පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ (විඩියෝ)

• කොමිසමේ දී හෙලිවු අන්තවාදී පාසල් (විඩියෝ)

• ත්‍රිකුණාමලයේදී කුඩා දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට (විඩියෝ)

• සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු හෙට (14) (විඩියෝ)

• ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ බුද්ධි සේවයේ කොස්තාපල්වරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

• සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත වෙයි

• දෙවනගල පුද බිමත් ඉවරයි!… – පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

• සංචාරකයින්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා සුන්දරයත්වය පිරිහෙන නමුණුකුල (විඩියෝ)

• කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක් (විඩියෝ)

• පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පනින්න දගලන සිරිසේනගේ ඊලග පිම්ම ගැන අපි අවධානයෙන්..

• හිස්බුල්ලා මන්නාරම් මුහුදු තීරයේ කි.මී. 6 ක් සහිත අක්කර 625 ක් අත්පත්කරගෙන – වහාම පරීක්ෂණ ඕනෑ – රාජ්‍ය නිලධාරීන්

• යාපනයේ නාග විහාරයේ ඉදිරිපස බුදු මැදුරට ගල් ප්‍රහාරයක්

• කොටි යළි හිස ඔසවනවාදැයි ආණ්ඩුව විමසිල්ලෙන්

• මිථ්‍යා ප්‍රචාරවලට බුද්ධාගම පවා යටවෙනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඡනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

• සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

+++++++++++++++++++++++++++++++++++

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ

(13.06.2020 – 20:11 +0530 – sinhala.adaderana.lk)

පාස්කු කොමිසමේ දී අද (13) හෙළිවූ දේ

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධානය 43 ක් පවතින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (13) අනාවරණ කළේය.

එමෙන්ම අන්තවාදී මත දරණ ජාත්‍යන්තර මුස්ලිම් නායකයකු සමඟ රවුෆ් හකීම්ගේ මස්සිනා, කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන අයෙක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස්. එම්. අමීන් පෙනී සිටින ඡායාරූප පෙළක් ඥානසාර හිමියන් කොමිසමට හෙළි කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (13) පළමු වරට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේය.

මෙරට තුළ අන්තවාදී ඉස්ලාම් මතවාද දරණ ප්‍රධාන පාර්ශ්ව හතරක් (04) සිටින බව පැවසු හිමියන් ඔවුන් තබ්ලික් ජමාත් මතවාදය, වහබ් වාදය, සලෆි මතවාදය හා ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙස වර්ග වී සිටින බව කොමිසමට අනාවරණ ක‍ළේය.

එමෙන්ම සහරාන් වැන්නන් බිහි වීම ආරම්භය හා සන්නද්ධ වීම දක්වා ගොඩනැගීම සිදුව ඇත්තේ මේ අතරින් දරුණුතම මතවාදය වන ඉහ්වාන් මුස්ලිම් මතවාදය හරහා බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ “දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕනෙ, ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය” යන්න ඔවුන්ගේ මතය වන බවයි.

එමෙන්ම මෙරට උලමා සභාවේ නායකයින් මෙම ප්‍රධාන මතවාදය අනුගමනය කරන බවත් අයි එස් අයි එස්, අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන අනුගමනය කරන මතය හා ඉතා සමාන බවද උන්වහන්සේ කොමිසමට පෙනවා දුන්නේය.

ඥාණසාර හිමියන් වැඩිදුරටත් සදහන් කළේ වහබ් වාදය අන්තර්ගත “කිතාබුත් තවුහිද්” ග්‍රන්ථය මේ වනවිට දකුණු ආසියාතික, යුරෝපීය හා රුසියාව ඇතුලු රටවල් විස්සක පමණ තහනම් වුවද මෙරට තුළ එම ග්‍රන්ථය මේ වන විටත් අලෙවි වන බවත්, “තක් වියත් උල් ඊමාත්” නම් අන්තවාදි ඉගැන්වීම් ඇතුළත් ග්‍රන්ථය මෙරට ‘ග්‍රෑන්ඩ් මර්කස්’ පල්ලිවල ද අලෙවි වන බවයි.

එහිදී කොමිසම විමසුවේ “ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රධාන මත දරන්නන් අතරින් ඉහ්වාන් මුස්ලිම්වරු යන්න කවුරුන්ද?” යන්නයි.

ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරී” නම් දැඩි අන්තවාදී මතධාරී නායකයකු කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ඉස්ලාම් අන්තවාදී මතය දරන්නන් පිරිසක් විසින් බේරුවල පිහිටි “ජාමියා නලිමියා” නම් ඉගැන්වීම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවද උන්වහන්සේ කොමිසමට අනාවරණය කළේය.

“යූසුෆ් අල් කර්දාරි” නම් එම නායකයා 2013 වසරේ අප්‍රේල් 28 වන දින මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමුව ඇති බවත් ඔවුන් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මස්සිනා වන මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී නයිමුල්ලා, දැනට කටාර් හී ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ සේවයේ නියුතු ඉනාමුල්ලා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එස්. එම්. අමීන් හමුවූ අවස්ථාවේ ගන්න ලද ජායාරූපයක් ඥානසාර හිමියන් කොමිසමට ඉදිරිපත් කළේය.

එම හමුවීමෙන් පසු ඉනාමුල්ලා නමැත්තා මෙරෙට තුළ “ශූරා සභාව” නම් අරාබි රටවල ක්‍රියාත්මක වන රජුට උපදෙස් ලබාදෙන සංවිධානයක් නිර්මාණය කර ඇති බවත් එය පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ඇති අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද උන්වහන්සේ කොමිසමට ලබාදුන්නේය.

එමෙන්ම NFGG (National Front for Good Governors) හෙවත් ‘යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ’ යන සංවිධානය විසින් 2015 දී යහපාලනය ස්ථපිත කිරීමට කටයුතු කළ බවත් ත්‍රස්ත ප්‍රාහර සඳහා ඉක්මනින් මග පෑදුනේ ඒ තුළින් බවද උන්වහන්සේ කොමිසමට අවධාරණය කළේය.

ඒ අනුව 9 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ ඉස්ලාම් පෙළපොත් සඳහා ඊජිප්තුවේ “යූසුෆ් අල් කර්දාරි” නම් දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැනන්වීම් ඇතුළත් කර ඇති බවද උන්වහනසේ කොමිසමට අනාවරණය කළේය.

එමෙන්ම ඥානසාර හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 13 ශ්‍රේණිය ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශ පොතෙහි 43, 63, 109 හා 123 වන පිටුවල එය අන්තර්ගතව ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොමිසමේ දී හෙලිවු අන්තවාදී පාසල්

(14.06.2020 – 14:32 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) ආනාවරණය කළේය.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) පළමු දිනට සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවැනි පාසල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවය.

අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30 ක් පමණ ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැහැදිලි කළේ අදාළ පාසලක නම සඳහන් ප්‍රකාශයක් සිදු කළහොත් ඊට පසුදිනම එහි නම වෙනස් කිරීමක් සිදුකරන බැවින් මෙම පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසු බවය.

කෙසේ වෙතත් අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශ තුළ බවද ඒවායේ ප්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදි මතයන් දරන්නන් බවද උන්වහන්සේ අනාවරණය ක‍ළේය.

ඥාණසාර හිමියන් වැඩිදුරටත් කොමිසම හමුවේ අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ සිටියදි අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොමුවු පළමු පුද්ගලයාද ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු බවයි.

මෙහිදි ජනාධිපති කොමිසම ඥාණසාර හිමියන්ගෙන් විමසා සිටියේ “මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද?” යන්නයි.

ඊට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ‘මලික් අබ්දුල්ලා’ යන සෞදි අරාබි රජවරයෙකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවය.

විරෝධතා සිදුකර එම විශ්වවිද්‍යාලය ඉදි කිරීම වළක්වා ගැනීමට නොහැකි වුවද ඊට ඇතිකළ විරෝධතාවයන් හමුවේ ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතින බවත් මේ වන විට එහි ෂරියා ඉගැන්විම් සිදු නොකරන බව හිමිකරුවන් පැවැසුවද ‘Arts in Sharia Islamic’ යන ඉගැන්විම සිදුකිරිමට ඔවුන් සුදානමින් සිටි බව ඥාණසාර හිමියන් සිය සාක්ෂි ලබාදීමේදි කියා සිටියේය.

සිය සාක්ෂි ලබාදීමේදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නැමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි.

එසේම විදේශයන්හි සිට අන්තවාදින් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරිම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නොමැති බවද ඥාණසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළේය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදුවු අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිඛිතව ක්‍රමානුකූලව ද මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුවත් කළ බවය.

කෙසේ වෙතත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම කළ බවය.

වෙනත් කිසිදු වගකිවයුත්තෙකු හෝ රජයක් 2012 වසරේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන තුරු අන්තවාදය පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

***************************************

ත්‍රිකුණාමලයේදී කුඩා දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(13.06.2020 – 22:25 +0530 – hirunews.lk/sinhala)

අද (13) පෙරවරුවේ ත්‍රිකුණාමලය නගරයේ බස්නැවතුම්පළේදී මිත්තනිය සමග බෙහෙත් ගැනීම සදහා පැමිණි 8 හැවිරිදි දැරියක් පැහැරගැනීමට තැත්කළ 23 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා බස් නැවතුම් පළේදී පැහැරගෙන යන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා.

***************************************

සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු හෙට (14)

(13.06.2020 – 20:47 +0530 – sinhala.adaderana.lk)

කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ (12) රාත්‍රියේ මෙන්ම අදත් (13) මහජන නියෝජිතයින් අවසන් ගෞරව දැක්විය.

වාසුදේව නානායක්කාර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු කථානායක කරූ ජයසුරිය ඇතුළු මහජන නියෝජිතයින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය.

මේ අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) කැස්බෑව පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතයි.

***************************************

ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ බුද්ධි සේවයේ කොස්තාපල්වරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

(14.06.2020 – 10:00 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවූ මුදල් මංකොල්ලය වළක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

ඔහු පසුගිය 11 වනදා රාත්‍රියේ සේවය නිම වී යමින් සිටියදී බම්බලපිටිය – හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අනතුරට ලක්ව තිබුණේ ඔහුගේ යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන්.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කොස්තාපල්වරයා අද (14) අලුයම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

වයස අවුරුදු 22 ක් වන සිතුම් අලහප්පෙරුම නම් මෙම පොලිස් කොස්තාපල්වරයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් කොල්ලය වළක්වා එහි සැකකරු සහ මුදල් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් කටයුතු කළා.

කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය වෙත ව්‍යාජ ගිනි අවියක් පෙන්වා බිය කරමින්, සැකකරු අදාළ මංකොල්ලය සිදු කර තිබුණා.

මොහු වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරි කරමින් සිට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධි පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ.

පසුගිය 09 වනදා දහවල් 01:30 ට පමණ රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ සරප් අංශය වෙත පැමිණි සැකකාර වෛද්‍යවරයා රෝහලේ සේවකයින්ට අතිකාල දීමනා, වැටුප් මෙන්ම අතිරේක රාජකාරි සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස පැහැරගෙන තිබූ අතර, පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා.

තවත් ත්‍රිරෝද රථයකින්, සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු (02) වන අතර, එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා ජාතික රෝහලට පැමණ සිටි මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහය වුණා.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

***************************************

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත වෙයි

(14.06.2020 – 07:18 +0530 – sinhala.adaderana.lk)

සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරෙයි.

පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බවය ෴

***************************************

දෙවනගල පුද බිමත් ඉවරයි!… – පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

(14.06.2020 – divaina.com)

පළමුවෙන්ම සඳහන් කළ යුතු කාරණය තමයි, අපගේ බෞද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩකඩම් එම ස්ථාන විනාශ කරමින් අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් මුස්ලිම් සහෝදරයෝ විසින් කරගෙන යනවා. මේ රටේ සිංහල ජනතාවගේ ආධාරයෙන් මුස්ලිම් සමාජය ගොඩනැඟුණු බව මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එම නිසා මම පළමුවෙන්ම කරුණාවෙන් සඳහන් කරනවා. මෙම බෞද්ධ සිද්ධස්ථානවලට හානි කරන්නේ නැතිව සහෝදරත්වයෙන් කටයුතු කිරීමට කි‍්‍රයාකළ යුතු බව.

මුහුදු මහා විහාරය විනාශ කරනවා වගේ, එම විහාරයට අයත් ඉඩකඩම් අල්ලා ගත්තා වගේ, මේ වනවිට මාවනැල්ලේ දෙවනගල විහාරයට අයත් අක්කර සිය ගණනක් අල්ලගෙන එම විහාරස්ථානය විනාශ කිරීමටත් කටයුතු කරන බව අපට පෙනෙන්න තිබෙනවා. කාටවත් ඒක නැහැ කියලා කියන්න බෑ. එම ස්ථානයට ගිහින් බැලුවොත් ඕනෑම පුද්ගලයකුට පෙනෙනවා, එම විහාරය විනාශ කිරීම සඳහා නොයෙක් විධියේ වැඩකටයුතු සිද්ධ වී තිබෙන බව.

දෙවනගල කියල කියන්නේ අපගේ ජාතික උරුමයේ ඉතාම වැදගත් ස්ථානයක්. එපමණක් නොවෙයි, ඓතිහාසික වශයෙන් වැදගත් වන තොරතුරු ශිලා ලේඛන මගින් අනාවරණය කරන ස්ථානයක් ලෙසත් එම ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්.

දෙවනගල කියන්නේ විශාල පර්වතයක්. බතලේගලට වඩා ප‍්‍රමාණයෙන් පොඩ්ඩක් පොඩි නිසා දෙවැනිගල යන අදහස ඇතිව එම පර්වතය දෙවනගල යනුවෙන් හඳුන්වන්නේ. බතලේගල පිහිටා තිබෙන්නේ දෙවනගලට ඉතා ආසන්නව පෙනෙන සීමාවේ.

මෙම මහා පර්වතයේ බුදුමැඳුරක් නිර්මාණය කරලා තිබෙනවා. එයට පිවිසීම සඳහා ගල් බැමි බැඳල, පඩි 500 කින් පමණ සමන්විත ගල්පඩි පෙළක් ද නිර්මාණය කර තිබෙනවා.

ඒ වගේම මෙම ස්ථානය අතීතයේ සිට දර්ශනීය සිද්ධස්ථානයක් ලෙසත් පැවතිලා තිබෙනවා. ඒ බව ශිලාලේඛන දෙකකින් පැහැදිලි වෙනවා. පළමු ශිලා ලේඛනය තමයි පොලොන්නරු යුගයේදී පළමුවැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛනය. එම ශිලා ලේඛනයේ අන්තර්ගත වැදගත් තොරතුරු නිසා අපගේ ඉතිහාසයට නව පිටුවක් එක්කරලා තිබෙනවා.

පළමුවැනි පරාක‍්‍රමබාහු රජතුමාට විරුද්ධව අරමන රටේ නැතිනම් බුරුම රටේ රජකෙනකු කටයුතු කළා. එම නිසා පරාක‍්‍රමබාහු රජතුමා පල්ලවවංක කියන වරායේ, වර්තමානයේ යාන්ඔය මෝදර කිට්ටුව පිහිටා තිබෙන පල්ලවක්කි කියන ස්ථානයේ විශාල නැව් සංඛ්‍යාවක් නිර්මාණය කරලා, නාවික හමුදාවක් ගොඩනඟලා පිටත් කර හැරියා බුරුම රටේ රජතුමාට විරුද්ධව. එම කාලයේදී එම රට පාලනය කළේ බුමුක්ති නමැති රජෙක්. අපගේ හමුදාව ගිහින් බුරුම රටේ කුසුම් නමැති වරායට ගොඩබැස්සා. අද එම වරාය හඳුන්වන්නේ බැසෙන් වරාය යන නමින්. එම වරායට ගොඩබැසීමෙන් පසුව මෙම සේනාව ගිහින් බුරුම රජතුමාට ටිකක් රිදෙන්න කටයුතු කළ පසුව එම රජතුමා බයවෙලා පරාක‍්‍රමබාහු රජතුමාට පක්‍ෂපාතීත්වය දැක්වූවා.

එම නාවික හමුදාවේ නායකයා ලෙස කටයුතු කළේ කීර්ති නගරගල්ල නමැති සෙන්පතියා. බුරුමය ජය ගෙන ආපු එම සෙන්පතියාට පළමුවැනි පරාක‍්‍රමබාහු රජතුමා මාවනැල්ල ප‍්‍රදේශයේ මලබටුව නමැති ගම ඇතුළු විශාල ප‍්‍රදේශයක් පරිත්‍යාග කළා.

එම සිද්ධිය සම්පූර්ණයෙන්ම සඳහන් කරලා තිබෙන්නේ දෙවනගල තිබෙන පරාක‍්‍රමබාහු රජතුමා ස්ථාපනය කළ සෙල්ලිපියේ. එම සෙල්ලිපිය අනුව පැහැදිලි වෙනවා. දෙවනගල ඇතුළු ප‍්‍රදේශය කීර්ති නගරගල්ලට ලබා දුන් නින්දගමක් බව.

සීතාවක රාජසිංහ රජුගේ පාලන කාලයෙන් පසුව පෘතුගීසි බලපෑම නිසා රට තුළ චංචල භාවයක් ඇති වූවා. එම චංචල භාවය නිසා රට වැටෙන්න ගිය භයානක තත්ත්වයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කොනප්පු බණ්ඩාර, විමලධර්මසූරිය නමින් රජ කිරීම සඳහා දෙවනගල රතනාලංකාර හිමියන් විශාල වැඩ කොටසක් කළා. එම දෙවනගල රතනාලංකාර හිමියන් වැඩසිටිය පන්සල තමයි, ඔය කියන දෙවනගල විහාරය. දෙවනගල රතනාලංකාර හිමියන්ට පරිත්‍යාග කළ ගම්වර ගණනාවක් එම විහාරයට අයත්ව තිබෙනවා. ඒ සෑම ගම්වරයක්ම පළමුවැනි විමලධර්මසූරිය රජු රතනාලංකාර හිමියන්ට පූජා කළ ගම්වර. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය එම ස්ථානයේ පිහිටුවල තිබෙන දෙවැනි සෙල්ලිපියේ තිබෙනවා.

රජවරුන්ගේ අණින් පිහිටුවල තිබෙන එම සෙල්ලිපිවලින් දෙවනගල භූමිය ආගම සහ ජාතිය සතු කරල තිබෙන බව පැහැදිලියි. එම නිසා දැන් ඒ පිළිබඳව කාටවත් අනංමනං කියන්න බෑ. එම ප‍්‍රදේශයේ සමහරුන් ප‍්‍රකාශ කරනවා, මුස්ලිම් අයගේ අදහසක් තිබෙනවලු එම ගල උඩ මුස්ලිම් පල්ලියක් ගොඩනැඟීමට. නමුත් එබදු අදහස් ඇතිව කටයුතු කිරීම ජාතීන් අතර බරපතළ ගැටලු ඇතිවීමට හේතුවන බව දැන ගත යුතුයි. එම නිසා මෙතෙක් කලක් මාවනැල්ල ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග සමගිව කටයුතු කළ ආකාරයට තවදුරටත් කටයුතු කිරීමට සිතට ගත යුතුයි. එදා මාවනැල්ලේ මන්තී‍්‍රතුමාට කිව්වේ සිංහල මරික්කාර් කියලා. එතුමා බොහොම හොඳ කෙනෙක්. අද සිටින මුස්ලිම් ජනතාවත් ඒ ආකාරයට කටයුතු කරනවා නම් හොඳයි.

ඒ වගේම දෙවනගල කුමන ආකාරයකට හෝ පාවා දෙන්න පුළුවන්කමක් නෑ. එම ස්ථානය අපේ ජාතික උරුමයක් වගේම ඒ පිළිබඳව අපගේ ඉතිහාසයේ පිටු ගණනාවක් ලියැවී තිබෙනවා. එම නිසා දෙවනගල ආරක්‍ෂා කර ගැනීමට සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි.

– පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

***************************************

සංචාරකයින්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා සුන්දරයත්වය පිරිහෙන නමුණුකුල

(14.06.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නමුණුකුල කඳුවැටිය සංචාරක ආකර්ශණය දිනාගත් සුන්දර ස්ථානයක්.

නමුත් ඒ සුන්දරයත්වය අද පිරිහෙමින් පවත්නේ, ඒ සංචාරකයින්ගේම නොමනා ක්‍රියා කලාපයන් හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියනල නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා තිබෙනවා.

නමුණුකුල කන්ද සතුල මුදුන් තැනිතලාව දෙසල කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසින්.

එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණුකුල ලෙසින් හැඳින්වෙනවා.

ලාංකීය පුරාවෘත වල සඳහන් වන්නේ ඉන්දක නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බවයි.

මෙම කදු මුදුන තරණය කරමින් සැඩ සුළංල ඝණ මිහිදුම් සහ අධික සීතල මධ්‍යයේ කඳු මුදුනේ කඳවුරු තනා රාත්‍රියක් ගත කිරිමට සංචාරකයන් බොහො පිරිසක් පැමිණෙන්නේ අමතක නොවන ආස්වාදජනක අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින්.

නමුත් ඇතැමුන් නමුණුකුල ගමනේදී මතක සටහන් හිතේ ඉතිරි කරගන්නවාට අමතරව තමන්ගේ නොමිනිස්කමේ සටහන් තැන තැන දමායන්නේ එහි ස්වභාවික පරිසරයට දැඩි හානි සිදුකරමින්.

එලෙස ටිකෙන් ටික එක්වූ නොදිරන ද්‍රව්‍යයන්, අද නමුණුකුළ මහ පොළවට බරක්වී අවසන්.

***************************************

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

(14.06.2020 – 17:38 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ වෙළදසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පනින්න දගලන සිරිසේනගේ ඊලග පිම්ම ගැන අපි අවධානයෙන්..

(14.06.2020 – 13:20 +0530 – lankacnews.com)

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දඟලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අඳුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි.

මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනයට මුවා වි රට විනාශ කල පුද්ගලයින් අද සුදනන් ලෙස හැසිරෙන බවද කීවේය.

බියගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කළේය. බියගම ඩිලාරා උත්සව ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා :

“2015 දී බොරු කරලා බලයට පත් වුණ ආණ්ඩුව මේ රට විනාශ කළා. රනිල් – මෛත්‍රී එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද්දා. මහ බැංකු හොරකම කළා. පළි ගත්තා. මහින්ද මහත්තයාගේ දරුවන් සහෝදරයන් හිරේ දැම්මා. මහා සංඝරත්නයෙන්, හමුදාවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් පළි ගත්තා. 2015 ඉදලා 2020 ජනාධිපතිවරණය වනතුරු රටේ ආර්ථිකය බිංදුවට ම ඇදලා දැම්මා. එල්.ටී.ටී එකට නැවත පණ දෙන්න හැදුවා. පහුගිය දින කීපයේ කොටින්ගේ සයිබර් ප්‍රහාරයට රටේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි ලක්වුනේ නිකන් නෙමේ. යහපාලනය විසින් කොටි ත්‍රස්තවාදය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පෝෂණය කරනු ලැබූ නිසයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් කලාප පිහිටුවන ව්‍යවස්ථා යෝජනා ගෙන ආවේ කවුද? එහෙම කරපු යහපාලන ආණ්ඩුවේ උදවිය අද සුදනෝ වෙන්න එනවා.

පාස්කු ප්‍රහාරය වෙන්න කලින් ඉන්දියානු බුද්ධි අංශ දැනුම් දීලා තිබුණා. යහපාලන ආණ්ඩුවේ ජනපති, අගමැති දැනන් හිටියා. පොලිස්පති දැනන් හිටියා. ඒක වළක්වන්න පහුගිය ආණ්ඩුවේ ජනපති මැති ඇමතිවරුන් මොනවද කළේ. අපේ රටේ ජනතාව බිල්ලට දුන්නා. යහපාලන ආණ්ඩුව තරම් රටට වින කරපු ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ නෑ. ලංකාවේ අදුරුතම යුගය ලෙස යහපාලන යුගය ඉතිහාසගත වෙලා ඉවරයි.

එදා අපි මේ පොහොට්ටුව හදන කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා ‘අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා’ කියලා. ‘පොහොට්ටුව හැදුවොත් බලාගනිමු’ කිව්වා. එහෙම කියපු මෛත්‍රී අද පොහොට්ටුව ලකුණින් තරඟ කරනවා. ‘යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ ජනාධිපති, අගමැතියි දෙපැත්තට අදින ආණ්ඩුවක්. ඒ නිසා මට මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් දෙන්න’ කියලා මෛත්‍රී කිය කියා යනවා. මෛත්‍රී හදන්නේ මේ පාර පොහොට්ටුවට මුවාවෙලා පාර්ලිමේන්තුවට පැන ගන්නයි. මෛත්‍රී ගේ හැසිරීම දිහා අපි හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ. ‘දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැ ගන්න හදන උකුස්සෙක් වගේ’ කියලනේ කිව්වේ. හැබැයි මේ පාර ඒ සෙල්ලම් දාන්න ආවොත් තමයි ඔය උකුස්සා හොද පාඩමක් ඉගෙනගන්නේ….

යහපාලන ආණ්ඩුව පරාජය වෙලා ගෝඨාභය මහත්තයා ජනාධිපති උනේ රටේ වාසනාවට. හිටපු සරල ජනාධිපති වගේ නෙමේ. සරල ජනාධිපතිට 2700 ක් සේවකයන් හිටියා. ගෝඨාභය මහත්තයා තමන්ගේ සේවක සංඛ්‍යාව දෙසිය ගාණට අඩු කළා. වාහන අඩු කළා. සරල ජනාධිපති ගෙවල් 03 ක් එකතු කරලා කොළඹ නිළ නිවසක් හැදුවා. ගෝඨාභය මහත්තයා තමන්ගේ ගෙදර ඉදලා වැඩට එන්නේ. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ආණ්ඩුවක් තිබුණ නම් රට පුරා මිනී කදු ගොඩ ගැහිලා.එහෙම වුණානම් රනිල් – මෛත්‍රී ආණ්ඩුව කොමිසම් පත් කරන්නේ කොරෝනා පාලනය කරන්න නෙමෙයි. ‘කොරෝනා’ වචනය පටන් ගන්නේ ඉංග්‍රීසි සී අකුරෙන් ද කේ අකුරෙන් ද කියලා හොයන්න. ගෝඨාභය මහත්තයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් අරන් මේ කොවිඩ් 19 වසංගතය පාලනය කළ නිසයි අද අපි සැනසීමෙන් ඉන්නේ. රටක් හදන්න පුළුවන් නායකයෙක් රටට පත්වෙලා තියෙනවා. ඒ නායකයාට වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි අද අපේ වගකීම ”.

– ප්‍රදීප් අනුර කුමාර

***************************************

හිස්බුල්ලා මන්නාරම් මුහුදු තීරයේ කි.මී. 6 ක් සහිත අක්කර 625 ක් අත්පත්කරගෙන – වහාම පරීක්ෂණ ඕනෑ – රාජ්‍ය නිලධාරීන්

(14.06.2020 – 20:18 +0530 – lankaleadnews.com)

පසුගිය පාස්කු ප්‍රහාරයට පසුව හිටපු අමාත්‍ය හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200 ක් අත්පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල විය.

ඒ් සඳහා නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා සවුදිඅරාබියේ අන්තවාදී සංවිධානයකින් ලබා දුන් මුදල් පුද්ගලිකව යොදා ගත් බවටද තව දුරටත් චෝදනා එල්ල විය.

දැන් ඔහු විසින් බටහිර මුහුදු තීරයේ මන්නාරමේ ඕලු තුඩුවාය සිට පේසාලේ ප්‍රදේශය දක්වා කි.මී. 6 ක මුහුදු තීරයක් සහිත අක්කර 625 ක් අත්පත්කරගෙන ඇති බවට මන්නාරමේ රාජ්‍ය නිලධාරීහු සාක්ෂි ඉදිරිපත් කරති. මේ පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති ෴

***************************************

යාපනයේ නාග විහාරයේ ඉදිරිපස බුදු මැදුරට ගල් ප්‍රහාරයක්

(10.06.2020 – colombotimes.lk)

යාපනයේ නාග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැදුරට ඊයේ (09 දා) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බුදු මැදුරේ වීදුරු වලට දැඩි හානි සිදුව තිබෙනවා.

යාපනයේ නාග විහාරයේ ආරක්ෂාවට යුද හමුදාවේ හා පොලීසියේ පිරිසක් යොදවා සිටියදී මේ ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති අතර බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවී නැහැ.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනතුරු කිසිවකුත් අත්ඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

කොටි යළි හිස ඔසවනවාදැයි ආණ්ඩුව විමසිල්ලෙන්

(14.06.2020 – 06:20 +0530 – lankaleadnews.com)

යාපනය නාග විහාරයේ බුද්ධ ප‍්‍රතිමාවට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් කීපයක් වාර්තා වීම නිසා හිටපු කොටි කි‍්‍රයාකාරීන් 12000 ක් සහ පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් 400 ක් ගැන නිරීක්ෂණය කිරීමට රජයේ බලධාරීන් තීරණය කර ඇත.

හිටපු කොටි අළු ගසා දමා නැඟිටින බවට පසුගියදා ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවියක් කළ ප‍්‍රකාශය ගැන ද රජය සහ බුද්ධි අංශ දැඩි අවධානය යොමු කර තිබේ.

වඩමාරච්චි ප‍්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බයක් පිපිරීමෙන් පොලිස් භටයන් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධියත් සමගම හිටපු කොටි කි‍්‍රයාකාරීන් ගැන දැඩි සැකයක් මතු වී ඇත ෴

***************************************

මිථ්‍යා ප්‍රචාරවලට බුද්ධාගම පවා යටවෙනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඡනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

(15.06.2020 – mawbima.lk)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඡනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ මුලින්ම දැනගන්න කැමැතියි?

යුද ගැටුම් නිසා උතුරු – නැඟෙනහිර පුරාවස්තු පිළිබඳ පාලනය අපෙන් ගිලිහුණා. දකුණේ ඒවා තරම් සොයා බලන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒවා සංරක්ෂණය පිළිබඳ බරපතළ ගැටලුවක් ඇති වුණා. ස්මාරකයක් මත ගහක් පැළ වුණත් ඒක අවුරුදු තිහක් යද්දී විශාල ගසක් බවට පත්වෙනවා. අවුරුදු තිහක් විතර තිබෙන්නේ සංරක්ෂණය නොකිරීමෙන් ගැටලු මතුවුණා. එම සංරක්ෂණ අභියෝගය ජයගන්න අපි යුද්ධය අවසන් වීමත් සමඟ අවශ්‍ය පියවර ගත්තා. උතුරු පළාතේ මන්නාරමේ කොටසක් හැර අනිත් ප්‍රදේශ සීමාමායිම් කිරීම අවසන් කළා. උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන දහයක් වගේ සංඛ්‍යාවක් හැර බොහොමයක් ගැසට් කරලා තිබුණේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පස්සේ ගැසට් කරල තිබුණේ ස්ථාන 230 ක් විතරයි. ඒත් යුද්ධ කාලයේ දකුණේ පුරාවිද්‍යා ස්මාරක තුන්දහසක් විතර ගැසට් කළා. ඒ ක්‍රියාවලියට උතුර අයත් වුණේ නැහැ. ඊළඟ පියවර හැටියට උතුර – නැඟෙනහිරට අවධානය යොමු කළා යුද්දෙන් පස්සේ. ඒත් ජනතාව පදිංචිවීමට කලින් ඒ කටයුතු අවසන් කරන්න වුණා නම් හොඳයි.

පුරාවිද්‍යා ස්ථාන මැනුම් කටයුතු කරන්නේ නැහැ, ගැසට් කරන්නේ නැහැ කියලා පසුගිය කාලයේම ඔබ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වුණා නේද?

සමහර කාරණා මාධ්‍යවලට කියන්න බැහැ. අපට ඒව තනියම විඳදරා ගෙන ඉන්න වෙනවා. අපි නැඟෙනහිර පළාත ගවේෂණය කළා. අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්ක ගැසට් කරන්න අමාත්‍යාංශයට යැව්වා පසුගිය ආණ්ඩුව කාලේ. ඒත් ඒවා ආපසු එව්වා. මම ඇමැතිට පෞද්ගලිකවත් කිව්වා. ‘නෑ. නෑ. ඕක ප්‍රශ්නයක් වන නිසා පැත්තකින් තියන්න’ කිව්වා. මායිම් ගලවන්න, බෝඩ් ගලවන්න කියන තත්ත්වයටම රනිල් වික්‍රමසිංහ ආවා. මුස්ලිම් දේශපාලනය ගොඩක් බලපෑවා. ඉතින් අවාසනාවකට ඕවා මාධ්‍යවලට කියන්න බැහැනේ.

දැන් තත්ත්වය කුමක්ද?

අපි නැඟෙනහිර පළාතේ මායිම් ගල් දමන්න පටන් ගත්තා. ආණ්ඩුවෙන් විශේෂ බළකායක් පත් කළානේ. දැන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හොඳයි. හමුදාවේ අයට මේවා ආරක්ෂා කරගන්න ලොකු කැක්කුමක් තියෙනවා.

පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ඇතැම් නඩු කටයුතුවලදී දෙපාර්තමේන්තුව මැදිහත් වන්නේ නැහැ කියලත් චෝදනාවක් තිබුණා නේද?

සම්පූර්ණ වැරදියි. පොතුවිල් නඩුව දැම්මෙත් අපි. එහි අක්කර 70 ක විතර කලාපයක් ගැසට් කරන්න අපට හැකියාවක් තියෙනවා. ඉක්මනින්ම මැනුම් කටයුතු පටන් ගන්නවා.

ඇයි මේවා ආරක්ෂා කරන්න ප්‍රජා සහභාගිත්වය ගැනීමට නොහැකිවී තිබෙන්නේ?

ඒක වැදගත්, අපේ රට තරම් පුරාවස්තු ඝනත්වයක් නැති රටවල පවා පුරාවස්තු ආරක්ෂා කරන්න ප්‍රජා සහභාගිත්වය ගන්නවා. යුරෝපා රටවල ඒක බොහොම ඉහළ මට්ටමකින් කෙරෙනවා. ඒත් දකුණු ආසියා කලාපයේම තියෙන තත්ත්වයක් තමයි ප්‍රජා සහභාගිත්වයට මිනිස්සු නැඹුරු වෙනවා අඩුයි. මේ රටේ පරිසර සුරැකුම් සංවිධාන තියෙනවා. ඒත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට එවැනි ක්‍රියාකාරිකයන් නැහැ. මේ පිළිබඳ සලකා බලලා අපි ජූලි මාසයේ පුරාවිද්‍යා සතිය කේන්ද්‍ර කරගෙන පාසල්වල ඉතිහාසය කරන ළමයි යොදාගෙන කැණීම් කරන්න වැඩපිළිවෙළක් සකස් කළා. අවුරුද්දකට 2000 ක්වත් එම ක්‍රියාකාරකම්වලට සහභාගි කර ගන්න සැලසුම් කළා. අවුරුදු 10 ක් යද්දි 20,000 ක්වත් බිහිවෙනවා. රටක් වශයෙන් ගත් කල පුරාවස්තු වැඩිම රට තමයි අපේ ශ්‍රී ලංකාව. දෙලක්ෂ පනස් දහසක් පමණ පුරාවස්තු තියෙනවා. මේ සියල්ලම බලාගන්න දෙපාර්තමේන්තුවට බැහැ. ඒක ප්‍රායෝගික නැහැ. හැමතැනටම මුරකාරයෝ දමල තියන්න බැහැ. ඒත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි හැම ගොඩනැඟිල්ලක්, ගඩොලක් ගාණෙම බලාගෙන ඉන්න ඕන කියලා. අපට සෑම දෙයක්ම එකවර සංරක්ෂණය කරන්න බැහැ. ප්‍රමුඛතාවක් දිය යුතු ඒවා තෝරාගෙන තමයි වැඩ කරන්නේ.

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කරන්න ස්ථාපිත කොට තිබූ පොලිස් කොට්ඨාසයට මොකද්ද වෙලා තියෙන්නේ?

ඒක පහුගිය කාලයේ දුර්වල කරල තිබුණ තමයි. ඒත් ඒ පොලිස් කොට්ඨාසය නිසා අනෙකුත් පොලිස් ස්ථාන අතර සම්බන්ධීකරණය පහසුවී තිබෙනවා. මම ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා. ආපහු එම ඒකකය අපට දෙන්න කියලා.

නිදන් ගන්නට කියලත් පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා. මේවා නතර කළ නොහැකිද?

ඇත්තටම ගොඩක් තියෙන්නේ දුර්මතනේ. මම මේකට මාධ්‍යයත් යොදාගෙන දැනුව කිරීම් සිදු කළා. ඒත් අවාසනාවකට මේවා බලන පිරිස් නොවෙයිනේ ඔය විනාශයන් කරන්නේ.

බොහෝ විහාරස්ථානවලින් නැඟෙන චෝදනාවක් තමයි ඒවා ප්‍රතිසංස්කරණය කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නේ නැහැ කියලා?

හාමුදුරුවෝ පුරාවස්තුවලට ආදරේ හින්දා තමයි එහෙම කියන්නේ. ඒත් ඔවුන් හිතන්නේ අපට තියෙන්නේ ඒ පුරාවස්තුව විතරයි කියලා. ඒත් දෙලක්ෂ පනස් දහසක් තියෙනවා. වඩාත්ම ඉක්මනින් සංරක්ෂණය කළ යුතු ඒවට තමයි අපි ප්‍රමුඛතාව දෙන්නේ. ඇතැම් පන්සල් ද්‍රව්‍ය ආධාරත් සපයනවා. ඒවාටත් අපි ප්‍රමුඛතාව දෙනවා. ඒ නිසා ඇතැම් අය කොච්චර ‍දොස් කිව්වත් ප්‍රයෝගිකව කරන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටකට ඔය සියලුම අභියෝග ජයගන්න අමාරුයි. හැබැයි අපි කවදාවත් ස්මාරකයක් කඩා වැටෙන්න දෙන්නේ නැහැ. පන්සල්වලින්වත් නව නීති එක්ක පුරාවස්තු විනාශ වන විධියේ ඉදිකිරීම් සිදු වන්නේ නැහැ.

පුරාවස්තු විනාශ කරන අයට විරුද්ධව කටයුතු සිදුනොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැඟෙන තවත් චෝදනාවක්?

මෙහෙමයි, හරිම කලාතුරකින් කෙනෙක් තමයි වැරදිකරුවන් අත්අඩංගුවට පත්වෙන්නේ නැත්තේ. එහෙම විනාශයක් වනවිට 119 අංකයෙන් පොලිසියට කවුරු හරි කියනවා. ඒත් වාර්තා වන්නේ විනාශ වන එක විතරයි. ගත්ත ක්‍රියාමාර්ගය වාර්තා වෙන්නේ නැහැ. ඒවා ප්‍රචාරය නොකිරීම අපේ ලොකු අඩුවක්. නිලධාරීන් ලොකු කාර්යභාරයක් කරනවා මේවා ආරක්ෂා කරන්න. අවුරුද්දකට ව්‍යාපෘති 600 ක් විතර අපි කරනවා. රට පුරා කලාප 65 කට බෙදිලා නිලධාරීන් ඒවා සොයා බලනවා.

බෞද්ධයන්ගේ දුක්ගැනවිල්ලක් තියෙනවා පුරාවස්තු අන්‍යාගාමිකයන් සතු කරගන්නවා කියලා. මේකට දියහැකි විසඳුම කුමක්ද?

ඒකෙ ඇත්තක් තියෙනවා. සිංහල කතා කරන මිනිස්සු ඉන්න තැන්වලින් අපට තොරතුරු එනවා. ඒත් අනිත් ප්‍රදේශවලින් ඒ තොරතුරු එනවා අඩුයි. දැන් ඔය කාර්ය සාධක බළකාය පත්කරලා තියෙන්නෙත් ඒවාට විසඳුමක් දෙන්න තමයි. උතුර නැඟෙනහිර දෙකේම එවැනි සිද්ධි 50 ක් වාර්තා වී තියෙනවා.

රාවණා ප්‍රවාද පිළිබඳ පර්යේෂණ කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට ඇතැමුන් නඟන චෝදනාව පිළිබඳ කුමක්ද කියන්න තියෙන්නේ?

පසුගිය අවුරුදු 125 ට ලංකාවෙන් භාගයක් විතරම පර්යේෂණ කරලා ඉවරයි. රාවණා කතාවලට සම්බන්ධ යැයි කියන රාවණා ඇල්ල, කූරගල ආදී ප්‍රධාන ස්ථානවලත් කැණීම් කළා. ඒත් කිසිම සාධකයක් නැහැ. අනෙක ඔය රාවණා සිටියා යැයි කියන කාල වකවානු ප්‍රාග් ඓතිහාසිකයි. රාවණා වෘත්තාන්තය ලෝකයේ මානව පරිණාමයටත් පටහැනියි. පුරාවිද්‍යාත්මක සාධක රාවණා වෘත්තාන්තයට ගළපන්නම බෑ.

ඉතිහාසය ඇතැම් පිරිස් විකෘති කරන බවකුත් පේනවා. මේ සම්බන්ධව මැදිහත්විය නොහැකිද?

ඇත්තටම මැදිහත්වීමක් කරන්න ඕන. මේක බලා ඉන්න බැහැ. රාවණා කතාවට වුණත් මම මැදිහත් වුණේ ඒකයි. මෙවැනි මිථ්‍යා ප්‍රචාරවලට ඉඩ දුන්නොත් කොහෙන් කෙළවර වේවිද දන්නේ නැහැ. බුද්ධාගම පවා යටවෙනවා. දැනටමත් ඒක කරගෙන යනවනේ. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුණා කියනවා. මෙවැනි මිථ්‍යාවන්ට පදනමක් නැති බව පෙන්වන්නයි මට වුවමනා කරලා තිබුණේ. ඒක සාර්ථක වෙලා තියෙනවා.

පාසල් විෂය මාලාව තුළ ඉතිහාසයට දී ඇති තැන ප්‍රමාණවත්ද?

දැනට තිබෙන ක්‍රමය වෙනස් වෙන්න ඕන. මම නම් කියන්නේ පුරාවිද්‍යාව විෂයක් හැටියට පෙළපොත්වලට එකතු වෙන්න ඕන. අපි තරම් පුරාණ උරුමයක් නැති ඇතැම් රටවල පවා පුරාවිද්‍යාව විෂයක් හැටියට උගන්නනවා.

පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලට අරමුදල් ප්‍රමාණවත්ව ලැබෙනවාද?

අපට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම්වලින් 25% ක් ලැබුණා. ඒක නිසා භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කළා. ඒත් දෙස් – විදෙස් සංචාරකයන් නොපැමිණීම එක්ක අපි ලොකු අර්බුදයක ඉන්නවා අපේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා ෴

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඡනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා

***************************************

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

(15.06.2020 – colombotoday.com)

සොයිසාපුර හෝටලයකට පහර දී වෙඩි තැබීමේ සිදුවීමට අදාළ වෑන් රථය පැදවු රියදුරු ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වන දින ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ වැගන් ආර් වර්ගයේ කාර් රථය පැද වු බවට මෙම පුද්ගලයා තහවුරු වී තිබුණි.

කටුගහගල්ගේ ජනපදය, බුත්තල ප්‍රදේශයේ සැඟවී සිටිය දී ඊයේ (14) දින අළුයම 04:15 ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබේ.

වයස අවුරුදු 32 ක් වන මෙම රියදුරු නැගෙනහිර මොරටුමුල්ල, මොරටුව යන ලිපිනයේ පදිංචි අයෙකි.

මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය වෙඩි තැබීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති අතර ඒ සඳහා යොදා ගත් ත්‍රීරෝද රථය නිවසේ තිබී සොයා ගෙන තිබේ.

තවද මෙම සැකකරුගේ ප්‍රකාශ හා මඟපෙන්වීම මත අංක 71, නැගෙනහිර මොරටුමුල්ල, මොරටුව යන ලිපිනයේ නිවස පිටුපස වළ දමා තිබිය දී ටී 56 සජීවි පතරොම් 2 ක් හා විදෙස් රටක නිෂ්පාදිත සජීව අත්බෝම්බයක් ද සොයා ගෙන ඇත.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *