කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ (විඩියෝ)

• ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ, දියණිය මියගිය පාමංකඩ සිදුවූ මාරක රිය අනතුර (විඩියෝ)

• පාහියංගල ලෙන ලෝක උරුමයක් බවට පත්කළ යුතු බවට යෝජනාවක් (විඩියෝ)

• හයියෙන් ගියත් නඩු, කොට කොටා ගියත් නඩු

• සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු රියදුරුගෙන් ප්‍රශ්ණ කිරීම්වලදී පතොරම් සහ ජීව අත්බෝම්බයක් හමුවේ

• නිධන් සෙවීමට යොදාගන්නා නවීන තාක්ෂණික උපකරණයක් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

• මෙරට සිරවූ ඉන්දියානුවන් 153 සිය රට යයි (විඩියෝ)

• මාස තුනකට (03) ආසන්න කාලයක් වසා දැමුණු ජාතික උද්‍යාන අද (15) යළි විවෘත වෙයි (විඩියෝ)

• නීතිවිරෝධී පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය දැඩි වෙයි (විඩියෝ)

• ඡන්ද කොමිසමේ, ද්විත්ව පුරවැසියෙක් – මහාචාර්ය ජී.එල්. පීරිස් (විඩියෝ)

• නිශ්ශංක සේනාධිපති අදත් (15) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙයි (විඩියෝ)

• අනතුරට අතවනන ගම් දෙකක් යා කෙරෙන වැල් පාලම (විඩියෝ)

• යුද අපරාධකාරයෙක් යැයි කීවාට සුරේෂ් සලේ – යස්මින් සුකාගෙන් කෝටි 100 ක් වන්දි ඉල්ලයි – එන්තරවාසිය ගුවනින් – දින 14 කින් නොගෙව්වොත් නඩු

+++++++++++++++++++++++++++++++++++

කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ

(15.06.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල නගරයේ පිහිටි පොදු වෙලඳ සංකීර්ණයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට නොහැකි වූයේ කෑගල්ල නගර සභාවට ගිනි නිවීමේ රථයක් නොමැති වීම නිසා බවට වෙළඳුන් චෝදනා කරනවා.

මෙහි වෙළසැල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇති අතර මේ දක්වා කළ ගණනය කිරීම්වලට අනුව ඉන් 56 ක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරය වන කෑගල්ල නගරයේ වෙළඳසැල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ ගින්න ඇති වීමට පෙර නගරයට විදුලිය ද විසන්ධි වී තිබී ඇති අතර පොදු වෙළඳ සංකීර්ණයේ ඇතැම් වෙළඳසැල්වල විදුලි උත්පාදන යන්ත්‍ර ද පණගන්වා තිබුණා.

විදුලිය පැමිණීමත් සමඟ එක් වෙළඳසැලකින් ගින්න හටගෙන ඇති අතර පසුව එය පැතිර ගොස් ඇති බවයි කෑගල්ල නගර සභාවේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

පසුව ගින්න මැඩ පැවැත්වීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ රථය සහ කුරුණෑගල, මහනුවර මහ නගර සභාවල ගිනි නිවීමේ රථ පැමිණියා.

කෙසේ වෙතත් කෑගල්ල නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් දිසානායක ප්‍රකාශ කළේ ගින්න නිවීම සඳහා ජලය සපයා ගැනීමේදී ද ගැටළු මතු වූ බවයි.

නගර සභාවට වාර්ෂිකව පිරිවැටුම් බද්දක් වෙළඳුන් විසින් ගෙවන නමුත් වසර ගණනාවක් ගත වුවද ගිනි නිවීමේ රථයක් ලබා ගැනීමට හිටපු සහ වත්මන් පාලනාධිකාරියට නොහැකි වීම කණගාටුවට කරුණක් බව කෑගල්ල සිංහල වෙළඳ බලමණ්ඩලයේ විධායක සභාවේ සාමාජික සුසන්ත කෝසල කියා සිටියා.

ගින්නෙන් පොදු වෙළඳ සංකීර්ණයේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර රජයේ රස පරීක්ෂවරයා ද අද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ගින්නෙන් සිදු වූ අලාභ හානි පිළිබඳව ද මෙතෙක් තක්සේරු කර නැහැ.

+++++++++++++++++++++

***************************************

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ, දියණිය මියගිය පාමංකඩ සිදුවූ මාරක රිය අනතුර

(15.06.2020 – 10:08 +0530 – hirunews.lk/sinhala)

පාමංකඩ ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (14) සිදුවූ අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු (02) තුවාල ලබා ඇති අතර ඉන් එක් (01) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පාමංකඩ, ඊශ්වරී මාර්ගය අසල මෙම අනතුර සිදුව ඇති අතර ‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයක් සහ ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ‘වැගන් ආර්’ රථයේ ගමන් ගත් කාන්තාවක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම රථයේ රියදුරු ලෙස කටයුතුකළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල තත්ත්වයේ පසුව මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියයි.

ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථය පැදවූ තැනැත්තා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=0xO8krCZnTA#t=6

+++++++++++++++++++++

වැගන්ආර් -සුබාරු අනතුරින් සමුගත් ‘ඉරට අඬන මල්’ පොඩි කාලේ නිළිය වීණාවී මාපිටිගම

(15.06.2020 – gossiplankanews.com)

ඊයේ (14) සවස පාමංකඩදී සිදුවූ වැගන්ආර්-සුබාරු අනතුර නිසා කාන්තාවක මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලැබූ බවත් මියගිය කාන්තාව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ආදරණීය දියණිය බවත් මින් ඉහත වාර්තා විය.

මෙලෙස මියගියේ 41 හැවිරිදි වීණාවී සුලක්ඛනා මාපිටිගම යි. ඇය කුඩා කාලයේ ‘ඉරට අඬන මල්’ නමැති සිය පියාගේ ටෙලි නාට්‍යයක කාගේත් මතකයේ රැඳෙන චරිතයක් රඟපෑවාය. ලකී ඩයස් හා සනෝජා බිබිලේ යුවළගේ දරුවන් ලෙස වීණාවීත් ඇගේ සොයුරු ආත්‍රීත් රඟපෑ අතර නිළියකගේ දරුවන් එම පවුල තුළ සිදුවන හැලහැප්පීම් වෙනස්කම් හමුවේ පීඩාවට පත්වන අයුරු සංවේදී ලෙස රංගනයෙන් ඉදිරිපත් කළාය.

කොළඹ සුජාතා ජාත්‍යන්තර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වීණාවී පසුව ගුවන් සේවා නිලධාරිනියක ලෙස රැකියාවට යොමුවූ අතර ඇය සේවය කරමින් සිටියේ කුවේට් එයාර්වේස් ගුවන් සමාගමේය.

පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය අනතුර සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා සමග ගමන් කරමින් සිටියාය. සැමියා පැදවූ වාහනය අතුරු පාරකට හරවද්දී අනෙක් තීරුවෙන් පැමිණි සුබාරු රථයේ හැපී ඇය ජීවිතක්ෂයට පත්වූ අතර සැමියා බරපතල තුවාල ලබා තවම රෝහලේ පසුවේ.

මියගිය වීණාවී සුලක්ඛනා මාපිටිගම මහත්මිය කුඩා කළ රංගනයෙන් දායකවූ කාගේත් මතකයේ රැඳෙන චන්ද්‍රරත්න මාපිටිගමගේගේ නිර්මාණයක්වූ ‘ඉරට අඩන මල්’ ජවනිකා කිහිපයක් පහතින් :

***************************************

පාහියංගල ලෙන ලෝක උරුමයක් බවට පත්කළ යුතු බවට යෝජනාවක්

(14.06.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

පාහියංගල ලෙන ලෝක උරුමයක් බවට පත්කළ යුතු බව ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මීට වසර 48,000 කට පෙර මෙරට ආදී වාසීන් සත්ව අස්ථි කොටස් භාවිතා කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව මෙරට පර්යේෂකයින් පිරිසක් පාහියන්ගල ලෙනේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකින් සොයාගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකාවේ තෙත් බිම් කලාපයේ පිහිටා ඇති හොරණ – බුලත්සිංහල පාහියංගල ලෙනේ කැනීම් මුල්වරට ආරම්භ වුණේ 1979 වසරේදී.

මෙම පෞරාණික ලෙන සම්බන්ධයෙන් සිදුකර ඇති විද්‍යාත්මක කාල නිර්ණ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කරුණු රැසක් අනාවරණය වී ඇති අතර, ලෙන් ජනාවාසකරණය, මෙන්ම මෙරට තාක්ෂණයේ බිහිවීම පිළිබඳවද කරුණු රැසක් ඊට අයත්.

පාහියන්ගල ලෙන ආශ්‍රිතව සිදුකළ නවමත ගවේෂණයෙන් අනාවරණය වී ඇත්තේ 48,000 කට පෙර මෙරට ආදී වාසීන් සත්ව අස්ථි කොටස් භාවිතා කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බවයි.

ඒත් සමගින් අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල තාක්ෂණය භාවිතා කළ ලොව ප්‍රථම රට බවට පත්වීමේ ගෞරවය මෙරටට හිමිවනවා.

කෙසේ වෙතත් පාහියංගල ලෙන ආශ්‍රිතව පුරාවිද්‍යා මංකොල්ලයක් සිදුවන බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සැක පළ කරනවා.

***************************************

හයියෙන් ගියත් නඩු, කොට කොටා ගියත් නඩු

(15.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

නියමිත වේලාවට වඩා අඩු හෝ වැඩි කාලසීමාවකින් තම ගමනාන්තයට ළඟා වන බස් රථ රියදුරන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

අධික වේගයකින් ඇතැම් බස්රථ ගමන් කිරීම මාර්ග අනතුරු ඉහළ යාමට හේතුවී ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා.

එමෙන්ම, වැඩි කාලයක් වැය කරමින් බස් රථ ගමන් කිරීම නිසා මගීන් අනවශ්‍ය ලෙස ප්‍රමාදයන්ට ලක්වී අපහසුතාවට පත්වන අවස්ථා සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මේ හේතුව නිසා ඒ පිළිබදව පරීක්ෂා කිරීමට කොළඹ හදිසි ඇමතුම් අංශය මගින් බස් රථවල තොරතුරු හා ගමන් ගන්නා කාලයන් සටහන් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ බස් රථය ගමනාන්තය දක්වා ගමන් කරන කාලසීමාව පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී අදාළ කාලසීමාව කඩ කරන බස් රථ රියදුරන්ට මුල් වරට අවවාද කර, එසේ නොකරන රියදුරන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ ෴

***************************************

සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු රියදුරුගෙන් ප්‍රශ්ණ කිරීම්වලදී පතොරම් සහ ජීව අත්බෝම්බයක් හමුවේ

(15.06.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පහරදී අනර්ථයක් සිදුකිරීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි ටී 56 සජීවී පතොරම් දෙකක් සහ විදේශ රටක නිෂ්පාදිත සජීවී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේවා මොරටුව – නැගෙනහිර මොරටුමුල්ල ප්‍රදේශයේ නිවසක පිටුපස වළ දමා තිබියදී ඊයේ සොයාගත් බවයි.

පසුගිය 29 වනදා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පැදවූ රියදුරු බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (14) පස්වරුවේ සොයාගත්තා.

32 හැවිරිදි මොහු මොරටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මොහු සැඟව සිටි බුත්තල ප්‍රදේශයේ නිවසේ තිබී වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය වෙඩි තැබීමෙන් අනතුරුව, වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබු ත්‍රිරෝද රථයද එම නිවසේ තිබී සොයාගත්තා ෴

***************************************

නිධන් සෙවීමට යොදාගන්නා නවීන තාක්ෂණික උපකරණයක් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

(15.06.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පොළව අභ්‍යන්තරයේ පවතින ලෝහ පරීක්ෂා කිරීමට යොදාගන්නා තාක්ෂණික උපකරණයක් සමඟ නිධන් හැරීමට පැමිණි පුද්ගලයින් හය (06) දෙනෙකු ඊයේ(14) අත්අඩංගුවට ගත් බව මන්නාරම, පේසාලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මන්නාරම, ජූඩ් විදීය ප්‍රදේශයේ කැළෑ සීමාවක නිධන් හැරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු හා මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුයි එලෙස සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7

***************************************

මෙරට සිරවූ ඉන්දියානුවන් 153 සිය රට යයි

(15.06.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 712 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ තවත් නාවික හමුදා සාමාජිකයින් 33 දෙනකු සුවය ලබා ඇති බවයි.

එසේම කොරෝනා ආසදනය වූ නාවික හමුදා සාමාජිකයන්ගෙන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 175 දෙනෙකු බවයි ඔහු කියා සිටියේ.

ඊයේ (14) පස්වරුවේ සිට මේ දක්වා මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 1,889 යේ පවතිනවා.

ඒ අනුව 591 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,287 ක්.

මේ අතර ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි 88 දෙනෙකු නිරෝධායන කාලය අවසන් කර අද (15) පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 252 කු අද, සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බවයි.

මොවුන් පූනානි, අම්පාර සහ පැල්වෙහෙර යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 4,387 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ, කොරෝනා වසංගත තත්ත්වය නිසා ආපසු ඉන්දියාව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු අද පෙරවරුවේ විශේෂ යානයකින් යළි සිය රට වෙත රැගෙන ගියා.

15 June 2020 – 13:55

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් පුද්ගලයින්ගේ 55 දෙනෙකු අද (15) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

***************************************

මාස තුනකට (03) ආසන්න කාලයක් වසා දැමුණු ජාතික උද්‍යාන අද (15) යළි විවෘත වෙයි

(15.06.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ මාස 03 කට ආසන්න කාලයක් වසා දැමුණු මෙරට ජාතික උද්‍යාන අද (15) සිට යළි විවෘත කිරීමත් සමඟ ඒවා වෙත සංචාරකයින් පැමිණීමද යම් තරමකින් ආරම්භ වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

රජය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශ, සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, ජාතික උද්‍යාන තුළට ඇතුළු වීමට අවසර ලබාදෙන වාහන සංඛ්‍යාව ද සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යාල, විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල සහ හෝර්ටන් තැන්න ඇතුළු ජාතික උද්‍යාන 7ක් සංචාරකයින් සඳහා මෙලෙස විවෘත වූ අතර, අද පෙරවරුවේ මින්නේරිය ජාතික උද්‍යායනය වෙතද දේශීය සංචාරකයින් හා සෆාරි රියදුරන් පැමිණ සිටියා.

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කියා සිටියේ ජාතික උද්‍යාන වෙත සංචාරක කණ්ඩායම් පැමිණීමේ යහපත් ප්‍රවණතාවක් පවතින බවයි.

ජාතික උද්‍යාන විවෘත කිරීමට සමගාමීව අද (15) සිට මෙරට සත්වෝද්‍යානද විවෘත කෙරෙනවා.

***************************************

නීතිවිරෝධී පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය දැඩි වෙයි

(15.06.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

තැපැල් ඡන්දය භාවිත කරන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (16) පැවැත්වීමට නියමිතයි.

මේ අතර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර තිබියදී නීතිවිරෝධී පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

***************************************

ඡන්ද කොමිසමේ, ද්විත්ව පුරවැසියෙක් – මහාචාර්ය ජී.එල්. පීරිස්

(15.06.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාව වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති ඇතැම් නෛතික තත්ත්වයන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

නිශ්ශංක සේනාධිපති අදත් (15) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙයි

(15.06.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක සහ ජනතා විමුක්ති පෙරමුණ තමන් සමග විවාදයකට නොඑන්නේ ඔවුන්ගේ කලු සල්ලි සහ විදෙස් රටවල වත්කම් පිළිබඳ හෙළි වෙතැයි බියෙන් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට අද (15) නොතීනි නිකුත් කෙරුණා.

අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක යන හිටපු මන්ත්‍රිවරුන්ටයි මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ ෴

***************************************

අනතුරට අතවනන ගම් දෙකක් යා කෙරෙන වැල් පාලම

(15.06.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

එගොඩත් මෙගොඩත් ගම් යාකරමින් ඉදි කර ඇති වැල් පාලම අබලන්වීමෙන් කොස්ගුලන සහ කොළඹෑව ගම්වාසීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

ඔවුන් චෝදනා කරන්නේ පළාත් සභා 2 ක කඹ ඇදීමක් හේතුවෙන් මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම බලධාරීන් මගහැර ඇති බවටයි.

අද (15) රතු මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි.

***************************************

යුද අපරාධකාරයෙක් යැයි කීවාට සුරේෂ් සලේ – යස්මින් සුකාගෙන් කෝටි 100 ක් වන්දි ඉල්ලයි – එන්තරවාසිය ගුවනින් – දින 14 කින් නොගෙව්වොත් නඩු

(15.06.2020 – 06:24 +0530 – lankaleadnews.com)

තම ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීම පිළිබඳව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට එන්තරවාසියක් යවා ඇත.

මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ නීතිඥ පසන් වීරසිංහ මහතා විසින් ඩී.එච්.එල්. කුරියර් සේවාව මගින් ලන්ඩනයේ පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට හා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ මූලස්ථානයට මෙම එන්තරවාසිය යවා තිබේ.

සක්‍රිය සේවයේ නිරත නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු නිලධාරීන් පස්දෙනකු (05) ඉකුත් මැයි 22 දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ​ජෙනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව යස්මින් සුකා එම නිලධාරීන් විවේචනය කරමින් පසුගිය ජුනි 01 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා නමැති දැනට ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂික මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූ බව හා තවත් සාවද්‍ය චෝදනා නගමින් යස්මින් සුකා මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව නිවේදනය නිකුත් කර තිබිණි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැගුණු නිලධාරියකු මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවද යස්මිත් සුකා ප්‍රකාශ කර තිබිණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවන කාලය වනවිට මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතා විදෙස්ගතව සිට ඇත. එවැනි පසුබිමක් තුළ මෙම සාවද්‍ය චෝදනා නගා ඇතැයි මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරයා පෙන්වා දෙති.

කීර්ති නාමයට හානි සිදුවීම මෙන්ම මේජර් ​ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ පුද්ගලික දත්ත අනාවරණය කරමින් කටයුතු කිරීම මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට යස්මින් සුකා පියවර ගෙන ඇති බවද එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

ඉල්ලා ඇති වන්දි මුදල දින දාහතරක් තුළ නොදුණහොත් අයි.ටී.එල්.පී. (ITLP) ‍‍වෙබ් අඩවිය මගින් යස්මින් සුකා කළ අපහාසාත්මක ප්‍රකාශයන්ට එරෙහිව මෙරට අධිකරණය හමුවේත් ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *