පාස්කු බෝම්බකරුවන් වසර කිහිපයකට පෙර සිදුකළ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු එළියට

(29.05.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් ප්‍රහාරකයා සහ ෂැංග්‍රිලා හෝටලයේ දෙවන බෝම්බකරු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට වසර කිහිපයකට පෙර තොරතුරු පැවති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ බුද්ධි අංශ උසස් නිලධරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කොමිසම හමුවේ ඊයේ (28) රාත්‍රියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි අංශයේ උසස් නිලධාරියා සදහන් කළේ පාස්කු ඉරුදින කොළඹ හෝටල් කිහිපයක හා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරවලින් සුළු මොහොතකට පසු තම අංශයේ අධ්‍යක්ෂවරයා තමන් අමතා රාජකාරියක් භාරදුන් බවයි මෙම ප්‍රහාර එල්ල කරල තියෙන්නෙ ආගමික අන්තවාදීන්ගෙන් බවට සමාජ මාධ්‍යවලත් හුවමාරු වෙනවා.

ඉක්මනින් සොයා බලන්න යැයි තමන්ට උපදෙස් ලැබුණු බවත් ඉන් පසු එලෙස පල වූ වාර්තා අනුව තම අංශය සතුව පැවති බුද්ධි තොරතුරු මත සැකසහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් සාක්ෂිකරු පැවසුවා.

කොමිසම එහිදී විමසා සිටියේ මොහොමඩ් ලතීෆ් ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු තිබුනේද යන්නයි.

එහිදී පිළිතුරු දුන් සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ ජමිල් නමැත්තා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පෙර සිටම තොරතුරු පැවති බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි වේලාවක් ඇතුලත තමන් සහ බුද්ධි අංශයේ කණ්ඩායමක් වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ තිබූ ජමිල් මොහොමඩ්ගේ නිවසට යාම සදහා පිටත් වූ බවත් ඒ වනවිට තම අංශයට අනුයුක්ත ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් සැකකරුගේ නිවස පිහිටි ස්ථානය දැන සිටි බැවින් එම නිවස පරීක්ෂාවට ලක් කළ බව සාක්ෂිකරු සදහන් කළා.

එහෙත් ජමිල් එහි නොසිටි නිසා ඊට නුදුරින් පිහිටි ජමිල්ගේ බිරිඳගේ නිවසට තමන් ඇතුලු නිලධාරීන් පැමිණි බව ඔහු සදහන් කළා.

එහිදී ජමිල්ගේ බිරිදගේ පියා සහ සහෝදරයාගෙන් තමන් ජමිල්ගේ මිතුරෙකු ලෙස හදුන්වාදෙමින් ඔහු නිවසේ සිටිනවාද යන්න විමසූ බව සාක්ෂිකරු සදහන් කළා.

නිවැසියන් එහිදී සදහන් කර ඇත්තේ ජමිල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරය සදහා නිවසින් බැහැරවන බව දන්වා ගිය බවයි.

ජමිල් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙන්නැයි තමන් නිවැසියන්ට පැවසූ බවත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී ඇතැයි නිවැසියන් පැවසූ බවත් සාක්ෂිකරු සදහන් කළා.

ජමිල්ගෙන් ඇමතුමක් ලැබුනහොත් දැනුවත් කරන්නැයි අංකයක් ලබා දී තමන් ඇතුලු පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් තම අධ්‍යක්ෂවරයාට ඇමතුමක් ලබාගෙන සිදුවීම පැහැදිලි කල බව ඔහු සදහන් කළා.

සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ, තමා බුද්ධි අංශයේයැයි අනාවරණ කර නිවැසියන්ගෙන් තොරතුරු ලබාගැනිමට යළි උත්සහ කරන්නදැයි අධ්‍යක්ෂවරයාගෙන් විමසූ බවයි.

ඊට අවසර ලැබුනු නිසා යලි ජමිල් මොහොමඩ්ගේ බිරිදගේ නිවසට ගොස් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ යැයි පවසා අද උදේ සිදුවුන ප්‍රහාරවලට ජමිල්ගේ සම්බන්ධයක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ජමිල්බේරාගන්න අවශ්‍යනම් ඔහු ගැන නිවැරදි තොරතුරු ලබාදෙන්න යැයි තමන් ජමිල්ගේ බිරිඳට පැවසූ බව සාක්ෂිකරු සදහන් කළා.

එහිදී ජමිල්ගේ බිරිද පවසා ඇත්තේ, ජමිල් ටික වේලවකට කලින් තමන්ට ඇමතුමක් ලබාගත් බවත් ඔහු වැල්ලවත්තේ පිහිටි පල්ලියක රැදී සිටින බවට පැවසූ බවයි.

අදාල පල්ලියේ ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව ගැටලුවක් වී ඇති නිසා ඔහු පිළිබද තොරතුරු සනාථ කරන්නැයි ජමිල් පැවසූ බවත් තමා අදාල ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව තහවුරු කළ බව ජමිල්ගේ බිරිද පැවසූ බව සාක්ෂිකරු සදහන් කළා.

එහිදී ඇයගේ දුරකතනයෙන් අදාල ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් තමන් විසින් ලබාගෙන ජමිල් එම ස්ථනයේ රැදී සිටින්නේදැයි විමසූවත් සැකකරු වැල්ලවත්තේ පිහිටි පල්ලියේ සිට ත්‍රීරෝද රථයක නැග මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගිය බව ආරක්ෂක නිලධාරියා සදහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

එම සිදුවීම සම්බන්ධයෙන් යළිත් වරක් තම අධ්‍යක්ෂවරයා අමතා දැනුවත් කිරීමෙන් පසු මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් ගැන ඉක්මනින් තොරතුරු අනාවරණය කරගන්නා ලෙස උපදෙස් ලැබුනු බව සාක්ෂිකරු සදහන් කළා.

කොමිසම එහිදී ප්‍රශ්න කළේ මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් සම්බන්ධයෙන් ද තොරතුරු පැවතියේ ද යන්නයි.

ඉල්හාම් නමැත්තා ද අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ බවත් තම අංශයට සම්බන්ධ ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් දෙමටගොඩ පිහිටි සැකකරුගේ නිවස සොයාගෙන තිබු බව සාක්ෂිකරු සදහන් කළා.

එම නිවස පරීක්ෂා කිරීම සදහා තමන් ඇතුළු කණ්ඩායම ජමිල් මොහොමඩ්ගේ බිරිදගේ නිවසින් පිටත් වී ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේ විනාඩි පහළොවක් වැනි කාල පරාසයක දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව දෙහිවල බෝමබයේ ප්‍රහාරකයා ජමිල් මොහොමඩ් බවට තමන් අනුමාන කළ බවත් දෙමටගොඩ ප්‍රහාරකයා මොහොමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් බවට ද අනුමාන කරමින් දෙමටගොඩ පිහිටි නිවසට පැමිණි බව සාක්ෂිකරු පැවසුවා.

කෙසේවෙතත් දෙමටගොඩ පිහිටි නිවසේ දොරකඩට පිවිසෙනවාත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය බවත් ඒ වනවිටත් නිවසේ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැදී සිටි බවත් සාක්ෂිකරු සදහන් කලා.

එම නිවසේ සිට ඉල්හාම් නමැති සැකකරුගේ පියා අත්අඩංගුවට පත්වූ බවද ඔහු වැඩිදුරත් සදහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වු තොරතුරු

(29.05.2020 – 23:02 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරුවාගත් මොහොම්ඩ් ජමීල් බෝම්බය පුපුරුවා ගැනීමට පෙර වැල්ලම්පිටියේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට බුද්ධි නිලධාරීන් ගොස් සිටියද ඔහු වැළැක්වීමට නොහැකි වූ බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (28) අනාවරණ විය.

බුද්ධි අංශ ඉහළ නිලධාරියෙක් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ මොහොම්ඩ් ජමීල් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන විටත් ඔහු පුපුරා ගැනීම සිදු කිරීමට පිටත්ව තිබූ බවයි.

එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයේ දෙවන බෝම්බකරු මොහොමඩ් ඉල්හාම්ගේ දෙමටගොඩ පිහිටි නිවසට බුද්ධි නිලධාරීන් ළඟාවන විටත් එහි ද පිපිරුමක් සිදුවූ බව ඔහු සිය සාක්ෂිය මගින් අනාවරණ කළේය.

පාස්කු ප්‍රාහාරය පිළිබදව සොයාබැලෙන ජනාධිපති කොමිසම ඉදිරියේ බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ඊයේ (28) සාක්ෂි ලබාදුන්නේය.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බය පුපුරුවාගත් මොහොම්ඩ් ජමීල් පිළිබඳව අප්‍රේල් 21 වැනිදා වන විට තොරතුරු ලැබි තිබුණේ ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට ජමීල් සම්බන්ධව තොරතුරු ලැබි තිබූ අතර, තම අධ්‍යක්ෂකවරයා ජමීල්ගේ නිවස වෙත ගොස් සොයාබලන ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූ දින උපදෙස් දුන් බවයි.

ඒ අනුව තමන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු නිලධාරින් 5 දෙනෙකු සමග වැල්ලම්පිටිය, ලන්සියාවත්තේ පිහිටි ජමීල්ගේ බිරිඳගේ නිවසට ගිය බව බුද්ධි නිලධාරියා කොමිසමට පැවසීය.

ජමීල්ගේ මිතුරන් සේ ගිය තම කණ්ඩායමට ජමීල්ගේ මාමණ්ඩිය පවසා ඇත්තේ, ආගම ප්‍රචාරය සඳහා ඔහු දින 3 ක කාලයකට නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.

නිවසේ සිටි ඥාතීන් මාර්ගයෙන් ජමීල් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිමට කළ උත්සාහය ව්‍යර්ථ වූ බව බුද්ධි අංශ නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, යළි තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බවට හඳුන්වාදෙමින් සැකකරුගේ නිවසට ගිය විට ඔහු වැල්ලවත්ත ප්‍රෙද්ශයේ පල්ලියක රැඳී සිටින බවත් එහි ආරක්ෂක නිලධාරියා ජමීල්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා දුරකථන ඇමතුමක් දුන් බවට ජමීල්ගේ බිරිඳ බුද්ධි නිලධාරියාට ප්‍රකාශ කර තිබේ.

අදාළ නිලධාරියා කොමිසමට පැවසුවේ, ජමීල්ගේ බිරිඳගේ දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාට ඇමතුමක් දුන්නත් ඒ වන විටත් සැකකරු ත්‍රීරෝද රථයකින් මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගොස් තිබූ බවයි.

මේ අතරතුර මොහමඩ් ඊබ්‍රහයිම් ඉල්හාම් පිළිබදව ඉක්මණින් තොරතුරු අනාවරණය කරගන්නා ලෙස බුද්ධි අංශ නිලධාරියාට අධ්‍යක්ෂකවරයා උපදෙස් දී තිබේ.

බුද්ධි අංශ නිලධාරියා, කොමිසමට පැවසුවේ, ක්ෂේත්‍ර ආවේක්ශණ නිලධාරීන් විසින් සොයාගෙන තිබූ දෙමටගොඩ නිවසට තම කණ්ඩායම යන අතර දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බවයි.

කෙසේවෙතත් දෙමටගොඩ පිහිටි නිවසේ දොරකඩට පිවිසෙනවාත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය බව ද බුද්ධි නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළේය.

අනතුරුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරතවන පුද්ගලයින්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශය සතුව පැවතියේ ද යන්නයි.

2016 වසරේ සිට පවතින එය අදාළ අංශ වෙත ලබාදුන් බවත් ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් සාකච්ඡා පැවැත්වු බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයැගැනිමේදි එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට අවශ්‍ය බව එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතාගෙන් විමසිමක් කළත් ඊට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිකරු කොමිසමට පැවසීය.

2016 වසරේ සිට සහරාන් ඇතුළු පිරිස මෙරට සිදුකළ ඉස්ලාම් අන්තවාදි ක්‍රියා ඇතුළු ඔවුන්ගේ සියලුම තොරතුරු හිටපු හමුදාපතිවරුන් වන ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක යන මහත්වරුන්ට දැනුවත් කළ බව බුද්ධි නිලධාරියා ප්‍රකාශ කළේය.

එම දැනුම් දීමෙන් පසු ඉහළ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළ බව තමන් දැනුවත්දැයි කොමිසම විමසූ අවස්ථාවේ බුද්ධි නිලධාරියා පැවසුවේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවල මේ ගැන සාකච්ඡා කර ඇති බව දැනගන්නට ලැබුණු බවයි.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා අද සහභාගි වූ අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කළේය.

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 09 ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 754 ක් දක්වා ඉහළට

(29.05.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 754 ක්.

මේ වන විට මෙරටින් ආසාදිතයන් 1530 ක් හමුවී ඇති අතර ඔවුන්ගෙන් 766 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 10 ක් ෴

***************************************

ජනතාවට පීඩාවක් වූ අනුරාධපුර රෝහලේ අපද්‍රව්‍ය ගැටලුවට හිරු පුවත් අනාවරණයෙන් පසු ලැබුණු ප්‍රතිචාරය

(29.05.2020 – 14:37 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටීම සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

උතුරුමැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන අතර ඒවා පිළිස්සීමට ලක්කරන්නේද පරිසරයට නිරාවරණය කරමින් බව අප ඊයේ (28) දින හිරු ටී.වී ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

මේ හේතුවෙන් රෝහල අවට ජීවත්වන ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා සිටින අතර මෙම බලපෑම් අත්විඳීමට නොහැකිව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම මේ වන විට තම නිවාස අතහැර දමා ගොස් අවසන්.

එමෙන්ම මෙම සායනික අපද්‍රව්‍ය මල්වතු ඔයට ගලාබසින කුඩා ඇළ මාර්ගයකටද බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන ආකාරය අප පෙන්වා දුන්නා.

ඊයේ (28) අප කළ වාර්තා කිරීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඊට අද (29) ප්‍රතිචාර දැක්වුවා.

***************************************

පී.සී.ආර්. පරීක්ෂණ ගුවන්තොටුපලේදීත් – විෂයභාර ඇමතිනියගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්

(29.05.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන මගීන් එම පරිශ්‍රය තුළදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙසට විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ ඊයේ (28) කටුනායක ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

මෙරටට පැමිණෙන රෝගීන්ගෙන් ගුවන්තොටුපලේ ආරක්ෂක අංශ මෙන්ම, ආගමන විගමන නිලධාරින් ඇතුළු සියලුම අංශවලට කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම එහි අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

***************************************

‘අශෝක් ස්ටීල්’ සහ ‘ආර්.එස්. ස්ටීල්’ බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

(29.05.2020 – colombotoday.com)

‘අශෝක් ස්ටීල්’ සහ ‘ආර්.එස්. ස්ටීල්’ සමාගම් දෙක විසින් නිපදවන වෙළඳපොලේ ඇති කම්බි තත්වයෙන් බාල බව පවසමින් එම සමාගම් දෙකට අයත් කම්බි ද රැගෙන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඇතුළු පිරිසක් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට අද (29) උදෑසන පැමිණීමත් සමගම එම ස්ථානයේ යම් නොසන්සුන් තාවයක් ඇති වුනා.

SLS තත්ව සහතිකය මෙම සමාගම් විසින් ලබාගෙන ඇති නමුත් එම තත්වයට ගැලපෙන පරිදි මෙම සමාගම්වල නිපදවන වානේ කම්බිවල ප්‍රමිතියක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරුණා.

***************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට

(29.05.2020 – 23:19 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (29) තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (29) දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 28 ක්.

මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 794 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 754 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 10 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් PCR පරීක්ෂණයට

(29.05.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

විදේශයන්හි සිට පැමිණෙන සියලුම පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ගුවන්තොටුපලේදීම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට තීරණය කළ බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (28) කටුනායක ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී එම තීරණයට එළඹි බවයි ඔහු කියා සිටියේ.

ලබන අගෝස්තු පළමුවනදා සිට ගුවන්තොටුපල විදේශික සංචාරකයන් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමුවූ අතර, ඒ අනුවයි, ගුවන්තොටුපල තුල පවතින සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිස ඊයේ (28) ගුවන්තොටුපලේ සංචාරයකට එක්වුණේ.

අද (29) දිනයේ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1540 දක්වා ඉහළ ගියා.

කුවේට් සිට දිවයිනට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 3 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයන් හි ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

අද (29) දිනයේ කොරෝනා ආසාදිත තවත් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 754 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (29) දිනයේ සුවය ලැබූ 9 දෙනාම නාවික හමුදා සාමාජිකයන්.

මේ අතර, කොළඹ නගරයේ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං රැකියාවල නියුතු 5000 ක පමණ පිරිසකට යළි තම ජිවනෝපාය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ලබාදීම අද (29) විහාරමහා දේවි උද්‍යානයේදී සිදුකෙරුණා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) දහවල් පැයකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.

***************************************

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත්

(29.05.2020 – 22:30 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටීම සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

උතුරුමැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන අතර ඒවා පිළිස්සීමට ලක්කරන්නේද පරිසරයට නිරාවරණය කරමින් බව අප ඊයේ දින (28) හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

මේ හේතුවෙන් රෝහල අවට ජීවත්වන ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා සිටින අතර මෙම බලපෑම් අත්විඳීමට නොහැකිව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම මේ වන විට තම නිවාස අතහැර දමා ගොස් අවසන්.

එමෙන්ම මෙම සායනික අපද්‍රව්‍ය මල්වතු ඔයට ගලාබසින කුඩා ඇළ මාර්ගයකටද බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන ආකාරය අප පෙන්වා දුන්නා.

ඊයේ (28) අප කළ වාර්තා කිරීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා අද (29) ඊට ප්‍රතිචාර දැක්වුවා.

කෙසේ වෙතත් එම ස්ථානයට ගිය අපට අද (29) දිනයේදීත් දැකගන්නට ලැබුණේ ඊයේ (28) දිනයේදී මෙන්ම අදත් (29) එම සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කර ඇති ආකාරයයි.

රෝහලක අපද්‍රව්‍ය යනු කැලිකසල නොවේ.

ඒවා නිසි ක්‍රමවේදයක් සහිතව බැහැර කළ යුතු වන්නේ ඒ තුළින් මතුවන පාරිසරික ගැටලු බරපතළ නිසාවෙන්.

තම වගකිම හරිහැටි ඉටු නොකරන බලධාරින් ඒ වෙනුවෙන් බොළඳ තර්ක ගොඩනගන්නේ නම් පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාවට වගකියන්නේ කවුද ?

අප ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථය මෙයයි.

***************************************

මැතිවරණය ගැන අදත් (29) පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(29.05.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (29) විවිධ අදහස් පළ කළා.

***************************************

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය

(29.05.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය හෙළි කිරීමත් සමග කලබලයට පත් ඉඩම් කොල්ලකරුවන් රාත්‍රී කාලයේදී නීතිවිරෝධීව නව වැටවල් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

අද (29) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය මුල්වරට හෙළිකළේ පසුගිය 20 වැනිදායි.

පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම පුදබිමේ මායිම් ලකුණු කිරීමට පසුගිය කාලයේ පැමිණි රාජ්‍ය නිලධාරීන්ට මරණ තර්ජන එල්ලකර පලවාහැර තිබුණා.

රාජ්‍ය නිලධාරීන්හටද එවන් මරණ තර්ජන එල්ලවද්දී ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම නොබියව මෙම ඉඩම් කොල්ලය රට හමුවේ හෙළිකළා.

අපගේ එම අනාවරණයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැරදී ඇති බව ප්‍රකාශ කළ පුද්ගලයින් මෙම ඉඩම් කලක පටන් තමන් භුක්තිවිඳිනා බව හැඟවීම සඳහා කූඨ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණා.

ඒ, අලුතින් මෙම ඉඩම්වල භවබෝග සිටුවමින්.

***************************************

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක්

(29.05.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ සිදුකරන ලෙස හැටන් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජේ.ට්‍රොස්කි මහතා අද (29) නියෝග කළා.

ඒ, මියගිය කොටියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය 26 වැනිදා ලක්ෂපාන – වාලමලේ වතු යායේ එළවළු වගා ගොවිපලක මද්දකට හසු වී සිටි මෙම කළු කොටියා වනජීවි නිලධාරීන් විසින් මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන එනු ලැබුවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දුර්ලභ ගණයේ කළු කොටියා මියගිය බවයි උඩවලව පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කියා සිටියේ.

මද්දට හසුවීම හේතුවෙන් කොටියාගේ ගෙල ප්‍රදේශයේ ඇති වූ තුවාලවලින් හටගත් සංකූලතා හේතුවෙන් මෙම සත්වයා මියයන්නට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ මියගිය කළු කොටියාට බරපතල තුවාල සිදුව නොතිබූ බවයි.

එමෙන්ම, මෙම කළු කොටියා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට තමන් අකැමැත්ත ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියා.

ඒ, සත්වයා ජීවත් වූ දේශගුණික පරිසරයට වෙනස් පරිසරයකට රැගෙන යෑමෙන් යම් බලපෑමක් සිදුවිය හැකි බවට නිගමනය කළ නිසා බව ඔහු සඳහන් කළා.

එම කරුණු පදනම් කරගනිමින් මෙම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව පශු වෛද්‍ය රෝහලේ සිදුනොකර පේරාදෙනිය පශු වෛද්‍ය ඒකකයේ සිදුකරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියා.

+++++++++++++++++++++

කලු කොටියාගේ මරණයත් සමග පරිසරවේදීන් වනජීවී නීති සංශෝධනයක් ඉල්ලයි

(30.05.2020 – nethnews.lk)

නල්ලතන්නිය ප‍්‍රදේශයේදී මද්දකට හසුව මුදාගැනීමෙන් පසු උඩවලව ඇත්අතුරු සෙවනේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දුර්ලභ කලු කොටියා පිළිබඳ මේවනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. පරිසරවේදීන් පෙන්වාදෙන්නේ සතුන් දඩයම් කිරීම සඳහා උගුල් අටවන පුද්ගලයින්ට එරෙහිව නීති සංශෝධනය කර ඒවා දැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුනහොත් මෙවැනි දුර්ලභ සතුන් රැසක් මෙරටින් තුරන් විය හැකි බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ.

කඳුකර ප‍්‍රදේශවලින් වාර්තා වන සීමිත ගහණයක් සහිත මෙම දුර්ලභ කලුකොටි විශේෂය රැකගැනීම සඳහා අදාළ බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මද්දකට සතෙකු අසුවූ විටෙකදී ඒ අසලට ජනතාව ඒකරාශීවිම වැළැක්වීම සඳහා ද වනජීවි බලධාරීන් වහා කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම දුර්ලබ කළු කොටියා ඊයේ (29) මියගියේ අදාළ මද්ද ඇටවූ පුද්ගලයා ඇප මත මුදාහැර ඇති පසුබිමකයි. සතුන් දඩයම් කරන සහ උගුල් අටවන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන එම දෙපාර්තමේන්තුවේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ සහකාර අධ්‍යක්‍ෂ ඩී.එම්. වීරසිංහ මහතා :

***************************************

මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක්

(29.05.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සුබ පැතීම සඳහායි.

පසුගිය 27 වනදා මෙම දුරකථන ඇමතුම ලබා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බවයි.

එමෙන්ම, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය පිලිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශෝකය පළ කර තිබෙනවා.

***************************************

ජුනි මස 5 සහ 6 දිවයිනේ සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වැසේ

(29.05.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ලබන ජුනි මස 5 සහ 6 දිවයිනේ සියලුම සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

සියලුම පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යංශය දන්වා ඇත්තේ අදාළ දින දෙක තුල දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නතර කිරීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ෴

***************************************

කඩාවැටුණු මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට මුදල් ගෙවන ලෙස ජනපති නියම කරයි

(29.05.2020 – 18:00 +0530 – hirunews.lk/sinhala)

කඩාවැටුණු මුල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවිය හැකි උපරිම ආකාරයෙන් ගෙවන ලෙස ජනාධිපතිවරයා නියම කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *