කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව (විඩියෝ)

• කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නැතැයි අනාවරණ වෙයි

• රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසය සඳහාත් ලබාදීමට කැබිනට් අනුමැතිය

• ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර CID යට පැමිණෙයි (විඩියෝ)

• චීන ජනපති සහ ජනාධිපති ගෝඨාභය අතර දුරකථන සංවාදයක්

• මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනා දිවයිනට රැගෙන එයි (විඩියෝ)

• පාස්කු ඉරිදා ජනපති කොමිසම රැස්වෙයි

• විදුලි පාරිභෝගිකයින්ට සහනයක්

• ‘ඉටුකම’ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කෙරේ

• ජනපතිගේ මාස 3 ක වැටුප කොවිඩ්-19 සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 916 ක් දක්වා ඉහළට

• ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සොරාගත් සැකකරු ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි (විඩියෝ)

• බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කෙරේ

• ඇමති විමල් කියූ පත්‍රිකා 70 c° උෂ්නත්වයට පත් කිරීමේ යන්ත‍්‍රය එලිදකී.. RMV පත‍්‍රිකාවල විෂබීජහරණය කරයි..

• ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

+++++++++++++++++++++++++++++++++++

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව

(14.05.2020 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු දිස්ත්‍රික්වල ලබන (16) සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මැයි 17 දා ඉරිදා දිනය පුරා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය මැයි 18 දා සඳුදා අලුයම 5 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වනදා සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල ලබන (16) සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කර මැයි 18 වනදා සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලබනවා.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ මීට පෙර නිකුත් කළ නිවේදනවල සඳහන් අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බවයි.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නැතැයි අනාවරණ වෙයි

(14.05.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී අනාවරණ කර තිබෙනවා.

එම කමිටුව අද (14) පෙරවරුවේ හත්වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වුනා.

එහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුල සිටම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්‍යාරක්ෂිත විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මෙම තත්වයට හේතුවී ඇති බවයි.

ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීතිවලට ජනතාව අනුගත වන්නේ ද නැත්ද යන්න පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

එමෙන්ම සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ.

කොවිඩ් 19 පාලන සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුගතව ඉදිරියටත් කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර වැඩිහිටි ආබාධිත හා වකුකඩු දීමනා ගෙවීම දිවයින පුරා සියයට 70 ක ප්‍රගතියක් ලබාදී තිබෙන බව සහන ලබාදීමේ දෙවන අදියර පිළිබඳ ඊයේ (13) පැවති සාකච්ඡාවකදී අනාවරණ වුනා.

එමෙන්ම සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සහන දීමනා දෙවන අදියර ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය සමෘද්ධි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පළමු අදියරේ දී සිදුවූ අතපසුවීම් කිසිවක් දෙවන අදියරේ දී සිදු නොවීමට වගබලා ගන්නා ලෙසටයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබාදී ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසය සඳහාත් ලබාදීමට කැබිනට් අනුමැතිය

(14.05.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ (5000) දීමනාව මැයි මාසය සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ යටතේ පුද්ගලයන් 5,144,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25720.24 ක් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ ආයතන විවෘත කිරීමට නොහැකිවන අවස්ථාවලදී එම ආයතන වසා තැබෙන කාලය තුල සේවකයන්ට මෙතෙක් ලබාගත් වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 ක් යන දෙකෙන් වැඩිම මුදල ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සහ වෘත්තීය සමිති යන දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා ෴

***************************************

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මුදල් ඇමති මංගල සමරවීර CID යට පැමිණෙයි

(14.05.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වනවිට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.

+++++++++++++++++++++

***************************************

චීන ජනපති සහ ජනාධිපති ගෝඨාභය අතර දුරකථන සංවාදයක්

(14.05.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ මෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ.

කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සහ පාලනය කිරිම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට තමා සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මෙම වෛරසය පාලනය කිරීම සඳහා චීනය ගෙන යන වැඩපිළිවෙලට ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගයද චීන ජනාධිපතිවරයා විසින් ඇගයීමකට ලක් කර ඇති බවයි එම පුවත් සේවය වාර්තා කළේ.

මේ අතර කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම සහ ඒ ආශ්‍රිත සමාජ සුබසාධන වැඩසටහන් ව්‍යාප්ත කිරිම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහයෝගය ලබාදීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට ‘ඉටුකම’ නමින් නව වැඩසටහනක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (13)ආරම්භ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනා දිවයිනට රැගෙන එයි

(14.05.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිරව සිටින ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු යළි දිවයිනට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරණ ගුවන් යානය මාලේ ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත දහවල් 12:25 ට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයින් 288 දෙනාට අමතරව ජපන් ජාතිකයින් 16 දෙනෙකු සිට තිබෙනවා.

ඔවුන් අද (14) පස්වරුවේ ජපානයේ නරීටා බලා පිටත් කර හැරීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

පාස්කු ඉරිදා ජනපති කොමිසම රැස්වෙයි

(14.05.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා අද (14) කැඳවා තිබෙනවා.

පෙරවරු 09:30 ට පමණ කොමිසම රැස්වූ අතර, එහිදී පළමුවෙන්ම සාක්ෂි විමසීම සඳහා කැඳවනු ලැබුවේ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.වික්‍රමසිංහ මහතායි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදීම සඳහා අද (14) පස්වරුවේ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණදුන් තත්ත්වය සැළකිල්ලට ගෙන කොමිසම් සභාවේ සාක්ෂි විමසීම තාවකාලිකව නතර කෙරුණු අතර එහි කටයුතු යළි ආරම්භ වූයේ ඊයේ සිටයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොමිසම් සභාව මීට පෙර අවස්ථා ගණනවකාදීම විවිධ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

විදුලි පාරිභෝගිකයින්ට සහනයක්

(14.05.2020 – 12:16 +0530 – hirunews.lk/sinhala)

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සකස්කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට (ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇති.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

‘ඉටුකම’ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කෙරේ

(14.05.2020 – 11:40 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ‘ඉටුකම’ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කර තිබෙනවා.

ඊට පරිත්‍යාගයන් කිරීමට #207# අමතන්න,

නැත්නම් https://www.itukama.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න ෴

+++++++++++++++++++++

ජනපතිගේ මාස 3 ක වැටුප කොවිඩ්-19 සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි

(14.05.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක (3) වැටුප කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

රුපියල් 292,500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 916 ක් දක්වා ඉහළට

(14.05.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (14) තවත් ආසාදිතයෙකු (01) හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 462 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

445 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 09 ක් ෴

***************************************

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සොරාගත් සැකකරු ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි

(14.05.2020 – 11:30 +0530 – hirunews.lk/sinhala)

වෙළදසැලක් ඉදිරිපිට තබා තිබූ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සොරාගත් සැකකරු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය විමර්ෂන ආරම්භ කර තිබෙනවා.

වෙළදසැලේ හිමිකරු විසින් තම නිවසට රැගෙන යාම සදහා ඊයේ (13) දින ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් මිල දි ගෙන එය වෙළදසැල ඉදිරිපිට තබා තිබියදි වෙළදසැල ඉදිරියට පැමිණෙන තරුණයෙකු ගෑස් සහිත සිලින්ඩරය සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ගෑස් සහිත ගෘහස්ත ගෑස් සිලින්ඩරය සොරාගෙන යන අයුරු ආරක්ෂත කැමරාවේ සටහන් වි තිබුනේ මේ ආකාරයෙන්.

***************************************

බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කෙරේ

(14.05.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ අපහසුතාවට පත් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත් අලුත් කළ යුතු කාලය මේ මස 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය මාර්තු මස 15 වනදායින් අවලංගු වන නිත්‍ය මගී ප්‍රවාහන සේවා බලපත්‍ර සඳහා එම කාලය දීර්ඝ කර ඇති බවයි.

යළි මගී සේවා අවසර පත්‍රය දීර්ඝ කරන අවස්ථාවේදී ප්‍රමාද ගාස්තුවලින්ද එය නිදහස් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 14 හෝ එදිනට පසුව බස් රථ සඳහා මාර්ග පරීක්ෂකවරුන් නිකුත් කර ඇති ස්ථානීය දඩ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමද ලබන 31 දක්වා නිදහස් කර ඇති බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇමති විමල් කියූ පත්‍රිකා 70 c° උෂ්නත්වයට පත් කිරීමේ යන්ත‍්‍රය එලිදකී.. RMV පත‍්‍රිකාවල විෂබීජහරණය කරයි..

(15.05.2020 – 03:23 +0530 – lankacnews.com)

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.

මෙම තාපකයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට ඇති පරිදි යම් ලිපි ලේඛන හෝ පත්‍රිකා ප්‍රමාණයක් සෙන්ටිග්‍රේඩ් අංශක 70 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20 ක කාලයක් රඳවා තබා ඒවායේ කොරෝනා වෛරසය ඇත්නම් විනාශ කර දැමීමේ හැකියාවෙන් යුක්ත වීම ය.

මෙම තාපකය ඇණවුම්කරුගේ අවශ්‍යතාව පරිදි ඕනෑම ධාරිතාවයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව අරුණ සමරවික්‍රම මහතා පවසයි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනයන්හි විෂබීජහරණය සඳහා ඇණවුම් කළ මෙම තාපකය අදාළ නිලධාරීන්ට භාර දීමට සමරවික්‍රම මහතා කටයුතු කළ අතර එය මෙම තාපකය සඳහා ලැබුණු පළමු ඇණවුම බව ද ඔහු සදහන් කළේ ය.

පසුගියදා තමන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී එම අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක් පරිත්‍යාග කළ බවත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට මෙම නව නිපැයුම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් එහිදී අමාත්‍යවරයාගෙන් ලැබුණු දිරි ගැන්වීම, මෙතරම් කෙටි කලකින් මෙම තාපකය නිපදවීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බවත් සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එහිදී තමා අමාත්‍යවරයාට පැවසූ පරිදි මෙම තාපකය යොදාගෙන ඡන්ද පත්‍රිකාවන්හි විෂබීජහරණය කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා සරිලන ලෙස මෙම තාපකය නියමිත ධාරිතාවක් අනුව නිර්මාණය කළ හැකි බවත් අරුණ සමරවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

https://www.facebook.com/panchayudaya.editor/videos/377927029788301/

+++++++++++++++++++++++++++++++++++

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

(14.05.2020 – colombotoday.com)

කෝවිඩ් 19 රෝගයෙන් මිය යන්නන්ගේ දේහයන් ආදාහනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් සිදු කරමින් පවතින ආරවුලට නව මානයක් එක් කරමින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත. SC/FR/103/2020 යන අංකයෙන් ලේඛණගත නීතීඥ ගෞරි තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන් භක්තිමත් රෝමානු කතෝලිකයෙකු බව සදහන් කර ඇති හිටිහාමිලාගේ හේරත් නැමැත්තෙකි.

මෙම පෙත්සම මගින් දේහයක නැවත උත්ඨානය කතෝලික විශ්වාස පද්ධතියේ කොටසක් වන බවටත් දේහයක් ආදාහනය කිරීම තුළින් එකී විශ්වාසයට පහර වැදෙන බවටත් සදහන් කරමින් කතෝලිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම තුළින් ස්වකීය ආගම ඇදහීමේ ව්‍යස්ථාවෙන් සුරක්ෂිත අයිතියට පහර වැදෙන බවත් සදහන් කර ඇත.

දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මේ තාක් කවර හෝ විරෝධයක් කතෝලික ජනතාවගේ පාර්ශවයෙන් එල්ල නොවී ඇති පසු බිමක ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙහි සදහන් කාරණා කතෝලික දහමෙහි හර පද්ධතීන්ට ගැලපෙන්නේද යන්න පිළිබද ඇතිවූ බලවත් සැකය මත Colombo Today වෙබ් අඩවිය මේ පිළිබද සොයා බැලීමක නිරත විය.

ඒ අනුව අනාවරණය වූයේ රෝමානු කතෝලික පල්ලිය තුළ දේහයන් ආදාහනය සම්බන්ධ විවිධ මතවාද පැවැතියද ඒ සියල්ල නිරාකරණය කරමින් 1963 වර්ෂයේදී එවකට සිටි පාප් වහන්සේ විසින් දේහයන් භූමදානය කිරීම සාමාන්‍ය තත්වය වුව ද, දේහයන් ආදාහනය කිරීම ද කතෝලික දහම හා පටහැනි නොවන බව දක්වමින් නියමයක් නිකුත් කර ඇත. 1966 වර්ෂය වන විට ආදාහන අවස්ථාවන්හිදී පූජකවරුවන්ට ආගමික කටයුතු ඉටු කිරීමට අවශ්‍ය කාර්ය පටිපාටිය වතිකානුව විසින් නිකුත් කර ඇත. මේ තත්වයෙන් තවත් ඉදිරියට යමින් 2016 වර්ෂයේදී වතිකානුව විසින් ආදාහනයෙන් ඉතිරිවන අලු තැන්පත් කළ යුතු ආකාරයන් පිළිබදව පවා නියාමනයන් ඉදිරිපත් කරනු ලැබ ඇත. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ මග පෙන්වීම යටතේ වතිකානුව විසින් කතොලික විශ්වාස පද්ධතිය සම්පිණ්ඩනය කරමින් සම්පාදනය කරන ලද Catechismus Catholicae Ecclesiae සංග්‍රහයෙහි ද පැහැදිලිවම ආදාහනයට රෝමානු කතෝලික පල්ලියේ විරෝධතාවයක් නොපවතින බවට දක්වා ඇත.

මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ මාධ්‍ය අංශය වෙතින් අප කල විමසීමකදීද කතෝලික පල්ලියට දේහ ආදහනය සම්බන්ධ කවර හෝ විරෝධයක් නොමැති බවට නිශ්චිතව සදහන් කරන ලදී.

මේ අනුව රෝමානු කතෝලික ආගම හා ආගමික සංස්ථාව තුළ හදිසි ආපදා තත්වයකදී පමණක් නොව සාමාන්‍ය අවස්ථාවකදී පවා දේහයන් ආදාහනය සම්බන්ධ කවර හෝ විරෝධයක් නොමැති බව පැහැදිලිව පෙනී යන කරුණකි. ආදාහනය සම්බන්ධයෙන් දක්වා ඇති මෙම නම්‍යශීලී ස්ථාවරය ජේසුස් වහන්සේ බදු උතුම් මානවවාදියෙකු මුල්කොට ආගමක් වන රෝමානු කතෝලික දහම නූතන තත්වයන්ට ගැලපෙන පරිදි නම්‍යශීලී වෙමින් යන ගමනේ තවත් එක් ලකුණක් බව බෞද්ධ අපගේ අදහසයි.

කරුණු මෙසේ තිබියද තමන් රෝමානු කතෝලිකයෙකු බව විශේෂයෙන්ම සදහන් කරමින් හිටිහාමිලාගේ හේරත් නැමැත්තෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි පිටුපස සිටින්නේ නූතන ඉතිහාසය පුරා ඉතා වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති මෙරට කතෝලික ජනතාව නොව කවර හෝ නම්‍යශීලීබවකට සූදානම් නොමැති ඉස්ලාම් අන්තවාදී බලවේග බව ඉතාම පැහැදිලිව පෙනී යන කරුණකි. විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරය හේතුවෙන් බරපතළ පීඩාවන්ට ලක්වූ කතෝලික ජනතාව ඉස්ලාම් අන්තවාදී බලවේගයන්ගේම නරුම අව්‍යශතා වෙනුවෙන් මෙයාකාරයට දඩමීමා කරගැනීම ඉතාම කණගාටුදායක කරුණකි. මෙම කටයුත්ත තමන්ගේ අන්තවාදී ආගමික අරමුණු ඉටුකර ගැනීමට පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් අන්තවාදයට මෙරට ඇති වී ඇති බලවත් විරෝධයෙහි දිශානතිය කතෝලික ජනතාව දෙසට හැරවීමේ ඉස්ලාම් අන්තවාදී බලවේගයන්ගේ නින්දිත එහෙත් අසාර්ථක උත්සාහයක් බව ද අප පවසා සිටිමු ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *