ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළට (විඩියෝ)

• රාජගිරිය සාලමුල්ල දෙන්නා හා හෙදි පාලිකාවට කොරෝනා දැන් ‘නෙගටිව්’ලු

• ඊයේ (06) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1147 ක් (විඩියෝ)

• ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයන් 197 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය දිවයිනට (විඩියෝ)

• දිවයින පුරා ඇඳිරි නීතිය (විඩියෝ)

• ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙන් රුපියල් මිලියන 22 ක පරිත්‍යාගයක් (විඩියෝ)

• සෞඛ්‍ය නීති රීති මඟ හැරි, වැලිගම මුස්ලිමීගේ ක්ෂණික අවසන් කටයුතු පොලිසිය නතර කරයි

• පැවති ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් 20 දෙනෙකුට වරදී (විඩියෝ)

• දන්සල්, තොරණ්, ශීල ව්‍යාපාර නොමැතිව සම්බුදු තෙමඟුල සැමරේ (විඩියෝ)

• වෙසක් පුන් පොහෝ දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය

• අගමැති, මුණුපුරු නිර්වාන් සමඟ වෙසක් සැමරුමට සූදානම් වූ හැටි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළට

(06.05.2020 – 23:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (06) තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (06) දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 26 ක්.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 573 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

215 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර මරණ 09 ක් ද මෙරටින් වාර්තා වුනා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රාජගිරිය සාලමුල්ල දෙන්නා හා හෙදි පාලිකාවට කොරෝනා දැන් ‘නෙගටිව්’ලු

(06.05.2020 – gossiplankanews.com)

ඊයේ (05) මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් රාජගිරිය මැක්ඩොනල්ඩ් අසළ ත්‍රීරෝද රථ සේවයක යෙදී සිටින බණ්ඩාරනායක පුර වාසය කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොරෝනා ආසාදිත බවට පැවසුණත් ඔහු ඌන ආසාදිත බවත් ඔහුට කොරෝනා නැති බවත් අද (06) පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

එමෙන්ම කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකරු සහ මාළඹේ පදිංචි ජාතික රෝහලේ හෙද පාලිකා නිලධාරිනියටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති ඌන ආසාදිතයින් බව ඔහු කීය.
නැවත සිදුකළ පරීක්ෂණවලින් ඔවුන් සෘණාත්මකවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

මොවුන් නිසා නිරෝධායනයට යොමු කළ අයට දැන් ඒ අනුව අවදානමක් නැත.

ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස නම් කළත් ‘ඌන ආසාදිත’ යන්න අර්ථ ගැන්වූයේ මුලින් ධනාත්මකවී පසුව සෘණාත්මක වීමද නැතිනම් වෙනත් දෙයක්දැයි පැහැදිලි නැත.

මේ ආකාරයට පිළියන්දල ප්‍රදේශය කැළඹූ මාළු වෙළෙන්දාද ඉක්මණින් රෝහලින් පිටත් කලේ කොරෝනා සෘණාත්මක බව දෙවන තෙවැනි පරීක්ෂණ වලදී හෙළිවීමෙනි. එසේම පිළියන්දල 87 හැවිරිදි මියගිය පුද්ගලයෙකුගේද ආසාදන තත්වයන් ගැන වැරදි නිගමන මින් ඉහත ලැබී තිබුණි.

චීනයෙන් ආනයනය කරන කොරෝනා පරීක්ෂණ කට්ටලවල දෝෂ සහගත තත්වයන් නිසා ලෝකයේ රටවල් කිහිපයක්ම එම කට්ටල ආපසු හරවා යැවූ සිදුවීම්ද පසුගිය කාලයේ වාර්තා විය.

අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (06) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1147 ක්

(07.05.2020 – 09:18 +0530 – hirunews.lk/sinhala)

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ තත්වය හැරුණු විට එම වෛරසය පොකුරු වශයෙන් ආසාදනය වීමේ තත්ත්වයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී. වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (07) උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ (06) දිනයේ පී සී ආර් පරීක්ෂණ 1147 ක් සිදු කර ඇති බවයි ෴

++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++

දින 15 ක සිට හුදකලා කර තිබුණු පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අභයපුර ගම්මානය අද (07) යළි විවෘත කෙරුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පොළොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ පළමු කොරෝනා ආසාදිත සෙබලා සොයාගැනීමෙන් පසුව පසුගිය මස 22 වනදා සිට මෙම ගම්මානය ඇතුළු ගම්මාන 11 ක් හුදකලා කෙරුණා.

මේ අතර මෙරටින් කොරෝනා ආසාදිතයන් ඊයේ (06) දිනයේදී 29 දෙනෙකු වාර්තාවූ අතර, ඉන් 24 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ඉතිරි පස්දෙනා (05) නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතමයින් වන අතර ඊට නාවික හමුදා සෙබළෙකුගේ අවුරුදු 07 ක් වයසැති කුඩා දරුවෙකු ද අයත්.

මීට අමතරව අද (07) දිනයේදීත් නිරෝධායන මධ්‍යස්ථානවලින් තවත් පුද්ගලයින් පිරිසක් නිරෝධායනය අවසන් කර පිටත්ව යන බවද යුද හමුදාපතිවරයා කියා සිටියා.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ තත්ත්වය හැරුණු විට එම වෛරසය පොකුරු වශයෙන් ආසාදනය වීමේ තත්ත්වයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණ 1147 ක් සිදු කර ඇති බවයි.

මෙරට 09 වන මරණය වාර්තා වූ මෝදර මෙත්සඳ නිවාස සංකීර්ණය තවදුටත් හුදකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර එහි වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කර ඇති බවයි මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන් අතුකෝරල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 797 ක් ලෙස සටහන් වන අතර, සුවය ලැබූවන්ගේ 215 ක්.

එමෙන්ම තවත් 573 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා ෴

++++++++++++

හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබූ පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අභයපුර ගම්මානය අද (07) යළි විවෘත කර තිබෙනවා.

පොළොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කදවුරේ පළමු කොරෝනා ආසාදිත සෙබලා සොයාගැනීමෙන් පසුව පසුගිය මස 22 වනදා සිට මෙම ගම්මානය හුදකලා කෙරුණා ෴

++++++++++++++

++++++++++++++

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන ලබන 11 වනදා විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවක කණ්ඩායමක් පමණක් යොදවා ගනිමින් මෙම ආයතනවල කටයුතු පවත්වාගෙන යා යුතු බවයි ෴

++++++++++++++

ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට යා නොහැකිව නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් වසම්වල රැඳී සිටි 1200 කට ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත් කර යැවීම අද (07) සිදුකෙරුණා.

ඒ, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මූලික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම මත බස්නාහිර පළාතේ රැඳී සිටින තවත් පිරිසක්ද වෛද්‍ය නිර්දේශ මත ඉදිරියේදී මෙලෙස පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයන් 197 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය දිවයිනට

(07.05.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන්තෝටුපොළ වෙත පැමිණ තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා ඇඳිරි නීතිය

(07.05.2020 – 08:57 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මේ වනවිට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය 11 වනදා සඳුදා අලුයම 05:00 දක්වා ක්‍රියාත්මකයි.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව වෙසක් පොහොය සහ සති අන්ත නිවාඩුව පදනම් කරගනිමින් මෙලෙස දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

වෙසක් පොහොය දිනය වන අද (07) දිනයේ බොහෝ පිරිස් ආගමික වතාවත් ඉටු කිරීමේදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එය සිදුකළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

වෙසක් පොහොය හේතුවෙන් බේරුවල ධීවර වරායේ සියලු සේවා කටයුතු අද (07) සහ හෙට (08) දෙදින තුළ ක්‍රියාත්මක නොවන බව එහි කළමනාකාරීත්වය ප්‍රකාශ කළා.

එමෙන්ම අද (07) දිනයේ වරාය පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට නියමිතයි.

කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06) කියා සිටියේ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට හාම්පුතුන්ගේ සංගමය එකඟ වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්, හාම්පුතුන්ගේ සංගමය සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පවත්වා ඇති අතර, එහිදී මෙම එකඟතාවට පැමිණි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ග්‍රාම නිලධාරීන්, කෘෂිපර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධ නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා මාසික අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉදිරි සතියේ සිට මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිත අතර වසමක් සඳහා ඉන්ධන දීමනාව මසකට රුපියල් 450 ක්ද අමතර වසමක රාජකාරි සිදුකරන්නේ නම් වසම් දෙකම සඳහා රුපියල් 600 ක්ද සන්නිවේදන වියදම් දීමනාව එක් වසමක් සඳහා රුපියල් දහසක් සහ වසම තුළ ගමන් වියදම් දීමනාව එක් වසමකට රුපියල් 1,200 ක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා කියා සිටියේ.

එමෙන්ම, වීසා කාලය ඉක්මවා කුවේට් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙන් රුපියල් මිලියන 22 ක පරිත්‍යාගයක්

(06.05.2020 – president.gov.lk)

ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රුපියල් මිලියන 22 ක් පරිත්‍යාග කරයි.

සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය නීති රීති මඟ හැරි, වැලිගම මුස්ලිමීගේ ක්ෂණික අවසන් කටයුතු පොලිසිය නතර කරයි

(07.05.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

= සෞඛ්‍ය නීති රීති මඟ හැරි, වැලිගම කන්තාවකගේ ක්ෂණික අවසන් කටයුතු පොලිසිය නතර කරයි =

වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරීමට අද (07) දින වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගෙන තිබෙනවා.

වැලිගම – අලුත් විදීය ප්‍රදේශයේ පදිංචි වයස 54 වන කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඇති එම කාන්තාව අද (07) උදෑසන අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය මාතර පුද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍ය උපදෙස් මත ඇයව රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම උපදෙස් නොකතා මෙම මුස්ලිම් ජාතික කාන්තාව නැවත නිවස වෙත රැගෙන එන අතරතුර මියගොස් ඇති බව සඳහන්.

අනතුරුව පවුලේ ඥාතිවරුන් එක්ව මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිට ඇති අතර එහිදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින්ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මළ සිරුර මාතර රජයේ රෝහලට වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා ෴

***************************************

පැවති ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් 20 දෙනෙකුට වරදී

(06.05.2020 – 17:24 +0530 – sinhala.adaderana.lk)

පැවැති යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය යන තනතුරු දැරූ 20 දෙදෙනෙකු රජයේ නිල නිවාස මෙතෙක් භාරනොදීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එළැඹෙන 11 වැනිදා සිට නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

මීට අමතරව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ හිටපු ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ද භාවිත කළ නිල නිවාස මෙතෙක් භාරනොදීම නිසා ඔවුන්ට එරෙහිවද නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළේය.

පැවැති යහපාලන ආණ්ඩුවේ සහ ජාතික ආණ්ඩුවේ විවිධ තනතුරු දෑරු අදාල පිරිසට එම නිවාස යළි භාරදෙන්නැයි අවසන් නිවේදන සිදුකළත් ඔවුන් මේ වනවිටත් අදාල නිවාස භාවිත කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවාස භාවිත කරන හිටපු අමාත්‍ය රාවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මෙතෙක් එම නිවාස භාර දී නැහැ.

එමෙන්ම කොළඹ කැප්පෙටිපොල පාරේ පිහිටි නිවාස භාවිත කළ අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලී සහ ෆයිසර් මුස්තාපා යන හිටපු අමාත්‍යවරුන්ද නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි.

මීට අමතරව පැවැති ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ එඩ්වඩ් ගුණසේකර සහ නලීන් බණ්ඩාර යන මහත්වරුන්ද ඔවුන් භාවිත කළ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවාස මෙතෙක් භාර දී නැහැ.

චන්දිම වීරක්කොඩි සහ ටී.බී.ඒකානායක යන මහත්වරුන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවාසත්, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ජේ.සී.අලවතුවල මහතා කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි නිවාසය මේ වනවිටත් භාවිත කරන බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම කොළඹ, ලෝරිස් නිවාස සංකීර්ණයේ ඇති නිල නිවාස භාවිත කළ අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, සෙල්වම් අඩෛක්කලනාදන්, එච්.එම්.එම්.හාරීස්, ෆයිසාල් කාසීම්, දුනේෂ් ගන්කන්ද සහ දුලිප් විජේසේකර යන මහත්වරුන්ද මෙතෙක් ඔවුන් භාවිත කළ නිවාස භාර දී නැහැ.

මීට අමතරව පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍යධූරය දරන අවස්ථාවේදී වෙන් කෙරුණු කැප්පෙටිපොල පාරේ ඇති නිවස මේවනවිටත් එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා භාවිත කරන බවට වාර්තා වෙයි.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරය දැරූ ජගත් පුෂ්පකුමාර මහතා භාවිත කළ කොළඹ, විජේරාම මාවතේ නිවසද ඔහු මෙතෙක් භාර දී නැහැ.

***************************************

දන්සල්, තොරණ්, ශීල ව්‍යාපාර නොමැතිව සම්බුදු තෙමඟුල සැමරේ

(07.05.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන අද (07) ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දිනයක්.

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවාසීන්ට වෙසක් සැමරීමට හැකියාව ලැබුණේ නැහැ.

මේ වසරේ අපට සම්බුදු තෙමඟුල සැමරීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය මධ්‍යයේ සිටයි.

ලෝකවාසීන්ට පමණක් නොව ශ්‍රී ලංකාවාසීන් වන අප කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත්ව ඇති අතර මේ නිසා ඇඳිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අවනත වෙමින් ආරක්ෂිතව සැවොම මෙවර නිවසේ සිට වෙසක් සැමරීම සිදු කරනවා.

මෙවර 2564 වැනි සම්බුද්ධත්ව ජයන්තියේ තේමා පාඨය කාලීන වූවක්. එනම් ‘අරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං’ යන්නයි.

වෙනදා මෙන් උදෑසනින් සුදුවතින් සැරසී පන්සල වෙත යන උවැසි උවැසියන් අද (07) දක්නට ලැබෙන්නේ නැහැ.

වෙනදාට මල් පහන් සුවඳ දුම් රැගත් බැතිමතුන්ගෙන් පිරී යන පන්සල් අද (07) පාළුවට ගොසින්.

එමෙන්ම මිනිසුන්ගේ එකමුතුකම, ත්‍යාගශීලිත්වය, පරිත්‍යාගය, දක්ෂතාව මෙන්ම නිර්මාණශීලිත්වය කියාපාන දන්සල්, වෙසක් පහන් කූඩු, දැවැන්ත වෙසසක් තොරන් අද (07) දක්නට ලැබෙන්නේ නැහැ.

මාර්ගවල ඇත්තේ පාළු ස්වභාවයකි. ඇතැම් උවැසි උවැසින් සිය නිවෙස් වල සිට අෂ්ඨාංගශීලය සමාදන් වන අකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් වෙනදා තරම් නොවුණද නිවෙස් වල වෙසක් සැරසිලි වලින් අලෝකවත් කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමට කිසිදු බැතිමතෙක් අද (07) පැමිණ සිටියේ නැහැ.

කෙසේ වෙතත් දියවඩන නිලමේවරයාගේ සහභාගීත්වයෙන් දළඳා වහන්සේට සාම්ප්‍රදායිකව ඉටු කරනු ලබන ආගමික වතාවත් අද (07) උදෑසන සිදු කෙරුණා.

ඓතිහාසික රුවන්වැලි මහ සෑ පුදබිමත්, මිහින්තලා පුදබිමත් ඇතුලූ අනුරාධපුරයේ ඓතිහාසික පුදබිම් සියල්ල අද (07) ජනශූන්‍යව පැවතුණා.

කෙසේ වෙතත් උදෑසන ආගමික වතාවත් සියල්ල ස්වාමීන් වහන්සේලාගේ සිදුකළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු අතුල බණ්ඩාර මහතා සඳහන් කළේ.

පොළොන්නරුව ඓතිහාසික පුදබිම් සියල්ලෙහිද ආගමික වතාවත් සිදු කෙරුණේ සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වෙසක් පුන් පොහෝ දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය

(07.05.2020 – president.gov.lk)

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි. අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති.

ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලාමහනුවර තුන්බියකින් ඇලලී ගියේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු විය. බුදු දහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව මට විශ්වාසය.

පවතින තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. එබැවින් නිවසේ සිට සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.

“තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතපප්ති
යස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති”

“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව සිදු කිරීම යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි. මේ වෙසක් සමයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරිමග යහපත්ව සකසා ගත හැකිය.

මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි මම ප්‍රාර්ථනා කරමි ෴

+++++++++++++++++++++++++++++++++++

අගමැති, මුණුපුරු නිර්වාන් සමඟ වෙසක් සැමරුමට සූදානම් වූ හැටි

(07.05.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවත්, ලෝකයත් ‌මුදාගැනීමේ අරමුණින් මෙවර වෙසක් සැමරිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගතකළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇති අතර වෙසක් දා ට පහනක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදු බවයි අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටියේ.

එමෙන්ම සිය පවුලේ සාමාජිකයින් සමග වෙසක් සමරන ආකාරය දැක්වෙන විඩියෝවක් ද එම සටහන සමග එක් කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Lovely baby. However, I think giving this baby this name is not appropriate. It may have been done for the love for the baby, but we do not know if he grows up to be deserving such a name by his mental attitudes and actions later in his life. And more impotantly his spiritual achievements. No point of naming a baby hoping he will have the wisdom to see and gain Nirvana. It is like Sajith Premadasa calling his mouth Sri Mukaya. I expected the PM to be more streetwise and help his son and daughter in law to avoid embarrassment.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *