බේරේ රන්මසු පුරයක් කෙරෙන චම්පික ගේ සැලැස්ම එළි දකී

(28.11.2017 – biz.adaderana.lk)

ඔක්කොම කුණු බේරෙට සංකල්පය ඉවත් කරමින් ඉදිරියේ දී බේරේ වැව අවට කාලපය රන්මසු පුරයක් බවට පත්වන බවත් රන්මසු පුර වැඩපිළිවෙළ සැලසුම් 5 ක් යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමට උපදේශන සහාය සිංගප්පූරුවෙන් ලබාගනිමින් ක්‍රියාත්ත්මක කිරීමට කටයුතු කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (27) දින කොළඹ බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය වාණිජ කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සැකසුණු සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප‍්‍රයිසස්, තෙමාසසෙක් පදනම සහ ලයිව්බල් සිටීස් යන ආයතනයන් හි උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ද දායකත්වය ඇතිව සැකසුණු රන්මසු පුර සංවර්ධන සැලැස්ම, සැලසුම් 5 ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එනම්, බේරේ වැව වටා ඇති සියලු ම ඉඩම් ඉහළ ඵලදායිතාවකට දියුණු කිරීම, බේරේ වැව අපවිත‍්‍රවන ආකාරයේ සියලු භාවිතයන් පාලනය කිරීම, ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගනිමින් යෝජිත සංවර්ධනය සැලසුම් කිරීම, දේශීය හා විදේශීය ජනතාවට බේරේ වැව වෙත ලඟාවීමට හැකිවන පරිදි වැව රක්ෂිතය විවෘත කර සංවර්ධනය කිරීම හා විනෝද කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම, විශේෂයෙන්ම දේශීය ජනතාව සඳහා තම ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ අවස්ථා වැඩිකිරීම හා ආර්ථික දියුණුව ඇති කිරීම සිදු කෙරේ. ඒ අනුව රන්මසු පුර ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ප‍්‍රදේශයට විශේෂ කලාපීකරණ රෙගුලාසි සකස් කර ඇත.

කොළඹ වරාය, වරාය නගරය, විහාර මහා දේවී උද්‍යානය සහ ගාලු මුවදොර ආවරණය වන ආකාරයට සංවර්ධන කොරිඩෝ පහක් හඳුනාගෙන ඇති අතර ඒ හරහා බේරේ වැවත් නගරයේ අනකුත් ප‍්‍රදේශත් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම විශේෂ සංවර්ධන කලාපය හෙක්ටයාර් 55 ක් පමණ බේරේ වැව ලෙස පවතී. එසේම හෙක්ටයාර් 30 ක පමණ රජයේ කාර්යාල පිහිටා ඇති අතර, හෙක්ටයාර් 27 ක් පමණ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඊට අමතරව හෙක්ටයාර් 26 ක් පමණ ගුදම් ලෙස පවතී. මින් වැඩි ප‍්‍රමාණයක් අයත් වනුයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටය. මෙහිදී විශේෂයෙන් දැකගත හැකි වනුයේ නේවාසික භාවිතයට හෙක්ටයාර් 24 ක් පමණ වෙන්වී ඇති අතර, විවෘත ප‍්‍රදේශ ලෙස හෙක්ටයාර් 20 ක් පමණ වෙන් වී ඇති බවයි.

විවෘත ප‍්‍රදේශ සහ විනෝද කටයුතු සඳහා සැලකිය යුතු භූමි ප‍්‍රදේශයක් වෙන් කිරීමටත්, එම ප‍්‍රදේශය දිවා කාලය මෙන්ම රාත‍්‍රී කාලයේ දී ද සජීවීව තබා ගැනීම උදෙසා නේවාසික භාවිතය ද තෝරාගත් කළාප තුළ ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සැලසුම තුළින් අපේක්‍ෂා කෙරේ.

එසේම මේ වන විටත් මෙම කළාපය තුළ හෙක්ටයාර් 19 ක් පමණ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර ඇති අතර, ඒවායෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවති. නැගෙනහිර බේරේ වැවෙහි බටහිර ඉවුරෙහි අනවසර නිවාස 500 ක් පමණ දැකගත හැකි අතර, ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේර් වැව තුළ ඉදිකර ඇත. උදාහරණ ලෙස 87 වත්ත සහ 175 වත්ත සැලකිය හැකිය. බේරේ වැව සංවර්ධන සැලසුම යටතේ 2016 වසරේ රුපියල් මිලියන 1350 ක් රජය විසින් ලබාදුන් අතර, එම මුදල වැය කොට ඉහත සඳහන් නිවාස 384 ක් පමණ නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිමකළ නිවාස ව්‍යාපෘතියක පදිංචි කරවීමට කටයුතු යොදා ඇත.

ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඩී.ආර්. විජේවර්ධන මාවත අනෙක් පැත්තෙන් ඉදිකරන්න ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන බවත් එහි පළවෙනි පියවර සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම කර තිබෙන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා දෙවන පියවර ලෙස ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දෙයි.

2023 වන විට සැහැල්ලු දුම්රිය පද්ධතියත්, දුම්රිය නවීකරණයත් මෙන් ම අධිවේගී මාර්ග පද්ධතියත් එකට යා කරන ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවන බවත් කී අමාත්‍යවරයා බේරේ වැව වටේට වරාය නගරය යාවන ආකාරයට ප‍්‍රධාන ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය ගොඩනගන්න බලාපොරොත්තු වන අතර ම විශේෂයෙන්ම වරාය අධිකාරිය, සතොස ආදී රාජ්‍ය ආයතනවලට අයිති ඉඩම් සහ පෞද්ගලික අංශයට අයිති ඉඩම් විධිමත් සැලසුමකට අනුව ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.

****************************************

යකඩ සපත්තුවට යට නොවන සංවර්ධනයක්
(30.11.2017 – 23:22 +0530 – sinhala.adaderana.lk)

යකඩ සපත්තුවෙන් සංවර්ධනය නොකරන බවත්, විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

“ව්‍යාපෘති 500 ක් නිසි පරිසර ඇගයීම කරලා, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට් ආනුකූලව ක්‍රියාත්මකකරලා, මහා භාණ්ඩාගාරයට බරක් නොවී ශක්තියක් වීමට කටයුතු කළා. 2014 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 14.9% යි. අවිචාරිමත් ඉදිකිරීම් ක්‍රියාවලියක් වෙනුවට විධිමත් ඉදිකිරීමේ ක්‍රියාවලියක් සහිතව වැදගත් පියවරක් තබන්න් හැකි වුණා.

අපි විප්ලවීය පරිවර්ථනය නොවෙන්න, විදේශ ආයෝජන වැඩියෙන් ගලා එන්න හැකි වුණා. ණය බුබුලක් මඟින් එදා ඉදිකිරීම් සිදු වුණා. සෘජු ආයෝජන මඟින් මේ ආණ්ඩුව සංවර්ධනය කර ඉදිරියට යෑමට හැකි වුණා. විධිමත් ජතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. කොළඹ, ගම්පහ, දඹුල්ල, ත්‍රිකුණාමලය හඳුනාගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය සංකල්ප සැලැස්ම මේ දෙසැම්බර් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනව. අම්බලන්ගොඩ සිට තිස්සමහරාමය දක්වා, යාපන කිළිනොච්චි කොරිඩෝ හදුනාගෙන යටිතල ආයෝජන සිදු කරන්න හඳුනාගෙන තිබෙනවා.මහනගර සැලසුමට මහාපරිමාණයෙන් ආයෝජනය කරන්න හැකියාවක් නෑ. කොමිස් ගනනේ නෑ. අනාගතපරපුර ණය බර ඇතිකරන ව්‍යාපෘතියක් නොවේ අනාගත පරපුර ශක්තිමත් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ. රටට අලුත් ආදර්ශයක් අප හඳුන්ව දී තිබෙනවා. පෞද්ගලික හා රාජ්‍ය අංශයත් එකතු කරලා දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම සිදු කරනවා. බ්ලූමැන්ඩල් ප්‍රදේශය ලබන වසරේ විධිමත් සංවර්ධනය කරනවා.

මීතොට මුල්ල කසළ කන්ද සංවර්ධනය කරනවා. එක් කොටසක නාගරික උද්‍යානයක් සකස් කරනවා. අප යකඩ සපත්තුවෙන් සංවර්ධනය කරන්නේ නෑ. කොළඹ ඉඩම් කුණු කොල්ලයට දීපූ රාජපක්ෂලා නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කතා කරනවා. මූල්‍යමය අතින් ශක්තිමත් තැනකට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන්න හැකි වුණා.නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංචිතය අප ශක්තිමත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *