මුහුදු මහා විහාරයට වහාම නාවික හමුදාව කැඳවයි – හමුදා අනු කණ්ඩයක් පිහිටුවයි

+++++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මුහුදු මහා විහාරයට වහාම නාවික හමුදාව කැඳවයි – හමුදා අනු කණ්ඩයක් පිහිටුවයි (විඩියෝ)

• අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී

• ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති

• මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදාව

• සියලුම ආගම්වල සහ ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

• පාස්කු ප්‍රහාරයේ පෙර සැලැසුම් ගැන CIDය සොයා බලා නෑ

• සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

• ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

+++++++++++++++++++++++++++++++++++++

මුහුදු මහා විහාරයට වහාම නාවික හමුදාව කැඳවයි – හමුදා අනු කණ්ඩයක් පිහිටුවයි

(14.05.2020 – 22:09 +0530 – truenews.lk)

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න යන මහත්වරු අද (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වුණා.

++++++++++++++++++++++++

අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී

(14.05.2020 – mawbima.lk)

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය සතු අනවසරයෙන් අත්පත් කරගෙන ඇති සියලුම ඉඩම් නැවත පවරාගෙන මසක් ඇතුළත පුරාවිද්‍යා ඉඩම් ලෙස ගැසට් කිරීමට ජනපති හා අගමැති නියමයෙන් වහාම පියවර ගන්නා බව පරිසර, වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

අදාළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමේ වරද පිටුපස යම් දේශපාලන හස්තයක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

මෙම ඉඩම්වල ඓතිහාසික වටිනාකම පිළිබඳව සලකා 1951 වර්ෂයේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් පරණවිතාන මහතා මෙම භුමියේ ඉඩම් අක්කර 71 ක් පුරාවිද්‍යා භුමියක් ලෙස නම් කළද වර්තමානය වන විට එම ඉඩම් ප්‍රමාණය අක්කර 31 ක් දක්වා අඩුවී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉඩම් යළි අත්පත් කර ගැනීමේදී ජාතිවාදී, ආගම්වාදී ගැටලු කිසිවක් නොමැති බවත් කුමන ජාතියක, ආගමක හෝ පුරාවිද්‍යා වටිනාකම හෝ ඉතිහාසය වළ දැමීමට ඉඩ නොතබන බවත් ඉතිහාසය රැකගැනීමේ රජයේ වගකීම ඉටුකිරීම පමණක් සිදුකරන බවත් ඔහු කීය. මෙම ඉඩම් වෙන්කර ගැනීමේදී කිසිදු ජාතියකට අසාධාරණයක් නොවන අයුරින් එම කාර්යයන් සිදුකිරීමට ඉඩම් නිවැරදිව මැනීමට මිනුම්පතිගේ සහාය ලබාගන්නා බවත් අතිශයින් වැදගත් අක්කර 60 ක පුරාවිද්‍යා නටබුන් ඇති ප්‍රදේශ නම් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, මිනුම්පති, අම්පාර දිසාපති, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (13 දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

++++++++++++++++++++++++

ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති

(14.05.2020 – 18:07 +0530 – lankadeepa.lk)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති චන්දන තිලකරත්න යන මහත්වරු අද (14) අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වූහ.

පළමුව මෙම පිරිස දිඝවාපි පුරාණ රජමහාවිහාරයට පැමිණ දිඝවාපි පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් සහ උතුරු නැගෙනහිර දෙපාළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිදිවැල සෝමරතන හිමියන් සමඟ දිඝවාපි පුදබිමේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

දැනට දිඝවාපි පුදබිමේ ඉඩම් අක්කර 29 ක් අනවසරයෙන් අල්ලා ගෙන ඇති අතර එයට විරුද්ධව අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බව සහ දීඝවාපි චෛත්‍ය ගොඩ නැගිම කඩිනම් කළයුතු බව මෙහිදි විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් ආරක්ෂක ලේකම් වරයාට දැනුම් දෙන්හ.

පසුව දීඝවාපි චෛත්‍ය බැලිමටද මෙම පිරිස ගිය අතර ඉදිරි සතිය තුලදි ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාක් පවත්වා මේ පිළිබඳව තීරණයක් ගන්නා බව සඳහන් කළේය.

ඉන් අනතුරුව දීඝවාපි නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිකර ඇති සුනාමි නිවාස පිළිබඳව සොයා බැලිමටද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පියවර ගනු ලැබිය.

වසර 12 ක් තිස්සේ වල්වැදි විනාශට පත්වෙමින් යන මෙම නිවාස පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ දැඩි පරීක්ෂාවට ලක්විය.

පසුව මාණික්කමඩු පරිවාර චෛත්‍යයට ගිය ආරක්ෂක ලේකම් වරයා ඇතුලු පිරිස එම විහාරස්ථානයේ පවතින තත්වය පිළිබඳව සොයා බැලුහ.

මෙහිදි මාණික්කමඩු පරිවාර විහාරස්ථානයේ පවතින ඉඩම් ගැටලුව පිළිබඳව පූජ්‍ය කිරිදිවැල සෝමරතන හිමියන් විසින් ආරක්ෂක ලේකම්වරයාට කරුණු පැහැදිලි කරනු ලැබූහ.

මානික්කමඩු රජමහා විහාරය ආරම්භ කිරිමට ගොස් තමන් වහන්සේට සහ මාණික්කමඩු විහාරාධිකාරි පූජ්‍ය අඹගස්පිටියේ සීලරත්න හිමියන්ට දින ගණන් පොලිසියේ ගත කිරිමට සිදුවු බවද පූජ්‍ය සෝමරතන හිමියන් මෙහිදි පැවසූහ.

දැනට මෙම විහාරස්ථානයේ පවතින ඉඩම් ගැටලුව පිළිබඳව අවධානය යොමුකර විසදුමක් ලබාදෙන ලෙසද උන් වහන්සේ මෙහිදි ඉල්ලිමක් කරනු ලැබූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සංචාරයට සහාභාගි වු බවත් සංචාරයෙන් පසුව මේ පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙම සංචාරයේදි මහා සංඝරත්නයට දැනුම් දුන්නේය.

නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

++++++++++++++++++++++++

මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදාව

(15.05.2020 – aruna.lk)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණින් පොතුවිල් මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා අද (15 වැනිදා) සිට නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට නියමිතය.

අක්කර 72 ක් වූ මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 58 ක් ම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සමග ඊයේ (14) එම ප්‍රදේශයේ කළ සංචාරයේදි මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයාගේ නියෝග මත ආරක්ෂක ප්‍රධානීන් මෙම සංචාරයේ නිරත වූහ.

මින් ඉදිරියට මුහුදු මහා විහාරයේ එකඳු වැලි කැටයක්වත් කිසිදු අයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙසත් බලහත්කාරයෙන් අත්පත් කරගත් සියලුම ඉඩම් යළිත් ලබාගැනීමට කටයුතු සම්පාදනය කරන බවත් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොතුවිල් මුහුදු මහා විහාරයේදී පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද එක්වූ අතර ආරක්ෂක ප්‍රධානීන් විසින් පොතුවිල් මුහුදු මහා විහාරය මෙන්ම දැනටමත් ඉඩම් කොල්ලකෑමට ලක්ව ඇති දීඝවාපී විහාරස්ථානයද නිරීක්ෂණයම කර එහි ඉඩම් නැවත ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ගිනිකොන දිග නාවික විධායනයට අයත් නාවික හමුදාවේ භට පිරිස් වහාම අද (15) සිට මුහුදු මහා විහාරයේ ඉඩම් ආරක්ෂා කිරීමට පිටත් කර යැවීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නියෝග කළේය. නාවික හමුදාවේ සහායට පොලිසියද යෙදවීමට පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම් යළි ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය ඉදිරියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

++++++++++++++++++++++++

සියලුම ආගම්වල සහ ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

(15.05.2020 – 12:13 +0530 – sinhala.adaderana.lk)

පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්‍ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහතික විය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ඊයේ (14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මෙම මේ බව පැවසීය.

රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලාවල පලවූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදි.

ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් අනුව පොතුවිල් හි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් ස්ථානගත කර ඇත.

විහාර භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු විහාරස්ථානාධිපති පුජ්‍ය වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමි වෙත දැනුම් දුන්නේය.

එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව විස්තර කළ ඔහු, අදාළ බලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා කඩිනමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පැවසීය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ව සිටි සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප්‍රකාශයට පත් කරන ලද අක්කර 72 ක විහාර භුමි ප්‍රමාණය 1965 දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කළ බව පූජ්‍ය ඉන්ද්‍රතිස්ස හිමි ආරක්‍ෂක ලේකම් වෙත දන්වා සිටියේය.

“මේ වන විට එම ඉඩමෙහි පවුල් 42 ක් පදිංචිව සිටින අතර ඔවුන් පන්සලේ ඉතිරි ඉඩම් ද අත්පත් කරගනිමින් සිටිනවා” විහාරාධිපති හිමියන් මේ බව පවසමින් මෙම ගැටළුව කඩිනමින් විසඳා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉහල පෙලේ ආරක්‍ෂක අංශ දූත පිරිස මුහුදු-මහා විහාරය සහ දීඝවාපිය යන ප්‍රදේශවල සංචාරය කළහ ෴

++++++++++++++++++++++++

පොතුවිල් – මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා 30 දෙනෙකුගෙන් යුත් නාවික හමුදා අනු ඛණ්ඩයක් අද එම විහාර භූමියේ ස්ථාපිත කෙරුණා.
(15.05.2020 12:52+0530 – hirunews.lk)

++++++++++++++++++++++++

මුහුදු මහ විහාර භූමියේ ආරක්ෂාවට නාවික හමුදා අනුඛන්ඩයක්

(15.05.2020 – 14:54 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික පොතුවිල් මුහුදු මහ විහාරයට අයත් පුරා විද්‍යා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා අනුඛන්ඩයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61 ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

ජනප්‍රවාද හා ලිඛිත සාක්ෂි මත විහාර මහා දේවිය මුහුදේ පාවී පැමිණ ගොඩබට ස්ථානය ලෙස ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය සැලකෙයි.

පුරා විද්‍යා සාධක විශාල ප්‍රමාණයක් සහිත එම භූමිය 1951 වසරේදී අක්කර 72 ක් සහිතව ගැසට් කිරීමට එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කටයුතු කර තිබුණි.

නමුත් අන්තවාදී පිරිස් විසින් දිගින් දිගටම එම විහාරයට අයත් පුරාවස්තු විනාශ කරමින් පුරාවිද්‍යා භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටින අතර මේ වන විට විහාරයට අයත් භූමි ප්‍රමාණය අක්කර 17 ක් දක්වා අඩු වී තිබේ.

නමුත් ඒ අවට අක්කර 61 ක ප්‍රදේශයක පුරාවිද්‍යා සාධක පැවතීම හේතුවෙන් එම භූමිය පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කරන ලෙසට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නේය.

ඒ විහාරය සතු ඉඩම් යළි අත්පත්කරගෙන ගැසට් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී තිබූ උපදෙස් මතයි.

මේ අතර මුහුදු මහා විහාරය ආශ්‍රිතව පවතින තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සිදුකළ දැනුම්දීම මත ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරී මඩුල්ලක් ඊයේ (14) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් , යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා , නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ද ඊට එක්ව සිටියේය.

*****************************************

පාස්කු ප්‍රහාරයේ පෙර සැලැසුම් ගැන CIDය සොයා බලා නෑ

(15.05.2020 – mawbima.lk)

පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකීම දැරිය යුතු පුද්ගලයකු පිළිබඳව ඍජුව ඇඟිල්ලක් දිගු කළ නොහැකි නමුත් රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉහළ පොලිස් ප්‍රධානීන් නිසි වගකීමක් ඇතිව ප්‍රහාරය පිළිබඳ තොරතුරු පහළට දැනුම් දුන්නේ නම් නියත වශයෙන්ම පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට ඉඩ තිබූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (14 දා) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවැසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් 2019-4-11 දින ප්‍රහාරයන් සම්බන්ධව තොරතුරු ඇතුළත්ව පොලිස්පතිවරයාගේ අස්සනින් යුතු ලිපියක්, එවක ජාතික බුද්ධි ප්‍රධානියාගේ ප්‍රහාරය ගැන දැන්වීමේ ලිපි කට්ටලයක්, බුද්ධි අංශය විසින් සොයාගත් තොරතුරු ඇතුළු ලිපි 4 කින් යුතු කට්ටලයක් තමාට ලැබුණු බවත් එදිනම තමා එයට ආවරණ ලිපියක් සකසා අදාළ ප්‍රධානීන්ගේ උපදෙස් මත ක්‍රියාකරන ලෙසත් සැකකරුවන්ගේ ඡායාරූප, ඉලක්කගත ප්‍රදේශවල ඔවුන් සිටිනවාද ඒ ආශ්‍රිත කුලී නිවාස හා නවාතැන් පරීක්ෂා කරන ලෙස තමා ඉන් තමාට පහළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට 2019-4-12 දින ලිපි මඟින් දැනුම්දුන් බවත් ඒ මහතා කීය.

එසේ බුද්ධි අංශ ඉදිරිපත් කළ අදාළ ලිපි කට්ටලයේ එක් ලිපියක අවසානයේ තොරතුරු රහසිගතව තබාගන්නා ලෙසත් ජනතාව අනිසි බියකට පත් නොකරන ලෙස සඳහන් කර තිබීමත් ප්‍රහාරයක් සිදුවන නිශ්චිත දිනයක් එම ලිපියෙහි සඳහන් නොවීමත් හේතුවෙන් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් නොදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමට පැවැසීය.

ඒ අනුව අදාළ දැනුවත් කිරීම මත කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් වසම් 22 ක අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණද එවක මීගමුව කොට්ඨාසයේ කටාන පොලිස් ස්ථානාධිපතිවරයා එම ක්‍රියාමාර්ග නිසි ලෙස අනුගමනය නොකර ඇති බව පෙනී ගිය බවත් ඒ හේතුවෙන් ඔහුට විරුද්ධව වහාම විනය ක්‍රියාමාර්ග ගත් බවද ඔහු කීවේය.

එහිදී අදාළ දැනුම්දීම් සිදුකර නැවතවරක් ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලුවා දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී තමා දුරකථන ඇමැතුම් ලබාදෙමින් ඒ ගැන සොයා බැලූ බවත් තමාට අදාළ ප්‍රදේශ වෙත ගොස් පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කිරීමට නොහැක්කක් බවත් කොට්ඨාස භාර නිලධාරීන් අදාළ ආරක්ෂාව පිළිබඳ යාන්ත්‍රණ සැකසිය යුතු බවත් ප්‍රකාශ කළේය.

එහිදී අදාළ ලිපි කට්ටලයේ විශේෂ පල්ලිවලට ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීම ඉටු කිරීමට උපදෙස් දුන්නා දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූහ.

“දූව හා රද්දොලුගම පල්ලිවල පාස්කු උත්සවවලට ආරක්ෂාව ලබාදුන්නා. ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලි රැසක් පවතින නිසාත් ප්‍රසිද්ධ පල්ලිවලට ආරක්ෂාව යොදවන්න යැයි 11 දිනැති ලිපියෙහි තිබුණු නිසාත් අදාළ පල්ලිවලට ආරක්ෂාව දුන්නා. මට නිශ්චිත උපදෙස් ඉහළින් දුන්නා නම් පල්ලිවලට ආරක්ෂාව දීලා පමණක් නතරවෙන්නේ නෑ. නමුත් ඉහළින් අනිසි බියක් ඇති නොකරන්න කිව්ව නිසා මම මගේ වැඩපිළිවෙළක් සකස් කළේ නෑ. නැත්නම් මට තිබුණා සෝදිසි මෙහෙයුම්, මාර්ග බාධක යොදන්න. ඒ ඔස්සේ ප්‍රහාරයක් වීම වළක්වන්න තිබුණා.”

“සහරාන් නමැති පුද්ගලයකු 2016 සියලු ආගමිකයන් විනාශ කර ඉස්ලාමය ව්‍යාප්ත කළ යුතු බවට සමාජ මාධ්‍යවලට වීඩියෝ පටයක් යොමු කර තිබූ බව බුද්ධි අංශයට වාර්තා වී තිබුණා.”

“2019 වවුනතිව්හි යතුරුපැදියක් පිපුරුණා. මාවනැල්ලේ බුදු පිළිම කැඩීම ගැන පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහරාන් ගැන සියලු තොරතුරු සී.අයි.ඩී.යට, බුද්ධි අංශයන්ට කිව්වා. ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය නිශ්චිත කරුණු ඇතුළත් බුද්ධි තොරතුරු ලබාදුන්නා. වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිදුවීම සහ බෝම්බ හදන තොරතුරු සියල්ල ලැබී තිබුණා. ජනවාරි 23 වැනිදා පුත්තලමෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයා වනාතවිල්ලුව සිදුවීම ගැන 2019 ජනවාරි 23 CID එකට කිව්වත් කිසිම සෝදිසි කිරීමක් හෝ පරීක්ෂණයක් වුණේ නෑ. පොලිසියේ අපිට මේවා ගැන තොරතුරු හොයන්න ක්‍රමවේදයක් නෑ.”

සහරාන්ගේ ක්‍රියාකාරකම් සහ ඒ වටා පැවැති අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව යම් තොරතුරක් දැනසිටියා දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිළිතුර වූයේ එයයි.

පොලිසියට අදාළ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොමැති බව සඳහන් කරන්නේ ඇයි දැයි මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියදී ජාතික පොලිස් සේවාවේ පවතින සුවිශේෂී ගැටලුවක් පිළිබඳව අනාවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගත්තේය.

“අපේ පොලිසියට බුද්ධි තොරතුරු විශ්ලේෂණයට කිසිම තාක්ෂණයක් නෑ. අඩුම තරමේ බුද්ධි තොරතුරු හොයන අයට රුපියල් 2500 ජංගම දුරකථනයක්වත් ලබාදීලා නෑ. මෙහෙම වුණාම කොහොමද අපි තොරතුරු හොයන්නේ.”

“ඉහළ ප්‍රධානීන් චක්‍රලේඛ සහ නියෝග පහළට යවලා තොරතුරු ගන්න කිව්වත් ඡායාරූප ගන්න කිව්වත් ඊට අදාළ උපකරණ හා පහසුකම් නැතිම මේ කිසිවක් කරන්න බෑ.”

එමෙන්ම අදාළ ප්‍රහාරය පිළිබඳව තොරතුරු සහ සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔහුගේ නිජබිම වන නැඟෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ දැනුම්දීමට එවක බුද්ධි නිලධාරීන් හා සී.අයි.ඩී.ය කටයුතු නොකළ බවද ඔහු මෙහිදී කීය.

විශේෂ පල්ලිවලට ආරක්ෂාව යොදවන ලෙස අප්‍රේල් 11 දා ලැබුණු ලිපි මඟින් දන්වා තිබූ කරුණු පිළිබඳව පහළ නිලධාරීන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකළා දැයි යළිත් වරක් කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී සාක්ෂිකරු පැවැසුවේ කොට්ඨාස භාර නිලධාරීන් අමතර භෞතික හා මානව සම්පත් ආරක්ෂාව සැපයීමට අවශ්‍ය බව ඉල්ලීමක් නොකර ඇති පසුබිමක වාර්තා කැඳවීමක් අනවශ්‍ය බවයි. එමෙන්ම තර්ජනයක් පිළිබදව එතෙක් නිශ්චිත තොරතුරක් නොලැබී තිබූ බවත් එවැනි තොරතුරක් ලැබී තිබුණා නම් තමාට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කර පහසුකම් සැපයීමට හැකි බවත් ඔහු කීය.

එමෙන්ම 13, 14, 15 අවුරුදු නිවාඩු යෙදී තිබීම හේතුවෙන් ලිපි කටයුතු හුවමාරුව නිසි ලෙස සිදුනොවුණත් තමා නිරන්තරයෙන් පහළ නිලධාරීන්ගෙන් දුරකථනයෙන් දෛනික තොරතුරු පිළිබඳව හා විමර්ශන පිළිබඳව විමසීම් කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමට කීය. එවක මීගමුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා අප්‍රේල් 11 ලිපිවල අඩංගු කරුණු අනුව කටයුතු කළ බවත් තවදුරටත් තොරතුරු සොයමින් සිටින බව තමා දුරකථනයෙන් පැවැසීය.

තමා මේ පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලූ බවට සනාථ කරන හොඳම සාක්ෂියක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ අනාවරණය කළේය.

එමෙන්ම කතෝලික පල්ලිවලට ආරක්ෂාව මදි නම් ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවන ලෙස තමා සියලු පහළ නිලධාරීන්ට මතක් කරමින් කිහිපවරක් උපදෙස් දුන් බවද ඔහු කීය.

තවද අප්‍රේල් 21 ට පෙර සිටම බාහිර ප්‍රදේශවලින් පැමිණි අය පරීක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් කළ බවත් එහිදීද ප්‍රහාරයට සම්බන්ධ අය පිළිබඳව තොරතුරු ලැබී නොමැති බවත් ඔහු කීය.

තමාට ප්‍රහාරයන් ගැන පළමුවරට තොරතුරු ලැබුණු අප්‍රේල් 11 වැනිදායින් පසු ඉහළ ප්‍රධානීන් කිසිදු තොරතුරක් මේ පිළිබඳව තමාට ලබානොදුන් බවත් අප්‍රේල් 20 වැනිදා සවස සිදුකළ අනෙක් අනතුර ඇඟවීම පිළිබඳව තොරතුරු ලැබෙන විට තමා දින 116 කට පසුව නිවාඩු ගොස් සිටි බවද ඔහු කීය. යම් හෙයකින් අප්‍රේල් 20 වැනිදා සවස ලැබුණු තොරතුරු තමාට ලැබුණේ නම් ප්‍රහාරය සිදු නොවීමට අදාළ ක්‍රියාමාර්ග හා දැනුවත් කිරීම් නියත වශයෙන්ම සිදුකර ප්‍රහාරය අවකාශ තිබූ බවද ඔහු කීය.

එමෙන්ම අප්‍රේල් 20 වැනිදා එවූ ලිපිය පිළිබඳව තමාට දන්වා සිටියා නම් කතෝලික පල්ලි විශාල ප්‍රමණයක් ඇති කොළඹ උතුර භාර පොලිස් ප්‍රධානියා වශයෙන් තමා නිත්‍ය වශයෙන්ම නිවාඩු ගොස් සිටියද නැවත සේවයට වාර්තා කරන බවත් නමුත් තමන්ට එවැනි දැනුම්දීමක් ඉහළින් සිදුනොකළ බවද ඔහු කීය.

එමෙන්ම තමා නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාරගත් දිනයේ පොලිස් බුද්ධි තොරතුරු ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් පවතින බව එවක නිරීක්ෂණය කළ බැවින් රටක ජාතික අරක්ෂාවට මුල් තැන දියයුතු යන පදනම මත පොලිස් බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් වැඩ භාරගෙන දින දෙකක් තුළ ආරම්භ කළ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ඵලදායි සේවාවක් ලබාගැනීම වෙනුවෙන් ඉහළින් උපදෙස් නොලැබුණු පසුබිමක පොලිස් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කළ බවද කීය.

ඒ අනුව බිම් මට්ටමේ බුද්ධි තොරතුරු නිසි ලෙස ලැබෙන යාන්ත්‍රණයක් ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රජා කමිටු පිහිටුවා සකස් කළ බවත් අට වරක් අදාළ කමිටුවල උපදෙස් ලබාදෙමින් විශේෂ බුද්ධි රැස්වීම් හා උපදෙස් පන්ති පවත්වා විධිමත්ව බුද්ධි තොරතුරු ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

ඒ ඔස්සේ පාතාල ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් නීති විරෝධී ගිනිඅවි භාවිතය, සංවිධානාත්මක අපරාධ නිවාරණය ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ තොරතුරු ගලා ඒමේ නිසි ක්‍රමවේදයක් ක්‍රමයෙන් නිර්මාණය වූ බවද ඔහු කීය.

එමෙන්ම ජාතික සංහිඳියාව ගොඩනැඟීමට තමාට පොලිස්පතිවරයා ලබාදුන් උපදෙස් මත කටයුතු කරමින් වවුනියාව වැසියන් ගාල්ලටත්, ගාල්ල වැසියන් වවුනියාවටත් බස්රථ මගීන් රැගෙන ගොස් විවිධ ආගමික හා ජාතීන් අතර පවතින සංස්කෘතික හා ආගමික උත්සවලට සහභාගි කරවා වැරැදි වටහාගැනීම් හා අනවබෝධයන් දුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් දිගන, තෙල්දෙණිය, බේරුවල වැනි ප්‍රදේශවල ඇති වූ ආගමික හා ජනවාර්ගික ගැටුම් සමථයකට පත් කිරීමට ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ බවද කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

පැය හතර හමාරකට අධික කාලයක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, දිගන, මිනුවන්ගොඩ, බේරුවල, මීගමුව යන ප්‍රදේශවල සිදුවූ අන්තවාදී ක්‍රියා පිළිබඳ තොරතුරු හා සාක්ෂි ලබාදීමට නැවත වරක් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා නියෝග කිරීමෙන් පසුව දිනට නියමිත සාක්ෂි විමසීම අවසන් විය.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික දිගු විරාමයකින් පසුව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (14 දා) රැස්වූ අතර සාක්ෂි විමසීම ආරම්භයට පෙර පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව පිළිපදිමින් විනිසුරුවන්, නීතිඥයන්, කොමිසමේ නිලධාරීන් ඇතුළු පිටස්තරින් පැමිණෙන සියලු පුද්ගලයන් කොමිසම් ශාලාවට පැමිණීමට පෙර මුලින් දෑත් සේදීමට යොමුකර, ශරීර උෂ්ණත්වය මැන බැලූ අතර කොමිසමේ විනිසුරුවන්, නීතිඥයන් නිලධාරීන් සහ සාක්ෂිකරු පමණක් කොමිෂන් ශාලාවේ රැඳී මාධ්‍යයට ශාලාවෙන් පිටත මීටරයක දුරින් අසුන් පනවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ආවරණ කටයුතු කිරීමට ඉඩ සලසා තිබීම සුවිශේෂී කරුණක් විය ෴

++++++++++++++++++++++++

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

(14.05.2020 – colombotoday.com)

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකුගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යති.

මේ අනුව ඉදිරි දින කීපය ඇතුළත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

ගිය වසරේ ‘පාස්කු ඉරිදා’ සිදුකළ බෝම්බ ප‍්‍රහාර පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායම් 11 ක් යොදවා ඇති අතර මෙම පරීක්‍ෂණ අනුව ලැබෙන තොරතුරු ඔස්සේ සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසූ බව ‘දිවයින’ පුවත්පත වාර්තා කර සිටියි ෴

*****************************************

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

(15.05.2020 – 10:29 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පාලනය වන තෙක් පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක්, ප්‍රවාහණ සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ සිට (14) පත් කරනු ලැබ තිබේ.

මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමේ ප්‍රධාන අරමුණ නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාවට ප්‍රවාහණ සේවාවන් සැලසීමේ දී කිසිදු හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම බවත් අමාත්‍යවරයා එම බලකාය පත් කරමින් ප්‍රකාශ කළේය.

ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපති ලෙස අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර තිබේ.

ලේකම් වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා මහතා කටයුතු කරයි.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම බලකාය සඳහා බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රියසාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරු ද , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද ඇතුළත් වේ.

මහජනතාවට ප්‍රවාහණ සේවාවන් සැපයීමේ දි කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති – 011 218 7233, අමාත්‍යාංශයේ දුරකථනය වන 011 218 7200 හා ලේකම් , 071 441 0568 පැක්ස් අංක 011 286 5093 මගින් ද විමසීම් කළ හැකි වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About the hijacking and encroachment of land of archaeological importance and belonging to the temple, I am glad the authorities have taken decisons to eject the encroachers and restore law and order through repossession and future security. This is the way our country is being ransacked by foreigners and traitors that is living in our country with allegiance to foreign powers. This kind of atrocities should be stopped, and local politicians that were aiding and abetting such atrocities should be taken to courts and punished.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *