කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම – කළුතර සහ පුත්තලමට ලිහිල් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම – කළුතර සහ පුත්තලමට ලිහිල් වෙයි (විඩියෝ)

• හෙට (11) සිට ක්‍රියාත්මක විශේෂ දුම්රිය කාලසටහන

• මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළට (විඩියෝ)

• ජන ජීවිතය යථා තත්ත්වයට පත්වුවද පාසල් සහ උපකාරක පන්ති තවදුරටත් වසා තැබේ

• සියළු අධිවේගී මාර්ග හෙට සිට විවෘතයි

+++++++++++++++++++++++++++++++++++

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම – කළුතර සහ පුත්තලමට ලිහිල් වෙයි

(10.05.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 දා සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 08:00 සිට අළුයම 05:00 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 දා සඳුදා ඇරඹේ.

+++++++++++++

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ මාස එක හමාරකට ආසන්න කාලයක් තාවකාලිකව අඩපණ වූ රට හෙට (11) සිට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොවිඞ් නයින්ටින් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇදිරි නීතිය හෙට (11) සිට ලිහිල් කිරීමට රජය තීරණය කළ ද, තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන සේවා යොදා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එම උපදෙස්වලට අනුව යමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබූ පරිදිම ශ්‍රී ලංගම සහ දුම්රිය පහසුකම් සපයන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

තවත් සති දෙකක් යන තුරු සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ශ්‍රී ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් ලබානොදෙන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන හෙට (11) දිනයේ රාජ්‍ය අංශයේ සේවකයින් උදෑසන 08:30 ට පෙර වාර්තා කිරීමට කටයුතු කරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සෑම සේවකයෙකු සතුවම තමන් යම් ආයතනයක සේවය කරන බවට සනාථ කරන ලේඛනයක් තිබීම අනිවාර්ය බවයි ඔහු කියා සිටියේ.

සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, සමාජ ශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් හෙට (11) දින විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සියළු අධිවේගී මාර්ග හෙට (11) උදෑසන 07:00 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා ප්‍රකාශ කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට (11) සිට විවෘත කෙරෙනු ඇති. දැනට රට තුළ ක්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති.

මේ අතර, කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙස පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමක් සිදුකරන්නේ රටේ ආර්ථිකය පණ ගැන්වීමට සහ රාජ්‍ය යාන්ත්‍රණය යළි ක්‍රියාත්මක කිරීමට බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, හැඳුනුම්පතේ අවසාන අංකය එක (1) සහ දෙක (2) ඇති පුද්ගලයින්ට හෙට (11) දිනයේ සිය අවශ්‍යතා සඳහා නිවසින් බැහැර වීමට හැකියාව පවතින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, කොරෝනා වෛරසය පාලනය කොට ක්‍රමක්‍රමයෙන් හෙට (11) සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන ආරම්භ වුවද තවදුරටත් පාසල් සහ උපකාරක පන්ති වසා තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරසය පාලනය කිරීම අතින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවයි.

ඊට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියළුම පිරිස් මේ තාක් ඉටු කළ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, රෝගීන් සෙවීම සඳහා ජනතාව අතර නියැදි පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවත්, නිරෝධායන මධ්‍යස්ථාන ද දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මීට අමතරව අවශ්‍ය වුවහොත් පෙර මෙන්ම යම් ප්‍රදේශ හුදෙකලා කිරීම, පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය සිදුකිරීමට ඉඩ ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර, රාජ්‍ය ආයතන මෙන්ම පොදු ස්ථානවල විෂබීජහරණ කටයුතු සිදුකරන ආකාරය ද අද (10) දක්නට ලැබුණා.

එමෙන්ම, සිය දෛනික රාජකාරි කටයුතු යළි ආරම්භ කරන තෙක් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගත වෙමින් පුද්ගල සංචරණය සීමා කොට සේවා සැපයීම වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත නොපැමිණ සේවය ලබා ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හෙට (11) සිට ක්‍රියාත්මක විශේෂ දුම්රිය කාලසටහන

(10.05.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 4 ක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබියදීම හෙට (11) සිට ජන ජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ කාර්යාලවල රාජකාරී කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ඔබ තරයේ සිහි තබාගත යුතුයි.

ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන්ම රැකියා ස්ථානයට ඇතුළුවන්නට පෙර සිටත් – කාර්යාලයෙන් පිටවන මොහොත වනතුරුත් අනුගමනය කළ යුතු අරක්ෂිත ක්‍රයාමාර් රැසක් පවතනවා.

හෙට (11) අළුයම 05:00 ට ඇඳිරිනීතය ඉවත්වන්නේ දිස්ත්‍රික්ක 21 23ක් සඳහා පමණක් වන අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.

එසේ ඇඳිරිනීතිය පවතිද්දීම ජන ජීවිතය යථාවත් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ හෙට සියළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාජකාරී කටයුතු ආරම්භ කළත් ඔබ රැකියා ස්ථානයට යාතුද යන්න ආයතන ප්‍රධානියාගෙන් විමසන්න.

ආයතන ප්‍රධානියාගේ අනුමැතිය පරිදි ඔබ කාර්යාලයට යායුතු නම් ඒ සඳහා ලිපියක්, අවසර පත්‍රයක් හෝ අවම වශයෙන් කෙටි පණිවුඩයක් ආයතන ප්‍රධානියාගෙන් ලබාගන්න.

එය ඔබේ ප්‍රවාහන පහසුකම් සඳහා පහසුවක් වේවි.

ඔබ ප්‍රවාහනය සඳහා දුම්රිය පහසුකම් ඉල්ලුම් කර ඇත්නම් ඒ සඳහා අවසර හිමිවන SMS පණිවුඩය වේ වන විට ඔබට ලැබී ඇති.

එහි සඳහන් වන උපදෙස් පිළිපදිමින් ඔබට හිමි දුම්රිය මැදිරියේ, ඔබට හිමි ආසනයේ අසුන්ගත යුතුයි.

කාර්යාලයට යාමට කුමන පොදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කළත් අප ඊයේ (09) සඳහන් කළ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.

එම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාර්යාලයට පැමිණි ඔබ කාර්යාලයට ඇතුළු විය යුත්තේ ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින්.

ආයතනය තුලට ඇතුළුවීමේදී මුව ආවරණය පැළඳීම මෙන්ම මීටරයේ පරතරය තබා ගැනීමත් අනිවාර්ය කටයුත්තක්.

කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 98.4 හෝ සෙල්සියස් අංශක 37 ට වැඩිනම් ඔහු හෝ ඇය විනාඩ් 10 ත් 15 ත් අතර කාලයක් විවේක ගැන්වීමෙන් අනතුරුව යලි උෂ්ණත්වය පරීක්ෂා කරන්න.

ඒවන විටත් උෂ්ණත්වය වැඩිනම් ඔහු හෝ ඇය නිවෙස වෙත හරවා යැවීමට වග බලාගන්න.

ඔබ විදුලි පඩිපෙළ හෝ පියගැටපෙළ භාවිත කිරීමේදී වඩා සැළකිලිමත් වියයුත්තේ මීටරයේ පරතරය තබා ගැනීම පිළිබඳයි.

එමෙන්ම අත්වැට ස්පර්ශ නොකිරීමටත් එය ස්පර්ශ වුවහොත් විශබීජහරණ දියර භාවිත කර දෑත් පිරිසිදු කර ගැනීමටත් මතක තබාගන්න.

විදුලි සෝපානය කියන්නේ විෂබීජ එකිනෙකා අතර පැතිරිය හැකි ප්‍රධාන ස්ථානයක් නිසා ඒ තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම අතිශය වැදගත්.

විදුලි සෝපානයට ගොඩවීම සඳහා වෙනදාට එකිනෙකාට සමීපව සතුටු සාමිචියේ යෙදී සිටියත් හෙට සිට ඒ පුරුදු ඉවත් කර මීටරයේ පරතරය තබා ගැනීමට ඔබ පුරුදු විය යුතුයි.

විදුලි සෝපානය තුළ ස්ථානගත වීමේදීත් නිවැරදි ක්‍රයා පිළිවෙතක් තිබෙනවා.

එය එකිනෙකා මුහුණට මුහුණ නොගැටෙන ආකාරයට, දුරස්ථභාවය තබාගෙන සිදුකළ යුතුයි.

කාර්යාලය තුළට ඇතුළුවීමේදී ඔබේ දෑත්, පාවහන්වල අඩිය විශබීජනාශක දියරවලින් සේදීමට වගබලාගන්න.

කාර්යාලය තුළ කටයුතු කිරීමේදී දිනය පුරා මුව ආවරණය පැළඳගෙන සිටීම අනිවාර්යයි.

රාජකාරී කටයුතු කිරීම සඳහා කාර්යාලයේ මේස පුටු ස්ථානගත කිරීමේදී එක් දිශාවකට පිහිටන සේ ස්ථානගත කර හිඳගන්න.

මුහුණට මුහුණ පිහිටන සේ හිඳගන්නේනම් දෙදෙනෙකු අතර ආවරණයක් තිබිය යුතුයි.

බොහෝ කලකින් මුණගැහුණු මිතුරු මිතුරියන් සමඟ කතාබහ කිරීම මීටරයේ පරතරය තබාගනිමින් සිදු කරන්න.

දොරවල් විවෘත කිරීමේදී වැලමිට භාවිත කිරීමට සිහි තබාගත යුතුයි.

නිතර විවෘත කිරීමට සිදුවන දොරවල් දිනය පුරා විවෘත කර තැබීම සෞඛ්‍යාරක්ෂිත බව තහවුරුවීමට රුකුලක් වනවා.

ඔබ මෙතෙක් කල් කාර්යාලය තුළ කටයුතු කිරීමට හුරුවූ ආකාරයක් ඇති.

නමුත් ඔබත් රටත් ගැන සිතා එම පුරුදු අමතක කර ඔබ කොවිඩ් 19 වාහකයෙකු නොවන්නටත් ආසාදිතයෙකු නොවෙන්නටත් වග බලාගන්න.

එමෙන්ම රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රාජකාරී නොකරන, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සිටින ඔබට ගැටළුවක් ඇති හෙට (11) දිනයේදී නිවසින් බැහැරව යා හැක්කේ කෙසේද යන්න.

ඔබට අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා බැහැරව යාමට අවශ්‍ය නම් අදාළ දිස්ත්‍රික්කවල හෙට බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස 1 හෝ 2 සඳහන් වන අයට පමණයි.

නමුත් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක 21 23 හි ජනතාවට සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ හැකි වනවා.

නමුත් ඔබ නිවසින් බැහැරව යන්නේ අත්‍යාවශ්‍යම කටයුත්තකට පමණක්නම් එය ඔබේ සෞඛ්‍යාරක්ෂාව වඩා වැදගත් වේවි.

නිවසින් බැහැරට යායුතුමනම් ඔබෙත් රටෙත් ආරක්ෂා වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළපදින්න.

මේ අතර, හෙට සිට ක්‍රියාත්මක විශේෂ දුම්රිය කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උදෑසන කාලයේ දුම්රිය 10 ක් පිට පළාත්වල සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දක්වා ධාවනය වනවා.

ඒ මහනුවර, පොල්ගහවෙල, ගම්පහ, මහව, හලාවත, අළුත්ගම, පානදුර, බෙලිඅත්ත, හෝමාගම, සහ අවිස්සාවේල්ලෙන්.

මේ එම විශේෂ දුම්රිය කාල සටහන ක්‍රියාත්මකවන ආකාරයයි :

පස්වරුවේද කොළඹ – කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකේ සිට පිට පළාත් දක්වා විශේෂ දුම්රිය 10 ක් ක්‍රියාත්මකයි.

ඒ උදෑසන ගමන් ආරම්භ වූ දුම්රිය ස්ථාන වෙත වන අතර මේ එම දුම්රිය කාල සටහනයි :

කෙසේ වෙතත් මෙම දුම්රියන්හී ගමන් කළ හැකි වන්නේ ඒ සඳහා මේ වන විට වෙන් කර ගැනීම් සිදුකර ගත් මගීන්ට පමණයි.

+++++++++++++++++++++

කොරෝනා වසංගත සමය තුල දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සඳහා උපදෙස් – ශ්‍රී ලංකා දුම්රිය සේවය (pdf file)
Preventive Measures of COVID-19 – by Sri Lanka Railways (pdf file)

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළට

(10.05.2020 – 18:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 08 දෙනෙකු අද (10) දිනයේ සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 855 ක් දක්වා ඉහළ ගියා.

අද (10) හමුවූ ආසාදිතයින් 08 දෙනාගෙන් 06 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් දෙදෙනා (02)ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටි අය වනවා.

ඒ අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට පසුවන සංඛ්‍යාව 525 ක්. කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වී සුවය ලබා දිනක් තුළ නිවෙස් වෙත ගිය වැඩිම සංඛ්‍යාව ද අද (10) වාර්තා වුණා.

අද (10) සුවය ලැබූ සංඛ්‍යාව 61 ක් වන අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ඉන්දියාවේ මුම්බායි හි විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිට මෙරටට ගෙන්වා ගත් සිසුන් 65 දෙනෙකු අද (10) සිය නිරෝධායන කාලසීමාව අවසන් කර පූනානි කඳවුරෙන් නික්ම ගියා.

එමෙන්ම, මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 256 දෙනෙකු අද (10) නිරෝධායන කාලය අවසන් කර පිටව ගිය බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළ ද ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මලයාසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද (10) පස්වරු 04:12 ට ක්වාලාලම්පුර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යනු ලැබුවා.

එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 272 කු ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් අද (10) උදෑසන දිවයිනට පැමිණියා.

+++++++++++++++++++++++++++++++++++

ජන ජීවිතය යථා තත්ත්වයට පත්වුවද පාසල් සහ උපකාරක පන්ති තවදුරටත් වසා තැබේ

(10.05.2020 – 15:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කොට ක්‍රමක්‍රමයෙන් හෙට සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන ආරම්භ වුවද තවදුරටත් පාසල් සහ උපකාරක පන්ති වසා තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරසය පාලනය කිරීම අතින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවයි. ඊට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියළුම පිරිස් මේ තාක් ඉටු කළ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් පෙර මෙන්ම යම් ප්‍රදේශ හුදෙකලා කිරීම, පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය සිදුකිරීමට ඉඩ ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

සියළු අධිවේගී මාර්ග හෙට සිට විවෘතයි

(10.05.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

සියළු අධිවේගී මාර්ග හෙට (11) උදෑසන 7 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට (11) සිට විවෘත කෙරෙනු ඇති.

රැකියා සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඒ අනුව අධිවේගී මාර්ගය භාවිත කළ හැකි වනවා.

දැනට රට තුළ ක්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *