සහරාන් හෂිම් කාන්තාවන් පුහුණු කළ, කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන මධ්‍යස්ථානයක් වටලයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සහරාන් හෂිම් කාන්තාවන් පුහුණු කළ, කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන මධ්‍යස්ථානයක් වටලයි

• සහරාන්ගේ තවත් බලකොටුවක් සොයා ගනියි (විඩියෝ)

• අසාර් නගර්හි රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

• අද (08) මෙතක් කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නැහැ – ඊයේ PCR පරීක්ෂණ 1553 ක් (විඩියෝ)

• 11 දායින් පසු හැඳුනුම්පතේ ක්‍රමවේදය අනුගමනය කරන්න – පොලීසිය

• ඉන්දියාවෙන් ලංකාවට ටොන් 12.5 ක් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්

• රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක් (විඩියෝ)

• නිවසේ සිට සැමරූ වෙසක් මංගල්‍යය (විඩියෝ)

• ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශක ජනපති සමග දුරකථන සංවාදයක – ශ්‍රී ලංකාවට ශ්වසන ආධාර ලබාදීමටත් සූදානම්

• කොරෝනා ආසාදිත සංඛ්‍යාව 835 දක්වා ඉහළට – නව ආසාදිතයන් 11 දෙනාම නාවික හමුදාවේ

• ප‍්‍රතිශක්තිය රැක ගන්න දේශීය කුළුබඩු වැඩියෙන් කන්න

• රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක් (විඩියෝ)

• COVID-19 මුළුමනින්ම මර්දනය නොකළ වාතාවරණයක සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගන්නේ කෙසේද? (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සහරාන් හෂිම් කාන්තාවන් පුහුණු කළ, කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන මධ්‍යස්ථානයක් වටලයි

(08.05.2020 – 20:25 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.

මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි මෙම ස්ථානය පිලිබදව තොරතුරු සොයා ගැනිමට හැකිව තිබේ.

පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයට ගොස් ‘සියාද් ගාඩ්න්’ නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.

හෝටලයේ අයිතිකරු සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරු ගෙන් ප්‍රශ්ණ කර ඔවුන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කරනු ලැබිය.

මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කල බොම්බ පුපුරුවා ගෙන මිය ගිය අයගේ බිරියන් පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශණවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණ වලින් කරුණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ.

මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

+++++++++++++++++++++

සහරාන්ගේ තවත් බලකොටුවක් සොයා ගනියි

(08.05.2020 – 20:11 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් කාන්තාවන් අන්තවාදයට යොමු කිරීම සඳහා යොදාගත් කාත්තන්කුඩි පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් අද (08) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලට ලක්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අතරතුරදී සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව මෙම ස්ථානය සෝදීසි කිරීමට ලක්කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අනුව සැකකරුවන් ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් විමර්ශකයින්ට ලබාදුන් ප්‍රකාශවලට අනුව අන්තවාදී කටයුතු සඳහා යොදාගත් ස්ථාන රැසක්ද හඳුනාගැණුනි.

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවේ පසුවන සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව අද (08) පස්වරුවේ කාත්තන්කුඩිය පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සෝදිසි කරනු ලැබුවේය.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම විසින් කාන්තාවන් අන්තවාදයට නැඹුරු කිරීම සඳහා දේශන පැවැත්වූ ස්ථානයක් ලෙස මෙම හෝටලය හඳුනාගෙන ඇති බවයි.

සහරාන් හෂීම්ද මෙම ස්ථානයේ දේශන සඳහා සහභාගී වී ඇති බව කරුණු හෙළීවි ඇති බවද ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව අද (08) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ ස්ථානය සෝදිසි කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හෝටලයේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

අසාර් නගර්හි රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

(08.05.2020 – 00:00 +0530 – lankadeepa.lk)

මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර්හී මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද (08) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් බව කියයි.

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතු වල යෙදවිමේ චෝදනා එල්ල වි ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය පිහිටි මදුරන්කුලිය අසාර් නගර් අරාබි ආගමික ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසිම් හා තඹ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා අන්තවාදි දේශන පැවැත්විම සදහා සහභාගිවි වි ඇති බවට පසුගිය සති අන්තයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබුනී.

ඒ සම්බන්ධව කල්පිටිය නගරයේදි හතරවන හරස් විදියේ පදිංචි කරුවකුද පසුගිය 3 දින අත් අඩංගුවට ගෙන තිබුනි.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මදුරන්කුලිය ආරබි ආගමික මධ්‍යස්ථානය තුළදි සහරාන් හසිම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙය වු ත්‍රස්තයින් සහභාගිවි දේශණ පැවැත්වු බව සනාථ කර තිබුනී.

මෙම සැකකරුගෙන් කරනලද ප්‍රශ්ණ කිරිම්වලට අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කියයි.

මෙම මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකද සම්පුර්ණ සහාය දක්වා තිබීම මෙම ප්‍රකාශ සටහන් කර ගැනිමට හේතු වි ඇති බව වාර්තා වෙයි .

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වරයාගෙන් ප්‍රශ්ණ කිරිමට පැමිණ තිබුනි.

ඒ සමගම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත අදාල අන්තවාදි දේශන පැවැත්වු අසාර් නගර් ආගමික මධ්‍යස්ථාන භුමියේ ගොඩනැගිල්ලකට පසුගිය 4 දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ ෴

***************************************

අද (08) මෙතක් කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නැහැ – ඊයේ PCR පරීක්ෂණ 1553 ක්

(08.05.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

අද (08) පස්වරු 06:30 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු නව රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 824 ක්.

ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240 ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 09 ක් වාර්තාවුනා.

මේ අතර ඊයේ (07) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1553 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිට වූ කොරෝනා වසංගත මර්දන කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අලුතින් ඉදිකළ නව හෙද නේවාසිකාගාරයද අද (08) විවෘත කෙරුණා.

මේ අතර, කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ දිනවල අහඹු නියැදි තුළින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පිරිස් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ, දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1000 ඉක්මවා සිදුකිරීමට රජය පහසුකම් සැලසීමත් සමඟයි.

ඒ අනුව අද (08) දිනයේ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ හා ඒ අවට පිරිස් අහඹු ලෙස තෝරා ගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල ලබාගැනීම සිදුකෙරුණා.

ඊයේ (07) දිනයේ දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ පිරිසකගෙන් අහුඹු ලෙස නියැදි ලබාගත් අතර, ඒවායින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය දිනූපා ගුරුගේ මහත්මිය කියා සිටියේ.

මේ අතර, ඊයේ (07) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකළ හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිටින දින 13 ක බිළිඳා ඇතුළු 35 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී තිබෙනවා.

ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු වී ඇතැයි නිරෝධායන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරු සඳහන් කළා.

නාවික හමුදාව ඔලුවිල් සහ සාම්පූර් ප්‍රදේශවල පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (08) නිරෝධායනය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

එසේම, යුද හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (08) දිනයේදී පුද්ගලයින් 168 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගියා.

ඒ අතර, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායන කාලය අවසන් කළ කොළඹ – ග්‍රෑන්ඩ්පාස් සහ බණ්ඩාරණායක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 37 දෙනෙකුද වනවා.

මේ අතර, රුමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු රුමේනියාවේ බොට්සානි ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

අදාළ ඇඟළුම් කම්හලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුද සේවයෙන් ඉවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව සඳහන්.

එසේම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒම සඳහා අද (08) අලුයම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය හෙට (09) දිනයේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ටොන් 12.5 කට ආසන්න අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර තොගයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

අදාළ වෛද්‍ය ආධාර තොගයට අමතරව මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්ද ඒ අතර වන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

චීනය විසින් ලබාදෙන අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් ගුවන් යානයද අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

11 දායින් පසු හැඳුනුම්පතේ ක්‍රමවේදය අනුගමනය කරන්න – පොලීසිය

(09.05.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව බැහැරව යාමේ ක්‍රමවේදයට පිටින් ක්‍රියාකලහොත් ඇඳීරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

දැනට දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එළඹෙන අනිද්දා (11) පෙරවරු 5 ට එය ලිහිල් කිරීමට නියමිතයි.

මේ අතර, රජය විසින් මීට පෙර දැනුම් දුන් ආකාරයට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව බැහැරව යාමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ද අනිද්දා (11) දිනයේයි.

ඒ අනුව, සතියේ දින 5 සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංක මත නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, එම ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයන්ට ද ඇඳිරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

(1 & 2 : Mon, 3 & 4 : TUE, 5 & 6 : WED, 7 & 8 : THU, 9 & 0 : FRI)

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවෙන් ලංකාවට ටොන් 12.5 ක් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්

(09.05.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ටොන් 12.5 ක අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය අයිතම තොගයක් ඊයේ (08) විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවා.

මීට පෙර ද අවස්ථා 4 කදී ඉන්දියාව ඖෂධ තොග මෙරටට පරිත්‍යාග කර ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

මෙම ඖෂධ තොගය සමගින් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ලෙස පත් කර ඇති ගෝපාල් බාග්ලේ ද ඊයේ (08) දිවයිනට පැමිණියා.

ඒ අනුව, නව මහකොමසාරිස්වරයා නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

එමෙන්ම, කොවිඩ්-19 වසංගත තත්ත්වයට ප්‍රතිකාර සඳහා චීනය පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඊට පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 30,000 ක්, මුව වැසුම් සහ අත් ආවරණ මෙන්ම වෙනත් වෛද්‍ය උපකරණ ද ඇතුළත්.

එම ඖෂධ සහ උපකරණ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ලක් රජය වෙත අද (09) නිළ වශයෙන් භාර දීමට නියමිතයි.

+++++++++++++++++++++++++++++++++++

රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

(08.05.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීමෙන් රසායනාගාර වාර්තා පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ එලෙස සිදුකළ පරීක්ෂණ වාර්තා 13 ක් පමණ දෝෂ සහගත බවට හඳුනාගෙන ඇති බවයි.

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මෙරටදී සිදුකරන ප්‍රධානතම පරීක්ෂණය වන්නේ PCR පරීක්ෂණයයි.

එම පරීක්ෂණ රජයේ රසායනාගාර හරහා සිදුකෙරෙමින් පැවතියද රජයේ රසායනාගාරවලින් පරිබාහිරව ආයතන කිහිපයක් හරහා සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පසුගියදා තීරණය කළා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක රසායනාගාර හරහා PCR පරීක්ෂණ සිදුකර තිබු අතර ඉන් වාර්තා ගණනාවක් දෝෂ සහගත බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා වෙතද ලිපියක් මගින් අවධානය යොමු කර තිබෙනවා.

***************************************

නිවසේ සිට සැමරූ වෙසක් මංගල්‍යය

(08.05.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය ඊයේට (07) යෙදී තිබුණා.

නමුත් රට තුළ පවතින තත්ත්වය මත මෙවර වෙසක් සැමරුම් සිදුවුණේ නිවස කේන්ද්‍ර කරගමින් පමණයි.

වෙසක් කොයි කාගේත් සිත් පහන් කරන මෙරට ප්‍රමුඛතම ආගමික උත්සවයයි.

එදිනට බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් සැදැහැවතුන් සැදැහැ සිතින් විවිධ ආගමික වතාවත්වල නිරත වීම සිරිතක් නමුත් තවමත් පහව නොගිය කොවිඩ්-19 වසංගතයත් සමඟ මෙම වෙසඟේ සිදුකෙරෙන වෙනදා පන්සල් යෑම, දන්සල් දීම්, විසල් තොරණ ඉදිකිරීම් ආදියට වැට කඩොළු බැඳුණා.

ඒ ජනතාවගේ යහපත වෙනුවෙන්මයි.

නමුත් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ලෝ සතුනට නීරෝගී සුවය පතමින් මෙවර 2564 වැනි වෙසක් දිනය අපි හැමෝම නිවසේ සිට සැමරුවා.

සෑම පොහෝ දිනකටම සිල් ගන්න පන්සල් ගිය සැඳැහැවතුන් මෙවර නිවසේ සිට සිල් සමාදන් වනු දක්නට ලැබුණා.

වෙනදාට සල්ලිවලට වෙසක් කූඩු මිලදී ගත් බොහෝ දෙනා දූදරුවන් සමඟ මෙවර වෙසක් කූඩු හදන්නටල පහන් වැටි හදන්නට එක්වුණා.

වෙනදාට පාර දිගේ වෙසක් බලන්නට ගිය බොහෝ දෙනා තම පවුලේ සාමාජිකයන් සමඟ නිවසේ සිටම ආමිස සහ ප්‍රතිපත්ති පුජාවෙහි නිරත වන්නට වුණා.

මේ සියල්ල සිදුවුයේ බුදුරජානන් වහන්සේගේ තෙමඟුල ලොවට කියාදෙන වෙසඟේ නියමාර්ථය වටහා ගනිමින් හා කොවිඩ්-19 වෛරසය හමුවේ පවතින සමාජ වගකීම ද නිසියාකාරව ඉටුකරමින් වීම විශේෂත්වයක්.

මේ අතර නිවසේ සිට වෙසක් උත්සවය සමරනු ලැබුවද වෙසක් අසිරිය එළෙසින්ම තබාගන්නට වගකිව යුතු අංශ සහ ජනතාව කටයුතු කර තිබුණා.

මේ අතර ජාතික වෙසක්උත්සවය නිමිත්තෙන් හොරණ ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රජ මහා විහාරස්ථානයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) රාත්‍රියේ එක් වුණා.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ජනාධිපතිවරයා විහාරාධිපති ශාස්ත්‍රෙව්දී පුජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන්ද බැහැ දැක කෙටි පිලිසඳරක නිරත වුණා.

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් පොහෝදිනයත් සමඟ ඊයේ (07) අවසන් වූ අතර උඩමළුවේ තැම්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.

ඒ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් විසින්.

+++++++++++++++++++++

***************************************

ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශක ජනපති සමග දුරකථන සංවාදයක – ශ්‍රී ලංකාවට ශ්වසන ආධාර ලබාදීමටත් සූදානම්

(08.05.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ශ්වසන ආධාරක ලබාදීමට ඇමරිකාව සූදානම් වනවා.

ඊට අදාළ ක්‍රමවේදය සහ ඒවායේ සංඛ්‍යාත්මක තොරතුරු කඩිනමින් දැනුම්දෙන බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිලිවෙල පිළිබඳව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වී ඇති අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බවද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කළා.

එමෙන්ම, නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශවික සබඳතාවයේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු වූ බව ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ට්වීටර් සටහනක දැක්වෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 835 දක්වා ඉහළට – නව ආසාදිතයන් 11 දෙනාම නාවික හමුදාවේ

(09.05.2020 – 05:47 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ (08) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව ආසාදිතයින් 11 දෙනාම වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (08) රෝහල්වලින් පිටව ගියා.

ඊට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකුද (02) ඇතුළත්. ඒ අනුව සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 240 ක්.

මීට අමතරව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 586 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් 390 දෙනෙකු නාවික හමුදා සෙබළුන් බවයි.

මේ අතර, කොළඹ මහල් නිවාස සහ වතු ආශ්‍රිතව මේ දිනවල අහඹු නියැදි තුළින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පිරිස් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ, දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1000 ඉක්මවා සිදුකිරීමට රජය පහසුකම් සැලසීමත් සමඟයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව ජනතාව අතර විශ්වාසය බිඳ වැටීමෙන් ගැටලුකාරී තත්ත්වයක් විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵලවල සිදුවූ දෝෂ සහගත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

ප‍්‍රතිශක්තිය රැක ගන්න දේශීය කුළුබඩු වැඩියෙන් කන්න

(09.05.2020 – 05:32 +0530 – lankaleadnews.com)

කොරෝනා රෝගය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවත්නා මෙවන් මොහොතක ශරීරයේ ප‍්‍රතිශක්තිය රැක ගැනීම සඳහා හැකි සෑමවිටම ස්වභාවික රසකාරක වන දේශීය කුළුබඩු ආහාරයට එකතු කර ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි.

අතීතයේ පැවති අපේ පාරම්පරික දේශීය ආහාර රටාවට නැවත හැරී බැලීමට යළිත් කාලය එළැඹ ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ආහාර සැකසීමේදී කහ , ඉඟුරු, ගොරකා, ගම්මිරිස්, කුරුඳු වැනි කුළුබඩු භාවිත කිරීම මඟින් පුද්ගලයාගේ සිරුරේ ප‍්‍රතිශක්තිය ආරක්ෂා වී රෝගවලට ඔරොත්තුදීමේ ශක්තිය වර්ධනය වන බව විවිධ පර්යේෂණ මඟින් ඔප්පු වී ඇති බවද අපේ පැරණි ගැමි ජනතාව ආහාර සැකසීමේදී කුළුබඩු යොදා ගනු ලැබුවේ ආහාර රසවත් කිරීමට පමණක් නොව ඒවායේ පවත්නා ඖෂධීය ගුණ පිළිබඳවද අවධානය යොමු කරමින් බවත් පවසන එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටින්නේ ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක ආහාර රසවත් කිරීම සඳහා කෘත‍්‍රීම රසකාරක යෙදීමෙන් හැකිතාක් වළකින ලෙසට හා ඒ වෙනුවට ස්වභාවික රසකාරක වන කුළුබඩු යොදා ගන්නා ලෙසටය ෴

+++++++++++++++++++++++++++++++++++

රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

(09.05.2020 – 07:45 +0530 – sinhala.adaderana.lk)

ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

COVID-19 මුළුමනින්ම මර්දනය නොකළ වාතාවරණයක සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගන්නේ කෙසේද?

(08.05.2020 – 23:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය මුළුමනින්ම මැඩපැවැත්විය නොහැකි බව චීන විද්‍යාඥයන් පිරිසක්ද පසුගියදා අනාවරණ කර තිබුණි.

එවන් පසුබිමක වෛරසය පැතිරීම පාලනය කොට දෛනික කටයුතු ආරම්භ කිරීම කෙරෙහි රටවල් රැසක් මේ වන විට අවධානය යොමු කර තිබේ.

කොවිඩ් වෛරසය මුළුමනින්ම මර්දනය නොකළ වාතාවරණයක් තුළ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගන්නේ කෙසේද?

මේ දැනුවත් කිරීම ඒ පිළිබඳවයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කර එළඹෙන මැයි 11 වැනිදා සාමාන්‍ය කාර්යාලයීය කටයුතු යළි ආරම්භ කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර දෛනික කටයුතු ආරම්භ වීමත් සමග වෛරස ව්‍යාප්තිය වැළැක්වීම මෙන්ම ඔබ අසාදිතයෙකු බවට පත්වීම වළක්වාගැනීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් පවතියි.

ඔබ කාර්යාලයට යාමට ප්‍රථම උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත ගත යුතුයි.

නිවසින් බැහැර වීමට පෙර මුඛ ආවරණය පැළඳීම ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තක්.

විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳිම ඔබ නොකළ යුතු අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වගබලාගන්න.

ඔබ කාර්යාලයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නේ නම්, බස් රථයේ හෝ දුම්රියේදී දුරස්ථභාවය පවත්වාගෙන යාම අමතක නොකළ යුතුයි.

ඔබ, ඔබේ පෞද්ගලික වාහනයෙන් සේවා ස්ථානයට පැමිණෙන්නේ නම් කාර්යාලීය හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත පෙන්වා පොලීසිය හා ආරක්ෂක අංශවලට සහය දැක්වීමට වග බලා ගන්න.

කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි.

විදුලි සෝපානය භාවිත කිරීමේදිත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත්.

කාර්යාලයට ඇතුල්වීමේදී විෂබීජනාශක දියර යොදා නැවත අත් පිරිසිදු කර ගත යුතුයි.

වැළමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.

රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජනාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කර ගත යුතු අතර අත් වැසුම් භාවිත කිරීමටත් වග බලා ගන්න.

කාර්යාලය තුළ මුදල් ගනුදෙනු සිදුකිරීම හා ලිපි ගොනු භාවිත කරන්නේ නම් එම කාර්යයෙන් පසු විෂබීජනාශක දියර යොදා අත් සේදීමත්, කාර්යාලයේ රැඳී සිටින කාලය තුළ නිතර නිතර අත් සේදීමත් ඔබව වෛරසයෙන් ආරක්ෂා වීමට හේතු වේ.

එමෙන්ම, කාර්යාලයේදී තමන්ගේ භාවිතයට පමණක් කෝප්පයක් හා පිඟානක් භාවිත කිරීමට වගබලා ගැනීමද අනිවාර්ය කරුණක්.

ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති.

කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි.

කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීමත් නැවත විෂබීජහරණ කුටියට ඇතුල්වී ඇඳුම් සහ ශරීරය විෂබීජහරණයට ලක්කර ගැනීම වඩාත් සුදුසු වේ.

එමෙන්ම, නිවසට ඇතුල්වීමට පෙර පාවහන් පිටතින් ගළවා ඇඟ පිරිසිදු කරගැනීමෙන් පසු නිවස තුළට ඇතුල් වීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයන්ද ආරක්ෂා කර ගත හැකියි.

ඔබ, මිතුරන් කිහිපදෙනෙකු සමග තාවකාලික නවාතැනක වෙසෙනවා නම් එම කාමරය තුළත් මෙලෙස දුරස්ථභාවය රැකගනිමින් කටයුතු කිරීමට වගබලාගන්න.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *