ශාහිඩ් ලෙස රෝහලට ගිය සහරාන්ගේ සොහොයුරා

(12.06.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි.

ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන මහතායි.

ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 වැනිදා හිසට, වම් ඇසට සහ අතකට දරුණු තුවාල සිදුවූ රෝගියෙකු හදිසි ප්‍රතිකාර එකකයට ගෙන ආ බවයි.

රෝගියා සමග තවත් සිව්දෙනෙකු (04) පැමිණි බව සඳහන් කළ වෛද්‍යවරයා, එම රෝගියා එම්. අයි ශාහිඩ් ලෙස ලියාපදිංචි කළ බව ද පැවසීය.

පසුව කොමිසම සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හෂිම්ගේ ඡායාරූපයක් පෙන්වා මේ එදින ගෙන ආ රෝගියාදැයි විමසූ අතර වෛද්‍යවරයා ඒ ඔහු බව හඳුනාගනු ලැබීය.

එමෙන්ම මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හක්ගේ ඡායාරූපයක් පෙන්වා ඔහුව හඳුනන්නේ දැයි විමසීමක් කළ අතර වෛද්‍යවරයා සඳහන් කළේ ඒ අදාළ රෝගියාගේ භාරකරු ලෙස පෙනී සිටි තැනැත්තා බවයි.

එසේම එදින එහි සේවයේ යෙදි සිටි හෙද නිලධාරිනිය සාක්ෂි දෙමින් කියා සිටියේ රැකියා ස්ථානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම තුවාල සිදුවු බව තුවාලකරු පැවසුවද තුවාලවල ස්භාවය හේතුවෙන් ඒ ගැන තමන්ට සැකයක් ඇතිවූ බවයි.

නමුත් සැකකරු රෝහල් පොලිස් ඒකකයට ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදි, ඔහු සමග පැමිණි පිරිස කලබලයට පත්වු බවත් එතැන් පටන් කෝපයෙන් හැසිරුණු බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

බන්ධනාගාර රැඳවියෙකු සතුව ශීතකරණයක්

(12.06.2020 – 19:04 +0530 – sinhala.adaderana.lk)

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) විමර්ශන ආරම්භ කළේය.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මත්කුඩු කිලෝ 30 ක් සමග අත්අඩංගුවට පත් ඔස්ටින් නමැති සැකකරුවකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කුඩු කිලෝග්‍රැම් 100 ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රොවේව් උඳුනක් ද තිබූ බවත් පසුගියදා හෙළි වී තිබුණි ෴

***************************************

අනතුරු 68 කට වග කියූ වංගුවක්

(12.06.2020 – 14:14 +0530 – sinhala.adaderana.lk)

බහුලව රිය අනතුරු වාර්තාවන වංගුවක් පිළිබඳව කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම ස්ථානයේ සිදුවූ 68 වන අනතුර පසුගියදා වාර්තා විය.

කොළඹ-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න බෑවුම සහිත මාර්ගය සහ දුම්රිය හරස් මාර්ගයත් සමඟින් හමුවන S හැඩැති වංගුව නිසා මෙම ස්ථානය අනතුරු බහුල වශයෙන් සිදුවන ප්‍රදේශයක්.

2006 වසරේදී මාර්ගයට කාපට් යොදා සංවර්ධනය කිරීමත් සමඟ මේ දක්වා මෙම ස්ථානයේ රිය අනතුරු 68 ක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට පත්වන වාහන අසළ දුම්රිය මාර්ගය දිගේ මෙන්ම මාර්ගය පහළ පිහිටි මෙම නිවස මතටද අවස්ථා කිහිපයකදී පෙරළී තිබේ.

අධික බරක් ප්‍රවාහනය කරන වාහන මෙලෙස බහුල වශයෙන් අනතුරට පත්වන්නේ එම ස්ථානයේදී රථයේ පාලනය රියදුරු අතින් ගිලිහී යාමෙන්.

මේ අතර පසුගිය 10 වනදා ද කොළඹ සිට බදුල්ල දක්වා කුළුබඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙම ස්ථානයේදී අනතුරට පත්වෙයි.

අනතුරින් රථයේ ගමන්ගත් කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

***************************************

අපොස උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලීමක්

(11.06.2020 – 22:27 +0530 – sinhala.adaderana.lk)

විෂය නිර්දේශ ආවරණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් අපොස උසස් පෙළ විභාගය අවම වශයෙන් මාස දෙකකින් කල් දමන ලෙස වෘත්තීය දේශකවරුන්ගේ සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළේ, උපකාරක පන්ති යළි අරඹන ආකාරය සම්බන්ධයෙන් අද (11) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ BIG FOCUS සංවාදයට එක්වෙමින්ය.

***************************************

උද්ඝෝෂණවලට සම්බන්ධ වන සියලු පාර්ශ්වයන් නිරෝධායනය කරනවා – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(11.06.2020 – 21:43 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණවලට සම්බන්ධ වන සියලු පාර්ශ්වයන් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර අද (11) දිනයේදීත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හයදෙනෙකු (06) වාර්තා වුණි.

ඊයේ (10) දිනයේ හදුනා ගැණුනු කොවිඩ් ආසාදිතයන් දස දෙනා (10) අතරින් අට දෙනෙකු (08) නාවික හමුදා සාමාජිකයින්ය.

ඔවුන්ගෙන් ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ මුලතිව් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී පිරිස්ය

ඊයේ (10) දිනයේ හදුනා ගැණුනු සෙසු ආසාදිතයන් දෙදෙනාගෙන් (02) එක් අයෙකු (01) කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් තැනැත්තා (01) මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයෙකි.

අද (11) දිනය තුළද නව ආසාදිතයින් හයදෙනෙකු (06) හඳුනාගැනුණු අතර එම හයදෙනාම (06) නාවික හමුදා සාමාජිකයින් වෙයි.

ඒ අනුව මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 880 කි.

ඔවුන් අතරින් තවත් 42 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 650 කි.

***************************************

අම්බලන්ගොඩ සිව් නිවුන් දරුවෝ

(11.06.2020 – 16:19 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ල කාසල් කාන්තා රෝහලේ දී පසුගිය පෙබරවාරි මස 29 වන දින උපත ලැබූ සිව් නිවුන් දරුවන්ගේ ජීවිත බේරා ගැනීම රෝහලේ කාර්ය මණ්ඩලයට විශාල අභියෝගය වූ බව විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා පවසයි.

ඒ මහතා සඳහන් කර සිටියේ, නියමිත කාලයට පෙර එනම් සති 27 ක් වැනි අඩු කාලයකින් මව්කුසින් මෙලොව එළිය දුටු එම නිවුන් දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ අභියෝගය කාසල් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට පැවරුණු බවය.

එම දරුවන් මාස දෙකහමාරක් වැනි කාලයක් රෝහල් පරිශ්‍රයේ තබාගනිමින් ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

මව සහ නිවුන් දරුවන් ට සිය නිවස කරා යෑමට වාසනාව හිමිවුවේ අප්‍රේල් මාසයේදී ය.

එම කැපකිරීම නිසාම මේ වනවිට ඉතා නිරෝගී තත්ත්වයේ පසුවන එම නිවුන් දරුවන් ඊයේ (10) යළි කාසල් රෝහල වෙත පැමිණියේ සිය පළමු සායනය සඳහාය.

***************************************

ලීසිං සමාගම් මැර සේවකයන්ගේ පහරකෑමට ලක්වූ සුනිල්ගේ ජංගම දුරකථනය අස්ථානගත වීම ගැනත් පරීක්‍ෂණ

(13.06.2020 – 03:40 +0530 – lankaleadnews.com)

මිරිහාන කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක (ලීසිං සමාගම) මැර සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්ව මරුමුවට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ මහතා පසුගිය 10 වැනිදා සවස එම සමාගමේ සේවකයන්ගේ පොලු පහර කෑමෙන් බිම ඇදවැටීමෙන් පසු මෙම ජංගම දුරකථනය අස්ථානගත වී ඇතැයි පොලිසිය කියයි.

කෙසේ වෙතත්, එම අස්ථානගත වී තිබූ ජංගම දුරකථනයට පසුගිය 10 වැනිදා කීප අවස්ථාවකදී ඇමතුම් ගැනීමට උත්සාහ කිරීමේ දී එය රාත‍්‍රී 09:30 දක්වා ක‍්‍රියාත්මකව පැවැති බවත්, පසුව එය විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි.

අදාළ ජංගම දුරකථනයේ තවත් වැදගත් තොරතුරු රැසක් ඇතැයි සැක කරන බවත්, ඒ අනුව ජංගම දුරකථනය සොයා ගැනීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

සුනිල් ජයවර්ධන මහතා අදාළ කල් බදු ආයතනයෙන් සිය සංගමයේ සාමාජිකයාට සිදු වූ අසාධාරණය හා කල්බදු සමාගම්වලින් සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ප‍්‍රකාශ කරන වීඩියෝවක් ජංගම දුරකථනය හරහා මුදාහැර තිබිණි. මේ හේතුවෙන් එම ස්ථානයේ සිටි තවත් සේවකයකු මෙම ජංගම දුරකථනය සොරා ගත්තේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කල්බදු සමාගමේ කළමනාකරු සහ සේවකයන් හත්දෙනකු (07) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරුවන් මහරගම, අංගොඩ, බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

ඝාතනයට ලක්වූ සුනිල් ජයවර්ධන මහතා මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් නායකයකු (ෆුට් බෝලය) ලෙසින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද සරණගුප්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත කාන් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

***************************************

මිලින්ද මොරගොඩ ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ හිටපු ප්‍රධානී අජිත් ඩොවාල් සමඟ රහසිගත ගිවිසුමකට එළඹේ

(12.06.2020 – 21:09 +0530 – lankaleadnews.com)

‘ඒසියන් ට්‍රිබියුන්’ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ඔත්තු සේවා සංවිධානයක් ලෙස චෝදනාවට පාත්‍රව තිබෙන ‘පාත් ෆයින්ඩර්’ සංවිධානයේ ප්‍රධානී මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානයේ හිටපු ප්‍රධානියා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.

රෝ ඔස්තු සේවාවේ හිටපු ප්‍රධානී අජිත් ඩොවාල් මහතා එසේ මිලින්ද මොරගොඩ මහතා සමඟ ගිවිසුමකට එළඹෙන්නේ ‘විවේකානන්ද ජාත්‍යන්තර පදනම’ නම් වූ සංවිධානයක් නියෝජනය කරමිනි.

මෙම ගිවිසුමේ මූලික අරමුණ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සහ බෞද්ධ ආයතන අතර සහයෝගීතාවක් ඇතිකර ගැනීම බව සඳහන් වුවද ගිවිසුමේ අඩංගු කරුණු අනාවරණය වී නැත.

[ ඒසියන් ට්‍රිබියුන් වාර්තාවට මෙතනැන් පිවිසෙන්න ]

***************************************

බණ කියලා යාඥා කරලා උද්ඝෝෂකයෝ එළවන්න බැහැ – ආරක්ෂක ලේකම්

(12.06.2020 – 19:17 +0530 – lankaleadnews.com)

රට ඇරපු ගමන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්කරමින් උසාවි නියෝගද නොතකා ඇමරිකාවට පාඩම් උගන්වන්න පැමිණි නිසා පෙරටුගාමී උද්ඝෝෂණයට එක්වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවසීය.

“උද්ඝෝෂණ කරලා අපි ඇමරිකාවට පාඩම් උගන්වන්න, ඇමරිකාවට හැසිරෙන හැටි කියලා දෙන්න යෑමෙන් අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානමකට ලක් වෙනවා.

උද්ඝෝෂණ කිරීමට වෙන්කළ තැන්වල තව සතියක් දෙකක් ඉවසා උද්ඝෝෂණ කරන්න පුළුවන්” යැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි.

“උසාවි නියෝග ගත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට තියන උද්ඝෝෂණ නවත්වන්න. ඒත් ලිප්ටන් වටරවුම ඉදිරියට යනවා කියලා දැනගෙන හිටියේ නැහැ.

රටේ සිවිල් නීතිය අනුව අධිකරණ නියෝගයක් ගත්තා. නිරෝධායන නීති අනුව මේ වගේ රැස්වීම් උද්ඝෝෂණ කරන්න බැහැ. ඒ වගේ ප්‍රචණ්ඩශිලී විදියට උද්ඝෝෂණ කරද්දී හාමුදුරු කෙනකු ගෙනවිත් බණ දේශනා කළාට පිරිත් දේශනා කළාට නැත්නම් පූජකතුමෙක් ගෙනල්ලා යාඥා කරලා උද්ඝෝෂකයෝ පිටත් කරන්න බැහැ. උසාවි නියෝගය මේ අය තඹ ​දොයිතුවකට මායිම් කරන්නේ නැත්නම් රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඇති අවදානම මායිම් කරන්නේ නැත්නම් නීතිය ඉදිරියට පමුණුවන්න ඕන.

ඕනනම් පොලිසියට අත්අඩංගුවට ගත් 53 දෙනා දවස් 14 ක් රිමාන්ඩ් කරන්න තිබුණා. නමුත් ඒ අයගේ සෞඛ්‍ය ගැන හිතලා එහෙම කළේ නැහැ.” යැයිද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++

++++++++++++++++

පෙරටුගාමී උද්ඝෝෂණයට ගිය පොලිසියේ 30 ක් නිරෝධායනයට

(12.06.2020 – mawbima.lk)

ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණය මැඬ පැවැත්වීමේ රාජකාරියේ නිරත වූ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනකු නිරෝධායනයට යොමු කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා වූ විවිධ නිල තල දරන පොලිස් නිලධාරීන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව පොලිසිය පවසයි. මේ අතර කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනකුද සිටී.

මෙම නිලධාරීන් අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉකුත් 9 වැනි දින මෙම උද්ඝෝෂණය පැවැති අතර ඊට අදාළව අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම, නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් ආදී චෝදනා මත සැකකරුවන් 53 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදී තිබිණි ෴

***************************************

නීතියෙන් රිංගා වාහන උස්සන සීසර්ලා – දර්ශන සහිතයි

(12.06.2020 – 19:53 +0530 – sinhala.adaderana.lk)

කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පෙරේදා (10) පස්වරුවේ මියගියේය.

සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද (12) අලුයම කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.

මියයන විට 53 වන වියේ පසු වූ සුනිල් ජයවර්ධන මහතා තිදරු පියෙකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.

සුනිල් ජයවර්ධන මහතා අමානුෂික අයුරින් මහ මග ඝාතනය වන්නේ, පහරදීම සිදුකළ කල්බදු සමාගම විසින් ඔහුගේ ත්‍රි රෝද රථ සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රි රෝද රථයක් පැහරගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදීයි.

“චන්මිල් ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගම” නම් මෙම කල්බදු සමාගම මහරගම ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටා තිබේ.

එම කල්බදු සමාගම මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති අතරෙ ඒ පිළිබඳව මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එච්.කේ. ජයසිංහ මහත්මියගෙන් අප විමසීමක් කළෙමු.

ඇය පැවසුවේ ඕනෑම සමාගමක් ලීසිං පහසුකම් ලබා දෙන්නේ නම් සෑම විටම මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු බවයි.

මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයක් ගිවිසුම්ගතව ලීසිං පහසුකම් ලබා දී ඇත්නම් එය නීතියට පටහැනි බවයි අතිරේක අධ්‍යක්ෂවරිය සඳහන් කළේ.

එමෙන්ම මෙම ප්‍රශ්නගත සමාගම ‘චන්මිල් ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගම’ වශයෙන් ලියාපදිංචි වී තිබුණද මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි නොවීම නිසා එවැනි ආයතන අධීක්ෂණය කිරීමට මහ බැංකුවට අයිතියක් නැතැයි මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එච්.කේ. ජයසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේවෙතත් මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි වී නොමැති මෙම ආයතනය එහි නාම පුවරුවේ කුඩාවට ‘ෆයිනෑන්ස් කම්පැනි ඔෆ් මෝටර් වෙහිකල්ස්’ ලෙස සඳහන් කර ඇත්තේ ජනතාව නොමග යැවීම සඳහායි.

මහ බැංකුවේ ලියාපදිංචි නොවී යම් ආයතනයක් ලීසිං පහසුකම් ලබාදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය ක්‍රියා කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම මූල්‍ය ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අද (12) මාධ්‍යයට අදහස් පළ කරමින් පැවසුවේ මහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිදු මූල්‍ය ආයතනයකට ලීසිං පහසුකම් ලබාදිය නොහැකියි.

මේ අතර නීතී විරෝධි මූල්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාවගේ විවේචනයට ලක්වුණි.

කෙසේවෙතත් මෙම මූල්‍ය ආයතනය විසින් පැහැරගත් ත්‍රිරෝද රථයේ හිමිකරු ‘අද දෙරණ’ට සඳහන් කළේ තමන් ලීසිං ක්‍රමයට මෙම සමාගම හරහා ත්‍රී රෝද රථයක් ලබා ගත් බවයි.

මේ අතර සමස්ත ලංකා රථවාහන ලිසිං ණය ගෙවන්නන්ගේ සංගමය, පොදු ජන බස් වෘත්තිකයන්ගේ සංගමය හා සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අද (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ‍වෙත පැමිණියේය.

ඒ ලීසිං වාරික ගෙවීම සඳහා දැනට රජය ලබා දී ඇති සහන කාලය මාස 6 ක් දක්වා දීර්ඝ කරන ලෙසට ඉල්ලමින්.

එමෙන්ම මියගිය සුනිල් ජයවර්ධන මහතාට සාධාරණය ඉල්ලමින් වෘත්තීය සංගම් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේ අතර මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ද පැමිණ සිටි අතර ඔහු මාධ්‍ය හමුව ඇමතීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයෙකුගෙන් විරෝධයක් එල්ල වුණි.

***************************************

නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශ මුඛයට යන වෙහෙරගල පුදබිම

(13.06.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වවුලන්ගේ රජදහනක් බවට පත්ව විනාශ මුඛයට යන පෞරාණික ගල්කුලම වෙහෙරගල පුරාණ විහාරස්ථානය අද වන නිධන් හොරුගේද ආක්‍රමණයට ලක්වෙමින් පවතින බව විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් පවසනවා.

***************************************

ජනතා මුදල් කාබාසිනියා කරමින්, වසර 10 ක සිට ඉදිවෙන දැරණියගල ප්‍රධාන බස් නැවතුම්පළ

(13.06.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල ප්‍රධාන බස් නැවතුම්පළ වසර 10 ක සිට කඩින් කඩ ඉදි වන්නේ ජනතා මුදල් කාබාසිනියා කරමින්.

රුපියල් කෝටි 10 ක පමණ මුදල් ප්‍රතිපාදන මෙම බස්නැවතුම්පල ඉදිකිරීම සඳහා වෙන් කර ඇති නමුත් මේ වන තුරුත් එය නිසි ප්‍රමිතියෙන් යුක්තව ඉදිකර ගැනීමට බලධාරීන් අසමත් වී ඇති ආකාරය ගැන පහත දර්ශන සාක්ෂි සපයනවා.

මේ තත්ත්වය හේතුවෙන් මගීන්, බස් රථ සේවකයින් මෙන්ම වෙළඳසැල් හිමියන්ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *