ඉදිරි අවදානම් හඳුනා ගෙන පසු නොබැස වැඩ කරන්න – ජනපති ගෝඨාභය රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඉදිරි අවදානම් හඳුනා ගෙන පසු නොබැස වැඩ කරන්න – ජනපති ගෝඨාභය රාජපක්ෂ

• නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම්

• අමාත්‍යාංශ 7 කට නව ලේකම්වරු

• පොදුජන පෙරමුණේ නියෝජිතයන් කිහිපදෙනෙක් අල්ලස් කොමිසමට (විඩියෝ)

• කොරෝනා තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – WHO කියයි

• දිස්ත්‍රික්ක 23 කට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය (විඩියෝ)

• නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයත් තහවුරු කලා (විඩියෝ)

• පුහුණු පාඨමාලා සඳහා ඉන්දියාවට ගිය නාවිකයින් යුද නෞකාවක් මඟින් ලංකාවට

• අද (11) දිනය තුල මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නෑ (විඩියෝ)

• දුම්රිය ධාවනය සතියෙන් සතිය වෙනස් වේ – බස් සහ දුම්රිය යෙදවූවත් මගීන්ගේ අඩුවක් (විඩියෝ)

• කර්මාන්තකරුවන්ගේ කාරක ප්‍රාග්ධන ණය මුදල් ගැටලුවට ඇමැති විමල් මැදිහත්වෙයි..! (විඩියෝ)

• රට වහගෙන ඉස්සරහට යන්න බෑ – මහාචාර්ය ජී.එල්. පීරිස් (විඩියෝ)

• හෙට (12) සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

• ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඉදිරි අවදානම් හඳුනා ගෙන පසු නොබැස වැඩ කරන්න – ජනපති ගෝඨාභය රාජපක්ෂ

(11.05.2020 – 16:52 +0530 – sinhala.adaderana.lk)

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අද (11) දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැනිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින්විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡාවට ලක් විය.

පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව ද සාකච්ඡාවේ දී අවධානයට ලක් කෙරිණ.

පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසා ලාභී 3297 ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර ඇත.

විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක් පැන නැගී ඇති බවත් විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය.

ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක් කෙරිණ.

නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී ඇති බැවින් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය.

ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතු බවද මෙහිදී සාකච්ඡා විය ෴

+++++++++++++++++++++++++++++++++++

නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට ජනපතිගෙන් සැලසුම්

(11.05.2020 – 20:47 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවෙන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ආයෝජන මණ්ඩලයේ සහ වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමඟ අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජන ජීවිතය යතා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමඟ කලින් ඇණ හිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළයුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදෙස් ණය නොගෙන ආයෝජනවලින් පමණක් නව සංවර්ධන වැඩ සිදු විය යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සියලු ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියකට අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනා ගනිමින් අත්පත් කර ගැනීමට දසාකච්ඡා විය.

අඩු, මධ්‍ය සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම ද ඇරඹේ.

විදෙස්හි සිට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සියලු පහසුකම් සහිත නිවාස ඉදිකර කුලී පදනම මත ලබාදීමේ වැඩසටහනක් කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

විවිධ හේතුන් මත ඉදිකිරීම් නතර කර ඇති, කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැඟිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් යළි අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කොළඹ සහ සෙසු නගර යා කරමින් ඉදිකිරීමට අපේක්ෂිත මාර්ග පද්ධතියේ වැඩ වේගවත් කිරීමට ද තීරණය විය.

ප්‍රයෝජනයට නොගත් භූමි හඳුනා ගනිමින් සංවර්ධනය කර ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය ෴

***************************************

අමාත්‍යාංශ 7 කට නව ලේකම්වරු

(11.05.2020 – 19:08 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් අමාත්‍යාංශ 07 කට ලේකම්වරු අලුතින් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේය :

1. එස්.එම්. මොහොමඩ් මහත්මිය
අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

2. ජේ.ජේ. රත්නසිරි මහතා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

3. එස්. හෙට්ටිආරච්චි මහතා
සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය

4. එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා
කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

5. ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය
අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය

6. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

7. මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ෴

***************************************

පොදුජන පෙරමුණේ නියෝජිතයන් කිහිපදෙනෙක් අල්ලස් කොමිසමට

(11.05.2020 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යවරු 19 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොනුකර ඇති පැමිණිලි විභාග නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට වුවද සූදානම් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාල පැමිණිලි විභාග නොවීම පිළිබදව සොයා බැලීම සඳහා අද (11) කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉකුත් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් සිදුකර ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් විසින් ගොනුකර ඇති පැමිණිලි විභාග නොවීම පිළිබදව සොයා බැලීමට ඔවුන් අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

+++++++++++++++++++++

***************************************

කොරෝනා තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – WHO කියයි

(11.05.2020 – 20:20 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදු වන අතර එම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු වෙයි.

මේ අතර අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක් (8) වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

PCR යන්ත්‍ර, රෝහල් උපකරණ සහ වසංගතවේදීන් සිදුකරන ආවේක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණ ද ඊට ඇතුළත් ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 23 කට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය

(11.05.2020 – 20:03 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසයේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ද ඇතුළුව දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද (11) උදෑසන ලිහිල් කෙරුණි.

ඒ අතර අඛණ්ඩව ඇඳිරි නීතිය පනවා තිබෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරිම හා ආයතනික ක්‍රියාකාරිත්වය අද (11) සිට ආරම්භ කෙරුණි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු ඇඳිරි නීතිය කළුතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23 කට අද ලිහිල් කෙරුණි.

ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනජිවිත යථා තත්ත්වයට පත්කිරිම අද (11) සිට ආරම්භ වුණි.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින්ට මෙලෙස ඇඳිරි නිතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණිමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වු අතර ඇතැම් සේවකයින් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණියේය.

ඒ හේතුවෙන් කොළඹට ඇතුළුවන ප්‍රධාන ස්ථානවල දක්නට ලැබුණේ දැඩි රථවාහන තදබදයක්.

මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින් කලින් වෙන්කර ගත් පරිදි මහනුවර, අවිස්සාවේල්ල, මහව, හලාවත සහ බෙලිඅත්තේ සිට කාර්යාලයීය දුම්රිය 10 ක් අද (11) උදෑසන කොළඹට පැමිණියේය.

කෙසේ වෙතත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී දුම්රියේ දක්නට ලැබුණේ එක් මගියෙකු පමණයි.

බෙලිඅත්තේ සිට කොළඹ පැමිණි දුම්රිය නැවැත්වීම ස්ථාන කිහිපයකට සීමා වූ අතර, දෙහිවල දුම්රිය ස්ථානයේ මගීන් රැසක් එක්ව සිටියේ එම දුම්රියට නැගීම සඳහායි.

මේ අතර සෑම දුම්රිය ස්ථානයකම මගීන්ට දෑත් පිරිසිදු කර ගැනිමට අවස්ථාව සලසා තිබු අතර පැමිණි මගීන් පරික්ෂා කිරිම සඳහා දුම්රිය මැදිරි තුළ මෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂක අංශ යොදවා තිබුණි.

කොටුව දුම්රිය ස්ථානයට අද (11) උදෑසන 08:01 ට පළමු දුම්රිය පැමිණියේ හෝමාගම සිටයි.

මේ අතර කොළඹට පැමිණි මගීන් දුම්රිය ස්ථානවල සිට රාජකාරි ස්ථාන වෙත රැගෙනයාම සඳහා ලංගම බස් රථ යොදවා තිබු අතර, සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වන්නේද යන්න නිරික්ෂණය කිරිමට ආරක්ෂක අංශ යොදවා තිබුණි.

එමෙන්ම දුම්රිය සේවය ක්‍රියාත්මක නොවන මාර්ගවල රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින් ලංගම බස් රථ මගින් මෙන්ම ආයතන විසින් සලසා තිබු රථවාහන මගින් ද සිය රාජකාරි ස්ථාන වෙත පැමිණියේය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල මගීන්ට සිය රාජකාරි ස්ථාන වෙත පැමිණිමට ප්‍රමාණවත් බස් රථ මාර්ගයේ ධාවනය වූයේ නැහැ.

කෙසේ වෙතත් ලංකා ගමන මණ්ඩලයේ බස් රථ 5000 ක් පමණ යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

රාජකාරි ස්ථාන වෙත ගිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සිය සේවාස්ථානවලට ඇතුළුවීමේදී සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරනු දක්නට ලැබුණි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අද (11) දිනයේදි කොළඹ නගර සීමාවේ ත්‍රිරෝද රථ ධාවනය වන ආකාර ද දක්නට ලැබුණි.

අද (11) දිනයේදි කොළඹ කොටුව මැනිං වෙළඳපොළ විවෘතව තැබුණු අතර වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින් ද එහි පැමිණ සිටියේය.

මේ අතර ලබාදි තිබෙන අවසරය අනුව අද (11) දිනයේදි කොන්ඩා කැපිමේ ස්ථාන, රූපලාවන්‍යාගාර, ෆාමසි, සුපිරි වෙළඳසැල් මෙන්ම සිල්ලර වෙළඳසැල් ද විවෘතව තැබුණි.

අද (11) අලුයම 5 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 23 ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින් සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වුණි.

නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමන කරමින් ඇතැම් ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක විය.

එමෙන්ම එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනද අද (11) නියමිත සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වුණි.

අත්‍යාවශ්‍ය සේවා නොවන සාමාන්‍ය ජනතාව නගරවලට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණි.

ඇතැම් ස්ථානවලදි එම පිරිස් නැවත හරවා යැවිමට මෙන්ම අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේය.

මේ අතර සෞඛ්‍ය අංශ ලබා දි තිබු උපදෙස් මායිම් නොකරමින් මගීන් රැගෙන ගිය බස් රථ මෙන්ම එලෙස කටයුතු කළ මගීන් ද ස්ථාන රැසකදි දැකගන්නට ලැබුණි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන අද (11) දිනයේදි විවෘතව තැබුණු අතර ඊට ඇතුළුවන ස්ථානයේ සවි කර තිබු ජල කරාමවල ජලය තිබුණේ නැහැ.

අද (11) දිනයේදි නැවත ආරම්භ වු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණ සිටි රෝගින් නියමිත සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළේය.

මේ අතර කුඩා ආපනශාලා, ආහාර ලබාදෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර ලබා දි නොමැති පසුබිමක අද (11) හැටන් නගරයේ ආපනශාලා විවෘතව තැබුණි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැලදගෙන ආපනශාලාවක් විවෘත කර තිබෙන ආකාර දක්නට ලැබුණි.

අද අලුයම 05:00 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු කළුතර, පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23 ට අද රාත්‍රි 8 ට යළි ඇඳිරි නීතිය පැනැවෙයි.

එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය ඉවත් වන්නේ හෙට (12) අලුයම 05:00 ටයි.

කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

රාජකාරී කටයුතු සඳහා යන අය පමණක් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දී තිබියදී වෙනත් පුද්ගලයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ කොළඹ හෝර්ටන් පෙදෙසේදී පොලිස් පරීක්ෂාවට ලක් කර ඇති අතර අදාළ ත්‍රීරෝද රථ පොලිස් භාරයට ගෙන ඇත.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයත් තහවුරු කලා

(11.05.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයත් තහවුරු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

පුහුණු පාඨමාලා සඳහා ඉන්දියාවට ගිය නාවිකයින් යුද නෞකාවක් මඟින් ලංකාවට

(11.05.2020 – 18:59 +0530 – sinhala.adaderana.lk)

පුහුණු පාඨමාලා සඳහා ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ඉන්දියානු යුද නෞකාවක් මඟින් ශ්‍රී ලංකාවට අද (11) දිනයේ දී රැගෙන විත් තිබේ.

ඉන්දියානු නාවික හමුදාව මඟින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි මෙම නාවිකයින් එම පුහුණු පාඨමාලාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මඟින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද කටයුතු කර ඇත.

දෙරටටම බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, ජාන්‍යත්තර ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති පසුබිමක ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉන්දීය නාවික නෞකා ශර්ධා (INS SHARDHA) නෞකාව මඟින් මෙම නාවිකයින් පිරිස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය වෙත ගෙන එනු ලැබීය.

පසුව දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් එම නාවිකයින් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මෙලෙස ගාල්ල වරාය වෙත ගෙන එන ලද නාවික පුද්ගලයින් පිරිස දැනට පවතින වාතාවරණය මත සියලූම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කර ඇත.

පසුව ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කර බලා දින 14 ක නිරෝධායන ක්‍රියාවලිකයකට යොමු කිරීමටද නාවික හමුදාව කටයුතු කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

අද (11) දිනය තුල මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නෑ

(11.05.2020 – 18:51 +0530 – sinhala.adaderana.lk)

අද (11) දිනය තුල පස්වරු 6.30 වන විට මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 343 කි.

කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ (10) දිනයේ සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 1282 ක් වන අතර එහිදී රෝගීන් 16 දෙනෙකු හඳුනාගනු ලැබීය.

+++++++++++++++++++++++++++++++++++

දුම්රිය ධාවනය සතියෙන් සතිය වෙනස් වේ – බස් සහ දුම්රිය යෙදවූවත් මගීන්ගේ අඩුවක්

(11.05.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ නිරෝධායන සීමාවන් පැනවුණු රට නැවත යථා තත්ත්වයට පත් කිරීම අද (11) ආරම්භ කෙරුණා.

ඊට අදාළව දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය රාත්‍රියේ පමණක් ක්‍රියාත්මක කරන බව ඊයේ (10) නිවේදනය කෙරුණු අතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ නමුත් එම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය පවතිද්දී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවාවන් අද (11) යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් විශාල ප්‍රමාණයක් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම ඇතුළු නගරවල මෙන්ම දිවයිනේ සෙසු නගරවලට ද සේවය සඳහා පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජනතාවට නිවෙස්වලින් බැහැරව යා හැක්කේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණයි.

ඒ අනුව තම ජාතික හැඳුනුම්පතේ අවසාන අංක එක (1) හෝ අංක දෙක (2) ලෙස සඳහන් වූවන්ට අද (11) (සඳුදා)නිවෙස්වලින් බැහැර යාමට අවස්ථාව හිමි වුණා.

හෙට (12) දිනයේදී නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 සඳහන් පුද්ගලයින්ටයි.

අදාළ දිස්ත්‍රික්කවල ගමනාගමන කටයුතු සඳහා දුම්රිය මෙන්ම ලංගම බස් රථ ද යොදවා තිබූ අතර ජනතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබූ උපදෙස් පිළිපදිමින් පොදු ප්‍රවාහන කටයුතු භාවිත කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ කටයුතු නිසියාකාරව සිදුවන්නේ ද යන්න පිළිබදව සොයා බැලීම සඳහා පොලීසිය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද අදාළ ස්ථානවල යොදවා සිටිනු දක්නට ලැබුණා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් අධීක්ෂණයක නිරත වුණා.

දැනට පවතින දුම්රිය ධාවන කාලසටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිලිවෙලක් පවතින බැවින් ලබන 18 වන දා සිට 22 වන දා දක්වා සතියේ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා.

එම තොරතුරු මත පදනම්ව ලබන සතියේ දුම්රිය ගමන් වාර සැලසුම් කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එච්. පොල්වත්තගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා කියා සිටියේ අද (11) දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය අසාර්ථක මට්ටමක පැවති බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූ අතර ඔහු එහිදී කියා සිටියේ දුම්රිය ප්‍රමාණවත් පරිදි යොදවා තිබුණ ද මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි.

එමෙන්ම, ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා තිබුණ ද මගීන් පැමිණීමේ අඩුවක් තිබූ බැවින් බොහෝ බස් රථ ඩිපෝ වෙත යළි හරවා යැවීමට සිදුවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළා.

මේ අතර, දැනට පෞද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනය වන අතර එය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පෞද්ගලික බස් සංගම් අතර හෙට (12) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පවතින තත්ත්වය තුළ බස් රථ ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවටයි පෞද්ගලික බස් සංගම් මීට පෙර කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය උපදෙස් නොතකමින් විශාල මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක රියදුරු සහ රිය සහයකවරයා එරාවූර් පොලීසිය අද අත්අඩංගුවට ගත් අතර, තවත් ප්‍රදේශ කිහිපයකම බස් රථ නියමිත ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහන කරනු දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

***************************************

කර්මාන්තකරුවන්ගේ කාරක ප්‍රාග්ධන ණය මුදල් ගැටලුවට ඇමැති විමල් මැදිහත්වෙයි..!

(11.05.2020 – 19:37 +0530 – lankaleadnews.com)

කොවිඩ්–19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙසත් එම ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමන් මහ බැංකුව හා රාජ්‍ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (11) දින 73/1, ගාලුපාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය සහ මහ බැංකුව ඇතුළු මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික කපිල එස්. වික්‍රමසිංහ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඒ අනුව තමන් ද කැඳවා කඩිනමින් මෙවැනි ඵලදායී සාකච්ඡාවක් මහ බැංකුව ඇතුළු මෙරට වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් පැවැත්වීම අගය කරන බවත් ය.

ඉහත සාකච්ඡාවට අනුව සේවක වැටුප්, සහ ජල – විදුලි බිල්පත් ගෙවීමට අමතරව 4% පොලිය සහිත කාරක ප්‍රාග්ධන ණය මුදල අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද යොදවා ගැනීමට අවස්ථාව හිමිවීම ඉතා වැදගත් බවත් එය තම කර්මාන්ත බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එසේම ඉහත ණය මුදල දින 45 ක සීමාව නොතකා කඩිනමින් ලබාදීමට බැංකු එකඟ වීම මේ මොහොතේ තම සංසදයේ සාමාජිකත්වය දරන කර්මාන්තකරුවන් 900 ට අධික පිරිස ඇතුළු සමස්තයට ඉතා වැදගත් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා වාණිජ බැංකු නියෝජිතයෝ ද කර්මාන්තශාලා රැකගැනීම සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් සම්පත් මහකඩුව, විමල් දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

11-05-2020

+++++++++++++++++++++

පක්ෂ නායක මාධ්‍ය හමුව 2020-05-06
පක්ෂ නායක මාධ්‍ය හමුව 2020-05-06

+++++++++++++++++++++++++++++++++++

රට වහගෙන ඉස්සරහට යන්න බෑ – මහාචාර්ය ජී.එල්. පීරිස්

(11.05.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

හෙට (12) සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

(11.05.2020 – moe.gov.lk)

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් (10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය ෴

***************************************

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

(11.05.2020 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන සිනමා ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා වයස අවුරුදු 71 ක්ව සිටියදී අද (11) අභාවප්‍රාප්ත වුණා.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කළා.

1970 දශකයේ නිම්වලල්ල චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි තිස්ස විජේසුරේන්ද්‍ර මහතා, පූජිතයෝ, සුහද පැතුම, ලසදා, පෙම් කුරුල්ලෝ, හරියට හරි, සුදු පරෙවියෝ, මේජර් සර්, සුපිරි අන්දරේ ඇතුළු චිත්‍රපට රැසක රගපෑමෙන් දායක වුණා.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ෴

12-12-2018

+++++++++++++++++++++

තිස්ස විජේසුරේන්ද්‍ර සමුගනියි

(11.05.2020 – gossiplankanews.com)

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද (11) මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 71 වන වියේ පසුවිය.1970 දශකයේ ‘සිනමාවේ පෙම්වතා’ ලෙස රසික සිත් දිනා ගත් තිස්ස එකල ලංකාවේ ජනප්‍රිය නළුවෙකි.

ඔහු උපත ලැබුවේ 1949 අප්‍රේල් 3 වැනිදාය. පියා ඉංජිනේරුවෙකි.ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේය. උසස් පෙළ ඉහළින් සමත්ව වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලබා ඇති නමුත් එය අතහැර නළුවෙකු බවට පත්වූ අයුරු ඔහු කියා තිබේ.

ඔහු විවාහ වී ඇත්තේ කලින් විශාඛා විද්‍යාලයේ සේවය කළ විශ්‍රාමික ගුරුවරියක් වන සාවිත්‍රි විජේසුරේන්ද්‍ර සමඟ ය. මෙම යුවළට දියණියන් තිදෙනෙකි. ඔවුන්ගේ එක් දියණියක වන සුරනි රූපවාහිනී කතා මාලා කිහිපයකට සම්බන්ධ වී ඇති අතර රූපවාහිනී සත්කාරකවරියක් ලෙස සේවය කර ඇති වෘත්තියෙන් වෛද්‍යවරියකි.

පාසැල් කාලයේදී තිස්ස බම්බලපිටියේ මාමා කෙනෙකුගේ නිවසේ නැවතී නාලන්දයට අධ්‍යාපනය සඳහා ගිය අතර මාමා සිලෝන් තියටර්ස් හි සේවය කළ අයෙකි. මාමාගේ උදව්වෙන් තිස්ස කුඩා කාලයේදීම චිත්‍රපටයකට තෝරා ගන්නා ලදී. ඔහුගේ මංගල සිනමා දර්ශනය වූයේ 1971 දී කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කරන ලද කලන මිතුරෝ චිත්‍රපටයයි. එය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන දොස්ති චිත්‍රපටය ඇසුරින් තැනූවකි. කෙසේ වෙතත් ඔහුගේ පළමු තිරගත චිත්‍රපටය 1970 දී රංජිත් ලාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද නිම් වලල්ල ය.

සිනමා නිර්මාණ 56 කට පමණ ඔහු දායක විය. ඔහු රඟපෑ චිත්‍රපටවලින් පළමු බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ මාලිනී ෆොන්සේකා සමග රඟපෑ සුහද පැතුමයි.

එතැන් පටන් තිස්ස-මාලනි යුගය හැත්තෑ ගණන්වල පෙරළියක් ඇති කළේය. ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර වැනි සිනමා නිළියන්ට පෙම්වතා ලෙස ඔහු රඟපෑවේය. සිනමාවේ ඔහුගේ හොඳම සමකාලීනයන් වූයේ විජය කුමාරනතුංග, ගාමිණී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ ය. මංගල චිත්‍රපටයේ සිට ඔහු රඟපෑ සියලුම චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපාන එකම ශ්‍රී ලාංකික නළුවා ඔහු විය.

1983 දී ඔහු රඟපෑ සෙනෙහසක කඳුලු චිත්‍රපටයේ ඔහුට සම්මානය නොලැබුණු පසු කලකිරී තාවකාලිකව සිනමාවෙන් ඉවත්ව සිටියේය. පසුව ටෙලි නාට්‍ය රංගනයටද ඔහු පිවිසියේය.

ඔහු පන්නිපිටියේ වාසය කළේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සිංහල සිනමාවේ සුධීර් කුමාර් වූ තිස්ස විජේසුරේන්ද්‍ර

(13.05.2020 – divaina.com)

“සැනසුම් සුස්මන් පා වීලා.. සඳකැන් වතුරින් නෑ වීලා
තරුමල් අතරින් රිංගාලා … කොයි යන්නෙද මා තනිකරලා..”

1976 වසරේ තිරගත වූ නෑදැයෝ චිත‍්‍රපටයට ටී. එම්. ජයරත්නයන් ගැයූ මේ ගීයට රසික ප‍්‍රජාව අදටත් ආදරේය. ගීත වලට රූප රචානා නිර්මාණය නොවූ එදා යුගයේ, ටී. එම්. ගැයුවානන්ගේ ලයාන්විත ස්වරයට රිදි තිරය මත කදිමට ගැලපෙන රූපණයක් ඉදිරිපත් කරන කඩවසම් තරුණයෙකි. දෙනෙත් නොපෙන ඔහු සැරැටියක ආධාරයෙන් මේ ගීය මුමුණමින් කරන භාව ප‍්‍රකාශ රංගනය බොහෝ දෙනාගේ සිත් පැහැර ගත්තෝය. අදටත් අප අතර ජනප‍්‍රිය මේ ගීයට එදා එලෙස රංගනයේ යෙදුණු කඩවසම් තරුණයා තවදුරටත් අප අතර නැත. ඔහු ප‍්‍රවීණ සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍රයන්ය.

ඉකුත් සඳුදා ‘11’ පාන්දර මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී තිස්ස විජේසුරේන්ද්‍ර රහසේම නික්ම ගිය දුක්මුසු පුවත ඇසුණු පසු කුමන හෝ ගුවන්විදුලියක මේ ගීය ප‍්‍රචාරය විය. අද මේ ගීයත් ඔහුත් අතර ඇති සබඳකම දන්නනේ කීයෙන් කී දෙනෙක්ද. එහෙත් හැත්තෑව දශකයේ මේ ගීය ඇසෙන විට රසිකයන්ගේ සිතේ ඇඳුණේ තිස්සගේ රුවය. එදා රිදි තිරයේ සිටි මහා නළු ගාමිණි ෆොන්සේකටත් විජය කුමාරතුංගටත් කරට කර අභියෝගයක් වූ සුකුමාර පෙම්වතා වූයේද ඔහුය.

හැත්තෑව දශකයේ කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ කලණ මිතුරෝ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසෙන තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ සිනමා ආගමනය සිදුව ඇත්තේ අහම්බයකිනි. ඒ වන විට ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනගන්නා දීප්තිමත් ශිෂයෙකි. ඒ කාලයේ ඔහු නැවතී සිටියේ සිලොන් තියටර් හි සේවය කරන බම්බලපිටියේ සිටි ඔහුගේ මාමාගේ නිවසේය. මේ නිවස සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙක් නිතර යන එන තැනක් විය. චිත‍්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මේ කාලයේ වෙහෙසෙමින් සිටියේ භාරතීය සිනමාවේ ජනප‍්‍රිය දෝස්ති චිත‍්‍රපටයේ කතාව අනුව සිංහල චිත‍්‍රපටයක් කිරීමටය.

එහි නිෂ්පාදනය කිරීමට ජග්තියානි මහතා ඒ වන විටත් ඉදිරිපත්ව සිටියේය. නමුත් ඔවුන් මුහුණ දුන් ගැටලුව වූයේ දෝස්ති චිත‍්‍රපටයේ අන්ධ චරිතය නිරූපණය කළ සුධීර් කුමාර්ගේ රූපයට ගැලපෙන සිංහල නළුවෙකුගේ අඩුවය. කිංස්ලි රාජජපක්ෂ දිනක් තිස්ස විජේසුරේන්ද්‍ර නැවති සිටි බම්බලපිටියේ නිවසට පැමිණියේ මේ කනස්සලෙන් පසුවෙමින් සිටියදීය. නිවසේදී ඔහුගේ නෙත ගැටුණේ සුධීර් කුමාර් මෙන් තරුණ කඩවසම් රුවකි. මේ සුධීර් කුමාර්මද. නැත. ඔහු සැක හැර දැනගත්තේ ඇසිපිල්ලම් ගසා නැවතත් ඒ තරුණයා දෙස බැළීමෙනි. ඔහු සුධීර් කුමාර්ම නොවුණද මේ නම් ඔහුගේ අලුත්ම චිත‍්‍රපටය සඳහා සොයමින් සිටි නවක මුහුණ බව එසැනින් අවබෝධ කරගත් කිංස්ලි රාජපක්ෂ නොවලහා සිය අදහස කිවේය. නමුත් හදිස්සියේ පැමිණි යෝජනාවට තිස්ස කැමත්තක් නොදුනනේ ඉංජිනනේරුවෙකු වන සිය පියාගේ ආසාව තමන් දොස්තරවරයෙකු වනවා දැකීම බව ඔහු දැන සිටි නිසාය. එහෙත් කොකටත් කියා පියා හමුවේ මේ බයිස්කෝප් යොජනාව දැමු විට තිස්සට සිදුවූයේ ‘බයිස්කෝප් කාරයෙක් වෙන්න පිස්සුද?’ කියා ලූණු ඇඹුල් ඇතිවම පියාගෙන් දොස්මුර අසා ගැනීමටය.

මේ නිසා තිස්ස විජේසුරේන්ද්‍ර ද බයිස්කෝප් පිස්සුව අතහැර දමා සිටියත් තිස්සව චරිතයට ගැනීමේ බලාපොරොත්තුව කිංස්ලි රාජපක්ෂනම් අතහැරියේ නැත. ඔහු දිනක් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරමට එකඟව සිටි ජග්තියාන් මහතාගේ බෙන්ස් රථයෙන් පැමිණ දෝස්ති චිත‍්‍රපටය තිරගතවෙමින් පැවති ක‍්‍රවුන් සිනමා ශාලාවට තිස්සව රැගෙන ගියේය. සිදුවූයේ පුදුම දෙයකි. චිත‍්‍රපටය නැරඹීමට පැමිණ සිටි පිරිස තිස්සව වටකරගත්තේය. ඇත්තෙන්ම ඔවුන් සිතුවේ ඒ දෝස්ති චිත‍්‍රපටයේ නළුවාය කියාය. මේ අහඹු සිදුවීමත් සමග තිස්සටත් බයිස්කොප් පිස්සුව තදින්ම වැළඳිණ. ඔහු පියාටත් හොරෙන් ගොස් කළණ මිතුරෝ චිත‍්‍රපටයේ රූගතකිරිම් වලට සහභාගි විය.

තිස්ස විජේසුරේන්ද්‍රගේ මංගල සිනමා රංගනය කලණ මිතුරෝ වුවත් මුලින්ම තිරගත වූ ඔහු රඟපෑ චිත‍්‍රපටය වන්නේ 1970 වසරේ රංජිත් ලාල් විසින් අධ්‍යක්ෂණය කළ නිම් වළල්ල චිත‍්‍රපටයයි. ඉන් පසුව රිදී තිරයේ සුකුමාල පෙම්වතා ලෙස අසිමිත පේ‍්‍රක්ෂක ආකර්ශනයක් දිනා ගත් ඔහු 1971 වසරේ තිරගත වූ පූජිතයෝ, සුහද පැතුම 1973, ලසඳා 1974, ලස්සන කෙල්ල 1975, නෑදැයෝ 1976, ක‍්‍රිස්තු චරිතය 1990, ඔබ මට විශ්වාසයි 1992, රූපාන්තරණය 2014 වැනි තවත් සිනමාපට ගණනාවකට සිය රංගන හැකියාව එක් කළේය. මාළනී ෆොන්සේකා, නීටා ප‍්‍රනාන්දු, ගීතා කුමාරසිංහ වැනී ජනප‍්‍රිය නිළියන් එහිදි රිදී තිරයේ ඔහුගේ පෙම්වතියන් විණි.

මේ අතරතුර කාලයේදී හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘සෙනෙහසක කඳුල’ චිත‍්‍රටයේ ඔහුගේ රංගනය ඇගයීමට පාත‍්‍රවේයැයි බළාපොරොත්තු තබා සිටියද එය නොසළකා හැරිම නිසා ඇතිවූ සිත්තැවුල මත අසූව දශකයේදි කාලයක් ඔහු සිනමාවෙන් දුරස්ව සිටි කාලයක්ද තිබිණ. ඉන් පසු ඔහු යළිත් රංගනයට පැමිණියේ බොහෝ කාලයකට පසුවය.

ඇත්තෙන්ම තිස්ස විජේසුරේන්ද්‍ර යනු සිංහල සිනමාව නැගී එන අවධියක පේ‍්‍රක්ෂකයන් ඇඳ බැඳ තබාගැනීමට සමත් වු රංගන ශිල්පියෙකි. අවසානවකට ඔහු ජනප‍්‍රිය වූ යුගයේ මේරට නිෂ්පාදනය වූයේ හින්දි චිත‍්‍රපට එහෙමපිටින්ම ගත් කොපිය. මේ නිසා කලාත්මක නිර්මාණවල රංගනය සඳහා ඔහුට ඉඩ ලැබුණේ නැත. නමුත් තිස්ස විජේසුරේන්ද්‍රයන්ට රසික ප‍්‍රජාව අතර ජනප‍්‍රියත්වය රඳවා ගැනීමට හැකිවිය.

1949 අපේ‍්‍රල් 03 වනදා උපත ලද තිස්ස විජේසුරේන්ද්‍ර ඉකුත් සඳුදා ඔහු මේ සියල්ල හැර යනවිට දරුවන් තිදෙනෙකුගේ දායාබර පියෙකි. ඔවුන් අතරින් සුරනී විජේසුරේන්ද්‍ර පමණක් කාලයක් කලාවට සම්බන්ධව සිටියේය. ඔහුගේ ප‍්‍රිය බිරිඳ දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ගරුවරියකි. ඔහුගේ නික්මීම ඔහුගේ සමීපතයන්ට මෙන්ම රසිකයන්ගේ නෙතට ගෙනෙන්නේ කඳුලකි. ජේෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.

– තිස්ස ගුණතිලක

+++++++++++++++++++++

“Senasum Susuman Pawilla” – T. M. Jayaratne (Nedayo, 1976)
Music Director – Premasiri Khemadasa / Film Director – K. A. W. Perera / Actors – Vijaya Nandasiri / Sonia Disa / Tissa Wijesurendra
“Jeevithey Amadara” – T. M. Jayaratne (Nedayo, 1976)

+++++++++++++++++++++

තිස්ස විජේසුරේන්ද්‍ර
Rankadha Pem Khadha : M S Fernando & Latha Walpola, Film – Nadaayo, Music – Premasiri Khemadasa

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=7GigGNkrPns
https://www.youtube.com/watch?v=ouos4JPaRdY
https://www.youtube.com/watch?v=04IPMGNwr1o
https://www.youtube.com/watch?v=H55_N_pVn88

+++++++++++++++++++++

දිවි සැරිය නිම කළ ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර

(12.05.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත වු ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද (12) පස්වරුවේ පන්නිපිටිය පොදු සුසාන භුමියේ දි සිදු කෙරුණි.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ (11) අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඒ මහතා 71 වන වියෙහි පසුවුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *