පාස්කු දින ප්‍රහාරය ගැන සිදු කරන පරීක්ෂණ දුර්වල කරන්න උත්සහ කරනවා – කාදිනල් හිමි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු දින ප්‍රහාරය ගැන සිදු කරන පරීක්ෂණ දුර්වල කරන්න උත්සහ කරනවා – කාදිනල් හිමි (විඩියෝ)

• කිංග්ස්බරි ප්‍රහාරකයා ගැන හෙළි වූ රහස් (විඩියෝ)

• සෞඛ්‍ය අමාත්‍යවරිය කාදිනල් හිමි බැහැ දකියි

• නිශ්ශංක සේනාධිපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

• සිව් නිවුන් දරුවන් බිහි කළ මවගෙන් ආයාචනයක්

• හූල් ඉස්සරහට දාගෙන කරන්නේ විනාශයක්.. රටේ ප‍්‍රශ්නවලට මැ.කො.ස ප‍්‍රධාන වගඋත්තරකරුයි

• කොරෝනා මර්දනයට එරෙහි වූ ‘එන්.ජී.ඕ. වසංගතය’ – කීර්ති වර්ණකුලසූරිය

• ඇවිදීමේ ව්‍යායාමවල යළි නිරතවන විට මේ ගැනත් සිතන්න

+++++++++++++++++++++++++++++++++++

පාස්කු දින ප්‍රහාරය ගැන සිදු කරන පරීක්ෂණ දුර්වල කරන්න උත්සහ කරනවා – කාදිනල් හිමි

(23.05.2020 – 06:58 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

කිංග්ස්බරි ප්‍රහාරකයා ගැන හෙළි වූ රහස්

(22.05.2020 – 20:17 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ ප්‍රහාරයට පැමිණි බෝම්බකරු සතුව බැංකු ගිණුම් 32 ක් පැවැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (22) අනාවරණ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා අද (22) කොමිසම හමුවේ ප්‍රකාශ කළේ කිංග්ස්බරී ප්‍රහාරකයා සහරාන් හෂීම්ගේ රියදුරා ලෙස ද කටයුතු කර ඇති බවයි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ කිංග්ස්බරි හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අයිවන් ධම්මික තුඩුවවත්ත මහතා ඊයේ (21) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේ 2019 අප්‍රේල් 17 වැනිදා හෝටලයට පැමිණි අයෙකු “අබ්දුල්ලා අබ්දුල්ලා” නමින් අංක 819 දරන කාමරය වෙන් කරවා තමන් 20 වැනිදා එහි පැමිණෙන බව සඳහන් කර පිටව ගොස් ඇති බවයි.

ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද පෙරවරුවේ කැඳවා තිබුණේ කිංග්ස්බරි හෝටලයේ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතායි.

ඔහු ප්‍රථමයෙන් කොමිසමට පැවසුවේ හෝටලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ලෙස හඳුනාගත් බවයි.

ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ ඔහු රතු පැහැති මෝටර් රථයකින් හෝටලයට පැමිණ ඇති බව පැවසූ සාක්ෂිකරු ඊට අදාළ සීසීටීවී දර්ශන කොමිසමේ විනිසුරුවන් හමුවේ ප්‍රදර්ශනය කළේය.

එලෙස පැමිණෙන බෝම්බකරු හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් වෙත ගොස් එහි කෙළවරේම ඇති කවුන්ටරයෙන් තොරතුරු විමසන ආකාරයත් ඔහු එලෙස සිදුකරන්නේ සීසීටීවී කැමරාවලින් වසන් වීමේ අරමුණින් බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.

කොමිසම විමසුවේ ඔහු හෝටලයට පැමිණෙන විටත් ඔහු සතුව පුපුරණද්‍රව්‍ය පැවතියේද යන්නයි.

හෝටලයට පැමිණෙන විටත් පුපුරණද්‍රව්‍ය ඔහු සතුව පැවති බවත් බෝම්බකරු හෝටලයට ඇතුළුවන විට ශරීර පරීක්ෂාවක් හෝ ගමන්මළු පරීක්ෂාවක් සිදු නොකළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේය.

පසුව බෝම්බකරු හෝටලයේ අටවන මහලේ පිහිටි කාමරයකට ගොස් තිබුණු බවයි සාක්ෂිකරු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එදිනම රාත්‍රී 08:59 ට පමණ බෝම්බකරු හෝටලයෙන් පිටතට යන බවත් එහිදී ඔහු හෝටලයට රැගෙන ආ බෑගය වෙනුවට වෙනත් බෑගයක් පිටතට රැගෙන යන ආකාරය නිරීක්ෂණය කළ බවයි.

පසුව බෝම්බකරු ගාලුමුවදොර දෙසට ගොස් කුලී රථයක නැගී කොලොන්නාවේ සුපිරි වෙළෙඳසැළකට රාත්‍රී 09:25 ට පමණ ගොස් ඇති බවද යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේය.

එම වෙළෙඳසැළෙන් ආහාර සහ බීම වර්ගයක් මිලදී ගෙන ඔහු පදිංචිව සිටි කොළොන්නාව ජයන්ති මාවතේ කුලී නිවසට පාගමනින්ම ගොස් බිරිඳ සහ දරුවා හමුවී ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය.

බෝම්බකරු මීට පෙර ග්‍රෑන්ඩ්පාස්, පානදුර, මට්ටක්කුලිය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලද කුලී පදනම මත නිවෙස්වල රැඳී සිට ඇති බව අනාවරණ වී තිබේ.

පැය එක හමාරක පමණ කාලයක් සිය නිවසේ රැඳී සිටි බෝම්බකරු ත්‍රිරෝද රථයක නැගී නැවත කිංස්බරි හෝටලය වෙත පැමිණ ඇත්තේ කළු පැහැති අත්බෑගයක්ද සහිතව බවයි සාක්ෂිකරු පැවසුවේ.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ බෝම්බකරු කිංස්බරි හෝටලයට පළමු වරට පැමිණීමට පෙර පානදුර නගරයේ රැඳී සිට ඇති බවයි.

මෙම බෝම්බකරු පානදුරේ ප්‍රදේශයෙන් ආරක්ෂිත නිවසක් සහ වෑන් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබූ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

මෙවැනි දේ සඳහා බෝම්බකරුට මුදල් ලැබුණේ කෙසේදැයි කොමිසම ප්‍රශ්න කළේය.

මෙම බෝම්බකරුගේ නමට බැංකු ගිණුම් 32 ක් තිබී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳ මේ වනවිටත් විමර්ශන සිදුකර බවයි යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා පැවසුවේ .

එමෙන්ම මොහු වෘත්තියෙන් පාවහන් අලෙවිසැළක් පවත්වාගෙන ගිය බවත් ඉන් බොහෝ දෙනෙකුට ණය වී ඇති නිසා ඔහු 2018 වර්ෂයේ සිට සමාජයෙන් වසන් වී කල් ගත කර ඇති බව ද වාර්තා විනැයි සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

බෝම්බකරු සහරාන් සමඟ සම්බන්ධවූයේ කෙලෙසදැයි කොමිසම විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ බෝම්බකරු කලකට පෙර සහරාන්ගේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබුණු බවයි.

එමෙන්ම ඔහු 2010 වර්ෂයේ සිට දුරකථන අංක 14 ක් භාවිත කර ඇති බවටත් ඉන් සිම් කාඩ්පත් 11 ක්ම ඔහුගේ නමින් ලියාපදිංචි කර තිබුණු බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර කාත්තන්කුඩියේ සිදුකළ යතුරු පැදිය පුපුරුවාහැරීමේ පෙරහුරුවටද මෙම බෝම්බකරු සහභාගීවී තිබුණු බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් ස්වර්ණ කීර්තිසිංහ මහතා කොමිසමට ප්‍රකාශ කළේය.

***************************************

සෞඛ්‍ය අමාත්‍යවරිය කාදිනල් හිමි බැහැ දකියි

(23.05.2020 – 00:01 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු මැදුරේ දී පසුගිය දින බැහැ දකින ලදි.

පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ රට පියවරෙන් පියවර විවෘත කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය ගන්නා වූ ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත පියවර හා ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට හා ආගමික නායකයින්ගේ උපදෙස් හා අදහස් සහ ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් මෙම හමුව සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී COVID-19 වත්මන් තත්වය පිළිබදව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කරමින් කියා සිටියේ ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් රජයක් විදිහට කොරෝනා මර්දනයට ගත හැකි සියළු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.

ඉදිරියේ දී එම ක්‍රියාමාර්ග තවතවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, මීට අමතරව ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු රජය මගින් ජනතාවට ලබාදෙන සහන වැඩපිළිවෙල නිරතුරුව සිදුවන බවත් පැවැසීය.

රට පියවරෙන් පියවර විවෘත කිරීමේ දී අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කරන ලදි.

වත්මන් රජය විසින් COVID-19 පාලන හා මර්දන ක්‍රියාවලිය පැසසුමට ලක් කළ අගරදගුරුතුමන් COVID-19 මර්දන හා ප්‍රතිකාර සේවාවේ දී පෙරමුණ ගෙන කටයුතු කරන වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත්, රජයටත් විශේෂ ස්තූතිය පුද කරන ලදි.

එමෙන්ම රාජ්‍ය නායකයා ලෙස ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ඇතුලු රජය ලබාදෙන නායකත්වය පිළිබදව තමා සතුටට පත්වන බව ද පැවැසීය. මෙම වෛරසය වැළදීමෙන් සමාජයේ කොන්වීමක් සිදු නොවන බවත්, සාමාන්‍ය රෝගයක් වැළදුන විට දී කෙනෙක් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙන ලදි.

මේ අවස්ථාවේ දී ජනතාවට සංවේදීව හැසිරෙන ලෙසටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ද අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදි.

මෙම අවස්ථාවට අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ ෴

***************************************

නිශ්ශංක සේනාධිපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

(23.05.2020 – 07:25 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලබන 26 වනදා පෙරවරු 10:00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.

මීට අමතරව හිටපු අමාත්‍යාංශ ලේකම් වික්ටර් සමරවීර සහ ජාතික පොලිස් කොමිසමේ හිටපු වැඩබලන ලේකම් සමන් දිසානායක යන මහත්වරුන් සිදුකළ පැමිණිලි පිළිබඳ සාක්ෂි විමසීම ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි ෴

***************************************

සිව් නිවුන් දරුවන් බිහි කළ මවගෙන් ආයාචනයක්

(19.05.2020 – 08:45 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ මවක් කුලුදුල් දරු උපත ලෙස සිව් නිවුන් දරුවන් බිහි කර තිබේ.

දියණියන් දෙදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු ලෙස කොළඹ කාසල් කාන්තා රෝහලේ දී පසුගිය පෙබරවාරි මස 29 වන දින සිව් නිවුන් දරුවන් උපත ලබා ඇත.

නොමෙරු දරු උපතක් බැවින් මාස දෙකහමාරක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබිමෙන් පසුව ඊයේ (18) දින සිවු නිවුන් දරුවන් නිවසට රැගෙන යාමට හැකිවි තිබේ.

උපත් බර අඩු මෙම දරුවන් වෛද්‍ය උපදෙස් මත රැක බලා ගැනිමට දෙමව් පියන්ට සිදුව තිබේ.

මව වන ඒ. එරන්දි කුලසිරි මහත්මිය අම්බලන්ගොඩ ප්‍රාදේගීය ලෙකම් කාර්යලයේ සේවය කරන අතර පියා ඩී. සජිත් දේශර මහතා ගුරුවරයකු ලෙස සේවයකරනු ලබයි.

සජිත් දේශර මහතා කියා සිටියේ දරුවන් හතර දෙනා රැක ගැනිමට තමාට හා බිරිඳට සහන දායි නිවාඩු කාලයක් ලබා දෙන ලෙසටයි.

මාස දෙකහමාරක් රෝහල් ගතව සිටිම නිසා බිරිඳගේ ප්‍රසුත නිවාඩුවද අවසන් වන බැවින් ඉදිරියේ දී තමා අසීරුවට පත්වන බවත් දරුවන්හට වෛද්‍ය උපදෙස්මත කිරි පිටි ලබා දිමට සිදු විම නිසා ඒ සඳහා මුදල් වැය කිරිමටද සිදුව ඇති බවයි ෴

***************************************

හූල් ඉස්සරහට දාගෙන කරන්නේ විනාශයක්.. රටේ ප‍්‍රශ්නවලට මැ.කො.ස ප‍්‍රධාන වගඋත්තරකරුයි

(23.05.2020 – divaina.com)

තමන්ට පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවන් අනුව ක‍්‍රියාත්මක කරන්නේ නම් අද රටේ පවතින ප‍්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප‍්‍රධාන වගඋත්තරකරු විදිහට පත්වන්න ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (22 වැනිදා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය :

“කොවිඩ්-19 ආසාදිතයන් කිසිවකුත් දවස් 22 ක් යනතුරුත් බාහිර සමාජයෙන් තහවුරු වෙලා නැහැ. කරන ලද පීසීආර් පරීක්‍ෂණවලින් පැහැදිලිව මේ පිළිබඳව අනාවරණය වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ඒ වෙනුවෙන් කටයුතු කරන ආයතන සියල්ලක්ම පාහේ වර්තමානයේ ආසාදිතයන් හඳුනාගත් ආකාරය පිළිබඳව අනාවරණය කර තිබෙනවා. දවස් 22 කින් ‘කොවිඩ් ආසාදිතයන්’ සොයා ගෙන නැත්නම්, මැතිවරණ කොමිසම තවත් මාස තුනකට (3) ආසන්න කාලයක් මැතිවරණය පවත්වන්නේ නැත්නම්, එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්‍ෂය මැතිවරන එපා කියලා දිගින් දිගටම මත ප‍්‍රකාශ කරනවා නම්, ඒ වෙනුවෙන් ඔවුන් අධිකරණය වෙත යොමු වෙලා තිබෙනවා නම්, මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම අදහස් ප‍්‍රකාශ කරන්නේ විපක්‍ෂයේ මතය කියන කාරණාව කියලා පැහැදිලිව පේන්න තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එතුමාගේ යුතුකම ඉටු කරලා තිබෙනවා. දැන් මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ යුතුකම ඉටු කරන්න කාලය එළැඹ තිබෙනවා. දැන් ඔවුන්ට ඕනෑවටත් වඩා කාලය තිබුණා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ කටයුතු කරන්න. ඒ නිසා මැතිවරණ කොමිසමෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවන් මත ක‍්‍රියාත්මක කරන්න හදන්න එපා කියලා. ඒ වගේම ඒ බලවේගවලට යටත් වෙන්න සූදානම් වෙන්නත් එපා කියලා. මොකද, අද රටේ පවතින ප‍්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප‍්‍රධාන වගඋත්තරකරුවන් විදිහට පත්වෙන්න ඉඩ තිබෙනවා. මැතිවරණ කොමිසම මෙවැනි දරදඬු හිතුවක්කාර ආකාරයට කටයුතු කරනවා නම් මේ රටේ නිර්මාණය වන සෑම ප‍්‍රශ්නයකට විසඳුම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටිය යුතුයි.

මැතිවරණයක් පැවැත්වීමට තිබෙන නොහැකියාව නෙමෙයි මැතිවරණ කොමිසමට දැන් තිබෙන්නේ. ‘මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ’ කියලා මැතිවරණ කොමිසම විශ්වාස කරනවා. මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත් ‘මැතිවරණ කොමිසම රට වෙනුවෙන් තම වගකීම ඉටු කළේ නැහැ’ කියන විශ්වාසය රටේ සෑම දෙනාටම ඇතිවෙයි. මහින්ද දේශප‍්‍රිය, මහාචාර්ය හූල්ව ඉදිරියට දාලා කරන්නේ රටට විනාශයක්. මහාචාර්ය හූල්ව මෙහෙයවන සුමන්තිරන්ලාගේ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජනයක් වෙන්න එපා කියලා මහින්ද දේශප‍්‍රිය ඇතුළු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. එහෙම කළොත් ‘මැතිවරණ කොමිසම කරන්නේ රටට බරපතළ හානියක්’ කියලා කනගාටුවෙන් හෝ මතක් කරන්න සිදුවෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට එරෙහි වූ ‘එන්.ජී.ඕ. වසංගතය’ – කීර්ති වර්ණකුලසූරිය

(23.05.2020 – divaina.com)

මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදේශගත ප‍්‍රජාවට පෙත්සම් යවා ඇත. මෙම සතියේදී විදේශ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත පෙත්සම් යවමින් රජය සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගන්නා බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ආධාර දීමට පෙර සිවිල් සංවිධාන මර්දන වැඩපිළිවෙළ ගැන නිරීක්‍ෂණය කරන ලෙසත් එකී විදේශ සංවිධාන ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ සැම්බියාව, අපි‍්‍රකාව, තායිවානය ඇතුළු රටවල සංවිධාන විසිනි. මෙකී සංවිධානවලට ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට සම්බන්ධවීමට හිමිකමක් නැත. මෙහිදී තහවුරු වන්නේ එම විදේශ සංවිධානවල නම් භාවිත කරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලට පෙත්සම් යවා ඇත්තේ කොළඹ ස්ථාපිත එන්. ජී. ඕ. ජාලය බවයි.

කොරෝනා වසංගතය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඉතා ලාබදායක ව්‍යාපාරයක් බවට පත් වී ඇත. රජය කොරෝනා මර්දනයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කාර්ය සාධක බළකායක් පත්කිරීමත් සමගම මේ රාජ්‍ය නොවන සංවිධාන කලබලයට පත්විය. එවන් සංවිධාන කි‍්‍රයාකාරීන් 164 ක් සහ සංවිධාන 17 ක් මගින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාට පෙත්සම් යවනු ලැබීය. මේ පෙත්සම් ගැන කි‍්‍රයාත්මක වූ සුකා වහාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය කරුණු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළාය.

ජනතාවගේ දැඩි අවධානය උදෙසා එම වාර්තාවේ ඇති කරුණු අපි හෙළිකරන්නෙමු. “හමුදාපතිගේ මෙහෙයවීමෙන් යුත් මේ කාර්ය සාධක බළකායට යුද අපරාධකරුවන් සම්බන්ධයි. මේ කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ මුස්ලිම් ජනතාව මර්දනය කිරීමටයි” යනුවෙන් ඇය කියා සිටියාය.

ඊට සමගාමීව ඇතැම් මුස්ලිම් සංවිධාන ද සුකාගේ අදහස අනුමත කරනු ලැබීය. මේ වාර්තාවට අදාළව අමුද්‍රව්‍ය සපයනු ලැබුවේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් විසිනි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු විදේශගත කිරීමේ ව්‍යාපාරය මාර්තු 17 සිට දිගටම කි‍්‍රයාත්මක විය. කොටින්ට එරෙහි යුද්ධය නතර කිරීමට පෙත්සම් ගැසූ පාර්ශ්ව සහ ශී‍්‍ර ලංකාව තුළ ‘අයිසිස්’ අන්තවාදීන් නැති බවට පැවසූ ඉස්ලාම් සංවිධාන මෙහෙයවන නරුමයන් ද ඊට සම්බන්ධ වූහ.

ශී‍්‍ර ලංකාව මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට විදේශ රටවලට පෙත්සම් යැවූවන්ගේ නාමලේඛණය විමර්ශනය කළ විට ඇතැම් පිරිස් ගැන මෙයට පෙර අසන්නට ලැබූවන් නොවේ.

මේ පසුබිම මැද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනුණි. මෙම අත්අඩංගුවට ගැනීම විදේශගත කරනු ලැබුවේ කොරෝනාවට මුවාවී මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගන්නා බවයි.

එහෙත් පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් නොවේද? මෛති‍්‍රපාල සිරිසේන පාලන සමයේ මෙරට මුස්ලිම් දේශපාලකයන් බලවත් විය. රහස් පොලිසියද නිහඬ විය. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම තත්ත්වය වෙනස් විය. ඒ මුස්ලිම් දේශපාලකයන්ට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ඍජුව අමතා සැකකරුවන් බේරා ගැනීමට නොහැකි වීමයි.

ඊට හොඳම නිදසුන පාස්කු ප‍්‍රහාරය ගැන අලුතින් කළ පරීක්‍ෂණවලදී බදුර්දීන්ගේ සොහොයුරා අල්ලා ගැනීමට හැකි වීමය.

එහෙත් මෛති‍්‍රපාල සිරිසේන සමයේ අසාද් සාලි වැන්නවුන්ට පොලිසිය අමතා සැකකරුවන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට ද බදුර්දීන්ට හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඇමතීමට ද හැකි විය.

එදා මුස්ලිම් දේශපාලනඥයන් සතුව තිබූ මේ අසීමිත බලය ජනපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්වීමත් සමගම අහෝසි වී ඇත.

මේ පසුබිම මැද මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදේශගත ප‍්‍රජාවට පෙත්සම් යවා ඇත. මෙම සතියේදී විදේශ රාජ්‍ය නොවන සංවිධාන 22 ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත පෙත්සම් යවමින් රජය සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගන්නා බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරටට ආධාර දීමට පෙර ‘සිවිල් සංවිධාන මර්දන වැඩපිළිවෙළ’ ගැන නිරීක්‍ෂණය කරන ලෙසත් එකී විදේශ සංවිධාන ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේ සැම්බියාව, අපි‍්‍රකාව, තායිවානය ඇතුළු රටවල සංවිධාන විසිනි. මෙකී සංවිධානවලට ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට සම්බන්ධවීමට හිමිකමක් නැත. මෙහිදී තහවුරු වන්නේ එම විදේශ සංවිධානවල නම් භාවිත කරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලට පෙත්සම් යවා ඇත්තේ කොළඹ ස්ථාපිත එන්.ජී.ඕ. ජාලය බවයි.

මෙවන් තත්ත්වයක් මැද රජය විමර්ශනයට ලක් කළ යුත්තේ කොරෝනා වසංගතයට මුවාවී කොළඹ හා උතුරේ රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ රටවලින් කොපමණ මුදලක් ලැබී තිබේද සහ එම මුදල් වැය කරන්නේ රාජ්‍ය විරෝධී කි‍්‍රයාවලට ද යන්නයි.

මෙම පෙත්සම්කරුවන් පිළිබඳව විමර්ශනයට ලක් කළ හොත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, ඉම්ෆෝම් වැනි කුප‍්‍රකට සංවිධාන ද වේ. මේ අතර කොරෝනා වසංගතයට මුවාවී ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් කැනඩා සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාවෙන් අරමුදල් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. ඔහු වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අමතමින් හිටපු ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රීවරුන් වෙත ඍජුව අරමුදල් එවන ලෙස ඩයස්පෝරාවට දන්වා තිබේ.

මේ අරමුදල් ඉල්ලන්නේ කොරෝනා මර්දනයට නොව මැතිවරණ කටයුතු සඳහා බව තහවුරුවේ. මෙලෙස විදේශ අරමුදල් මත උතුරේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට ද්‍රවිඩ සංවිධානයට නීතිමය හිමිකමක් නැත.

සම්බන්ධන් ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් මුදල් ඉල්ලා ඇතත් ඔහුට මුදල් සපයන්නේ කොටි ඩයස්පෝරාවයි. මේ අතර කොරෝනා වසංගතයෙන් මියයන අයවළුන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය ප‍්‍රකාශයට පත් කළ න්‍යාය පත‍්‍රය අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජිත අහමද් ෂහිද් ද රජයෙන් ඉල්ලා ඇත.

ෂහිද්ගේ ඉල්ලීම පසුබිමේ සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් බව සනාථවේ.

මේ අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මුතුර් සහ පුත්තලමේ මුස්ලිම් අන්තවාදීන්ගේ කාර්යාල පරීක්‍ෂාවට ලක්කිරීම ද සිවිල් කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීමක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වා ඇත. එහෙත් එල්ලවී ඇති සාවද්‍ය චෝදනාවලට රජයේ බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත. කොරෝනා මර්දනය සිවිල් කි‍්‍රයාකාරීන්ට පමණක් ලබාදිය යුතු බව හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කර ඇති ප‍්‍රකාශය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි.

මෙවන් උපදෙස් ඇය වෙනත් රටවලට නිර්දේශ කර නැත. ඉතාලිය, ප‍්‍රංශය සහ ස්විස්ටර්ලන්තය යන රටවල කොරෝනා මර්දනයට එම රටවල්වල හමුදාව සම්බන්ධ කර තිබේ. මේ හැර රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද හිමිකමක් නැත.

මෙම පසුබිම මැද කොරෝනා වසංගතයට වඩා රාජ්‍ය නොවන සංවිධාන ද වසංගතයක් බවට පත් වී තිබේ. එය සනාථ වන්නේ මේ ‘රාජ්‍ය නොවන සංවිධාන වසංගතයේ’ ඉලක්කය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, හමුදාපති ඇතුළු කාර්ය සාධක බළකායේ නිලධාරීන්ය.

පසුගිය වසරවල මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී ඇති අරමුදල් රුපියල් බිලියන පහකට අධිකය. එසේම කොරෝනාවලට මුවාවී එන්.ජී.ඕ. සංවිධානවලට ලැබුණු විදේශ අරමුදල් කොතෙක් දැයි හෙලිවී නැත. මේ කිසිදු සංවිධානයක් කොරෝනා මර්දනයට සහය වී නැත. ඒ වෙනුවට විදේශ ප‍්‍රජාව වෙත පෙත්සම් තොග පිටින් යැවීමට මේ එන්.ජී.ඕ. කි‍්‍රයාකාරීහු පියවර ගෙන ඇත්තේ රජය කොරෝනා වසංගතය ද හමුදාකරණයට ලක්කර ඇති බව දක්වමිනි.

එයි යටි අරමුණ විදේශාධාර නතර කිරීම සහ ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණ දියත් කිරීමයි. යස්මින් සුකා තවදුරටත් පැවසුවේ කොරෝනා මර්දනයට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, සිවිල් ආරක්‍ෂක ප‍්‍රධානි ආනන්ද පීරිස්, මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය, මේජර් ජනරාල් ශාන්ත දිසානායක, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, මේජර් ජනරාල් සුමේධ පෙරේරා, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සහ ජනපති නියෝජිත බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු යොදවා ඇති බවයි.

එසේම කොරෝනා මර්දන විශේෂ කාර්ය සාධක බළකායේ ප‍්‍රධානි ලෙස යුද අපරාධකරුවකු පත්කර ඇති බවට ද ඇය වැඩිදුරටත් පවසා ඇත.

යස්මින් සුකා ඉන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඍජු චෝදනා නගා තිබේ.

සුකා විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ කොරෝනා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම තුළින් මුස්ලිම් ජනතාවට එරෙහිව බලය අයුතු ලෙස කි‍්‍රයාත්මක වීමට ඉඩ ඇති බවයි.

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි සුකාගේ වාර්තාවට තොරතුරු සැපයූ ‘රාජ්‍ය නොවන සංවිධාන වසංගතයේ’ ප‍්‍රධාන සංවිධානයක් වූ ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ ගැන ද හෙලිවී ඇත.

බොදුබලසේනා සංවිධානය කොරෝනා මර්දනයට සම්බන්ධ වී නැති අතර සුකා පවසා ඇත්තේ ජනපතිට සම්බන්ධ එම බොදුබලසේනා සංවිධානය මුස්ලිම් විරෝධී බවය.

කොරෝනා මර්දනය කිරීම සඳහා සහය දෙන බවට කිසිදු සඳහනක් කර නැති සුකා තම වාර්තාවේ දක්වා ඇත්තේ කොරෝනා මර්දනය සිවිල් නිලධාරීන්ට පැවරිය යුතු බවයි.

එසේම කොරෝනා මර්දනය කිරීම ආපදා කළමනාකරන ආයතනට පවරන ලෙස මාර්තු 18 දා වෘත්තීය සමිති 20 ක් රජයෙන් ඉල්ලා සිටින බවද සුකා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

මේ පසුබිම මැද සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් 164 ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 17 ක් කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය අය පිළිබඳව කටයුතු කිරීමේදී ජගත් සෞඛ්‍ය සංවිධාන නීති රීති පිලිපදින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන සිය ලිපියෙන් කොරෝනා රෝගයෙන් මියගිය බෞද්ධයන් හෝ කතෝලිකයන් ගැන නොව මුස්ලිම් අය ගැන පමණක් සඳහන් කර තිබේ.

කොරෝනා රෝගයෙන් නොව ස්වභාවික හේතුන් මත මියගිය අයවළුන්ට පවා පාංශුකූලය දීමකින් හෝ දේව මෙහෙයකින් තොරව ආදාහනය කිරීම සිදුවිය. එසේ නම් කොරෝනාවලට ගොදුරු වූ මුස්ලිම් අය වෙනුවෙන් වෙනම නීතියක් කි‍්‍රයාත්මක කළ යුතුද?

කොරෝනා වසංගතයට ගොදුරු වූවන් පිළිබඳව කි‍්‍රයාකළ යුතු ආකාරය දැක්වෙන රජයේ ගැසට් පත‍්‍රය වෙනස් කිරීමට උත්සාහ කරන මෙම රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගෙන් වැඩි දෙනා පසුගිය කාලයේ හමුදාවට එරෙහිව ජිනීවා නුවරට පෙත්සම් යැවූවන් වේ.

එසේම අලුත් නම් රැසක් ද ජනපති වෙත යවා ඇති ලිපියේ දැක්වේ. එවන් පාර්ශ්ව ගැන අසන්නට ලැබුණේ මුල් වරටය.

මේ පසුබිම මැද උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා උතුරු නැගෙනහිර රහසිගත නිරෝධායන කඳවුරු ස්ථාපිත කර ඇති බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සම් යවා ඇත. කොටි ඩයස්පෝරාව ද මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති පෙත්සමේ උතුරේ සිවිල් වැසියන් 11 කට එක සෙබලකු බැගින් ද, මුලතිව් සිවිල් වැසියන් සිව් (4) දෙනකුට එක සෙබලකු බැගින් සිටින බවට පැමිණිලි කර තිබේ.

මේ තත්ත්වය මැද ජනතාව කොරෝනා වසංගතයට මුහුණපා සිටියදී කොරෝනාවලින් ඩොලර් අරමුදල් ලබා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකරන බව තහවුරු වී ඇත.

මේ අතර පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු අමාත්‍ය බදුර්දීන් නමැත්තාගේ සොහොයුරු හිජාස් හිස්බුල්ලා රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීම ද සිදුවූයේ කොරෝනා වසංගතයට මුවාවී බවට රාජ්‍ය නොවන සංවිධාන ද ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත දැනුම් දී ඇත.

යහපාලන සමයේ රහස් පොලිසිය වන්නි මෙහෙයුමට දායක වූ හමුදා ප‍්‍රධානීන් අත්අඩංගුවට ගනිද්දී මේ රාජ්‍ය නොවන සංවිධාන ඊට ප‍්‍රසාදය පළ කරනු ලැබීය. එවන් පසුබිමක් මැද කොරෝනා, රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ගලා ඒමේ ඉල්ලමක් වී තිබේද?

– කීර්ති වර්ණකුලසූරිය

***************************************

ඇවිදීමේ ව්‍යායාමවල යළි නිරතවන විට මේ ගැනත් සිතන්න

(23.05.2020 – divaina.com)

කොරෝනා වෛරස රෝගය පැතිරීම වළක්වාලීම සඳහා රට පුරා ක‍්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරිනීතිය නිසා අපගේ සාමාන්‍ය ජීවන රටාව සම්පූර්ණයෙන්ම වාගේ නතරවිය. නිවස තුළටම වී දවස ගතකරන්නට සිදුවීම නිසා කායික මෙන්ම මානසික පීඩාවනටද බොහෝ දෙනා මුහුණ දුන්හ. දැන් නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් පෙර පැවති සාමාන්‍ය ජීවන රටාවට හුරුවීමට අවස්ථාව උදාවෙමින් පවතී. එසේ හුරුවීමේදී දිනපතා ව්‍යායාමයක් ලෙස ඇවිදින මංතීරුවල ඇවිදීමට පුරුදුව සිටි අයට යළි එම කටයුතුවලට යොමුවීමට අවසරය ලැබී ඇත. නමුත් එකදිගට දින 60 කට අධික කාලයක් හෙවත් මාස දෙකක් පමණ ව්‍යායාම කටයුතුවල නිරතනොවී සිට යළි එහි නිරතවීමේදී සුපුරුදු රිද්මයට අනුව ව්‍යායාමවල යෙදීමට එකවර නොහැකිය. ඒ සඳහා යළි සිරුර හැඩගස්වාගතයුතුය. එසේ පෙර පැවති තත්ත්වයට සිරුර සකසා ගැනීමට සහ කොරෝනා රෝගය වැළඳීමේ අවදානමෙන් මිදීම සඳහා අනුගමනය කළයුතු සෞඛ්‍ය උපදෙස් කිහිපයක් පිළිඹඳව දැනුවත් බවක් ලබාගනිමු.

ව්‍යායාම ආරම්භකිරීමට පෙර

මාස දෙකක් පමණ කොරොනා වෛරස ආසාදනය නිසා නිවසටමවී කල්ගතකළ නිසා ඇතැම්දෙනාතුළ කිසියම් මානසික පීඩනයකුත් පැවතිය හැකිය. දැන් යළි තමාට සුපුරුදු ව්‍යායාමවල යෙදීමේ හැකියාව තිබේදැයි කියා යම් සැකයකුත් මතුවිය හැකිය. එම සැකය නිසා මනසෙහි හටගන්නා බිය තුළින් වෙනදා තමා ව්‍යායාම කිරීමට පෙර අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු එකවර සිහියට නොනැගෙන්නටද පිළිවන. එනිසා පළමුව ඔබගේ මනස සන්සුන් කරගන්න. ව්‍යායාම ආරම්භකිරීමට පෙර ගැඹුරින් හුස්ම ගැනීම විනාඩියක් පමණ සිදුකරන්න. ඉන්පසු පිරිසිදු ජලය මිලි ලීටර් 150 ක් පමණ පානය කරන්න.

සුපුරුදු රිද්මයට අනුව යළි ව්‍යායාමවල යෙදීම

නිරෝධායන ඇඳිරිනීතියට ලක්ව ඇතැම්දෙනා මාස දෙකක් හෙවත් දින 60 ක් පමණ නිවසටමවී කාලය ගතකළහ. වෙනදා මෙන් ආහාර පාලනයක් සිදුනොවන්නටද ඇත. එනිසා දැන් බොහෝ දෙනාගේ සිරුරේ බරද වෙනදාට වඩා කිලෝ ග‍්‍රෑම් දෙකතුනක් වැඩිවී තිබිය හැකිය. උදරයද මදක් ඉදිරියට නෙරා ඇවිත් තිබිය හැකිය. ව්‍යායාම නොකර කාලය ගතකළ නිසා මාංශපේශී වල නම්‍යශීලී බවද අඩුවී ඇත.

එබැවින් දැන් යළිත් ඇවිදීම ආරම්භ කරනවිට පළමුව සිරුර උණුසුම් කරන ව්‍යායාමවල විනාඩි පහලොවක් පමණ නිරතවන්න. එහිදී දෑත් එසවීම, දණහිස නැවීම දිගහැරීම, එකතැන විනාඩි කිහිපයක් දිවීම ආදී ව්‍යායාම වල නිරත විය හැකිය.

ඇවිදීම ආරම්භ කරන විට වෙනදා ගමන්කළ දුර ප‍්‍රමාණය ඇවිදීමට උත්සාහා නොකළ යුතුය. පළමු දින කිහිපයේ වෙනදා ඇවිදිනු ලැබූ දුර ප‍්‍රමාණයෙන් අඩක් පමණ ගමන් කරන්න. ඉන්පසු තමා වෙනදා ගමන්කළ දුර ප‍්‍රමාණය ගමන් කළ හැකිය.

ව්‍යායාමවල නිරතවන අතර කෙරෝනා ගැනත් සිතන්න

ඇවිදීමේ ව්‍යායාමවල නිරතවනවිට වෙනදා සිදුනොකළ පිලිවෙත් කිහිපයක් අනුගමනය කළ යුතුය. පළමු පිලිවෙත වන්නේ මුව ආවරණක් පැළඳීමය. එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයකි. දෙවනුව ඇවිදින විට අන් අය සමග පවත්වාගතයුතු මීටරයක පමණ දුරස්ථභාවයද තබාගන්න. වෙනදා මෙන් මිතුරන් සමග රැස්ව වැඩිකාලයක් ගතකිරීම නොකළ යුතුය. ඇවිදින මංතීරුවල කෙළ ගැසීමෙන් වලකින්න. ජලය පානය කිරීමේදී වෙනදාමෙන් අන් අය සමග වතුර බෝතල් හුවමාරු කරගැනීම නොකළ යුතුය. පොදු ජලකරාම වලින් ජලය පානය වෙනුවට තම නිවසින් ජලය පිරවූ බෝතලයක් රැගෙන යන්න.

ව්‍යායාම කිරීම සඳහා ඇඳගෙනගිය ඇඳුම් ව්‍යායාම කටයුතු අවසන්වූ වහාම හොඳින් සබන්ගා සෝදා පිරිසිදු කරගන්න. රන් ආබරණ හෝ විසිතුරු පළඳනා වලින් සැරසී නොයන්න.

ව්‍යායාමකිරීම සඳහා කාලය වෙන්කරගැනීම

ව්‍යායාම කිරීම සඳහා සුදුසුම කාලය වන්නේ උදෑසන 06:00 ත් 07:00 ත් අතරකාලය සහ සවස 05:00 ත් 06:00 ත් අතර කාලයයි. නමුත් පවතින කොරෝනා වෛරස රෝග තත්ත්වය නිසා සියලුදෙනා එකම මොහොතක ව්‍යයාම සඳහා නොපැමිණ විනාඩි දහයක පමණ කාලපරතරයක් කණ්ඩායම් අතර පවත්වාගැනීමට අවධානය යොමුකළ යුතුය. එවිට වැඩිපිරිසක් එකවර පැමිණීම වලක්වාගතහැකිය.

ව්‍යායාම කිරීමෙන් පසු

මාස දෙකකට පමණ පසු යළි ව්‍යායාමවල නිරතවීම නිසා පසුගිය සති කිහිපයේ නිවසේ විවේකීව සිටියාට වඩා කුසගින්නක් ඇතිවිය හැකිය.එනිසා එය පාලනය කරගැනීමට ව්‍යායාමවලින් පසු පිරිසිදු ජලය මිලි ලීටර් 200 ක් පමණ පානය කරන්න. ව්‍යායාම කර පැමිණි විගස ඇල් ජලයෙන් ඇඟපත සේදීම නොකළ යුතුය. විනාඩි දහයක් පමණ යනතුරු විවේකීව සිටිය යුතුය. මන්දයත් ව්‍යායාම කිරීම නිසා ඇඟ උණුසුම්ව පැවතීම නිසා රුධිරනාළ හොදින් විවෘතව පවතී. එනිසා රුධිර ගමනා ගමනයද වේගවත්ය. එකවර සිරුර සිසිල් වීමෙන් රුධිරනාළ හැකිලී එම නාළ පුපුරා යාම සිදුවිය හැකිය.

– එංගලන්තයේ රාජකීය ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *