අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා, දිවයිනටම ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා, දිවයිනටම ඇඳිරි නීතිය

• විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙයි

• වැසි වැඩිවෙයි – ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි (විඩියෝ)

• තද වැසි, නායයාම් අවදානම් සහ ගංගාවල ජල මට්ටම් ඉහළට – කාලගුණයෙන් අවවාද

• උපාධිධාරීන්ට රැකියා සොයාගත හැකි අයුරින් උසස් අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කරන්නැයි ජනපති සරසවි බලධාරීන්ට කියයි

• පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත්ව තීරණ වෙනස් කරන්නේ නැහැ – ජනපති (විඩියෝ)

• මුහුදු මහා විහාරය රැකදුන් ‘හිරු CIA’ (විඩියෝ)

• මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක්

• නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීමට තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පහසුකම්

• හිටපු කථානායක කරු ජයසූරිය ස්වාධීන පොලිස් කොමිසමට බලපෑම් කළා – සභාපති හෙළි කරයි

• පිටරට සිටින අයට බඩු යවන්න ක්‍රමයක්

• මියගිය කලාකරුවාටත් ජාතික රූපවාහිනියෙන් කැපිල්ලක් !

+++++++++++++++++++++++++++++++++++

අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා, දිවයිනටම ඇඳිරි නීතිය

(16.05.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අද (16) රාත්‍රී 8 සිට සඳුදා (18) අලුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවල ඊයේ (15) රාත්‍රී 8 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද (16) අලුයම 5 ට ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත්, කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල 18 වන සඳුදා (18) අලුයම 5 ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වන සෙනසුරාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල අද (16) දිනය දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව 18 වනදා සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු අදාළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිනයේ සිට අද (16) පෙරවරු 6 දක්වා කාලසීමාව තුළ දී ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 12,482 කට නඩු පවරා තිබෙනවා.

එහිදී 4808 දෙනෙකුට නඩු පැවරීමට අදාළ දඩුවම් නියම කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

මීට අමතරව ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගල සංඛ්‍යාව 55,706 ක් වනවා ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙයි

(16.05.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යමණ්ඩල විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබෙනවා.

මුදල ඇතුළත් චෙක්පත විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

මූල්‍යමය ආධාරයට අමතරව, පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණත්වමාන, පරීක්ෂණ උපකරණ හා ආර්ද්‍ර උපකරණ වැනි වෙනත් අත්‍යාවශ්‍යය උපකරණ විශාල තොගයක් ද පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් ද රුපියල් මිලියන 2.8 ක මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර තිබෙනවා ෴

***************************************

වැසි වැඩිවෙයි – ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි

(16.05.2020 – 06:15 +0530 – hirunews.lk/sinhala)

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද (16) දිනයේත් මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (15) දිනයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබුණු අතර, මිලිමීටර් 213.5 ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ගලිගමුව ප්‍රදේශයෙන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එය අද (16) දිනයේ දකුණු බෙංගාලබොක්ක ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති.

එමෙන්ම, දිවයින හරහා සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර් 40 ත්, 50 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (16) පස්වරු 06:30 දක්වා මෙම අනතුරු ඇගවීම් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, කළු, කැළණි, ගිං ගංඟාවල ඉහළ ද්‍රෝණිවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ එම ගංඟාවල ඉහළ කොටසේ පහත්බිම්වල සිටින ජනතාව ජල මට්ටම් පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවයි.

+++++++++++++++++++++

තද වැසි, නායයාම් අවදානම් සහ ගංගාවල ජල මට්ටම් ඉහළට – කාලගුණයෙන් අවවාද

(16.05.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පළාත් රැසකට තද වැසි මෙන්ම නායයාම් අවදානම් පවතින බවත් ජලාශ රැසක ජල මට්ටම ඉහල ගොස් ඇති බවත් වාර්තා වනවා.

දකුණ, බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 කට වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රටේ සෙසු පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු මැද, ඌව, සහ නැගෙනහිර පළාත්වල මිලි මීටර් 100 ට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි ගැන විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම නිවේදනය අද (16) අලුයම 3 සිට හෙට (17) අලුයම 3 දක්වා වලංගු බවද එහි සඳහන්.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතරඑය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද , ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවද දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) උදෑසන 05:30 ට නිකුත් කළ තවත් නිවේදනයක සඳහන්.

සෙසු පළාත් වල විශේෂයෙන් ඌවසහනැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එහි දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දිස්ත්‍රික්ක 9 කට නාය යෑමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (16) පස්වරු 06:30 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම කළු, කැළණි, ගිං, ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා ඒ අවට ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

***************************************

උපාධිධාරීන්ට රැකියා සොයාගත හැකි අයුරින් උසස් අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කරන්නැයි ජනපති සරසවි බලධාරීන්ට කියයි

(15.05.2020 – 21:45 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට හැකි වන ආකාරයෙන් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන පැවතිය ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යාම වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළුව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග හමුවකට අද (15) ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමින්.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව වන අතර දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව උපයෝගීකරගත යුතු බව ද ජනාධිපතිවරයා කියසිටියා.

ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30% ක් හෝ online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය පැතිරයාමත් සමග මෙරටට ගෙන්වා ගැනීම සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ සිසුන් මෙතරම් පිරිසක් විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බවයි.

මේ තත්වය නතර කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතු අතර සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියසිටියා.

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර අඩු වියදම් නව පරිගණක එකලස් කිරීමේ හැකියාව ද ඔහු සරසවි බලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

ඉංජිනේරු පීඨ ඇතුළු එවැනි විෂය දැනුම සහිත කණ්ඩායම්වලට ඒ සඳහා සහායවීමට හැකි අතර අනාගතයේ දී විශ්ව විද්‍යාලයට පිවිසෙන සෑම සිසු සිසුවියකටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලුදෙනා වෙනුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ.

මේ අතර මෙවර සරසවි සඳහා බඳවා ගන්නා පිරිස 7500 කින් වැඩිකර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.

ඒ සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දෙමින් ෴

+++++++++++++++++++++++++++++++++++

පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත්ව තීරණ වෙනස් කරන්නේ නැහැ – ජනපති

(16.05.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී සිය තීරණය වෙනස් නොකරන බව ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

එතනෝල් ආනයනය නතර කළ යුතු බව එහිදී ඔහු අවධාරණය කළා.

ජනාධිපතිවරයා මෙසේ සිය ප්‍රතිපත්තිය පැහැදිලි කළේ, වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

මුහුදු මහා විහාරය රැකදුන් ‘හිරු CIA’

(15.05.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පියවර ගනු ලැබුවා.

ඒ, හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුවයි.

හිරු සී.අයි.ඒ. අවස්ථා ගණනාවකදී පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාරයේ කලක පටන් සිදුවන ඉඩම් කොල්ලය හෙළි කළේ මේ ඓතිහාසික පුද බිම රැකගැනීමේ වගකීම රටට අවධාරණය කරමින්.

පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ මෙම ඉඩම් කොල්ලය ඉතා තීව්‍ර ලෙස සිදුවු අතර පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් මුහුදු මහා විහාරයට යාබද වෙරළ තීරය සුසාන භූමියක් බවට පත් කිරීමටද ක්‍රියා කර තිබුණා.

මෙලෙස දිනෙන් දිනම මුහුදු මහා විහාරයට සිය භූමි ප්‍රදේශ අහිමි වෙද්දීත් අප කළ අනාවරණයන් පිළිබදව යහපාලන ආණ්ඩුවේ වගකිව යුතු බලධාරීන් නෑසූ කන්ව සිටියා.

වත්මන් ආණ්ඩුව පත්වු පසුව ක්‍රමිකව නිහඩ වු ඉඩම් කොල්ලකරුවන් යළිත් සුක්ෂම ලෙස ක්‍රියාත්මක වුයේ කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පැවති කාලයේදී.

මුහුදු මහා විහාරය අවට වෙරළ තීරය මායිම් කණු යොදමින් වෙන්කර ගනිද්දී හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම ඉඩම් කොල්ලය රට හමුවේ අනාවරණය කළේ ඉඩම් කොල්කරුවන්ගේ බාධා කිරීම් මධ්‍යයේයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ උපදෙස් මත මුහුදු මහා විහාරය සතු ඉඩම් කොල්ලකෑම සොයා බැලීම සදහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යොදවනු ලැබුවේ එම අනාවරණය හමුවේයි.

මේ අතර, ඊයේ (14) ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙම ගැටලු ගැන සොයා බැලීමට පැමිණියා.

+++++++++++++++++++++

මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක්

(15.05.2020 – 20:36 +0530 – lankadeepa.lk)

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද (15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය.

දැනට මෙම පිරිස විහාරස්ථානයේ ගොඩනැගිල්ලක නැවති සිටින අතර ඉදිරි දින කිහිපය තුලදි එම ස්ථානයේ ඇති පොදු ගොඩනැගිල්ලක මෙම කදවුර ස්ථාපිත කිරිමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

පොතුවිල් මුහුදු මහා විහාරයේ අඛණ්ඩව සිදුවන ඉඩම් මංකොල්ලය පිලිබදව මාධ්‍ය මගින් හෙලිවිමත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉකුත් 14 වෙනි දින සංචාරය කර අද (15) වෙනි දින සිට නාවික හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන බව සදහන් කලේය.

ඒ අනුව නාවික හමුදාව විසින් අද (15) මෙම නාවික හමුදා අනු කණ්ඩය ස්ථාපිත කරනු ලැබිය.

එම ස්ථානය පැමිණි නාවික හමුදා නිළධාරින් විසින් මුහුදු මහා විහාරයේ දැනට ඇති ඉඩම් පිළිබදව නිරීක්ෂණයක් කර එම ඉඩම් හදුනා ගැනු ලැබිය.

මාධ්‍ය මගින් කරන ලද දැවන්ත හෙලිදරව්ව සමග මුහුදු මහා විහාරයේ ඉඩම් පිලිබදව අවධානය යොමුකර නාවික හමුදා මුර පොලක් ස්ථාපිත කිරිමට කටයුතු කල ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් ස්තුතිවන්ත වෙන බව සදහන් කලේය.

එමෙන්ම වනජිවි වනසංරක්ෂණ කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතාටත් , හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතාටත් , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සමරවිර මහතාටත් , නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියටත් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ තම ස්තුතිය පුද කළහ.

***************************************

නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීමට තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පහසුකම්

(16.05.2020 – 14:26 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

කොවිඩ් 19 ආසාධනය වී සුවය ලැබූ නාවික පුද්ගලයින් රාජකාරි කටයුතු සඳහා යොමු කිරීමට ප්‍රථම තවදුරටත් විවේක ගැන්වීම සඳහා නාවික හමුදාව ගෙනයන වැඩපිළිවෙලට දායක වෙමින්, නාවික හමුදා පුද්ගලයින් හට විවේක ගැනීමට යොදා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ඉල්ලීමක් මත පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන්ට අයත් ඉඩමක ඉදිකර ඇති හෙයියන්තුඩුව, මාබිම ප්‍රදේශයේ පිහිටි මෙම තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කර ඇත.

මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් නාවික හමුදාව වෙත 2020 මැයි මස 01 වන දින සිට ලබා දීමට කටයුතු කර ඇති අතර, මේ වන විටත් එම මධ්‍යස්ථානය තුල නාවික පුද්ගලයින් 72 ක පිරිසක් විවේක ගන්වා තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

රට තුල ඇතිවී තිබෙන තත්වය මත නාවික හමුදාව සිදුකරන කාර්යභාරය වෙනුවෙන් පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ලබදෙන මෙම සහයෝගය නාවික හමුදාව විසින් ඉතා අගය කොට සලකනු ලබයි ෴

***************************************

හිටපු කථානායක කරු ජයසූරිය ස්වාධීන පොලිස් කොමිසමට බලපෑම් කළා – සභාපති හෙළි කරයි

(16.05.2020 – mawbima.lk)

ස්වාධීන පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ. කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) පවසා තිබේ.

ඊට අමතරව එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙසද ජයසූරිය මහතා තමනට බලපෑම් කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කරු ජයසූරිය මහතාට ඇත්තේ කවර බලයක්දැයි යන්න දැඩි ප්‍රශ්නාර්ථයට තුඩුදෙන්නක් වී ඇතැයිද තතුදත් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජයසූරිය මහතාගේ බලපෑම්වලට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා අවනතව ක්‍රියා කරන්නේ නම් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇත්තේ කොහිදැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවලට මේ ආකාරයෙන් එල්ල වන බලපෑම්වලට ඒවායේ ප්‍රධානීන් අවනතව ක්‍රියා කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය යුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි ෴

***************************************

පිටරට සිටින අයට බඩු යවන්න ක්‍රමයක්

(16.05.2020 – mawbima.lk)

ගුවන් තැපෑලෙන් හා මුහුදු තැපෑලෙන් විදේශගතව සිටින සිය හිත මිතුරන්ට අවශ්‍ය ලිපි හා භාණ්ඩ යැවීමට සහනදායි වැඩපිළිවෙළක් මෙම 18 වැනිදා සඳුදා සිට ක්‍රියාත්මක කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය.

කොවිඩ්-19 හේතුවෙන් ගුවන්තොටුපොළ සාමාන්‍ය කටයුතු නවතා දැමීමත් සමඟ ගුවන් තැපැල් සේවය අකර්මණ්‍ය වී තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම මාසය තුළ ක්‍රියාත්මක කරන ගමනාන්තයන් සඳහා වන ගුවන් ගමන් යටතේ ගුවන් තැපැල් සේවාව ලබාදීමට මේ අනුව පහසුකම් සලසා තිබේ.

ඒ අනුව ජර්මනිය සඳහා මැයි 18 සහ 25, ඉන්දියාවේ මුම්බායි සඳහා මැයි 22 සහ 29, චෙන්නායි සඳහා මැයි 18 සහ 25, හොංකොං සහ මෙල්බන් සඳහා මැයි 20 සහ 27, බීජිං සඳහා මැයි 20 සහ 23, එක්සත් රාජධානියේ හීත්‍රෝ සඳහා මැයි 19 සහ 26, ජපානය සඳහා මැයි 20 සහ 30, සිංගප්පූරුව සඳහා මැයි 23 සහ 30, කටාර් සඳහා මැයි 18 සහ 25 ක්‍රියාත්මක කෙරෙයි.

විදෙස් ගමනාන්ත වෙත තැපැල් භාණ්ඩ ප්‍රවාහනයේදී ගුවන් පහසුකම් පිළිබඳ තහවුරු කරගත් පසු පමණක් තැපැල් භාණ්ඩ යොමු කිරීම කරන බවද තැපැල්පතිවරයා කීය.

මේ අතර එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව, ඉන්දියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, ග්‍රීසිය, කැනඩාව, හොංකොං, ඩුබායි යන ගමනාන්ත සඳහා මුහුදු තැපැල් මඟින් පාර්සල් ලිපි යොමු කිරීමට තැපැල් කාර්යාල මඟින් පහසුකම් සලසන බවද ඔහු කීය.

හොංකොං, ඩුබායි, මාලදිවයින යන ගමනාන්ත සඳහා වන ලිපි හා පාර්සල් භාර ගැනීම මැයි 22 දා අවසන් වන අතර එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව සහ ග්‍රීසිය සඳහා ලිපි පාර්සල් භාර ගැනීම මැයි 25 දා අවසන් වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව සඳහා ලිපි හා පාර්සල් භාරගනු ලබන දිනය මැයි මස 28 වැනිදාය.

මුහුදු මාර්ගයෙන් තැපැල් ප්‍රවාහනයේදී සාමාන්‍ය තත්ත්ව යටතේ මාස 2 කට ආසන්න කාලයක් ගතවන අතර පවත්නා ආපදා තත්ත්වය යටතේ මෙම කාලසීමාව තවත් දීර්ඝවීමටද ඉඩ ඇති බවද තැපැල්පතිවරයා පවසයි ෴

***************************************

මියගිය කලාකරුවාටත් ජාතික රූපවාහිනියෙන් කැපිල්ලක් !

(16.05.2020 – 09:28 +0530 – truenews.lk)

ඉකුත්දා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පි තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ රංගන ජීවිතය අලළා කලින් පටිගත කර තිබූ ‘ආලකමන්දා’ වැඩසටහන ජාතික රූපවාහිනියෙන් ඔහු මියගිය පසු නැවත විකාශය කිරීම රූපවාහිනියේ ඉහළ නිලධාරීන් දෙදෙනකු විසින් නතර කර දමා තිබෙනවා.

එම නිලධාරීන් දෙදෙනාගේ රුචි අරුචිකම් මත මෙම අත්තනෝමතිකව මෙම තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊට පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අලළා කලින් සැකසුන ‘ආලකමන්දාව’ වැඩසටහන නැවත ප්‍රචාරය වූ නමුත් තිස්ස පිළිබඳව වැඩසටහනකට මෙවැනි කෙනෙහිලිකම් දැක්වීම ගැන සිනමා ශිල්පීහු සංවේගය පළ කර සිටිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *