අන්තවාදය ගැන ජනාධිපති කොමිසමේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවත් කරුණු හෙළි කරයි

(15.06.2020 – 07:24 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව එල්ල කළ සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි නගරයේ තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් රාසික් නැමැත්තා අද වන විටත් රට තුළ අන්තවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (15) සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරිමට අවැසි මැදපෙරදිග රටවල සහය ලබාගැනීමට හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී ඇති බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැමිණියේ දෙවන දිනටය.

එහිදි උන්වහන්සේ සඳහන් කළේ 2020 පෙබරවාරි මස 07 වන දින වැලිගම වැල්ලපිටිය සහිරා විශ්වවිද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුවේ සමාජිකයෙකු වන එම්.ආර්. මොහොමඩ් නැමැත්තාගෙන් තමන්ට ලිපියක් ලැබුණු බවය.

එම පාසලට පැමිණි නව විදුහල්පතිවරයෙකු වන එම්.එච්.එම්. ඉනෛයිතුල්ලා නැමැත්තා ජමියා නලිමියා මද්‍රසා පාසලේ වහබ්වාදය පිළිබඳ අධ්‍යයනය කරනු ලැබු සාහික් සුහයිල් නැමැත්තෙකු ගෙන්වා එම පාසල තුළ අන්තවාදි ඉගැන්වීම් සිදුකරන බව අදාළ ලිපිය තුළ සදහන් වුයේ යැයි ඥානසාර හිමියන් පැහැදිලි කළේය.

එසේම 2015 වර්ෂයේ යහපාලන ආණ්ඩුව ගෙනඒම සඳහා දායක වු යහපාලනය සඳහා වු ජාතික පෙරමුණ විසින් මෙම පාසල එකි සංවිධානයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ බවද අදාළ ලිපියේ සදහන් වෙතැයි ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට දැනුම් දුනි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ මෙරට තුළ මුස්ලිම් වියතුන් සිටින ජමෙයිතුල් උලමා සංවිධානයේද බහුතර සමාජිකයින් පිරිසක් ජමාතේ ඉස්ලාම්, ඉහ්වාන් මුස්ලිම්, තවුහිද් ජමාත් සහ තබ්ලික් ජමාත්‍ යන අන්තවාදි මතයන් අනුගමනය කරන්නන් බවය.

එසේම එම සමාජිකයන්ට අදාළ අන්තවාදි මතයන් මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා අවැසි මැදපෙරදිග රටවල සහය ලබාගැනීමට එවකට පැවති රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහය වී ඇතැයිද උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණ කළහ.

එහිදි ජනාධිපති කොමිසම අදාළ අමාත්‍යවරයා කවුරුන්දැයි විමසීමක් කළද, ඥානසාර හිමියන් සඳහන් කළේ තමන් එය ප්‍රසිද්ධියේ පැවසීම නිසා සිරගතවිය හැකි බැවින් එය ජනාධිපති කොමිසමට ලිඛිතව ලබාදිය හැකි බවය.

ඒ අනුව ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් එම නම ලිඛිතව ලබාගත් අතර උන්වහන්සේ එහිදී සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ අමාත්‍යවරයා විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවෙක් බවය.

එසේම මෙහිදි ඥානසාර හිමියන් විසින් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයාව සිට අද වන විට සිලොන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් නැමැත්තා 2016 නොවැම්බර් මස 13 වනදා සති අන්ත පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවක් ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළේය.

එහිදි ඥානසාර හිමියන් සඳහන් කළේ මෙම අබ්දුල් රාසික් නැමැත්තා යනු සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛාවක් බිහිකිරීමට මුල්වූ පුද්ගලයා බවය.

මෙම අබ්දුල් රාසික් නැමැත්තා කටුවාපිටියේ දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා හැරි මොහම්මදු හස්තුන් නැමැත්තාට පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරාව අඩු වයසින් විවාහ කරදීමටද මුල් වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළහ.

එසේම කුඩා දැරියන් විවාහ කරදීම සම්බන්ධයෙන් වූ මුස්ලීම් නීතිය වෙනස් කිරීමට මෙරට රජය ගත් පියවරකට එරෙහිව මෙම තැනැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේ පැවැත්වු උද්ඝෝෂණයකට අදාළ විඩියෝ දර්ශනයක්ද ඥානසාර හිමියන් විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙවැනි අන්තවාදි මතවාද ප්‍රසිද්ධියේ දැරු, සිලොන් තවුහිද් ජමාත් නමින් සංවිධානයක් පවත්වාගෙන යන අබ්දුල් රාසික් නැමැත්තා මේ වන විටත් මෙරට තුළ අන්තවාදි මතවාද ප්‍රචාරය කරමින් නිදැල්ලේ සැරිසරන බව ඥානසාර හිමියන් ප්‍රකාශ කළේය ෴

***************************************

බතික් රෙදි පිළි ආනයනය නතර කිරීමට ජනපතිගෙන් තීරණයක්

(15.06.2020 – 21:22 +0530 – sinhala.adaderana.lk)

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබිණ.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද තීරණය කෙරිණ.

කිහිප දෙනෙක් සතු රෙදි පිළි නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණ.

විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය ෴

***************************************

මහවැලි ඉඩම්වල පදිංචි ජනතාවට ඔප්පු මාස 6 ක් ඇතුළත දෙනවා – අමාත්‍ය චමල් රාජපක්ෂ

(15.06.2020 – 18:30 +0530 – sinhala.adaderana.lk)

මහවැලි ඉඩම්වල පදිංචිව සිටින සියලුම ජනතාවට අවශ්‍ය ඉඩම් ඔප්පු මාස 6ක් ඇතුළත ලබා දීමට තමා නියෝග කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් එම නියෝගය කළ බවය.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් කළ යුතු දේ රැසක් ඇති බවත් ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට වෙහෙසිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වනවිට එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක් නොමැති වි ඇති බවය.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇති බවත් එයින් පක්ෂිකයින් අතරමං වී ඇති බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

***************************************

අද (15) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය බාහිර පුද්ගලයින්ට විවෘතයි

(15.06.2020 – 17:20 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද (15) දහවල් 12:00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ.

ඒ බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ පිටත්වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට, අමුත්තන් තිදෙනකු සමග පිටත්වීමේ පර්යන්තයට ඇතුළු විය හැකි බව ඔහු පැවසීය.

සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර, අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් පිටත්වීමේ පර්යන්තය වෙත ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

බාහිර අමුත්තන්, ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු අතර, එවැනි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 300 කි ෴

***************************************

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතුයි – ජනපති

(15.06.2020 – 16:46 +0530 – sinhala.adaderana.lk)

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද ඒ මහතා සඳහන් කළේය.

එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වාගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා පැවසීය.

ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා අද (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ණය සඳහා ඉලක්කම් 02 ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකුවලට කියා නැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව රාජපක්ෂ මහතා පැවසීය.

“අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැත. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුය. වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකියි.”

ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

“2015 ට පෙර 7% ත් 8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක්.”

***************************************

හිටපු ජනපති සිරිසේන සහභාගි වු උත්සවයක් මැතිවරණ කොමිසමෙන් නවතයි

(15.06.2020 – 12:35 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබු උත්සවයක් මැතිවරණ කොමිසම විසින් නතර කර තිබේ.

“පොළොන්නරුව දිස්ත්‍රික් 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිමේ උත්සවය” මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ මැදිහත් වීමෙන් මෙලෙස නවතා දමා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සවයට සහභාගී වී අනතුරුව මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසමින් ඉන් පිටව ගොස් තිබේ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු ද එක්ව සිටි අතර, හිටිපු ජනාධිපතිවරයා උත්වයෙන් නික්ම යන තුරුත් ඔවුන් රැඳි සිටියේය.

පසුව උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට පැවැත් වු බවද ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මෙම අවස්ථාවට පොළොන්නරුව නගරාධිපති සිදත් චානක රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය දේශපාඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියහ ෴

***************************************

පොලීසියට කඩාවැදුනු ලොරි රථය

(15.06.2020 – 12:51 +0530 – sinhala.adaderana.lk)

අද (15) අලුයම 04:00 ට පමණ කටුගස්තොට සිට පේරාදෙණිය දෙසට දහයියා තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ තාප්පයේ වැදී අනතුරකට ලක් විය.

පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ලොරි රථයේ සිරවී සිටි රියදුරා සහ රිය සහායක පැයකට පමණ පසුව පිටතට ගෙන ඇති අතර එවිටත් ලොරි රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබුණු බව අප වාර්තාකරු පවසයි.

බරපතල තුවාල ලබා සිටි රිය සහායක රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කෙරේ.

***************************************

මසක් තුළ චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් – මහාචාර්ය චන්දන ජයරත්න

(15.06.2020 – 14:47 +0530 – sinhala.adaderana.lk)

දින 30 ඇතුළත චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදා වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඒ, 2020 ජුනි 5 සිදුවූ සහ ජුලි 5 වෙතැයි අපේක්ෂා කෙරෙන චායා චන්ද්‍රග්‍රහණ සහ ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්ය ග්‍රහණය වේ.

හිරු සහ චන්ද්‍රයා එකම තලයක රේඛීයව පිහිටි විට ග්‍රහණ ඇති වන අතර, බොහෝ විට චන්ද්‍ර ග්‍රහණයකට දින 14 පෙර හෝ පසු ඇති වන අමාවක දිනයක දී සූර්ය ග්‍රහණයක් ඇතිවේ.

සුර්යග්‍රහණ දිස්වීම ඉතා විරල දසුනක් බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

“කෙසේ වෙතත් පසුගිය 2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් මෙම ජුනි 21 දා ද ඇතිවන අතර එය ලංකාවේ අපට දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට ය”.

නැවතත් සූර්යග්‍රහණය ක් ශ්‍රී ලාංකිකයින්ට දැක බලාගත හැකි වන්නේ 2022 ඔක්තෝබර් 22 දා ය.

සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ සහ වේලාවන් :

මෙම වළයාකාර සූර්යග්‍රහණය ජුනි 21 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට උදේ වරුවේ ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සෞදි අරාබිය, ඕමානය, පකිස්තානය, ඉන්දියාව, චීනය සහ තායිවානය වෙත ගමන්කර, දකුණු පැසිපික් සාගරයේ දී සවස්වරුවේ අවසන් වේ.

2020 ජුනි 21 වනදින කොළඹ නගරයට පෙ.ව.10:29 පමණ සිට ප.ව. 01:19 අතර කාලය තුළ පැය දෙකකුත් විනාඩි පනහකට (02:50) ආසන්න කාලයක් තුළ මෙය අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වේ.

“ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ.ව. 11:51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30% ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව ආරම්භය සහ අවසානය දිස්වේ”.

“උදහරණයක් ලෙස යාපනයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10:24 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11:54 සහ ග්‍රහණ අවසානය ප.ව. 01:30 ට සිදු වන අතර මාතර නගරයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10:34, ග්‍රහණ උපරිමය පෙ.ව. 11:53 සහ ග්‍රහණ අවසානය ප.ව. 01:17 ට සිදු වනු ඇත”.

ග්‍රහණයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියවි ඇසින් බැලීමෙන් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අනතුරු අඟවයි.

වළයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ.

එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි.

පෘථිවිය හිරු වටා යන කක්ෂ තලයට අංශක 5 ක පමණ ආනතියකින් චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගත වන තලය පිහිටා ඇති හෙයින් චන්ද්‍රයා පෘථිවි කක්ෂීය තලය තරණය කරන්නේ වසරකට දෙවරක් පමණි.

මෙම වේලාවන් ග්‍රහණ ඇති වන කාල පරාස වේ.

සූර්ය ග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය. පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වනුයේ වෘතාකාර කක්ෂක නොව ඉලිප්සාකාර කක්ෂයකය.

ඉලිප්සාකාර කක්ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන විටකදී සුර්ය ග්‍රණයක් සිදුවහොත් වළයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවේ.

මෙම අවස්ථාවේදී සඳ සාපේක්ෂරව කුඩාවට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වලල්ලක් වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.

ආරක්ෂාකාරී ව සූර්යග්‍රහණයක් නරඹන්නේ කෙසේද ?

“සූර්යයා දෙස සෘජුව බැලීමෙන්, සූර්ය ග්‍රණයක දී පවා, ඔබ නිසි අක්ෂි ආරක්ෂාවක් පැළඳ නොසිටින්නේ නම්, අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැක”.

“සූර්යයා ආරක්ෂිතව නිරීක්ෂණය කිරීමට හෝ සූර්ය ග්‍රහණයක් නැරඹීමට ඔබට විශේෂ ආරක්ෂිත ඇස් කණ්ණාඩි හෝ සූර්ය ග්‍රහණ වීදුරු අවශ්‍ය වේ. සාමාන්‍ය අව් කණ්ණාඩි, (පාරජම්බුල කිරණ අවශෝෂණ කරන ඒවා පවා) ඔබේ ඇස් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරනු ඇත”.

“ඔබ කිසියම් ඡායාරූප උපකරණයක් සමඟ සූර්ය ග්‍රහණය ලේඛන ගත කිරීමට අදහස් කරන්නේ නම්, සූර්යාගේ නොවසුනු ඉතිරි ආලෝක කොටස ඔබේ දර්ශනයට හානියක් නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබට එකතු කළ හැකි විශේෂ සූර්ය පෙරහන් තිබේ”.

***************************************

රාජිත-පාඨලි-අර්ජුන හා අනුර කුමාර ඇතුළු 17 කට නොතීසි

(15.06.2020 – 14:59 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාලව දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් පාර්ශව 17 කට සිතාසි නිකුත් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු පාර්ශ්ව 17 කට ලබන 17 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය වෙත සිතාසි නිකුත් කර තිබේ.

ඊට අමතරව හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.ගුණවර්ධන, ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්.එච්.පී වීරසිංහ, රියර් අද්මිරාල් ජේ.ජේ.රණසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත් හා සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක, වසන්ත නවරත්න බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර යන අයට මෙලෙස සිතාසි නිකුත් කර ඇත ෴

***************************************

උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන සේවක පිරිසක් පැමිණේ

(15.06.2020 – 18:15 +0530 – sinhala.adaderana.lk)

ඉරාන ජාතිකයින් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් මෙරට ක්‍රියාත්මක උමා ඔය ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන්තොටුපළේ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළේය.

ඉරාන ගුවන් සේවයට අයත් අයි. ආර්. 5374 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් පැමිණි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එම පිරිස ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ වලට ද ලක් කෙරිණි.

***************************************

කොවිඩ් පරික්ෂා කරන මුවාවෙන් ආ හොරු කල්ලිය

(15.06.2020 – 22:25 +0530 – sinhala.adaderana.lk)

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු (02) කොටු කරගැනීමට කොච්චිකඩේ පොලිසිය ඊයේ (14) සමත්වුණි.

මීගමුව කොච්චිකඩේ කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට පසුගිය දිනවල රාත්‍රි කාලයේ පැමිණ ඇති මොවුන් නිවැසියන් කාමර තුළ සිර කර බියවද්දවා රුපියල් ලක්ෂ 10 ක මුදලක් හා ලක්ෂයක (01) වටිනාකමකින් යුතු රත්‍රං භාණ්ඩ ද පැහැරගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් හත් ලක්ෂ අනූදහසක (7,90,000) මුදලක් සහ කුලී පදනමට ගත් වාහන 04 ක්, අත්බෝම්බයක්, ජංගම දුරකථන 02 ක් හා හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල දෙකක්ද පොලිස් භාරයට ගැනුණි ෴

***************************************

කුවේට් සිට පැමිණි අනුරාධපුරේ කාන්තාවකට නැවතත් කොවිඩ් හැදිලා

(16.06.2020 – 07:09 +0530 – sinhala.adaderana.lk)

කුවේට්හි සිට පැමිණ කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට සුව වී නිවෙස් බලා ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇති අතර යළිත් අසනීප වීම හේතුවෙන් පෙරේදා (14) දිනයේ අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

***************************************

නවක වදය සම්පූර්ණයෙන් ඉවත් කරනවා – අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(16.06.2020 – 07:13 +0530 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවකවදය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නවකවදය නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසිම සඳහා පත් කර ඇති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ කොමිෂන් සභාව විසින් ඉදිරි මාස 03 ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, නවක වදය හේතුවෙන් පීඩාවට පත් වුවන්ට සහන සැලසීම සඳහා ඉතිහාසයේ පළමුවරට විශ්‍රාම ලත් විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කර ඇති බවයි.

මෙම කොමිසම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස්වෙන බවද පැවසු අමාත්‍යවරයා, රජයට කොමිසමේ වාර්තාව ලැබීමෙන් අනතුරුව කුමක් කළ යුතු ද යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවද පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වන්නේ නවක වදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වන බැවින් එයට අදාළ නීතිමය ප්‍රතිපාදන විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත පවරා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය ෴

***************************************

මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වු පුද්ගලයාගේ කෝටි ගණනක බැංකු ගිණුම් තහනම්

(16.06.2020 – 09:04 +0530 – sinhala.adaderana.lk)

මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනක බැංකු ගිණුමක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු ගිණුම තහනම් කර තිබේ.

පසුගිය වසරක පමණ කාලය තුළ අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුම තුළ රුපියල් මිලියන 120 කට අධික මුදල් සංසරණය වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මිනුවන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පසුගියදා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහුගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ දී රුපියල් මිලියන 30 ක මුදලක් ඇති බවට අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු විසින් පොලීසියට පාපෝච්ඡාරණයක් සිදුකර ඇති අතර එහිදි එම මුදල් මත්කුඩු ජාවාරම් සදහා ලැබුණු මුදල් බවට ප්‍රකාශ කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති අතර ඔහුගේ බැංකු ගිණුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

විදෙස් රටවල සිට ක්‍රියාත්මක මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මෙම සැකකරු සබඳතා පවත්වා ඇති බව ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වි තිබේ ෴

***************************************

නේපාලයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(16.06.2020 – 12:04 +0530 – sinhala.adaderana.lk)

නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන 11:30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පැමිණයේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි ෴

***************************************

ලීසිං අර්බුදයට නව නීති අවශ්‍යයි – උදය ගම්මන්පිල

(16.06.2020 – 11:15 +0530 – sinhala.adaderana.lk)

කල්බදු ක්‍රමය යටතේ භාණ්ඩ විකිණීම සඳහා නව නීති සැකසීමේ අවශ්‍යතාවයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ලීසිං අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ව “දෙරණ 360” වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කල්බදු ක්‍රමය හඳුවාදුන් දිනයේ සිට සිදු වූයේ පාරිබෝගිකයා විසින් කල්බදු වාරික ගෙවීම් පැහැර හැරියහොත් අදාළ සමාගම විසින් වාහනයේ පැහැර ගෙන යාම බව ගම්මන්පිල මහතා පැවසීය.

මෙම ක්‍රියාවලිය රටේ ඇති සෑම කල්බදු සමාගමක්ම සිදුකරන බවත් ඊට තිත තැබීමට කල්බදු ක්‍රමයට විකුණා ඇති භාණ්ඩයක භූක්තියේ සිටින පුද්ගලයාගෙන් එම භාණ්ඩ හිමිකම ඇති පුද්ගලයාට බලහත්කාරයෙන් පැහැරගැනීමට නොහැකි වනසේ නීති සකස් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *