ඊයේ (18) තවත් ආසාදිතයින් 11 දෙනෙක් – සමස්ත කොරෝනා රෝගීන් 992 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඊයේ (18) තවත් ආසාදිතයින් 11 දෙනෙක් – සමස්ත කොරෝනා රෝගීන් 992 දක්වා ඉහළට

• කොරෝනා සමාජයේ පැතිරීම වැළැක්විමට සිවිල් අනුකමිටු පිහිටුවන්නැයි ඉල්ලීමක්

• දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිට රාජකාරී සඳහා කොළඹට එන ජනතාවට ලංගම යෙන් නව බස් සේවාවක්

• ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පලවන ප්‍රචාර සාවද්‍යයි – ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

• දිස්ත්‍රික්ක හයකට (6) මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි

• අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් – රත්නපුරේ දෙදෙනෙකු මරුට (විඩියෝ)

• පස් කඳු කඩාවැටීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිටී (විඩියෝ)

• ඉතිහාසයේ නොවූ විරූ ජල කඳක් බලන්ගොඩ නගරය ගිලගනී (විඩියෝ)

• බලන්ගොඩ ඇතිවූ ගංවතුර පහව යයි

• කළු, ගිං, නිල්වලා අවදානම් – පැය 9 කදී වැඩිම වර්ෂාපතනය නුවරඑළියට

• දැඩි සුළඟට ගාල්ල වරායේ බෝයාවක් ගොඩට ඇවිත්

• කොරෝනා මැද රාජිත වෙනුවෙන් සජිත් කළ උද්ඝෝෂණය (විඩියෝ)

• හිටපු ඇමති මහින්ද සමරසිංහ නිදහස් පක්ෂයෙන් ඉවතට (විඩියෝ)

• පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල CIDයෙන් පිටව යයි

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (18) තවත් ආසාදිතයින් 11 දෙනෙක් – සමස්ත කොරෝනා රෝගීන් 992 දක්වා ඉහළට

(19.05.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ තවත් 11 දෙනෙකු ඊයේ (18) දිනය තුළ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අවසන් වරට වාර්තා වූ 11 දෙනාගෙන් 5 දෙනෙකුම නාවික හමුදා සෙබලුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, රෝහල්ගතව සිටි තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559 ද දක්වා ඉහළ ගියා.

එමෙන්ම පසුගිය කාලසීමව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිවෙකු සාමාන්‍ය සමාජයෙන් හමු නොවුණ ද සමාජයේ යම් යම් කණ්ඩායම් තුළ කොරෝනා ආසාදනය වූවන් සිටීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු කණ්ඩායම් සොයා විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ.

මේ අතර, දකුණු පළාත යටතේ ලියාපදිංචි කර දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය ලබන මස 30 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු මස 14 වන දා සිට ජුනි 30 වන දා දක්වා වූ කාලසීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලූත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

++++++++++++

අවසන් වරට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා සඳහන් කළේ අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු බවයි.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් ෴

+++++++++++

තවත් කොවිඩ් -19 ආසාදිතයන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ෴

+++++++++++

කොරෝනා වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන 209 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා සමාජයේ පැතිරීම වැළැක්විමට සිවිල් අනුකමිටු පිහිටුවන්නැයි ඉල්ලීමක්

(19.05.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පැතිරීම වැළැක්වීම සදහා ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් සිවිල් අනුකමිටු පිහිටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළා.

ඊයේ (18) දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක්.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 992 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 559 ක්. මේ අතර පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධානයට ලක්වෙමින් සිටි 98 දෙනෙකු ද අද නිවෙස් වෙත ගොස් තිබෙනවා.

මේ අතර, කොවිඩ්-19 පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

නිරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ ස්ථානයක් මුද්‍රා තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (18) කටයුතු කර තිබෙනවා.

හලාවත – වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ ස්ථානයකට මෙලෙස මුද්‍රා තබා ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අදාළ ස්ථානය විවෘත කිරීමට අවසර ලබාදුන් නමුත් එහි රැවුල කැපීමට මෙතෙක් අවසර ලබා දී තිබුණේ නැහැ. සෞඛ්‍ය උපදෙස්වලට බැහැරව යමින් මෙලෙස රැවුල කැපීම සිදුකිරීම හේතුවෙනුයි මෙම කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානය මුද්‍රා තබා ඇත්තේ.

මේ අතර ලොව පුරා කොරෝනා වසංගතයක් බවට පත්ව ඇති මොහොතක පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය වසංගතයක් නොවන බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දැනට රට තුල පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. දැනට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 42,125 දෙනෙකු වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 903 ක්.

එමෙන්ම කොරෝන වෛරසයට ගොදුරුවුවන් සඳහා ලබාදෙන හයිඩ්‍රොක්සික්ලෝරෙක්වින් නමැති ඖෂධය ඉකුත් සති දෙකක කාලයක සිට තමන් ද භාවිතා කිරීම ආරම්භ කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

73 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා විසින් මැලේරියා රෝගයට ලබාදෙන මෙම ඖෂධය එරට කොරෝනා ආසාදිතයින්ට ලබාදීමට පියවර ගනු ලැබුවා ෴

+++++++++++++++++++++++++++++++++++

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිට රාජකාරී සඳහා කොළඹට එන ජනතාවට ලංගම යෙන් නව බස් සේවාවක්

(19.05.2020 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් රාජකාරී සඳහා පිටත්ව යන ජනතාව සඳහා කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නව සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව රටේ විවිධ ප්‍රදේශ වලින් කොළඹ දක්වා රැකියා සඳහා ගමනාගමනයේ යෙදෙන ජනතාවට එම සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.

මෙම නව සේවය ක්‍රියාත්මක වන්නේ රත්නපුර / කෑගල්ල / හලාවත / හම්බන්තොට / තංගල්ල / මාතර / ගාල්ල / අම්බලංගොඩ / අලුත්ගම / කළුතර යන ප්‍රදේශ සිටයි.

එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචිවූ පසු ශ්‍රී ලංගම බස් රථ මගින් ඔබට කොළඹ සහ තදාසන්න නගරවල ඔබගේ රැකියා ස්ථානය වෙත පැමිණීමට අවස්ථාව හිමිවේ.

එම නව සේවාව ‘සුඛෝපභෝගී බස් රථ’ සහ ‘සාමාන්‍ය බස් රථ’ මගින්ද ‘අධිවේගී මාර්ගය’ හෝ ‘සාමාන්‍ය මාර්ගය’ ඔස්සේද ලබාගත හැක.

ඒ සඳහා පහත සඳහන් ආදර්ශ ජායාරූපයේ පරිදි ඔබගේ විස්තර Word, PDF ලෙසින් හෝ එසේ එවීමට අපහසුනම් කොළයක අතින් ලියා එය ජායාරූපයක් ලෙසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නිල ෆේස්බුක් පිටුව වන Sri Lanka Transport Board – SLTB
( https://www.facebook.com/officialSLTB/ ) වෙත
හෝ dgmoperation@sltb.lk යන ඊ මේල් ලිපිනය වෙත හෝ යොමුකළ යුතුය.

***************************************

ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පලවන ප්‍රචාර සාවද්‍යයි – ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

(19.05.2020 – defence.lk)

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

“සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැත. බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැත.” ආරක්‍ෂක ලේකම් පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබාගැනීම තුලින් රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නැවත අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ රජය විසින් මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

ජාතික ආරක්‍ෂාවද පවත්වා ගනිමින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බවත් ඔහු පැවසීය.

“ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සටන් වදිමින් සිටයදී නැවියන් සිය ගණනක් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පීඩාවට පත්ව සිටින අතරතුර දේශීය හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලද නියැලී සිටී. සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පැතිරවීම හා ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම ආරක්‍ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරයි.” ඔහු පැවසීය ෴

***************************************

දිස්ත්‍රික්ක හයකට (6) මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි

(19.05.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ආශ්‍රීතව පවතින අම්පන් සුළි කුණාටුවේ බලපෑමෙන් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට ඉදිරි පැය 24 තුල මිලිමීටර 200 ඉක්මවු තදවැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති අම්පන් සුළි කුණාටුව හෙට (20) පස්වරුවේ බංග්ලාදේශයේ බටහිර වෙරළ තීරයට ඇතුළු විය හැකි බවට විශ්වාස කෙරෙනවා.

අද (19) උදෑසන 10:30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ රත්නපුර නගරයට වන අතර එය මිලිමීටර 193.3 ක්.

කිරිඇල්ල ප්‍රදේශයට මිලිමීටර 179 ක්, ගාල්ල නෙලුව ප්‍රදේශයට මිලිමීටර 168.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

දෙනියායට මිලිමීටර 168.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව , දෙල්ලව, කඩහිංගල ප්‍රදේශවල පහත් බිම් රැසක් සහ මාර්ග කිහිපයක් මේ වනවිට ජලයෙන් යටවි ඇති බවයි නෙලුව හිරු වාර්තාකරු සිරිසේන ගමගේ මහතා සදහන් කලේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළුගගේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් රත්නපුර, ඇළපාත, කිරිඇල්ල, අයගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පහත් බිම් ජලයෙන් යටවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම දෙපාර්තමේන්තුව අද (19) උදෑසන නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ කළුගගෙහි ඉහල ප්‍රදේශයට සැලකිය යුතු වර්ෂාපතනයක් පසුගිය පැය 24 තුල ලැබි ඇති බැවින් පහල ප්‍රදේශවල ජිවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකල යුතු බවයි.

මේ අතර, ඉහල කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (19) අලුයම සිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

තවදුරටත් තද වැසි ඇද හැලුනහොත් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

එසේම, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නොර්ටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට ආරම්භ වී ඇති අතර ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, කැළණි ගඟේ ඉහල ජල ධාරා ප්‍රදේශවලට අධික වැසි ඇද හැලුනද මාවුස්සා කැලේ ජලාශයට ජලය මුදා හැරෙන බැවින් මේ දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ සුගීශ්වර සීනිපැල්ලගේ මහතා සඳහන් කලේ.

හොරණ කිරිගලහේන ප්‍රදේශයට අද (19) අළුයම බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 කට හානි සිදුව තිබෙනවා.

තද සුළං තත්ත්වයක් හේතුවෙන් රත්නපුර උසාවි සංකිර්ණය ඉදිරිපිටට ගසක් කඩා වැටීමෙන් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට අද (19) පෙරවරුවේ බාධා එල්ල වුණා.

එමෙන්ම, රත්නපුර – ලේල්ලූපිටිය – බැරන්දූව ප්‍රදේශයේ වෙළද සැලක් මතට පස්කන්ඩියක් කඩා වැටිමෙන් 30 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලා.

එසේම, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ වටවල ප්‍රදේශයෙන් එම මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

මේ අතර, ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් – රත්නපුරේ දෙදෙනෙකු මරුට

(19.05.2020 – 17:34 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරු හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබේ.

වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශයේ නිවසක කොටසක් නායයාමකට ලක්විමෙන් 09 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී වෙළදසැලක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි 30 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

මීට අමතරව රත්නපුර, කහන්ගම ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි මවක් සහ දියණියක් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අධික වර්ෂාපතනය හේතුවෙන් පැල්මඩුල්ල, කුට්ටපිටිය, ප්‍රදේශයේ නිවාස පෙළක ද ජල පහරක් අනතුරුදායක ලෙස ගලායාමත් සමග නිවාස 17 ක සිටි පුද්ගලයින් 60 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළු, ගිං, නිල්වලා සහ කැළණි යන ගංඟා වල ජල මට්ටම් ප්‍රදේශ කිහිපයකින් ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර කළු ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් ප්‍රදේශ කිහිපයකට සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීල් කොඩ්ප්පිලි මහතා පැවසුවේය.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් නෙළුව, තවලම, නාගොඩ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.

මේ අතර අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින මෙම වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තඳ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

පස් කඳු කඩාවැටීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිටී

(19.05.2020 – 17:54 +0530 – hirunews.lk/sinhala)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (19) දින උදැසන ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් වුඩ්ලන්ඩ් ප්‍රදේශයෙන් මෙලෙස ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

එම ස්ථානයේද ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිකරුවකට සීමාකර ඇත.

පස් කන්ද කඩා වැටිමෙන් පසු එම ස්ථානයේදි ලංගම බස් රථයක් හැටන් දක්වා ධාවනය කිරිමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුව බස් රථය මාර්ගය හරහා සිරවීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට ඇතිබවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට තවදුරටත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවන අවස්ථාවේ සැලකිලිමත්ව රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

+++++++++++++++++++++++++++++++++++

ඉතිහාසයේ නොවූ විරූ ජල කඳක් බලන්ගොඩ නගරය ගිලගනී

(19.05.2020 – 17:25 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි තත්ත්වය සමඟ බළන්ගොඩ නගරය ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ සුළං තත්ත්වය හේතුවෙන් බළන්ගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම බළන්ගොඩ පෙට්ටිගල, මැද්දෙ කන්ද, වලේබඩ ප්‍රදේශවල පවුල් හතළිහක් තවදුරටත් වර්ෂාපතනය පැවතියහොත් නායයෑමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

මේ අතර කළු ගඟ පෝෂණයය වන ප්‍රධාන ගංඟාවක් වන වේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් වගා බිම් රැසකට ද හානි සිදු වී තිබෙනවා.

+++++++++++++++++++++

බලන්ගොඩ ඇතිවූ ගංවතුර පහව යයි

(19.05.2020 – 22:07 +0530 – lankadeepa.lk)

බලන්ගොඩ ඉතිහාසය අලුත් කරමින් අද (19) පෙරවරුවේ ඇතිවූ ගංවතුර තත්වය පස්වරු වන විට බැස යමින් තිබුණු අයුරු දක්නට ලැබිණි.

බළන්ගොඩ දොරවෙළ ඔය උතුරා යාමෙන් බළන්ගොඩ නගරය හා ප්‍රධාන බස්නැවතුම්පොළ ජලයෙන් යටවී තිබුණු අතර නගරයේ බොහෝ වෙළඳසැල්වලට ද ගංවතුර පැමිණීමෙන් අලාභ හානි සිදුවී තිබුණි.

මේ අතර නගරයේ ගංවතුරට කොටුවූ වාහන ඉවත්කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් නගරයේ තරුණ පිරිස් එම වාහන ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.

+++++++++++++++++++++++++++++++++++

කළු, ගිං, නිල්වලා අවදානම් – පැය 9 කදී වැඩිම වර්ෂාපතනය නුවරඑළියට

(19.05.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක අතිප්‍රචණ්ඩ අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිවයින හරහා සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 ත්, 60 ත් අතර අගයක් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මීට අමතරව කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබෙනවා.

ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නෙළුව, තවලම, කොටපොල ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගාල්ල – නෙළුව ප්‍රදේශයේ පවුල් 12 ක පුද්ගලයින් මේ වනවිට සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 135 කට හානි සිදුව ඇති අතර, ඉන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පුද්ගල මරණ දෙකක් වාර්තාවුණා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළේ රත්නපුර – වේවැල්වත්ත – බටේවෙල – තෝරකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 09 ක කුඩා දරුවෙකු පස් කණ්ඩියකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රත්නපුර – ලේල්ලූපිටිය – බැරන්ඩුව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස්කන්ඩියක් කඩා වැටීමෙන් 30 හැවිරිදි කාන්තාවක් ද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, රත්නපුර කහන්ගම ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එහි සිටි මවක හා 24 හැවිරිදි ඇයගේ දියණිය තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

පැල්මඩුල්ල – කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාවට ඉහල කඳු ප්‍රදේශයේ සිට පහල නිවාස දෙසට අවදානම් ලෙස ගලා ආ ජල පහරක් හේතුවෙන් නිවාස 17 ක 60 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටද පොලිසිය අද පියවර ගත්තා.

පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබුණා.

මේ අතර කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරයේ කොටසක් ජලයෙන් යටවී ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

බලංගොඩ බස් නැවතුම්පලද ඉතිහාසයේ ප්‍රථම වතාවට අද ජලයෙන් යටවූ බව එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

පොලීසිය ප්‍රකාශ කළේ වලවේ ගඟේ අතු ගංගාවක් වන දොරවෙල ගංගාව පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි.

එමෙන්ම, අධික වැසි හේතුවෙන් මස්කෙළිය – සාමිමලේ – ගවරවිල වතුයායේ බාග්‍රෝ කොටසේ වතු නිවාස 26 ක් අද ජලයෙන් යටවුණා.

ඉහළ කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට අද අලූයම සිට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගැනුණා.

තවදුරටත් තද වැසි ඇද හැලුනහොත් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශය දක්වා ගලා බසින කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14 ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.

කොටගල – රොග්ගිල් වත්තේ පිහිටි වතු නිවාස 50 ක් ජලයෙන් යට වීම නිසා පුද්ගලයින් 180 දෙනෙකු පමණ අසීරුතාවයට පත්ව ඇති බවද හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

වර්ෂාව සමඟ ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අඟුණුකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයට ගසක් කඩා වැටී එහි වහලයට දැඩි හානි සිදුව තිබුණා.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා බුලත්සිංහල, මිල්ලනිය, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

පවතින තත්ත්වයත් සමඟ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ස්ථාන සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම හෙට පස්වරු 2.30 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.

අද (19) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – අප්කොට් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එහි අගය මිලිමීටර 173.5 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

දැඩි සුළඟට ගාල්ල වරායේ බෝයාවක් ගොඩට ඇවිත්

(19.05.2020 – mawbima.lk)

ගාල්ල වරාය සතුව මුහුදේ ස්ථාපිත කර තිබූ බෝයාවක් අද (19) අලුයම හැමූ දැඩි සුළඟට හසුව ගාල්ල දෙවට වෙරළ තීරය අසලට ගොඩ ගසා තිබුණි.

ඈත මුහුදේ ගමන්කරනු ලබන නෞකා ගාල්ල වරායට නිරුපද්‍රිතව පැමිණීම සඳහා වරාය දක්වා සීමාව තුළ මෙම බෝයාවල් හතක් ස්ථාපිත කර ඇති අතර මෙලෙස ස්ථාපිත කර තිබූ එක් බෝයාවක් අද (19) අලුයම මුහුදු ප්‍රදේශය හරහා හමාගොස් තිබූ සුළඟට හසුව මෙලෙස ගාල්ල දෙවට ප්‍රදේශයට ගොඩ ගසා තිබුණි.

පසුව දොඹකරයක් මාර්ගයෙන් එය මුහුදෙන් ගොඩට ඔසවා ට්‍රැක් රථයක පටවා නැවත ගාල්ල වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කල අතර, මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සුලු වෙලාවකට වසා තැබීමටද ගාල්ල වරාය පොලීසියට සිදුවිය.

***************************************

කොරෝනා මැද රාජිත වෙනුවෙන් සජිත් කළ උද්ඝෝෂණය

(19.05.2020 – 22:43 +0530 – hirunews.lk/sinhala)

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස ඉල්ලමින් කළුතර දී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (19) උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ අසළින් ගමන් ගත් යතුරුපැදිකරුවෙක් ඊට මෙලෙස විරෝධය පළ කළා.

***************************************

හිටපු ඇමති මහින්ද සමරසිංහ නිදහස් පක්ෂයෙන් ඉවතට

(19.05.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ ඒ අනුව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්කර ඇති බවයි.

***************************************

පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල CIDයෙන් පිටව යයි

(19.05.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා අද (19) පස්වරු 02:10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන්වූවන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංගම බස් රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ.

මීට පෙර පසුගිය 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගෙන් පැය 05 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *