අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියේ අඩසියවස සමරයි

(27.05.2020 – 17:30 +0530 – hirunews.lk/sinhala)

නායකත්වය, නොපසුබස්නා උත්සහය මෙන්ම දේශපාලන දිවියේ අත්දැකීම් රැසකින් හෙබි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර 50 ක් සපිරෙනවා.

සිය අඩසියවසක පාර්ලිමේන්තු දිවිය පුරා වත්මන් අගමැතිතුමන් ප්‍රදර්ශනය කළේ විශිෂ්ට දේශපාලනඥයෙකු තුළ පමණක් නොව උතුම් මිනිසෙකු තුළද පැවතිය යුතු ගුණාංගයි.

මේ අගමැතිතුමන්ගේ ඒ විශිෂ්ටත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රණාම සටහනක්.

1945 නොවැම්බර් 18 වැනිදා මැදමුලනේදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩාකල පටන්ම නොමඳව ලැබුණා.

එලෙස හැදී වැඩෙන මහින්ද රාජපක්ෂ තරුණයා බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට මුල්වරට තරග කරන්නේ 1970 වසරේදී. ඒවන විට මහින්ද රාජපක්ෂ මහතා 25 වියැති තරුණයෙක්.

රාජපක්ෂ පරපුරට උරුම වූ දකුණේ උරුමය කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද මහතා ඡන්ද 23,103 ක් ලබාගන්නවා.

ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියාට ලැබෙන්නේ ඡන්ද 16,477 ක් පමණයි.

එලෙස මහින්ද රාජපක්ෂ මහතා තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

7 වැනි පාර්ලිමේන්තුවෙන් එලෙස පන්නරය ලබාගන්නා මහින්ද රාජපක්ෂ මහතාට 1977දී සිය බෙලිඅත්ත මන්ත්‍රී අසුන අහිමිවෙනවා.

නමුත් ඔහු ඒවන විට ජය පරාජයේ වෙනස අවබෝධ කරගෙන හමාරයි.

යළිත් දේශපාලන සටන් බිමට එන මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයෙකු ලෙසද කටයුතු කළා.

සිය අඩසියවසක දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රට සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට අධිවේගී මාර්ග සංකල්පයද හඳුන්වා දුන්නා.

ග්‍රාමිය මාර්ග සංවර්ධනය කිරීමත්, මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චින්තනයේ තවත් එක් සුවිශේෂී අංගයක් වුණා.

මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම හරහා ලක්මව සංවර්ධනයේ පියවරෙන් පියවර ඉදිරියට තැබුවේ එතුමන්ගේ සංවර්ධන උපායමාර්ග ඔස්සේයි.

එක්සත් ජාතීන්ගේ සමුළුව මව්බසින් අමතමින් ලෝකයට ශ්‍රි ලාංකීය ගුණ සුවද විහිදුවාලූ මේ අසාහය නායකයා තරුණ නිපුණතා දිනය ජගත් සංවිධානයට යෝජනා කරමින් ලොව පුරා තරුණ පරපුරට නව අධිෂ්ඨානයක් උදාකර දුන්නා.

ජනතා මෙහෙවරේ අභියෝග උර මත දරමින් දේශපාලනයේ හරසුන්, විවේචන සහ අපහාස මඳ සිනාවෙන් ඉවසන මේ ජනතා සේවකයා රටේ සමස්ත දරු පරපුරටම පියෙකු බව නොරහසක්.

එලෙස මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය තුළින් යළිත් අගමැති ධුරයට තේරී පත්වෙමින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට ආලෝකයක් ලබාදෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා දකුණු ආසියාවටම දේශපාලන ගුරුහරුකම් ලබාදෙන ජීවමාන සරසවියක් බව නොකියාම බැහැ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *