සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළට

• කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ හැකි විශේෂ කැමරා පද්ධතියක් (විඩියෝ)

• අනුරාධපුර රෝහලේ මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

• විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 298 ක් පිටව යයි

• පාසල් විවෘත කිරීම ගැන තීරණය ලබන සතියේ දී (විඩියෝ)

• සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

• මැයි 11 වන දා විශ්වවිද්‍යාල ආරම්භ වන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණයි

• දුරස්ථ අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුලත් කරගැනීම 20% කින් ඉහළ දැමීමට අවධානය (විඩියෝ)

• වීසා බලපත්‍රවල වලංගු කාලය දිගු වෙයි

• සඳුදා (11) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු ඇරඹෙයි

• ඇඳිරි නීතිය පවතිද්දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හෙට (11) (විඩියෝ)

• ඊයේ (09) හඳුනාගත් ආසාදිතයන් 12 න් 10 ක් නාවික හමුදා සාමාජිකයන් – යුද හමුදාපති

• ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට (විඩියෝ)

• ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාලයක්

• අමතක නොවූ ආගන්තුක සත්කාරය (විඩියෝ)

• කුවේටයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලේඛණගත පිරිස ගෙන්වා ගැනීම මේ මසදී ආරම්භ වෙයි

• ඇදිරි නීතිය නිසා කොළඹ කොටුවූ තවත් පිරිසක් ගම්බිම් වෙත පිටත් කර යවයි (විඩියෝ)

• අලි හොරා – CCTV දර්ශන සහිතයි (විඩියෝ)

• සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයකටමාලදිවයිනෙන් කණ්ඩායමක් ගේන්න සැලසුම් කරලා

+++++++++++++++++++++++++++++++++++

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළට

(09.05.2020 – 21:01 +0530 – sinhala.adaderana.lk)

අද (09) රාත්‍රී 07:30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර අද (09) දිනය තුළ පමණක් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (08) සහ අද (09) දිනයේ නාවික හමුදා සෙබලුන් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්යාතව 21 ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සියලු නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට නියමිතව තිබේ.

මෙම සියලු නාවිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කිරීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂනණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 129 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු එහි නිරෝධායන වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ශරීර උෂ්ණත්වය පරික්ෂා කළ හැකි විශේෂ කැමරා පද්ධතියක්

(09.05.2020 – 19:26 +0530 – sinhala.adaderana.lk)

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළි‍වෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන විෂබීජහරණය මෙන්ම ඒවා සේවා සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙයි.

ඒ අනුව අද (09) දිනයේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීම හා විෂබීජහරණය සිදුකෙරුණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන විශේෂ කැමරා පද්ධතියක් අද ස්ථාපිත කෙරුණි.

ඒ අනුව කැමරාව මගින් ග්‍රහණය කරගන්නා පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ක සාමාන්‍ය අගයක පවතියි නම් කොළ පැහැයෙන්ද ඊට වැඩි නම් රතු පැහැයෙන්ද දර්ශනය වෙයි.

ඒ අනුව අදාළ පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත යොමු කළ හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා පරිශ්‍රයද අද (09) විෂබීජහරණය කෙරුණු අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත විෂබීජ නාශක දියර ලබාදීමද මෙහිදී සිදුකෙරුණි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සක්‍රීය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් වෙත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයද අද (09) සිදුකෙරුණි.

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන්ද අද (09) විශේෂ සාකච්ඡා පැවැත්වුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර දිවයින පුරා සියලු සුරාසැල් තවදුරටත් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ත්‍රිරෝද රථ ධාවනය පිළිබඳව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය අද (09) කරුණු පැහැදිලි කළේය.

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුර රෝහලේ මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

(09.05.2020 – 19:14 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි වකුගඩු රෝගීන් සඳහා ඉදිකෙරුණු මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කරන විශේෂ මධ්‍යස්ථානයක් ලෙසට සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටියි.

ඒ අනුව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඇඳන් 10 ක් සහිතව ඉදිවන මෙම මධ්‍යස්ථානය නුදුරේදීම විවෘත කිරීමටද නියමිතයි.

මේ අතර, ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායනය ම්‍යස්ථානයේ මේ දිනවල නිරෝධායනයට ලක්කර සිටින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් 19 ආසාදිතවූ සෙබලුන්ගේ ඥාතීන් හා සමීපතමයින්.

ඒ අතරින් පුද්ගලයින් 42 දෙනෙකුගේ ජෛව පටල අද (09) දිනයේත් ලබාගැනීම මෙලෙස සිදුකෙරු‍ණේ ඔවුන් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහායි ෴

+++++++++++++++++++++++++++++++++++

විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 298 ක් පිටව යයි

(09.05.2020 – 19:05 +0530 – sinhala.adaderana.lk)

තෙන්මාරච්චි ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ ස්ථාපිත විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21 ක් රැදී සිටිමින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 298 දෙනෙකු අද (09) ඔවුන්ගේ නිවෙස් බලා පිටත් කර යැවීමට යුද හමුදාව පියවර ගත්තේය.

ඒ අනුව මෙලෙස පිටව ගියේ කොළඹ බණ්ඩාරනායක මාවතේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

නිරෝධායනයට ලක්වූ කාන්තාවක් පවසා සිටියේ, ‘පුළුවන් උපරිම පහසුකම් දීලා තමයි තිබ්බේ. කිසිම අඩුපාඩුවක් නම් තිබුණේ නැහැ අපිට. කියන්න කිසිම වැරැද්දකුත් නැහැ.’ යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය :

“ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා අපේ ජනතාව ප්‍රවේශම් කරගන්න අවශ්‍යයි කියන එක; සමහර රටවල විවිධ ආකාරයෙන් ඒ තීරණය අරන් තියෙනවා.

නමුත් ජනාධිපතිතුමාගේ තීරණය අනුව යුදහමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ අපිට පුළුවන් උපරිමයෙන් ඔයාලාව රැකබලාගන්න හැකි සෑම කටයුත්තක්ම කළා.

මම හිතනවා ඔයාලට සතුටුදායක විදියට මේ කර්තව්‍යය නිමා වුණා කියලා. අපි සුබ පතනවා, ඔයාලා බොහොම ප්‍රවේශමෙන් ඉන්න.

දැන් මෙතනින් ගියත් තව සති 2 ක් අනිවාර්යයෙන්ම එළියට බහින්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න අවශ්‍ය වෙනවා. සුබ පතනවා හැමෝටම.”

+++++++++++++++++++++++++++++++++++

පාසල් විවෘත කිරීම ගැන තීරණය ලබන සතියේ දී

(09.05.2020 – 18:45 +0530 – sinhala.adaderana.lk)

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම පිළිබඳව ලබන සතියේ දී තීරණයක් ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර දී මාධ්‍ය වෙත් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාසල් විවෘත කරන දිනය ලබන සතියේ තීන්දු කළ හැකි වනු ඇති බවයි.

පුංචි දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගනිමින්, සියලු පාසල් විෂවීජහරණය කිරීමටද කටයුතු සුදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුව දින 4 ක් පමණ පාසල් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කළ බවද පැවසු අමාත්‍යවරයා, කාලසටන් වෙනස් කිරීමට සිදුවෙනු ඇතැයි ද කියා සිටියේය.

දෙවන අදියර ලෙස සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඒ අමාත්‍යවරයා, ඉන් අනතුරුව ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

(09.05.2020 – 18:26 +0530 – sinhala.adaderana.lk)

අද (09) සවස 05:30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු (05) සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් නව දෙනෙකු (09) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 844 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (09) දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 575 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

අද (09) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් ගණන 20 ක්.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (08) සහ අද (09) දිනයේ නාවික හමුදා සෙබලුන් පස් දෙනෙකු (05) පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 21 ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සියලු නාවිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට නියමිතව තිබේ.

මෙම සියලු නාවිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කිරීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂනණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 129 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු එහි නිරෝධායන වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මැයි 11 වන දා විශ්වවිද්‍යාල ආරම්භ වන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණයි

(09.05.2020 – 17:12 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන 11 වැනිදා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද අධ්‍යයන කටයුතු සිදු කිරීමක් හෝ නේවාසිකාගාර විවෘත කිරීමක් සිදුනොවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විෂබීජහරණ කටයුතු සඳහා අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පිරිසකට පමණක් එදිනට විශ්වවිද්‍යාල වෙත පැමිණීමට දැනුම් දී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් මත කටයුතු කරන බවත්, ඒ අනුව ශිෂ්‍ය දුරස්ථභාවය පවත්වා ගත නොහැකි වන නිසා කිසිසේත් විශ්වවිද්‍යාල පැරණි ක්‍රමයට ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යරවයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සමඟ වැඩිදුරටත් අදහස් දැක්වු උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, නිතරම තීන්දු ගනු ලබන්නේ දරුවන්ගේ ජිවිතවලට ආරක්ෂාව ඇති බවට තහවුරු වු විට බවයි.

මේ දිනවල අන්තර් ජාලය හරහා සරසවි සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු සිදුවන බවත් පැවසු අමාත්‍යරවයා, මේ පිළිබඳ හෙට (10) දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් අන්තර් ජාලය තුළින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අයුරු දැනුම් දිමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

දුරස්ථ අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුලත් කරගැනීම 20% කින් ඉහළ දැමීමට අවධානය

(09.05.2020 – 21:51 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්ව විද්‍යාල මට්ටමින් සාර්ථකව අත්හදා බැලුණු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ඉදිරියටත් පවත්වාගැනීමෙන් මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගැනීම සියයට 20 කින් ඉහළ නංවා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පවසයි.

අද (09) පෙරවරුවේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම නිර්මාණය කිරීම කෙරෙහි කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදීද අවධානයට ලක්වූ බව ඔහු පැවසීය.

දුරස්ථ අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දීමට ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද තිබු බවත් ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ලංකාවේ සිට විදෙස් සිසුන්ටත් අධ්‍යාපනය දිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ලොව හොඳම කථිකාචාර්යවරු ශ්‍රී ලංකාවේ සිටින බවත් මෙම ක්‍රමය යටතේ සිසුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබෙන බවද ඒ මහතා පැහැදිලි කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

වීසා බලපත්‍රවල වලංගු කාලය දිගු වෙයි

(09.05.2020 – 16:44 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කරයි.

ඒ අනුව පහත උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත.

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=349&lang=si
වීසා බලපත්‍ර දීර්ඝ කිරීම – නිවේදනය – IV

+++++++++++++++++++++++++++++++++++

සඳුදා (11) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු ඇරඹෙයි

(09.05.2020 – 17:26 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන 11 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල දී ආගමන විගමන දෙපාර්තමේන්තු විවෘතව තැබෙන අතර සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරි නීති කාලසීමාව තුළ පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නියමයන් පිළිපැදිය යුතු බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව එක්දින සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයඳුම් පත් භාරදීම උදෑසන 8.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක කර තිබේ.

සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයඳුම්පත් භාරදීම උදෑසන 9.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ගමන් බලපත්‍ර තොරතුරු සංශෝධනය, පුරවැසිභාවය ලියාපදිංචි කිරීම, ඉන්දීය සහ චීන සම්භවයක් සහිත පුද්ගලයින්ගේ පුරවැසිභාවයට අදාළ කටයුතු, ගමන් බලපත්‍ර දත්ත පිටුවේ තොරතුරු සකස් කරගැනිම සහ ගමන් බලපත්‍ර දත්ත පිටුවේ හා පිටසන්වල අරාබි පරිවර්තනයක් ලබාගැනිමේ කටයුතු උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සේවාවන් විවෘතව තබන වේලාවන් සවිස්තරාත්මකව පහතින් දැක්වෙයි :

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය පවතිද්දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හෙට (11)

(10.05.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා හේතුවෙන් විවිධ සීමාවන්ට යටත් කළ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම හෙට (11) සිට ආරම්භ කෙරෙනවා. කෙසේ වෙතත්, හෙට (11) අලුයම 5 දක්වා දිවයින පුරා තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිලිවෙල සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය අද (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ.

පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි මෙම ගැසට් පත්‍රය මගින් නිකුත් කරනු ඇති.

ඇඳිරි නීතිය පවතිද්දී ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට අදාළව එම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතන විවෘත කොට පවත්වාගෙන යා යුතු අතර, පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10 ට විවෘත කළ යුතු වනවා.

ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයින් සංඛ්‍යාව ආදිය තීරණය කිරිම ආයතන ප්‍රධානීන්ට පැවරෙන අතර, ශ්‍රී ලංගම බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට පමණක් සීමා කෙරෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පසුගිය 06 වනදා රාත්‍රී 8 ට පැනවුණු ඇඳිරි නීතිය යළි හෙට (11) අලුයම 5 ට ලිහිල් කෙරෙනවා.

ඒ අනුව, හෙට (11) සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මකව පවතිද්දී මෙලෙස සේවාවන් ආරම්භ කෙරෙන අතර, රජය නිවේදනය කළේ සියලු සේවකයන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් අප විමසීමක් කළා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් වැඩකටයුතු දිස්ත්‍රික්කය තුළ ආරම්භ වන අතර, එම කටයුතු ඉටු කර ගන්නා පුද්ගලයින් කඩිනමින් තම නිවෙස් බලා ගමන් කළ යුතු බවයි.

මේ අතර, ජනතාවට අවශ්‍ය සේවාවන් ප්‍රමුඛතා ගතකර ඒ අනුව අදාළ කටයුතු දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට මේ වනවිටත් සැලසුම් කර අවසන් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා කියා සිටියා.

කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා කියා සිටියේ පළමු අදියරේදී දිස්ත්‍රික්කය තුළ සිටින සේවකයින් පමණක් කාර්යාලවලට ගෙන්වා ගෙන වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මහජනතාව එක්රැස්වීම අවම කිරීම සඳහා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාත්‍රී අට (8) දක්වා විවෘත කර තැබීම කෙරෙහිද අවධානය යොමුකර ඇති බවයි.

හෙට (11) දිනයේ කාර්යාල වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් බස් රථ 5700 ක් යෙදවීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ මින් බස් රථ 3000 ක් අවදානම් නොවන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති බවයි. ඉතිරි බස් රථ 2700 යොදවා ඇත්තේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි.

කෙසේ වෙතත්, දුර ගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමනාගමනය සිදුවන්නේ නැහැ.

කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ යුතු වනවා.

මේ අතර, දුම්රියෙන් කාර්යාල වෙත පැමිණීමට බලාපොරොත්තු වන සේවකයින්ට ද දුම්රියේ ගමන් කළ හැකි විශේෂ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දැනටමත්, තමන්ට අදාළ ආයතනය හරහා දුම්රියේ ගමන් කිරීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට ඒ සඳහා අවසර හිමිවන කෙටි පණිවුඩය අද (10) දහවල් 12 න් පසු ලැබීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කෙටි පණිවුඩයේ දුම්රිය ගමන ආරම්භ වන ස්ථානය, තමන් පැමිණිය යුතු වේලාව සහ දුම්රිය ස්ථානය ද ඇතුළත් වනවා. එළඹෙන කාලයට අදාළ දුම්රිය කාල සටහනද අද (10) දහවල් 12 න් පසු නිකුත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සඳුදා දිනයේ (11) දුම්රියේ ගමන් කිරීමට යළි ඉල්ලීම් කිරීමට අවස්ථාවක් නොමැති නමුත්, අද (10) දිනයේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, http://www.railway.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මීට අදාළව තවදුරටත් තොරතුරු ලබා ගත හැකියි.

මේ අතර, ප්‍රවාහන කටයුතු ඇරඹුණත්, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම සියලු සේවකයන්ගේ වගකීම බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මැයි මස 02 වැනිදා දක්වා ලබාදුන් සහන කාලය සඳහා අතිරේක සහන කාලයක් හෙට (11) සිට මේ මස 29 දක්වා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

මාර්තු මස 01 වැනිදා හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් මේ අනුව හිමිවනවා.

එසේම, පෙබරවාරි 16 වැනිදා සිට පෙබරවාරි 29 වැනිදා දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා සඳහා දින 28 ක කාලයක් තුළ ගෙවීම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දඩ පත්‍රිකා භාර ගැනීමද සිදුවනු ඇති.

හෙට (11) සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘතව පවතින බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (09) හඳුනාගත් ආසාදිතයන් 12 න් 10 ක් නාවික හමුදා සාමාජිකයන් – යුද හමුදාපති

(10.05.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) දිනයේදී වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අනෙක් දෙදෙනා (02) නාවික හමුදා සාමාජිකයන්ගේ සමීපතමයන් බවයි ‘හිරු ටී.වී පත්තරෙ විස්තරේ’ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිටියේ.

වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ නාවික හමුදා සෙබලුන් දස දෙනා මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් ද මේවන විට කඳවුරුවල නිරෝධායනය වෙමින් සිටින අය බව ද ඔහු සඳහන් කළා.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 847 ක් වාර්තාවී ඇති අතර ඉන් 578 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 260 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 09 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානයක් දිවයිනට

(10.05.2020 – 06:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

එම යානයෙන් ශ්‍රී ලාංකිකයන් 272 ක් පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට පැමිණි මෙම යානය කටුනායක ගුවන්තොටුලට ගොඩබස්වනු ලැබුවේ අද (11) උදෑසන 06:12 ට පමණයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාලයක්

(09.05.2020 – 22:12 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා පොලිස්පතිවරයාගේ එකඟතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනවා.

මාර්තු මස පළමුවනදා (01) හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිතව මෙම කාලය තුල ගෙවීමට හැකියාව පවතිනවා.

+++++++++++++++++++++++++++++++++++

අමතක නොවූ ආගන්තුක සත්කාරය

(09.05.2020 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ආගන්තුක සත්කාර පුදකිරීම අතින් ගත් කළ ශ්‍රී ලංකාව පුරාතනයේ පටන් ලොව පුරා කීර්තිමත් නාමයක් හිමිකරගත් රටක්.

කොවිඩ් 19 වෛරසය ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කළත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හීන කිරීමට නොහැකි වු පුවතක් ඇල්ල සංචාරක පුරවරයෙන් වාර්තා වුණා.

අතිශය සුන්දර පරිසර කලාපයකට හිමිකම් කියන ඇල්ල සංචාරක පුරවරය දෙස් විදෙස් ජනතාවගේ නොමද ආදරය දිනාගත් ප්‍රදේශයක්.

නිරන්තරයෙන් විදේශිකයන්ගෙන් පිරීපවතින ඇල්ල නගරයේ වීදි ජන ශුන්‍ය තත්ත්වයට පත්වුයේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනයට රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමගයි.

ගුවන් ගමන් අවලංගුවීම හේතුවෙන් විදේශීය සංචාරකයන් 40 ක් පමණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට කොටුවුණා.

තමන් සංචාරය සදහා මෙරටට ගෙනා ආ මුදල් ද ක්‍රමයෙන් හීන වද්දී දැඩි මුල්‍ය අර්බුදයකට පත් මේ පිරිසගේ සහනයට ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයක හිමිකරුවන් ඉදිරිපත්වී තිබෙනවා.

ඒ අනුව විදේශිකයන්ගේ නවාතැන් ගාස්තු මෙන්ම තුන්වේලටම ආහාර පාන සැපයීම සදහා ද කිසිදු මුදලක් අය නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ආහාර නොමිලේ ලබාදුන්න ද ඒවා නියම සෞඛ්‍යා ආරක්ෂක ක්‍රමවේද අනුව උසස් ලෙස පිළියෙල කර සංග්‍රහ කිරීමට හෝටල් හිමියන් කටයුතු කරන්නේ මෙලෙසයි.

මේ උසස් ආගන්තුක සත්කාරත් සමග මෙම විදේශිකයන්ට වෙනත් රටක කොටු වී සිටින හැගීම කිසිවිටෙකත් නොදැනෙන බව මෙම දර්ශන සාක්ෂි සපයනවා.

ගීත ගායනා කරමින් නිරන්තරයෙන් උද්යෝගයෙන් දවස ගෙවන මෙම සංචාරකයන් ශ්‍රී ලංකාවේ පරිසරයට ද බෙහෙවින් ආදරය කරනා පිරිසක්.

ඊට හොදම නිදසුන වන්නේ ලහිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය මාර්තු මස 03 වනදා ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වය වනසමින් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් අක්‍රමවත් කසල බැහැර කිරීම සමබන්ධයෙන් අප කළ අනාවරණයයි.

එහිදී ඇල්ලේ සුන්දරත්වය රැකගැනීම සදහා උද්ඝෝෂණයක නිරත වීමට ද මෙ සංචාරකයින් පෙළ ගැසුණා.

ලොවම ආර්ථික අර්බුධයක හිරව ඇති මේ අවස්ථාවේ තමන්ගේ ආර්ථික අපහසුතා ද අමතක කර ඇති ශ්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරය පිළිබඳ මෙම සංචාරකයින් අදහස් පළ කළා.

***************************************

කුවේටයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලේඛණගත පිරිස ගෙන්වා ගැනීම මේ මසදී ආරම්භ වෙයි

(10.05.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කුවේටයේ විදේශ අමාත්‍ය ගරු ෂීක් ආචාර්ය අහමද් නසර් අල්-මොහමඩ් අල්-සබහ් මහතා අමතා එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතරින් මව්බිමට පැමිණීමට ලේඛණගතව සිටින පිරිස සුරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම මැයි මසදී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.

අනෙක් අයටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමත් සමඟ එලෙසම නැවත මව්බිමට සුරක්ෂිතව පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම ක්‍රියාවලිය සතිපතා දෙරටේ අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන බවද සඳහන්.

තවදුරටත් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වෙත දක්වන සහයෝගය වෙනුවෙන් කුවේට රජයටත්, එරට විදේශ කටයුතු අමාත්‍යවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් විශේෂ ස්තුතියක්ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිරිනමා තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතිය නිසා කොළඹ කොටුවූ තවත් පිරිසක් ගම්බිම් වෙත පිටත් කර යවයි

(09.05.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැදි සිටි පිරිස් යළි ගම්බිම් වෙත පිටත් කර යැවීමේ 4 වන අදියර අද (09) රත්මලාන දුම්රිය ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාල පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දුන් ඇමතුම් අනුව, මෙලෙස ගම්බිම් කරා පිටත් කර යැවුණේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 10 ක පුද්ගලයින් 1200 කට ආසන්න පිරිසක්.

ලංගම බස් රථ 40 කින් මෙම පිරිස ගම්බිම් කරා යොමු කෙරුණේ උෂ්ණත්වය මැනීම සහ විෂබීජහරණයෙන් අනතුරුවයි.

මේ අතර, පානදුර – කෙසෙල්වත්ත, සරික්කම්මුල්ල, හේනමුල්ල ග්‍රාම සේවා වසම් වල අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 නොලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා.

පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ මෙම දීමනාව ලබා ගැනීමට ඉල්ලුම් කළ අයට අමතරව, අභියාචනා ඉදිරිපත් කළ පිරිස් ද එම ස්ථානයට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

කෙසේ වෙතත්, රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට වඩා අගහිගකම් ඇති පවුලක් වෙත ප්‍රදානය කළ මවක් පිළිබඳ තොරතුරු අම්බලන්තොට – මානජ්ජාව ග්‍රාම නිලධාරි වසමෙන් අද (09) වාර්තා වුණා.

***************************************

අලි හොරා – CCTV දර්ශන සහිතයි

(09.05.2020 – 16:22 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳ සැලකට රාත්‍රියේ දී ඇතුලූ වු වන අලියෙකු එහි ඇති කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සිරුවේ ආහාරයට ගන්නා ආකාරය සී.සී.ටීවි කැමරාවක සටහන්ව තිබේ.

පසුගිය වෙසක් පොහෝ දා අලුයම 04:30 ට පමණ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කඩවතමඩුව නගරය යාබඳව පිහිටා ඇති වී වෙළඳ සැලකට මෙම වන අලියා මෙලෙස ඇතුල් වී ඇත.

වී උර කිහිපයක් වී වෙළඳ සැලේ තබා තබා තිබිය දී එම අලියා වී උරයකට පමණක් හානි කිරීම පුදුමයට කරුණක් බවද අලෙවි සැලේ හිමිකරුවා පැවසීය.

විනාඩි 40 ක පමණ කාලයක් අලියා වෙළඳ සැල තුළ සිට ඇති බවත් පසුව, ඉන් පිටව ගොස් ඇති බවත් වාර්තා වෙයි.

වෙළෙඳ හිමිකරු පවසා සිටියේ, ගබඩාවේ ප්‍රවාහනය සඳහා පටවා තිබු වී ලොරිය අසල සිටියද අලියා එයට කිසිදු හානියක් සිදු නොකර ගබඩාවේ පිටුපස දොරින් පිටව ගොස් ඇති බවයි.

කිසිදු අලියෙක් වී ආහාරයට ගැනීමට පැමිණ මෙලෙස හැසිරී නැතියි ද හිමිකරු වැඩිදුරටත් පැවසීය.

***************************************

සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයකටමාලදිවයිනෙන් කණ්ඩායමක් ගේන්න සැලසුම් කරලා

(10.05.2020 – epaper.aruna.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු අනාවරණය වී තිබේ.

2017 දී මාලදිවයින් අන්තවාදීන් හා සහරාන් පිලේ සාමාජිකයන් එකට හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන් මෙරටට පැමිණි බවද හෙළි වී ඇත. එම තොරතුරු ඔස්සේ ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව සෙසු කණ්ඩායම් අනාවරණය කිරීමේ මෙහෙයුම් ඇරඹී ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *