රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

(04.06.2020 – colombotoday.com)

රජයේ මර්මස්තානවල චින්තන ජිහාදයක් ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (04) සුවිශේෂී හෙළිදරව්වක් කර සිටියා.

සහරාන් පිළිබඳව 2013-2015 කාලයේදී තමන් වහන්සේ හෙළි කළා මෙන්ම අනාගතයේදී අද සිදුකල හෙළිදරව්ව යථාර්තයක් වීමට ඉඩ ඇති බවත් ඊට පෙර බලධාරීන් මීට එරෙහිව පියවරක් ගත යුතු බවත් අවධාරණය කර සිටියා.

උන්වහන්සේ සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව :

***************************************

2015 න් පසු භික්ෂූන්ව මානසිකව ඝාතනය කරලා – අගමැති කියයි

(02.06.2020 – aruna.lk)

බුද්ධ ශාසනයට අඳුරු දසාවක් ළඟා කරමින් ත්‍රස්තවාදීන් සිදුකළ කායික ඝාතනයට නොදෙවෙනි ලෙස 2015 වසරෙන් පසුව භික්ෂුන්ව මානසිකව ඝාතනය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුව අද (2 වැනිදා) ට වසර තිස්තුනක් සපිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේද සඳහන් කරයි :

“මේ මහා භික්ෂු සංහාරය අප හැඳින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත්කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය ලෙසයි.

මෙම භික්ෂු සංහාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම පැවැතියේ ආරාජික තත්ත්වයකය. පුරාණ දිගාමඩුල්ල රාජධානිය හැටියට සැලකෙන අම්පාර ප්‍ර​දේශයේ සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරමින් දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දමමින් ඔවුන් එම ප්‍ර​දේශවලින් පලවාහැර තිබිණි. ලාහුගල, උහන, දමන, දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව හා මහඔය ආදි ප්‍රදේශවල ගම්මානවල ජනතාව නිරන්තරයෙන් කපාකොටා මරා දැමිණි. බුදුදහම ආරක්ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැඳී සිටියද මහා සංඝරත්නයටවත් ආගමික ස්ථානවලටවත් එදා කිසිදු ආරක්ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැත. එබඳු තත්ත්වයක් යටතේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමි අම්පාර ප්‍රදේශයට වැඩම කර අම්පාර මහාවාපී පිරිවෙන හා විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් රාශියක් ගොඩනංවා බිඳවැටෙමින් තිබූ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළා. අරන්තලාව ආදී ගම්මානවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හෙළා දකිමින් කටයුතු කළ උන්වහන්සේ නිහඬ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණයක් ගත්තේය. තම ශිෂ්‍යවරයන් වහන්සේලා 41 නමක් රැගෙන වන්දනා ගමනක යෙදී සිටියදී ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකොට භික්ෂුන් වහන්සේලා 31 නමක් එතැනම මරා දැමූහ. අවසාන මොහොතේ ද හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඉල්ලා ඇත්තේ තමන් ඝාතනය කරන ලෙසත් තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හානියක් නොකරන ලෙසත්ය.

එබඳු ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදුවුවද එකල පැවැති රජය භික්ෂුන් වහන්සේලාගේ ශාසනය සහ විහාරස්ථානවල ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 2005 වසරේ අප විසින් සාමය ගෙන ඒම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන තුරු කිසිවකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. 2009 වන විට අප රුදුරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා බෞද්ධ, හින්දු, මුස්ලිම් හා කතෝලික සියලුදෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළෙමු.

මහා සංඝරත්නය අනන්ත නින්දා විඳිමින් පැවැති තත්ත්වය වෙනස්කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් යුතුව නව නායකයෙක් රටට ලබාදී මේ වන විටත් ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවා ඇත. හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවා යැයි ප්‍රාර්ථනා කරමි.” ෴

***************************************

ලක් පොහොර හිටපු අධ්‍යක්ෂවරු එෆ්.සී.අයි.ඩීයට

(04.06.2020 – aruna.lk)

කාබනික දියර පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි දොළහ හමාරක (12,50,00,000) වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කොට තිබේ.

ලක් පොහොර සමාගමේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් මිලියන එකසිය විසි පහක් (125,000,000) බේලෝන් නමැති පෞද්ගලික සමාගමක් ඇරැඹීමට බැංකු ඇපකරයක් සේ ලබා දී එම මුදල නොගෙවා රජයට පාඩු කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධව මෙම පරීක්ෂණ ඇරැඹී ඇත. මෙම පරීක්ෂණ කඩිනමින් ඉවර කරන්නැයි කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂ මහතා දුන් නියෝගයක් මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙසේ කැඳවා ඇත. මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් හිටපු අධ්‍යක්ෂවරියක කැඳවා ප්‍රකාශ සටහන් කර ඇති අතර මෙම මූල්‍ය වංචාවට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලදී දිගින් දිගටම විරෝධය පළකර ඇත්තේ ඇය පමණක් බව හෙළිවී ඇත. ඉදිරියේ දී එවකට හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක විසින් පොහොර සංස්ථාවේ සභාපති ලෙස පත් කළ තැනැත්තකුද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිතය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

***************************************

විදේශයන්හි සිට පැමිණෙන්නන් PCR ප්‍රතික්ෂේප කළොත් යළි හරවා යැවීමේ තීරණයක්

(04.06.2020 – 16:56 +0530 – hirunews.lk/sinhala)

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වීම ප්‍රතික්ෂේප කළහොත් එම පුද්ගලයින් නැවතත් ඔවුන් පැමිණි රට වෙත හරවා යැවීමට කටයුතු කරන බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සියලු දෙනාම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරනවා.

මේ වනවිට මෙරට තුල පී.සී.ආර්. පරීක්ෂණ හැත්තෑ එක්දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

+++++++++++++++++++++

අමෙරිකානු තානාපති නිලධාරියෙක් PCR පරීක්ෂාව එපා කියමින් රටට ඇතුළු වෙයි

(04.06.2020 – 15:45 +0530 – truenews.lk)

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

අප කළ විමසීමකදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසුවේ, ඔහු තානාපති වරප්‍රසාද යටතේ පරීක්ෂණ සිදු නොකර මුදා හැරිය බවයි.

අද (04) අලුයම 01:30 ට පමණ ආදාළ නිලධාරියා මෙරටට පැමිණ තිබුණේ, කටාර් ගුවන් සේවයට අයත් යානයකිනි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ තානාපති කාර්යාලය සඳහන් කළේ, තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මුති, ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු වන බවයි ෴

***************************************

රිෂාඩ් බදියුදීන්ට කෝටි 40 ක් ගැන චෝදනා එල්ල වේ

(04.06.2020 – 22:02 +0530 – lankacnews.com)

හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019.11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40 කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිපතිවරයාගේ හෝ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලැබී නොමැති බව පැවසූ සභාපතිවරයා, රජයේ ඉඩම් සම්බන්ධයෙන් ගිවිසුමකට ඇතුළත්වීමේදී නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිවීම බරපතළ වරදක් බව ද පෙන්වා දුන්නේය.

ඉහත පැමිණිල්ල කොටුව පොලිස් මූලස්ථානය වෙත පැමිණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසුවේය.

මේ රටෙහි සිමෙන්ති අවශ්‍යතාව සැපිරීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට තිබූ හැකියාව පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කම්හල් පාඩු ලබන බව පවසා විකුණා දැමීමට කටයුතු කළ මෙරට ඇතැම් පාලකයන් නිසා අහිමිව ගිය බව පෙන්වා දුන් සභාපතිවරයා, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කටයුතු ද තිස් වසරක යුද්ධය හේතුවෙන් නතර වූ බව සිහිපත් කළේය.

කෙසේ වෙතත් මේ වන විට වත්මන් විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව යළි නඟා සිටුවීමට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බවත් ඒ යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි විවෘත කිරීමේ හැකියාවත් විකුණා දමා ඇති පුත්තලම සිමෙන්ති කම්හලට දීර්ඝකාලීන ලෙස බදු දී ඇති සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධිය සහිත අක්කර 5142 ක ඉඩම මගින් ලැබෙන ආදායම පිළිබඳවත් කඩිනමින් සොයා බැලූ බවත් නීතිඥ ගාමිණී ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අරුවක්කාරු හුණුගල් නිධියට අදාළ බදු ගිවිසුම පිළිබඳ සොයා බැලීමේදී 1993 සිට ඇරඹී ඇති මේ බදු ගිවිසුම අනුව වසර 5 කට වරක් වාර්ෂික බදු මුදල 12% ක අගයකින් ඉහළ දැමිය යුතු බව සඳහන් වූ බව ද ඒ මහතා අනාවරණය කළේය. එහෙත් මේ වසර 5 කට වරක් සිදු කළ යුතු 12% ක බදු මුදල් වැඩි කිරීම 2019 තෙක්ම සිදු නොවූ බව පෙනී ගිය බවත් ඒ හිඟ බදු මුදල් මේ වන විට පුත්තලම සිමෙන්ති සමාගම පවත්වාගෙන යන ෂියාම් සිටි සමාගමෙන් ලබාගැනීමට ගිවිසුම ප්‍රකාරව 2016 සිට 2018 දක්වා සාකච්ඡා සිදුව ඇති බවත් කෙසේ නමුත් අවසානයේ දී ඒ හිඟ බදු මුදල් අයකර ගැනීම අතහැර දැමීමට ඉහත කී අතිරේක බදු ගිවිසුම් මගින් කටයුතු කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම බරපතළ මූල්‍ය වංචාවට එවකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සිමෙන්ති සංස්ථා බලධාරීන් වගකිවයුතු බව පෙනී යන බවත් මෙම පැමිණිල්ල නිසි පරිදි විමර්ශනය කර කඩිනමින් මේ ජනතා මුදල් කොල්ලයට වරදකරුවන් වන පිරිස නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ඒ මහතා අවසන් වශයෙන් අවධාරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

***************************************

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි

(04.06.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාද් බෝම්බ ද රැගෙන කොළඹ සිට මඩකලපුවට ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අද (04) අනාවරණ වුණා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ප්‍රහාරය විමසන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

මේ අතර පාස්කු ඉරිදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිදු වූ පිපිරීම්වලට අදාළව මෙතෙක් මාධ්‍යට නිකුත් නොකළ ඡායාරූප පෙළක් අද (04) මාධ්‍යයට නිකුත් කෙරුණා.

පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් 03 කටල ලැගුම්හලකට (01) සහ කිතුණු දේවස්ථාන 03 කට එල්ල වූ බෝම්බ ප්‍රහාරමාලාව මෙන්ම දෙමටගොඩ නිවසක් තුළ පිපිරීම් දෙකක් සිදු වී මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතව අවසන්.

නමුත් එම ප්‍රහාර මාලාව ගැන සමාජය හමුවේ අනාවරණ නොවූ කරුණු රැසක් තවමත් පවතිනවා.

මේ දිනවල එම කරුණු එකින් එක හෙළිවෙමින් පවතින්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ විවිධ විමර්ශන නිලධාරීන් සාක්ෂි ලබාදීමත් සමඟයි.

පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කලක් හෙළි නොවූ කරුණු රැසක් ඊයේත් (03) අදත් (04) කොමිසම හමුවේ අනාවරණ වුණේ ඒ අනුවයි.

පාස්කු ඉරිදා පෙරවරුවේ ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංග්ස්බරි හෝටලය මෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකළපුව සියොන් දොවස්ථානයත් බෝම්බකරුවන්ගේ ඉලක්ක බවට පත්වීමෙන් පසු මුළු රටම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවුණා.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක පස්වරු 02:36 ට තවත් පිපිරීමක් සිදුවන්නේ ඒ අතරතුරයි.

ඒ වනවිටත් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම බුද්ධි අංශ ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම එම නිවසට පැමිණ සිටියා.

අදාළ නිවස තුළ දෙවන පිපිරීමක්ද සිදුවන්නේ පළමු පිපිරීමෙන් විනාඩි කිහිපයකට පසු පස්වරු 02:53 ටයි.

එම පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට (02) ද දිවි අහිමිවුණා.

මෙම දෙමටගොඩ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සිය පරීක්ෂණය අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉදිරිපත් කළා.

අදාළ ඡායාරූප ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙතද ලබාදුන්නා.

මහවිල උද්‍යානයේ නිවස තුල සිදුවූ පිපිරීම් දෙක කෙතරම් ප්‍රබල ද යන්න මෙම ඡායාරූප ඔස්සේ පැහැදිළිවනවා.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සඳහන් කළේ, පිපිරීම සිදුවූ දෙමහල් නිවසේ උඩුමහලේ කාමරයක් තුළ පළමු පිපිරීම සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවයි.

පිපිරීම නිසා උඩුමහලේ පොළොවේ සිදුරක් නිර්මාණය වී තිබූ බවත් ඒ නිසා එම මහල තිබුණේ කඩා වැටීමේ අවදානමක බවත් අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ පැහැදිළි කළා.

එම ස්ථානය පරීක්ෂාකිරීමේදී පෙනී ගිය අන්දමට ටයිල් පොළොව මත බෝම්බය තබා බෝම්බකාරිය විසින් දරුවන් ද තමන් වෙත කැඳවාගෙන බිම හිඳගැනීමෙන් අනතුරුව බෝම්බය පුපුරුවා ගෙන ඇති බව නීරීක්ෂණය වී තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ දෙවන පිපිරීම සිදුව ඇත්තේ වෙනත් ස්ථානයක බවත්, එය එක් පුද්ගලයෙකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා ස්ථානයක් ලෙස නිරීක්ෂණය කළ බවයි.

පිපිරීම වූ ස්ථානයේ තිබී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (02) සිරුරු හමුවූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බෝම්බකාරියගේ සහ දරුවන්ගේ සිරුරු අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන සේ කැබලි වී ගොස් තිබූ බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද (04) සාක්ෂි දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතායි.

ප්‍රහාරය වන අවස්ථාවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.

2019-04-23 වැනිදින සිට මොහු මඩකළපුව සියෝන් දේවස්ථානයේ වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව කටුයුතු කර තිබෙනවා.

සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ, තමන් මෙම ප්‍රහාරයේ විමර්ශන කටුයුතු භාර ගැනීමෙන් අනතුරුව සියෝන් දේවස්ථානය අසල තිබූ සියලු CCTV දර්ශන පරීක්ෂා කළ බවයි.

එහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙලිකර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇති ප්‍රධානම කරුණ වන්නේ සියෝන් දේවස්ථානයේ ප්‍රහාරකයා වන මොහොමඩ් අසාද් බෝම්බ රැගෙනවිත් තිබෙන්නේ කොළඹ සිට බස්රථයකින් බවයි.

සියෝන් දේවස්ථානයේ බෝම්බකරු කොළඹ – මරදාන සහිරා විද්‍යාලය අසලින් කල්මුණේ – කොළඹ බස් රථයකට 2019-04-20 වැනිදා රාත්‍රී 08:51 ට ගොඩවන ආකාරය දැක්වෙන් සීසීටීවී දර්ශනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා.

අදාළ පුද්ගලයා මෙම බස්රථය වෙන්කරවාගෙන ඇත්තේ කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු මාර්ගයෙන් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

2019-04-21 වැනිදා අලුයම 02:16 ට පමණ මඩකළපුව නගරයෙන් බස්රථයෙන් බැසයන බෝම්බකරු පළමුව ජුම්මා මස්ජිද් දේවස්ථානයට පැමිණෙන්නේ ත්‍රිරෝද රථයකින්.

දේවස්ථානය තුළ පැය 2 කට ආසන්න කාලයක් රැඳී සිටින බෝම්බකරු එහි දේව මෙහෙය සඳහා ද සහභාගිවන අතර ඔහුගේ ස්වරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ දැඩි නොසන්සුන්තාවක්.

අනතුරුව දේවස්ථානයේ විවේකාගාරය තුළට යන බෝම්බකරු ඇඳුම් මාරු කර ගැනීමෙන් අනතුරුව දේවස්ථානයෙන් පිටව යනවා.

බෝම්බකරු සියෝන් දේවස්ථානයට පැමිණෙන ආකාරය ද CCTV කැමරාවක සඳහන්ව තිබුණා.

අනතුරුව සියෝන් දේවස්ථානය තුළ බෝම්බය පුපුරුවා හරින්නේ පෙරවරු 09:03 ටයි.

සිද්ධියෙන් අනතුරුව කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාද් නමැති මොහු 2005 සහ 2012 යන වසරවලදී කටාර් සහ අබුඩාබි රාජ්‍යන් වෙත ගොස් යළි පැමිණ ඇති බවයි.

එමෙන්ම ප්‍රහාරය සිදුවූ දිනයේදී මොහොමඩ් අසාද්ගේ මව වන ආලියා ලතීෆා බිබී විසින් සිය පුතුගේ ඡායාරූප පුළුස්සා දමා ඇති බව අනාවරණය වූ බව කොමිසම හමුවේ සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

සාක්ෂිකරු පැවසුවේ ඇය මේ වන විට සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වන බවයි.

බෝම්බකරුගේ බිරිඳ එනම් අබ්දුල් රහීම් ෆෙරෝසා පාස්කු ප්‍රහාරයට පසු කාත්කන්කුඩි සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම්වලින් මියගොස් ඇති බවද සාක්ෂිකරු අණාවරණය කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2019 අප්‍රේල් 18 වැනිදා රාත්‍රියේ අසාද් සහ ෆෙරෝසා වෑන් රථයකින් කල්මුණේ සිට කොළඹට පැමිණ ඇති අතර ඔවුන් කොල්ලුපිටියේ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් වෙත පැමිණි බව අණාවරණය වූ බවයි.

එහිදී කොමිසම විමසුවේ එම නිවසේ රැදී සිටියේ කවුරුන්ද යන්නයි.

සහරාන්, ඔහුගේ බිරිද, දරුවන් දෙදෙනා මෙන්ම කටුවපිටියට දේවස්ථානයේ ප්‍රහාරකයා වන හස්තූන් සහ ඔහුගේ බිරිදවන සාරා ජස්මින් හෙවත් පුලස්තිනී එහි රැදී සිට ඇති බව සාක්ෂිකරු සදහන් කළා.

20 වනදා පස්වරු එකට පමණ මොවුන් සියලු දෙනා පානදුර පිහිටි නිවසට පැමිණ ඇති අතර සහරාන්, අසාද්, හස්තූන් එහි නැවතී සිටියදී අනෙක් පිරිස සහරාන්ගේ සහෝදරයකු වන රිල්වාන් සමග කාත්තන්කුඩි බලා පිටත්ව ගොස් ඇති බවත් වැඩිදුරටත් සාක්ෂ්කරු අණාවරණය කළා.

***************************************

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය

(04.06.2020 – 22:09 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය දින කිහිපයදීම හෙළි කළා.

එම හෙළිකිරීම් මධ්‍යයේත් ඉඩම් ආක්‍රමණිකයන් රටපුරා ඇදිරිනීතිය පනවා තිබු අද (04) දිනයේත් ක්‍රියාත්මක වන අයුරු හිරු සී.අයි.ඒ. කැමරාවට හසු වුණා.

දෙවනගල ඉඩම් කොල්ලය ගැන හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද ඒ පිළිබඳව සොයා බැලුවා.

මාවනැල්ල – ඓතිහාසික දෙවනගල රජ මහා විහාරස්ථානයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් වන බලපෑම් පිළිබදව හිරු සී.අයි.ඒ. හරහා අප අවස්ථා කිහිපයකදී හෙළි කළා.

විල්පත්තුව හා සමානව ජනාවාසකරනයට මේ වනවිටත් ලක් කෙරෙමින් පවතිනමෙම පුරා විද්‍යා ස්මාරක සහිත භූමිය නිරීක්ෂණය සදහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඊයේ (03) පැමිණෙන්නේ අපගේ එම අනාවරණයත් සමගයි.

එහිදී විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විසින් විහාරස්ථාණයේ පිඹුරුපත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා සිටියා.

***************************************

මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට

(05.06.2020 – 07:44+0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින රියාස් නානා නැමැත්තාගේ ගෝලයින් 13 දෙනෙකු තලාතුඔය දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – රන්දෙනිගල – මහවැලි රජමාවතේ – ගුරුදෙනිය ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු සැක කටයුතු ලෙස රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 01 බැගින් සකස් කරන ලද මත්කුඩු පැකට් 40 ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා.

පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ දැනට පල්ලේකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රියාස් නානා නැමැත්තාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවයි.

එමෙන්ම, මොහුගෙන් මත්කුඩු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය ඊයේ (04) දිනයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්ද ඒ අතර සිටින බවයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තබා එහි දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මතයි. එම සැකකරු පසුගිය 29 වැනිදා අදාළ හෝටලයට වෙඩි පහරදීමට සම්බන්ධ අයෙකු බව පොලිසිය සඳහන් කළා.

36 හැවිරිදි ඔහු පෙරේදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන – මහින්ද මාවතේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : අනාවරණයෙන් පසු වනසා තිබූ අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට

(05.06.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

පරිසර විනාශයක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ සිදුකළ අනාවරණයකින් පසුව අනවසරයෙන් පස් පුරවා වනසා දමා තිබූ අම්පාර, අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට පත්කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගත්තා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊයේ (04) ප්‍රකාශ කළේ අදාළ විනාශය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අක්කරේපත්තු පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි.

***************************************

‘හිරු රතු මිනිත්තුව’ : අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව

(05.06.2020 – 14:43 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස් ඇති වැවක් නිසා අසරණ බවට පත්වූ පිරිසක් පිළිබද ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

අද (05) රතු මිනිත්තුව වෙන්වන්නේ එම වැව ප්‍රතිසංස්කරණය කර ප්‍රදේශවාසීන්ට සාධාරණයක් ඉටුකරදීම උදෙසා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *