කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට (13) සිට අවසර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට (13) සිට අවසර (විඩියෝ)

• සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයන් ගණන 52 දක්වා ඉහළට

• විවිධ මත හරහා වසංගතය සමාජයට සම්ප්‍රේෂණය කිරීමට දැරූ උත්සාහයක් අඩපණ වුනා – DIG අජිත් රෝහණ (විඩියෝ)

• පාසල් සහ අනිකුත් අධ්‍යයන ආයතන පවත්වාගෙන යාම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛය මෙන්න

• හෙට (13) සිට තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අරඹයි

• ඇඳිරි නීතිය ලිහිල් කළ ද ජනතාව ලබාදෙන දායකත්වය සතුටුදායක නැහැ

• මෙරට, කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහළට

• පාස්කු ප්‍රහාරයට එරෙහි පෙත්සම් විවාදයට දින නියම කෙරේ

• COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 දක්වා ඉහළට

• ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 5,212 දෙනෙකුට නඩු (විඩියෝ)

• ඇමති බන්දුලගෙන් ප්‍රසිද්ධ විවාදයකට ආරාධනයක් (විඩියෝ)

• ඉදිකිරීම් ක්ෂේත්‍රයට හැකිතාක් ඒ ඒ දිස්ත්‍රික්කවල සේවකයින් යොදා ගැනීම වඩා යෝග්‍යයි (විඩියෝ)

• ගෙදරට කඳුළු ගෑස් ගසා ඇල්ලූ නිවුන් සොයුරන් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට (13) සිට අවසර

(12.05.2020 – 15:23 +0530 – hirunews.lk/sinhala)

දැනට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල හෙට (13) සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

එම අවසරයට අනුව, එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සඳහා අදාළ වැඩබිම්වලට වාර්තා කරන පිරිස් සඳහා පමණක් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ එම අමාත්‍යාංශයේ අද (12) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, ඒ සඳහා ප්‍රවාහන බලධාරින්, අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම්වල නියෝජිතයින් ද එක්වුණා.

අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර, බස් රථවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වනවා.

එසේම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මෙන්ම, වාර ප්‍රවේශපත්‍ර නොමැති මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා සේවය කරන ආයතනයේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයන් ගණන 52 දක්වා ඉහළට

(12.05.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ නාවික හමුදාවේ 52 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතිබව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (11) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම නාවික පුද්ගලයින්ගෙන් 14 දෙනෙක් නාවික මහ රෝහලෙහිද, දෙදෙනෙක් (02) මුල්ලේරියාව රෝහලින්ද, තවත් දෙදෙනෙක් (02) හෝමාගම රෝහලින්ද අනෙක් නාවික හමුදා පුද්ගලයා වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙලෙස සුවය ලබා පිටවගොස් තිබෙනවා.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

විවිධ මත හරහා වසංගතය සමාජයට සම්ප්‍රේෂණය කිරීමට දැරූ උත්සාහයක් අඩපණ වුනා – DIG අජිත් රෝහණ

(12.05.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය සමාජයට සම්ප්‍රේෂණය කිරීමට එක්තරා පිරිසක් විවිධ මත ජනගත කිරීමට දැරූ උත්සාහය ඊයේ (11) ලබාදුන් අධිකරණය දුන් තීන්දුව අනුව අඩපණ වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ අද (12) පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුව :

+++++++++++++++++++++++++++++++++++

පාසල් සහ අනිකුත් අධ්‍යයන ආයතන පවත්වාගෙන යාම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛය මෙන්න

(12.05.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව, සියලුම පළාත්, කලාප සහ ආයතන මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සක්‍රීයව පවත්වා ගනිමින් අදාළ ආයතන පරිශ්‍රයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගත යුතු බව අවධාරණය කර ඇත.

එහිදී සපුරාලිය යුතු අංග ලෙස සෑම පාසලකම / අධ්‍යන ආයතනයකම පිවිසුම් ගේට්ටු සහ පිටවන ස්ථාන, පන්ති කාමර පරිශ්‍රයන්හි සහ වැසිකිලි පද්ධති ආශ්‍රිතව අත් සේදීමේ පහසුකම් සකස් කිරීම, අඛණ්ඩ ජල සැපයුම සඳහා පහසුකම් සම්පාදනය කරගැනීම, දැනට වෙනත් කාර්යයන් සඳහා පාසල හෝ ආයතන යොදාගෙන ඇත්නම්, පාසල් ආරම්භයට දින තුනකට පෙර, එම කාර්යයන් අවසන් කිරීම, ආයතන පරිශ්‍රයන් පිරිසිදු කිරීම, සියලු ස්ථානවල විෂබීජහරණයට පියවර ගැනීම, ආයතන සහ පාසල් ආරම්භයෙන් පසු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන අයවලුන් වෙනුවෙන් ගිලන් කාමරයක් පවත්වා ගැනීම, කාර්ය මණ්ඩල දැනුවත් කිරීම සහ අදාළ වගකීම් පැවරීම, දෙමව්පියන්, පාසල් ප්‍රජාව සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම, පුද්ගල හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම, අපද්‍රව්‍ය අපහරණය හා පරිසරය පිරිසිදු කිරීම, මානසික සෞඛ්‍ය හා මනෝ සමාජයීය අවශ්‍යතා පිළිබඳ නිසි අවධානය යොමු කිරීම ඇතුළු උපදෙස් රැසක් මෙම චක්‍රලේඛය සමග සියළු පළාත්, කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ අනෙකුත් අධ්‍යයන ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලබන මෙම චක්‍රලේඛයෙහි සහ ඊට සමගාමීව නිකුත් කරනු ලබන උපදෙස් සංග්‍රහයෙහි අන්තර්ගත කොට ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සියල්ල නිවැරදිව අනුගමනය කරමින් සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු අනිකුත් සියලු අධ්‍යයන ආයතනයන්හි සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුවකින් පසු අදාළ ආයතන සහ පාසල් විවෘත කිරීමේ තීරණය ගන්නා බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

= අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කල චක්‍රලේඛය =

+++++++++++++++++++++++++++++++++++

හෙට (13) සිට තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අරඹයි

(12.05.2020 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා රටවල කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ සංචාරක උපදේශනවලට යටත්ව ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට මෙම ගුවන් පහසුකම් යළි ආරම්භ කළ බවයි.

එමෙන්ම, විදේශයන්හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ ලියකියවිලිවල නිවැරදිභාවය සහ නිරෝධායන කාලසීමාවන්ට යටත්ව යළි රටට පැමිණීමට අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින් :

(උපුටා ගැනීම)

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන රටවල, සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරක නියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය.

වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහ නිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසර දී ඇත. ඒ අනුව මැයි 13 වනදා සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක්, චෙන්නායි, හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු (කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක (2) බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි, ලාහෝර්, ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් (1) ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ. ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා), මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන් එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතුය. මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන්, ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය 019 733 1979 හෝ ඕනෑම සංචාරක නියෝජිතයෙකු අමතන්න ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කළ ද ජනතාව ලබාදෙන දායකත්වය සතුටුදායක නැහැ

(12.05.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ලිහිල් කරමින් ආරම්භ කළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ජනතාව ලබා දෙන දායකත්වය සතුටුදායක මට්ටමක නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (12) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ඇදිරි නීතිය පවතින අවස්ථාවේ ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු ඉදිරි සති දෙක (2) තුළ නිරීක්ෂණය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ දැනට ගෙන යන වැඩපිළිවෙල එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය ආයතන හා සේවා ජනතාව වෙත විවෘත කරන්නේ ඉදිරියේදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය වී යහපත් තත්ත්වයක් ඇති වුවහොත් පමණක් බව ද ඔහු අවධාරණය කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ආරම්භ වී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමත් සමඟ පැන නැගුණු ගැටලු, එම ක්ෂේත්‍රවල නිරතවන්නන් මුහුණපා ඇති ගැටලු සහ ඉල්ලීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සියලුම සේවක වෘත්තීය සමිති ද එක්ව සිටිනවා.

බස් රථ ධාවනය කිරීමට ඉල්ලා සිටි ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට, කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහළට

(12.05.2020 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් 23 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඉන් 14 දෙනෙකු නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් බවයි.

බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් දෙදෙනෙකු ද, වැලිකන්ද මූලික රෝහලේ සහ ඉරණවිල රෝහලේ රෝගීන් තිදෙනෙකු සහ හෝමාගම රෝහලේ රෝගින් දෙදෙනෙකු මේ අතර සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 50 දෙනෙකු අද (12) පූනානි කදවුරෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ පිරිස අප්‍රේල් මස 28 වනදින බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මාතර සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, යුද හමුදාව යෙදවූ බස් රථ දෙකක් මාර්ගයෙන් ඔවුන් අද සිය නිවෙස් බලා ගොස් තිබෙනවා.

ඒ අනුව, අද (12) දිනයේදී පුද්ගලයින් 82 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත් කර හැරුණා.

මේ වනවිට පුද්ගලයින් 7394 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති අතර, තවදුරටත් නිරෝධායනය වන මුළු සංඛ්‍යාව 1822 ක් ෴

***************************************

පාස්කු ප්‍රහාරයට එරෙහි පෙත්සම් විවාදයට දින නියම කෙරේ

(12.05.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 12 සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දිනවල විවාදයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා.

මෙම පෙත්සම් කැදවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශණ ජූලි මස 30 වනදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ඇතුළු සියලු පාර්ශව වලට දැනුම් දුන්නා.

මේ අතර මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා සිටියේ තම සේවාදායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාල නොතීසි මැයි මස 22 වනදාට පෙර යැවීමට කටයුතු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 දක්වා ඉහළට

(12.05.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙන අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී ඇති බවයි.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකි අතර දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 5,212 දෙනෙකුට නඩු

(12.05.2020 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 5,212 දෙනෙකුට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 9,783 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

ඇමති බන්දුලගෙන් ප්‍රසිද්ධ විවාදයකට ආරාධනයක්

(12.05.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන ආණ්ඩුවට අභියෝග කරන ඕනෑම අයෙකුට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආරාධනා කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

ඉදිකිරීම් ක්ෂේත්‍රයට හැකිතාක් ඒ ඒ දිස්ත්‍රික්කවල සේවකයින් යොදා ගැනීම වඩා යෝග්‍යයි

(12.05.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හැකිතාක් ඒ ඒ දිස්ත්‍රික්කවල සේවකයින් යොදා ගැනීම වඩා යෝග්‍ය බව මාර්ග හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පවසනවා.

‘යළි ඇරඹෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය’ මැයෙන් අද (12) පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

ගෙදරට කඳුළු ගෑස් ගසා ඇල්ලූ නිවුන් සොයුරන්

(12.05.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

අලව්ව මාපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සැඟව සිටි 22 හැවිරිදි නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට සැකකරුවන් විසින් උළු සහ ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව පොලිස් නිළධාරීන් විසින් සැකකරුවන් සැඟව සිටි නිවස වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *