රු. මිලියන 60,000 ක් දක්වා වැඩිවීම තුළින් පෙන්වන්නේ ගතවන සෑම වසරක් පාසාම අප ජාතියක් ලෙස විලිලැජ්ජා නැති කම වර්ධනය කර ගන්නා බව නොවේද? ඒ අතර 2015 දි කි.ග්‍රෑම් මිලියන 329 වූ තේ නිෂ්පාදනය 2018 වන විට කි.ග්‍රෑම් මිලියන 303 ක් දක්වා අඩු වී ඇත. එසේම 2015 දී ගෙඩි මිලියන 3000 ක් වූ පොල් නිෂ්පාදනය 2018 වන විට ගෙඩි මිලියන 2600 දක්වා අඩු වී ඇත. ඒ අනුව වටිනාකම් එකතු කොට අපනයනය කළ හැකි කෘෂි වැවිලි නිෂ්පාදනය කඩා වැටීම තුළින් ඒ ආශ්‍රිත කර්මාන්තයද කඩා වැටෙන බව සරල සත්‍යයකි. බලයට පත් වන සෑම ආණ්ඩුවක් සමඟම සබඳතා ගොඩ නගා ගන්නා ආහාර ආනයන කරුවන් ලෙස පෙනී සිටින කූඨ ජාවාරම් කරුවන් අතලොස්සක් පාම්තෙල් වලට බදු සහන ලබා ගනිද්දී පොල් වගාව සහ කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද? බදු සහන යටතේ නීති විරෝධිව පිටරට බාල තේ වර්ග ආනයනය කොට ‘සිලෝන් ටී’ සන්නාමය විනාශ කරන ජාවාරම් කාරයින්ට බදු සහන දෙන රටක තේ වගාව හෝ කර්මාන්තය දියුණු කළ හැකිද? තිරිඟු පිටි වලට බදු සහන දෙමින් සහල් සහ සහල් පිටි කර්මාන්තය දියුණු කළ රටක් සොයාගත හැකිද?

බලයට පත් වන ආණ්ඩුවක්ම මෙම කණගාටුදායක තත්වයෙන් රට ගලවා ගැනීමට යැයි කියමින් විවිධ නම් වලින් වගා සංග්‍රාම ආරම්භ කල බව සහ කෘෂි ආර්ථිකයේ සැපයුම් පැත්තේ යෙදෙවුම් වැඩි කළ බව සත්‍යයකි. එහෙත් ඉල්ලුම පැත්තෙන් ගත් විට ආනයන වලට බදු සහන දෙමින් වෙළඳපළ මිල විකෘති කිරීම නිසා ඒ කිසිඳු ප්‍රවේශයකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබි නැත. සැපයුම් පැත්තේ යෙදෙවුම් වුවද අතාර්කික සහ ප්‍රථිලාභ දායක නොවන ලෙස තේරීම සහ යෙදවීම පිලිබඳ හොඳම උදාහරණය පොහොර සහනාධාරය බව කීව යුතුය. ඊට අමතරව බදු අරමුදල් යොදවමින් නඩත්තු කරන කෘෂිකර්ම සහ ගොවිජන සේවා රාජ්‍ය ආයතන පද්ධතියද ප්‍රතිඵලදායක ලෙස යෙදවීමට නොහැකි වී ඇත්තේ ඉහත සඳහන් කළ ආරක්ෂණ වාදී නොවිමේ මූලික උපාය මාර්ගික වරද නිසාය. නමුත් ඒ බව වටහා නොගන්නා පාලකයෝ එම ආයතන වල කාර්යක්ෂමතාවය සහ එම ආයතන හරහා යොදවන අරමුදල් ප්‍රමාණය පිළිබඳව පුරසාරම් දොඩවති. උපාය මාර්ගය වැරදි නම් කාර්යක්ෂමතාවය 100% වුවද ප්‍රතිඵලදායකත්වය 0% කි. එවිට කාර්යක්ෂමතාවයද 0% ලෙස සැලකිය යුතුවේ.

ඒ අනුව කෘෂි ආර්ථිකය ශක්තිමත් කොට කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් නිර්මාණය කිරීම සඳහා පළමුව උපායමාර්ගික ප්‍රවේශය නිවැරදි කර ගත යුතු බව පිළිගැනීමට සිදුවේ. එසේ නොමැතිව වැඩ කළ පමණින් හෝ රටම වැඩ බිමක් කළ පමණින් ගොඩ ඒමක් නැති බව පළමුව පිළිගත යුතුය. අප රටේ වර්ෂාපතනය අනුව ගත් විට අප රට ලෝකයේ වාසනාවන්තම රටකි. ලෝකයේ වැඩිම අභ්‍යන්තර ජලාශ ඝනත්වය සහිත රට ශ්‍රී ලංකාව බව පැවසේ. අප රටේ 50 කට අධික මහා පරිමාන යැයි සැළකෙන ජලාශ සහ 35,000 කට ආසන්න කුඩා වැව්, අමුණු සහ වෙනත් කුඩා ජලදේහ සහිත වාරි පද්ධතියක් පවතින බවට දත්ත ගෙනහැර දැක්විය හැක. එහෙත් ඒ වාසනාවන්ත භූමිය මතට අහසින් වැටෙන කියුබික් මීටර් බිලියන 100 ක් අධික ජල ප්‍රමාණයෙන් 50% – 60% දක්වා ප්‍රමාණයක් අහසින් වැටුණු සැනින් මුහුදට ගලා යාම අරඹන බව අප දන්නේ නැත. එම ජලය පොළොවට උරා ගැනිමෙන් තොරව එසේ පස සෝදා හරිමින් සහ ගංගා බොරකරමින් මුහුදට ගලායන්නේ කුමක් නිසාද? ඊට මූලික හේතුව පස රැකගැනිමට ප්‍රමුඛතාවය ලබා නොදීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජලදේහ වල මඬ තැම්පත්වී ඒවායේ ධාරිතාව අඩු වීමය. දැනට වැව් ගොඩවන වේගය අනුව 2040 වන විට සෑම කුඩා වැවකම මිනිසෙකුට වැව් බැම්මේ සිට වැව් පිටියට මතුපිටින් ඇවිද යා හැකි වන බවද පැවසේ.

මේ සියළු නිශේධාත්මක තත්වයන් යටතේ ඒවා වෙනස් කොට කෑමෙන් බීමෙන් සපිරි වාසනාවන්ත රටක් ගොඩ නැගීම සඳහා ගත යුතු උපාය මර්ගික තින්දු ප්‍රමාණය අතේ ඇඟිලි වලින් ගණනය කළ හැකි තරම් සරල බව ද කිව යුතුය.

ඉන් පළමු වැන්න වෙළඳපළ මුල්කර ගත් කෘෂි නිෂ්පාදන පද්ධතිය, ආහාර සුරක්ෂිතතාවය සහ පරිසර පද්ධතියේ දීර්ඝ කාලීන පැවැත්ම මුල් කර ගත් කෘෂි නිෂ්පාදන පද්ධතියක් බවට පරිවර්ථනය කිරීමය. එය බොහේ විට භාණ්ඩාගාරයේ හෝ කෘෂි අංශවල උසස් නිලධාරීන් විසින් ගනු ලබන තාක්ෂණික තීන්දුවකට වඩා සමස්ථ රාජ්‍ය සහ පොදු ජනතාව විසින් ඇතිකරගත යුතු මනෝභාවයකි. වෙළඳපළ නොසළකා හරින බවක් ඉන් අදහස් නොවේ. ගොවියා විසින් සහ අසල්වැසියා විසින් පරිභෝජනය කොට ඉතිරි වන අතිරික්තය ඒ ඒ භූගෝලීය මට්ටම් වලින් වෙළඳපළට ඉදිරිපත් කෙරෙන බව කුඩා ළමයෙකුට වුවද වටහා ගත හැකිය. ආහාර සුරක්ෂිතතාවය යනු ගෘහයේ සිට විවිධ භූගෝලීය මට්ටම් වලින් සපුරා ගන්නා තත්වයකි. ඉතා සරලව ගතහොත් ගෙදර වත්තේ හිස්ව පවතින ඉඩක කොස් ගසක් වවන පුද්ගලයා එම තීන්දුව ගැනීමේදී සැලකිල්ලට ගත යුත්තේ තමාගේ ශ්‍රමයේ වටිනාකම හෝ වෙළඳපළ තුළ කොස් වලට වටිනාකමක් ලැබේද යන කරුණු නොව ගෙඩි හැදුනොත් ඕනෑම අයෙකුට ආහාරයට ගත හැකි බවය. එහිදී අතිරික්තය අසල්වැසියාට දීම හෝ වෙළඳපළට ඉදිරිපත් කිරීම හෝ ගස යට වැටී පසට එකතු වීම යන කරුණු ද්විතික කොන්දේසි බවට පත්විය යුතුය.

එම මනෝභාවය සමස්ථ ජාතියේ ඔලුවට ඇතුල් කරන්නේ නම් සෑම බිම් අගලකක්ම වගා කල යුතුය යන සටන්පාඨය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් හෝ ව්‍යාපෘති අවැයක් අවශ්‍ය වන්නේ නැත. එවිට ආහාර භෝග වගා කරන්නේ ගෙවත්තේද, ගොවි බිමේද, පන්සල් හෝ පාසල් වත්තේද, මහා මාර්ග දෙපසද, රජයේ මුඩු හෝ හිස් බිමකද එසේ නැතිනම් රජයේ ගොවිපළක ද, එසේත් නැතිනම් නායයෑම් වැළැක්වීම සඳහා කඳුබැවුම් ශක්තිමත් කිරීමට ද යන කාරණා වැදගත් නොවේ. නමුත් සමාජය තුළ ඊට අදාළ මනෝභාවය තහවුරු කිරීම සඳහා යම් පූර්ව කොන්දේසි ප්‍රමාණයක් සැපිරීමට රාජ්‍යය බැඳී සිටියි.

ඒ අනුව දෙවන උපාය මාර්ගය වන්නේ ජාතියේ පැවැත්ම තීරණය කෙරෙන ආහාර සුරක්ෂිතතාවයට අදාල මහජන වගකීම, පුළුල් මට්ටමින් අධ්‍යාපනික වැඩසටහන් සහ ක්‍රියාකාරකම් මඟින් තහවුරු කිරීමය. රටේ ආහාර සුරක්ෂිතතාවය රැකීම සෑම පුරවැසියකුගේම සහ සෑම රාජ්‍ය ආයතනයකම පරම වගකීම බවට පත් විය යුතුය. ඒ අනුව ඊට අදාළව නිශ්පාදනයට දායක වීම සහ ඊට සාපේක්ෂව ආහාර පුරුදු වෙනස් කර ගැනීමද මහජන වගකීමක් බවට පත්වේ.

තුන්වන උපාය මාර්ගය වන්නේ කෘෂි යටිතල පහසුකම් පද්ධතිය විශේෂයෙන්ම රට පුරා විසිරී ඇති වැව් අමුණු පද්ධතිය උපරිම ධාරිතාවට වැඩි දියුණු කිරීමය. එහිදී යම් ජල දේහයක් සෘජුව වගා බිමකට ජලය සපයනවාද නැද්ද යන්නට වඩා භූමියේ ජලය රඳවාගැනීමට දායක වනවාද යන කරුණු වැදගත් වේ. ඒ තුළ සමස්ථයක් ලෙස වගාව සඳහා යොදා ගන්නා ‘තිරස් ජල ධාරිතාව’ උපරිමයෙන්ම වැඩි කර ගැනිම, භූගත ජල මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනිම සහ පස සෝදා යාම වැලැක්වීම මෙන්ම ගංවතුර සහ නායයාම වැළක්වා ගැනීමද මූලික අරමුණ බවට පත් වේ. අවසානයේදි සමස්ථ රටේම හරිත භූමියේ පැවැත්ම සිරස් ජලය හෙවත් වැසි ජලයට වඩා භූමියේ රඳවා ගන්නා ජලය මත තීරණය වේ. වැව් ආශ්‍රිත හරිත භූමි සියල්ල ආහාරයට ගත හැකි ආහාර බෝග වර්ග විශේෂයෙන් ඌන භාවිත ආහාර භෝග වගාව ප්‍රචලිත කිරීම සඳහා යොදා ගන්නා අතර සියළු ජලාශ මිරිදිය මත්ස්‍යය නිෂ්පාදනය සඳහා උපරිමයෙන් යොදා ගැනීමද ඉතා වැදගත් වේ. ඒ සියල්ල ප්‍රාදේශීයව මහජනයා සහ විශේෂයෙන්ම පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කළයුතු දේ මිස රාජ්‍ය ආයතන විසින් කොන්ත්‍රාත් පදනමින් කලයුතු දේ නොවේ.

හතරවන උපාය මාර්ගික තේරිම වන්නේ ඉහත සඳහන් කල පරිදි ඉතා වැදගත්ම උපාය මාර්ගික තේරීම ලෙස හඳුනාගත හැකි ආරක්ෂණවාදය අවිවාදයෙන් පිළිගැනිම සහ එය සමාජගත කිරීමය. ඒ මඟින් දේශීය නිෂ්පාදනය අඩාල කරමින් ආනයනික ආහාර අඩු මිලට පරිභෝජනය කිරිම මහා ජාතික අපරාධයක් බවට සමාජ මතවාදය තහවුරු කළ යුතුය. එසේම ආනයනික ආහාර වලට පනවා තිබී පසුව ඉවත් කල බදු නැවත පැනවීම සහ නව බදු සහ නොවන බාධක පැනවිම ආදි ක්‍රියාමාර්ග ඊට අයත්වේ. ආණ්ඩුවේ ධෛර්ය උරගා බැලීම සඳහා පළමු වටයේදී ආනයනික කිරිපිටි මෙන්ම තිරිඟු පිටි සහ ඇට යන දෙකටම පනවා තිබූ සහ පසුව ඉවත් කළ බදු නැවත පැනවීම සුදුසු වේ. එහිදී අදාළ බදු ආදායම් සහ ඒවා වියදම් කිරීම පිළිබඳ තොරතුරු විනිවිදභාවයෙන් යුතුව මහජනයාට ලබා දීම සහ එම බදු ආදායම් අඩු ආදායම් ලාභීන්ගේ සුබ සාධනය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පමණක් යොදවන බවට රජය විසින් මහජනයාට සහතිකයක් ලබා දීම තීරණාත්මකව වැදගත් වන කරුණකි.

පස්වන උපාය මාර්ගික ප්‍රවේශය ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමය. ඒ මඟින් දේශීය ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස ප්‍රචලිත කිරිම සඳහා අධ්‍යාපනික සහ වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම මෙන්ම අදාළ නීතිමය රාමු ශක්තිමත් කිරීමද වැදගත් වේ. පවතින ආහාර පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සහ නව ආහාර සුරක්ෂිතතා පනතක් හඳුන්වා දීමද ඊට අයත් වේ. ඇත්තවශයෙන්ම මෙය ඉහත සඳහන් කළ පළමු සහ දෙවන උපාය මාර්ගය සමඟ එකට බැඳී ඇත.

හයවැනි උපාය මාර්ගික ප්‍රවේශය ඉහත සඳහන් කළ පස්වැදෑරුම් ප්‍රවේශය කළමණාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන පද්ධතිය නැවත ස්ථානගත කිරීමය. ඒ මඟින් සෑම බිම් අගලකටම වග කියන සහ සෑම බහුවාර්ශික ආහාර ශාකයකම පැවැත්මට වග කියන ක්ෂේත්‍ර නිලධාරියකු යෙදවිය යුතුය.

ඒ සියළු ප්‍රවේශයන් සාර්ථක වීම සඳහා තවත් අතුරු ප්‍රවේශයන් කිහිපයක්ද වැදගත් වේ. ඒවා බොහෝ විට පරිපාලන ක්‍රියාමාර්ග පමණි.

• පළමු වැන්න සහල්, සහල් පිටි සහ තිරිඟු පිටි සඳහා මිල සූත්‍ර හඳුන්වා දීමයි.

• දෙවැන්න පෙහොර සහනාධාරය කොන්දේසි සහිතව මුදල් ලෙස ගොවිජන බැංකුව හරහා ගොවියාට ලබා දීමය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කිරීමටද සිදුවනු ඇත. එම කොන්දේසි අතරට විනාශකාරී ගොවිතැන් ක්‍රමවේද වෙනස් කිරීම සහ බෝග වගාව සමඟ කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම වැනි අවශ්‍ය දේ ඇතුල් විය යුතුය.

• තුන් වැන්න ආහාර ආනයන බදු මුදල් යොදවා පශු සම්පත් මණ්ඩලය යොදා ගනිමින් ජාතික කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කොට ගොවීන්ට වසු පැටව් ලබා දීමය.

• හතරවැන්න රජයේ බීජ ගොවිපළ සහ පර්යේෂණ ආයතන නැවත සක්‍රීයකොට බීජ සුරක්ෂිතතාවය සහතික කිරීම සහ රජයේ ගොවිපළ යොදා ගනිමින් ආදර්ශ ගොවිපළ ජාලයක් සහ බීජ සහ රෝපන ද්‍රව්‍ය සැපයුම් ජාලයක් විධිමත්ව පවත්වා ගෙන යාමය.

ගෝඨාභය රාජපක්ෂ වැනි මුළු ලෝකයක් විසින් දිනන්නට බැරි බව කී අභියෝගයක් ජයගත් පාලකයෙකුට ඒ සියල්ල සියල්ල කිරීම සඳහා අවශ්‍ය වන්නේ මාස් කන්න දෙකක් පමණි.

– වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි.)

*****************************************

ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝන යානයක්

(06.05.2020 – nethnews.lk)

ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ඩ්‍රෝන යානයක් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය නිර්මාණය කළ බවයි එම විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ඩෙවින් ප‍්‍රනාන්දු සිසුවා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

ජංගම මුර සංචාරවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන්ට ද මෙම ඩ්‍රෝන යානය හරහා පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්ය පරීක්ෂා කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *