කවුරුත් දන්නෙ නැති – කවුරුත් දැකල නැති – ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ : කවුද මේ ‘SS’

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කවුරුත් දන්නෙ නැති – කවුරුත් දැකල නැති – ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ : කවුද මේ ‘SS’

• රැඳවුම් භාරයේ සිටි කොටි ප‍්‍රබලයින් රැසක් හොර රහසේම නිදහස් කරලා

• රත්නජීවන් ෆූල්

• කොරෝනා නීති කඩ කළ මහාචාර්ය හූල්ට නඩු

වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා

+++++++++++++++++++++++++++++++++++

කවුරුත් දන්නෙ නැති – කවුරුත් දැකල නැති – ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ : කවුද මේ ‘SS’

(24.05.2020 – MRNews)

කොවිඩ් 19 වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ බුද්ධි මෙහෙයුමේ බ්‍රිගේඩියර් SS දැවැන්ත කාර්ය භාරයක නිරතව සිටින සැගවුණු චරිතයකි. කොව්ඩි 19 ආසාදිත රෝගියෙක් මෙරටින් හමුවූ සැණින් එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹායන රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ නියමුවා වන්නේ ඔහුය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කා ඔහු වන බැවිනි.

රාජ්‍ය බුද්ධි සේවයේ ඉතිහාසය ගැන විමසීමේදී ඉතිහාසය පුරාම එහි ලොකු පුටුව දරා ඇත්තේ පොලිස් නිලධාරීන්ය. SS රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කිරීම ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් බවට මේ වන විට පත්ව හමාරය. ඒ හමුදාවේ නිලධාරීයෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා බවට පත්වන්නේ පළමු වරට වන බැවිනි.

ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ ලොකු පුටුවේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා යොමු කරමින් SS එම පුටුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනුයේ 2019 වසරේ දෙසැම්බරයේදීය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් අතර යම් කැළඹිමක් ඇති කරමිනි. එහෙත් ඉතා කෙටි කලක් තුළ රාජ්‍ය බුද්ධි සේවයේ සමස්ත නිලධාරීන්ගේම විශ්වාසය දිනාගන්නට SS සමත්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ එතෙක් මෙතෙක් සේවයේ නිරතව සිටි මුල් පුටුවල සිටි නිලධාරීන්ගෙන් හොඳම නිලධාරියා බවට ඉතා කෙටි කලක් තුළ පත්වෙමිනි.

රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ පුටු සදහා ඉතිහාසය පුරාම පත් කෙරුණු බොහෝ නිලධාරීන් දේශපාලන පත්වීම්ය. ඒ අය අතර වැඩියෙන්ම සිට ඇත්තේ නිලන්ත ජයවර්ධන වැනි රාජ්‍ය බුද්ධි සේවයේම කාලයක් සේවයේ නිරතව සිටි නිලධාරීන් කිහිප දෙනෙක් හැරුණු කොට රාජ්‍ය බුද්ධි සේවය ගැන මෙලෝ දැනුමක් නැති නිලධාරීන්ය. SS ද රාජ්‍ය බුද්ධි සේවයෙන් පිටත සිදු කෙරුණු දේශපාලන පත්කිරීමක් වූවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුව රටේ ජාතික බුද්ධි සේවයේ ලොකු පුටුවට පත්කරන්නේ ආවට ගියාට නොව. SS යනු දක්ෂ බුද්ධි නිලධාරියෙක් බවට මනා අවබෝධයක් ඇතිව ඔහුගෙන් වැඩි වැඩියෙන් වැඩ ගන්නටය.

SS ගේ ඉතිහාසය විමසීමේදී ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ යැයි කියා ඔහු සාම්ප්‍රදායික මුස්ලිම්වරයෙක් යැයි කියන්නට බැරිය. ඔහු මැලේ ජාතිකයෙකි. දැනගන්නට ඇති ආකාරයට අනුව ඔහුගේ මව්පියන්ද මිශ්‍රය.

SS බුද්ධි නිලධාරියෙක් වන බැවින් ඔහුගේ පුද්ගලික තොරතුරු මෙහි සටහන් කිරීම එතරම් උචිත නැත. එසේ නොවන්නට ඔහුගේ පුද්ගලික තොරතුරු පොතක් පිරෙන්නට ලියන්නට ඇත. ඔහුගේ ළමා කාලය සහ පාසල් කාලය ගැන සුන්දර කථා බොහෝය. SS ගේ ජීවිතයේ වීර කථා ඇත්තේ ඔහු කැඩෙට් නිලධාරියෙක් ලෙස 1987 වසරේදී යුද හමුදාවට එක්වීමෙන් අනතුරුවය.ඒ 1987 වසරේ මාර්තු 16 වෙනිදා පාඨමාලා අංක 27 යටතේ පුහුණුව ලබාය. ඒ දෙවැනි අධිකාරියේ සංඥා නිලධාරියෙක් ලෙසිනි. යුද්ධයේ දරුණුතම අත්දැකීම් ලබා ඇති SS බුද්ධි නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන්නට ගන්නේ 1992 වසරේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත වීමත් සමගිනි.

ඒ හමුදාවේ මුස්ලිම් රෙජිමේන්තුවක් ඇති කිරීමක් සම්බන්ධයෙන්ද දේශපාලන ලෝකයේ කථාබහක් ගොඩ නැගී තිබුණු වකවානුවකි. SS ව බුද්ධි අංශයට බඳවා ගන්නේ ඔහුට දෙමළ භාෂාව ඇතුළු භාෂා ගණනාවක්ම හැසිරවීමට තිබුණු මනා හැකියාව නිසාය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවැති සටනේදී දෙමළ ජනතාවගෙන් තොරතුරු දැන ගැනීමට සිංහල සොල්දාදුවන්ට වඩා පහසුවක් වූයේ මුස්ලිම් සොල්දාදුවන්ටය. එකල බුද්ධි අංශයේ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලැබුවේද මුස්ලිම් නිලධාරීන්ය. ඒ අය අතර මුතාලිෆ්, මීඩින් වැනි නිලධාරීන් ගොන්නකි. SS වැටෙන්නේද එම ගොන්නටය.

ත්‍රස්තවාදීන්ව හඹා ගොස් එල්.ටී.ටී.ඊ. නායකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සකස් කෙරුණු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මුල් සාමාජික කණ්ඩායම අතර SS ද සිටියේය. ඒ සන්නද්ධ බුද්ධි අංශයේ සිටි ළාබාලතම හමුදා සාමාජිකයා ලෙසිනි. 1997 වසරේ සිට ඔහු 2006 වසර දක්වාම සන්නද්ධ බුද්ධි බළකායේ සේවයේ නිරතව සිටියේ එල්.ටී.ටී.ඊ. නායකයින්ට සිතා ගැනීමට නොහැකි වන ලෙස ප්‍රහාර එල්ලකරමිනි. එකල ත්‍රස්තවාදී නායකයින් බංකර්වලින් පිටතට එන්නට පවා බියක් දැක්වූයේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරීන් ත්‍රස්තවාදීන්ගේ බළකොටුවලටම රිංගා නායකයින්ට ප්‍රහාර එල්ලකරන්නට වූ බැවිනි. ඒ කණ්ඩායම අතර සැඟවුණු චරිතයක් වූයේ SS ය.

SS සන්නද්ධ බුද්ධි අංශයෙන් 2006 වසරේ ඉවත් කරන්නේ ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය බිඳ දැමීමට යොදා ගැනීමේ අරමුණ ඇතිවය. ඒ ඔහු ඒ වන විටත් බුද්ධි නිලධාරියෙක් ලෙස දක්වා තිබුණු දක්ෂතා සැළකිල්ලට ගනිමිනි. ඒ අනුව ඔහුව යුරෝපය බලා පිටත්කර යැවෙන්නේ ජාත්‍යන්තර කොටි ජාලය ගැන තොරතුරු රැස්කරමින් ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමේ සුවිශේෂී මෙහෙයුමක් සදහාය. එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර අවි ගනුදෙනු ජාලය හෙළිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමට ගුවන් සහ නාවික හමුදාවන්ට යුද සමයේදී හැකියාව ලැබෙන්නේද SS ගේ තොරතුරු මුල්කරගෙනය.

ඒ වන විට එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලය ඉතා ශක්තිමත් එකක් විය. එම ජාලය පවා බිඳ දැමීමට ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිලධාරියෙකි. ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් ඔහු සිය මෙහෙයුම් දියත් කරනු ලැබුවේද වෙනත් නමකින් පෙනී සිටිමිනි.

යුද්ධය අවසන් වීමත් සමග නැවත මෙරටට කැඳවෙන SS ට භාර කෙරන්නේ යුද හමුදා විශේෂ බුද්ධි ඒකකයයි. ඒ 2009 වසරේදීය. ප්‍රභාකරන්ගේ මරණින් පසු ඒ තැන ගන්නට සූදානමින් සිටියේ එල්.ටී.ඊ.ඊ.යේ ජාත්‍යන්තර ජාලයේ නායකයා මෙන්ම මූල්‍ය අංශ ප්‍රධානියාව සිටි කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන්ය. එල්.ටී.ටී.ඊ.යේ අනාගත බලාපොරොත්තුව වූ කේ.පී.ව පවා මලයාසියාවේදී කළ මෙහෙයුමකින් පසු මෙරටට රැගෙන ආවේද SS විසින් කළ නිහඩ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

යුද්ධය නිමාවීමෙන් අනතුරුව යාල කැලෑවේ රිංගා නැගෙනහිර සිට ක්‍රියාත්මක වන්නට සූදානම් වූ රාම්, නගුලන් වැනි එල්.ටී.ටී.ඊ නායකයන් අල්ලා ගැනීමේ බුද්ධි මෙහෙයුම් පිටුපසද සිටියේ SS ය. එසේම ගෝපී, අප්පන් වැනි සන්නද්ධ කොටි නායකයන් නැවත ත්‍රස්තවාදයට පණ දෙන්නට සූදානම්වන විට නැඳුන්කර්නි කැලයේදී ඔවුන්ව කොටුකරන බුද්ධි අංශ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේද SS ය.

SS දැක්වූ මේ දස්කම් නිසාම ඔහුට උසස්වීම්ද නිසි කලට පෙර ලැබුණේය. බ්‍රිගේඩියර් තනතුරට ඔහු උසස්වීම් ලබන්නේ ඔහුට පෙර කැඩෙට් නිලධාරීන් ලෙස බැදුණු නිලධාරීන්ටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ යමිනි. එල්.ටී.ටී.ඊ.ය සතුව තිබුණු නෞකා සහ ගුවන් යානා ගැන මෙන්ම ව්‍යාපාර ගැනද තොරතුරු බොහෝමයක් දැන සිටියේ SS ය. ජාත්‍යන්තර වරායන්වල සඟවා තිබුණු එල්.ටී.ටී.ඊ.යට අයත් නෞකා පවා මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබෙන්නේ SS ගේ නිහඩ මෙහයුම්වල ප්‍රතිඵල ලෙසිනි. නිහඬව වූවත් ඔහු ඒ දැක්වූ දස්කම් අගයමින් රණශූර පදක්කමෙන් පවා ඔහු පිදුම් ලබා ඇත්තේය.

මේ අතර ඔහුට තවත් රාජකාරියක් පැවරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ විදෙස් බුද්ධි අංශ සම්බන්ධීකරණ නිලධාරියා ලෙසිනි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පසු මෙරට හිස ඔසවන්නට පුළුවනි යැයි අනුමාන කළ ඉස්ලාම් ත්‍රස්ත කල්ලි පිළිබදව හැදෑරීමද ඔහුගේ මූලික රාජකාරිය විය. ඒ අනුව ඔහු අයි.එස්. අයි.එස්. ත්‍රස්ත කල්ලි සමග මෙරට සම්බන්ධකම් පැවැති කණ්ඩායම් ගැන පවා තොරතුරු රැස් කළේය.

බි්‍රගේඩියර් SS හමුදා බුද්ධි අංශයේ ඉහළම පුටුවට පත්වන්නේ ඔය අතරතුරදීය. ඒ 2012 වසරේදීය. එම තනතුර ඔහුට හිමිවන්නේ ඒ වන විට යුද හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි මහතා ඉවත්කරමිනි.

හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස ඔහු එල්.ටී.ටී.ඊ.යට නැවත නැගී සිටීමට ඉඩක් නොතබමින් දැවැන්ත බුද්ධි ආරක්ෂක වළල්ලක් යොදා රට ආරක්ෂා කරන අතරතුර අයි.එස්.අයි.එස්. සංවිධානයේ මතවාදයට අනුව යමින් මෙරට මුස්ලිම් තරුණයින්ගේ නැගිටීමක් ගැනද ඇස ගසාගෙන සිටින්නට විය. ඒ තමන් මුස්ලිම්වරයෙක් ලෙස අමතක කර රට පළමු කොට සලකාය. එහෙත් ඔහුට ඒ කටයුත්ත නිමාවක් කරන්නට ඉඩක් නොවීය. ආණ්ඩු වෙනසත් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක දැඩි විරෝධය SS ට එල්ලවන්නට ගත්තේය. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට දරදිය ඇදි සංවිධාන කිහිපයක්ද තිබුණේය. එම සංවිධානවල සාමාජිකයන් SS විරෝධයක් ගොඩ නගන්නට ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිට ගත්තේ එන්.ජී.ඕ. පැත්තේය. SS හමුදා බුද්ධි ප්‍රධානී තනතුරින් ඉවත් කළේය. ඒ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පැවැති විමර්ශන සියල්ල අඩපණ කරමිනි. ඒ අනුව ආරක්ෂක මණ්ඩලයට SS ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ 2016 වසරේ ඔක්තෝම්බර් 18 වෙනිදාය. ඊට අනුව SS ඉවත් කරනුයේ 2016 වසරේ නොවැම්බර් 02 දාය. ඒ වෙනුවට එම තැනට පත්කරන්නේ බ්‍රිගේඩියර් විජේසිරි ගුණතිලකය. එම පත්කිරීම කොතරම් සාර්ථක පත්කිරීමක්දැයි පැහැදිලි නැතත් අවසානයේදී SS ගේ වටිනාකම කොයි කාටත් තේරෙන්නේ පාස්කු ප්‍රහාරයත් සමගිනි. ඒ SS හමුදා බුද්ධි ප්‍රධානී තනතුරින් ඉවත් කිරීමත් සමග අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කෙරුණු පරීක්ෂණ ලත් තැනම ලොප් වූ බැවිනි. යුද්ධය පැවැති සමයේදී මෙරට වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලට ගොස් යුද පුහුණුව ලබා අවි ආයුධ රැස්කරමින් දකුණේ කැරුල්ලක් ගැසීමට කළ සූදානමද එදා හෙළිකර ගන්නේ SS යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි නිලදාරීන් කණ්ඩායමකි. පාස්කු ප්‍රහාරකයන්වද එදා SS සිටියේ නම් අල්ලා ගන්නේ සිංහල කොටි අල්ලාගත් ලෙසිනි.

එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එන්.ජී.ඕ නඩේක අවශ්‍යතා මත SS යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කරන විට බුද්ධි අංශයම කැළඹී ගියේය. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂකම් මෙන්ම සම්බන්ධකම් ඒ අය දැන සිටි බැවිනි. පාස්කු ප්‍රහාරයට අත වැනෙන්නේ SS වැනි නිලධාරීන් අඩපණ කර තිබීම නිසාය.

දැන් SS ට ලැබී ඇත්තේ රටේ ඉහළම බුද්ධි අංශයේ ලොකු පුටුවය. ඒ ඔහුට සාධාරණය ඉටු වෙමිනි. දැනටමත් SS අපේ රටට දේශීය මෙන්ම ජාත්‍යන්තරවත් එල්ලවීමට ඉඩ ඇති තර්ජන හඳුනාගෙන හමාරය. ඒ ගැන සිය බුද්ධි නිලධාරීන් යොදවා ඇස ගසාගෙන සිටින්නේ රටට හානිකර සියල්ල පරාජයට පත් කිරීමේ අරමුණ ඇතිවය ෴

– RW

+++++++++++++++++++++++++++++++++++

රැඳවුම් භාරයේ සිටි කොටි ප‍්‍රබලයින් රැසක් හොර රහසේම නිදහස් කරලා

(24.05.2020 – divaina.com)

පොලිස් රැඳවුම් භාරයේ සිටි කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රබල නායකයන් වූ ප‍්‍රදීප් මාස්ටර්, දර්ශන් මාස්ටර්, මැලේසියන් රාජන්, ලන්ඩන් කපිලන් සහ ස්විස් ඥානම් අබිරහස් ලෙස නිදහස් වී ඇත. මින් මැලේසියන් රාජන් යනු කොටි ජාත්‍යන්තර මූල අංශයේ දෙවැනියා වන අතර ඔහු සතුව අති විශාල මුදල් සම්භාරයක් ද වේ.

ප‍්‍රදීප් මාස්ටර් යනු කොටින්ට ගුවන් යානා සැපයූ තැනැත්තායි. මොවුන් සමග රඳවා සිටි කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක දර්ශන් මාස්ටර් ද නිදහස් වී ඇත.

ගත වූ කාලයේදී මොවුන් නිදහස් වූයේ කෙසේ ද යන්න ගැන ත‍්‍රස්ත මර්දන කාර්යාංශය වසන් කර තිබේ. මේ ප‍්‍රබල කොටි නායකයන් නිදහස් වූ ආකාරය ගැන ත‍්‍රස්ත මර්දන කාර්යාංශය හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට ද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද දැනුම් දී නැත.

ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රබල නායකයන් නිදහස්වීම සිදු වූයේ කෙසේ ද යන්න ද්‍රවිඩ සන්ධානය දැන සිටි බවයි. මෙම පිරිස දැන් බි‍්‍රතාන්‍යයේ සහ ස්විට්සර්ලන්තයේ වාසය කරති.

– කීර්ති වර්ණකුලසූරිය

***************************************

රත්නජීවන් ෆූල්

(24.05.2020 – divaina.com – කතුවැකිය)

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටියෙක්ද (එල්.ටී.ටී.ඊ.නොවේ), කවටයෙක්ද, නොඑසේ නම් මොලේ අමාරුකාරයෙක්ද යන්න අපට නොතේරේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිරෝධායනයට ලක්ව සිටීමට නියමිතව සිටින සිය දියණියද සමග ඉකුත් සඳුදා හෙතෙම මැතිවරණ කොමිසමට පැමිණියේය. ඔහු මේ ගමන ආවේ යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් බව දැනගන්නට තිබේ. කොරෝනා නිරෝධායනයට ලක්ව සිටින අයකු සමග ප‍්‍රසිද්ධ ස්ථානයක සංචාරය කරන්නා එක්කෝ පල්ම පල් ගොබ්බයෙකි; නොඑසේ නම් මරාගෙන මැරෙන බෝම්බකරුවකි.

නිරෝධායනයේ පරමාර්ථය ඇඟ තුළ ලෙඩක් තිබේ නම් එය මතුවීම පිණිස නිවාඩු පාඩුවේ කල් දීමය. එනම් නිරෝධායනයේ යෙදී සිටින්නාට කොරෝනාව සියයට පනහක් තිබෙන්නටත් පුළුවන. සියයට පනහක් නොතිබෙන්නටත් පුළුවන. ඒ විග‍්‍රහයට අනුව බලන කළ නිරෝධායනයේ යෙදෙන සිය දියණිය සමග ආණ්ඩුවේ වාහනයකින් මැතිවරණ කොමිසමට පැමිණීමෙන් හූල් භයානක අපරාධයක් කර තිබේ.

ආණ්ඩුවේ වාහනයකින් සිය දියණිය ප‍්‍රවාහනය කිරීමට රත්නජීවන් හූල්ට ඇති අයිතිය කුමක්ද? යහපාලන ආණ්ඩුවේ අග හරියේදී මහින්ද රාජපක්ෂලා ජනාධිපති මෛත‍්‍රී සමග එක්ව ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේදී රත්නජීවන් හූල් එයට විරුද්ධව නීතිඥයකු උසාවි යැවූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මහා පරිමාණයෙන් පෙනී සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය, කාන්තා විමුක්තිය, ගෘහස්ථ හිංසනය, රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, භාෂණ නිදහස, සිවිල් අයිතිවාසිකම් යනාදිය ගැන ඕනෑවට වඩා නටන එකා ගැන අප නිතරම සැක කළ යුතු අතර එයට හේතුව ලැබෙන මුල් අවස්ථාවේදීම ඒකා ඉහත සඳහන් වැරදි වලින් එකක් හෝ කිහිපයක් කිරීමට පෙළඹෙන බැවිනි. රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී එහි සේවකයන් විසින් පලවා හරින ලද බව දැනගන්නට තිබේ.

යහපාලන ආණ්ඩුවේ මූලිකත්වයෙන් ස්ථාපනය කරන ලද මැතිවරණ කොමිසම මාර ලෙඩක් වීගෙන එන බව පෙනෙයි. එම කොමිසමේ සාමාජිකයන් වන හූල් වැනි අය යහපත් රාජ්‍ය නිලධරයකුවන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියගේ බෙල්ල පාගාගෙන සිටින බව පෙනෙයි. හූල් පලවා හරිමින් ජාතික සෞඛ්‍ය උදෙසා පුළුල් මෙහෙවරක් කළ මැතිවරණ කොමිසමේ සේවක මණ්ඩලයට අපි හිස නමා ආචාර කරමු.

……………………….

රාජපක්ෂ ආණ්ඩුව කොටි සංවිධානය විනාශ මුඛයෙහි ඔබා යුධ ජයග‍්‍රහණය අත්පත් කරගෙන එකොලස් වසරක් සම්පූර්ණවී ඇති මේ මොහොතේදී වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. ඒ වූ කලී රණවිරුවන් පාවා දෙන, රට පාවා දෙන, රටේ ඉතිරිව ඇති ඉතාම ස්වල්පයක් වූ හොඳ නම කැත කරනු පිණිස අසූචි තවරන සිංහල කොටින් සමූහයක් රට තුළ වර්ධනය වෙමින් සිටින බවය.

නැසී ගිය මරාගෙන මැරෙන දෙමළ කොටින්ගේ තැන ගෙන සිටින මේ කුහක හිඟන කැළ යුධ ජයග‍්‍රහණයත් සමගම ඉතා සුළුවෙන් මතුවී යහපාලන ආණ්ඩු සමය තුළ මහත් සේ වර්ධනය වූ සිකනල්ලු වෙති. ලංකාවේ සිවිල් සමාජය නමැති ගන්ධබ්භ රැළ සමග එක්ව සිටින මේ අය රටට එරෙහිව කැලෑ පත්තර ගසමින්ද පිට රට උසාවි වල රටට එරෙහිව නඩු දමමින්ද එසේ දැමූ නඩු ඇත්නම් රටට එරෙහිව ඒවායෙහි සාක්ෂි දෙමින්ද ජීවිකාව උපයා ගනිති. 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව කළ කුණු වැඩ වලින් කුණුම වැඩය වූයේ මැයි 19 දාට යෙදුනු යුධ ජයග‍්‍රහණ සැමරුම අවලංගු කිරීමය.

මේ දිනවල උදේ හවස සී.අයි.ඩී යන හිටපු ‘ෆැෂන් ඩිසයිනර්’ කෙනකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ මංගල සමරවීර ද රණවිරු සැමරුම් දිනය මකා දැමීම සඳහා සෑහෙන වැඩක් කළ දකුණේ කොල්ලකු බව අප මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ යුධ ජයග‍්‍රහණයට මුල්වූ දකුණේ සෙසු කොල්ලන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සිහිපත්වූ නිසාය. යහපාලන ආණ්ඩුව හෙන ගැහුවාක් බඳුව ඇද වැටෙන තුරුම අවුරුදු පහක් පමණ යුධ ජයග‍්‍රහණය සැමරුනේ නැත.

යුද්ධය නිසා වැන්දඹුවෝ දස දහසකට වඩාද තාත්තලා නැති දරුවන් විසි දහසකට වඩාද ලක් පොලොව මත ඉතිරි වූ බව ඔබ දන්නෙහිද? ගිය ආණ්ඩුව අපරාධ රැසක් කළ ආණ්ඩුවකි. (එයින් අප කියන්නේ මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් බව නොවේ) මහා බැංකුව කැඞීම, රාජ්‍ය දේපොළ විකිණීම ඇතුළු භෞතික වැරදි රැසක් ඔවුහු කළහ. රණවිරු සැමරුම් දිනය මකා දැමීම භෞතික අපරාධයක් නොව ආධ්‍යාත්මික අපරාධයකි. ඇත්තටම අවුරුද්දේ හැම දිනයක්ම රණවිරු සැමරුම් දිනයකි. ප‍්‍රභාකරන්ගේ මිනී මරුවෝ අවුරුද්දේ හැම දිනකම යුධ සෙබළුන් එකෙක් හෝ කීපදෙනෙක් මැරූහ.

යුද්ධයේ මැද හරියේ සිට අවසන් හරිය දක්වා රත්නජීවන් හූල් වැනි අය සිටියේ පිට රටය. අද ඔවුන් ආපසු පැමිණ සිටින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවෙන් පලි ගැනීමට යැයි කෙනකු කීවොත් ඒ කතාවට විරුද්ධ වන්නට අපට පුළුවන. එහෙත් අප එසේ විරුද්ධ වන්නේ මහජනතාවගෙන් ගුටි කෑමටද බලාගෙනය ෴

+++++++++++++++++++++

කොරෝනා නීති කඩ කළ මහාචාර්ය හූල්ට නඩු

(24.05.2020 – divaina.com)

නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි කියන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඇගේ දියණියට එම පනත යටතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේ දී නිරෝධායන පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.

මෙම පනත යටතේ වැරදිකරුවකු වුවහොත් රුපියල් දස දහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඉහත දඬුවම් දෙකටම යටත් විය හැකිය.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය මීගමුව ප‍්‍රදේශයේ හෝටලයකදී දින 14ක නිරෝධායනයට ලක් වී නල්ලූර්හි චෙම්මිණි පාරේ පිහිටි ඇගේ නිවසේ තවත් දින දාහතරක් නිරෝධායනයට ලක් විය යුතුව තිබුණ ද ඇය පසුගිය 19 වැනිදා සිය පියා සමග මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබිණි.

එහිදී මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට සහ ඇගේ දියණියට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ විරෝධය එල්ල විය ෴

***************************************

වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා

(24.05.2020 – 13:23 +0530 – lankadeepa.lk)

ශරීරයේ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් වැරැදි වෛද්‍ය වාර්තාවක් ලබාදී ඉන්පසුව එම වාර්තාව අයතා ක‍්‍රමයකින් කුරුණෑගල රෝහල් බාරයෙන් අස්ථානගත කළැයි කියමින් කුරුණෑගල අලකොලදෙනියේ වකුගඩු රෝගියකුගේ දියණියක විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (24)පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම පියාගේ සිරුරේ මතු වූ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරයා දුන් උපදෙස් අනුව සිදුකළ පරීක්‍ණයක වාර්තා අනුව මෙම තත්ත්වය උද්ගත වී යැයි එස්.එම්.ටී. පියතිස්ස මහත්මිය මෙසේ පැමිණිලි කර ඇත.

එම සදොස් වාර්තාවේ දැක් වූ පොටෑසියම් අගය අනුව තම පියා මාරාන්තික අවස්ථාවකට පැමිණ ඇති බැවින් වහාම රෝහල්ගත කරන්නැයි විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා උපදෙස් දුන්නේ යැයි ද ඉන් අනතුරුව කුරුණෑගල රෝහලට ඇතුලත් කළ රෝගියාට පොටෑසියම් ලබාදීමට වෛද්‍යවරුන් යුහුසුළුව කටයුතු කළේ යැයි ද එයින් පසුව නැවතත් අදාළ පරීක්ෂණය රෝහලෙන් සිදුකිරීමෙන් පසුව ඔහුගේ රුධිරයේ පොටෑසියම් අගය අධිඅවදානම් අගයකට පැමිණ තිබුණේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

එයින් පසුව කුරුණෑගල රෝහලේ නිලධාරින් අදාළ පෞද්ගලික රසායනාගාරයට කතා කොට එම වාර්තාව සදොස් බව දැන්වී යැයි ද එතැන් සිට පෞද්ගලික රසායනාගාරයේ සේවකයන් තමාට කතා කර එම වාර්තාව ඉල්ලා බලපෑම් කළේ යැයි ද ඇය පැමිණිලි කර ඇත.

අයථා ක‍්‍රමයකින් එම වාර්තාව අස්ථානගත කරනු ඇතැයි යන සැකය නිසා එයින් පසු තමා අදාළ වාර්තාවේ ඡායාරූපයක් ගත් නමුත් එදින සවස් වරුවේ පරීක්ෂා කරද්දී පියාගේ වෛද්‍ය වාර්තා ගොනුවෙන් එය අස්ථානගත වී ඒ වෙනුවට දත්ත වෙනස් කළ ව්‍යාජ වාර්තාවක් ඊට එක්කර තිබුණේ යැයි පවසන ඇය ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි කළේ යැයි ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් පරිපාලනයෙන් සාධාරණයක් සිදු නොවන බැවින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ යැයි ද සිදුවීමෙන් දැඩි මානසික කම්පනයට පත්ව සිටින සිය පවුලට සාධාරණය ඉටුකර දෙන්නැයි ද එස්.එම්.ටී පියතිස්ස මහත්මිය එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

– බිඟුන් මේනක ගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About SS. Amarasara should not publish this kind of information, as it would endanger these public servants, now or in future. Remember the then incompetent UNP governments revelations lead to the massacring of a large number of intelligence officers by tamil terrorists. Damn shame that our own sinhala people are the enemies of their own nation because they cannot keep their mouths shut, and fingers to themselves and instead trying to be clever and spill all the beans in public. Sinhalaya modayaa, kavum kanda yodayaa … PD. If amarasara is clever then take this article off line immediately. (Edited by Amarasara)

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *