‘හිරු CIA’ : ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන

(27.05.2020 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන එල්ල වූ බව පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා.

පුදබිම අවට ඉඩම් ආක්‍රමණය පිළිබඳ ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු එම පුදබිම වෙත පැමිණි රාජ්‍ය නිලධාරීන් එම තර්ජනය පිළිබඳ පළමුවරට කරුණු හෙළිකළා.

***************************************

තවත් ආසාදිතයින් 81 ක් – මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට

(27.05.2020 – 20:50 +0530 – sinhala.adaderana.lk)

අද (27) රාත්‍රී 08:30 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1453 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 711 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙලෙස හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් 81 දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එමෙන්ම අද (27) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 25 දා නව කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

+++++++++++++++++++++++++++++++++++

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක්

(27.05.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට (28) දිනය දක්වා කල් තැබුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද (27) හත්වන දිනටත් සළකා බැලුනු අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා අද (27) එම කරුණු දැක්වීම් අවසන් කළා.

නීතිපති දප්පුල ද ලිවේරා

අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත්වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ, මහාචාර්ය පණ්ඩුල ඇදගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා කරුණු දැක්වූවා.

ඔහු එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, මාර්තු 2 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි.

එම ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දින සිට මාස 3 ක් තුළ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන සළසා නොමැති බවයි.

එමෙන්ම විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියද එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කිසිදු අවසරයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා කියා සිටියේ මහ මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමට ස්වාධීනව තීන්දුවක් ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි.

එසේ තිබියදී මහ මැතිවරණය සඳහා දින නියම කිරීමට සහ මනාප අංක නිකුත් කිරීමේ කාර්යයට මැතිවරණ කොමිසම තවදුරටත් කාලය ඉල්ලා සිටීම විමතියට හේතුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එතුළින් මැතිවරණ කොමිසම හා පෙත්සම්කරුවන් එක්ව මහ මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබේද යන ගැටළුව මතුවන බව ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත්කරන කරුණුවල පරස්පරතා දක්නට ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වලින් ඉල්ලා ඇති පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ කෙලෙසදැයි ඔහු ප්‍රශ්න කළා.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලබන පාර්ලිමේන්තුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සුවිශේෂී අවස්ථාවන් වලදී හැර යළි කැඳවීමට හැකියාවක් නොමැති බවයි නීතීඥවරයා අවධාරණය කළේ.

අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම හෙට (28) පෙරවරු 10 තෙක් කල් තැබුණු අතර, හෙට (28) අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතයි.

මේ අතර කොවිඞ් 19 පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති සාමූහික පියවර පිළිබඳ පූර්ණ වාර්තා තුනක් නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ (26) සහ අද (27) දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බව ජනාධිපති අතිරේක ලේකම් නීති – අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළා.

***************************************

ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑළියට ජීවන් තොණ්ඩමන්

(27.05.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාට නාමයෝජනා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය ඉල්ලාසිට ඇතිබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++

+++++++++++++++++++++

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තුවට

(28.05.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන ඒමට නියමිතයි.

දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා එය උදෑසන 10:45 සිට විනාඩි 15 ක කාලයක් එහි තැන්පත් කර තැබෙනු ඇති.

අනතුරුව පස්වරු දෙකට (02:00) දේහය කොල්ලුපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිත අතර, පසුව හෙට (29) පස්වරු හතට (07:00), දේහය රම්බොඩ – වැවන්ඩන් වතුයායේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

මේ මස 30 වනදා අමාත්‍යවරයාගේ දේහය හැටන් – කොටගල පිහිටි නිවසටද රැගෙන යන අතර, 31 වනදා නෝවුඩ් ක්‍රීඩාංගනයේදී පස්වරු 03:00 ට අවසන් කටයුතු සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය පිළිබඳ සැළවීමත් සමඟ තමා ශෝකයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු තොණ්ඩමන් අමාතවරයාගේ පවුලේ සාමාජිකයින්ට සිය කණගාටුව පළ කළා.

එමෙන්ම අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය ඊයේ (27) තීරණය කර තිබෙනවා.

අදාළ තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (27) දැනුම්දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා එම කොංග්‍රසයට දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය කැබිනට් රැස්වීම්වලදී වතුකරයේ දමිල ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සම්බන්ධයෙන් ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා ෴

***************************************

ඉදිරි පැය තිස් හයේත් (36) පළාත් රැසකට වැසි – ප්‍රධාන ගංගා 05 ක ගංවතුර අවදානමක්

(27.05.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල එහිදී මිලිමීටර 150 කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල හෙට සවස දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවද අදාළ නිවේදනයේ දැක්වුණා.

ඊයේ (26) රාත්‍රියේ කලවාන ඇතුළු ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් විවෘත කළ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තවමත් වසා දමා නැහැ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අඛණ්ඩව වැසි ඇද හැලුණහොත් කැළණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලුඔය පහළ නිම්නවල ජීවත් වන ජනතාව ගං වතුර තත්ත්වයන් පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.

එසේම රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව තවදුරටත් නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

***************************************

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තවත් රෝහල් දෙකක් (02)

(27.05.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් රෝහල් දෙකක් යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල මෙලෙස යොදාගැනෙන අතර, කුවේට් ඇතුලු විදෙස් රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිකාර කිරීම සහ අනෙකුත් කටයුතු සිදුකිරීම සඳහා මෙම රෝහල් වෙන් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ.

කොරෝනා ආසාදනය වී රෝහල් ගතකිරීමෙන් පසු සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 732 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (27) පෙරවරු 10 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ සුවය ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු පිටව යාමත් සමඟයි.

ඉන් 10 දෙනෙකු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් පිරිස මුල්ලේරියාව, මිනුවන්ගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූවන්.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරන අවස්ථාවේදී එහි සිටි නාවික හමුදා සාමාජිකයින් 4,000 ක් පමණ නිරෝධායනය සඳහා එම කඳවුරෙන් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට එම කඳවුර විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු වෙනත් නාවික භට කණ්ඩායමක් ඊට අනුයුක්ත කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නාවික හමුදා ආසාදිත පොකුර පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ වනවිට විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 333 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.

ඊයේ (26) වාර්තාවූ කොරෝනා ආසාදිත පුද්ගලයන් 137 ත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,319 දක්වා ඉහළ ගිය අතර, ඉන් 127 දෙනෙකුම කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ අය වනවා.

කුවේට් – ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසන්නේ විසා රහිතව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

මේ වන විට එම පිරිසෙන් කාන්තාවක් ඇතුලු හතරදෙනෙකු (04) වෛරසය අසාදනය වීමෙන් මියගොස් ඇති බව එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත එරට සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළා.

කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවටයි.

නමුත් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේදී රජය නිසි අවධානය යොමු කරමින් ඔවුන් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

***************************************

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(27.05.2020 – 17:52 +0530 – sinhala.adaderana.lk)

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ, ජනාධිපති, අගමැති, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මහා පරිමාන මෝල් හිමියන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

‍පසුගිය දින කිහිපය තුළ සහල් මිල සම්බන්ධයෙන් මහාපරිමාණ මෝල් හිමියන් සහා රජය අතර විවිධ අදහස් හුවමාරු විය.

එවන් පසුබිමක අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ මහා පරිමාණ මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

• ඒ අනුව රුපියල් 90 ට පැවැති නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක් දක්වා ඉහළ යනු ඇති.

• සම්බා කිලෝවක් රුපියල් 08 කින් ඉහළ දැමීමට මෙහිදී එකඟ වී ඇති අතර එහි නව මිල රුපියල් 98 ක්.

• රුපියල් 125 ක් වූ කීරි සම්බා කිලෝවක මිලෙහි කිසිඳු වෙනසක් සිදුවන්නේ නැත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පැවසුවේ, රුපියල් 50 ක් වූ වී වල සහතික මිල අඛන්ඩව පවත්වා ගෙන යාමටත්, වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමටත් රජය මෙම තිරණය ගත් බවයි.

මේ අතර ලංකා සතොසින් සහල් කිලෝ 05 ක් පමණක් එකවර ලබාදීමට තීරණය කළ බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

+++++++++++++++++++++++++++++++++++

ජල සහ විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළුවලට පිළිතුරක්

(27.05.2020 – 17:09 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මාසයට සමාන විදුලි බිලක් මාර්තු මාසය සඳහා ද ගෙවන ලෙසට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය දැනුම්දෙනවා.

එහි සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා කියාසිටියේ පසුගිය කාලසීමාව තුල සියලු දෙනා නිවෙස්වල සිටීම හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ යාම හමුවේ විදුලිබිල වැඩිවීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම බිල්පත් ගැටලු සඳහා 1987 අංකයට පැමිණිලි කළ හැකි බව ද සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර ලැබී ඇති ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීමක් සිදු කළ හොත් කිසියම් සහනයක් ලබාදිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි බිල් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා කියාසිටියේ මෙම මාසය තුල බිල්පත් ගෙවීමේ දී ප්‍රමාද ගාස්තු අය කිරීමක් ද සිදු නොකරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් – බස් සංගමයකින් තවත් යෝජනාවක්

(28.05.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

විවිධ නගරවල සිට අදත් (28) දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සාමාන්‍ය ජනතාවට ගමන් කළ හැකි ආකාරයට බදුල්ල සහ මහනුවර අතර දුම්රිය දෙකක් අද (28) සිට යොදවන බවයි.

එසේම කොරෝනා ව්‍යාප්තිය සිදුවූ මුල් අවස්ථාවේදී ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මගීන්ට නොමිලේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහා විමර්ශණයක් ආරම්භ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා දුම්රිය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ අනුව විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් යටතේ අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ.

පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ඉදිරිපත්වීම අවම මට්ටමක පැවතියත් ශ්‍රී ලංගමය යොදා හැකි උපරිමයෙන් ධාවන කටයුතු සිදුකරන බව ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර පෞද්ගලික බස් රථවල මගීන් අවම ප්‍රතිශතයක් ගමන් කිරීමේ අර්බුදය විසඳීමට නම් රාජ්‍ය ආයතනද කඩිනමින් යථා තත්ත්වයට පත් කරන්නැයි බස් සංගම් රජයට යෝජනා කරනවා.

එම යෝජනාව සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන කඩිනමින් විවෘත කරන ලෙසයි. එමඟින් මගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු සඳහන් කළා.

රාජ්‍ය ආයතන විවෘත නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන රීතීන් ආරක්ෂා කිරීම තවමත් සතුටුදායක මට්ටමක නොපවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක්

(28.05.2020 – 09:52 +0530 – hirunews.lk/sinhala)

මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් පිළිබඳ ඊයේ (27) පැවති රැස්වීමකදී සාකච්ඡා වූ බව ජනාධිපති අතිරේක ලේකම් (විදේශ සබඳතා) අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඒ, ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (28) සම්බන්ධ වෙමින්.

ඔහු කියා සිටියේ එකදිගට දිනපතා ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට, කඩින් කඩ ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බඳු ඉහල නොදැමීමේ තීරණයක්

(28.05.2020 – 10:32 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (28) පෙරවරුවේ එක්වෙමින් කියා සිටියේ විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

(28.05.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහකා ප්‍රකාශකළා.

ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ අමාත්‍යවරයා අතර ඊයේ (27) පැවති සාකච්ඡාවක දීයි ඔහු මේ බව සදහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

1. Click on Image.

2. Use ‘Ctrl’ + ‘+’ keys to increase the size of the Image.

+++++++++++++++++++++++++++++++++++

‘ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ’ ශේෂය රුපියල් මිලියන 1182 දක්වා ඉහළට

(27.05.2020 – 22:12 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල හැඩිගම, ශ්‍රි සුදර්ශණාරාමයාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාකියාදෙණියේ පේමරතන හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල, වෑවල, උද්යෝගිපුර, ශ්‍රි විජයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර හේමාලෝක නා හිමි රුපියල් ලක්ෂයක්, නිවිතිගල ශාසනාරක්ෂක බල මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 140,000 ක් පූජ්‍ය කෝංපිටියේ සුසීල හිමි අරමුදලට පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

Siam City Cement (Lanka) ltd ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 05 ක් සහ පානදුර ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභා අරමුදලින් හා මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් ලබාදුන් රුපියල් 785,000 ට අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

NSBM (National School of Business Management) ආයතනය රුපියල් මිලියන 10 ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන අතර අදාළ චෙක්පත ජනාධිපතිතුවරයා පිළිගැන්වීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහපේරුම යන මහත්වරු ද එක්ව සිටියහ.

තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පරිත්‍යාග සමග රුපියල් මිලියන 20 ක්, ශ්‍රී ලංකා පදනම කාර්ය මණ්ඩල පරිත්‍යාග සමග රුපියල් 227,453 ක් අරමුදලට පිරිනමා තිබෙන අතර අදාළ චෙක්පත් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රුපියල් 132,743 ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය රුපියල් 1,832,535 ක්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 1,589,189 ක් , ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය රුපියල් 746,888 ක්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 410,757 ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් අදාළ චෙක්පත් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

වෙල්පල්ල, රද්දලාන – නාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය බිබිලදෙණියේ ධම්මප්පිය හිමි රුපියල් ලක්ෂයක්, South Asia Gateway Terminals පෞද්ගලික ආයතනය රුපියල් 2,225,982 ක්, මාවනැල්ල Ceylon Experts Recruitment & Travel රුපියල් ලක්ෂයක්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ ආයතනය රුපියල් මිලියනයක් ද, Spin Riders ආයතනය රුපියල් 105,000 ක්, කොළඹ 08, Aban Pestonjee මහත්මිය රුපියල් ලක්ෂයක පෞද්ගලික පරිත්‍යාගයක් සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය රුපියල් 250,000 ක් අරමුදලට පාරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,182,013,690.09 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක : 076 070 0700 / 011 232 0880/ 011 235 4340 / 011 242 4012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *