කුවේට්වලින් ආපු අයෙකුටත් කොරෝනා – සමස්ත ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කුවේට්වලින් ආපු අයෙකුටත් කොරෝනා – සමස්ත ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට

• දිවයිනට උතුරු, දකුණු හා ගිනිකොණ මුහුද රළු වෙයි (විඩියෝ)

• මංගල උත්සව සඳහා මාර්ගෝපදේශ සංශෝධනය වීමක් නෑ

• ඉන්දුනීසියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

• දුම්රියේ ගමන් තවදුරටත් ආසන සංඛ්‍යාවට පමණයි

• කොළඹ, මාලිගාවත්තේ තෙරපීමෙන් කාන්තාවන් 3 ක් මරුට 9 කට තුවාල (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1030 ක් දක්වා ඉහළට

• වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82 ක් නිරෝධායනයට

• හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවයි

• ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

• වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා සහන කාලයක්

• පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය වැඩිකිරීමට පියවර

• රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගෙන් විශේෂ නිවේදනයක්

• වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 වෙයි

• ඇඳිරි නීතිය ලිහිල්වනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි (විඩියෝ)

• ඡන්දයේදී ඇඟිලි පාට කිරීමට විකල්පයක් (විඩියෝ)

• මැතිවරණ කොමිසමේ නියෝගය අනුව – ජුනි මස රුපියල් 5000 දීමනාව නෑ ?

• අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි

• ඩෙංගු වැඩිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරින් අනතුරු අගවයි

• මහා සංඝ රත්නයට සහ බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ හිටපු ඇමති මංගල ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

• තොරණ නිර්මාණ ශීල්පීන්ගේ ගැටළු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳ රජයේ අවධානය (විඩියෝ)

• සහරාන් ඇතුළු බෝම්බකරුවන් ගැන පාස්කු කොමිසමේදී තවත් අනාවරණයක් (විඩියෝ)

• ජනපති සහ අගමැති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දකී (විඩියෝ)

• අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

• වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ (විඩියෝ)

• පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

• පාසලක ගුරුවරියක් පිරිමි ළමයෙකුට බරපතල ලිංගික ක්‍රියාකාරකම් කරලා

• මුහුදු මහා විහාර භූමිය මිනුම්ගත කිරීම 27 වැනිදායින් පසු

+++++++++++++++++++++++++++++++++++

කුවේට්වලින් ආපු අයෙකුටත් කොරෝනා – සමස්ත ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට

(20.05.2020 – 22:45 +0530 – sinhala.adaderana.lk)

අද (20) රාත්‍රී 10:15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙකු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඊයේ දිනය (19) තුළ පමණක් කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15 දෙනකු අද (20) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුව වු සමස්ත පුද්ගලයින් ගණන 584 දක්වා වැඩි විය.

මේ අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 435 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ආසාතයින්ගෙන් 585 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් 221 දෙනෙකු ද මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

කොරෝනා මරණ 09 ක් මෙරටින් වාර්තා වී ඇත ෴

***************************************

දිවයිනට උතුරු, දකුණු හා ගිනිකොණ මුහුද රළු වෙයි

(20.05.2020 – 23:59 +0530 – sinhala.adaderana.lk)

තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60-65 දක්වා වැඩි විය හැකි යි.

එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වෙයි.

දිවයිනට දකුණු හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-65 දක්වා වැඩි වෙන අතර මුහුද විටින් විට රළු වෙයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා විය හැකි බව අද(20) රාත්‍රී 11:30 නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි.

මෙය හෙට (21) රාත්‍රී 11:30 දක්වා වලංගු වෙයි.

+++++++++++++++++++++

May 21, 2020 01:45 pm

***************************************

මංගල උත්සව සඳහා මාර්ගෝපදේශ සංශෝධනය වීමක් නෑ

(20.05.2020 – 23:30 +0530 – sinhala.adaderana.lk)

මංගල උත්සව පැවැත් වීම සඳහා විශේෂ නව මාර්ගෝපදේශන ‍සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

එසේ නව මාර්ගෝපදේශ නිකුත් කළ බව සමහර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳ විශාල පිරිසක් විමසීම් සිදු කරන බැවින් මේ පිළිබඳව ඒ මහතා මෙලෙස පැහැදිලි කර සිටියේය.

තවමත් වලංගු වන්නේ මීට පෙර එනම් අප්‍රේල් 27 වන දින නිකුත් කළ මාර්ගෝපදේශයේ ඇති කරුණු බවද ඒ මහතා පවසයි.

මෙම සම්පූර්ණ ප්‍රකාශනය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ්අඩවියෙන් බාගත කර ගත හැකි බවත්‍ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.health.gov.lk/

ඉදිරියේ දී මෙහි සංශෝධන සිදු කරන්නේ නම් මාධ්‍ය මඟින් ජනතාවට දැනුම් දෙනු ලබයි.

නමුත් එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මෙතෙක් පැන නැගී නොමැති බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

සේවා ස්ථානවල කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සුදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශය, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය

4.7 සත්කාර අවස්ථා (මංගල, අවමංගල උත්සව හා වෙනත් උත්සව)

ඉහත තුන් වන පරිච්ජේදය විස්තර කර ඇති පොදු පියවරයන්ට අමතරව පහත විශේෂිත පියවරයන් අනුගමනය කළ යුතුයි :

+++++++++++++++++++++++++++++++++++

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

(21.05.2020 – 08:39 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෛකු ඉන්දුනීසියාවේ සිට දිවයිනට පැමිණ තිබේ.

ඉන්දුනිසියානු ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස අද (21) පෙරවරු 08:00 ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ‘අද දෙරණ’ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

ඔවුන් ජකර්තා නුවර සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව සදහන්ය.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

දුම්රියේ ගමන් තවදුරටත් ආසන සංඛ්‍යාවට පමණයි

(21.05.2020 – 07:17 +0530 – sinhala.adaderana.lk)

සැලසුම් කරන ලද දුම්රිය ගමන් වාර සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම තවදුරටත් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, වෙන්කරන ලද ආසනවල පුරප්පාඩු පවතින්නේ නම් පමණක් රාජකාරි හැඳුණුම්පත පෙන්වා දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මෙම තත්ත්වය මත දුම්රිය ස්ථාන වෙත පැමිණෙන සියලු මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට නොහැකි වනු ඇති බව වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

ලබන සතිය තුළ දුම්රිය ගමන්වාර සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගැනිමට බලාපොරොත්තු වන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ (21) සිට බලැපැවත්වෙන පරිදි කොළඹ නගරයේ විථි වල තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු අය කිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

කොළඹ නගර සභා සීමාව තුළ රථ වාහන ගාල් භාවිත කරන්නන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් වාහන නැවත්විමේ ගාස්තු ගෙවිය යුතු බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය ෴

***************************************

කොළඹ, මාලිගාවත්තේ තෙරපීමෙන් කාන්තාවන් 3 ක් මරුට 9 කට තුවාල

(21.05.2020 – 15:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, මාලිගාවත්ත ජුම්මා මාවතේ නිවසක පෞද්ගලිකව සිදුකළ මුදල් ආධාර බෙදීමේදී ඇති වූ තෙරපීමේ සිද්ධියෙන් තුවාල ලැබූ 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

තුවාල ලැබූවන් 9 දෙනාගෙන් 8 දෙනෙකුම කාන්තාවන්.

අද (21) දහවල් ඇති වූ මෙම තෙරපීමෙන් කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ෴

+++++++++++

මාළිගාවත්ත ප්‍රදේශයේ පෞද්ගලිකව සිදුකළ මුදල් ආධාර බෙදීමක් අතරතුර කාන්තාවන් තුන්දෙනෙකු තෙරපී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) එම ස්ථානයට ගොස් කරුණු විමසීමක් සිදු කළා.

මෙම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු කියාසිටියේ එම ස්ථානයේ දෙදහසකට ආසන්න පිරිසක් සිටි බවයි.

තෙරපීමෙන් පසු යටවී සිටි පිරිස බේරා ගැනීමට පැය භාගයක පමණ කාලයක් ගතවූ බව ද එම ස්ථානයේ සිටි පිරිස් සඳහන් කළා ෴

+++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1030 ක් දක්වා ඉහළට

(21.05.2020 – 16:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1030 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (21) තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වෛරසය ආසාදනය වූ 417 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

604 දෙනෙකු ප්‍රතිකාරවලින් අනතුරුව පූරණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 09 ක් ෴

+++++++++++++++

අද (21) සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1045 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 432 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

‍කොරෝනා ආසාදිතයින් 09 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82 ක් නිරෝධායනයට

(21.05.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 82 ක් නිරෝධායනය සඳහා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 237 ක්.

මෙම නාවික හමුදා සාමාජිකයින් 16 දෙනාගෙන් හත්දෙනෙකු (07) හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, සිව්දෙනෙකු (04) ප්‍රතිකාර ලබා ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලේයි.

තුන්දෙනෙකු (03) බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම නාවික හමුදාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට සිව් පුද්ගල විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිතව කොරෝනා රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීම පිළිබඳ කරුණු සෙවීම සඳහා වසංගත රෝග විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් සිව් පුද්ගල කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුව සිය මූලික වාර්තාව එළිදැක්වූ අතර, එමඟින් වෛරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති නාවික හමුදා සෙබළුන් කඩිනමින් වැලිසර කඳවුරෙන් බැහැර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සහ වැලිසර කඳවුර තුළ සංචරණය සීමා කිරීමට ප්‍රධාන වශයෙන් නිර්දේශ කර තිබෙනවා.

අද (21) දිනය තුළ මේ දක්වා මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ. ඊයේ (20) දිනයේදී වාර්තාවූයේ එක් (01) ආසාදිතයෙකු පමණක් වන අතර, ඔහු කුවේට් හි සිට ඊයේ (20) මෙරටට පැමිණි අයෙක් වනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් සටහන් වන්නේ 1,028 ක් ලෙසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු අද (21) දිවයිනට පැමිණියා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ගරුඩා ගුවන් සේවයට අයත් ජී ඒ 9820 දරණ යානයෙන් මොවුන් උදෑසන 8 ට පමණ මෙරටට පැමිණි බවයි. පසුව මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ලබන සතියේදී අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටීවී’ ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ෴

***************************************

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවයි

(21.05.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – දියගම ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර අරලියගහ මන්දිරයේ අද (21) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පසුගියදා මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ සංචාරයකට එක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම ක්‍රීඩාංගනය සඳහා අක්කර 26 ක භූමි ප්‍රමාණයක් වෙන්කර ඇති බවයි ෴

***************************************

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

(21.05.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වන සුළං අභිසාරී වීමක් හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ දක්වා වැඩිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

***************************************

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා සහන කාලයක්

(21.05.2020 – 15:52 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාතේ ලියාපදිංචි කර දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය මාර්තු මස 13 වනදා සිට ජුලි මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන ලෙස ද, පළාත් ප්‍රධාන ලේකම්වරයා දැනුම්දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය වැඩිකිරීමට පියවර

(21.05.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේ ඉදිකෙරෙමින් පවතින මෙරට විශාලතම සුළං විදුලිබල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විෂය භාර අමාත්‍යවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

රුපියල් බිලියන 25 ක් වැය කර ඉදිවන මෙම ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මස අවසන් කිරීමට නියමිත අතර එමගින් මෙගාවොට් 103 ක විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

2030 වර්ෂයේදී මෙරට සමස්ත විදුලි සැපයුමෙන් සියයට 80 ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාදීම රජයේ ඉලක්කය බැවින් කඩිනමින් අදාළ පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අදාළ වියදම් ලබාදීමට රජය කටයුතු කරන බවත්, ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගෙන් විශේෂ නිවේදනයක්

(21.05.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව එම නිකායේ සියලුම නායක හිමිපාණන් වහන්සේලා වෙත විශේෂ දැනුම්දීමක් ඇතුලත් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍යතර අත්තන්ගනේ සාසන රතන නායක හිමිපාණන් විසින් නිකුත්කරන ලද එම ලිපිය පහතින් :

( දුස්සීල ශ්‍රමණවේශධාරීන් තම නිකායෙන් නෙරපා දැමීම සම්බන්ධවයි ! – අමරසර )

***************************************

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 වෙයි

(21.05.2020 – 11:40 +0530 – hirunews.lk/sinhala)

දැනට සේවය කරන රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 61 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ, අවශ්‍යතාව මත ඇතැම් වෘත්තීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා ඉහළ දැමීමට, ජනපති උපදෙසින් කමිටුවක්ද පත් කළ බවයි.

එම කමිටු වාර්තාව ලැබෙන තුරු දැනට රජයේ වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 61 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවත්, වෛද්‍ය හිඟය ඊට හේතුව බවත් අමාත්‍යවරයා, අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා ෴

***************************************

ඇඳිරි නීතිය ලිහිල්වනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

(21.05.2020 – 11:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 පාලන තත්ත්වය තුළ ඉදිරියේදී ඇඳිරි නීතිය ලිහිල්වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (21) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ඡන්දයේදී ඇඟිලි පාට කිරීමට විකල්පයක්

(21.05.2020 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේදී ඇඟිලි පැහැගැන්වීම් වෙනදා සිදුකරන ආකාරයෙන් අතින් අල්ලා සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඒ අනුව විකල්ප ක්‍රම කිහිපයක් යෝජනා වී ඇති බවයි ඔහු අද (21) උදෑසන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ.

එම විකල්ප ක්‍රම ඇතුළත් ඔහුගේ ප්‍රකාශය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසමේ නියෝගය අනුව – ජුනි මස රුපියල් 5000 දීමනාව නෑ ?

(21.05.2020 – 11:15 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ නියෝගය අනුව ජූනි මාසයේ රුපියල් 5000 සහන දීමනාව ලබා දිය නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි දැනුම් දෙන ලෙස කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි

(21.05.2020 – 09:14 +0530 – hirunews.lk/sinhala)

සේවකයන් පස්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැඩ කරන දින දෙකක කාලයක් සඳහා මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති බවයි.

එමෙන්ම තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙස වසා තැබෙන කාලයෙහි slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් හෝ ගාස්තු රහිත දුරකථන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි.

ගාස්තු රහිත දුරකථන අංකයට විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී පැමිණෙන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවිය හැකි අතර, තානාපති කාර්යාලය විසින් පැය 24 ක් ඇතුළත නැවත එම දුරකථන අංකය හා සම්බන්ධවීමට කටයුතු කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ නිසා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සිය ගැටළු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද ඔවුන් දැනුම් දෙනවා.

***************************************

ඩෙංගු වැඩිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරින් අනතුරු අගවයි

(21.05.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා.

මේ වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 19,446 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 463 දෙනෙකු වාර්තා වී තිබූ අතර, මැයි මාසයේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 457 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, මේ දිනවල දිවයිනට ලැබෙන වැසි තත්ත්වයත් සමග යළි ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

මහා සංඝ රත්නයට සහ බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ හිටපු ඇමති මංගල ගැන අදත් විවිධ අදහස්

(20.05.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝ රත්නයට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ට එරෙහිව අදත් මහා සංඝරත්නය සහ පක්ෂ – විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

තොරණ නිර්මාණ ශීල්පීන්ගේ ගැටළු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳ රජයේ අවධානය

(20.05.2020 – 20:54 +0530 – hirunews.lk/sinhala)

කොලඹ හා ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල අන්තර් පළාත් බස් රථ ධාවන කටයුතු අද (20) ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පළාත් අතර ලංගම බස් රථ ධාවනය සඳහා තමන්ට මේ දක්වා සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් ලැබී නොමැති බවයි.

මෙතෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමාවූ බස් රථ සේවාව පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කෙරුණේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව බොහෝ ප්‍රදේශවල අද (20) අන්තර් පළාත් බස් සේවා ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවකයින් පැවසුවේ තමන් බස් රථ ධාවනය සඳහා සූදානම් වුවත් ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් නොමැතිවීම ගැටලුවක් බවයි.

මේ අතර පළාත් අතර, ලංගම බස් රථ සේවා අද (20) ක්‍රියාත්මක නොකළ බව එහි සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක අතර ගමනාගමන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මෙන්ම පෞද්ගලික බස් රථද සැලකිය යුතු ප්‍රමාණයක් යොදවා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

මේ අතර, රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අද (20) දිනයේත් දුම්රිය රැසක් ක්‍රියාත්මක වුණා.

ආසන වෙන්කරවා ගත් දුම්රිය මගීන්ට අමතරව සේවා අවශ්‍යතා මත රාජකාරී සඳහා කැඳවන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ටත් අද (20) සිට දුම්රියේ පැමිණීමට අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර, රට යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව මධ්‍යම පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් මහනුවර ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරීන් අතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, මෙතෙක් අඩාලව පැවති සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් 19 සම්බන්ධයෙන් ලබාදී තිබෙන සාමාන්‍ය සෞඛ්‍ය උපදෙස්වලට අමතරව සිනමා සහ ටෙලිනාට්‍ය වැඩසටහන් පිළිබඳ පෙර සූදානම් කටයුතුවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත්වීමල අවම පිරිසක් එක්රැස්වීම, රූගත කෙරෙන ස්ථානවල දෑත් සේදීමේ පහසුකම් පවත්වා ගැනීම, කාර්ය මණ්ඩලය සඳහා මුඛ ආවරණ සැපයීම, කලාකරුවන්ගේ උපකරණ වෙන් වෙන්ව පවත්වා ගැනීම ඇතුළු කරුණු රැසක් එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්.

සිනමා සහ ටෙලිනාට්‍ය යළි ඇරඹීමට මාර්ගෝපදේශ, පෙර සූදානම් කටයුතු සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා අවම පිරිසක් එක්රැස් වීම, රූගත කෙරෙන ස්ථානවල දෑත් සේදීමේ පහසුකම් තැබීම, කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ සැපයීම, කලාකරුවන් සඳහා උපකරණ වෙන් වෙන්ව පවත්වා ගැනීම, ඇතුළු කරුණු රැසක් එම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්.

මේ අතර, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණ ශාලාවේදී අද ආරම්භ වුණා.

මෙහිදී බන්ධනාගාර රැඳවියන් අධිකරණය වෙත කැඳවීමක් සිදු නොකොට වීඩියෝ තාක්ෂණය මගින් ප්‍රශ්න කිරීම සිදුකෙරුණා.

ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුද ක්‍රමානුකූලව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති දුරකථන අංක ඔස්සේ වේලාවන් වෙන්කර සේවා සපයා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතුද පෙර වේලාවන් වෙන්කරවා ගැනීමේ පදනම මත ක්‍රියාත්මක වූ අතර, එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සඳහා මුල්තැනක් දී තිබූනා.

මේ අතර, කොවිඩ් 19 වසංගතයත් සමග මංගල උත්සව ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ දැනුවත් කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නියුතුවූවන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර සෞඛ්‍ය අර්බුදයක් මතු නොවන අයුරින් විසඳුම් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

මේ අතර, හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහන අද (20) වෙන්කර තිබුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

පවතින තත්ත්වයත් සමග තොරණ නිර්මාණ ශීල්පීන් මුහුණදී ඇති ගැටලු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව, ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව ඇත්තේ දැනට නිර්මාණය කර ඇති තොරණ ප්‍රදර්ශනයට මෙම වසංගත තත්ත්වයෙන් පසුව අවස්ථාව ලබාදීමටයි.

මේ අතර, අඛණ්ඩව ඇඳරිනීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද (20) රාත්‍රී 8 සිට හෙට (21) අලුයම 5 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා.

අද (20) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 256 ක්.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාම වෙනුවෙන් රජය හඳුන්වාදුන් ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය යටතේ හෙට (21) දිනයේ බැහැරට යාමේ අවසරය හිමිවන්නේ අවසන් අංක 7 සහ 8 හිමි පුද්ගලයින්ටයි.

***************************************

සහරාන් ඇතුළු බෝම්බකරුවන් ගැන පාස්කු කොමිසමේදී තවත් අනාවරණයක්

(20.05.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමෙන් පසු කොළඹ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ඉරිදාට පෙර දිනයේ කොළඹ අවට ප්‍රදේශවල සැරිසරා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ, එවකට කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි මගින්.

කොමිසම හමුවේ ඊයේ රාත්‍රීයේ සාක්ෂි ලබා දුන්නේ ප්‍රහාරය එල්ල වූ කාලයේදී කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාශය භාර වැඩබලන නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතායි.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූර්ව තොරතුරක් ලැබුණේ දැයි කොමිසම ඔහුගෙන් විමසුවා.

පසුගිය වසරේ අප්‍රේල් 12 වැනිදා එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලිපි කට්ටලයක් මගින් තොරතුරු ලැබුණු බවත් සහරාන් හෂීම් සම්බන්ධයෙන් විස්තර එහි ඇතුළත් වූ බවත්, සඳහන් කළ සාක්ෂිකරු පැවසුවේ එම ලිපිය මගින් කොළඹ මධ්‍යම කොට්ඨාශයට බලපාන කිසිදු සඳහනක් නොවූ නිසා ඒ සම්බන්ධයෙන් සොයා නොබැලූ බවයි.

එවක කොළඹ මධ්‍යම නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් විශේෂ ඇමතුමක් ලැබුණේ දැයි කොමිසම පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් එහිදී ප්‍රශ්න කළා.

එවැනි ඇමතුමක් ප්‍රහාරයට පෙර දින එනම් පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 7.30 ට පමණ ලැබුණු බවත්, එතැන් සිට කතෝලික පල්ලිවල ආරක්ෂාව තර කරන මෙන් අදාළ ස්ථානපතිවරුන්ට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දුන් බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අනුව තමන්ට අයත් පොලිස් ස්ථාන අටේ ස්ථානාධිපතිවරුන් දුරකථනයෙන් දැනුවත් කළ බවත්, එදින කොටුව ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බැවින් එහි වැඩබලන ස්ථානාධිපතිවරයාට විශේෂ දැනුම්දීමක් සිදුකළේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහ බැංකුව වැනි මර්මස්ථාන කිහිපයක් එම බල ප්‍රදේශයට අයත් වන නිසා බවත් ඔහු සඳහන් කළා.

සාක්ෂිකරු සඳහන් කළේ ඒ අනුවලි ‘Duty Alert’ කරන්න යැයි තමන් වැඩබලන ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

‘Duty Alert’ ලෙස අදහස් කළේ කිනම් රාජකාරී දැයි කොමිසම විමසුවා.

ප්‍රධාන ලෙස මාර්ග බාධක සක්‍රිය කර තැබීම සහ රාත්‍රීයේ ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීම ඊට අයත් බව පැවසූ සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ, ෂැංග්‍රිලා හෝටලයට යාබද ගාලු මුවදොර මාර්ග බාධකය, ලෝටස් පාරට ඇතුළු වන ස්ථානයේ මාර්ග බාධකය, D.R. විජේවර්ධන මාවතේ මාර්ග බාධකය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ සහ කොටුව තරුණ බෞද්ධ සංගමය ගොඩනැගිල්ල අසළ මාර්ග බාධකය, ක්‍රියාත්මක කළ බවයි.

එසේ නම් ෂැංග්‍රිලා හා කින්ස්බරී යන හෝටල් වෙත ගමන් කරන අයෙකු මේ කුමන හෝ මාර්ග බාධකයකින් පරීක්ෂාවට ලක්විය යුතු දැයි කොමිසම ප්‍රශ්න කළා.

සාක්ෂිකරු සඳහන් කළේ දෛනිකව රථ වාහන 25,000 ක් පමණ එම ස්ථාන පසුකර යන බැවින් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ තෝරාගත් වාහන පමණක් බවයි.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ ප්‍රහාරය එල්ල වන විට කොළඹ කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ මහතායි.

කොමිසම ඔහුගෙන් විමසා සිටියේ අප්‍රේල් 20 වන දින එවක කොළඹ මධ්‍යම කොට්ඨාශය භාරව වැඩබලමින් සිටි පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් තමන්ට විශේෂ දුරකථන ඇමතුමක් ලැබුණේ ද යන්නයි.

එවැනි ඇමතුමක් රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ලැබුණු බවත්ල “අද රාත්‍රීයේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි, NIGHT DUTY ALERT කරන්න” යැයි ඔහු එහිදී උපදෙස් දුන් බවත්, සාක්ෂිකරු සඳහන් කළා.

තමන් 2019 වසරේ ඔක්තෝබර් මස 28 වන දින කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට ලබාදුන් ප්‍රකාශයේ ‘අද’ ලෙස සටහන් වී නොමැති බැවින් එදින දුන් ප්‍රකාශය සහ අද දුන් ප්‍රකාශය අතරින් නිවැරදි කුමක්දැයි කොමිසම විමසුවා.

සාක්ෂිකරු ප්‍රකාශ කළේ අද දිනයේ කොමිසමට කළ ප්‍රකාශය නිවැරදි බවයි.

තමන්ට උපදෙස් ලැබෙන විට තමා පොලිස් භට නිවාසයේ රැඳී සිටි අතර, එම මොහොතේ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී භාරව සිටි පොලිස් පරීක්ෂක ලලන්ත ප්‍රියදර්ශන අමතා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට උපදෙස් ලැබුනු බවත්, කොටුවේ පිහිටි පල්ලියට ආරක්ෂාව යොදවන ලෙස තමා උපදෙස් දුන් බවත්, සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ, ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරය සඳහා පැමිණ සිටි බෝම්බකරුවන් දෙදෙනා අප්‍රේල් 20 රාත්‍රී 9.00 ට පමණ හෝටලයෙන් පිටතට පැමිණ කොළඹ ස්ථාන කිහිපයකට ගොස් යළි රාත්‍රී 11.00 ට ආසන්නව හෝටලයට පැමිණ ඇති බව තමා මේ වනවිට දැනුවත් ද යන්නයි.

තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් බව සාක්ෂිකරු සඳහන් කළා.

එමෙන්ම කින්ග්ස්බරී හෝටලයේ ප්‍රහාරය සඳහා පැමිණ සිටි බෝම්බකරු ද එදිනම රාත්‍රීයේ ත්‍රිරෝද රථයකින් කොලොන්නාව ප්‍රදේශයට ගොස් යළි හෝටලයට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත්, සාක්ෂිකරු ඒ පිළිබඳ මේ වනවිට දැනුවත් දැයි කොමිසම ප්‍රශ්න කළා.

සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

ඔබට ඉහළ නිලධාරීයාගෙන් ඇමතුම ලැබුණු පසු ඔබ විසින් සඳහන් කළ එදින රාජකාරී භාරව කටයුතු කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේදී රාත්‍රී 11.00 න් පසු ‘DUTY ALERT’ කරන ලෙස තමන් ඔහුට උපදෙස් ලබා දුන්නේ දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

රාත්‍රී 11.00 න් පසු මාර්ග බාධකවල සිටින පොලිස් නිලධාරීන් ඇතැම් විට නිදිබර විය හැකි බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කළාදැයි තමාට දැන් මතකයක් නැතැයි සාක්ෂිකරු පැවසුවා.

කෙසේ වෙතත්, අප්‍රේල් 21 අලුයම 2.00 ට පමණ තමන් පෞද්ගලිකව කොටුව බල ප්‍රදේශයේ ගමන් සංචාරයක නිරත වූ බවත්, එහිදී සෙරමික් මාර්ග බාධකය හෙවත් ලෝටස් පාර මාර්ග බාධකයේ රාජකාරී යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තද නින්දක පසු වූ බවත්, ඔහු සඳහන් කළා.

තමන් එදින රාත්‍රීයේ ගමන් සංචාරය කළේ කුමන ප්‍රදේශවල දැයි කොමිසම යළි විමසුවා.

පැය 2 ක් එලෙස සංචාරය කළයුතු නමුත් තමන් පැයකට ආසන්න කාලයක් ගමන් සංචාරවල නිරත වී ඉතිරි කාලය තම භට නිවාසයේ රැඳී සිට යළිත් පොලිස් ස්ථානයට පැමිණි බව සාක්ෂිකරු සඳහන් කළා.

පසුදින උදෑසන කොටුව පොලිස් බලප්‍රදේශය ආවරණය වන පරිදි පිහිටා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යාංශයට ඉතා නුදුරින් පිහිටි කිංග්ස්බරි හා ෂැංග්‍රිලා යන හෝටල් දෙක තුළ දරුණු පිපිරීම් සිදුවූයේ ඔබට ඊට පෙර දිනයේ එවැන්නක් වන බවට තොරතුරු ලැබී තිබෙන පසුබිමක බැවින් වැරදීම සිදුවුණේ කොතනදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

ඔහු එහිදී පැවසුවේ ස්ථිර මාර්ග බාධක මෙන්ම, බුද්ධි අංශ සෘජුවම ක්‍රියාත්මක වූයේ නම් මෙය වළක්වා ගැනීමට හැකියාව පැවති බවයි.

***************************************

ජනපති සහ අගමැති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දකී

(20.05.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටුවා.

ප්‍රථමයෙන් ජනාධිපතිවරයා උන්වහන්සේ වැඩසිටින ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එම අවස්ථාවේදී මහනායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනයක්ද සිදුකර ජනාධිපතිවරයාට ආශීර්වාද පළ කර තිබෙනවා.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක සුහද පිළිසඳරක නිරත වුණා.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දරුවන් රැක ගැනීමට මූලිකත්වය දිය යුතු හෙයින් පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවදුරටත් ගැටලුවක් වී ඇති බවයි.

ඡන්දය පැවැත්වෙන්නේ කවදාදැයි මාධ්‍යවේදීන් එහිදී විමසූ පැනයට අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය අධිකරණය තීරණය කරනු ඇති බවයි.

***************************************

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(21.05.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා ඖෂධ සංස්ථාවල සභාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මේබව සඳහන් කර ඇත්තේ අද (21) ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනය ආනයනය සහ බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කළ විමසීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ රාජ්‍ය අංශයේ නිෂ්පාදන පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරණ ආනයන වශයෙන් ඖෂධ සැපයුම ක්‍රමවේද 3 කට සිදුවන බවයි.

රට තුළ ඖෂධ වර්ග 750 ක් පමණ භාවිත වන අතර ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගතවන බැවින් ඇතැම්විට හිඟයක් ඇතිවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නා.

ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන ලෙසට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

පෙර වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කර ඊළඟ වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව ද ඔහු සඳහන් කළා.

අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශවයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බැවින් සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු අතර ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

හිඟයක් ඇතිවීම වැළක්වීම සඳහා ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බවයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා මෙහිදී සඳහන් කළේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80 ක් තම ආයතනය නිෂ්පාදනය කරන බවයි.

සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වසරකට රුපියල් කෝටි 130 ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වන බව ද සභාපතිවරයා කියසිටියා.

සේවක අර්ථසාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩ කඩ ද පිළිබඳව ද සාකච්ඡාවේ දි විමර්ශනයට ලක් කෙරුණා.

එවැනි ක්‍රමයක් සකස් කළහොත් මෙම අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා ෴

***************************************

වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ

(21.05.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ සංගීතඥ , ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පැවසුවේ තමන් හා තම වැඩිමහල් සොයුරිය පියා බැලීමට ගිය බවයි.

තම පියාට තරමක් අසාධ්‍ය බව අද (21) දැනගන්නට ලැබුන බවද ඔහු සඳහන් කරනවා.

ලෙලුම් රත්නායක මහතාගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව පහතින් :

***************************************

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

(21.05.2020 – 18:22 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ සහල් හිගයක් ඇතිවිම වැලැක්විම සඳහා තමන් සතු වී සහ සහල් තොඟ හිඟයකින් තොරව වෙළඳපොලට නිකුත් කිරිමට පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව උපරිම නීතිමය කටයුතු කිරීමට නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම මෙම වැරදි සම්බන්ධව සිදු කරන වැටලීමකට අදාල පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට අධිකාරියෙන් නිළධාරින්ට හැකියාවක් පවතින අතර ඒ සදහා වන නඩු පැවරීමකදී වරදකරු වුවහොත් දඩ මුදලක් සහ මාස 06 ක සිර දඩුවමක් හෝ ඉන් එකක් ලබාදීමට අධිකාරියට හැකියාව පවතියි.

කෙසේවෙතත් මේ වන විට අධිකාරිය මගින් නිකුත් කර ඇති සහල් උපරිම මිල සදහන් ගැසට් නිවේදනය ඉවත් කර ඇති බව පවසමින් සහ එම මිල ගණන් වෙනස් වන බවට පවසමින් ඇතැම් වී මෝල් හිමියන් සහ තොඟ වෙළඳුන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව ද පාරිභෝගික අධිකාරිය සදහන් කළේය.

එහෙත් කිසිදු ආකාරයකින් අදාල ගැසට් නිවේදනය ඉවත් කර නොමැති අතර එම පාලන මිල ගණන් තවදුරටත් වලංගු වන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් වැඩි මිලට අලෙවි කරණු ලැබූ ව්‍යාපාරිකයින් සම්බන්ධ වැටලීම් 700 ක් පමණ සිදු කර තිබේ.

මෙම වැටලීම් ඉදිරියට ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර නීතියට පටහැනිව ක්‍රියා කරන පාර්ශව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ පනතට අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු 1977 යන කෙටි දුරකතන අංකයට හෝ අදාල ප්‍රදේශයේ පළාත් සහකාර අධක්ෂවරුන්ට ලබා දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කරයි ෴

***************************************

පාසලක ගුරුවරියක් පිරිමි ළමයෙකුට බරපතල ලිංගික ක්‍රියාකාරකම් කරලා

(21.05.2020 – webgossip.lk)

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්‍ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 (හෙට) දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ හිඟුරක්ගොඩ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයිද මෙම පිරිමි දරුවා මාතලේ ප‍්‍රදේශයට රැගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කලේය.

වින්දිත පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කලේය.

හිඟුරක්ගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඉන්දික, පො.සැ.(50467) ඩබ්ලිව්.ඩී. නන්දනසිරි යන මහත්වරුන් විසින් සැකකාර ගුරුවරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය ෴

***************************************

මුහුදු මහා විහාර භූමිය මිනුම්ගත කිරීම 27 වැනිදායින් පසු

(21.05.2020 – webgossip.lk)

අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා මහත්මිය පවසයි.

ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම 27 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු මෙම මැනුම් කටයුතු සිදුකෙරේ.

පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා භූමියේ මායිම් සම්බන්ධව මැනුම්පතිනිය සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ (20 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණි.

පුරාවිද්‍යා භූමියේ මායිම් සම්බන්ධ තොරතුරු රැසක් මෙහිදී ලබාගත් බවද මැනුම්පතිනිය කීවාය.

විහාර භූමියේ මායිම් සම්බන්ධව විහාරාධිපති හිමියන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පාර්ශ්ව කීපයක් සමග 27 වැනිදා සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

පොතුවිල් මුහුදු මහා විහාරයීය පුරා විද්‍යා භූමිය සහ වෙරළ කලාපය විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් අල්ලා ගෙන තිබිණි.

එම තත්ත්වය වළක්වාලීම සඳහා මුහුදු මහා විහාරයට ආරක්ෂාව ලබා දීමටත්, පුරාවිද්‍යා භූමිය මැනුම්ගත කර යළි ගැසට් කිරීමටත් රජය තීරණය කරන ලදී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *