අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය (විඩියෝ)

• කප්පම් නොලැබුනු නිසා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (විඩියෝ)

• කඳුකර නායකයාගේ අවසන් තරණය (විඩියෝ)

• සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි (විඩියෝ)

• ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු දිවයිනට

• රත්නජීවන් හූල්ගේ තවත් හොර වැඩක්

• සූර්යාලෝකයේ දී කොරෝනා වෛරසය මිනිත්තු 15 තුළදී විනාශ වන බව සොයා ගනියි

• විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර

• ත්‍රස්තවාදය වපුරන්න, විල්පත්තුව කපන්න රිෂාඩ්ව හැදුවෙ බැසිල්.. – විජයදාසගෙන් කෙස් කෙළින් වෙන හෙළිදරව්වක් (විඩියෝ)

• හලාවත දී සිදුවු රිය අනතුර – CCTV දර්ශන සහිතයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය

(29.05.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙක් සියලු ගමනාගමන කටයුතු තහනම් වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ද ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ හෙට (30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ (28) බ්‍රහස්පතින්දා නිවේදනය කළ ආකාරයෙන් මැයි 31 වන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජුනි පළමුවනදා (01) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඊයේ (28) නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බව ද ඔවුන් සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

කප්පම් නොලැබුනු නිසා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක්

(29.05.2020 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ආපනශාලාවේ හිමිකරුවන් පවසන්නේ ප්‍රදේශයේ මැර කල්ලියක් කළ කප්පම් ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු (03) රාජකාරියේ ද නිරතවී සිට ඇති බවයි වාර්තාවන්නේ.

රාත්‍රි 12:20 ට පමණ සුදුපැහැති මෝටර් රථයකින් පැමිණෙන දෙදෙනෙකු (02) ආපන ශාලාව ඉලක්ක කර ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

එම අවස්ථාවේදී ආපන ශාලාවේ සේවකයින් උඩුමහලට ගොස් සිටි නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නැහැ.

නමුත් වෙඩි ප්‍රහාර හේතුවෙන් ආපනශාලාවේ දේපළවලට දැඩි හානි සිදුව තිබුණා.

මෙම ආපන ශාලාවට පසුගිය 19 වැනිදාද සිව්දෙනෙකුගෙන් (04) යුත් කණ්ඩායමක් කඩු මුගුරු රැගෙන පැමිණ ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී ආපනශාලාවේ දේපළවලට දැඩි අලාභහානි සිදුවූ අතර සිද්ධියෙන් එක් අයෙකුට තුවාල සිදුවුණා.

ප්‍රදේශයේ මැර කල්ලියක් අවස්ථා ගණනාවකදි සිය ආපන ශාලාවෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ බවත්, එම කප්පම් ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්විම මෙම සිදුවීම්වලට හේතුවී ඇති බවත්, ආපන ශාලාවේ හිමිකරු සඳහන් කළා.

මොරටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=8MDexHvMnVQ#t=6

***************************************

කඳුකර නායකයාගේ අවසන් තරණය

(29.05.2020 – 22:44 +0530 – sinhala.adaderana.lk)

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (29) දහවල් ඔහුගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත රැගෙන ගියේය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වතුකරයේ ජනතාව සහ දේශපාලඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබුණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ 03, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පස්වරුවේ තැන්පත් කර තිබුණි.

දේහය අද (29) උදෑසන ගුවන් මගින් ඔහුගේ කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ නිවස වෙත රැගෙන ඒමට කටයුතු කළේය.

තොණ්ඩමන් මහතාගේ පවුලේ ඥාතින් සහ දේශපාලනඥයින් විසින් ගම්පොල ක්‍රීඩාංගණයේදී දේහය භාර ගනු ලැබුවේය.

අනතුරුව නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගය ඔස්සේ රිය පෙරහරක් ඔස්සේ දේහය තොණ්ඩමන් මහතාගේ කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්ත නිවස වෙත රැගෙන එනු ලැබේ.

සිය නායකයාට අවසන් ගෞරව දැක්වීමට වතුකරයේ ජනතාව දේහය රැගෙන එන මාර්ගය දෙපස රැස්ව සිටියේය.

අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ 56 වැනි ඡන්ම දිනය අදට (29) යෙදී ඇති අතර වෙනත් වසරවල සුබ පැතීම සඳහා නිවසට පැමිණෙන වතුකරයේ ජනතාව, අද (29) වැල නොකැඩී මෙලෙස පැමිණෙන්නේ සිය නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටයි.

එමෙන්ම තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් ඇතුළු විශාල ජනකායක් තවමත් පැමිණමින් සිටියි.

තොන්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ හෙට තැන්පත් කර කිරීමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වනදා නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී සිදු කෙරුණු ඇති.

එමෙන්ම සිය නායකයාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත් වතුකම්කරුවන් ඇතුලු දෙමළ ජනතාව ස්ථාන රැසක ශෝකාකූල ලෙස හැරිරුණු ආකාරය දක්නට ලැබුණි.

***************************************

සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි

(29.05.2020 – 21:56 +0530 – sinhala.adaderana.lk)

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදී තිබෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් අනූනව (99) දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය විසින් ගනු ලැබූ තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කර ඇත.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් 51 දෙනෙකු වීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබුණි.

ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලබානොගෙන වෙනත් දේශපාලන පක්ෂයක් වන සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදීමෙන් ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින්.

අදාළ සාමාජිකයින් 99 දෙනාටම මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා දින 07 ක කාලයක් ද ලබාදී තිබුණත් සමගි ජන බලවේගයේ කිසිවෙකු අභියාචනා ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ අනුව එම 99 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය අද පෙරවරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, තලතා අතුකෝරළ, රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, බුද්ධික පතිරණ, හරීන් ප්‍රනාන්දු, අජිත් පී.පෙරේරා, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්.මරික්කාර්, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ, රෝහිණී කවිරත්න, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, දිලිප් වෙදආරච්චි, තුෂාර ඉඳුනිල්, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා, පී.හැරිසන්, චන්දිම ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඒ.එච්.එම්.හලීම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වේ.

අද (29) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 37 දෙනෙකු සහභාගි වී තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය කිසිලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වීමට හෝ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත නොකරන බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) පස්වරුවේ රැස්වුණේ ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයී.

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරි පත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ජූනි 09 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ බෙදීම හේතුවෙන් ඔවුන් මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

***************************************

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු දිවයිනට

(30.05.2020 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (30) උදෑසන දිවයිනට පැමිණියා.

හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද (30) උදෑසන 05:30 ට ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණි බවයි.

මේ අතර, ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 18 දෙනෙකු අද (30) උදෑසන දිවයිනට පැමිණියා ෴

***************************************

රත්නජීවන් හූල්ගේ තවත් හොර වැඩක්

(30.05.2020 – 07:51 +0530 – lankaleadnews.com)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ, ග්ලෙන්ආබර් පෙදෙසේ නිවෙසක නවාතැන් ගෙන සිටිමින් කොමිෂන් සභා කාර්යාලයට යෑමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350 ට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 50,000 ක ප්‍රවාහන දීමනාව ලබාගන්නා බව වාර්තා වේ.

එසේ රුපියල් 50,000 ක මාසික ප්‍රවාහන දිමනාවක් ලබාගන්නා මහාචාර්යවරයා කොළඹ සිට යාපනයට යෑමට සහ යාපනයේ සිට කොළඹට පැමිණීමට ඉකුත් වසර කිහිපයක් තුළ මැතිවරණ කොමිෂන් සභාවේ වාහන පාවිච්චි කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

එහි ආසන්නතම සිදුවීම ඉකුත් 19 වැනිදා හෙළිදරව් වුණේ යාපනයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අයත් කැබ් රථයක් ලබාගෙන තමා පුත්‍රයාද කැටුව මීගමුවට පැමිණ මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ නිරෝධායනය අවසන් කර සිටි දියණියද කැටුව රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම සහ ආපසු ඔවුන් කැටුව යෑම බව අනාවරණය විය.

මහාචාර්යවරයාගේ නීත්‍යානුකූල නොවන අන්දමේ ක්‍රියා සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් මෙතෙක් සිදුකර නැති බව මැතිවරණ කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි ෴

***************************************

සූර්යාලෝකයේ දී කොරෝනා වෛරසය මිනිත්තු 15 තුළදී විනාශ වන බව සොයා ගනියි

(29.05.2020 – 05:10 +0530 – lankaleadnews.com)

සූර්යාලෝකය මගින් විවිධ වස්තූන්ගේ පෘෂ්ඨයන් මතුපිට තැන්පත්ව ඇති කොරෝනා වයිරස විනාශ කළ හැකි බව එක්සත් ජනපදයේ ජෛව තර්ජන විශ්ලේෂණය හා ප්‍රතිචාර දැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

වානේ මතුපිටක් මත COVID19 වෛරසය අඩංගු ඛේටය හා වෛරසය සහිත වගා මාධ්‍යයන් තැන්පත් කිරීම මගින් විද්‍යාඥයන් විසින් මෙය සොයාගෙන ඇත. මෙහිදී ආලෝක තීව්‍රතාවය වෙනස් කළ හැකි ලාම්පු ආධාරයෙන්, විවිධ තත්ත්ව යටතේ එම මාධ්‍යන්හි දී වෛරසයේ පැවැත්ම නිරීක්ෂණය කරන ලදී.

දහවල් සූර්යාලෝකයට අදාල වන තීව්‍රතාවයේ දී, වෛරසය මිනිත්තු 7 කටත් අඩු කාලයකින් මිය ගිය බව පෙනී ගියේය. වගා මාධ්‍යයේ ඇති වෛරසය මිනිත්තු 14 කදි විනාශ විය. මේ පර්යේෂණයේදී දුර්වල ආලෝක තත්වයන් හිදී පවා, සෙමින් වුවද කොරෝනා වෛරසය විනාශ වන බව විද්‍යාඥයන් හට අනාවරණය කර ගත හැකි විය.

මූලාශ්‍රය : news.mail.ru

***************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර

(30.05.2020 – nethnews.lk)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ( www.slbfe.lk ) සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ( www.pubad.gov.lk ) වෙබ් අඩවිවලට අද (30) අලුයම සයිබර් ප්‍රහාර එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ ෴

***************************************

ත්‍රස්තවාදය වපුරන්න, විල්පත්තුව කපන්න රිෂාඩ්ව හැදුවෙ බැසිල්.. – විජයදාසගෙන් කෙස් කෙළින් වෙන හෙළිදරව්වක්

(30.05.2020 – 10:16 +0530 – lankaleadnews.com)

බැසිල් රාජපක්ෂ කෙනෙක් නොවන්නට අද රිෂාඩ් බදියුදීන් නම් ප්‍රබල දේශපාලන නායකයෙක් හෝ බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන දේශපාලකයෙක් බිහි නොවන බව නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

‘Sri Lanka Today යූ ටියුබ් නාලිකාව’ සමග සාකච්ඡාවකට එක් වෙමින් රාජපක්ෂ මහහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදු කර ඇත.

රිෂාඩ් බදියුදීන් පසුගිය කාලය පුරා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ උසස් පොලිස් නිලධාරීන්ට මෙන්ම අධිකරණ පද්ධතියටද බලපෑම් කරමින් කටයුතු කිරීමට තරම් බලසම්පන්න වීම පිටුපස සිටි අදිසි හස්තය බැසිල් රාජපක්ෂ මහතා බවටද ඔහු ප්‍රභල චෝදනාවක් එල්ල කර ඇත.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

https://www.youtube.com/watch?v=IcpqtumoOOM

***************************************

හලාවත දී සිදුවු රිය අනතුර – CCTV දර්ශන සහිතයි

(30.05.2020 – 17:15 +0530 – sinhala.adaderana.lk)

හලාවත පොලිස් බල ප්‍රදේශයට අයත් බංගදෙනිය වෙහෙරකැලේ ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ සිදුවු අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු (05) තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයක්, ටිපර් රථයක් හා වෑන් රථයකි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙම පුද්ගලයන් යාපනයේ සිට කොළඹ බලා ගමන් කරන අතරතුර අනතුරට ලක්ව ඇත.

මාර්ගයේ නවතා තිබු ත්‍රිරෝද රථයක් එකවර මාර්ගයට ගැනීමත් සමඟ අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් ඉදිරිපසින් පැමිණි වැන් රථයක ගැටී නැවත ත්‍රිරෝද රථයේ ගැටෙන අයුරු ඒ අසල පිහිටි සී සී ටි වී පද්ධති දෙකක සටහන්ව ඇත.

ටිපර් රථයේ හා ත්‍රිරෝද රථයේ රියදුරන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *