පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk)

මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි.

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 වනදා සිට සියලු පාසල් සඳහා නිවාඩු ලබාදුන් අතර මාස 03 ක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට අදියර 04 ක් යටතේ පාසල් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

• ඒ අනුව පළමු අදියර ජූනි 29 වනදා ආරම්භ වන අතර පළමුව පාසල් කටයුතු සඳහා සූදානම් වීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ලබයි.

• දෙවන අදියර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි මස 06 වනදා ආරම්භ කිරීමට නියමිත අතර එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතයි.

• තුන් වන අදියර ජූලි 20 වනදා ආරම්භ කෙරෙන අතර 12 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණිය සිසුන් එහිදී පාසලට කැඳවීමට තීරණය කර තිබේ.

• සිව් වන අදියර ජූලි 27 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ 3 ශ්‍රේණිය, 4 ශ්‍රේණිය, 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය සිසුන් පාසලට කැඳවිම සිදු කරයි.

+++++++++++++++++++++

පහේ ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13 වන දා

(09.06.2020 – 14:50 +0530 – sinhala.adaderana.lk)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත් වීමට තීරණය කර තිබේ.

අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අගෝස්තු 03 වනදා ශිෂ්‍යත්වය පැවැත්වීමට මුලදී තීරණය කර තිබු බවය.

+++++++++++++++++++++

අපොස උසස් පෙළ සැප්තැම්බර් 7 වන දා සිට

(09.06.2020 – 14:44 +0530 – sinhala.adaderana.lk)

මෙවර අපොස උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වන දින සිට ඔක්තෝබර් 02 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.

අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මීට පෙර තීරණය කර තිබුණේ අගෝස්තු මස 05 වන දින සිට සැප්තැම්බර් මුල දක්වා ක්‍රියාත්මක කිරීමට බවයි.

විභාග පැවැත් වීම සම්බන්ධයෙන් පැවතියේ විකල්ප දෙකක් බවත් පැවසු අමාත්‍යවරයා, එකක් වන්නේ ආවරණය නොකරන ලද විෂය මාලා ඉවත් කර ප්‍රශ්න පත්‍ර සැකසීම බවද පැවසීය.

දෙවැනි විකල්පය වන්නේ විභාගය කල්දැමීම යැයි ද පැවසු අමාත්‍යවරයා, මුල දී නම් පළමු විකල්පය යෝග්‍ය යැයි සිතු බවද කියා සිටියේය.

නමුත් පළමු වතාවට විභාගයට මුහුණ දෙන සිසුන් දහස් ගණනක් එයට සුබවාදී ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් පැවසු අමාත්‍යවරයා, දෙවැනි හා තුන්වන වරට උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙන සිසුන් ද එයට අකමැති වු බව පැවසීය.

එනිසාවෙන් උසස් පෙළ කල් දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

***************************************

මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කරයි

(09.06.2020 – 19:39 +0530 – sinhala.adaderana.lk)

2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික අදියර අවසන් බැවින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මෙම සතිය තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලකුණ,අපේක්ෂකයින්ගේ මනාප අංක හා ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයින් 7344 දෙනෙකු තරග වදියි.

මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික අදියර අවසන් බැවින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මෙම සතිය තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය පහතින් දැක්වේ :

General Elections of Member… by Nuwani Ruwinika Vitharana on Scribd

***************************************

නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම හමුවේ කළ අනාවරණය

(09.06.2020 – 22:14 +0530 – sinhala.adaderana.lk)

2012 වසරේ ඇති වූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ යැයි පවසන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ‘යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම’ හමුවේ අද (09) අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, පොලිස්පතිවරයා කළ එම ඉල්ලීමට තමන් එකඟ නොවු බැවින් තමන්ව වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට සම්බන්ධ කිරීමට ඉකුත් ආණ්ඩුව ක්‍රියා කළ බවයි.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි වතාවරණය අතරතුර රැඳවියන් 27 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට ඉකුත් යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (09) සිදුකෙරුණි.

අදාළ සිදුවීම වූ දිනට දින 20 කට පමණ පෙර සිට තමන් මෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටව සිටි සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයක් වැටලීමට සැලසුම් සකස් කරමින් සිටි බව පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

මෙම කලහාකාරි වතාවරණය ඇතිවු අවස්ථාව වන විට තමන් ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක රැදීසිටිමින් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම කොටු කර ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටි බව ඔහු සඳහන් කළේය.

එදින වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට ආසන්නව පැවති බැවින් මෙහෙයුම් කටයුත්තක් සදහා පුංචි බොරැල්ල ආසන්න ප්‍රදේශයට ගියද, තමන් කිසිදු අවස්ථාවක වැලිකඩ බන්ධනාගාරය තුළට නොගිය බවද රංගජීව මහතා ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.

මෙවැනි වතාවරණයක් තුළ මෙම සිදුවීමෙන් වසර 4 ක් පමණ ගතවීමෙන් පසු බලයට පත් වූ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දේශපාලනිකව පලිගැනීමට උත්සහ කළ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එම පලිගැනීම් සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන් මුල් වූ බව නියෝමාල් රංගජීව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පුජිත් ජයසුන්දර මහතා තමන් අමතා “ගෝඨාභයනේ ඔයාව ඇරියේ. ඔයා ඒක කියන්න. මම උඩට කියලා ශේප් කරන්නම්” යනුවෙන් පැවසු බවයි.

ඒ වන විට පොලිස්පති තනතුර ලබාගැනීම සදහා තියුණු තරගයක් පැවති බැවින් පුජිත් ජයසුන්දර මහතා ඉහළින් ප්‍රසාදය දිනාගැනීමේ අරමුණ ඇතිව එලෙස ක්‍රියාකරන්නට ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ අදාළ සිදුවීම වූ දිනට ආසන්න දිනයකදි එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ දැයි ජනාධිපති කොමිසම මෙහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ පොලිස් පරීක්ෂක වැනි පහළ නිලයක සිටි තමන්ට එවැනි දුරකතන ඇමතුමක් නොලැබුණු අතර, තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාව සජීවිව දැක ඇත්තේද මහමග මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාව දෙකකදි පමණක් බවයි.

මාකඳුරේ මදූෂ් වැනි අපරාධකරුවන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ තමන්ට ඉහළ නිලධාරින් නිර්දේශ කර තිබූ නියමිත උසස්වීම් නොලැබී ගියේද පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට වුවමනා පරිදි තමා සාක්ෂි නොදීම නිසා බවත් නියෝමාල් රංගජීව මහතා පැවසීය.

+++++++++++++++++++++

***************************************

ජනතාවට ලැබුණු අසාමාන්‍ය විදුලි බිල්

(09.06.2020 – 22:04 +0530 – sinhala.adaderana.lk)

ගෙවුණු මාස දෙකක කාලය සඳහා අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සහිත විදුලි බිල්පත් ලැබුණු බවට ප්‍රදේශ කිහිපයක විදුලි පාරිභෝගිකයන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ අසාමාන්‍ය ලෙස විදුලි බිලෙහි වැඩිවීමක් ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

ඉකුත් මාර්තු 20 වැනිදා සිට සෑම දිස්ත්‍රික්කයකටම අඛණ්ඩව හෝ කඩින්කඩ ඇඳිරි නිතිය පැනවුණු අතර ඒ හේතුවෙන් ජල, විදුලි සහ දුරකතන බිල්පත් සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ නිවෙස්වලට ලැබීමේ කටයුතුද අඩපණ විය.

ඒ අනුව ගෙවුණු මාස දෙකක කාලය සඳහා විදුලි බිල්පත් ලැබීමේදී ඒවායෙහි අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සටහන්ව තිබුණු බවට විදුලි පාරිභෝගිකයන් චෝදනා කරයි.

අප මේ පිළිබඳව විදුලි බල මණ්ඩලයෙන් කළ සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණේ මාසික විදුලි බිල ගණනය කරන විට ඒකක 0 ත් 30 ත් අතර ඒකකයක් සඳහා රුපියල් 2.50 ක් සහ රුපියල් 30 ක ස්ථාවර ගාස්තුවක් අය කෙරෙන බවයි.

• ඒකක 31 ත් 60 ත් අතර නම් රුපියල් 4.85 ක ඒකක මිලක් හා රුපියල් 60 ක ස්ථාවර ගාස්තුවක් අය කෙරෙයි.

• 61 ත් 90 ත් අතර සෑම ඒකකයකටම රුපියල් 10 ක මුදලක් අය කරන අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 90 ක්.

• ඒකක 91 ත් 120 ත් අතර නම් අය කරන ඒකක ගාස්තුව රුපියල් 27.75 ක් වන අතර එහි ස්ථාවර ගාස්තුව වන්නේ රුපියල් 480 ක්.

• මේ ආකාරයට මාසිකව භාවිත කරන ඒකක ගණන ඉහළ යන විට විදුලි ඒකකයක මිල සහ ස්ථාවර ගාස්තුව ක්‍රමයෙන් ඉහළ යයි.

එවන් ක්‍රමවේදයක් තුළ පාරිභෝගිකයන් චෝදනා කරන ආකාරයේ අසාමාන්‍ය විදුලි බිල් නිවේසවලට ලැබෙන්නේ කෙසේද ?

***************************************

සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන දහස (1000) ඉක්මවයි

(09.06.2020 – 20:58 +0530 – sinhala.adaderana.lk)

අද (09) තවත් කොවිඩ් ආසාදිතයන් 67 දෙනෙකු සුවය ලබා පිටවයාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද (09) දහස ඉක්මවා ඇත.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 1057 ක්.

ඊයේ (08) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 22 දෙනාගෙන් 12 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින්.

ඒ අතර කුවේට්හි සිට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි පුද්ගලයින් අට (08) දෙනෙකු හා චෙන්නායි හී සිට පැමිණ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි සිව් (04) දෙනකු වේ.

වෛරසය ආසාදිතව ඊයේ (08) හදුනාගත් නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දස (10) දෙනෙකු වන අතර ඔවුන් රැඳී සිටියේ ඉයක්කච්චි සහ දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානවලයි.

සමස්ත ආසාදිතයින්ගෙන් 865 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් තවත් 41 දෙනෙකු අද (09) සුවය ලබා පිටව යාමත් සමඟ මේවන විට සුවය ලබා ඇති සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 563 ක්.

මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1857 ක්.

අද (09) සුවය ලැබූ 67 දෙනා සමගින් සුවය ලැබූ සමස්ත ගණන 1057 ක්.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 53.54 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 789 ක් වන අතර එය සියයට 46.45 ක ප්‍රතිශතයක්.

මරණ ගණන 11 ක් වන නමුත් එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 0.59 ක තරම් සුළු අගයක පවතියි.

කෙසේවෙතත් පසුගිය මැයි මස 28 වනදා කොවිඩි 19 ආසාදිතව හදුනාගත් හොරණ කඳන ප්‍රෙද්ශයේ යුද හමුදා නිලධාරියාගේ ආශ්‍රිතයන් පි.සි.අර්. පරික්ෂණයන්ට ලක්කිරිම සඳහා සාම්පල ලබා ගැනිම අද (09) සිදු කෙරුණි.

මදුරාවල, මිල්ලනිය, හොරණ, වාද්දුව, බණ්ඩාරගම ආදි ප්‍රදේශවල නිරෝධායනයට ලක් වූ 29 දෙනෙකු ඒ අතරට අයත්.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමටත්, ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් රෝගී සත්කාර සේවා සිදුකළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය ආමාත්‍යවරියට උපදෙස් ලබාදීම තිබේ.

මේ අතර විදේශගතව සිට මෙරට පැමිණ කළුතර දිස්ත්‍රික්කයේ සුඛෝපභෝගි හෝටල්වල නිරෝධායනය වෙමින් සිටි 200 ක පිරිසකගෙන් 57 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (09) සිදුකෙරුණි.

***************************************

වැරදුණු මුදල් කොල්ලය

(09.06.2020 – 20:33 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාතික රෝහලේ අද (09) සිදුවන්නට ගිය මහා මුදල් මංකොල්ලයක් පොලිස් නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම නිසා ව්‍යර්ථ විය.

මුදල් කොල්ලකෑමට උත්සාහ කර ඇත්තේ එම රෝහලේම විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරයෙක් බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මුදල් කොල්ලය සිදුව ඇත්තේ අද (09) දහවල් 01:30 ට පමණ.

කොළඹ ජාතික රෝහලේ සරප් අංශයට පැමිණි මෙම පුද්ගලයා එම ස්ථානයේ සිටි නිලධාරියෙකුට පිස්තෝලයක් පෙන්වා බියගන්වා මුදල් පැහැරගැනීම සිදු කර තිබේ.

සොරාගෙන ඇත්තේ රෝහල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 79 ක පමණ මුදලක් බව වාර්තා වේ.

මුදල් බහා තිබූ බෑගය රැගෙන එම පුද්ගලයා රෝහල් භූමියෙන් පිටතට විත් ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබේ.

එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂාවට සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (02) සහ තවත් පොලිස් නිලධාරිනියක් (01) ද ක්ෂණිකව ක්‍රියාත්මකවී සැකකරු ලුහුබැඳි බව වාර්තා වේ.

පසුව කොළඹ වෛද්‍ය පිඨය ඉදිරිපිට නන්දදාස කෝදාගොඩ මාවතේදී කොල්ලකරු අල්ලා ගැනීමට එම පොලිස් නිලධාරීන් සමත් විය.

සැකකරු ව්‍යාජ කොණ්ඩයක් ද පැලඳ සිටි බව ද මෙම ඡායාරූපවලින් තහවුරු වන අතර ඔහු රෝහල් නිලධාරීන් බියගැන්වීමට භාවිත කර ඇත්තේ ව්‍යාජ පිස්තෝලයක්.

මෙම අවස්ථාවට අහඹු ලෙස සම්බන්ධ වූ පොලිස් නිලධාරිනිය මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියයි.

අප කළ විමසීමේදී ඇය කියා සිටියේ තමන් සිය පුද්ගලික රථයෙන් පොලිස් මූලස්ථානය වෙත යන අතර පුද්ගලයෙකු පිස්තෝලයක් අතැතිව දිව යන අයුරු දැක සැක සිතී එම පුද්ගලයා ලුහුබැඳ ගිය බවයි.

රථයේ සිටි තම දියණිය පිස්තෝලය දැක බිය වී කෑගැසූ මුත් තමා ක්ෂණිකව ක්‍රියාත්මක වූ බව ද ඇය කියා සිටියේය.

එලෙස ග්‍රහණයට ගන්නා සැකකරු මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

+++++++++++++++++++++

***************************************

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් – ජනපතිගෙන් උපදෙස්

(09.06.2020 – 16:26 +0530 – sinhala.adaderana.lk)

කොව්ඩි -19 රෝගීන් සමඟ දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමඟ දින දෙක තුනක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

එම අවස්ථාවේ දී අමාත්‍යවරිය විසින් මෙම අදහස් පළ කෙරිණි.

මෙහි දී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කර තිබේ.

මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, කොරෝනා රෝගීන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම වගකීමක් වන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සේඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ ෴

+++++++++++++

***************************************

සෞඛ්‍යයට අදාල නව නිර්මාණ බිහිකිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන

(09.06.2020 – 15:53 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 තත්ත්වය මැද සියගණනක් නව නිර්මාණ බිහිවීම දක්නට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

එබඳු නව නිර්මාණකරුවන් දිරිගන්වා ස්වදේශීය නිෂ්පාදන මෙරට සෞඛ්‍ය සේවාවට වැඩි වැඩියෙන් ලබා දීමට දිරිගැන්වීමේ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කරයි.

මේ යටතේ සෞඛ්‍යයට අදාල නව නිර්මාණ බිහිකිරීම සඳහා තාක්ෂණික සම්බන්ධීකරණය හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙන් විශේෂ වැඩපිලිවෙලක් සකස් කොට ඇත.

මෙහිදී නව නිර්මාණ යටතේ උපකරණයක්, තාක්ෂණයක්, සන්නිවේදන මෙවලමක් හෝ මෙහි සඳහන් නොවන ඕනෑම අදහසක් සලකා බලනු ලැබේ.

නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට එනම් ගුණාත්මක භාවය දියුණු කිරීමට කිරීමට හෝ සවිබල ගැන්වීමට දායක විය යුතුය.

එබඳු අදහස් පිලිබඳව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට දන්වන්නේ නම් එම අදහස වැඩිදියුණු කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අවස්ථාව දක්වා ගෙන ඒමටත් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් සූදානම් බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මෙසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල නව නිර්මාණ බිහි කිරීමට කැමති පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත හෝ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය වන www.pssp.health.gov.lk (එහි innovation තීරය click කරන්න) ප්‍රවේශ වී ව්‍යාපෘතියට එක් වීමට අභිලාෂය පල කිරීමේ ලිපිය අයදුම් පත්‍රය සමග බාගත (download) කරගත යුතුය.

එසේත් නොමැතිනම් psspmoh.lk@gmail.com වෙත පණිවුඩයක් යොමු කිරීමෙන් විස්තර හා අයදුම්පත් ලබාගත හැකිවෙයි. අයදුම්පත සම්පූර්ණ ඒ සමඟ ඇති විස්තර අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වෙත යොමු කිරීමෙන් ඉදිරි කටයුතු පිලිබඳව දැනුම්දෙනු ඇත. නව නිර්මාණ කරුවන් සඳහා මෙය ස්වර්ණමය අවස්ථාවක් වන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

වැඩි විස්තර : ඉමේෂා අබේසේකර මහත්මිය, ව්‍යාපෘති නිලධාරී , ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය. දුරකතනය : 011 268 0549 / 071 812 3858

***************************************

දේශපාලන ගැත්තෙක් නොවී වැඩක් කළ STF ලොක්කා, වරුණ ජයසුන්දරගේ වැඩ කරන කාලයයි මේ

(09.06.2020 – webgossip.lk)

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා පාතාල මර්දන ඒකකය හා බුද්ධි බලකායේ ආරම්භක සාමාජිකයෙකු වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේද සමාජිකයෙක් වනවා.

පසුගිය කාලය පුරාම රට පුරා අසන්නට ලැබුණු පාතාල හිස එසවීම් සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සිය දැනුම හා අත්දැකීම මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව පරිදි මෙරට තුල පාතාලය තුරන් කිරීම නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් සිදුකරනු ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවටම විශ්වාසය පවතී.
මෙම වසර තුල සොයාගත් විශාලම මත්කුඩු තොගය අල්ලා ගන්නටද මොහුට හැකිවිය.

දේශපාලන අතගැසීම්වලට පිටුපසට නොයන, සිය නිල ඇඳුමේ ගෞරවය එලෙසින්ම රැක ඇති නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්ය බලකායට අතතබන්නේ රටේ නම ගිය පාතාලකාරයන්ට උන්හිටි තැන් අමතක කරවමින්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා වැඩබලන පොලිස්පතිවරයා විසින් සුදුස්සාට සුදුසු තැන – වසන්තය පමාවී හෝ පැමිණෙන බවට – තහවුරු කරමින් ලබාදීම ගැන නියෝජ්‍ය පොලිස්පති වරුණ මහතා ගැන දන්නා අය නිතැතින්ම පවසනු නොඅනුමානය.

මෙරට බොහෝ පාතාල නායකයින් පිටුපස ඇති දේශපාලන හිතවත්කම්ද, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කෙරුවාවල්ද නතර කිරීම නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ වගකීමක් බව මතක් කළ යුතුය.

මක් නිසාද යත් මෙම පාතාල රංගනයන් නිසා ව්‍යාපාරිකයන්, සාමාන්‍ය වැසියන් පීඩා විදින්නේ නීතියේද පිළිසරණක් නොමැතිවය.

මහාපරිමාණ පරිසර විනාශයන් කරමින්, කෝටි ගණනින් මුදල් ඉපැයීමට තම බලය භාවිත කරන පාතාල කෙරුමන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සමාජයට මෙන්ම අනාගත පරපුරටද අමිල සේවාවක් වනු නොඅනුමානය.

කුඩා ගම්වල පවා අවුරුදු 18 ට අඩු තරුණයන් හා තරුණියන්ද තම ජීවිත විනාශ කරගන්නා මත් උවදුරටද වැට බැඳිය යුතුව පවතී.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේද නොමද සහයෙන් රටේ අස්සක් මුල්ලක් නෑර විනාශ වෙන මේ තරුණ පරපුර බේරා ගැනීමද වරුණ ජයසුන්දර මහතා අත පවතී.

ගංජා, කුඩු, මත් පෙති තොග පිටින් ගම්තුල සැරිසරන්නේ නීතියේ සිදුරුවලින් ජාවාරම්කරුවන් රිංගමින් බව කවුරුත් දන්නා කරුණකි. එවැනි සිදුරු පවා වසා දැමීමට ක්‍රියා කරනු ඇත.

ඉතිහාසය දෙස බැලූ විට මාකදුරේ මධූෂ් පොලිසියට කොටුකර දීමේ මෙහෙයුම පිටුපසද සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාය.

නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ඉතිං මේ ඔබේ කාලයයි. රටේත් ජනාධිපතිවරයාගේත් විශ්වාසය රකිමින් මෙතැන් සිට ඔබ සිදුකරන ක්‍රියාගැන අපත් රටත් අවධානයෙන් සිටින බව ඔබට සිහිපත් කරමි ෴

++++++++++

***************************************

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පුළුල් සංවාදයට ලක් කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්

(09.06.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් වාර්තා අනුමත කිරීමට පෙර පුළුල් සමාජ සංවාදයකට යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම, අනාගත පරපුරට බලපාන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැමට එකඟ විය හැකි ආකාරයෙන් සම්පාදනය කළ යුතු බව අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ 3 ම එකම අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝග්‍යතාව පිළිබදව ද සංවාදයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

පාස්කු ප්‍රහාරයට ඇල්ලූ අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

(09.06.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සහයෝගය ලබාදීමේ චෝදනාව මත සෞදි අරාබියේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අබුසාලි අබුබකර් නමැති පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු පුල්මුඩේ – ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) මොහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම බලකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

දැනට අබුසාලි අබුබකර් නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර, ඊයේ (08) අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පුල්මුඩේ පොලීසියට භාර දී තිබෙනවා.

***************************************

පී.සී.ආර්. පරීක්ෂණය මඟහැර මෙරටට ආ ඇමෙරිකානුවා ගැන විමල් වීරවංශ ගෙන් හෙළිදරව්වක්

(09.06.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණය මඟහැර මෙරටට පැමිණි ඇමරිකානු නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) හෙළිදරව් කළා.

ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදී අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

විමල් විරවංශ හෙළිකළ මැතිවරණ කොමිසමේ රහස

(09.06.2020 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ යුතුයැයි මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් දැඩි මතයක සිට ඇති බව අමාත්‍ය විමල් විරවංශ මහතා කියා සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී ඔස්සේ ඊයේ (08) විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

කිසිදු නීතිමය පදනමක් නොමැතිව රත්නජීවන් හූල් එසේ කර ඇති බවද එය අප්‍රකට කරුණක් බවද කී අමාත්‍යවරයා අද පවතින මැතිවරණ කොමිසම ස්වාධීන එකක් බව තමන් නොපිළිගන්නා බවත් අවධාරණය කළා.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *