රාජිතගේ ඇප නියෝගය අවලංගුයි – යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිතගේ ඇප නියෝගය අවලංගුයි – යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග (විඩියෝ)

• හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 දක්වා රිමාන්ඩ් (විඩියෝ)

• කොළඹ කොටුවේ විවෘත කළ අනවශ්‍ය වෙළඳසැල් ගැන සොයයි

• බෙලිඅත්ත දුම්රියපළ උණුසුම් වේ – ප්‍රදේශ රැසක ජනතාව අදත් මහමඟ (විඩියෝ)

• සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම ගැන යළි මතක් කිරීමක් (විඩියෝ)

• ඇඳිරි නීතිය කඩ කරන අය ගැන පොලිසිය සීරුවෙන්

• අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

• යළි ගුවන් සේවා ආරම්භ කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහාවලට (විඩියෝ)

• ලොව ප‍්‍රධාන නගර කොරෝනා ගිල ගනිද්දී කොළඹ රැකුණේ සැමගේ කැපවීම නිසයි – කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මිය

• කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රාජිතගේ ඇප නියෝගය අවලංගුයි – යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග

(13.05.2020 – 10:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (13) නියෝග කළා.

ඒ, මෙම නියෝගය දෝෂ සහිත බවට ප්‍රකාශ කරමින්. ඒ අනුව මොහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි විනිසුරුවරයා කොළඹ මහේස්ත්‍රාත්වරියට නියෝග කළේ.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවති ප්‍රශ්නගත සුදුවෑන් සාකච්ජාවේ තුනවන සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍යවරයාට දෙසැම්බර් මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත පෙත්සම අද (13) කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේයි.

මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ අධිකරණය මඟහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවයි. එමෙන්ම මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැදවීමට අවකාශ තිබූ බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ නොකිරීම ගැටලු සහගත බව සඳහන් කළා.

බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද ඔහු කියා අවධාරණය කළා.

මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගයට ප්‍රකාශයට පත් කිරීමේදී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බවද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී කියා සිටියා.

නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විදීමට තිබෙන අවකාශය අහිමි වන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයි විසින් ඊට අදාල සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවත් කියා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරීස් වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුලින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළා.

මෙම නඩු තීන්දුව මගින් ඇප සම්බන්ධයෙන් දිවයිනේ සියලූම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද ඔහු විවෘත අධිකරණයේදී සඳහන් කළා.

+++++++++++++++++++++

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට පමුණුවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ අදාළ සිද්ධියට තම අධිකරණය ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය ප්‍රතිශෝධනය කර ඇති බවයි ෴ (13 May 2020 – 15:05)

+++++++++++++++++++++

හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 දක්වා රිමාන්ඩ්

(13.05.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.

ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීට ටික වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැගෙන ගියා.

ඒ, මීගමුව – පල්ලන්සේන – තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙතටයි.

රිමාන්ඩ් භාරයට පත් කෙරුණ සියලු සැකකරුවන් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු සඳහා පළමුව රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය වෙත බව බන්ධනාගාර කොමසාරිස් – පාලන බන්දුල ජයසිංහ මහතා සඳහන් කළා.

අදාළ රිමාන්ඩ් රැඳවියන් එහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ රක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කෙරෙනු ඇති.

ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන – තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

+++++++++++++++++++++

***************************************

කොළඹ කොටුවේ විවෘත කළ අනවශ්‍ය වෙළඳසැල් ගැන සොයයි

(13.05.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

දින 13 ක් තුළ කොළඹ නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසනවා.

අවසන් කොරෝනා ආසාදිතයා වාර්තාවී ඇත්තේ පසුගිය මැයි 01 වනදා වන අතර, කොළඹ නගරයෙන් පමණක් මේ වනවිට වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 127 ක්.

මේ අතර කොළඹ – කොටුව ඇතුලු ඒ අවට ප්‍රදේශවල ආපනශාලා ඇතුළු අවශ්‍යතාවයක් නොමැති වෙළඳසැල් විවෘත කර පවතින බවට වාර්තා පළ වනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා සඳහන් කියා සිටියේ.

එමෙන්ම කොළඹ නගර සීමාවට අයත් කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සෙම පටල සහ රුධිර සාම්පල නියැදි වශයෙන් ලබාගැනීම අද (13) දිනයේත් සිදුවනවා.

රට තුළ කොරෝනා වෙරසය පැතිරයාම පාලනය වුවද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම මෙන්ම හඳුනාගනු ලබන ආසාදිතයන් වෙනුවෙන් රෝහල් ඒකක පවත්වාගෙන යාම තවදුරටත් සිදුවනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති නිර්දේශ නිසි පරිදි අනුගමනය කරන්නේ නම් හඳුනා නොගත් ආසාදිතයෙකු සමාජයේ ගැවසුණද ඉන් ආරක්ෂාවීමට හැකියාව පවතින බවයි.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා සඳහන් කළා. ඒ, ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ෴

+++++++++++++++++++++++++++++++++++

බෙලිඅත්ත දුම්රියපළ උණුසුම් වේ – ප්‍රදේශ රැසක ජනතාව අදත් මහමඟ

(13.05.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මේ වනවිට ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් පැවතියද සිය දෛනික වැඩකටයුතු පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් පරිදි පොදු ප්‍රවාහන සේවා නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ අද (13) දිනයේදීත් නගර රැසක ජනතාව ප්‍රමාණවත් තරම් බස් රථ නොමැතිවීම හේතුවෙන් සිය සේවා කටයුතු සඳහා යාමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවයි.

දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල අද සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සදහා අවසර ලබා දුන්නා.

එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සදහා වැඩබිම්වලට වාර්තා කරන පිරිස්වලට බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ඊයේ (12) නිවේදනය කළේ.

කෙසේ වෙතත් රජය විසින් මෙලෙස අවසර ලබාදීමත් සමඟ වැඩි පිරිසක් අද නගර වෙත සහ දුම්රිය ස්ථාන වෙත පැමිණ සිටියේ සේවා ස්ථාන කරා සහ සිය දෛනික කටයුතු ඉටුකරගැනීමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ අරමුණින්.

ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදුකළද තවත් ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තාවූයේ පෞද්ගලික බස් රථ ධාවනය සඳහා අවසර ලබාදී නොමැති බවටයි.

අද (13) දිනයේදීත් ප්‍රමාණවත් තරම් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දිවයින පුරා ධාවනය සඳහා එක් කර තිබූ බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම සේවා කටයුතු සඳහා අදාළ වන අන්දමින් කාර්යාල දුම්රිය සේවාද ප්‍රමාණවත් පරිදි යෙදවීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රියේ ගමන් කිරීම සඳහා එක් එක් ආයතන විසින් නම් කර තිබූ සේවක පිරිස් සඳහා අවසරය ලබාදීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

එහෙත් අද (13) අලුයම බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් හටගත්තේ අවසර ලබාදී තිබූ පිරිසට වඩා වැඩි පිරිසක් දුම්රිය ස්ථානයට පැමිණ උදෑසන 05:10 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට තිබූ සාගරිකා දුම්රියේ ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි.

එහිදී බලධාරීන් සහ මගී ජනතාව අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කියවන්නෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පහරදීම තරයේ හෙළා දකින බවයි ඔහු සඳහන් කර ඇත්තේ. රාජ්‍ය සේවකයෙකුට සිය රාජකාරි අවස්ථාවේ පහරදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන සියලු නිකුත් කළ රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැළසීම රජයේ වගකීමක් බවද එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම ගැන යළි මතක් කිරීමක්

(13.05.2020 – 08:48 +0530 – hirunews.lk/sinhala)

අවදානම් කලාප සහ සෙසු දිස්ත්‍රික්ක සඳහා පොදු ප්‍රවාහනයේ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ජනතාව එය භාවිතා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත් කොරෝනා වෛරස් ව්‍යාප්තියට එය හේතුවක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෙද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (13) පෙරවරුවේ එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩ කරන අය ගැන පොලිසිය සීරුවෙන්

(13.05.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදී ඇති ආයතනික හැඳුනුම්පත සහ අවසර ලිපි අවභාවිත කරන්නන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ.

අද (13) උදෑසන හයෙන් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 325 ක්.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලසීමාව තුළ එය උල්ලංඝනය කළ 52,712 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 13,869 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් 5,212 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ගම් බිම් බලා යාමට නොහැකිව ගම්පහ පොලිස් කොට්ඨාසයේ රැඳී සිටි පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් පිටත් කර හැරීම අද (13) සිදු කෙරුණා.

ඒ ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදියි. ඔවුන් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සිය ගම්බිම් වෙත පිටත් කර හරිනු ලැබුවා ෴

***************************************

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(13.05.2020 – 08:51 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (13) රාත්‍රී 9 සිට පසුදින (14) රාත්‍රී 9 දක්වා පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අනුරාධපුර නගරය, පළමු, දෙවන සහ තුන් වන පියවර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම සහ මිහින්තලය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

යළි ගුවන් සේවා ආරම්භ කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහාවලට

(13.05.2020 – 13:08 +0530 – sinhala.adaderana.lk)

රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට ගත් තීරණයත් සමඟින් ඊයේ (12) පස්වරුවේ 110 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහා බලා පිටත්ව ගියේය.

ඊයේ (12) රාත්‍රී 8.10 ට කටාර් ගුවන් සමාගමට අයත් QR 655 දරණ ගුවන් යානයෙන් මඟීන් 110 ක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය.

මෙම පිරිස අතරට මෙරට සිටි සංචාරකයන් සහ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇතුළත්.

+++++++++++++++++++++++++++++++++++

ලොව ප‍්‍රධාන නගර කොරෝනා ගිල ගනිද්දී කොළඹ රැකුණේ සැමගේ කැපවීම නිසයි – කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මිය

(13.05.2020 – webgossip.lk)

”‍කොරෝනා වෛරසය හේතුවෙන් පිටරටවල් වල ප‍්‍රධාන අගනුවරවල් විනාශ වෙද්දී ලංකාවේ අගනුවර කොරෝනාවලින් බේරාගන්න පුළුවන් වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ එකට එකතුවෙලා ඒ පොදු සතුරාට එරෙහිව සටන් කරපු නිසා….”‍ යැයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මිය පැවසුවාය.

මෙහිදී තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය :

“පිටරටවල් වල ප‍්‍රධානම අගනුවරවල් මේ කොරෝනා තත්ත්වය නිසා විනාශ වෙලයි තියෙන්නෙ. නමුත් මෙහේ තත්ත්වය වෙනස්. ඒකට හේතුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශය, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ගිනි නිවන හමුදාව, කම්කරු සේවකයින් ඇතුළු සියලු දෙනා එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩකිරීමයි.

ඒ සඳහා සියලු දෙනා දිවා රෑ වෙහෙසුණා. රෝගීන් හමුවෙද්දි ඒ අය ළඟින් ඇසුරු කරපු සියලු දෙනාම නිරෝධායන කඳවුරු වෙත යොමු කරන්න පියවර ගත්තා. සියලු දෙනාගේම සාමූහික කැපවීම නිසයි කොළඹ තත්ත්වය යහපත් තැනකට ගේන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ සඳහා කැපවූ ඒ වගේම තවමත් කැපවන සියලු දෙනාටම ගෞරවය පුදකරනවා…”

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්

(13.05.2020 – 13:37 +0530 – lankaleadnews.com)

කොරෝනා වසංගතය පිළිබඳව අනාවැකි පළ කිරීමට ලෝකයේ කිසිදු ජ්‍යොතිෂඥයෙක් අසමත් වද්දී, ඒ සම්බන්ධයෙන් නිවැරැදිව අදහස් පළ කළ ඉන්දියාවේ අවුරුදු 14 ක පිරිමි ළමයා පිළිබඳව සියලු දෙනාගේ අවධානය හිමි විය. අභිග්‍යා ආනන්ද් නැමැති ඔහු ලෝකයටම බලපාන වෛරසයක් පිළිබඳව අනාවැකි පළ කර තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදීය. මාර්තු මාසයේ සිට මැයි මාසය වෙන තෙක් සමස්ත ලෝකයටම රුදුරු ව්‍යවසනයක් බලපවත්වන බවට ඔහු සිදු කළ ප්‍රකාශය මේ වන විට සත්‍යයක් වී ඇත. එම තත්ත්වය මැයි මස 30 වැනිදායින් පසුව පහව යන බවට ඔහු ප්‍රකාශ කළ බව මාධ්‍ය සඳහන් කළත්, පසුව අභිග්‍යා සඳහන් කර තිබුණේ මාධ්‍ය විසින් තමන්ගේ ප්‍රකාශය වැරැදියට හුවා දක්වා ඇති බවය.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ මැයි 30 වැනිදායින් පසු වෛරස ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබෙන නමුත් මෙම වසරේ ජූලි මාසය දක්වාම එහි බලපෑම ලෝකයට දැඩිව දැනෙනු ඇති බවය.

මේ අතර අභිග්‍යා ආනන්ද් පළ කළ නවතම අනාවැකියක් හේතුවෙන් නැවත වරක් මුළු ලෝකයේම අවධානය ඔහු වෙතට යොමු වී ඇත. එම අනාවැකිය මඟින් ඔහු පවසා ඇත්තේ කොරෝනා වෛරසය පහව ගියද, නැවත වරක් මෙම වසරේ දෙසැම්බර් 21 වැනිදා පටන් නව ව්‍යවසනයකින් ලෝකයම පීඩා විඳින බවය. එම දරුණු ව්‍යවසනය ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවද අභිග්‍යා ප්‍රකාශ කර ඇත. අභිග්‍යා ආනන්ද් ප්‍රකාශ කරන ආකාරයට එම නව ව්‍යවසනය හේතුවෙන් ලෝකයට සිදුවන හානිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ හානියට වඩා ඉතා වැඩිය. කොරෝනා වෛරසය පාලනයට එන්නතක් සොයා ගත්තද, එම නව වෛරසය පාලනය කිරීමට එමඟින් හැකියාව නොලැබෙන බව අභිග්‍යාගේ විශ්වාසය වී ඇත. ප්‍රතිශක්තීකරණය දුර්වල බොහෝ දෙනෙකු එම නව වෛරසය ඉදිරියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙනු ඇති බවද අභිග්‍යා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් උදා වීමට නියමිත රුදුරු ව්‍යසනයෙන් බේරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවද අභිග්‍යා විසින් සඳහන් කර තිබීම විශේෂත්වයකි. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හැකි තරම් පරිසරය ආරක්ෂා කර ගන්නා ලෙසය. සත්ව ඝාතනය නවත්වන ලෙස ඉල්ලා ඇති අභිග්‍යා සත්ව වෙළෙඳාමට සම්බන්ධ වූවන්ගෙන් ඉල්ලා ඇත්තේ, ලෝකයේ අනාගතය වෙනුවෙන් තම වෘත්තිය අත්හැර දමන ලෙසය. එමෙන්ම හැකිතාක් කාබනික පොහොර යෙදූ ආහාර වර්ග පමණක් අනුභව කරමින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කර ගන්නා ලෙසද අභිග්‍යා ලෝකවාසී ජනතාවට උපදෙස් ලබා දී ඇත.

අභිග්‍යා ආනන්ද් පසුගිය අගෝස්තු මාසයේදී කොරෝනා සම්බන්ධව පළ කළ අනාවැකිය එකල කිසිවකුගේ අවධානයට ලක් වූයේ නැත. ඒ පිළිබඳව බොහෝ දෙනකු දැන ගත්තේද ජනවාරි මාසයේදී චීනයෙන් පළමු කොරෝනා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුවය. අභිග්‍යා මුදා හැර ඇති වීඩියෝවේ සඳහන් සියල්ල එකින් එක සත්‍ය වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. අභිග්‍යා පිළිබඳව ලෝකය පුරා ප්‍රචලිත වූයේ කොරෝනා සම්බන්ධ අනාවැකියෙන් වුවද, මේ සුවිශේෂී අනාවැකිකරුවා පිළිබඳව ඉන්දීය මාධ්‍ය පළමු වරට වාර්තා කර ඇත්තේ මීට වසර හතකට පෙරය. එනම් අභිග්‍යා හත් වැනි වියේ පසුවද්දීය.

කෙසේ වෙතත් ඇදහිය නොහැකි ආකාරයෙන් අභිග්‍යා පළ කළ අනාවැකිය සත්‍ය වී ඇත. ඔහු පැවසූ ආකාරයෙන්ම මැයි මස අවසන් වන විට එහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද, දැන් තිබෙන තත්ත්වය අනුව නිගමනය කළ හැක. එබැවින් ලෝකය දැන් පටන් සූදානම් විය යුත්තේ මේ විශ්වකර්ම අනාවැකිකරුවාගේ ඊළඟ අනාවැකිය කෙරහිය ෴

+++++++++++++++++++++

2020-04-22

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Rajitha. Good that the legal process is now back on the correct path. For far too long this man has been conning the law enforcement organizations and sneering at the courts, using his assumed importance, and intimidating magistrates using his political influences. A criminal is a criminal, and it is time the law is applied impartially to all villains. When he appears at the courts next time, and if he was found guilty of the misdemeanours, he should be given extra punishments for trying to pervert the legal processes for his benefit. The ignorant and attention seeking politikkos in UNP and Samagi whats it should be given the short shrift by the voters at the enxt election for supporting and harboring this notorious character.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *