පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

• සහරාන්ගේ අරමුණු ජනපති කොමිසමේ දී හෙළිවෙයි (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ : ජනාවාසකරණය වන දෙවනගල (විඩියෝ)

• ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල (විඩියෝ)

• මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05 ක් (විඩියෝ)

• ඊයේ (30) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1,727 ක්

• කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (විඩියෝ)

• ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්

• හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3 ක් නිරෝධායනයට (විඩියෝ)

• කොටි හිතවාදින්ගේ ග්‍රහනයට හසුවූ වෙබ් අඩවි යථා තත්ත්වයට (විඩියෝ)

• මොරටුවේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු STF අත්අඩංගුවට

• ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි (31)

• සුනඛයින් ඉවත් කිරීමට එරෙහිව රෝසිගේ නිවස ඉදිරිපිට විරෝධයක් (විඩියෝ)

• වාලච්චේන කඩදාසි කම්හල 26 වසරකට පසු යළි පණගන්වයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි

(30.05.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වුණේ ඇයි ?

පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා.

ඒ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ (29) සාක්ෂි දුන් අතර සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයට පෙර පටිගත කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී අනාවරණ වුණා.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කොමිසම පළමුවෙන් විමසුවේ අක්කරෙයිපත්තු පොලිස් ස්ථානය හරහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ උපකරණ කිසිවක් ලැබුණේ ද යන්නයි.

ප්‍රහාරකයන්ට අයත් DVD, CD, PEN DRIVE කිහිපයක් සහ MEMORY CHIP එකක් ලැබුණු බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම MEMORY CHIP එක තුළ වීඩියෝ 17 ක් තිබූ නමුත් එම වීඩියෝ ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවක් භාවිත කර ඇති බව පෙන්නුම් කළ නිසා එය වැඩි දුර විමර්ශනයට යොමුකළ බවයි.

එහිදී එම MEMORY CHIP එක තුළ සඟවා තිබූ තවත් වීඩියෝවක් අනාවරණ කර ගැනීමට හැකිවී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ සහරාන් හෂීම් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට පෙර දිව්රුම් දෙන ආකාරයයි.

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ සහ ඉන් පසු දිනවලදීත් මෙම වීඩියෝව මහත් ආන්දෝලනයක් ඇති කළා.

එහි දක්නට ලැබුණේ විනාඩි කිහිපයක ඉතා කුඩා වීඩියෝවක් වුවත් මෙහි සම්පූර්ණ වීඩියෝව ජනාධිපති කොමිසම හමුවේ ප්‍රදර්ශනය කිරීමේදී හෙළිවුණේ එය පැය 2 යි විනාඩි 15 ක දිගින් යුතු වීඩියෝ පටයක් බවටයි.

මෙම වීඩියෝව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් අනාවරණ නොවූ කරුණු රැසක් අවනාවරණ වුණා.

අදාළ වීඩියෝව ත්‍රස්තවාදීන් විසින් පටිගත කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර දින එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 01:17 සිට පස්වරු 03:32 දක්වා කාලය තුළදී බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කළා.

ජනාධිපති කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ, මෙම වීඩියෝව හරහා අනාවරණ කරගත්තේ කුමන කරුණුද යන්නයි.

වීඩියෝව පිළිබඳ සිදුකළ විමර්ශනයේදී එහි සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණ කරගත් බවත්, මෙම ප්‍රහාරවලින් ඔවුන් සියලුදෙනා මියගිය බවට තොරතුරු ඇති බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.

නමුත් ඔවුන් 8 දෙනා අතරින් පුද්ගලයින් වශයෙන් නිශ්චිතව හඳුනාගෙන ඇත්තේ තිදෙනෙකු (3) පමණයි.

ඒ අනුව වීඩියෝවේ සිටින ප්‍රධාන පුද්ගලයා සහරාන් හෂීම් ලෙසත්, ඔහුගේ වම් පස කණ්නාඩි යුවලක් පැළඳ සිටින්නා කටුවාපිටියේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහම්මදු හස්තූන් ලෙසත්, වීඩියෝවේ සිටින කෙට්ටුම පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු වන ජමීල් මොහොමඩ් ලෙසත් හඳුනාගෙන තිබෙනවා.

සාක්ෂිකරු සඳහන් කළේ, දෙමටගොඩදී බෝම්බය පුපුරුවාගත් කාන්තාවද අදාළ වීඩියෝවේ සිටින බවට ප්‍රහාරය සිදුවූ දිනවලදී කතාබහක් ඇතිවුවත් වීඩියෝවේ සිටින සියලු දෙනා පිරිමි පුද්ගලයින් බවට තහවුරු වී ඇති බවයි.

සහරාන්ගේ දේශනය හරහා කුමන කරුණු අනාවරණ කරගත්තේදැයි කොමිසම අනතුරුව ප්‍රශ්න කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා පෙන්වාදුන්නේ සහරාන් හෂීම් අන්තවාදී මත දැරීමට සහ මෙරට ඉහල පෙළේ සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කිරීමට හේතු වූ ප්‍රධාන කරුණු 4 ක් අදාළ දේශනයේ අන්තර්ගත බවයි.

  1. අල්ලා දෙවියන් විසින් අනුමත කර ඇති ක්‍රියාවන් හෙවත් හලාල් වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියාවන් හෙවත් හරාම් ප්‍රතික්ෂේප කිරීම,
  2. අල්ලා දෙවියන් විසින් මුස්ලිම් ජනතාවට ලබාදී ඇති දේශයට අබු බකර් අල් බග්දාදි විසින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකර තිබියදී එහි කුඩා නගරයක් වන බාගුස් වෙත රටවල් 80 ක් එකතු වී බෝම්බ ප්‍රහාර එල්ලකර මුස්ලිම් ජනතාව මරා දැමීමට පළිගැනීම,
  3. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි පුද්ගලයෙකු විසින් ඝාතනය කිරීම,
  4. සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් විරුද්ධවාදීන් හෙවත් කාෆීර්වරුන් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කිරීම

එම ප්‍රධාන කරුණු 4 ලෙස සහරාන් සිය දේශනයෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රධාන කරුණු 4 තුළ අන්තර්ගත වූ 3 වන කරුණ එනම් නවසීලන්තයේ මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි පුද්ගලයෙකු විසින් මරා දැමීම මෙරට කතෝලික දේවස්ථානවලට පහර දීමට හේතුවූ බව සහරාන් සිය දේශනයේ සඳහන් කර තිබෙනවා.

ඒ සමඟම මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබෙන්නේ සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් ජනතාවගේ විරුද්ධවාදීන් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරක හොටල්වල ලැගුම්ගැනීමයි.

මීට අමතරව මේ සඳහා ශ්‍රී ලංකාව තොරා ගැනීමට හේතු වූ තවත් කරුණු 10 ක් සහරාන් සිය දේශනයේ සඳහන් කර තිබෙනවා.

මෙම වීඩියෝව අධ්‍යයනය කිරීමේදී ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහරාන්ගේ දේශනයේ අන්තර්ගත බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කළා.

  1. අල්ලා දෙවියන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම ගෞරවයක් මෙන්ම පාරාදීසය වෙත සෘජුව ගමන් කිරීමේ ක්‍රමයක් වන බව, ප්‍රහාරය සිදුකිරීමේදී විනාශවන මස්, ඇට කැබලි සහ හිස් කබල් මතින් ඉස්ලාම් රාජ්‍යයක් සඳහා බීජයක් රොපණය වීම,
  2. මෙම ප්‍රහාරය ඉදිරියේදී ඉන්දියාව ජයග්‍රහණය කිරීම සඳහා පාදක කර ගැනීම,
  3. විරුද්ධවාදීන් සමඟ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකරන අතර තැන් තැන්වන බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණක් වීම,
  4. නුඹලාට අපේ අනුකම්පාව අවශ්‍යනම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ බදු ගෙවීම සිදුකළ යුතුය.

යන කරුණු ඇතුළු තවත් කරුණු කිහිපයක් ඊට ඇතුළත්.

මීට අමතරව අදාළ වීඩියෝවේ සහරාන් ගිනිඅවියක් අතැතිවත් තවත් කිහිප දෙනෙකු පිහි රැගෙන සිටීමත් සහ පිටුපසින් දැක්වෙන ධජය IS මතවාදයට සමාන බව ඔප්පුකිරීමට ගෙන ඇති උත්සාහයක් බවට පෙනී යන බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වීඩියෝව අක්කරෙයිපත්තු පොලිස් ස්ථානයට ලැබුණේ කෙසේදැයි කොමිසම විමසුවා.

සාක්ෂිකරු සඳහන් කළේල මඩකළපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් නමැති පුද්ගලයා මෙම වීඩියෝව අන්තර්ගත උපකරණ මඩකලපුවට රැගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි.

+++++++++++++++++++++

සහරාන්ගේ අරමුණු ජනපති කොමිසමේ දී හෙළිවෙයි

(30.05.2020 – 20:10 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින මෙරට ප්‍රහාරයක් සිදුකිරීමට අදාල හේතු රැසක් එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ (29) අනාවරණ වුණි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එහිදී සාක්ෂි ලබාදෙමින් පැවසුවේ සහරාන් හෂිම් ප්‍රහාරයට පෙරදින ගල්කිස්ස ප්‍රදේශයේ දී පටිගත කළ වීඩීයෝ පටයකින් අදාල හේතු අනාවරණ වන බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (29) පස්වරුවේ පෙනී සිටියේ දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම්හලේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.

එහිදී සාක්ෂිකරු සඳහන් කළේ 2017 දෙසැම්බර් 09 වන දා එවක පොලිස්පති පූජිත් පූජිත ජයසුන්දර මහතා අත්සන් තැබූ බුද්ධි තොරතුරක් තම කොට්ඨාශයට ලැබුණු අතර ජමීල් මොහොමඩ් නැමැත්තා IS මතවාදය දරන අන්තවාදී පුද්ගලයෙකු බැවින් ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තා කරන ලෙස එහි සඳහන්ව තිබූ බවයි.

පාස්කු ඉරුදින දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම්හලේ සිදු වූ පිපිරීමට සම්බන්ධ වූයේ එම පුද්ගලයායි.

ඒ අනුව අදාළ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කර අවස්ථා 8 කදී ඒ පිළිබද වැඩිදුර වාර්තා එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යැවූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

2018 අප්‍රේල් 12 වනදා ජමීල් මොහොමඩ් ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට දන්වා යවා තිබූ බවත් ඔහු පැවසුවේය.

නමුත් 2019 අප්‍රේල් 08 වනදා පොලිස්පතිවරයාට මේ ගැන යැවූ අවසන් වාර්තාවේද සදහන්ව තිබී ඇත්තේ ජමීල් මොහොමඩ් නමැත්තා අන්තවාදයට නැඹුරු වී ඇතැයි වාර්තා වී නොමැති බවයි.

පසුව විමර්ශන නිලධාරියා කොමිසමට ඉදිරිපත් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහු සිදුකළ විමර්ශනයන් සම්බන්ධයෙන් වූ තොරතුරුයි.

ඒ අනුව තමා පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම්හල වෙත ගොස් පරික්ෂා කිරීමේදී බෝම්බකරු වශයෙන් ජමීල් මොහොමඩ් නැමැත්තා හඳුනා ගැනීමෙන් පසු නිලධාරීන් පිරිසක්ද සමග ජමීල්ගේ වැල්ලම්පිටිය නිවසට යනවිට සැකකරුගේ බිරිඳ සහ තවත් පිරිසක් නිවසේ සිටි බවත් සාක්ෂිකරු පැවැසුවේය.

පසුව ජමීල් මොහොමඩ්ගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රහාරය සිදු වූ දින උදෑසන කාලයේදී බෝම්බකරු ඇයගේ ජංගම දුරකතනය වෙත Whatsapp ඔස්සේ හඩ පටියක් එවා තිබුණු බව සොයාගෙන තිබේ.

“ශිෆානා, ඔබ මට කෝල් කරන්න එපා. මම මේ වෙනකන් කිව්වේ බොරු. මම අල්ලාහ්ගේ මඟ යනවා. පොලිසිය ආවොත් මෙය පෙන්වන්න” යනුවෙන් එම හඬපටියේ අන්තර්ගතය සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළේය.

කොමිසමේ සභාපති විනිසුරුවරයා රජයේ රස පරීක්ෂකට නියෝග කළේ හඬපටයේ පසුබිමින් ඇසෙන දරුවන් ගේ කටහඬ, සහරාන් හෂීම් ගේ දියණියගේ කටහඬ සමග හෝ ජමිල් මොහොමඩ්ගේ දැනට ජීවත්ව සිටින දරුවන්ගේ කටහඬ සමඟ සැසඳෙනවා දැයි පරික්ෂා කරන ලෙසයි.

පාස්කු ප්‍රහාරයට පෙර දින සහරාන් විසින් පටිගත කළ තවත් වීඩියෝ පට රැසක් හමුවී තිබූ අතර ප්‍රහාරය එල්ල කිරීමට පාස්කු ඉරුදිනම තෝරා ගත්තේ ඇයිද යන්න හේතුව එහි සඳහන්ව ඇත්දැයි කොමිසම ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ ප්‍රහාරය සිදු කිරීමට හේතු 4 ක් සහ ප්‍රහාරය ශ්‍රී ලංකාව තුළ දීම සිදු කිරීමට හේතු 10 ක් එහිදී සහරාන් විසින් සඳහන් කර තිබුණු බවයි.

ඒ අනුව සහරාන් ඇතුළු සෙසු බෝම්බ කරුවන් කළු පැහැති ලෝගු ආකාරයේ ඇඳුම් ඇඳගෙන සිදුකළ ප්‍රතිඥාවට පෙර ඔවුන් බිම වාඩිවී පටිගත කළ මෙතෙක් කිසිදු මාධ්‍යය ඔස්සේ පළනොවුනු වීඩියෝ දර්ශනයක් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රථම වරට ඉදිරිපත් කළේය.

ප්‍රහාරය සඳහා පාස්කු ඉරුදින තෝරාගැනීමට ප්‍රධාන හේතු 4 ක් එහි දක්වා තිබුණි.

  1. අල්ලාහ් දෙවියන් විසින් අනුමත කර ඇති ක්‍රියා වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියා ප්‍රතික්ෂේප කිරීම
  2. හිටපු IS නායකයා බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කර එම මුස්ලිම් ජනතාව මරා දැමීමට එරෙහිව පලිගැනීම
  3. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි ජනතාව ඝාතනය කිරීම
  4. ඉරාකය, සිරියාව වැනි රටවල මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට පෙරමුණ ගත් විරුද්ධවාදීන් ලංකාවට පැමිණ සංචාරය කිරීම

යන කරුණු නිසා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් වලට ප්‍රහාරය එල්ල කළ බව සහරාන්ගේ වීඩියෝ පටයේ අන්තර්ගතයි.

මීට අමතරව මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට හේතු ලෙස සහරාන් හෂීම් සඳහන් කරන්නේ‍,

  1. අල්ලාහ් දෙවියන් ට බැන වැදීම සහ අවමන් කිරීම
  2. කුලියාපිටියේදී ඌරෙකුගේ රූපයක් මත අල්ලාහ් යනුවෙන් සඳහන් කිරීම
  3. අල්ලාහ් දෙවියන්ට නැවත පුනරුත්පත්තියක් ඇති බවට ඥානසාර හිමි විසින් ප්‍රකාශයක් සිදු කිරීම
  4. මොහොමඩ් නබි තුමන්ට බැන වැදීම
  5. කුරානය ඉරා දමා විනාශ කිරීම
  6. මස්ජිද් පල්ලි කඩා බිඳ දැමීම
  7. මුස්ලිම් ජනතාවගේ නිවෙස් ගිනි තබා ආර්ථිකය විනාශ කිරීම
  8. ජාත්‍යන්තර කුරුස යුද්ධයට ශ්‍රී ලංකාව සහභාගි වීම
  9. අල්ලාහ් දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම නොපිළිගන්නා පුද්ගලයින් දුටු තැන ඝාතනය කිරීම

යන සාධකයි.

එමෙන්ම මෙම ප්‍රහාරයන් සිදු සිදුකිරීමේදී විනාශ වන මස් සහ ඇට කැබලි මඟින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමේ බීජයක් රෝපණය වන බවත් ඉන්දියාවේ සිටින විරුද්ධවාදීන් ඉලක්ක කරගෙනද මෙවන් ප්‍රහාරයක් සිදු කළ යුතු බවත් සහරාන් හෂීම් පවසා තිබේ.

මෙම ප්‍රහාරය සිදු කරනු ලබන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අල්ලාහ් දෙවියන් වහන්සේට සිදු සිදුකරන ලබන ගෞරවයක් වශයෙන් බවත් එහි සඳහන්.

විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන තැන් තැන් වල බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණක් බවත් ඉදිරියේදී බොහෝ පිරිසක් කණ්ඩායම් වශයෙන් ඝාතනය කරනු ඇති බවත් අනුකම්පාව අවශ්‍ය නම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ ඔවුන්ට බදු ගෙවීම සිදු කළ යුතු බවත් වීඩියෝ පටයේ සඳහන් වෙයි.

අනතුරුව කොමිසමේ අවධානය යොමුවුණේ මෙම වීඩියෝ පටය පටිගත කළ ස්ථානය පිළිබඳවයි.

ගල්කිස්ස Span Tower නිවාස සංකීර්ණයේ දී අදාළ වීඩියෝ පටය වීඩියෝ ගත කර ඇත්තේ ප්‍රහාරයට පෙර අප්‍රේල් 20 වැනිදා දහවල් 1 සිට සවස 3 අතර කාලයේදී බව සාක්ෂිකරු පැවසුවේය.

පසුව කොමිසම විමසා සිටියේ සහරාන් හෂිම් අතැතිව සිටින ගිනිඅවිය පිළිබඳවයි.

එය ටී 56 වර්ගයේ ගිනි අවියක් බවත් 2017 වර්ෂයේ සිට සහරාන් අවි පුහුණුව සඳහා අදාල අදාළ ගිනි අවිය භාවිත කර තිබුනත් සිය විමර්ශනයේදී මෙවන් ගිනි අවියක් තමන්ට සොයා ගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකරු කොමිසමට පැවසුවේ.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : ජනාවාසකරණය වන දෙවනගල

(30.05.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය කරමින් එම ඓතිහාසික භූමිය ජනාවාසකරණයට ලක් කිරීමේ කූට ක්‍රියාවලියක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ වෙත වාර්තා වුණා.

මේ ඉඩම් සංහාරය විල්පත්තුව අවට වන කලාපය වනසා ජනාවාස ඉදිකිරීමේ විනාශයට සමාන බවයි ‘හිරු සී.අයි.ඒ.’ ගවේෂණයේදී හෙළිවුණේ.

‘හිරු සී.අයි.ඒ.’ හරහා පසුගිය දින කිහිපයේදීම අප හෙළිකලේ දෙවනගල පුදබිමට අයත් කුඹුරු ඉඩම් ගොඩඉඩම් බවට පත්කිරීමේ සංවිධානාත්මක ජාවාරම පිළිබදවයි.

ඊට අමතරව දෙවනගල පුදබිම පිහිටා ඇති අක්කර 72 ක ගල් පර්වතය පාමුල මුළුමනින්ම ජනාවාසකරණයට ලක්කිරීමේ සූක්ෂම ක්‍රියාවලියක්ද ලහි ලහියේ සිදුවෙමින් පවතිනවා.

ඒ මූලික අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකි පසුබිමකයි.

මේ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ විල්පත්තුව අවට වන බිම් වනසාදමමින් කුඩා නිවාස ඉදිකල පරිදිම මෙම ඉඩම් කොල්ලයද ක්‍රියාත්මක බවයි.

+++++++++++++++++++++

***************************************

ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල

(30.05.2020 – 16:03 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද බිමේ පැවති ආගමික වතාවත්වලට එක්වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (30) පෙරවරුවේ ජනතාවට සහ රටට සෙත් පතා මෙම ආගමික වතාවත් පැවති බවයි.

සෝමාවතී පුද බිමට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම සෝමාවතී සෑ රදුන් වෙත සිදු කෙරුනු කප්රුක් පූජාවකට ද ජනාධිපතිවරයා එක්වුනා.

සෝමාවතී පුද බිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ද ලක්වනවා.

සෝමාවතිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව, එවැනි ආපදා තත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ හෙලිකොප්ටර් යානා අංගනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අද (30) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණ පවත්වන ලෙස පවතින රජයෙන් ඉල්ලා සිටීම විපක්ෂයේ කාර්යභාරය වුව ද, වර්තමාන විපක්ෂය එය කල්දැමීමට උත්සාහ කරන බවයි.

අනතුරුව මල්වතු විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින සිය 77 වන ඡන්ම දිනය සමරන මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පසුව, එම පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අස්ගිරි මහා විහාරයට ද පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සභාවේ හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

+++++++++++++++++++++

***************************************

මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05 ක්

(30.05.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 5 ක් යොදවා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

අදාළ පහරදීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධ බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ පිරිස මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ (29) පැවති අවස්ථාවේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තල ප්‍රාදේශිය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මිහින්තලය නගර මධ්‍යයේ අද (30) විරෝධතාවක් ද පැවැත්වුණා.

අනතුරුව විරෝධතාකරුවන් මිහින්තලය පොලීසිය දක්වා පාගමනින් ගොස් ඒ-9 මාර්ගය ද අවහිර කමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

ඊයේ (30) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1,727 ක්

(31.05.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 63,935 ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඊයේ (30) දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,727 ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,620 දෙනෙකු වාර්තාවන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 781 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

ආසාදිතයන් 829 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. ඊයේ (30) දිනයේ අවසන් වරට වාර්තාවූ අසාදිතයන් හත්දෙනා කටාර් සිට දිවයිනට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක

(30.05.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව අද (30) ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක නිරත වුණා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ යහපාලන ආණ්ඩුව සමයේ දේශපාලඥයින්ගේ අවශ්‍යතාවන් මත මේ ගොඩකිරීම් සිදුකර ඇති බවයි.

අක්කර හතරහමාරක් පමණවන මෙම වගුරු බිම කළකට ඉහත ප්‍රදේශයේ පැවති සශ්‍රීක කුඹුරු යායක් බවයි ගම්වාසීන් පවසන්නේ.

කළක් පුරන්ව පැවති මෙම කුඹුරු යාය පසුගිය කාලයේ එම ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට මහත් රුකුළක් වූ වගුරු බිමක් බවට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින් මෙම ඉඩම කොටස් කර විකිණීමේ අරමුණින් මෙම වගුරු බිම ගොඩ කිරීමට පියවර ගෙන තිබූ බවයි.

ඒ හේතුවෙන් සුළු වැසි තත්ත්වයකදී පවා ප්‍රදේශයේ මාර්ග යටවන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

***************************************

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක්

(30.05.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ තීන්දුව ලැබෙන තෙක්ම ලබා දෙන ලෙස ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේ ETI මූල්‍ය වංචාවට අදාළව පවතින නඩු කටයුත්තක් අද (30) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහබැංකුවට විරුද්ධව ETI මුල්‍ය ආයතනය ඇතුළු පාර්ශව 18 ක් වගඋත්තර කරුවන් කරමින් ETI තැම්පත්කරුවන් සුරැකීමේ සංවිදානය ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනීසිටීම සදහා අද (30) පෙරවරුවේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියා.

කෙසේ වෙතත් පවතින කොවිඩ් 19 අවදානම හේතුවෙන් අද (30) දිනයේ නිතීඥයින්ට පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවීමට අවසර ලැබුණු අතර නඩු විභාග අවසන්වන තෙක් ETI තැන්පත්කරුවන් උසාවි සංකීර්ණය ඉදිරිපිට රැදී සිටියා.

***************************************

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්

(30.05.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව, වසර 5 ක ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පදිංචිය සනාථ කිරීම සිදුකළ හැකියි.

ඒ අනුව, පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ග්‍රාම නිලධාරින්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීමෙන් ලබා ගත හැකියි.

කොරෝනා අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ෴

( https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx )

***************************************

හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3 ක් නිරෝධායනයට

(30.05.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් 27 දෙනෙකු අද (30) රෝහල්වලින් නික්ම යාමත් සමග සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගියා.

එසේම, අද (30) දිනයේදී නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ අතර, මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1563 ක් ලෙසයි. අද (30) මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් සියලුදෙනා නාවික හමුදා සාමාජිකයින්.

මේ අතර, කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

වෛරසය ආසාදිතව තවත් රෝගීන් 770 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, හොරණ – කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග පවුලේ සාමාජිකයින් ඇතුළු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 3 ක පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකළ බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලරත්න මහත්මිය ප්‍රකාශ කළා.

එම යුද හමුදා නිලධාරියා පැමිණි බවට හඳුනා ගත් හොරණ නගරයේ වෙළඳසැල් 4 ක් ද වසාදමා ඒවායේ සේවක සේවිකාවන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ යුද හමුදා නිලධාරියා කටුනායක ගුවන්තොටුපලේ රාජකාරි කටයුතු සිදුකර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර, පසුව යළි රාජකාරියට වාර්තා කිරීමේදීයි කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, කොළඹ කොටුව – සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ල අවට සිටින පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගැනීම අද (30) කොළඹ මහනගර සභාව මගින් සිදුකළා.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ – මෙල්බන් නුවර සිට අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 286 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම, සිය සේවා කාලය අවසන් වීම හේතුවෙන් ඕමානයේ රැදී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් ගැටලු රැසකට මුහුණපා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වනවා.

අප මේ සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්මාල්ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා දහසක (1000) පමණ පිරිසක් තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති බවයි.

ඔවුන්ගෙන් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින් 400 ක් පමණ විශේෂ ප්‍රමුඛතා ලේඛනයකට ඇතුළත් කර ඇති බවත්, අවස්ථාවක් ලද සැණින් එම පිරිස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට සූදානම් බවත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළා.

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් පිළිබඳ සොයා බැලීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එහෙත්, බහරේනයේ වෙසෙන තවත් තරුණයින් පිරිසක් සිය ගැටලු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට තවත් වීඩියෝවක් නිකුත් කර තිබුණා.

***************************************

කොටි හිතවාදින්ගේ ග්‍රහනයට හසුවූ වෙබ් අඩවි යථා තත්ත්වයට

(30.05.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hirunews.lk වෙබ් අඩවියට පසුගිය 18 වනදා කොටි හිතවාදී සංවිධානයක් සයිබර් ප්‍රහාරයක් එල්ල කළ අතර, අද (30) තවත් කොටි හිතවාදී සංවිධානයක් මෙරට රාජ්‍ය වෙබ් අඩවි දෙකක් (02) ඉලක්ක කර තිබුණා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියයි.

විගමනික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ යාවත්කාලීන කළ තොරතුරු දැන ගැනිම සඳහා අප අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කළා.

එහිදී අපට දක්නට ලැබුණේ දෙමළ ගීතයක අනුවාදනයක් පසුබිමේ වාදනය වද්දී තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති කොටි සංවිධානයේ ලාංඡනයයි.

එහි පහළින් දෙමළ ඊලාම් සයිබර් ෆෝස් නමැති කණ්ඩායමක් සටහනක් ද යොදවා තිබුණා.

කොටි ත්‍රස්තවාදීන් දියත් කළ ඊලාම් යුද්ධයේ ඡායාරූප පෙළක් ද එහි දක්නට ලැබුණු අතර, මීට වසර 39 කට පෙර 1981 වසරේ මැයි 31 වනදා ගිනිබත් කෙරුණු යාපනය පුස්තකාලයේ ඡායාරූපයක් ද එහි දක්නට ලැබුණා.

මේ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ද අද (30) පෙරවරුවේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වුණා.

එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි එම අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේ.

කොටි හිතවාදී දෙමළ ඊලාම් සයිබර් ආම් නමැති මෙම සංවිධානය විසින් මෙරට ප්‍රමුඛතම වෙබ් අඩවිය වන hirunews.lk අපගේ වෙබ් අඩවියට ද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 18 වනදායි.

30 වසරක් මෙරට වෙලා ගත් කුරිරු ත්‍රස්තවාදය පරදා වසර 11 ක් ගත වුව ද, කොටි හිතවාදී බලල් අත් තවමත් ක්‍රියාත්මක බවට මෙය හොඳම නිදසුනක් බවයි මහා සංඝරත්නය මෙන්ම ජනතා නියෝජිතයින් ද පෙන්වා දෙන්නේ.

මේ අතර, එල්.ටී.ටී.ඊ. ය යුදමය ලෙස සාර්ථකව මර්දනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුව ද ඔවුන් මතවාදාත්මක පරාජය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා පෙන්වා දෙනවා.

***************************************

මොරටුවේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු STF අත්අඩංගුවට

(31.05.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර – එළුවිල ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, 34 හැවිරිදි ඔහු මොරටුව – අඟුලාන – සමුද්‍රාසන්න පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම අවස්ථාවේදි ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේ මැයි මස 24 වනදා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින ප්‍රධාන සැකකරුද වනවා ෴

***************************************

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි (31)

(31.05.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට (31) යෙදී තිබෙනවා.

දුම්පානය කරන්නන් මෙන්ම එය නොකරන පුද්ගලයන්ද එහි අවදානමට ලක්වීම බරපතල තත්ත්වයක්.

මෙවර එහි තේමාව වන්නේ අනාගත පරපුර දුම්කොල භාවිතයට ඇබ්බැහිවීම වැළැක්වීමයි.

ලොව සියලු රටවල මේ වනවිට දුම්පානය බරපතල අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසරකට මිලියන 8 ක් දුම්පානය නිසා ඇති වන විවිධ රෝගාබාධයන් හේතුවෙන් මියයන බවයි.

ඒ අතරින් මිලියනයකට වැඩි පිරිසක් ඍජුව දුම්පානය නොකරන එහෙත් දුම්පානයට නිරාවරණය වීම නිසා ජිවිත අවදානමට ලක්වූ අය වීම විශේෂත්වයක්.

ක්‍රම ක්‍රමයෙන් වයස අවුරුදු 13 ට වැඩි පාසල් දරුවන්ද දුම්පානයට යොමුවීමේ අභියෝගයකට ලෝකය මුහුණදෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවද මේ අවදානමට මුහුණ දෙන රටක්. කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය සමඟ දුම්පානයට තිත තැබීමට මහඟු අවස්ථාවක් හිමිව ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය සඳහන් කළේ ෴

***************************************

සුනඛයින් ඉවත් කිරීමට එරෙහිව රෝසිගේ නිවස ඉදිරිපිට විරෝධයක්

(30.05.2020 – 22:15 +0530 – sinhala.adaderana.lk)

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිටි සුනඛයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කටයුතු කර ඇත.

සත්ත්ව සංවිධාන කිහිපයක් ඊට විරෝධය පා අද (30) කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවස ඉදිරිපිට නිහඩ විරෝධතාවක නියැලුණේය.

***************************************

වාලච්චේන කඩදාසි කම්හල 26 වසරකට පසු යළි පණගන්වයි

(30.05.2020 – 20:52 +0530 – sinhala.adaderana.lk)

ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව 26 වසරකට පසු අද (30) යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.

එහි පළමු අදියර ලෙස සිදු කෙරුණේ කාඩ්බෝඩ් නිෂ්පාදනයයි.

වාලච්චේන කඩදාසි නගරය තුල 1952 වර්ෂයේදී ඉදිකෙරුණු මෙම කර්මාන්ත ශාලාව මෙරට කඩදාසි අවශ්‍යතාව 100% කින් සපුරාලීමට සමත්වූ අතර එවකට කර්මානාත් ශාලාව තුළ සේවකයින් 3000 කට වැඩි පිරිසක් සේවය කර තිබේ.

කෙසේවෙතත් 1977 වසරේදී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙළෙඳපොළට පැමිණීමත් ඉන් පසු රජයන් විසින් විවිධ අවස්ථාවලදී දේශපාලනික හා ව්‍යාපාරික වුවමනා වෙනුවෙන් කඩදාසි ආනයනික බදු පහල හෙලමින් ආනයනය වැඩිකිරීම හේතුවෙන් 1994 වසරේන් පසු කර්මාන්ත ශාලාව වසා දැමීමට සිදුවුණි.

ඒ අනුව මේ වනවිට විවිධාකාරයේ කඩදාසි ආනයනය කිරීමට වසරකට රජයට රුපියල් මිලියන 99,000 ක් පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

මෙවැනි පසුබිමක මෙම කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවුණි.

ඒ අනුව පසුගියදා ‘අද දෙරණ’ විමසා බැලූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන යන්ත්‍රය මඟින් අද පළමු වරට කාඩ්බෝඩ් නිශ්පාදනය සිදුකෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්ව සිටියේය.

***************************************

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

(31.05.2020 – colombotoday.com)

පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිංහලේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නිරෝධායන නීතිවලට පටහැනිව කොරෝනා මර්ධනය කිරීමට බාධාකාරී ලෙස ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් ඇතුළු පිරිසකට විරුද්ධව ද පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ජනාධිපති ලඟට වෙලා කුමන්ත්‍රණ කරන අලි සබ්‍රි

ජනාධිපති ගොටභය රාජපක්ෂ මහතා සමීපයට වී මොහොමඩ් අලි සබ්‍රි මහතා රජය කෙරෙහි බහුතර සිංහල බෞද්ධයාගේ විශ්වාසය නැති කරීමට කුමන්ත්‍රණ කරනවාදැයි සැකයක් පවතින බවත් අනෙකුත් සියලුම මුස්ලිම් මැති ඇමතිවරු එක පසකට වෙද්දී අලි සබ්‍රි පමණක් ගොඨාභය රාජපක්ෂ කඳවුරේ නැවතීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා අදහස් දක්වමින් පැවසීය.

සුළු ජන දේශපාලකයින් ජාතික සමගිය නැති කිරීමේ ප්‍රකාශ සිදු කරන බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරද්දී මුස්ලිම් දේශපාලකයන් අහන්නේ කොවිඩ් වෛරසය වැළඳී මිය යන මුස්ලිම් පුද්ගලයින් වලලනවද පුච්චනවද කියලා යැයි සඳහන් කර සිටි සංජීව මහතා රිෂාඩ් බදුර්දීන් ට රවුෆ් හකීම් ට අසාද් සාලි ට ජාත්‍යන්තරයට කේලාම් කියන්න අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ මොහොමඩ් අලි සබ්‍රි බවට චෝදනා කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් සංජිව මහතා :

අන්තවාදී අලි සබ්‍රි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන්න

අන්තවාදී අලි සබ්‍රි ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසත් දේශප්‍රේමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන ලෙසත් එසේ කළහොත් පමණක් අප බලාපොරොත්තුවන නිදහස් නිවහල් රට නැවත ගොඩ නැගිය හැකි බවත් සිංහලේ සංවිධානයේ උප සභාපති පූජ්‍ය රත්නපුරේ සීවලී හිමි මෙහිදී සඳහන් කර සිටියා.

ජාතිවාදයට අන්තවාදයට උඩගෙඩි දෙන අලි සබ්‍රි වැනි පුද්ගලයන් ලංකරගෙන තනතුරු දෙන්න උත්සහ කරන්නේ කාගේ උවමනවකටදැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටි සීවලී හිමි පසුගිය ආණ්ඩුව මෙන් සිවිල් සංවිධාන, භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීමට උත්සහ ගැනීමට මෙන්ම වක්‍රව හෝ එයට සහයෝගය දීමට කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට නොමැති බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුරේ සීවලී හිමි :

සිංහල බෞද්ධ ඡන්දවලින් නොවෙයි අලි සබ්‍රිට ඉල්ලලා එන්න කියන්න

සියලු දෙනා බලාපොරොත්තු වූ ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටවූ බවත් ඒ ආණ්ඩුව යටතේ භික්ෂුන් වහන්සේලා සිරගත කරන්න ඉඩ නොතැබිය යුතු බව මේ අවස්ථාවට එක්වූ කළා කරු අසංග පෙරේරා මහතා පවසනවා. භික්ෂුන් වහන්සේලාට අත තැබූ යහපාලන ආණ්ඩුව පන්නා දැමු බවත් මේ ආණ්ඩුව යටතේ භික්ෂුන් වහන්සේලා උසාවි ගානේ ගෙන්විම බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

අලි සබ්‍රි කියන පුද්ගලයාට දේශපාලනයට එන්න අවශ්‍යනම් මහ පාරට බැහැලා ඡන්දය ඉල්ලා එන්න කියන්න. මොකටද ජාතික ලැයිස්තුවෙන් එන්නේ යැයි පැවසූ ඒ මහතා බෞද්ධයන්ගේ ඡන්ද නියෝජනය කිරීමට සිංහලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත් අවධාරණය කර සිටියා.

“භික්ෂුන් වහන්සේලාට අත තියෙනවානම් මේ ආණ්ඩුවටත් අබ සරණයි” යැයි පැවසූ අසංග පෙරේරා මහතා “ගිය ආණ්ඩුවට කළ දේ මේ ආණ්ඩුවටත් කරනවා” යැයි සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කලාකරු අසංග පෙරේරා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *