සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

• COVID-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වෙයි

• මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද (26), 06 වන දිනටත් (විඩියෝ)

• සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් බල්ලා රිමාන්ඩ්

• ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි (විඩියෝ)

• ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (විඩියෝ)

• අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (27) තීරණය කෙරේ

• ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා (විඩියෝ)

• ඇවන්ඩ්ගාඩ් සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (විඩියෝ)

• ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක් (විඩියෝ)

• කුවේට් සිට පැමිණි 109 දෙනකු කොවිඩ් ආසාදිතයින් (විඩියෝ)

• ඊයේ (26) හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි

• රටම ඇරුණු දිනය (විඩියෝ)

• ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

• එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් (විඩියෝ)

• ජුනි මස සිට මෙරට ක්‍රීඩා කටයුතු අදියරෙන් අදියර ආරම්භ කරනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

• අගෝස්තු 1 වනදා සිට විදේශ සංචාරකයන්ට ගුවන්තොට විවෘත කිරීමේ යෝජනාවක්

• විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම වෛද්‍ය පීඨ සිසුන්ට පමණයි (විඩියෝ)

• ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 66,000 ඉක්මවයි

• කටාර් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

• මන්දට හසු වු කඳුකරයේ කළු කොටියා මුදා ගනියි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

(27.05.2020 – 06:45 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (26) රාත්‍රී 11:30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පසුගිය 25 දා තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම ඊයේ උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ ෴

+++++++++++++++

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (26) දිනයේ වාර්තා වී තිබේ.

ඒ ඊයේ (26) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1319 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (26) හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මීට අමතරව ඊයේ (26) දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ද වෙයි.

මෙරටින් මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් 1319 දෙනෙකුගෙන් ආසාදිතයින් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වෙයි

(26.05.2020 – 23:26 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද (26) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

රට විවෘත කිරීමත් සමග කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුලත් වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින (26) අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිත බව මෙහිදී සදහන් කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුලත් වාර්තාව COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව විසින් සකස් කර ඇත.

ඒ අනුව ඉදිරියේ දී මෙම වාර්තාවේ කරුණු පිළිබද ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා මාධ්‍ය මගින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම වාර්තාවේ ඇතුලත් කරුණු ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන් සමග සම්බන්ධීකරණය කරමින් ජනතාවට දෛනික කටයුතු කරගෙන යාම සදහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

මෙය පළාත් මට්ටමින් අධීක්ෂණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම සතියකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ජනතාව දැනුවත් කිරීම සදහාත්, සෞඛ්‍ය පණිවුඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන ලෙසට එම කාර්යාංශයේ නිලධාරීන්ට ද අමාත්‍යතුමීය උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය ෴

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද (26), 06 වන දිනටත්

(26.05.2020 – 23:05 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් සළකා බැලීම අද (26), 06 වන දිනටත් සිදුකෙරුණි.

ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

අද (26) දිනයේද අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියයි.

නීතිපතිවරයා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ඇය අධිකරණයට දන්වා සිටියේ 16, 17, 18 සහ 19 යන දින නිවාඩු දින ලෙස නම්කෙරුණේ ජනාධිපතිවරයා ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට දින කිහිපයක් ඉක්ම යාමෙන් පසුව බවයි.

නිවාඩු දිනවලදී නාමයෝජනා භාරගැනීම පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබුණද නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ඔවුන් ඒ පිළිබඳ කිසිදු විරෝධයක් දක්වා නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දෙවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම නිවේදනයක් අධිකරණයේ අවධානයට යොමුකරමින් ඇය සඳහන් කළේ එන්නතක් සොයාගත්තද නොමැතිවුවද සිය ජීවිත කාලය තුළ කොවිඩ් 19 සමග ජීවත්වීමට ලොවැසියන් අනුගත විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන්ගේ තර්කය වන්නේ සදහටම මැතිවරණ පැවැත්වීම අවදානම්සහගත බවද යන්න අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දෙවමුණි ද සිල්වා මහත්මිය ප්‍රශ්න කළේය.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද රහස්‍ය බුද්ධි වාර්තාවක්ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම වාර්තාව හරහා ඇය පෙන්වා දුන්නේ මැයි මස පළමුවනදා සිට අද (26) දක්වා බාහිර සාමාජයෙන් කිසිදු කොවිඩ් 19 අසාධිතයෙක් හඳුනාගෙන නොමැති බවයි.

එසේවුවද පිටරටින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමත් සමග නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන ආසාධිතයින් ඉහළ ගොස් ඇති බවද අදාළ බුද්ධි වාර්තාව ආශ්‍රෙයන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ අවධානයට යොමු කළේය.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නේ මෙම වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදෙන ලෙසයි.

මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට එම වාර්තාව කොමිසමට වැදගත් වනු ඇති බවට අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තැපැල් ඡන්ද ක්‍රියාවලිය මේ වනවිටත් ආරම්භ කර ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලිපියකින් දැනුම් දී ඇති බව මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදල හරහා රජයේ සේවා සඳහා මුදල් භාවිත කිරීමට ජනාධිපතිවරයාට පැහැදිළි ප්‍රතිපාදන ව්‍යවස්ථාවෙන් ලබාදී තිබියදී පෙත්සම්කරුවන් රජයේ සේවා යන වචනයට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණයක් ඉල්ලා ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා.

එහිදී ඇය පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවට අර්ථ නිරූපණ ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට කිසිදු බලයක් නොමැති අතර ඔවුන්ට අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු විය හැක්කේ සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇත්නම් පමණක් වන බවයි.

***************************************

සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් බල්ලා රිමාන්ඩ්

(26.05.2020 – 22:35 +0530 – sinhala.adaderana.lk)

= සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් අධිකාරී රිමාන්ඩ් =

මීගමුව පෙරියමුල්ලේදී ‘මැක්ස්’ නම් වූ සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (26)නියෝග කළේය.

ඒ, අදාළ නඩුව අද (26) යළිත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි ෴

***************************************

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(26.05.2020 – 21:27 +0530 – sinhala.adaderana.lk)

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළුත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් මහතා 55 වන වියේ පසු විය.

ඒ මහතාගේ දේහය මේ වන විට තලංගම රෝහලේ තැන්පත් කර ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

+++++++++++++++++++++

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට

(26.05.2020 – 22:37 +0530 – hirunews.lk/sinhala)

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති මහින්ද තලංගම රෝහලට පැමිණ තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභවප්‍රාප්ත වූවා. මියයන විට ඔහු පසුවූයේ 55 හැවිරිදි වියේයි.

මෙරට කඳුරට දේශපාලන භූමියේ ප්‍රතාවත් යෝධයෙකු වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙරට දේශපාලනයේ අත්පොත් තබන්නේ 1994 පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින්.

එවකට 30 හැවිරිදි වියේ පසු වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවර එළිය දිස්ත්‍රිත්කය ජයග්‍රහණය කරන්නේ මනාප ඡන්ද 75,297 ක් ලබා ගනිමින්.

එතැන් පටන් කඳුකර දේශපාලන පොර පිටියේ සිය අණසක පතුරවන තොණ්ඩමන් මහතා මිය යන තෙක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

වසර 26 ක් දික් වූ ඔහුගේ පාර්ලිමේන්තු නියෝජන කාලය තුළ ඔහු අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක්ම හොබවනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටවූ නව ආණ්ඩුවේ ඔහුට හිමිව තිබුණේ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඔහු අද (26) පෙරවරුවේ මෙරට නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා හමු වූ අතර අද (26) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුණ ගැසී තිබෙනවා.

සිය නිවසේ සිටියදී හෘදයාබාධයකට ලක් වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුලත් කෙරුණේ තලංගම ප්‍රාදේශිය රෝහලටයි.

අමාත්‍යවරයා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මේ වන විටත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් ඇතුලු දේශපාලන සගයින් රැසක් රෝහලට පැමිණ සිටිනවා.

+++++++++++++++++++++

ඊයේ (26) හදිසියේ අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම වූයේ වතුකරයේ ජනතාවට රු. 1000 දීමනාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (26) සවස ඔහු පැමිණ තමන් හමුවූ බවත් එහිදීද වතු කම්කරුවන්ට රු. 1000 දීමනාව ඇතුළු සහන දීම ගැන සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සැල වීමත් සමග ඊයේ (26) රාත්‍රියේ තලංගම රෝහලට පැමිණි අවස්ථාවේදීයි.

+++++++++++++++++++++

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (27) තීරණය කෙරේ

(27.05.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (27) තීරණය කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, පෙරවරු 10 ට පමණ දේහය බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

1964 මැයි මස 29 වන දා උපත ලද අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා. තුන් දරු පියෙකු වන මොහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්.

තලංගම රෝහලට රැගෙන යනු ලැබූ ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (26) රාත්‍රියේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එහි ගොස් තිබෙනවා.

මෙරට කඳුරට දේශපාලන භූමිකාවේ ප්‍රතාපවත් යෝධයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙරට දේශපාලනයට අත්පොත් තබන්නේ 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජය ගනිමින්.

එවකට 30 හැවිරිදි වියේ පසුවූ ආරුමුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ මනාප ඡන්ද 75,297 ක් ලබාගෙනයි.

එතැන් පටන් කඳුරට දේශපාලන පොර පිටියේ සිය අණසක පතුරුවන තොණ්ඩමන් අමාත්‍යවරයා මිය යන තෙක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

වසර 26 ක් පුරා පැවති ඔහුගේ දේශපාලන ගමනේ අවස්ථා කිහිපයකදී කැබිනට් අමාත්‍ය ධුරය ද හොඹවා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවේ ඔහුට හිමිව තිබුණේ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඊයේ (26) පෙරවරුවේ ඔහු නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ හමුවී ඇති අතර, පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබුණා.

පසුව සිය නිවසේ සිටියදී හෘදයාබාධයකට ලක්වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ඒ වන විටත් අමාත්‍යවරයා මිය ගොස් සිටි බවයි.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය සැලවීමෙන් පසුව කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ කාර්යාලයේ ඊයේ රාත්‍රියේ සිට පාක්ෂිකයින් රැසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා

(27.05.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පවසා තිබෙනවා.

මෙම මස (26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අභවප්‍රාප්ත වී තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යයමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත්වුනා.

අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබා, (28) දින පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර, පසුව දේහය කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමටයි අවමංගල කමිටුව තිරණය කර තිබෙන්නේ.

මෙම මස 29 දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් එදින එහි තැන්පත් කර තබා, 30 දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යනු ඇති.

31 දින ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍යය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය පවසන්නේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ඇවන්ඩ්ගාඩ් සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(26.05.2020 – 20:33 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි දිවුරුමක් දෙන්නේ නම් තමාව සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බවට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසු බව ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද (26) ඔහු මේ බව සඳහන් කළේය.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසිමාව තුළ සිදුවුවා යැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනිම සඳහා වන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේ ‘ඇවන්ට්ගාඩ් මෙරිටයින් සර්විසස්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (26) පෙරවරුවේ පෙනී සිටියේය.

ඒ ඔහු මීට පෙර සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දිම සඳහායි.

තමාගේ ව්‍යාපරය තුළින් මසකට රුපියල් මිලියන 500 ක ආදායමක් මෙරට රැගෙන ආ අතර 4500 කට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දුන් බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට පැහැදිලි කළේය.

කෙසේ වෙතත් 2015 ජනවාරි මස 08 වැනි දින යහපාලන රජය පත් විමෙන් දින 10 කට පසුව එනම් ජනවාරි මස 18 වැනි දින ගාල්ල වරාය පොලිස් ස්ථානය විසින් ගාල්ල වරාය අසල නැංගුරම්ලා තිබු ඇවන්ගාඩ් සමාගමට අයත් එම්.වි. මහනුවර පාවෙන අවි ගබඩාව පරික්ෂා කළ බවත් ඒ සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීති විරෝධි අවි ගබඩාවක් පවත්වාගෙන යාම යටතේ කරුණු වාර්තා කරමින් සිටි බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවේය.

කෙසේ වෙතත් ගාල්ල පොලිසිය විසින් පළමුවරට ඇවන්ට්ගාඩ් නෞකාව පරික්ෂා කිරිමට අදාළව ගාල්ල මහේස්තාත් අධිකරණය හමුවේ ගොනු කළ පළමු බි වාර්තාවට අදාළව වසර 5 ක් ගත වි මේ මොහොත වන විටත් කිසිඳු සැකකරුවෙකු නම් කර නොමැති බව නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කොමිසමට පෙන්වා දුන්නේය.

එසේම එවකට ගාල්ල ප්‍රෙද්ශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩි. ගුණවර්ධන මහතා එවකට අමාත්‍යවරයෙකුව සිටි රාජිත සේනාරත්න මහතාව පෞද්ගලිකව හමුවි උපදෙස් ලබා ගැනිමෙන් අනතුරුව ඇවන්ට්ගාඩ් නෞකාව අභූත නෞකාවක් ලෙස හඳුන්වමින් තවත් බි වාර්තාවක් ගොනු කර ඇති බව ද ජනාධිපති නිතිඥ වරයා පැවසුවේය.

මෙකි තමන්ට විරුද්ධව දේශපාලන පලිගැනිම් සිදුවූයේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව යම් නඩු කටයුත්තකට අලලා සිරගත කිරිමට බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එවකට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමන්ව ගෙන්වා ඇවන්ට්ගාඩ් සිදුවිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි සඳහන් කර දිවුරුමක් දෙන්නේ නම් සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් තමාව නිදහස් කරන බවට පැවසුවේ යැයි සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණ කළේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුකලක දිල්රුක්ෂි ඩයස් තමා අමතා සමාව ඉල්ලු බව ද දේශපාලනික බලපැම් මත තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරු බව ද සඳහන් කළ බවත් ඔහු සඳහන් කළේය.

***************************************

ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක්

(26.05.2020 – 19:44 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක් ඇතිවිය හැකි බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසුවේ ලාභය අඩු නිසා තමන් හාල් නිෂ්පාදනය වැඩි උනන්දුවක් නොමැති බවයි.

සහල් මාෆියාව සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක් වීය.

මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මාෆියාවට පිළියමක් ලෙස හෙට දිනයේදී සතොසට සහල් කිලෝ ලක්ෂයක් ලබාදෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර සහල් නිෂ්පාදයකයන්ගේ සංගමය පවසයි.

+++++++++++++++++++++

***************************************

කුවේට් සිට පැමිණි 109 දෙනකු කොවිඩ් ආසාදිතයින්

(26.05.2020 – 19:33 +0530 – sinhala.adaderana.lk)

කුවේට් හි සිට මෙරටට පැමිණි 466 දෙනා අතුරින් 109 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඊයේ (25) වාර්තා වූ ආසාදිතයින් හතලිස් එක් දෙනාගෙන් 40 දෙනෙකුම කුවේට් හි සිට පැමිණි අය වන අතර අද (26) හඳුනා ගැනුණු ආසාදිතයන් 24 දෙනාගෙන් 19 දෙනෙකුම එම පිරිසටම අයත්.

මේ අතර නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් සියයට පනහක්ම (50%) මේ වනවිට සම්පූර්ණ සුවය ලබා තිබීම විශේෂත්වයක්.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඊයේ (25) මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලය ආදාහනාගාරයේදී ඊයේ (25) රාත්‍රියේම සිදු කෙරුණි. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුවයි.

එය කොවිඩ් ආසාදනයෙන් මෙරට සිදු වූ 10 වැනි මරණය වන අතර මිය ගියේ කුවේට්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවක්.

පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇගේ ඥාතීන් පිරිසක් ඊයේ (25) ඇය බැලීම සඳහා සෞඛ්‍ය උපදෙස් නොතකා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබේ.

ඒ හේතුවෙන් එම පිරිස අද (26) පයාගල ප්‍රදේශයෙදිම නිරෝධායනයට යොමු කෙරුණා.

මිය ගිය එම කාන්තාව ඇතුළුව කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු එරට ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් පසුගිය 19 සහ 20 දෙදින මෙරටට පැමිණියේය.

ඔහුන් සියලු දෙනා නිරෝධායනය මධ්‍යස්තාන වෙත යොමු කරනු ලැබීය.

ඊයේ (25) හඳුනාගත් ආසාදිතයින් 41 ක් දෙනාගෙන් 40 දෙනෙකු ද කුවේට්හි සිට පැමිණි අයයි.

කුවේට් සිට පැමිණි පිරිස අතරින් තවත් ආසාදිතයින් 19 දෙනෙකු අද (26) පස්වරුවේ වාර්තා විය.

ඒ අනුව කුවේට් සිට පැමිණි අය අතුරින් 109 දෙනෙකු මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර කොවිඩ් අර්බුදය හමුවේ මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ අතර ඒ අනුව අද (26) අලුයම කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට, ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන ද අවලංගු කෙරුණි.

කෙසේ වෙතත් පසුව ලැබුණු අවසරය මත එම ගුවන් යානය හෙට (27) පෙරවරුවේ ඔවුන් රැගෙන මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටිව හෝ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදෙස්ගත ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි මස ගුවන් ගමන් සැලසුම් කරන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර කොවිඩ් -19 වසංගතයට මැදිවී රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 181 දෙනෙකු ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් ඊයේ (25) දිවයිනට රැගෙන එනු ලැබුවේය.

එම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනකු (02) ද පූනානී නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා (02) එම ගුවන් ගමන අතරතුර රුසියාවේ මොස්කව් නුවර සංචාරයක නිරතවීම හේතුවෙන්.

එමෙන්ම කොවිඩ් අර්බුදයට මැදි වී දකුණු අප්‍රිකාවේ මාස දෙකක (02) පමණ කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගුවන් තාක්ෂණ නිලධාරියෙකු ද ඊයේ (25) දිවයිනට පැමිණියාය.

ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ රැකියාවේ නිරත අතර වැඩිදුර පුහුණුවක් සඳහා දකුණු අප්‍රිකාවට ගොස් තිබේ.

දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි බලා පැමිණි ඔහු එහි සිට මෙරටට පැමිණ ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින්.

අද (26) පස්වරු 04 වනවිට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 628 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ.

එය සියයට 52.38 ක ප්‍රතිශතයක්.

දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 390 දෙනා ප්‍රතිශතයක් ලෙස සියයට 32.52 ක්.

විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 181 ක් ලෙස ඉහළ ගොස් තිබෙන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 15.10 ක්.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා පළමු ආසාදිත නාවික සෙබළා හඳුනාගැනීමේ සිට මෙවන විට දින 34 ක් ගත වී තිබේ.

අදත් තවත් ආසාදිතයන් 5 දෙනෙකු නාවික හමුදාවෙන් වාර්තා වූයේ ආසාදිත සමස්ත නාවික සෙබළ සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ නංවමින්.

කෙසේ වෙතත් තවත් නාවික සෙබළුන් 19 දෙනෙකු අද (26) සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 332 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගීන් ගණන 1201 ක්.

අද (26) තවත් 17 දෙනෙකු පුර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ගණන 712 ක් දක්වා වැඩි වී තිබේ. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 59.38 ක් වේ.

ආසාදිතයින් 479 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 39.78 ක ප්‍රතිශතයක්.

මරණ 10 මේරටින් වර්තාවන අතර එය ප්‍රතිශතයක් ලෙස පවතින්නේ සියයට 0.83 ක තරම් සුළු අගයකයි.

කෙසේවෙතත් තවදුරටත් හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කර දෛනිකව PCR පරීක්ෂණ සිදුකරනු ලබයි.

ඒ අනුව අද (26) උදෑසන වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රදේශවාසින්ගෙන් අහඹු ලෙස තෝරාගත් 30 දෙනෙකුගේ ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබාගැනුණි.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 26 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැත.

මේ අතර මින්නේරිය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත කොවිඩ්-19 ආසාදිතයින් රැගෙන එමින් සිටි ගිලන් රථ 4 ක් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ අද (26) පස්වරුවේ අනතුරකට ලක් විය.

ගිලන් රථ හතක් (07) පැමිණ ඇති අතර ඉදිරියෙන් ආ රථයේ රියදුරු වේගය අඩු කිරීම නිසා ගිලන් රථ 04 ක් එකිනෙක ගැටී තිබේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ආසාදිතයන් ආරක්ෂාකාරීව වෙනත් ගිලන් රථ කිහිපයකින් හෝමාගම මුලික රෝහලට ගෙන ගියේය.

මේ අතර ඉරණමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට යාපන ශික්ෂණ රෝහල වෙත කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු (03) රැගෙන යමින් සිටි ගිලන් රථයක් අද (26) පස්වරුවේ ඒ-9 මාර්ගයේ තෙම්මරාච්චි ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබුණි. ඒ ගිලන් රථය ටිපර් රථයක ගැටීමෙන්. පසුව චාවකච්චේරිය මුලික රෝහලේ ගිලන් රථයක් මගින් එම ආසාදිතයින් තිදෙනා යාපනය රෝහල වෙත රැගෙන ගියේය.

+++++++++++++++++++++++++++++++++++

ඊයේ (26) හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි

(27.05.2020 – 07:21 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ (26) හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,319 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ආරම්භ කළ දින සිට ‘දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව’ වනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ එම ආසාදිතයන් අතරින් 127 දෙනෙකු කුවේට් සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් සංඛ්‍යාව 217 ක්.

එසේම ඊයේ (26) දිනයේදී හඳුනාගත් අනෙක් ආසාදිතයන් 10 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 638 ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 597ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 712 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

රටම ඇරුණු දිනය

(26.05.2020 – 19:27 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 20 වන දින සිට දින 67ක කාලයක් පනවා තිබූ ඇඳිරි නීතිය අද (26) පළමු වරට මුළු දිවයිනටම ලිහිල් කෙරුණි.

සියලුම දිස්ත්‍රික් සඳහා අද (26) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 04 දක්වා පමණයි.

දින 67 ක් මුළුල්ලේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ඇතුළුව සමස්ත දිවයිනේම ඇඳිරි නීතිය අද (26) සිට ලිහිල් කෙරුණි.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ රාජකාරි කටයුතු සඳහා කොළඹට පැමිණීමට කාර්යාල දුම්රිය 28 ක් හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 02 ක් අද (26) යෙදවූ බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේය.

උෂ්ණත්ව පරික්ෂාව හා විෂබීජහරණ කටයුතු හේතුවෙන් කල්වේලා ඇතිව දුම්රිය ස්ථාන වෙත පැමිණෙන්නැයි කළ දැනුම්දීම අනුව අලුයම සිට විශාල පිරිසක් දුම්රිය ස්ථාන අසල රැඳී සිටියේය.

මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රවේශ දොරටුව අසල අද (26) දක්නට ලැබුණේ දැඩි තදබදයක්.

නියමිත වේලාවට දුම්රිය නොපැමිණීමෙන් රාජකාරි කටයුතු සඳහා කොළඹ යාමට අපේක්ෂාවෙන් සිටි අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මගීන් පැය 02 ක පමණ කාලයක් අද (26) අසීරුතාවට මුහුණ පා සිටියේය.

මේ හේතුවෙන් දුම්රිය මගීන් දුම්රිය මාර්ගයටම පැමිණ විරෝධතාවක් ආරම්භ කළේය.

එම අවස්ථාවේ අදාළ දුම්රිය ස්ථානය වෙත පැමිණියේ නගරාන්තර දුම්රියක්.

එම දුම්රියෙන් ද ඔවුන්ට ගමන් කිරීමට අවස්ථාව නොලැබුණු අතර දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ වන විට බෙලිඅත්තේ සිට කොළඹට ගමන් කරමින් තිබූ දුම්රියෙන් යාමට මගීන්ට ඉඩ සලසනු ලැබුවේය.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික් අතර අන්තර් පළාත් බස් රථ ධාවනය අද (26) ආරම්භ වූ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000 කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පෞද්ගලික බස්රථ ධාවනය අද (26) සිදු කෙරුණේ සාමාන්‍ය ප්‍රමාණයෙන් සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයකින් බවයි.

දුර සිට පැමිණෙන බස්රථවල සියලු ආසනවල මගීන් සිටීම නිසා බොහෝ මගීන්ට බස්නැවතුම්පොළවල පැය ගණනක් රැඳී සිටීමට සිදුවිය.

ගමනාගමනය සඳහා බස්රථ භාවිතයේදී සමාජ දුරස්ථභාවය පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කළ අවස්ථා අද (26) දක්නට ලැබුණි.

මේ අතර පිටකොටුව ප්‍රදේශයේ සේවා සපයන නාට්ටාමිවරුන් සඳහා මුඛ ආවරණ සහ විශේෂ ඇඳුම් කට්ටල නොමිලේ බෙදාදීම අද (26) සිදු කෙරුණි.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයින් සොයා පිටකොටුව ප්‍රදේශයේදී වේල්ලවීදිය පොලිස් නිලධාරීන් මගින් අද (26) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව පදික වෙළඳාම, හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට අද (26) අවසර නොතිබුණත් පිටකොටුවේ ඇතැම් පදික වෙළෙදුන් අද (26) ඔවුන්ගේ වෙළඳාම් කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර කොළඹ නගරයේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කළ බව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (26) ප්‍රකාශ කළේය.

මේ අතර දිවයිනේ සියලු වෛද්‍ය පීඨවල අවසන් වසරේ සිසුන්ගේ විභාග පැවැත්වීම සඳහා පමණක් ජුනි 15 සිට විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් පිළියන්දල, ගල්කිස්ස හා නුගේගොඩ ප්‍රදේශවල රැඳී සිටි 2000 ක පමණ පිරිසක් ඔවුන්ගේ ගම්බිම් වෙත යළි පිටත් කර යැවීම පොලිසියේ මැදිහත් වීමෙන් අද (26) සිදු කෙරුණි.

ඔවුන් වෙනුවෙන් විශේෂ දුම්රියක්ද ගල්කිස්සේ සිට යොදවා තිබූ අතර ඉකුත් මාසයක කාලය තුළ පොලිසියේ මැදිහත් වීමෙන් මෙලෙස ගම්බිම් වෙත පිටත් කෙරුණු සමස්ත පුද්ගලයින් ගණන 20,000 කට ආසන්නයි.

මේ අතර කොවිඩ් මර්දනය පිළිබඳ විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් විය.

***************************************

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

(26.05.2020 – 17:57 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අද (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි.

ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මොහාන් ද සිල්වා මහතා පවසයි.

ඔහු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේය ෴

***************************************

එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක්

(26.05.2020 – 17:49 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.

හෙට (27) පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ.

වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ කෙරිණ.

චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට පැමිණියහ. නිරෝධායනයෙන් පසු ඔව්හු නිවෙස් බලා ගියහ.

වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා සිය රට ළඟා වූහ.

ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20 ක සිට මෙසේ ගෙන්වා ගත් පිරිස 5485 දෙනෙකි.

ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අය වූහ.

PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි.

එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22 ක් ආසාදිතයන් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150 ක් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූහ. තවත් 300 කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

කුවේට්හි සිට සිය රට ආ සියලු දෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය වෙති. ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීමද අවශ්‍යතාවකි.

මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය විය. ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට (27) පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගී වෙති ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජුනි මස සිට මෙරට ක්‍රීඩා කටයුතු අදියරෙන් අදියර ආරම්භ කරනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(26.05.2020 – 17:38 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන ජුනි මස 01 දා සිට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළිත් නඟා සිටුවීමේ ජාතික මෙහෙවරට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කළ, කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීමේ අති නවීන පී.සී.ආර්. (PCR) යන්ත්‍රයක් හා ඊට අදාල පරීක්ෂණ කට්ටල ඇතුළු රු මිලියන 15 ක් වටිනා සෞඛ්‍ය උපකරණ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් මුල් අවස්ථාවේදීම පළමු තීන්දුව ලෙස පාසල් වසා තැබීමට පියවර ගත් ලෙසින්ම, රටේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුව ලැබෙන පළමු අවස්ථාවේදීම පාසල් නැවත විවෘත කිරීමේ තීරණය ගන්නා බවයි.

දරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවත්, පෞද්ගලික පරිත්‍යාගශීලීන්, ජාත්‍යන්තර ආයතන මේ සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගය කෘතවේදි ව අගය කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ක්‍රිකට් පාලන ආයතනයක් සමඟ කොන්දේසි විරහිතව ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එකඟත්වය පළ කර සිටින බවත් පැවසීය.

එමෙන්ම ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ යෝජනා, පාසල් පද්ධතිය තුළ ක්‍රීඩකයින් වේලාසනින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි යෝජනා, අතරමග නතර වූ සංවර්ධන වැඩසටහන්, වැඩි දියුණු කළ යුතු විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් ලබා දීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් කේ. ඩී රුවන් චන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඊ. ඒ. එල්. සී. කේ. එදිරිසිංහ මහතා, ඇතුළු පිරිසක් එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

අගෝස්තු 1 වනදා සිට විදේශ සංචාරකයන්ට ගුවන්තොට විවෘත කිරීමේ යෝජනාවක්

(26.05.2020 – 16:33 +0530 – sinhala.adaderana.lk)

රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.

අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති.

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතී. ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ.

එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ.

සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ” ජනාධිපතිවරයා කීය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම වෛද්‍ය පීඨ සිසුන්ට පමණයි

(26.05.2020 – 15:26 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා පමණක් ලබන මස 15 වන දින විශ්ව විද්‍යාල විවෘත කිරීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෛද්‍යපීඨවල අවසන් වසර විභාග සදහා පෙනී සිටින සිසුන් සදහා පමණක් මෙලෙස විශ්ව විද්‍යාලවිවෘත කිරීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

විශ්ව විද්‍යාල විවෘත කිරීමෙන් පසු එම සිසුන් සති දෙකකනිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙන අතර ඉන් පසුව විභාග පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේය.

නේවාසිකාගාරවල රැදී සිටීමේදී එක් සිසුවෙකුට එක් කාමරයක් බැගින් ලබාදීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.

මෙම ක්‍රියාවලියෙන් අනතුරුව සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අවසන් වසරේ සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 66,000 ඉක්මවයි

(27.05.2020 – 07:31 +0530 – sinhala.adaderana.lk)

මාර්තු මස 20 වන දින සිට අද (27) අළුයම 04:00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,695 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ (25) රාත්‍රී 10:00 සිට අද (27) අළුයම 04:00 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පුද්ගලයින් 411 ක් හා වාහන 81 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද (27) දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 21,225 ක් වෙයි.

නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 8362 කි ෴

+++++++++++++++++++++++++++++++++++

කටාර් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(27.05.2020 – 06:40 +0530 – sinhala.adaderana.lk)

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අළුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් කටාර් රාජ්‍යයේ, දෝහා සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද (27) අළුයම 05:40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258 ක අසුන් ගෙන සිටි අතර, ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු (04) ද සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව, ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමඟ විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළහ.

ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි ෴

***************************************

මන්දට හසු වු කඳුකරයේ කළු කොටියා මුදා ගනියි

(26.05.2020 – 15:55 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට වනජිවි නිලධාරින් අද (26) දින පස්වරුවේ සමත් විය.

උඩවලව අත් ඇතුරු සෙවන පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යය මාලක අබේවර්ධන මහතා සහ රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යය අකලංක පිණිදෙණිය යන මහතුන් විසින් මන්දට හසු වි සිටි කළු කොටියාව නිර්වින්දනය කර මන්ද ගලවා තුවාල ලබා සිටි කළු කොටියාව ප්‍රතිකාර ලබා දීම සදහා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගිය බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතු යායේ වාලමලේ කොටස් වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සඳහා කම්බියකින් අටවන ලද මන්දකටයි කළු කොටියා හසු වි තිබුණේ.

අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 ක් සහ උසින් අඩි 4 ක ප්‍රමාණයකින් යුතු මන්දට හසු වී සිටි කළු කොටියා පිරිමි සතෙකු බවත්, කොටියා හොදින් වැඩුණු සතෙකු බවත් වනජිවි නිලධාරින් පවසා ඇත.

එලවළු වගා භුමිය ආසන්නයේම පිහිටි වතු නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරිම සඳහා කළු කොටියා පැමිණි අවස්තාවේ අටවා තිබු මන්දට හසුවන්නට ඇති බව වනජිවි නිලධාරින් සැකකරයි.

කොටියෙකු කැ ගසන ශබ්දය ඇසි වතු කම්කරුවන් එ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු උඩවලව අත් ඇතුරු සෙවන පශු වෛද්‍යය රෝහලේ වෛදයවරයාගේ සහයෝගය ලබා ගැනිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

මුදාගත් කළු කොටියා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දි කළු කොටියාට ශ්‍රි පාද රක්ෂිතයටම මුදා හරින බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසා ඇත.

ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත්, ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත්, මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසා තිබේ.

***************************************

රතු මිනිත්තුව : කණ කොකා හැඬූ දියබෙදුම පාසල

(26.05.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව – දියබෙදුම – ඉරහඳ කෙටුව වැව ප්‍රදේශයේ පාසලක් පිළිබඳව අපට වාර්තා වුණා.

***************************************

https://www.youtube.com/watch?v=vorQbsa7NaQ
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *