අඟහරුවාදා (26) සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අඟහරුවාදා (26) සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1089 ක් දක්වා ඉහළට

• අද (23) හඳුනා ගත් ආසාදිතයි‍න්ගෙන් 15 ක් නාවිකයින් – දෙදෙනෙක් (02) ඩුබායි සිට පැමිණි පුද්ගලයින් (විඩියෝ)

• මැතිවරණය ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ : නැගෙනහිර පුරාවස්තු ආරක්ෂාවට ජනපති කාර්ය සාධක බලකායක් පත් කිරීම ගැන මහා සංඝරත්නයේ ප්‍රසාදය (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර සහරාන් ආ ගිය තැන් හෙළිවෙයි (විඩියෝ)

• සහරාන් මද්‍රසා පාසලේදී ළමයින් ‘බෝම්බ’ කළ හැටි

• සහල් සොයා පාරිභෝගික අධිකාරිය පොලොන්නරුවට (විඩියෝ)

• සාධාරණයක් ඉටු කරන්නැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් යළිත් ඉල්ලයි (විඩියෝ)

• ‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

+++++++++++++++++++++++++++++++++++

අඟහරුවාදා (26) සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

(23.05.2020 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ලබන අඟහරුවාදා (26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට පසුදා අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මැයි 26 වනදා අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවනවා.

හෙට (24) ඉරිදා සහ 25 වනදා සඳුදා යන දින දෙක තුල දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක හෙට (24) සහ අනිද්දා (25) දිනවල සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1089 ක් දක්වා ඉහළට

(23.05.2020 – 23:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (23) තවත් ආසාදිතයන් 04 දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (23) දිනයේ මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 21 ක්.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවත් 660 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර කොරෝනා වෛරසය ආසාදනයෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 09 ක් ෴

+++++++++++++++++++++

අද (23) හඳුනා ගත් ආසාදිතයි‍න්ගෙන් 15 ක් නාවිකයින් – දෙදෙනෙක් (02) ඩුබායි සිට පැමිණි පුද්ගලයින්

(23.05.2020 – 19:55 +0530 – sinhala.adaderana.lk)

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 17 දෙනකු අද (23) හඳුනාගැනිමත් සමඟ මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගි‍යේය.

අද (23) හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් 17 දෙනා අතරින් 15 දෙනකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් 10 දෙනකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයින් පස්දෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පිරිසක්.

අද (23) හඳුනාගත් අනෙක් ආසාධිතයන් දෙදෙනා (02) ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පුද්ගලයින් වෙයි.

ඊයේ (22) දිනය තුළ ආසාදිතයන් 13 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.

ඉතිරි දෙදෙනා (02) කුවේට් සහ මලයාසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයින්.

අද (23) තවත් වෛරසය ආසාදිත පුද්ගලයන් හතලිස් දෙනෙක් (40) සුවය ලැබිමත් සමඟ මෙවන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 660 ක්.

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් සියයට 61.23 ක ප්‍රතිශතයක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 416 ක් බවයි.

ඒ අනුව සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 37.94 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් සියයට 0.83 ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්.

මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදා නියැදියෙන්.

ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භට පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට දින 31 ක කාලය තුළ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 622 ක්.

ඒ අතරින් මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (23) තවත් නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

වැලිසර නාවික හමුදා කඳවුර තුළ තවදුරටත් වෛරසය ව්‍යාප්තවිම වැලක්විමේ අරමුණින් එහි නාවික භට පිරිසක් ඊයේ (22) වවුනියාව පෙරියකාඩු හා පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබීය.

මේ අතර අනුරාධපුරය නවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායට ලක්කර සිටි අවසන් නාවික හමුදා පවුල්වල සාමාජිකයින් අද (23) සර්ථකව නිරෝධායන කාලය අවසන්කර ඉන් පිටව ගියේය.

ඒ අනුව පසුගිය දින 23 ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණුවිට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු නොවීම විශේෂත්වයක්.

+++++++++++++++++++++

(23.05.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala) :

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාස දෙකක් තිස්සේ කුවේට් තානාපති කාර්යාලයේ රැඳී සිටින එරට ගෘහසේවය සඳහා ගොස් සිටින කාන්තාවන් පිරිසක් තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුවේට් තානාපති කාර්යාලයේ සිටින තම කණ්ඩායම විවිධ අපහසුතාවයන්ට මුහුණදෙන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද ඩකා නුවර බලා පිටත්ව ගියා.

එසේම, අද පස්වරුවේ සීෂෙල්ස් ජාතිකයින් 35 දෙනෙකු දිවයිනට පැමිණි අතර, ඔවුන් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණය ගැන අදත් විවිධ අදහස්

(23.05.2020 – 21:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් හා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : නැගෙනහිර පුරාවස්තු ආරක්ෂාවට ජනපති කාර්ය සාධක බලකායක් පත් කිරීම ගැන මහා සංඝරත්නයේ ප්‍රසාදය

(23.05.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ලක්වාසී සමස්ත බෞද්ධයන්ගේ ගෞරවය හිමිවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ බෞද්ධ උපදේශන සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අදහස් පළකරමින්.

පසුගිය දිනවල පොතුවිල් මුහුදු මහා විහාරය සතු ඉඩම්, ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම ‘හිරු සී.අයි.ඒ.’ හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග ඒ පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වහා පියවර ගෙන තිබුණා.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාර පුද බිමේ ඉඩම් ආක්‍රමණය සිදුවුයේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ද නොමද සහයෝගය මතයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද ‘හිරු සී.අයි.ඒ.’ අවස්ථා ගණනාවකදී මේ ඉඩම් ආක්‍රමණ සිදුවන අවස්ථාවේම පෙන්වා දුන්න ද එකල රජයේ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ක්‍රමිකව නිහඩ වු ඉඩම් ආක්‍රමණිකයින් යළි කරලියට පැමිනෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මකවීමත් සමගයි.

ඉඩම් ආක්‍රමණිකයන් කොතරම් බලපෑම් එල්ල කළ ද බාධාකිරීම් මධ්‍යයේ ‘හිරු සී.අයි.ඒ.’ මෙම අනවසර ඉඩම් කොල්ලය රටට හෙළි කළා.

අපගේ එම අනාවරණයත් සමග රට පුරා මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය පිළිබද විශාල කතාබහක් මතුවූ අතර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා යුද හමුදාපති, නාවික හමුදාපති, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිස් සමග වහා නැගෙනහිර පළාතේ සංචාරයකද නිරත වුණා.

ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයෙන් අනතුරුව මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සදහා නාවික හමුදා උප අනුකණ්ඩයක් ද පිහිටුවීමට පියවර ගැනුනා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ පුරා වස්තු ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බව ඊයේ (22) රැස් වු බෞද්ධ උපදේශක සභාවේදී ප්‍රකාශ කළා.

නැගෙනහිර පළාතේ පුරා වස්තු ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අදහස් පළකළා.

***************************************

පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර සහරාන් ආ ගිය තැන් හෙළිවෙයි

(23.05.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින (2019 අප්‍රේල් 21) ප්‍රහාරය එල්ල කිරිමට දින දෙකකට (02) පෙර සහරාන් හෂිම් සහ තවත් බෝම්බකරුවෙක් කොළඹ, ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.

එම හෝටලයේ පිපිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ඊයේ (22) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ පිළිබදව සඳහන් කළේය.

2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඔහු ප්‍රථමයෙන්ම කොමිසමට සදහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 17 වැනිදා ෂැංග්‍රිලා හෝටලයට පැමිණි මොහොමඩ් හම්ෂාඩ් නම් පුද්ගලයෙක් එම හෝටලයේ 06 වන මහලේ 616 කාමරය වෙන්කර ගෙන ඇති බවයි.

එම වෙන්කරවා ගැනිම සඳහා යොදාගෙන ඇති මොහොමඩ් හම්ෂාඩ් නම ව්‍යාජ නමක් වන බවත් සැබැවින්ම එලෙස කාමරය වෙන්කර ගැනිම සඳහා පැමිණ ඇත්තේ සින්මන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නම් බෝම්බකරු බවත් සාක්ෂිකරු පැවසුවේය.

එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහීම් ඉල්හාම් යන අය පාස්කු ඉරුදිනට දින දෙකකට (02) පෙර එනම් අප්‍රේල් 19 වැනිදා උදෑසන 07:30 ට පමණ එම හෝටලයට පැමිණ ඇති බවද මහින්ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එලෙස පැමිණි බෝම්බකරුවන් දෙදෙනා ෂැංග්‍රිලා හෝටලයේ ‘ටේබල් වන්’ අවන්හල වෙත ගොස් උදෑසන ආහාරය ලබාගෙන ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සූදානමක් සඳහා විය හැකි බවයි.

පසුව ඔවුන් දෙදෙනා හෝටලයේ ලොබිය වෙත පැමිණ එහි මිනිත්තු කිහිපයක් ගතකොට පසුව කුලි රථයකින් කොල්ලුපිටියේ පිහිටි ‘ලකී ප්ලාසා’ නම් ගොඩනැඟිල්ලකට ඇතුල් වී ඇති බව CCTV දර්ශන මගින් අනාවරණය කරගත් බවයි සාක්ෂිකරු පැවසුවේය.

එම ගොඩනැඟිල්ලේ පස්වන මහලේ නිවසක් සහරාන් හෂිම් විසින් කුලියට ගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වි ඇත්තේ එම නිවසේ සහරාන්ගේ දියණියගේ ඇඟිලි සලකුණ තිබි ඇති බවයි.

එමෙන්ම මහල් නිවාස සංකීර්ණයේ මුරකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදී වෑන් රථයක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය වු බව මහින්ද ජයසුන්දර මහතා පැවසුවේය.

එහිදි කොමිසම විමසුවේ එය කුමක්ද යන්නයි ?

2019 අප්‍රේල් 18 වැනි දින එම නිවාස සංකීර්ණයට නාදුනන පුද්ගලයෙකු සුදුපාට වෑන්රථයක් පදවාගෙන පැමිණ එහි රථ ගාලේ නතර කර තිබූ බවත් අනවසර වාහනයක් සම්බන්ධයෙන් මුරකරු විමසා බැලිමේදි එහි සිටි පුද්ගලයා එම වෑන් රථය රථගාලෙන් ඉවත්කරගෙන පිටව ගොස් තිබුණු බවයි සාක්ෂිකරු පැවසුවේය.

පසුව එම වෑන් රථය පිළිබදව සොයාබැලීමේදි එය පාස්කු ප්‍රහාරයට පසුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදිරිපිට නවතා තිබි පසුව පුපුරුවා නිෂ්ක්‍රීය කෙරුණු වෑන් රථය බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් යන බෝම්බකරුවන් යළි ෂැංග්‍රිලා හෝටලය වෙත කුලී රථයකින් පැමිණ ඇත්තේ අප්‍රේල් 20 වැනිදා පස්වරු 07:56 ට බවයි.

අදාල කුලී රථය පානදුර, පරත්ත පාරේ සිට පැමිණ ඇති අතර බෝම්බකරුවන් හෝටලයට පැමිණීමේදි විශාල ගමන්මලු රැගෙන ආ බවත් එම ගමන්මලු තුල පුපුරන ද්‍රව්‍ය තිබී ඇති බව පසුව හදුනා ගත් බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළේය.

බෝම්බකරුවන් දෙදෙනා කාමරය වෙත යාමේදි හෝටල් සේවකයෙකු ඔවුන්ගේ ගමන්මලු කාමරය වෙත රැගෙන යාමට උත්සාහ කිරිමේදි ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බව හෝටලේ පිලිගැනිමේ නිලධාරියා විමර්ශන නිලධාරීන්ට සඳහන් කර තිබුණි.

අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ ඊබ්‍රහිම් ඉල්හාම් පමණක් සැහැල්ලු ගමන්මල්ලක් රැගෙන යළි ෂැංග්‍රිලා හෝටලයෙන් පිටතට පැමිණ කුලි රථයකින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ‘Span Tower’ නිවාස සංකීර්ණයට ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම 2019 අප්‍රේල් 12 වනදා සිට 21 වන දා දක්වා සැකකරුවන් විසින් අවස්ථා දෙකකදී කුලී පදනම යටතේ එහි නිවාස දෙකක් ලබාගෙන තිබුණේ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු බවත‍් මේ වනවිට අනාවරණ වී තිබේ.

එලෙස පාස්කු ප්‍රහාරයට පෙර දින රාත්‍රීයේ ගල්කිස්සේ නිවාස සංකීර්ණයට පැමිණි ඊබ්‍රහිම් ඉල්හාම් පසුව දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේය.

පසුව ඔහු මහවිල උද්‍යානයේ සිට කොල්ලුපිටියේ ප්‍රසිද්ධ අවන්හලකට පැමිණ ඇති ඉල්හාම් එම අවන්හලෙන් ආහාර මිලදී ගෙන 21 වන දා අලුයම 01:46 ට යළි ෂැංග්‍රිලා හෝටලයට පැමිණ තිබූ බවයි සාක්ෂිකරු පැවසුවේය.

එදින උදෑසන 08:50 ට බෝම්බකරුවන් දෙදෙනා විශාල ගමන් මලු 02 ක්ද රැගෙන තුන්වන මහලේ පිහිටි Table One අවන්හල වෙත යාමට විදුලි සෝපානයට ගොඩවැදී තිබේ.

සෝපානයෙන් පිටතට පැමිණි බෝම්බකරුවන් දෙදෙනා අතින් අත දීමෙන් පසු සහරාන් හෂීම් Table One අවන්හල වෙත පැමිණ උදෑසන 08:54 ට පළමු පිපීරිම සිදුකරගෙන තිබුණි.

සාක්ෂිකරු පැවසුවේ ඒ වන විට එම ස්ථානයේ රැඳී සිටි පිරිස් දිවිගලවා ගැනීම සදහා දෙවන මහලේ පිහිටි විදුලි සෝපාන අසලට දිව යන ආකාරය හෝටලයේ CCTV දර්ශනවල සටහන්ව තිබුණු බවයි.

එහිදී ඊබ්‍රහිම් ඉල්හාම් නම් බෝම්බකරු විදුලි පඩිපෙළ උපයෝගී කරගනිමින් දිවිබේරාගෙන දිව ආ පිරිස රැඳී සිටි ස්ථානයට පැමිණ පෙරවරු 08:55 ට දෙවැනි බෝම්බය ද පුපුරා ගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර මහතා ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සහරාන් මද්‍රසා පාසලේදී ළමයින් ‘බෝම්බ’ කළ හැටි

(19.05.2020 – aruna.lk)

පාස්කු ප්‍රහාරයේ යටගිය විමර්ශන දැන් දැන් කරළියට එමින් ඇත්තේය. වසරක් තිස්සේ එළියට නොපැමිණි තොරතුරු අනාවරණය වන්නේ යටගිය විමර්ශන යළි ඇරඹීමත් සමගය.

පාස්කු විමර්ශනවලට අදාළව අලුතින්ම කියැවෙන්නේ ළමා සොල්දාදුවන් ලෙසින් අන්තවාදී ප්‍රහාර සඳහා බාල වයස්කරුවන් යොදා ගැනීම සම්බන්ධවය. ඊළාම් යුද ඉතිහාසය පුරා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බාල වයස්කාර ළමුන්ව, ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කරන්නේ අනාගත ඉලක්ක සඳහාය. කුඩා කල පටන් ඔළුගෙඩිවලට ජාතිවාදය කාවද්දා අනෙකුත් ජාතීන්ගෙන් පළිගන්නට කොටි ත්‍රස්තයෝ ළමා සොල්දාදුවන් යොදා ගත්හ.

මේ අතරින් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා වෙනම ම ළමා සොල්දාදුවන් පුරුදු පුහුණු කළේ සෙන්චෝලේ අනාථ දරුවන් සිටින කඳවුරකදීය. එය කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පවා ආ ගිය තැනකි. එකී ළමා සොල්දාදුවන් ඊළම වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පුරුදු පුහුණු කර තිබුණේය.

ඊළම වෙනුවෙන් අන්තවාදී අදහස් දරන දෙමළ තරුණයන් සමාජගත කළ ආකාරයටම මුස්ලිම් අන්තවාදය බාල වයස්කරුවන්ට කාවද්දන සැලසුම් හෙළිවන්නේ පසුගිය දිනවල කළ විමර්ශනවලදීය.

සහරාන් ඇතුළු අන්තවාදීන්ද මේ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් දියත් කර තිබුණේය. ඔවුන්ගේ ඉලක්කයද කොළඹ කේන්ද්‍ර කරගෙන සමාජගත වන දෙමාපියන් නැති බාල වයස්කරුවන්ය.

එම දරුවන් එකතු කර මද්‍රසා පාසල්වලට යොමු කරවන මෙහෙයුම රහසිගතවම ක්‍රියාත්මක වූවකි. දරුවන් සොයාගෙන විත් මද්‍රසා පාසල්වලට දුන් ජාවාරම්කරු, කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වූයේ පසුගිය සතියේය. ඔහුගෙන් ලද තොරතුරු මත විමර්ශන කිරීමේදී මද්‍රසා පුහුණු පාසල් තුළ දී ගිනි අවි හා බෝම්බ වර්ග ගැන පුරුදු පුහුණු කරවන බව අනාවරණය විය.

සහරාන්ගේ සොහොයුරා වූ මොහොමඩ් රිල්වාන් මද්‍රසා පාසල්වලට පැමිණ ටී. 56 ගිනි අවි ගැලවීමේ සිට පරිහරණය දක්වාත්, අත්බෝම්බවල ක්‍රියාකාරීත්වය ගැනත් උගන්වා ඇතැයි හෙළි වන්නේය. රිල්වාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියදෙන්නේ සයින්දමරුදු හිදී හමුදාවට කොටු වූ මොහොතකය. පසුගිය වසරේදී සහරාන් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොතේදී දෙවැනි ප්‍රහාරයකට සූදානම් වූ රිල්වාන් සොයා ගත්තේ සයින්දමරුදුවලදීය.

ප්‍රදේශය භාර ආරක්ෂක ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යටතේ භට කණ්ඩායම් ස්ථාපිත කර රිල්වාන් කොටුකරන්නට යද්දී දෙවැනි පෙළ ප්‍රහාරයකට ලක්වී සිටි ප්‍රහාරකයන්ද පුපුරුවාගෙන මිය ගියහ.

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගිය රිල්වාන් වනාතවිල්ලුවේ පිහිටා තිබූ අනාථ දරුවන්ගේ මොළ සෝදන මද්‍රසා පාසල්වල උපදේශකයකු ලෙසත් කටයුතු කළ අයෙකි. මුස්ලිම් ආගම පමණක් ලොව පුරා පැතිර යා යුතු බවත්, අනෙක් ආගම් විනාශ කළ යුතු බවත් මෙකී මොළ සෝදන්නා දරුවන්ට පුරුදු පුහුණු කර තිබිණි.

වනාතවිල්ලුවේ, කච්චතිව් පාරේ පිහිටි මෙකී පුහුණු කඳවුර අක්කර හයක් පුරා විහිදී ගිය එකක් විය. එහි හිමිකරු ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් මෙය මද්‍රසා පාසලට පිරිනැමූ ඉඩමක් බව කියන්නේය.

මාවනැල්ල බුදුපිළිම සිද්ධියෙන් පසු වනාතවිල්ලුව, ලැක්ටො වත්තේ කළ වැටලීමකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. එම අන්තවාදී පුහුණු කඳවුරට අනාථ පාසලේ සිට දුර කිලෝ මීටර් දොළහකි (12).

මෙකී මද්‍රසා පාසලේ අවි පුහුණුව ලද ළමා සොල්දාදුවන් විසිහතර (24) දෙනකුගෙන් දාහතර (14) දෙනකුට කැලෑ සටන් හා අයි.එස්.අයි.එස්. සටන් ඇතුළත් වීඩියෝ පුරුදු පුහුණු කළ අයුරු එම දරුවන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණය කරමින් සිටිති.

කල්පිටිය මදුරන්කුලියේ අසාර්නගර් හි පිහිටි මද්‍රසා පාසලක මෙම දරුවන්ට නවාතැන් ලබා දී ඇත. මෙම මද්‍රසා පාසල ආරම්භ කර ඇත්තේ ‘සේව් ද පර්ල්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අරමුදල්වලින් බව විමර්ශකයන් තහවුරු කර ඇත්තේය. මෙම පාසල ඉදිකිරීමට පර්චස් 109 ක ඉඩමක් මිලදී ගැනීමට මුදල් දී ඇත්තේ අරාබි රටවල ආධාර ඇතිවය.

රුපියල් ලක්ෂ ගණනක මුදලක් තැන්පත් වී ඇති බැංකු ගිණුම් හිමි මෙම සංවිධානය මද්‍රසා පුහුණු පාසල්වලටද මුදල් වියදම් කර ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම සංවිධානයේ ගිණුම්වලට බැරවන මුදල් නතර වන්නේත්, පාස්කු ප්‍රහාරයෙන් මියැදුණු බෝම්බකරුවන් එයට වැඩිපුර දායක වූ නිසා විය හැකිය. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් සහ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානය වෙත මුදල් බැර කර තිබිණි. වසරකට රුපියල් ලක්ෂ හැටකට (60,00,000) වඩා මෙකී ගිණුමට බැරකර තිබිණි. එම සංවිධානයේ ලේකම් හා භාණ්ඩාගාරික ධුරයන් දැරුවේත් මෙම ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාය. මොවුන් දෙදෙනා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාර දියත්කළ දෙදෙනාය.

බාල වයස්කරුවන්ට පුහුණුවීම්වලදී දේශන දීමට මෙකී ත්‍රස්තයන් දෙදෙනාත් ආ ගිය වග හෙළි වන්නේය. මෙම බෝම්බකරුවන් දෙදෙනාද ‘සේව්ද පර්ල්’ සංවිධානයේ භාණ්ඩාගාරික හා ලේකම් ධුරය හොබවද්දී එහි සභාපති ධුරය හොබවා ඇත්තේ මෑතකදී රහස් පොලිසිය භාරයට පත් වූ නීතිඥ හිජාස් හිස්බුල්ලාය. නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු වූ රිසාජ් බදියුදීන් පුත්තලමේදී අප්‍රේල් 14 දා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළවය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට පත්වීම ගැන නොයෙක් චෝදනා එල්ල වෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහුව අත්අඩංගුවට ගත්තේ දුරකථන විශ්ලේෂණ හා ආ ගිය තැන්වල තොරතුරු පදනම් කර ගෙන සාක්ෂි සහිතව බවය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හබයාස්කොපස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා හා සොහොයුරා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක්ද ගොනු කළහ.

‘සේව්ද පර්ල්’ නමැති අරමුදලේ භාරකරු ඔහු බවත්, එම අරමුදල මගින් අනාථ දරු දැරියන්ට උපකාර කරනු ලබන බවත්, එයින් පෙන්වා දී ඇත. පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු වූ ඉබ්‍රාහිම්ගේ නඩු කටයුතුවලට පෙනී සිටීම ගැනද, ප්‍රකාශ සටහන් කරගත් බව ඔවුන් සිය පෙත්සමෙන් පෙන්වා දෙති.

කෙසේ වුවත් දැනට ඇති විමර්ශනවලට අදාළව මදුරන්කුලියේ හා වනාතවිල්ලුවේ මද්‍රසා පාසල්වලට අරමුදල් සපයා ඇත්තේ මෙම සංවිධානයෙනි. බාල වයස්කරුවන්ගේ මොළ සෝදා බෝම්බකරුවන් බවට පත් කරන සැලසුම්වලට දේශන පැවැත්වීමට පමණක් නොවන එම පාසල විවෘත කිරීමේ උත්සවයටත් මොහොමඩ් සහරාන් නමැති බෝම්බකරු පැමිණ තිබේ. මුස්ලිම් ගමක් මැද 2017 දී ඇරඹූ මදුරන්කුලියේ ළමා සොල්දාදුවන් පුහුණුකරන මධ්‍යස්ථානය අසල පිහිටි පල්ලියේ අවසරයකින් තොරව යාමට නොහැකි ලෙස සැලසුම් කර තිබිණි.

රටක් විනාශ කරන්නට අන්තවාදයට උඩගෙඩි දී අවුරුදු දොළහේ – දහතුනේ වයස්වල දරුවන් මහා විනාශයන් සඳහා රැගෙන යෑමට ගත් සැලසුම අනාගත අභියෝගයකි.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

***************************************

සහල් සොයා පාරිභෝගික අධිකාරිය පොලොන්නරුවට

(23.05.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වී තොග සඟවා ගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට වෙළඳ නියෝජිතයින් සහ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිලිබඳව සොයා බැලීම සඳහා අද (23) පොලොන්නරුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මේ බව ප්‍රකාශ කළා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය අඩු වීමෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව මේ දිනවල සහල් මිලදී ගැනීම සඳහා පැමිණිය ද බොහෝ වෙළඳසැල්වල සහල් හිඟයක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

වෙළද නියෝජිතවරුන්ගෙන් විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ රජයේ සහතික කළ මිලට තමන්ට සහල් අලෙවි කිරීමට නොහැකි බවයි.

මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයටම ගොස් වෙළඳ ව්‍යාපාරිකයන් හමුවීමේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩපිලිවෙල යටතේ ඔවුන් අද (23) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් ව්‍යාපාරිකයන් හමුවුණා.

එහිදී පොළොන්නරුව – ඇතුමල්පිටියේ පිහිටි සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේනට අයත් මහා පරිමාණ සහල් මෝලට පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ඔහු සමග සාකච්ඡාවක නිරත වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ වී තොග සඟවාගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

+++++++++++++++++++++

***************************************

සාධාරණයක් ඉටු කරන්නැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් යළිත් ඉල්ලයි

(23.05.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනය රජයට පවරා ගෙන තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ සංගමය පවසනවා.

එම තැන්පත්කරුවන් අද (23) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තම මුදල් නොලැබීම හේතුවෙන් මේ වනවිට දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

***************************************

‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

(23.05.2020 – news.navy.lk)

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට අද (2020 මැයි 23) සමුදුර නෞකාව කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය සහාය ලබාදීම සඳහා පිටත්වගොස් සිටින නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව මේ වන විට එම බහුදින යාත්‍රාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් එම ධීවර යාත්‍රා සමඟ ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. එලෙස පැමි‍ණෙන ධීවර යාත්‍රාවන්හි ඉන්ධන අවසන් වීම හේතුවෙන් ගොඩබිම සිට මුහුදු සැතපුම් 450 ක පමණ දුරකදී අදාල යාත්‍රාවන් වෙත ගොඩබිම කරා යාත්‍රා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට සමුදුර නෞකාව අද (2020 මැයි මස 23) කටයුතු කරන ලදි. ඒ අනුව සදෙව්මි 04, සානු පුතා 01, මදුසංක 01, සයුරි 06. රන්පුතා 09 සහ සප්නා 08 යන මෙරට බහුධින ධීවර යාත්‍රාවන් වෙත මෙසේ ඉන්ධන ලබාදීම සිදු කරන ලදි.

මෙලෙස බහුදින යාත්‍රාවන් 30 කට වැඩි ප්‍රමාණයක් වෙත අවශ්‍ය පහසුකම් සමුදුර නෞකාව වෙතින් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින අතර, ගොඩබිම වෙත පැමිණෙනතෙක් එම යාත්‍රාවන් වෙත අවශ්‍ය සියළු සහයෝගයන් ලබා දෙමින් එම යාත්‍රා සහ ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *