ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 889 ක් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 889 ක් වෙයි

• කොරෝනා වැළඳුණු එකම පවුලේ 7 ක් සුවය ලබයි (විඩියෝ)

• උදය ගම්මන්පිල මහතාගෙන් : විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් (විඩියෝ)

• විෂබීජ නාශක කුටි අනතුරුදායකයි ඇස්වලට හානි වෙන්න පුළුවන්

• විෂබීජ නාශක අධිභාවිතය මිනිස් සිරුරට අහිතකරයි

• අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින්

• කොරෝනා හේතුවෙන් තාවකාලික නතරවූ කොරියා රැකියා යළි ඇරඹේ?

• අල්ලස් කොමිසම නිඳි හිටපු අගමැති රනිල් ඇතුළු ඇමතිවරු 19 කට එරෙහිව අල්ලස් කොමිසමට කළ පැමිණිළි වලට වෙච්ච දෙයක් නෑ

• ඉදිරියට වසරක්වත් දුම්වැටි තහනම් කළ යුතුයි

• පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි

• වැලිකන්ද දිවුලාන විල්ලුවේ මහා පරිසර විනාශයක්… වනජීවී නිලධාරීන්ටත් ඉහළ බලපෑම්….. එකතැන අලි රැළක් මියයාමත් මෙහි ප‍්‍රතිඵලයක්

• හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 889 ක් වෙයි

(12.05.2020 – 23:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 889 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (12) තවත් ආසාදිතයන් 5 ක් හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 514 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 366 ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++++

කොරෝනා වැළඳුණු එකම පවුලේ 7 ක් සුවය ලබයි

(12.05.2020 – 20:09 +0530 – sinhala.adaderana.lk)

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 879 ක් දක්වා ඉහළ ගියේය.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 366 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

දින 21 ට පසුව මෙරටි වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණි. එම සංඛ්‍යාව 06 ක්.

ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඇති අතර ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ කාරාපිටිය ශික්ෂණ රෝහලේයි.

මේ අතර වංසගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඊයේ (11) දිනයේදී සම්පූර්ණ සුවය ලැබූ රෝගීන් 23 න් දෙනා සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 366 ක් බවයි.

ඊයේ (11) දිනයේදී සුව වූ රෝගීන්ගෙන් 14 දෙනාද ඇතුළුව සුවය ලැබූ සමස්ථ නාවික සෙබළුන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ යනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 497 ක්.

ගෙවියන 09 වන සතියේ ඊයේ දිනය වන විට ගත වූ දින 06 අවසන් විට රෝගීන් 101 ක් වාර්තා වුණි.

මේ අතර ඉතාලියේ සිට පැමිණි හත් දෙනෙකුගෙන් (7) යුත් පවුලක සාමාජිකයන් සියළු දෙනාටම පසුගිය දා කොවිඩ් අසාදානය වී ඇති බව තහවුරු වුණි.

ඒ සියලු දෙනා සුවය ලැබූ අතර එම පවුලේ මව වන අවසන් සාමාජිකයාත් අද (12) පූර්ණ සුවය ලබා නිවසට පැමිණියේය.

ඒ අයි.ඩී.එච්. රෝහලේ සිටයි.

පසුව ඇය දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.

***************************************

උදය ගම්මන්පිල මහතාගෙන් : විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක්

(12.05.2020 – 16:13 +0530 – lankadeepa.lk)

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සංඛ්‍යා ලේඛණ විග‍්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස කොවිඩ් 19 සංඛ්‍යා ලේඛණ විග‍්‍රහ කර දීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාවෙන් ඇරඹුවහොත් මාර්තු 24 වැනිදා ඉන්දියාව වසා දමන විට රෝගීන් 499 ක් සිටි අතර දැන් 70,780 කට අධික පිරිසක් සිටින බවත් එය 142 % ක වර්ධන වේගයක් බවත් කීය.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය පහල මට්මටමක පවතින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණඩුවට සවන්දීම කොතරම් දුරට සිදුවෙනවා ද යන්න යැයි කී ගම්මන්පිල මහතා එම අගය ශ්‍රී ලංකාවේ හතලිහක් (40) වෙද්දී කටාර්වල 8199 ක් වී ඇතැයි ද එයින් ම ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති තත්ත්වය පෙන්නුම් කරන්නේ යැයි ද පැවැසීය.

ආසියාවේ ආදර්ශය වන සිංගප්පූරුව අප්‍රේල් 03 දා ලොක් ඩවුන් කරන විට රෝගින් ගණන 1144 සිටි අතර දැන් රෝගින් ගණන 23,822 ක් වන බවත් එය 21 ක් ගුණයකින් රෝගීන් ප‍්‍රමාණය වර්ධනය වීමක් බවත් පෙන්වා දුන්නේය.

හොඳට ඉඩකඩ තියෙන සමාජ පරතරය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රටවන රුසියාව ලොක් ඩවුන් කළ මාර්තු මාසයේ 30 දා රෝගින් සිිටියේ 1,462 ය ක් වන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දැන් 221,344 වී ඇති බවත් එයින් කියැවෙන්නේ 151 ක් ගුණයකින් රෝගින් වැඩි වීම බවත් හෙතෙම කියා සිටියේය.

මේ අනුව නිදසුනට ගත් එම රටවල් දෙස බලද්දී රෝගීන් 151 ගුණයකින් පවා වැඩි වී ඇති බව පෙනී යන බව ද ඔහු සදහන් කළේය.

රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පවා මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන් බව ද ලෝකයේ මරණ අනුපාතය සියයට හතක් (7) වෙද්දී ලංකාවේ එම ප‍්‍රමාණය සියයට 1 වන බව ද ලොව අඩුම රටවල් කිහිපය අතරේ ශ්‍රී ලංකාව සිටින බව ද ඔහු කීවේය.

සුව වූ අනුපාතය බලද්දී ද ලෝකයේ සාමාන්‍යය අගය සියයට 36 ක් වෙද්දී එය ශ‍්‍රී ලංකාවේ සියයට 39 වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ නිසා ජාත්‍යන්තර දර්ශක සකසන අය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාව කොවිඩ් 19 මර්දනය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් යැයි පෙන්වා දෙන බව ද එය දරාගන්නට බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක‍්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් බොරු කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහණය හෑල්ලු කිරීමට සාර්ථක උත්සාහයක නියැළි සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා තමන්ගේ බැංකුව වෙත යන නමුත් පසුගිය මාස දෙකේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නැයි රජය විසින් ඉල්ලීමට පවා සමහර බැංකු නම්‍යශීළී නොවී ඇතැයි ද කීය.

නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගන්නේ යැයි ද, ණය ලබාදීම ප‍්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇතැයි ද, සම්ප‍්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක‍්‍රියා නොකර නම්‍යශීලි වෙන්නැයි බැංකු වලින් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය.

ඉකුත් වසරේ බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය බැලූවිට කොමර්ෂල් බැංකුව මිලියන 18,057 ක්ද, ලංකා බැංකුව මිලියන 17,590 ක්ද, මහජන බැංකුව 13,012 ක්ද, සම්පත් බැංකුව මිලියන 11,983 ක්ද, හැටන් නැෂනල් බැංකුව 11,558 ක්ද උපයා ඇතැයි පැවසු ගම්මන්පිල මහතා මේ දැවැන්ත ලාභය උපයා දුන් ගනුදෙනුකරුවන් දැන් අමාරුවේ වැටී සිටින නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි තමන් යෝජනා කරන බව ද කියා සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

විෂබීජ නාශක කුටි අනතුරුදායකයි ඇස්වලට හානි වෙන්න පුළුවන්

(12.05.2020 – aruna.lk)

කොවිඩ් -19 ආසාදනය වීම වැළැක්වීමේ පියවරක් ලෙස සාමාන්‍ය ජනතාව සඳහා විෂබීජානුහරණ කුටි (ඩී. සී) භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික, වෘත්තීය සෞඛ්‍යය හා ආහාර සුරක්ෂිතතාව) වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.

විවිධ ආයතනවල දක්නට ලැබෙන මෙම කුටි මගින් ජනතාවට ආරක්ෂාව ලබාදෙන බවට හැඟුණද සැබැවින්ම එයින් ආරක්ෂාවක් නොලැබෙන බව ඔහු කීය. මෙම විෂබීජානුහරණ කුටිවලට නිශ්චිත ප්‍රමිතියක් නොමැති අතර ඒවායේද භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වෙනත් රෝගී තත්ත්ව හට ගැනීමටද ඉඩ ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන් මීට ඇතුළු වන පුද්ගලයන් මත ක්ලෝරීන් ඉසීම නිසා ඇස්වලට හානි සිදුවිය හැකි අතර සමේ රෝග ද ඇතිවිය හැකිය. තවද පාරජම්පුල කිරණ මගින් සමේ පිළිකා ඇති විය හැකිය. මෙම කුටිවලදී විෂබීජ නාශක ඉසින්නේ පිරිසිඳු වියම යුතු අල්ලට නොව පිටි අල්ලට බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම පුද්ගලයකු විෂබීජ නාශක කිරීමේ කාල සීමාව පිළිබඳ ප්‍රමිතියක් නොමැති බවද ඔහු මෙහිදී කීය.

එබැවින් කොවිඩ්-19 පාලනයේදී වඩාත් වැදගත්වන දෑත් පිරිසුදු කිරීම, මුහුණු ආවරණ නිසි ලෙස පැලඳීම සහ අනෙක් අයගෙන් අවම වශයෙන් මීටරයක දුරක් තබා ගැනීම සඳහා මීට වඩා අවධානය යොමු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය ෴

+++++++++++++++++++++

විෂබීජ නාශක අධිභාවිතය මිනිස් සිරුරට අහිතකරයි

(12.05.2020 – 18:38 +0530 – lankadeepa.lk)

විෂබීජ නාශක අධිභාවිතය හා අනිසි භාවිතය මිනිස් සිරුරට අහිතකර විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

විෂබීජ නාශකවල අඩංගු කාබොලික් අම්ලය මිනිස් සිරුරට අහිතකර බවත් නිරන්තර ශරීරයේ තැවරීම හේතුවෙන් සම හරහා ශරීරගතවීමට ඉඩකඩ ඇති බවත් මේ නිසා අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බවත් ඔවුහු පවසති.

බිම පිරිසිදු කිරීම, භාජන පිරිසිදුකිරීම ආදිය සඳහා වන දියරවර්ග ද, විෂබීජ නාශක යැයි පැවැසෙන කාබොලික් අඩංගු සබන් වර්ග ද අනවශ්‍ය පරිදි නිතර නිතර භාවිතා කිරීමෙන් වැළකිය යුතු යැයි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ කාබොලික් අම්ලය නිතර නිතර ශරීරයේ තැවරීම පිළිකා කාරක විය හැකි යැයි ද එයින් නිර්නාල ග‍්‍රන්ථීන් ඇතුළු අන්තරාසර්ග පද්ධතියට මෙන්ම ප‍්‍රජනක පද්ධතියට ද හානි සිදුවිය හැකි යැයි ද, කුඩා දරුවන්ගේ වර්ධනයට බලපෑම් සිදුවිය හැකි බව ද කී විතානගේ මහතා ඩී.එන්.ඒ වලට බලපෑම් පවා එයින් සිදුවිය හැකි යැයි කියා සිටියේය.

කාබොලික් අඩංගු පිරිසිදු කාරක භාවිතයේ දී මේ පිළිබඳ සැළකිලිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු පිරිසිදු කිරීම් සඳහා සාමාන්‍ය සබන් හෝ සබන් දියරයක් ප‍්‍රමාණවත් වන බව ද පෙන්වා දුන්නේය ෴

***************************************

අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින්

(12.05.2020 – aruna.lk)

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (Unique Digital Identity Card) වත්මන් තත්ත්වය එම නිලධාරීන් සමග අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී විමසුමට ලක්විය.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලය ඔස්සේ ද දැකගැනීමට පිළිවන.

වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගනී.

ගුවන් ගමන් හා රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සිට විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු අවස්ථා රැසකදී ඉදිරිපත් කළයුතු ජීව තොරතුරු එහි ඇතුළත් කොට තිබේ.

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යෝජනා කෙරිණි. එහි මූලික සැකසුම් 2012 වසරේදී ආරම්භ විය.

නව හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුවක් යටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පුර්ණ මගපෙන්වීමෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක අධීක්ෂණයෙන් සිදු කෙරේ.

සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය ෴

***************************************

කොරෝනා හේතුවෙන් තාවකාලික නතරවූ කොරියා රැකියා යළි ඇරඹේ?

(12.05.2020 – 23:21 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික නතරවු කොරියා රැකියා සම්බන්ධ කටයුතු යළි ආරම්භ කිරිම හා තාවකාලිකව නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයන් කොරියාවේ රැකියා වෙත යොමු කිරිමේ සාකච්ඡාවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්විණි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්වුණු මෙම සාකච්ඡාවට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් (Kim Won Seok) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බුටුමුනුව හා කාර්යාංශයේ පුහුණු, බඳවා ගැනීම් හා අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය යන මහත්වරුන් එක්වී සිටියහ.

මෙහිදී, E-9 වීසා බලපත්‍රසහිත ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේදි දින 14 ස්වයං නිරෝධායනයකට හෝ පහසුකම් නිරෝධායනයකට ලක්වීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.

කොරියානු සේවාස්ථානයන්හි රැකියා කරමින් නිවාඩු ලබා ආපසු යෑමේ අදහසින් පැමිණි ශ්‍රමිකයින් හැකි ඉක්මණින් නැවත පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය පහසුකම් කාර්යාංශයට සපයන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.

අවුරුදු 04 මාස 10 ක් සම්පූර්ණ කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත කොරියාවට යාමේ අරමුණින් ආපසු පැමිණි පිරිස්වලට ඒ සදහා කඩිනමින් අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයා කාර්යාංශයට උපදෙස් දුන් අතර, එම අවස්ථා ලබාගැනීමට අවශ්‍ය සහයෝගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයට කාර්යාංශය වෙත ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය නියෝජිත, අධ්‍යක්ෂවරයා විසින් ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කල අතර ප්‍රථම වාතාවට කොරියානු රැකියාවන් ලබාගැනීමේ සුදුසුකම් සපුරා ඇති අයට තවදුරටත් ඊට අදාල වෙබ් අඩවියේ රැඳීමට සිදුවන අතර එවැනි අයට රැකියා ගිවිසුම් ලබාදීම රටවල් 16 සදහාම තවකාලිකව නවතා ඇති බවද අමාත්‍යවරයාට මේ අවස්ථාවේ දී පැහැදිලි කරන ලදී.

කොරියානු රජය විසින් එක් එක් කාණ්ඩයට අදාලව ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කොව්ඩ් අභියෝගය ජය ගැනීමට හැකිවන පරිදි නවීකරණය කර නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් දැනුම් දෙන ලදී ෴

***************************************

අල්ලස් කොමිසම නිඳි හිටපු අගමැති රනිල් ඇතුළු ඇමතිවරු 19 කට එරෙහිව අල්ලස් කොමිසමට කළ පැමිණිළි වලට වෙච්ච දෙයක් නෑ

(12.05.2020 – 10:38 +0530 – lankaleadnews.com)

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව වෙත යොමුකළ ‘ටොප් ටෙන්’ පැමිණිලි සම්බන්ධයෙන් ගනුලැබී පියවරයන් සම්බන්ධයෙන් සොය බැලීම සදහා ඊයේ (11) පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් එම කොමිසම වෙත පැමිණියේය‍‍.‍

කොමිසමෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය :

“පසුගිය රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැතිවරු 19 දෙනෙකුට විරුද්ධව අල්ලස් කොමිසමට 2016 පැමිණිලි කළා. නමුත් සිදු වුණු දෙයක් නැහැ. එම පැමිණිලි ගැන නැවත අපි කරුණු ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ වතාවේත් මේ දූෂණ ක්‍රියා කරපු මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපි යළිත් ඉල්ලා සිටිනවා.” යැයි හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය ෴

***************************************

ඉදිරියට වසරක්වත් දුම්වැටි තහනම් කළ යුතුයි

(13.05.2020 – aruna.lk)

රජය විසින් ඇඳිරිනීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත්කළද දුම්වැටි භාවිතය ඉදිරි වසරකටවත් තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්වැටි භාවිත කරන පුද්ගලයන්ගේ පෙණහලු ඉතා දුර්වල වන බැවින් ශ්වසන රෝගයක් වූ කොවිඩ්–19 රෝගය සඳහා මෙය සෘජුවම බලපාන බවත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් දන්වා ඇති බවද හෙතෙම සඳහන් කළේය. දුම්වැටි භාවිත නොකරන අයෙකුට වඩා, භාවිත කරන අයෙකුගේ කොවිඩ්–19 ආසාදනය වීමේ ප්‍රතිශතය 14% කින් වැඩි බව කී සභාපතිවරයා වෛරසය ආසාදනය වූවොත් දැඩි සත්කාර ඒකකයට යාමේ සහ මරණයට පත්වීමේ හැකියාවද නිරෝගී කෙනෙකුට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව සඳහන් කරයි. ඔහු පවසන පරිදි දුම්වැටියක ශරීරයට විෂ වන රසායනික ද්‍රව්‍ය 4,000 ක් පමණ තිබේ. ලංකාවේ පුද්ගලයන් 60 ක් පමණ දුම්බීම හේතුවෙන් දිනකට මිය යයි. එයින් 10% ක් එනම් 6 දෙනෙකු මියයන්නේ අක්‍රිය දුම්පානය නිසාය.

එමෙන්ම කොවිඩ්–19 පැතිරීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කළද දුම්පානය කරන පුද්ගලයන් මෙය නොපැලඳීම අනතුරුදායක බවද හෙතෙම කීය. සුදුවැල්ලේ පුද්ගලයන් හයක් (6) එකම දුම්වැටිය පාවිච්චි කළ බැවින් පහසුවෙන් ඔවුන් අතරේ කොවිඩ්–19 වෛරසය පැතිරුණ බවත් එය මෙරට මහත් ව්‍යසනයකට හේතු වූ බවත් ඔහු ​පෙන්වා දුන්නේය ෴

***************************************

පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි

(13.05.2020 – divaina.com)

පාසල් වසා දමා තිබුණද ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල් වලින් පාසල් ගාස්තු ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් කරන බවට දෙමාපියන් රැසකගෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණිලි ලැබී තිබේ.

එහෙත් මේ පුද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් වෙළෙඳ අමාත්‍යංශය යටතේ සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ සමාගම් ලෙස ලියාපදිංචි කර ඇති නිසා අධ්‍යාපන අමාත්‍යංශයට ඒවා ඍජුව පාලනය කිරීමේ හෝ ඒවාට නියෝග නිකුත් කිරීමේ බලයක් නොමැති වී තිබේ.

දිගින් දිගටම පාසල් නොපැවැත්වීම නිසා පාසල් පවත්වා ගෙන යාමට වියදමක් මේවාට වැය නොවන අතර ගුරුවරුන්ගේ හා අනෙකුත් කාර්ය මණ්ඩලවල වැටුප් පමණක් ගෙවීම සිදු කරනු ලබයි. එහෙත් අධික ලාභ ලබන මේවායේ අයකිරීම් ඉතාම ඉහළ මට්ටමක පවතී.

මේ අතර දෙමාපිය පැමිණිලි සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද මහතා රටේ මතුව තිබෙන ව්‍යසනකාරී තත්වය මත පාසල් නොපැවැත්වෙන බැවින් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් සිසු දරුදැරියන්ට පාසල් ගාස්තු අයකිරීමේ දී සහනයක් ලබා දෙන ලෙස පුද්ගලික පාසල්වලින් හා ජාත්‍යන්තර පාසල්වලින් ඉල්ලීමක් කර තිබේ.

සිතූ සිතූ ආකාරයට පාසල් ගාස්තු අයකිරීම්, පාසලට ඇතුළත් කිරීමේදී විශාල ගාස්තු අයකිරීම් සිදු කරන්නට මේවා කටයුතු කරමින් සිටින අතර දරුවන්ට ඉහළ පහසුකම් ඇති රජයේ පාසල් වල ඉඩකඩ සීමිත බැවින් කවර අපහසුතා මත හෝ ඒවාට දරුවන් ඇතුළු කිරීම හැර දෙමාපියන්ට වෙනත් විකල්පයක්ද නොමැත.

2009 වසරේ සිට පැවති සෑම රජයක්ම ජාත්‍යන්තර පාසල් හා පුද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීම සඳහා උත්සාහ ගත්තද දේශපාලන සබඳකම් මත එම උත්සාහයන් ව්‍යවර්ථ විය ෴

***************************************

වැලිකන්ද දිවුලාන විල්ලුවේ මහා පරිසර විනාශයක්… වනජීවී නිලධාරීන්ටත් ඉහළ බලපෑම්….. එකතැන අලි රැළක් මියයාමත් මෙහි ප‍්‍රතිඵලයක්

(13.05.2020 – divaina.com)

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් අක්කර 2800 ක් පමණ ප‍්‍රමාණයකින් යුත් වැලිකන්ද දිවුලාන විල විල්ලුව යම් පිරිසක් විසින් මේ වන විට විනාශ කරමින් පවතී. කොරෝනා ඇඳිරි නීතියට මුවා වී මෙම විනාශය සිදුකරන බව පරිසර යුක්ති කේන්ද්‍රයට වාර්තා වේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොළොන්නරුව වන ජීවී කලාපයට අයත් වන මෙම ජල ගැලුම් නිම්න වනෝද්‍යානය තුළ ප‍්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ මැදිහත් වීම ඇතිව සිදු වෙමින් පවතින බවටද තොරතුරු අනාවරණය වෙයි. මහවැලි ගඟ ආශී‍්‍රතව මෙවැනි විල්ලු වැඩි වශයෙන් නිර්මාණය වී ඇති අතර මෙම පරිසර පද්ධතීන්, වන අලි ඇතුලු, වන ජීවීන්ගේ වාසයට තෝතැන්නක් වී ඇති බව ඒ පිළිබඳව අවබෝධයක් ඇති ඕනෑම අයෙක් ඉතා හොඳින් දන්නා කරුණකි.

මෙම විනාශයට ලක්වෙමින් පවතින දිවුලාන විල විල්ලුවද වන අලි ගැවසෙන විල්ලුවක් වන අතර යම් යම් පුද්ගලයන් විසින් කුඹුරු වගාව සඳහා අනවසරයෙන් අත්පත් කර ගෙන ඇත. ඉදිරි දේශපාලන උණුසුම හමුවේ මෙම අත්පත් කර ගැනීම් වැඩි වෙමින් පවතින අතර අප දන්වා සිටින්නේ මෙම පාරිසරික පද්ධතීන් තුළ පවත්නා ස්වභාවික කි‍්‍රයාවලීන් පිළිබඳව හරි අවබෝධයක් නැත්තවුන් විසින් මෙම වැනසීම සිදුකරන බවයි. ඔබ කවුරුත් දන්නා පරිදි පසුගිය වසරේදී මෙම දිවුලාන විල්ලුවේ පුදුර් ප‍්‍රදේශයේදී මඬේ එරීමෙන් මිය ගිය වන අලි පස් දෙනාගේ සිද්ධියටද මුල් වී ඇත්තේ වන අලින් සැරිසරන මාර්ගයන් එම සතුන්ට ඇවැසි පරිදි පරිහරණය කිරීමට ඉඩ නොදී බිය වද්දා පලවාහැරීම හේතුවෙන් එම අලි ඇතුන් නුපුරුදු පෙදෙසකින් විල්ලුවට බැසීම නිසා බව ප‍්‍රදේශවාසීහු පවසා සිටිති.

මේ වන විට වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අනවසර වගාකරුවන් හා ඔවුන්ගේ ට‍්‍රැක්ටර් රථ මුදාහරින ලෙස ප‍්‍රදේශයේ දේශපාලකයෙකුගේ උවමනාව මත ඉහළම රාජ්‍ය නිලධාරියෙකුගෙන් සිදුවන බලපෑම හමුවේ නීතිය හරිහැටි කි‍්‍රයාත්මක කිරීම වළකමින් සිටී. පරිසර යුක්ති කේන්ද්‍රය මේ පිළිබඳව බලවත් අප‍්‍රසාදය පළ කර සිටී. මෙසේ නීතිය නැවීමට තැත් කරමින් සිටින්නේ සමහර දේශපාලකයින් තම අභිමතය පරිදි බලය පතුරුවන්නට කටයුතු කිරීම හේතුවෙනි. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන ලෙස අප මෙම කොරෝනා වෛරස් තත්ත්වය හමුවේදී ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියේද මෙවැනි හේතුන් නිසාමය.

දැනගන්නට ලැබී ඇති ආකාරයට 11 වනදා සඳුදා දින අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නීතියට පටහැනිව සිදුවන මෙම කි‍්‍රයාව නවත්වන තුරු පරිසර යුක්ති කේන්ද‍්‍රය අවදියෙන් සිටී.

– පරිසර යුක්ති කේන්ද්‍රය

***************************************

හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

(13.05.2020 – 11:50 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වෙනුවෙන් හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, බලපත් ලබා ගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවාලාභීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

එම ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය ග්‍රාම නිලධාරී මඟින් තහවුරු කර, ඔවුන්ගේ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය.

එලෙස යොමු කරන ඉල්ලුම්පත් එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කරන අතර ඊට අදාළ හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ ඉල්ලුම්කරුවන් වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

තවද, මාර්තු 16 ට පෙර එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් සූදානම් කර ගත් සියලුම ඉල්ලුම්කරුවන් ද තම ඉල්ලුම්පත් තවදුරටත් තමා භාරයේ තබා ගෙන නොසිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට එම ඉල්ලුම්පත් යොමු කළ යුතුය.

මීට අමතරව සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මඟින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, ඊට අදාළ ජාතික හැඳුනුම්පත් ද අවම කාලයක් තුළ කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

එමෙන්ම සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් යොමු කරන ලෙස දැනුම් දී තිබුණ ද, මෙතෙක් එම ඉල්ලුම්පත් යොමු කර නොමැති සියලුම පාලස් එම ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කළ යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *