ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි

(28.05.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala)

ජූනි 06 වනදා සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ඇතුලත් නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර තිබෙනවා.

• ඒ අනුව මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

• ජූනි 01 වනදා සඳුදා සිට ජූනි 03 වනදා බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10:00 සිට අළුයම 04:00 දක්වා පමණයි.

• ජූනි 04 වනදා බ්‍රහස්පතින්දා සහ ජූනි 05 වනදා සිකුරාදා දෙදිනම (2) රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

• ජූනි 06 වනදා සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10:00 සිට අළුයම 04:00 දක්වා පමනයි.

• කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා – 200 ක් නිරෝධායනයට

(28.05.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව – සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ගොඩනැගිල්ලේ සිටි තවත් 200 ක පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ මෙම නාවික හමුදා සාමාජිකයා වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සැපයූ කණ්ඩායමක සාමාජිකයෙක් බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා ආසාදිතයන් පොකුරක් හමුවීමත් සමඟ එය අවදානම් ප්‍රදේශයක් ලෙස හුදකලා කෙරුණා.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරට සේවා සපයන පුද්ගලයන් බාහිර සමාජයෙන් වෙන් කර තැබීම සඳහා ගෆූර් ගොඩනැගිල්ල නාවික හමුදාව යටතට පවරා ගනු ලැබුවා.

මෙහි සිටි පිරිසට සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම නාවික හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ (27) දිනයේදියි.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සේවා සැපයූ මෙම කණ්ඩායම නාවික හමුදාවේ වෙනත් අභ්‍යන්තර කඳවුරු වෙත නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ තවත් හත්දෙනෙකු (07) අද (28) සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

ඒ අනුව නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 351 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

මෙරටින් වාර්තාවූ වැඩිම කොරෝනා අසාදිතයන් ඊයේ (27) සොයාගැනුනු අතර, එම සංඛ්‍යාව 150 ක්. ඉන් 53 දෙනෙකු නිරෝධායනයට යොමුකළ නාවික හමුදා සාමාජිකයින් වනවා.

අනූ දෙදෙනෙකු (90) කුවේටයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, අනෙක් පස්දෙනා (05) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පසුගියදා පැමිණි පුද්ගලයින්.

මෙම පිරිස වාර්තාවීමත් සමඟ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 285 දක්වා ඉහළ ගියා.

මෙම පිරිසගෙන් බාහිර සමාජයට වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.

‘හිරු TV’ ඔස්සේ අද (28) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු තවදුරටත් අඛන්ඩව සිදු කෙරෙන බවයි ෴

+++++++++++++++++

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් 13 දෙනෙකු රෝහල් වලින් පිටව යාම සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගියා.

මෙලෙස සුවය ලැබූ පිරිස අතර වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික සාමාජිකයින් 07 දෙනෙකු සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, විදේශ රටවලින් මෙරටට ගෙන්වූ ශ්‍රී ලාංකිකයින් 430 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

අවුරුදු 2 ට අඩු ළමයින්ට මුහුණු ආවරණ එපා – සෞඛ්‍ය අංශ දන්වයි

(28.05.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය වලක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රීයාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරනු ලැබුවා.

අංශ 46 ක් සඳහා එහිදී උපදෙස් නිකුත් කර තිබූණා.

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් යන අංශය යටතේ නිකුත් කර ඇති උපදෙස් වල තවදුරටත් දැක්වෙන්නේ ස්වසන අපහසුතා ඇතිවිම වැලැක්වීම සඳහා අවුරුදු 2 ට අඩු දරුවන් මෙලෙස මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු බවයි.

එමෙන්ම වයස අවුරුදු තුනේ (3) සිට පහ (5) දක්වා දරුවන්ට මුහුණු ආවරණ පැලදීමට ඉගැන්විය හැකියි.

මූලික සෞඛ්‍ය නීතිරීතිවලට අනුව මුඛ ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට එම ආයතන, කාර්ය මණ්ඩල සහ පෙර පාසැල් ගුරුවරුන් කටයුතු කළ යුතු වනවා.

මීට අමතරව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උද්‍යාන භාවිතය, පිහිණුම් තටාක සහ වෙරළ භාවිතය මෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථාන වැනි ආයතන යළි ආරම්භ කිරීමේදීද අනුගමනය කළ යුතු උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් උපකාරක පන්ති යළි ඇරඹීමේදී පැමිණීමේ පත්‍රිකා සංසරණය නොකිරීම කළ යුතු අතර, මුද්‍රිත නිබන්ධන සහ පොත් සහ සටහන් බෙදාහැරීමෙන් වැළකීම සහ පන්ති කාඩ්පත ස්පර්ශ කිරීමද සිදු නොකළ යුතු බව අදාළ උපදෙස් මාලාවේ සඳහන්.

සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමේදී පැමිණීමේ ලේඛන භාවිත නොකළ යුතු අතර, ලියකියවිලි හෝ ද්‍රව්‍ය ස්පර්ශ කිරීම මෙන්ම එෆ්.එම්. මයික්‍රෆෝන, වයිට් බෝඩ්, පෑන් පොදුවේ භාවිත කිරීමෙන්ද වැළකිය යුතු වනවා.

එමෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථාන භාවිත කිරීමේදී වරකට එම ස්ථානවලට ඇතුළත් කරගන්නා සාමාජිකයින් සංඛ්‍යාව අවම කළ යුතු අතර, ඔවුන් එහි රැඳී සිටීම පැයකට අඩු කාලසීමාවක් දක්වා සීමා කළ යුතුයි.

මීට අමතරව උද්‍යායන හා පොදු ක්‍රීඩාංගන භාවිතයේදී සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමයනය කළ යුතු බවයි නිකුත් කර ඇති උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.

= සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ උපදෙස් මාලාව මෙතැනින් =

+++++++++++++++++++++++++++++++++++

කිරි ගවයින් 2500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

(28.05.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ඊ.ටී.අයි. සහ වෙනත් මුල්‍ය තැන්පත්කරුවන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පෙරුවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර පසුගිය මාස දෙකක කාලසීමාව තුළ දිවා ආහාරය සඳහා මුදල් නොලැබුණු අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් ලක්ෂ 12 කට එක් අයෙකුට රුපියල් 965 ක් වැනි මුදලකට වියලි ආහාර මල්ලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.

එමෙන්ම කිරි ගවයින් ආනයනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් පළ කළා ෴

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්

(28.05.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (30) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ – 02, 03, 07, 08, 09, 10 යන ප්‍රදේශවලටයි.

ඊට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති ෴

***************************************

පාස්කු කොමිසම හමුවේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(28.05.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමටත් පෙර අදාළ බෝම්බකරුගේ නිවසේ බුද්ධි අංශ නිලධාරීන් රැඳී සිට ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා.

ඒ, පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අමීර් නමැති පුද්ගලයෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන අවස්ථාවේදී.

+++++++++++++++++++++

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : නොලද රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුවට ඉදිරි සති දෙක තුළ විසඳුම්

(28.05.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වලට නොලද රාජ්‍ය අනුග්‍රහය දැන් ලැබෙන නිසා ඉදිරි සති දෙක ඇතුළත විහාරස්ථානයේ ඉඩම් ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

විහාරස්ථානයේ සීමා මායිම් ලකුණු කිරීම සඳහා මිනුම් කටයුතු ආරම්භ කරන බවයි බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.ඒ. විජිත නන්දකුමාර මහතා පැවසුවේ.

ඔවුන් මේ බව සදහන් කළේ මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලු පිළිබඳ සොයා බැලීමට පරිශ්‍රයේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මුහුදු මහ විහාරයේ ඉඩම් ආක්‍රමණය හෙළි කිරීමත් සමග ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය ඒ පිළිබඳ කඩිනමින් යොමුව තිබුණා.

***************************************

සමාජය ලෙඩ කරන අනුරාධපුර ශික්ෂණ රෝහල

(28.05.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙස රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියද රෝහල් පවිත්‍රතා අංශය එය නොතකා කටයුතු කරන බවයි.

***************************************

‘හිරු රතු මිනිත්තුව’ : නායයෑමකට අතවනන හල්දුම්මුල්ල නාන තටාකය

(28.05.2020 – 15:05 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ – හල්දුම්මුල්ල නගරයට ඉහළින් ඇති කඳුයායේ ඉදිවන අනවසර නාන තටාකයක් හේතුවෙන් කඳුයායට පහළින් ජීවත්වන ජනතාව දැඩි ජීවිත අවධානමකට ලක්ව ඇති බව ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

අද (28) ‘හිරු රතු මිනිත්තුව’ වෙන්වන්නේ එම ගැටලුව පිළිබඳවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *