පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා.

එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (09) පැමිණියේ ප්‍රහාරය එල්ල වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේයි.

පාස්කු ඉරිදා දෙමටගොඩ මහවිල උද්‍යානය නිවසේදී බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජිෆ්රිට අයත් බැංකු ගිණුමකට 2014/9/9 දින ඇ. ඩො. 5435 ක මුදලක් තැන්පතු ලෙස තිබූ බවත් කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසු අදාල ගිණුම පරීක්ෂා කිරීමෙදී එහි ශේෂය ඇ. ඩො. 293.64 ක් දක්වා අඩු වී ඇති බවත් සාක්ෂිකරු සදහන් කළා.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඊබ්‍රහයිම් ඉල්හාම් දෙමටගොඩ නිවසට පැමිණ හඩපට දෙකක් පටිගත කර ඇති බවද ඔහු කොමිසමට අනාවරණ කළා.

ඉන් එකක් එදින රාත්‍රී 11:48 ත් අනෙක් හඩපටය 21 වනදා අලුයම 12:03 ටත් පටිගත කර තිබෙනවා.

එය දමිළ භාෂාවෙන් පටිගත කර ඇති අතර එහි සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු විසින් කොමිසම ඉදිරිපත් කළා.

උපුටා ගැනීම :

“මාගේ අම්මාටයි, තාත්තාටයි සහෝදර සහෝදරියන්ටයි ලබාදෙන පණිවිඩයයි. මං කෙටියෙන් කියන්නේ. අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේ එයා පියාගේ ආගම ඇඳහීම් ක්‍රියාවලීන් සමඟ අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, හාමුදුරුවන්ට ආධාර ලබාදීමේ කටයුතුවලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා සිරක් කුෆූර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදියි. දෙවියන් පිළිගන්නට ඕනේ මෙය සියදිවි නසා ගැනීමක් නොවෙයි, තමා විසින් කරන දානයක් කියලා. නිකම් මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පනින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගම්වල අයව මරාගෙන මැරෙන්න දෙවියන් ගාවට යන්න ඕනේ නිසයි. දෙවියෝ ආදරයට තමයි මට මේ මාර්ගය පෙන්නුවේ. මා සතුව තිබෙන ගොඩක් පව් අයින් කර ගන්න පුළුවන් මරණයට පත්වීම හේතුවෙන්. සරීයා මේ රටට එන්න ඕනේ. දෙවියෝ කුරාණය කියන්නේ ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණව ඉවත්වීමට ආගම සම්බන්ධයෙන් පිළි පදින කල් යුද්ධ කරන්න කියලා. කුරාණය අනිවාර්යයෙන් කියවන්න. හදීස් කියවන්න. නබිතුමා යම්දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරයෙන්ම ක්‍රියා කරන්න. එවැනි දේවල මහජනතාවගේ අදහස් ගැළපෙන්නේ නැතුව ගියත්, ඒක කරන්න. නබිතුමා අපට වඩා හොඳ උගතෙක්. දෙවියෙක්.

දෙවියෝ කියපු එක තමයි නබිතුමා කිව්වේ. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලු‍න් සමඟ කොයි විදිහට ද කටයුතු කරන්න ඕනා, ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහට ද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැන ගන්න ඕනා. ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. මේවා ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යයෙන් දරා ගෙන පවුලේ අයට උදව් කරන්න. ස්තූතියි.”

එම හඬපට ෆාතිමා ජිෆ්රි විසින් බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසු ‘පෙන් ඩ්‍රයිව්’ එකක දමා ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ සහෝදරිය වන ඉබාදා ඊබ්‍රහයිම්ට ලබාදී, සිය දෙමව්පියන් හමුවේ ඒවා වාදනය කරන ලෙස දන්වා ඇති අතර එම හඬපට ඉබාදා ඊබ්‍රහයිම් විසින් ඊබ්‍රහයිම් පවුලේ බාල සහෝදරයා වන මොහොමඞ් ස්මයිල් වෙත ලබාදී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අනුව එම හඬපට දෙමටගොඩ නිවසේ පිරිස පාස්කු ඉරුදින පෙරවරුවේ ශ්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණ ඇති අතර ෆාතිමා ජිෆ්රි කුරාණය කියවමින් සිට ඇති බවයි සාක්ෂිකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ දී ඇය විසින් බෝම්බය පුපුරුවා ගෙන තිබෙනවා. කොමිසම එහිදී විමසුවේ එම නිවසේ තිබී කිසියම් දෙයක් සොයාගත්තේද යන්නයි. එහි තිබී පොත් 283 ක්, බාහිර දත්ත ගබඩා 9 ක්, ‘පෙන් ඩ්‍රයිව්’ දෙකක් සහ සී.සී.ටි.වී. පටිගත කිරීමේ යන්ත්‍රයක් සොයාගත් බව සාක්ෂිකරු සඳහන් කළා. අදාළ පොත් තුළ අන්තර්ගතව ඇත්තේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බව ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඔහු සඳහන් කළේ එම එක් ප්‍රෙන් ඩ්‍රයිව් එකක තිබී ඊබ්‍රහයිම් ඉල්හාම් විසින් පටිගත කෙරුණු හඬපට සොයාගත් බවයි. පාස්කු ප්‍රහාරයට පෙර එනම් 2019/4/20 දින රාත්‍රියේ ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ සහෝදරයකු වන ඉජාස් අහමඩ් විසින් නීතිඥවරයකු මාර්ගයෙන් ඉල්හාම්ට අයත් සියලු‍ බලතල ඊබ්‍රාහයිම් ඉල්හාම් පවුලේ බාල සහෝදරයා වන මොහොමඩ් ස්මයිල් වෙත පවරා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සාක්ෂි ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ඊබ්‍රහිම් ඉල්හාම්ගේ නීතිඥවරයා අයිතිය පැවරීමේ කෙටුම්පතක් සකස් කර 20 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට යොමු කෙරුණ ද ඊට බලය පැවරීමට අදාළ අත්සන් ඇතුළත් කර නොතිබූ බවයි.

කෙසේවෙතත් මේ වනවිට මොහොමඞ් ස්මයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින අතර පවුලේ පිරිස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර සිට දැනුවත්ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කෙරෙන බව සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ වාහනය සහ එහි රියදුරු අත්අඩංගුවට

(10.06.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

50 හැවිරිදි වියේ පසුවන සැකකරු පිළියන්දල – සුවාරපොල ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම් ගෙන සිට ඇති අතර, වෙඩි තැබීම සිදුකිරීම සඳහා පැමිණි මෝටර් රථයද කුලී පදනම මත ලබාගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ඔහු කාලයක සිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූවන් සමඟ සබඳතා පවත්වා ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණේ පසුගිය මස 29 වනදා යි.

සිද්ධියට ඍජුව සම්බන්ධ බවට පැවසූ ගොනාකෝවිලේ රාජා නැමැත්තාද පසුගිය 6 වනදා මිනුවන්ගොඩ – බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ අවසන් කටයුතු අද (10) දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

***************************************

උදය කියන මංගල ඉවත්වීමේ රහස

(10.06.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී අත්දැකීමට සිදුවන අන්ත පරාජය හමුවේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ යැවේ

(10.06.2020 – 09:36 +0530 – sinhala.adaderana.lk)

මාලේ නගර සීමාව තුළ හා ඉන් පිටත සිටින ශ්‍රී ලාංකිකයන් අතර මාදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක ඇසුරුම් 2000 ක් විදේශ සබදතා අමාත්‍යාංශය විසින් එම කාර්යාලය වෙත යවා ඇත.

මෙය COVID-19 වසංගතය පැතිරයාමත් සමඟම මාලදිවයින් රජය විසින් රතු සංඥාවක් ප්‍රකාශයට පත්කර ඇති විශේෂයෙන්, මාලේ අගනුවර සිටින අතිශයින් අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින හා ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීම සීමා වී ඇති පුද්ගලයන්ගේ දුෂ්කරතා රැසක් අවම කිරීම සඳහා ගන්නා ලද ප්‍රයත්නයකි.

2020 ජුනි 7 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් පිරිවැය රහිත පදනමක් මත මාලදිවයිනට මෙම ආධාර කට්ටල ගෙනයාම සදහා විදේශ අමාත්‍යාංශයට සහයෝගය දක්වා ඇත.

මෙම ලබාදීමට නියමිත එක් ආධාර කට්ටලයක් අයිතම 18 කින් සමන්විත වන අතර මෙම ශ්‍රී ලාංකිකයන්ට බහුල වශයෙන් අවශ්‍යවන ක්ෂණික ආහාර ද්‍රව්‍ය , සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ වැනි මූලික භාණ්ඩ ඊට ඇතුළත් වෙයි.

ශ්‍රී ලාංකිකයන් 7000 ක් පමණ මේ වනවට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙයින් 2000 කට ආසන්න ප්‍රමාණයක් මාලේ අගනුවර වෙසෙයි.

මේ පිළිබදව විදේශ සබදතා අමාත්‍යාංශය දැනටමත් මාලදිවයින් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුහු මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පිටත්වීමට පෙර ගෙවීම් සිදුකිරීමේ පදනම මත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා කැමැත්ත පළකොට ඇති බව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජයෙන් විශේෂ මුදල් වෙන්කිරීමක් මගින් ලබාදුන් අරමුදල් උපයෝගීකරගනිමින් හා ශ්‍රී ලාංකික ප්‍රජා සංගම් හා ප්‍රාදේශීය සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් බොහෝ විදේශීය අගනගරවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩල වියලි ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාදෙමින් විදේශ රටවල වෙසෙන සංක්‍රමණික ප්‍රජාවලට අඛණ්ඩව සහාය ලබාදෙයි.

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්හට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අඛණ්ඩව සහාය ලබාදීම සහ පහසුකම් සැලසීම ද සිදුකරන අතරදීම අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදි එම රටලදීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ද ලබාදීම සදහා ද සහාය දක්වයි ෴

***************************************

ලංගමයෙන් අලුත් වැඩක් : මහරගම අපේක්ෂා රෝහල වෙත විශේෂ ප්‍රවාහන සේවාවක්

(10.06.2020 – 12:45 +0530 – sinhala.adaderana.lk)

මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පළාත් 9 ම ආවරණය වන මෙම බස් සේවාව පසුගිය 8 වනදා සිට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් අඩාල වීම තුළ අපේක්ෂා රෝහලේ පැවැත්වෙන සායන සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පැවසීය .

රෝහලෙන් ලබාදෙන ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබාගත යුතු බැවින් මෙම විශේෂ බස් රථ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර ඇති බවද සඳහන් වේ.

මෙම වි‍ශේෂ බස් සේවාව ‘අපේක්ෂා එක්ස්ප්‍රස්’ ලෙස නම් කර ඇත ෴

***************************************

මහ මැතිවරණය අගෝස්තු 05

(10.06.2020 – 14:44 +0530 – sinhala.adaderana.lk)

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

ඒ සඳහා වු ගැසට් නිවේදනය කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යැවු බවද මහින්ද දේශප්‍රිය මහතා හෙළි කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *