ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි (විඩියෝ)

• ඊයේ (24) දිනට පමණක් කොවිඩ් ආසාදිතයින් 52 ක් මෙරටින් වාර්තා වෙයි

• කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා – නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට

• කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් (03) රිමාන්ඩ්

• හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට

• අද (25) උදෑසන හයෙන් (06:00) අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩූ 1,710 ක් අත්අඩංගුවට

• සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට (26) සිට විවෘත කිරීමට අවසර

• මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

• මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම (විඩියෝ)

• රතු මිනිත්තුව : පාලමක් නැතිව දුක් විඳින නාමල්ඔය වැසියෝ (විඩියෝ)

• ගස් දෙකකට මැදි වු මෙදේරිපිටිය ගම්වාසීන්ගේ ජීවිත අවධානම

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

(25.05.2020 – 09:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලිහිල් කළද ජනතාව ස්වයං පාලනයකින් යුතුව කටයුතු කළ යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී වී’ ඔස්සේ අද (25) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (24) දිනට පමණක් කොවිඩ් ආසාදිතයින් 52 ක් මෙරටින් වාර්තා වෙයි

(25.05.2020 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනට පමණක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 52 මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 ක්.

ඊයේ (24) වාර්තා වූ ආසාදිතයින් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49 ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් (01) සහ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් (02) ද සිටින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 458 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674 ක්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 14 දෙනෙකු ඊයේ (24) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

+++++++++++

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ ඊයේ (24) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1742 ක් සිදුකිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස් 834 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++

කොවිඩ්-19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 300 දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 07 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි ෴

+++++++++++++++++++++++++++++++++++

කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා – නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට

(25.05.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගත් කුවේට් හි සිට පැමිණි 49 දෙනාට මෙරටට පැමිණෙන විටත් එම වෛරසය ආසාදනය වී සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණවල විධිමත් භාවය හේතුවෙන් එය හඳුනා ගැනීමට පහසුවූ බවයි.

ඊයේ (26) දිනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 52 දෙනෙකු හමුවූ අතර, කුවේට්හි සිට පැමිණි 49 දෙනා ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක්.

එමෙන්ම, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු (01) , නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (02) ඊයේ (24) වාර්තා වූ රෝගීන් අතරට අයත්.

මේ දක්වා විදේශ රටවල සිට පුද්ගලයින් 5,485 දෙනෙකු දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, පසුගිය 19 වනදා කුවේට් සිට පුද්ගලයින් 462 කු මෙරටට පැමිණ තිබෙනවා.

එසේම ඩුබායි හි සිට 197 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකුට කොරෝනා වෛරසය පැමිණෙන විටත් වැළඳී තිබූ බවට තහවුරු වුණා.

දැනට නිරෝධායන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 4522 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර, නිරෝධායන කාලසීමාව අවසන් කළ 62 දෙනෙකු අද (25) දිනයේ යුද හමුදාවට අයත් මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි.

එමෙන්ම, මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 10,732 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 1141 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පුද්ගලයින් 674 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම, සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුද්ගලයින් 458 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

මෙවැනි තත්ත්වයක් තුළ රට යථාවත් කිරීම ආරම්භ වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් දැඩිව පිළිපදින ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදි හෙට (26) පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් අතර මෙම සාකච්ඡාව හෙට (26) පෙරවරු 10:30 ට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහිදී නැවත පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත සැළැස්මක් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතයි ෴

++++++++++++++++

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, අද (26) දිනයේදී තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටත්ව යාමත් සමගයි.

එම පිරිස් අතර නාවික හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ද වනවා.

මේ දක්වා කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 313 ක් වන බවයි එම හමුදාව සදහන් කළේ.

මෙරට තුළ කොරෝනා ආසාදිතයින් 1141 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා ෴

++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් රෝගීන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවයි එම අමාත්‍යංශය පවසන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් (03) රිමාන්ඩ්

(25.05.2020 – 09:39 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු (03) හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, යාපනය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (24), කෝපායි – උරුම්බිරායි මංසන්ධියේ කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන හමුදා මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලාගොස් තිබුණා.

කෝපායි පොලීසිය සිදුකළ විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් අනලතිව් – සන්දිලිප්පායි සහ ඉරුපාලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට

(25.05.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලිගෑම් 700 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ඉකුත් වසර වල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ නැමැති ක්‍රීඩකයායි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශෙහාන් මදුසංක සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වුණා ෴

***************************************

අද (25) උදෑසන හයෙන් (06:00) අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩූ 1,710 ක් අත්අඩංගුවට

(25.05.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1,710 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලසීමාව තුළ වාහන 557 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

පසුගිය මාර්තු 20 වනදා සිට පැනවූ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 64,387 දෙනෙකු සහ වාහන 18,169 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ යාපනය – කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් ඊයේ (25), යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (25), කෝපායි – උරුම්බිරායි මංසන්ධියේ කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන හමුදා මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලාගොස් තිබුණා.

කෝපායි පොලීසිය සිදුකළ විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් යාපනය – අනලතිව්, සන්දිලිප්පායි සහ ඉරුපාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර යාපනය – කන්කසන්තුරේ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා යාපනය – මාවෙයිකලට්ටි අලුත් කොළණිය ප්‍රදේශයට පෙරේදා (23) රාත්‍රියේ ගොස් තිබුණේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි.

එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් මෙම උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඇති අතර, ඔහු සමඟ ගිය අනෙක් පොලිස් නිලධාරියා පලාගොස් දිවි බේරාගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා ෴

+++++++++++++++++++++++++++++++++++

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට (26) සිට විවෘත කිරීමට අවසර

(25.05.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්, භෝජනාගාර සහ අවන්හල් හෙට (26) සිට යළි විවෘත කිරීමට අවස්ථාව හිමිවන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව මේවා විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය හෙට (26) සිට ලිහිල් කළද දිවයින පුරා කායවර්ධන මධ්‍යස්ථාන, සතිපොළ, පදික වෙළඳාම ඇතුලු ක්‍ෂේත්‍රවලට අවසර ලබා නොදෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

හෙට (26) අලුයම පහේ (05:00) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුලු මුළු දිවයිනටම ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කිරීමට නියමිතයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ දින 66 කට පසුව වන අතර, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට හෙට (26) අලුයම පහට (05:00) ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යළි රාත්‍රි 10:00 සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අනිද්දා (27) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම හතර (04:00) දක්වායි.

‘හිරු ටී වී’ ඔස්සේ අද (25) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වදුරටත් සඳහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන කාලසීමාව තුළ ජනතාව ස්වයං පාලනයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

ඊට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ හෙට (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහනය සඳහා අවසර හිමිවන බවයි.

පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩි පිරිසක් රාජ්‍ය සේවයට හෙට (26) දිනයේ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් හා නිර්නායක අනුව අත්‍යවශ්‍යම සේවක පිරිසක් යොදාගනිමින් රාජ්‍ය ආයතනවල කටයුතු සිදුකරන බවයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් හා නිර්ණායක මත පෞද්ගලික ආයතනවල කටයුතුද හෙට (26) සිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා සේව්‍ය සංගමය ප්‍රකාශ කළා.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණද මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම කුලී රථවලින් තවදුරටත් ප්‍රවාහනය කළ හැක්කේ මගීන් දෙදෙනෙකු (02) පමණක් වන අතර, අවන්හල් සහ සිනමාශාලා තවදුරටත් වසා තැබෙනු ඇති.

එමෙන්ම මීටරයක සමාජ දුරස්ථභාවය තබාගැනීම මෙන්ම සුපිරි වෙළඳ සැල් තුළට සීමිත පාරිභෝගිකයන් පිරිසක් පමණක් ඇතුළත් කරගැනීම සිදුකළ යුතුවනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(25.05.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා අවධාරණය කළේ සෑමවිටම හැකි තරම් අඩු සංඛ්‍යාවක් සහභාගි කර ගත යුතු බවයි.

එසේම, උත්සවය පවත්වන කාලය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය බැවින් සාමාන්‍ය තත්ත්වය යටතේ ශාලාවට ඇතුළු කරන පුද්ගල සංඛ්‍යාවෙන් සියයට 40 නොඉක්මවන ලෙස පුද්ගලයින් ඇතුළු කළ යුතු බව ද මංගල උත්සව පැවැත්වීම සදහා මාර්ගෝපදේශන නිකුත් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා වැඩිදුරටත් සදහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම

(25.05.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ බොහෝ පිරිසක් විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටිනවා.

***************************************

රතු මිනිත්තුව : පාලමක් නැතිව දුක් විඳින නාමල්ඔය වැසියෝ

(25.05.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

වසර 8 ක් පුරා ඉබි ගමනින් ඉදිවන පාලමක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ඔය ගම්පහ – කොලනිය ජනපදයෙන් අපට වාර්තා වුණා.

අද (25) රතු මිනිත්තුව වෙන් වන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහායි.

***************************************

ගස් දෙකකට මැදි වු මෙදේරිපිටිය ගම්වාසීන්ගේ ජීවිත අවධානම

(24.05.2020 – 17:35 +0530 – sinhala.adaderana.lk)

මෙදේරිපිටිය, දොඹගොඩ ගම්මානයට යාමට ගිංගඟ හරහා පාලමක් නොමැතිකමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ගිංගඟ තරණය කරමින් තම දෛනික කටයුතු සිදු කරගැනීමට මෙදේරිපිටිය දොඹගොඩ ගම්වාසීන්ට සිදුවී ඇත.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව පිහිටි මෙම ගම්මානය මැදින් ගලාබසින ගිංගගෙන් මෙදේරිපිටිය සහ දොඹගොඩ ගම්මාන දෙක වෙන්වී ඇත.

ගිංගගෙන් මෙගොඩ පිහිටි මෙදේරිපිටිය ගම්මානයේ මෙදේරිපිටිය විදුහල, තැපැල් කාර්යාලය, ග්‍රාමීය රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන යන රජයේ ආයතන පිහිටා තිබීම නිසා ගිංගගේ එගොඩ පිහිටි දොඹගොඩ ගම්වාසීන්ට සහ පාසල් සිසුන්ට දෛනික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට දිනකට හත් අට වරක් ගිංගඟ තරණය කරමෙදේරිපිටිය ගම්මානයට පැමිණීමට සිදුවී ඇත.

මෙම ගම්මාන දෙකෙහි ජීවත්වන ගම්වාසීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය තේ වගාව සහ කිතුල් මල් මැදීමය.

තම අදායම් මාර්ග ඉපයීමේ කාර්යබහුල ජීවන රටාවක් ගෙනියන ගම්වාසීන්ට දිවා රෑ නොබලා ගිංගඟ තරණය කිරීමට සිදුව ඇත.

දොඹගොඩ, වතුගල, බටුකොටුවල ගම්මානවල ජීවත් වන පාසල් දරුවන් තම ජීවිතය පරදුවට තබා දිනපතා ගිංගඟ තරණය කර මෙදේරිපිටිය සහ පල්ලෙගම පාසලට යාමට සිදුව ඇත.

මේ නිසා තම දෙමව්පියන්ට තම දරුවන්ගේ ආරක්ෂාව පතා උදේ හවස ගංඉවුරට වී බලා සිටීමට සිදුව තිබේ.

උදැසන ගන් ඉවුරට පැමිණෙම මව්පියන් දරුවන් ගඟෙන් එගොඩ වූ පසු නැවත පාසල නිමවූ පසු ඔවුනට යලිත් ගැන ඉවුරට පැමිණීමට සිදුවෙයි.

ඔරු තොටුපල පිහිටි ස්ථානය ගිංගගේ අඩි විසිපහක්, තිහක් (25-30) ගැඹුරු ස්ථානයක් වන බවත් එම ස්ථානය නිතර බිලි ගන්නා ස්ථානයක් බැවින් තම දරුවන් බේරා ගැනීම මෙන්ම මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීමට ප්‍රදේශවාසීන් අනියත බියක් දක්වති.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශවලට නිරන්තර වැසි පතිත වීමෙන් ගිංගගේ ජල මටට්ම නොසිතු අයුරින් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එවැනි දිනවල මෙම ස්ථානයෙන් එගොඩ වීමට නොහැකිව දින දෙක තුනක් පමණ සිසුන්ගේ පාසල් ගමන නතර කිරීමට සිදුවන බව දෙමව්පියෝ පවසති.

මෙදේරිපිටිය ගම්මානයත් නිලල්ල ගම්මානයත් යා කරමින් එගොඩවීමට මෙම ස්ථානයේ ඉදිකර තිබුණු වල පාලම 2003 සිදුවූ ගංවතුරින් කඩා වැටී ඇත.

එදින සිට දශක දෙකකට අධික කාලය තෙක් වල පාලම ඉඳි කිරීමට පියවර නොගැනීම නිසා මෙම ගම්වාසීන් සහ පාසල් දරුවන්ද මෙසේ අනන්ත දුක්වින්ද ගිංගඟ තරණය කර තම දෛනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට සිදුව ඇත.

ගංවතුරෙන් වැනසුණු වල්පාලම නැවත සකස් කිරීමට ක්‍රියානොකිරීම නිසා ගම්වාසීන් විසින් විනාශ වු පාලමටමීටර් සියයක පමණ දුරින් පිහිටි පටු ස්ථනයක් තෝරාගෙන එහි ගස් දෙකක පැරණී පාලමේ කම්බි යොදා ඒ මත ලෑලි භාවිතා කරමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් එගොඩ මෙගොඩ වීමට සිදුවී ඇත.

එම ස්ථානයේ පිහිටි ගසේ භූගත කොටස ඉවුරු ඛාදනයත් සමඟ මේ වනට ගස් එක්පසකට ඇලවී දැඩි අවධානම් තත්වයක් එහි නිර්මාණය වී ඇත.

තම දූදරුවන්ට ජීවිත ආරක්ෂාව සපයා දෙමින් තමන්ට පිළිසරණක් මෙදේරිපිටිය ගම්මානයේ ජනතා වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *