වසංගතයෙන් අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැඟිය හැකියි – ජනපති

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වසංගතයෙන් අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැඟිය හැකියි – ජනපති (විඩියෝ)

• COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේතැන්පතු ශේෂය රුපියල් මිලියන 891 දක්වා ඉහළට

• සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළට

• කොරෝනා සම්බන්ධයක් ඇතැයි සැක කුෂ්ඨ රෝගයක් රටවල් ගණනාවක දරුවන්ට හැදිලා

• අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණයි

• ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

• කඩ කුලී අඩු කරන්නැයි සිල්ලර වෙළෙන්ඳෝ ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලති

• Talk with Chathura : Dhammika Perera (විඩියෝ)

• පාරට වැටුණ තාප්පය – CCTV දර්ශන සහිතයි (විඩියෝ)

• රුමේනියාවේ ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට COVID 19 වැළදෙයි

+++++++++++++++++++++++++++++++++++

වසංගතයෙන් අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැඟිය හැකියි – ජනපති

(07.05.2020 – 14:54 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පවරනු ලබයි.

මැයි 11 වනදා සිට යළි යථා තත්ත්වයට පත්කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකයද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රථම වරට රැස්විය.

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟළුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර සිටියේය.

එමෙන්ම කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා කොවිඩ් 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්කකර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාවද පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 මර්දනයට ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශිය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සහ අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමඟ වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරිමේ හැකියාව ඇති සංචාරකයින් ගෙන්වා ගැනීමේ සැලසුම්ද මෙහිදි සාකච්ඡාව කෙරුණී.

එමෙන්ම වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍රකර ගනිමින් විදේශිය ආයෝජකයින් ගෙන්වාගැනීමේ හැකියාවද මෙහිදි ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

ගතවු සති කිහිපය තුළ මෙරටින් බිහිවු නව නිර්මාණ ලෝක වෙළඳපොලට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැයකරන අතර ඉන් බොහෝ ඖෂධ මෙරට නිෂ්පාදනය කිරිමේ හැකියාවට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකීමද ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේතැන්පතු ශේෂය රුපියල් මිලියන 891 දක්වා ඉහළට

(06.05.2020 – president.gov.lk)

සෙලාන් බැංකුව රුපියල් මිලියන 2.5 ක, ලංකා ඉන්දියන් ඔයිල් PLC ආයතනය රුපියල් මිලියන 05 ක, කේ.ඩී.යූ. ගුණරත්න මහතා රුපියල් මිලියනයක සහ ඒ.පී.බී. සේනගම මහතා රුපියල් දෙලක්ෂයක මූල්‍ය පරිත්‍යාග ‘COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ට පරිත්‍යාග කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් පරිත්‍යාග අග්‍රාමාත්‍යතුමා විසින් ඊයේ (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ නිව් සවුත් වේල්ස්හි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සෘජුව තැන්පත් කර ඇති රුපියල් මිලියන 1.5 ක් සමග COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 891 ඉක්මවා තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

+++++++++++++++++++++++++++++++++++

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළට

(07.05.2020 – 12:50 +0530 – sinhala.adaderana.lk)

අද (07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර අද (07) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 797 දෙනෙක් වාර්තා වී ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් බවට ඊයේ (06) දිනයේ හදුනාගත් පුද්ගලයින් 29 දෙනාගෙන් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යසක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනෙකු පුද්ගලයින් 05 දෙනා ද නාවික හමුදා සාමාජිකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර පුද්ගලයින් 556 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටියි ෴

++++++++++++

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400 ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් මස 22 වන දින සිට මේ දක්වා කාලය තුළ මෙම නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගෙන ඇති බවයි.

එම කාලය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත වූ තවත් රෝගීන් 89 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 797 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 150 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සම්බන්ධයක් ඇතැයි සැක කුෂ්ඨ රෝගයක් රටවල් ගණනාවක දරුවන්ට හැදිලා

(06.05.2020 – gossiplankanews.com)

කොරෝනා වෛරසය දරුවන්ට වැළඳුණද ඔවුන්ට ඒ හේතුවෙන් බරපතළ රෝග ලක්ෂණ පහළ වූ බව වාර්තා වූයේ ඉතා කලාතුරකිනි. එනමුත් දරුවන්ට වැළඳෙන වෙනත් භයානක රෝගී තත්වයක් පිළිබඳව මෑතක සිට වාර්තා වෙමින් පවතී. එය කොරෝනා වෛරසයට සම්බන්ධද නැද්ද යන්න ගැටලුසහගතය‍. මේ පිළිබඳව සන්චිතා ෂර්මා විසින් ඉන්දියාවේ Hindustan Times පුවත්පතට පළ කරන ලද තොරතුරු පහතින් දැක්වේ.

මේ වන තුරු Covid-19 හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදු වූ පුද්ගලයන් අතර සහ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතර වැඩිපුරම දක්නට ලැබුණේ කාලයක් පුරා යම් අසනීප තත්වයන්ගෙන් පසුවන වැඩිහිටියන්ය. නමුත් බොහෝ දරුවන් තුළ දරුණු කොරෝනා රෝග ලක්ෂණ පහළ නොවූ බව පිළිගැනේ. කෙසේ වුවද පසුගිය සති කිහිපය පුරා විෂ සහිත බැක්ටීරියා නිසා ඇති වන ආසාදන තත්වයක් (Toxic shock) හේතුවෙන් දරුවන් 100 දෙනෙක් පමණ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරනු ලැබීය. එම දරුවන් තුළ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්තයේ තිබෙන කවාසාකි රෝගයේ ලක්ෂණ දක්නට ලැබුණි. මෙම රෝගී තත්වය සහ කොරෝනා වෛරස් රෝගය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවධානය යොමු වී තිබේ.

කවාසාකි ලෙස හැඳින්වෙන්නේ රුධිර වාහිනී, හෘදය සහ අනෙකුත් ඉන්ද්‍රියයන්ට බලපාන රෝගී තත්වයක් වන අතර එය වැළඳීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැතිය. අධික උණ, අඩු රුධිර පීඩනය, කුෂ්ඨ (rash) සහ හුස්ම ගැනීමේ අපහසුතා එහි රෝග ලක්ෂණ වන අතර සාමාන්‍යයෙන් එය වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටය. නමුත් ඉන්දියාවේ ඊට වඩා වයසින් වැඩි දරුවන්ටද මෙය වැළඳී තිබේ. රුමැටික් උණ හැරුණුකොට දරුවන්ට හෘද රෝග ඇති වීමට වැඩිපුරම හේතු විය හැකි රෝගය වන්නේ කවාසාකි රෝගයය.

“යුරෝපීය රටවල් ගණනාවකින් සහ උතුරු ඇමරිකාවේ සුළු වශයෙන් වාර්තා වූ මෙම රෝග ලක්ෂණ පිළිබඳව අපි දැනුවත්ව සිටින්නෙමු” කියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෛද්‍ය ඇඩම් ෆින් විසින් ප්‍රකාශ කරන ලදි.

අවුරුදු 5ට අඩු දරුවන්ට කවාසාකි රෝගය වැළඳීමේ සම්භාවිතාව 100,000ට 150ක් වේ. නමුත් ඉන්දියාවේ මෙම රෝගය හඳුනා නොගන්නා දරුවන් බොහෝදෙනෙකු සිටින බව එක් අධ්‍යයනයකින් හෙළි විය. ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට අවධානමක් ඇති අතර ඉන්දියාවේ මෙම රෝගය වැළඳෙන පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් අතර අනුපාතය 1.5:1 ලෙස සැලකේ.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කවාසාකි රෝග ලක්ෂණ සහිත මෙම අලුත් රෝගය වැළඳුණු දරුවන්ගෙන් වැඩිදෙනෙකුට කොරෝනා වෛරසයද වැළඳී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි විය. නමුත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණ වාර්තාවල සටහන් නොවූ දරුවන්ද ඒ අතර වේ. එසේ සිදු වීමෙන් එළඹිය හැකි නිගමන වන්නේ මෙම නව රෝගය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බව හෝ එම දරුවන්ව පරීක්ෂා කිරීමට පෙර ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී සුව වීද ඇති බව හෝ කොරෝනා වෛරස් ආසාදනය පරීක්ෂණයට හසු නොවී ඇති බවය. කොරෝනා වෛසරයට නෑකම් කියන කවාසාකි රෝග ලක්ෂණ ඉන්දියාවෙන් වාර්තා වී නොමැත.

ප්‍රතිශක්තිකරණ සෛල අධික ලෙස ක්‍රියාත්මක වී ආසාදනයකට ප්‍රතිචාරය දැක්වීමක් Covid-19 සහ කවාසාකි යන රෝග දෙකේදීම පොදුවේ දක්නට ලැබෙන බවත් එමගින් ශරීරය තුළ විශාල කම්පන තත්වයක් ඇති වන බවත් ප්‍රවීණයෝ පවසති.

“මෙම දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය දිගු කාලයක් පුරා දරුණු ලෙස Covid-19 ආසාදනය සමඟ සටන් කර ඇති අතර වැඩිහිටියන් වැඩිදෙනෙකුට මෙන් ඔවුන්ට පෙනහළු රෝගී තත්වයක් ඇති වී නැහැ” කියා කේම්බ්‍රිජ්හි ළමා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය නසීමා පාතන් The Guardian පුවත්පතට අදහස් දැක්වීය.

“දරුවන්ට මෙම නව රෝග ලක්ෂණ ඇති බව දෙමාපියන් සැක කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි” කියා එම වෛද්‍යවරයා තවදුරටත් අදහස් දැක්වීය.

දරුවන්ට Covid-19 වැළ‍ඳෙන්නේ නැති බව පැවසිය නොහැකියි. නමුත් බොහෝවිට ඔවුන්ට කොරෝනා වැළඳුණු පසු එය බලපාන්නේ සුළු වශයෙනි. චීනයේ කොරෝනා ව්‍යාප්ත වූ මුල් කාලයේ දත්ත පෙන්වා දෙන පරිදි කොරෝනා වැළඳුණු 13%කගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ අතර අවුරුදු 6ත් 10ත් අතර දරුවන්ගෙන් තුනෙන් එකක්ම රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැත.

“දරුවන් තුළ දරුණු රෝග ලක්ෂණ ඇති නොවූවද ඔවුන් වෛරස ගෙන යන්නන් විය හැකිය. එනම් ඔවුන් තුළින් වෙනත් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. එමනිසා වයෝවෘද්ධ පුද්ගලයන් සහ ඇදුම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග ආදී රෝගී තත්වයන්ගෙන් පෙළෙන අවදානම් සහිත පුද්ගලයන් සමග දරුවන් ගැවසීම සීමා කිරීම වැදගත්ය” කියා Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉන්දියා‍වේ ආරම්භ කරන ලද මුල්ම පෞද්ගලික රෝහලේ වෛද්‍ය යාටින් මෙහ්ටා විසින් ප්‍රකාශ කර තිබේ.

ජර්මනියේ මෑතකදී කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන තිබෙන්නේ වෛරසයට ගොදුරු වීමට වැඩිහිටියන්ට හා සමාන අවධානමක් දරුවන්ටද තිබෙන බවය. වෛරසය ගමන් කරන ප්‍රධාන මාර්ගය වන ශ්වාස නාළය වයස් කණ්ඩායම් අනුව වෙනස් නොවන බව යුරෝපයේ බර්ලින් නුවරෙහි පිහිටා තිබෙන විශාලතම විශ්වවිද්‍යාල රෝහලේ සමීක්ෂකයන් විසින් සොයාගෙන තිබේ.

කොරෝනා හේතුවෙන් බරපතළ රෝග ලක්ෂණ මතු වී රෝහල්ගත වූ පුද්ගලයන් අතරින් දරුවන් සිටි‍න්නේ සියයට එකකටත් අඩු ප්‍රමාණයකි. එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ දත්ත අනුව දරුවන් රෝහල්ගත වීම අතින් වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ ළදරුවන් රෝහල් ගත වීමට වන අතර ඔවුන් අතරින් මරණයක් වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි.

දරුවන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ :

• සුදුමැලි පෙනුමක් ඇති වීම
• ශරීරය අසාමාන්‍ය ලෙස ශීතල වීම
• හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම, ගෙරවීම

• හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම
• තොල් නිල් පැහැ ගැනීම
• වලිප්පුව ඇති වීම

• හැඬීම නැවැත්වීම අපහසු වීම
• කම්මැලි ස්වභාවයක් දැක්වීම සහ ප්‍රතිචාර නොදැක්වීම
• කුෂ්ඨ (rash)

– එස්. දහනායක
(Hindustan Times පුවත්පත ඇසුරිනි)
[May06, 2020 – Gossiplankanews.com]

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණයි

(07.05.2020 – 13:06 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා වාර්තාකරන සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම් සිදු කරනු ලබන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වි.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මාසික හෝ තෛයිමාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් අදාල පහසුකම සැපයෙන බවයි.

ආයතන ප්‍රධානීන් හරහා අදාල අයදුම්පත් යොමු කිරිම තුළින් මෙම සේවව ලබාගැනිමට හැකියාව පවතින බව වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ මෙම සේවව ලබා ගන්නා මගීන් කල්වේලා ඇතිව දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

(07.05.2020 – 12:48 +0530 – sinhala.adaderana.lk)

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය ලේකම්වරුවන්, දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය බැංකු, රාජ්‍ය සමාගම් හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව අදාල ඉල්ලීම කර ඇති බව සඳහන්.

රටේ පවතින වත්මන් තත්ත්වය මත රජයේ ආදායම් මාර්ග අවහිර වී ඇති බැවින් විදේශ ණය ආපසු ගෙවිමේ කටයුතු දැඩි පීඩනයකට ලක්ව ඇති බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.

රජ්‍ය සේවයේ වැටුප් හා දිමනා සඳහා මාසිකව රුපියල් බිලියන සියයකට ආසන්න මුදලක් වැය වන අතර එක් මසක එම මුදල වැන්දඹු අනද්දරු ගෙවීම් සඳහා යෙදවිමට හැකි වුවහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනිමට හැකියාව පවතින බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

විවිධ රටවලින් ණය ආධාර හා සහන ලබාගැනිමට මෙන්ම අප විසින් ද අපේගේ දේශිය ශක්තිය විඳහා පෑම අවශ්‍ය බැවින් තමාගේ මාසික වැටුප වැන්දඹු අනද්දරු දායකත්වය සඳහා යෙදවිමට මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු කාර්යය මණ්ඩලය ද මෙම කාර්යයට සහභාගී කරවිම දිරි ගැන්විමට කටයුතු කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ලිපියේ සඳහන් වෙයි.

ඇතැමුන්ට මාසක වැටුප දීම අපහසු විය හැකි වුවද, ඉන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුපක් වශයෙන් දායකත්වය ලබාදිය හැකි යැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

මෙවැනි දායකත්වයන් තුළින් රාජ්‍ය සේවය නම් වූ උත්තරීතර සේවාව ශක්තිමත් කිරිමට ද එහි ගෞරවනීයත්වය රැක ගැනිමට මෙම ක්‍රියාව මඟින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

කඩ කුලී අඩු කරන්නැයි සිල්ලර වෙළෙන්ඳෝ ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලති

(06.05.2020 – biz.adaderana.lk)

COVID-19 අර්බුදය හේතුවන් දැඩි අසීරුතාවන්ට මුහුණපා සිටින සිල්ලර වෙළඳුන්ගෙන් අයකරන කල්බදු සහ කුලී මුදල් අඩු කරන ලෙස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA), ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම අර්බුදයට නිසා මූල්‍ය අපහසුතාවයන්ට මුහුණදී ඇති එම සංගමයේ සාමාජිකයින් සඳහා කල්බදු සහ කුලී අයකිරීම් අඩු කිරීම විශාල සහනයක් වනු ඇති බවයි.

COVID-19 හේතුවෙන් රට තුළ පවතින තත්වය මත බොහෝ සිල්ලර වෙළෙන්ඳන් පාඩු ලබන බැවින් SLRA සාමාජිකයින් විසින් බදු සහ කුලී පදනම මත ලබා ගත් දේපල සඳහා ඉදිරි මාස හයක කාලයක් සඳහා කුලී / කල්බදු අයකිරීමේදී 50% ක සහනයක් ලබා දෙන ලෙස, SLRA සභාපති සිදත් කොඩිකාර මහතා ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

“දැනට පවතින රට වසා දැමීමේ තත්වය (Lockdown) හේතුවෙන් සියලුම සිල්ලර වෙළඳුන් හට ඔවුන්ගේ අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා වී ඇත. මේ අනුව, සියලු සිල්ලර ආයතන හා අංශ වල ආදායම 85% කට වඩා අඩුවී ඇත. මෙම සැලකිය යුතු ආදායම පහත වැටීම හේතුවෙන් සියලුම සිල්ලර වෙළෙන්දන් හට පාඩු සිදුවී ඇති අතර මේ වන විට අපගේ සියලුම සාමාජිකයන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට විශාල උත්සාහයක් දරමින් සිටී,” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.

පවතින අභියෝග හමුවේ, සිල්ලර වෙළඳුන් හට තම මෙහෙයුම් වියදම් කපා හැරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති අතර, මෙහෙයුම් වියදම් වලින් සැලකිය යුතු කොටසක් වන්නේ බදු කුලියයි.

“මෙමගින් ගොඩනැගිලි හිමිකරුවන්ට හෝ බදු දෙන්නන්ට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අපට වැටහීමක් තිබනවා. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම කරන්නේ ශ්‍රම බලකායෙන් 15% කට වඩා සේවය කරන කර්මාන්තයක් වන සිල්ලර කර්මාන්තයේ හදිසි අවශ්‍යතාවයන් සැලකිලිලට ගනිමිනි,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

SLRA දැනට සිල්ලර කර්මාන්තයේ අංශ 9 ක් නියෝජනය කරයි, එනම් සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG); ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ; නිවාස; ගෘහස්ථ සහ පාරිභෝගික භාණ්ඩ; පාවහන් සහ උපාංග; විද්‍යුත් වාණිජකරණය (E-Commerce); සංචලතාව (Mobility); විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල් (QSR); සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශයි ෴

+++++++++++++++++++++++++++++++++++

රුමේනියාවේ ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට COVID 19 වැළදෙයි

(08.05.2020 – 07:30 +0530 – sinhala.adaderana.lk)

රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු රුමේනියාවේ බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

අදාල ඇගලුම් කම්හ‍ලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර එලෙස ඉවත් කළ පිරිසෙන් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත අදාල සේවකයින් සිය ආයතනයෙන් ඉවත් කර ඇති බව ඇගලුම් කම්හලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

රුමේනියාව තුළ පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තියට බියෙන් අදාල ශ්‍රී ලාංකිකයින් පිරිස සේවයට වාර්තා කර නොමැති බව වාර්තා වේ.

කෙසේවෙතත් සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන්.

ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

Talk with Chathura : Dhammika Perera

කොරෝනාවෙන් පසු ව්‍යාපාර – Dhammika Perera – Talk With Chatura (06-05-2020)

***************************************

පාරට වැටුණ තාප්පය – CCTV දර්ශන සහිතයි

(08.05.2020 – 11:00 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (07) පස්වරුවේ වැලිමඩ ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව සමඟ වැලිමඩ-හපුතලේ මාර්ගයේ තාප්පයක් කඩා වැටී තිබේ.

නිවසක ආරක්ෂක බැම්මක් මෙලෙස කඩා වැටී ඇති අතර එයින් හපුතලේ – වැලිමඩ මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබේ.

මාර්ගයේ සිට තරමක් විශාලව පිහිටා තිබු මෙම බැම්ම කඩා වැටෙන විට මාර්ගයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල හානියක් වැළකී ඇත.

කෙසේ වෙතත් බැම්ම කඩා වැටෙන අයුරු අසල තිබු සී.සී.ටීවි කැමරාවේ සනිටුහන්ව තිබේ.

මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් අනු නවයෙන් බේරෙන අයුරුද එහි දැක්වෙයි.

+++++++++++++++++++++

***************************************

සෙනඟ නැති වෙසඟ

(07.05.2020 – 19:12 +0530 – sinhala.adaderana.lk)

උතුම් වෙසක් පුන් පොහෝදිනයේදී ලක්වැසි බෞද්ධ ජනයා එලෙස සිය නිවෙස් තුළ රැඳි සිටිමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දී කටයුතු කළා සේම ආමිස පූජාවල නිරතවීමටත් අමතක කළේ නැහැ.

ඒ අනුව වෙනදා වෙසක් අසිරියෙන් බැබලුන නගර සහ මංමාවත් අද පාළු ස්වභාවයක් ගනිද්දි සෑම නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාරවත් විය.

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දිනයේ ආමිස පූජා සඳහා හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෟතික උත්සවය ලෙස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලබන අතර ඒ සඳහා මාස ගණනාවක සිට ලක්වැසියන් සූදානම් වෙයි.

නමුත්, ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරයත් මෙවර කොවිඩ් වසංගතයත් වෙසක් උත්සවයට එල්ල කර ඇත්තේ විශාල බලපෑමක්.

ඒ අනුව වෙසක් තොරණ,දන්සැල්, පහන් කූඩු ආදියෙන් වර්ණවත් වන වෙසක් කලාප ගියවර මෙන්ම මෙවරත් දක්නට ලැබෙන්නේ නැහැ.

වෙසක් පුන් පොහෝ දිනයේ විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වූ තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කිරීම සොඳුරු දසුනක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

JAYASURIYA වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *