දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට

(03.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ සී.සි.ටී.වී. දර්ශන, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළා.

කොමිසම හමුවේ අනාවරණ වූයේ ෂැංග්‍රීලා බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1 ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා වැටී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (02) ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ෂැංග්‍රීලා හෝටලයට එක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඩ්ගේ බිරිඳගේ සහෝදරයායි.

ෆාතිමා ජිෆ්රි නම් තම සහෝදරිය කුඩා කාලයේ සිටම සාමාන්‍ය යුවතියක් ලෙස හැදී වැඩුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

විවාහයෙන් අනතුරුව නැඟණිය සහ ඇයගේ සැමියා වූ ඉල්හාම් අහමඩ් තම පවුල සමඟ පැවති සබඳතා ක්‍රම ක්‍රමයෙන් අඩු වූ බව පැවසු සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ නැඟණිය අන්තවාදී අදහස් දරන තැනැත්තියක් බවට පත් වූ බවයි.

අන්තවාදී මතවාද හේතුවෙන් තම විවාහයටද සහභාගී නොවූ සිය නැඟණිය සහ සැමියාල ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට ඡන්දය පාවිච්චි කළ නොහැකි බවත්, ඔවුන් එසේ කළ යුත්තේ ඉස්ලාම් රාජ්‍යයක් තුළ පමණක් බවත් පැවසූ බව සාක්ෂිකරු අනාවරණ කළා.

වරක් තම පියා සිංහල ජනතාවට සහ විහාරස්ථානවලට උපකාර කරන බව දැනගත් ඉල්හාම් අහමඩ් තම පියාට දැඩි ලෙස පරිභව කළ බව පැවසු සාක්ෂිකරු ඒ පිළිබඳව සිය නැඟණියගෙන් විමසූ විට තමාද තම සැමියාගේ පාරේ ගමන් කරනවා යැයි පිළිතුරු දුන් බව සාක්ෂිකරු පැවසුවා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ උදෑසන 08:30 ට පමණ නැඟණිය සිය මවට දුරකතනයෙන් අමතා ඉක්මනින් සිය නිවසට පැමිණෙන ලෙස හඬමින් පැවසූ බව සාක්ෂිකරු පැවසුවා.

ඊට හේතුව විමසූ අවස්ථාවේදී, පෙරදා අළුයම 01:00 ට පමණ සිය සැමියා පැමිණ දරුවන් වඩාගෙන සිට හඬා පිටවූ බවත්, මේ දක්වා ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත බවටත් ඇය පිළිතුරු දී තිබෙනවා.

ඉන් අනතුරුව සිය මව, නැඟණිය බැලීම සඳහා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවසට ගිය බව පැවසු සාක්ෂිකරු එහිදී තම දරුවන් බලාගන්නා ලෙසට නැඟණිය මවට පවසා තිබූ බවද සඳහන් කළා.

එදින දහවල් 01:30 ට පමණ ආහාර ගැනීමට මව පහත මාලයට පැමිණ තිබෙනවා.

පොලීසිය මහවිල උද්‍යානයේ නිවසට පැමිණි එම අවස්ථාවේදී බෝම්බ පිපිරීම සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඉල්හාම් අහමඩ්ගේ පියා වන ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ දේශපාලන සබඳතා පිළිබඳව ජනාධිපති කොමිසම කළ විමසීමකදී, ඔහුට ජේ.වී.පී. එක සමග දැඩි දේශපාලන සබඳතාවක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ, ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මාස 3 ක සිට සේවය කළ ගලහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය පැවසුවේ අහමඩ් ඉල්හාම්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමාට වැඩි අවබෝධයක් නොමැති නමුත්, අවස්ථා රැසකදී ඔහු කිසියම් ලිපිලේඛන තොගයක් ගිනිබත් කරන ආකාරය දුටු බවයි.

2019 අප්‍රේල් 21 වැනිදා දහවල් පොලිස් නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ තමන් ඇතුළු පිරිසක් වෙනත් ස්ථානයකට යොමු කළ බවත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉහළ මාලයට ගිය බවත් ඇය ප්‍රකාශ කළා.

එහිදී දොර අරින්න යනුවෙන් නිලධාරියෙකු පවසන ශබ්දය ඇසුණු බව පැවසු සාක්ෂිකාරිය ඉන් පසුව බෝම්බය පුපුරා ගිය බවද කොමිසම හමුවේ අනාවරණ කළා.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ 151 වැනි සාක්ෂිකරු වශයෙන් සාක්ෂි ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරිනියක්.

ඇය කොමිසම හමුවේ පැවසුවේල මහවිල උද්‍යානයේ පිහිටි ඉල්හාම් අහමඩ් නමැත්තාගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ස්ථාපිත CCTV කැමරාව මගින් ලබාගත් දර්ශන සිය පරීක්ෂණ සඳහා යොදා ගත් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඉන් අනතුරුව දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවස තුළ බෝම්බ පුපුරා යන ආරක්ෂක කැමරා දර්ශන ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර, දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස පරීක්ෂා කිරීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පොලිස් සැරයන් වසන්ත සිසිර කුමාර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (03) සාක්ෂි ලබාදුන්නා.

එහිදී සාක්ෂිකරු පැවසුවේ, උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර ඇතුළු පිරිස නිවසට තුළට පවිසෙන අවස්ථාවේදී තවත් පිරිමින් දෙදෙනෙකු එහි සිටි බවයි.

රෝහණ බණ්ඩාර මහතා තමාව පහළ මාලයේ රඳවා බණ්ඩාර සහ දුලංජන යන නිලධාරීන් සමග උඩු මහලට ගිය බවද වසන්ත සිසිර කුමාර මහතා පැවසුවා.

එහිදී රෝහණ බණ්ඩාර මහතා ඉහළ මාලයේ දොරකට තට්ටු කරමින්, දොර අරින්න දොර අරින්න අපි පොලීසියෙන් යනුවෙනු පවසනු ඇසුණු බවත්, ඉන් සුළු වේලාවකට පසුව විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ඒ සමඟ තමාද නිවසේ සිටි පිරිස සමග නිවසින් බැහැරට පැමිණි බවයි.

අනතුරුව තමා මේ පිළිබඳව ක්ෂණිකව තම කාර්යාලයට සිද්ධිය වාර්තා කිරීමෙන් අනතුරුව එහි පැමිණි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නැවතත් නිවසට ගොස් ඉතා සුළු වේලාවකදී දෙවන පිපිරිමද සිදුවූ බව පැවසූ සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නේ, තමා සමග නිවස තුළට ගිය සෙසු නිලධාරීන්ගේ තත්ත්වය සොයාබැලීමට තමා තුළ වූ අවශ්‍යතාව වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

එලෙස පිපිරීම සිදුවූ ස්ථානයට ගිය අවස්ථාවේදී රෝහණ බණ්ඩාර මහතාගේ සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු හමුවූ බවත්ල ඒවාට දැඩි ලෙස හානි වී තිබූ බවත් වසන්ත සිසිර කුමාර මහතා ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ අදාළ කාමරය පරීක්ෂා කිරීමක් සිදුකළේද යන්න පිළිබඳවයි.

එහි තිබූ කාන්තාවකගේ යැයි සැලකිය හැකි පාදයක කොටස් සහ කුඩා දරුවන්ගේ යැයි සැලකිය හැකි ශරීර කොටස් කිහිපයක් ද හමුවූ බව සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරු දරුවන් වැළඳ හඬාවැටී ඇති බව අනාවරණ වෙයි

(03.06.2020 – 20:16 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ප්‍රහාරය එල්ල වූ දින අලුයම සිය භාර්යාව සහ දරුවන් බැලීමට දෙමටගොඩ පිහිටි ඉබ්‍රාහිම් පවුලේ නිවසට පැමිණ ඇති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණි.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ සිදුවු බෝම්බ ප්‍රහාර දෙක සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යයට අනාවරණය නොවු සී.සි.ටී.වි දර්ශන පෙළක් ද ඊයේ දින ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට මුදාහැරියේය.

ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළ පළමු සී.සි.ටී.වි දර්ශනයට අනුව දෙමටගොඩ මහවිල උද්‍යානයේ අංක 658/90 නිවසට ඉකුත් වසරේ අප්‍රේල් මස 19 වනදා ප.ව. 06:54 ට කළු පැහැති මෝටර් රථයක් පැමිණෙන අතර නිවසේ සිට පැමිණෙන පුද්ගලයෙකු ඊට ඇතුළුවීමෙන් පසු ප.ව. 07:03 ට එය පිටත්ව යයි.

මෝටර් රථයෙන් එලෙස පිටත්වන පුද්ගලයා ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේදි දෙවන මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ලෙස විමර්ශකයින් හඳුනාගෙන තිබේ.

බෝම්බකරු එදිනම යළි නිවසට පැමිණෙන අතර මධ්‍යම රාත්‍රී 12:02 ට පමණ යළි පිටතට පැමිණ නිවස අසලට පැමිණෙන තොප්පියක් පැළඳි පුද්ගලයෙකුට නිවසේ සිට ගෙන ආ බෑග් දෙකක් ලබාදෙන දර්ශනයක් ජනාධිපති කොමිසමේදි නිරික්ෂණයට ලක්විය.

ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙත නිකුත් කළ දෙවන සී.සි.ටී.වි දර්ශනයේ දැක්වෙන්නේ 2019.04.20 වන දින රාත්‍රී 10:22 ට පමණ ඉල්හාම් අහමඩ් පිටෙහි බෑගයක් එල්ලාගෙන, අතෙහිද බෑගයක් රැගෙන ඉබ්‍රාහිම් නිවස වෙත පැමිණෙන ආකාරයයි.

එහිදි බෝම්බකරුගේ සහෝදරයෙකු වන මොහොමඩ් යුෂුෆ් ඉජාස් අහමඩ් තම සහෝදරායාට නිවසට ඇතුල්වීමට ගේට්ටුව විවෘත කරන අයුරුද සී.සි.ටී.වි. දර්ශනයේ සටහන්වෙයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන ඉල්හාම් අහමඩ් පාස්කු ප්‍රහාරය සිදුවු අප්‍රේල් මස 21 වන දින අලුයම 01:24 ට පමණ රතු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී තොප්පියක් පැළඳ නිවසින් පිටව යන අයුරු මීළඟ සී.සි.ටී.වි. දර්ශනයේ දැක්වෙයි.

එහිදි ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ වන මහවිල උද්‍යානයේ පිහිටි නිවසේදි බෝම්බ දෙකක් පුපුරුවා හැරි ෆාතිමා ජෙෆ්රි, තම ස්වාමියා පිටව යන තුරු බලාසිටියි.

කෙසේ වෙතත් අප්‍රේල් 21 වන දින දහවල් දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි මෙම නිවස තුළ බෝම්බ දෙකක් පිපිරි යන අයුරුද සී.සි.ටී.වි. දර්ශන වල පැහැදිලිව සටහන්වී තිබේ.

ඒ අනුව එදින දහවල් 02:31 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් ඊබ්‍රාහිම් නිවස වෙත පැමිණෙන අතර උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර, සැරයන් වසන්ත කුමාර ඇතුළු නිලධාරින් 4 කට වැඩි පිරිසක් නිවසට ඇතුළුවෙයි.

කෙසේ අළු පැහැති ටී ෂර්ටයකින් සැරසි මෙලෙස නිවසට ඇතුළුවන උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර අතුළු නිලධාරින් තිදෙනෙකුට (03) දිවි අහිමි කරමින් පළමු බෝම්බය පුපුරා යන්නේ පස්වරු 02:36 ට පමණ.

පළමු ප්‍රහාරයෙන් පසු නිවස තුළ සිටි මොහොමඩ් ඉබ්‍රාහිම් සහ බෝම්බය පුපුරුවා හැරි ෆාතිමා ජෙෆ්රිගේ මව නිවසෙන් පිටතට පැමිණෙන අයුරු සි.ටී.වි. දර්ශන වල මෙලෙස සටහන්ව තිබුණි.

පළමු බෝම්බය පිපිරි මිනිත්තු 14 ක් පමණ ගතවන විට නිවසේ ප්‍රධාන පරිපථය හෙවත් ට්‍රිප් ස්විචය ක්‍රියා විරහිත කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු මොහොම්ඩ් ඊබ්‍රාහිම් සමඟ යළි නිවසට ඇතුළු වන අතර දෙවන බෝම්බය ද පුපුරා යයි.

එවිට වේලාව සටහන් වන්නේ, ප.ව. 02:53 ක් ලෙසින්.

දෙවන බෝම්බය පිපිරී ගිය පසු මොහොම්ඩ් ඉබ්‍රාහිම් මෙලෙස නිවසින් පිටතට පැමිණෙයි.

මේ අතර ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර සමඟ නිවසට ඇතුළු වු පොලිස් සැරයන් වසන්ත කුමාර මහතා අද (03) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

ඔහු සඳහන් කළේ තමන් නිවසට ඇතුළු වු අවස්ථාවේ එහි තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (02) රැදි සිටි අතර තමන්ට පහත මාලය පරික්ෂා කරන ලෙස උපදෙස් දී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර තවත් නිලධාරින් දෙදෙනෙතු (02) සමඟ උඩු මහලට ගමන් කළ බවයි.

එහිදි තමන් පහළ මාලයේ පරික්ෂා කිරීම් වල නිරත වෙමින් සිටියදි, උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර කාමරයක දොරට තට්ටු කරමින් දොර අරින්න අපි පොලිසියෙන් යැයි පවසන ආකාරය තමන්ට ඇසුණු බව සාක්ෂිකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් උප පොලිස් පරීක්ෂකවරයා කිහිප වරක් කෑ ගසනවාත් සමඟම විශාල ශබ්දයක් සමඟින් පිපිරීමක් සිදුවු බව පොලිස් සැරයන් වසන්ත කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේය.

පිපිරීමත් සමඟම පහත පහලයේ සිටි කාන්තාවන් සහ දරුවන් පිරිසක් සමඟ තමන් නිවසින් පිටතට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුව තමන් සිදුවීම ගැන ඉහළ නිලධාරින්ට දන්වා තවත් කණ්ඩායම් කිහිපයක් ගෙන්වු බවත් එලෙස ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නිවසට ඇතුළු වී කෙටි වෙලාවක් තුළ දෙවැනි පිපිරීම සිදුවු බව ද පොලිස් සැරයන් වසන්ත කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේය.

පසුව නිලධාරින් පිරිසක් ඉහළ මහලට ගිය බවත් එහිදි නිලධාරින් තිදෙනාගේ සිරුරුද, කාන්තාවකගේ සහ කුඩා දරුවන් කිහිප දෙනෙකුගේ ශරිර කොටස්ද හමුවු බව සාක්ෂිකරු අනාවරණය කළේය.

මේ අතර දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි මෙම නිවසේ බෝම්බ දෙක පුපුරුවා හැරි ෆාතිමා ජෙෆ්රි යන ගර්භනී කාන්තාවගේ සහෝදරයෙකු ඊයේ (02) දින සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

ඔහු පැවසුවේ තම පවුල මෙරට ජීවත් වු සාම්ප්‍රදායික මුස්ලීම් පවුලක් වන අතර ෆාතිමා ජෙෆ්රි යන තම නැගණිය ද සාමාන්‍ය ලෙස හැදී වැඩුණු අහිංසක තැනැත්තියක් බවයි.

කෙසේ වෙතත් ඇයට වයස අවුරුදු 20 ක් වු 2012 දී කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යූසුෆ් ඉබ්‍රාහිම්ගේ ප්‍රත්‍රයෙකු වු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සමග යෝජිත විවාහයකට පිවිසි අතර ඒ සමග සිය නැගණිය ද අන්තවාදයට නැඹුරුවීම ආරම්භ වූ බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

+++++++++++++++++++++

සියලු රහස් හෙළි කරමින් ‘සහරාන්ගේ බිරිඳ ‘ රජයේ සාක්ෂිකරුවෙකු වන ලකුණු

(04.06.2020 – 07:45 +0530 – truenews.lk)

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල ප්‍රධානියා සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වූ තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන් යන අයගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා යන අය ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරය ඇතුළු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පැය 2 කට අධික කාලයක් රහස් පාපෝච්චාරණයක් ඊයේ (03) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරනු ලැබුවා.

මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී රහසේ මෙම පාපෝච්චාරණය කරනු ලැබූ අතර පස්වරු 12:48 ට ආරම්භ කළ එම පාපෝච්චාරණය පස්වරු 04:00 ට පමණ අවසන් කෙරුණා.

මීට පෙර අවස්ථා 4 කදී ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පාපෝච්චාරණයක් මහෙස්ත්‍රාත්වරයා හමුවේ ‘ෆාතිමා කාදියා’ යන අය විසින් සිදු කරනු ලැබුවා.

දැඩි ආරක්ෂාව මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘ෆාතිමා කාදියා’ යන අයව අධිකරණයට ගෙන එනු ලැබුවා.

අධිකරණයේ දෙමළ භාෂා පරිවර්තකයකු හරහා රහස් පාපෝච්චාරණයේ සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කෙරිණි.

මොහොමඩ් සහරාන්ගේ බිරිය වන ෆාතිමා කාදියා යන අය රජයේ සාක්ෂිකරුවකු කිරීමට නියමිත බවද ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා ෴

***************************************

සුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් (2)

(03.06.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සහ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය විෂය වෙනුවෙන් වෙන වෙනම ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක් ස්ථාපනය කර තිබෙනවා.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කාර්ය සාධක බලකායේ සභාපති ලෙසත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක මහතා ලේකම් ලෙසත් පත් කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබල පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. වාසගේ, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සෙසු සාමාජිකයන් වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (02) අඟහරුවාදා ඊට අදාළ ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, සාධාරණය සහ නීතියේ ආධිපත්‍යය සුරකින ගුණගරුක, විනගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව පිළිගෙන ඇතැයි ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.

රටක් සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමෝපාය ස්ථාපනයේදී රටේ අරක්ෂාව ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන ඇති අතර ජනතා යහපත වෙනුවෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම උදෙසා නීතියේ රැකවරණය සැමට සමානව ලැබිය යුතුයි.

දරු පරපුර රටක අනාගතය වශයෙන් සලකනු ලබන බව සහ සමස්ත සමාජය තුළ පැතිර යමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර, ආර්ථික පරිහානිය සමග එකතු වූ සමාජ පරිහානියේ ප්‍රබල සාධකයක් එම බව ගැසට් නිවේදනවල සඳහන්.

ඉන් සමාජය මුදා ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර ඇති බවයි එම ගැසට් නිවේදන සඳහන් කරන්නේ.

නිදහස් සාමකාමී සමාජ පැවැත්මට හානිකර ක්‍රියා පාලනය, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන්නන් ඉන් වැළැක්වීම, වරාය හා ගුවන් තොටුපළ ආදී ස්ථාන මගින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම, රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් මර්දනය කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන සෙසු සමාජ ව්‍යසන වැළැක්වීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකායන්ට පැවරී තිබෙනවා.

සෙසු රටවල ස්ථානගතව ශ්‍රී ලංකාව තුළ කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සොයා බලා ඊට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම සහ බන්ධනාගාර ආශ්‍රිත නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියා සොයා බලා ඒවා වැළැක්වීම අනෙක් වගකීම් අතර වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමේ නිවේදනය වෙනම ගැසට් පත්‍රයක පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ, ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතර රටක පුරාවිද්‍යාත්මක උරුමය එකී දේශයෙහි අනන්‍යතාව සහ ඓතිහාසික විකාශනය පිළිඹිඹු කරන මූලාශ්‍රයක්.

මෙකී උරුමයන් ස්වාභාවික සහ මානව ක්‍රියාකාරකම් නිසා පරිහානියට පත්වීමේ අන්තරායක් උද්ගත වෙමින් පවතින අතර ශ්‍රී ලංකාව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙවැනි උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන සම්මුතීන් පිළිගෙන ඇතැයි ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා එම කාර්ය සාධක බලකායේ සභාපති ලෙසත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය ලේකම් ලෙසත් පත් කර තිබෙනවා.

පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්, උතුරු – නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නා හිමියන්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහතා, මැනුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතා සෙසු සාමාජිකයන්.

නැගෙනහිර පළාතට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම, හඳුනාගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය, පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යාත්මක භූමි සදහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණ හඳුනා ගැනීම සහ නිශ්චිතව හා නිත්‍යානුකූලව භූමි ප්‍රදේශ වෙන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එකී භූමි ප්‍රදේශවල සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සහ එකී උරුමයන් ප්‍රවර්ධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකායට පැවරෙනවා.

***************************************

මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව භාරගත යුතු බව අගමැති කියයි

(03.06.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී’ ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේ අද (03) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන මෙලෙස දිගින් දිගටම කඩාවැටීම සහ එවැනි මූල්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය පළුදු වන බවත්, පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා, අලුතින් නීති සකස් කර හෝ මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

‘ද ෆිනෑන්ස්’ ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ලබන සඳුදා සිට තැන්පතුකරුවන්ගෙන් සියයට 97 ක් දක්වා එම මුදල් ගෙවීම සිදුකරන බව නියෝජ්‍ය මහබැංකු අධිපති එච්.ඒ. කරුණාරත්න මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

***************************************

නිශ්ශංක සේනාධිපතිගෙන් යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින්ට චෝදනා

(03.06.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින් සිය පැවැත්ම උදෙසා බොරු මත ප්‍රචාරය කරමින් එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීමට කටුයුතු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අද (03) පැමිණි අවස්ථාවේදී.

ඇවන්ගාඩ් සමාගම අත්තනොමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (03) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන (3) දිනටයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ තමන්ගේ නම් ගම් සහ තොරතුරු හෙළි නොකරන ලෙස හිටපු අමාත්‍යවරයෙකුගෙන් දුරකථන ඇමතුම් ලැබුණු බව ද නිශ්ශංක සේනාධිපති අද ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : අඩ්ඩාලච්චේන වෙරළ තීරය බැකෝ යන්ත්‍ර යොදා කරන විනාශය

(03.06.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන වෙරළ තීරය කිසියම් පිරිසක් පස් පුරවා වනසා දමා තිබෙනවා.

පසුගිය දින කිහිපයේ කිසියම් පිරිසක් මෙම සුන්දර වෙරළ තීරය පස්දමා පුරවමින් මාර්ග ඉදිකරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු අනාවරණය වුණා.

ඒ අනුව, අඩ්ඩාලච්චේන වෙරළ තීරයට ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට දැක ගත හැකි වූයේ බැකෝ යන්ත්‍ර භාවිත කරමින් වෙරළ කලාපය සුනු විසුනු කර ඇති බවයි.

***************************************

ලොකු කොම්පැනිවල බැංකු ගිණුම්වලට රිංගා කෝටි ගණන් සල්ලි ගත් කුරුණෑගල ‘හැකර්’ලා දෙන්නා රිමාන්ඩ්

(03.06.2020 – gossiplankanews.com)

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වලට හොර රහසේ ඇතුළු වී ඒවායේ දත්ත සොරාගෙන එම ගිණුම් වලින් රුපියල් කෝටි ගණනක මුදල් වංචනිකව ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් හැකරුන් දෙදෙනකු ලබන 10 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා ඊයේ (02) නියම කළේය.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ පදිංචි ප්‍රී. ස්ටෙෆන් පිලිප් (38) සහ ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ මහේල ජනිත් නල්ලපෙරුම (20) දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුහ.

කුරුණෑගල පිහිටි සෙවිලි තහඩු නිපදවන මෙරට ජනප්‍රිය ව්‍යාපාරික ආයතනයකට අයත් ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකට අයත් කුරුණෑගල ශාඛාවෙහි පවත්වාගෙන යන බැංකු ගිණුමක් හැක් කර එම ගිණුමෙන් රුපියල් ලක්ෂ 15 මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වා දින 14 ක කාලයකදී සැකකරුවන් අත්අඩංගුචට ගැනීමට කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන අතර ඔහු දිගු කලක් එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණ මෙම වංචාවේ නිරත වී ඇති බව අනාවරණය වී තිබේ. තිදරු පියකු වන මොහු එංගලන්තයේ සිටින තම බිරිඳ සමග ඇතිකරගත් ආරාවුලකින් පසුව මීට මාස කීපයකට පෙර මෙරටට පැමිණ ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පදිංචි ළාබාල තරුණයාද හවුල් කරගෙන මෙම ජාවාරමේ යෙදී ඇති බව පොලීසිය කියයි.

ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පදිංචි තරුණයාගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ඒ මාර්ගයෙන් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හතක ගිණුම් විවෘත කර එමගින් මෙම වංචාව සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මේ වනවිට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව සැකකරු තම පරිගණක හැකියාව උපයෝගී කරගෙන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසක බැංකු ගිණුම් වලට ඇතුළුවී ඒවායෙහි රහසිගත දත්ත ලබාගෙන එම ගිණුම් වලින් රුපියල් ලක්ෂ 15 සිට ඉහලට විවිධ ගණන් යටතේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් මේ වනවිට සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී රුපියල් දෙලක්ෂ එකොළොස් දහසක මුදලක්, ප්‍රධාන පෙළේ බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඩ්පත් 14 ක්, ජංගම දුරකථන 5 ක්, ලැප්ටොප් පරිඝණක 2 ක්, බැංකු ගිණුම් පාස්පොත් 6 ක් සමග ඔවුන් මෙම ජාවාරම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති සුබෝපභෝගී ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකාර පරිගණක ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගන්නා විට ඔහු නුගේගොඩ ජයමංගල පාරේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක දිනකට රුපියල් 5000 බැගින්වූ කුලී පදනම යටතේ ලබාගත් නිවෙසක නතරවී සිටි බවද පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ මේ වනවිට සිර දඬුවම් විඳිමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ රූමත් බිරිඳ තම අනියම් බිරීඳ ලෙස තබාගෙන සැකකරු එම නිවසේ නැවතී සිට මෙම ජාවාරමේ යෙදී ඇතැයි පොලිසිය කියයි.

මේ ආකාරයට බැංකු ගිණුම් ‘හැක්’ කිරීම සඳහා මෙරට අනවසරයෙන් රැඳී සිටින නයිජීරියානු ජාතිකයන් පිරිසකගේ සහාය ලැබෙන බවද වංචනිකව ලබා ගන්නා මුදල් වලින් කොටසක් එම විදේශිකයන්ටද ලබාදෙන බවද සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ ඉල්ලීමට අනුව සැකකරුවන් දෙදෙනාට අයත් සියලුම බැංකු ගිණුම් පරික්ෂා කර මිළඟ නඩු වාරයේදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා පොලීසියට නියම කළේය.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි (1) සමන් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.ඩී.ආර්. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂකවරුන් වන ආර්.එම්. සෙනෙවිරත සහ සමන් බණ්ඩාර සැරයන් (27617) නවරත්න මහත්වරු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

(පුෂ්පකුමාර ජයරත්න)

***************************************

පාඨලීගේ අනතුර ගැන තොරතුරු සැඟවූ වැලිකඩ හිටපු OICට ඇප

(03.06.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා එල්ල වී සිටින වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල, අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු අද (03) ඇප මත මුදා හැරුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා එහිදී ඔහුට නියෝග කළේ ලබන සඳුදා (08) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

සැකකාර සුදත් අස්මඩල සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වී ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (02) අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ, සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසුවයි.

කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අද (03) ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (03) එම නියෝගය ලබාදෙමින් සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 සහ 34 යන වගන්ති යටතේ පොලීසිය ඉල්ලා සිටින ආකාරයේ වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

කෙසේ වෙතත් නියෝගය ප්‍රකාශ කිරීමත් සමඟම සැකකාර වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල සිය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වුණා.

නඩු කටයුත්ත පිළිබඳ මාධ්‍ය වාර්තා දැනගත් වහාම නොතීසි භාරදීමටත් පෙර අධිකරණයේ පෙනී සිටි නිසා තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ.

එහෙත් ඊට විරෝධය පළ කළ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකරු අධිකරණය හමුවට පැමිණ සිටින්නේ අධිකරණය කෙරෙහි පවතින ගෞරවය නිසා නොව අපරාධයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන්ගෙන් ඔහුට ලැබී ඇති ශක්තිය නිසා බවයි.

අදාළ රිය අනතුර සිදුකළ රථය පැදවූයේ එවකට අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු වැලිකඩ පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අනතුර සිදුකළ පාඨලී චම්පික රණවකගේ නම ඉවත් කර ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ආදේශ කරන ලෙස එවක වැලිකඩ ස්ථානාධිපති සුදත් අස්මඩල එම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් කර ඇති බවට පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

සැකකාර සුදත් අස්මඩල මේ වනවිටත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් පිළිබඳ කරුණු හෙළි කිරීම වසන් කරමින් සත්‍ය සැඟවීමට උත්සහ කරන බවටයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ.

ඔහු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා ප්‍රකාශයක් සටහන් කරගන්නා තුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයක් සටහන් කරගැනීමේ අවශ්‍යතාව මත පමණක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගතකළ නොහැකි බැවින් සැකකාර සුදත් අස්මඩල රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළා.

මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේදී වැලිකඩ පොලිසීයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මේ වනවිට යාපනය සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරනවා ෴

***************************************

ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගම් දෙකක අලෙවිය අත්හිටුවයි – SLS තිබුණත් ප්‍රමිතියක් නැතැයි පැමිණිලි

(03.06.2020 – 11:52 +0530 – truenews.lk)

ප්‍රමිතිය පරීක්ෂාවට ලක්කරන තුරු ප්‍රධාන පෙළේ දඟර වානේ කම්බි නිෂ්පාදන සමාගම් දෙකක දඟර වානේ කම්බි මෙට්‍රික් ටොන් විසිදෙකක් අලෙවි කිරීම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (02) පියවර ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පිහිටි ගබඩා දෙකක මෙම කම්බි තොගය ගබඩා කර තිබුණා.

එස්.එල්.එස්. සහතික ලාංඡන සහිත මෙම දඟර වානේ කම්බි අදාළ ප්‍රමිතියට නොමැති බවට ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි දඟර වානේ කම්බි ගබඩා සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

දඟර වානේ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මිනුමක් ලෙස බර පරීක්ෂා කිරීම සිදුකරන අතර දඟර වානේ කම්බි මිලදී ගත් පසු මීටරයක් දිග කැබලි හයකට කපාගත් පසු බර එක සමාන විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිතියේ සඳහන් කර තිබෙනවා.

අලෙවි කිරීම අත්හිටුවූ දඟර වානේ කම්බි මෙට්‍රික් ටොන් විසිදෙකක් පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට නියමිතයි. (?)

දිවයින පුරා සියලුම වෙළෙඳසල්වල ඇති දඟර වානේ කම්බි පරීක්ෂාවට ලක්කර (?) ඒ පිළිබඳ වාර්තා ලබන 12 වැනිදාට පෙර තමන්ට යොමු කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සියලුම විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබුණා ෴

***************************************

ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි

(02.06.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ (12) ඇතැම් සමාගම්වල අයිතිය සහ අධ්‍යක්ෂවරු විවිධ අවස්ථාවලදී වෙනස් වී ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් නිහාල් රංජිත් සිරිවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ඊ.ටී.අයි. සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාව අද (02) රැස්වූ අවස්ථාවේදියි.

එහි නිල කාලය දීර්ඝ කිරීමෙන් පසු අද (02) එම කොමිසම රැස්වූයේ පළමු වරටයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන ලද මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 09 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා.

එම කොමිසම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ විශ්‍රාමික බැංකු නිලධාරී ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන් ගෙන් සමන්විතයි.

එහි නිල කාලය පසුගිය අප්‍රේල් 9 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත් නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් 9 වනදා දක්වා දීර්ඝ කිරීමෙන් පසුවයි අද (02) එම කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරුණේ.

ඒ අනුව සාක්ෂි විමසීම සඳහා කොමිසම හමුවට අද (02) කැඳවා තිබුණේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් රංජිත් සිරිවර්ධන මහතායි.

කොමිසම එහිදී විමසා සිටියේ ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ (12) අයිතිය සහ අධ්‍යක්ෂවරු විවිධ අවස්ථාවලදී වෙනස් වී ඇත්ද යන්නයි.

අදාළ සමාගම් දොළහෙන් (12) ඇතැම් සමාගම්වල එවැන්නක් සිදුව ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

කොමිසම එහිදී ඔහුට පැවසුවේ අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.

ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිගොනු හෙට (03) දිනයේදී කොමිසමට ඉදිරිපත් කරන බව සාක්ෂිකරු කියා සිටියා.

කොමිසම රැස්වූ අවස්ථාවේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් ද එම පරිශ්‍රයට පැමිණ සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *