නැගෙනහිර ප්‍රහාර සැලසුමක් ගැන, පාස්කු කොමිසමේදී හෙලි වේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නැගෙනහිර ප්‍රහාර සැලසුමක් ගැන, පාස්කු කොමිසමේදී හෙලි වේ

• මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම්වලට යොදාගෙන ඇති ග්‍රන්ථ 3 ක් ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

• ETI ගණුදෙනුව ගැන මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

• බෙලිගල්ලෙනත් අවදානමේ

• බන්ධනාගාර තුළ සිට සැලසුම් කෙරෙන අපරාධ මර්දනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් (විඩියෝ)

• ජනපති සහ මහ බැංකු ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ සාධනීය ප්‍රතිඵල (විඩියෝ)

• මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සොයන්න කමිටුවක්

• බීමට පිරිසිදු ජලය නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින හබරණ ජනතාව (විඩියෝ)

• වසර 15 සිට අබලන් තත්ත්වයේ පවතින තලාව – හිඟුරාන මාර්ගය (විඩියෝ)

• ගානියාගේ පැහැර ගැනීමේ නාටකය : කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

• විදුලි බිල්පත වාරික වශයෙන් ගෙව්වත් විදුලිය විසන්ධි කරන්නේ නෑ

• අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනයට තිත.. ඇමති විමල් දේශීය රෙදි පිළි කර්මාන්තයට පණ දෙයි (විඩියෝ)

• අයෝමාගේ තේ කෝප්පය ගම්මන්පිල පරදුවට තබයි… (විඩියෝ)

• විදෙස් සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම්

• මුහුදු පතුලේ කිමිදුනු නාවික හමුදාපතිට දියකිඳුරියන් දෙදෙනෙකු උදව්වට එයි (විඩියෝ)

• නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

+++++++++++++++++++++++++++++++++++

නැගෙනහිර ප්‍රහාර සැලසුමක් ගැන, පාස්කු කොමිසමේදී හෙලි වේ

(17.06.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

2014 වසරේ අලු‍ත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්වයක් හටගත් අවස්ථාවේ එවැනිම නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළ සිදුකිරීමට සහරාන් ඇතුලු‍ පිරිසක් සැලසුම් කළ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා.

එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සදහන් කලේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්ව නිසි පාලනයකට නතු කර තිබූ බවයි.

2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කර මේ වනවිට විශ්‍රාම ගොස් සිටින මේජර් ජෙනරල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා ඊයේ (16) රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ඔහු සදහන් කළේ, එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත සදහා විශේෂ බුද්ධි අංශ ඛණ්ඩ දෙකක් ස්ථාපිත කළ බවයි.

ඉන් එකක් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් ආවරණය වන ලෙසත් අනෙක් අංශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සදහාත් ස්ථාපිත කර ඒ සදහා ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි නිලධාරීන් අනුයුක්ත කළ බවයි.

එමගින් නැගෙනහිර පළාත තුළ සිදුවන කටයුතු සමාලෝචනය කිරීම සදහා සෑම මසකම රැස්වූ බව ද, සාක්ෂිකරු සදහන් කළා.

එම කාලය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පූජිත් ජයසුන්දර මහතා සහ නන්දන මුණසිංහ මහතා කටයුතු කළ අතර මසකට වරක් පැවැත්වූ බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සඳහා ඔවුන්ගේ නියෝජිතයන් ද එක්වූ බව සාක්ෂිකරු සදහන් කළා.

කොමිසම එහිදී විමසුවේ එවක නැගෙනහිර ජන කොට්ඨාස අතර වෙනස්වීම් දක්නට ලැබුනේද යන්නයි.

කාත්තන්කුඩි හා කින්නියා ප්‍රදේශ අරාබිකරණය වීමට ආරම්භ වූවත් බුද්ධි අංශ ප්‍රබල ලෙස ඒ පිළිබද තොරතුරු සොයාගැනීම හරහා එම කටයුතු මැඩපැවැත්වීමට සමත් වූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

එම කටයුතු කළ පුද්ගලයින්ට දේශපාලන සහයෝගයක් තිබුණේදැයි කොමිසම විමසා සිටියා.

සාක්ෂිකරු එහිදී පැවසුවේ ඇතැම් දේශපාලකයන් එලෙස ක්‍රියාකර තිබුනත් තමන් ඔවුන් ගැන කිසිදු තැකීමක් නොකල බවයි.

“එලිවෙනකොට අක්කර 100 ඩෝසර් කරපු කාලයක් තිබුණා. දීඝවාපිය, මුහුදු මහා විහාරයට අයිති ඉඩම් අහිමි වෙන්න ගත්තා. අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එම ස්ථානවල කඳවුරු ඉදිකරල ඒවා ආරක්ෂා කලා” ලෙස කොමිසම හමුවේ පැවසූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා වැඩිදුරත් සදහන් කලේ, එවැනි අකටයුතු ක්‍රියා කළ පුද්ගලයින්ට විදේශ ආධාර පවා ලැබුණු බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බවයි.

එම කාලවකවානුවේ නැගෙනහිර සිටි ප්‍රබල දේශපාලකයන් කවුරුන්දැයි කොමිසම ප්‍රශ්න කළා. සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කලේ, කාත්තන්කුඩි ප්‍රදේශය තුළ වැඩි වශයෙන් දේශපාලන ක්‍රියාවල නිරත වූයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවයි.

එමෙන්ම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් වරක් දීඝවාපිය අවට සිදුවූ ඉඩම් ගැටලු‍ විසදීමට තමන් විසින් ස්ථාපිත කල කඳවුරු ඉවත් කරන ලෙස ඉහල නිලධාරීන්ට බලපෑම් කර තිබූ බවයි.

2014 වසරේ අලු‍ත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ සිදුවූ ගැටුමෙන් පසු එම දිනවලම නැගෙනහිර පළාත තුළ පන්සලකට හෝ භික්ෂූන් වහන්සේ නමකට පහරදීමට තවිහිද් ජමාත් සංවිධානයේ පිරිසක් සැලසුම් සකස් කරමින් සිටි බවට බුද්ධි නිලධාරීන් ඉතා සූක්ෂමව තොරතුරු අනාවරණ කර ගත් බව සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කළා.

පසුදින උදෑසනම එලෙස සැලසුම් කළ පිරිස තම කඳවුරට ගෙන්වා දැඩි ලෙස අවවාද කර පිටත් කිරීමෙන් පසු එම සිද්ධිය වැළකී ගිය බවයි සාක්ෂිකරු සඳහන් කළේ.

කොමිසම එහිදී ප්‍රශ්න කලේ එම පිරිස අතර සිටි අය අතර පසුගිය වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධය අය සිටි බවට පසුව හෙලිවූයේද යන්නයි. එම පිරිස අතර සහරාන් හෂීම් සිටි බවට තමන් ප්‍රහාරයෙන් පසු දැනගත් බව සාක්ෂිකරු සදහන් කළා.

කොමිසම එහිදී විමසුවේ එතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ බුද්ධි අංශයකට පසුව සිදුවූයේ කුමක්ද යන්නයි.

2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු තමන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් තමන්ට ස්ථාන මාරුවක් ලැබුණු බවත් ඉන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වල වීමට විවිධ කරුණු බලපෑ බව පෙන්වා දුන් සාක්ෂිකරු පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් වූ අතර සෙසු නිලධාරීන් වැඩි ප්‍රමාණයකට ස්ථාන මාරු වීම් ද ලැබුණු බවයි.

ඒ හරහා සමස්ත බුද්ධි අංශ ජාලයම බිද වැටී තිබූ නිසා සහරාන් වැනි පුද්ගලයන් මෙතරම් විනාශයක් සිදුකිරීමට තරම් බලවත් වූ බව පෙනීයන බවයි ඔහු පැවසුවේ.

2015 ට පෙර රැඩිකල් කණ්ඩායම් නිරීක්ෂණය සදහා වෙනම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූ බවත් එය නොකඩවා සිදුවූයේ නම් පසුගිය වසරේ සිදූවූ අවාසනාවන්ත සිදුවීමට ඉඩක් නොලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම්වලට යොදාගෙන ඇති ග්‍රන්ථ 3 ක් ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

(17.06.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිසාජ් හිස්බුල්ලා විසින් පවත්වාගෙන ගිය බව කියන මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම් සඳහා යොදාගත් ග්‍රන්ථ තුනක (03) කරුණු මගින් ළමයින් ප්‍රචන්ඩත්වයට පෙළඹවීමක් සිදු කරන්නේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද (17) අධිකරණය නියෝග කළා.

රහස් පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙතටයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ බෝම්බකරු වන ඉන්ෂාම් අහමඩ් හට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේයි නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන සිටින්නේ ෴

***************************************

ETI ගණුදෙනුව ගැන මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

(17.06.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

ඔවුන් දෙදෙනා අද (17) දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ.

මේ වනවිට ඊ.ටී.අයි. සමාගමේ සිදුවුණු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමද අදාළ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනවා.

බරපතල මූල්‍ය ගැටලුවලට මුහුණදී වත්කම් විකිණීමට සිදුවූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදුවුණු බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කොමිසමට බලය පැවරුණා.

එකී වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස්, ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් කම්පැනි ලිමිටඞ් සහ එහි අනුබද්ධ සමාගම්, ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඞ් තියටර්ස් ලිමිටඩ් සහ එහි පාලිත සමාගම්, හොටෙල් සෆායර් පුද්ගලික සමාගම, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම සතු වෙනත් නිශ්චල වත්කම් ඇතුළත්.

මේ අතර, ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (16) වරෙන්තු නිකුත් කළා.

ඒ, ඊ.ටී.අයි තැන්පතුකරුවන් තුන්දෙනෙකු (03) විසින් පවරා තිබූ නඩු විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ෴

***************************************

බෙලිගල්ලෙනත් අවදානමේ

(17.06.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික බෙලිගල්ලෙන මේ වනවිට නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

මීට බොහෝ කලකට පෙර සිදුකරන ලද කැණීම් වලින් ආයුධ මෙන්ම, අතීතයේ විසූ ආදි මානවයින් භාවිත කරන ලද උපකරණ කිහිපයක් ද මෙහි තිබී සොයා ගැණුනා.

අදාළ පුරාවිද්‍යාත්මක උපකරණ මේ වනවිට තැන්පත් කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ යි.

ප්‍රදේශවාසීන් පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ක්‍රියාත්මක වූ ඇඳිරි නීති සමයේදී මෙම ඓතිහාසික බෙලිගල්ලෙන මැණික් ජාවාරම්කරුවන්ගේ මෙන්ම, නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි.

මෙම බෙලිගල්ලෙන සම්බන්ධයෙන් අප හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ 1909 වර්ෂයේදී මෙහි කැණීම් කටයුතු සිදුකර ඇති අතර, ඉන් මානව ඇටසැකිලි මෙන්ම, ඔවුන් භාවිත කරන ලද ආයුධ කිහිපයක් ද සොයා ගත් බවයි ෴

***************************************

බන්ධනාගාර තුළ සිට සැලසුම් කෙරෙන අපරාධ මර්දනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(16.06.2020 – 22:21 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තුළ සිට සැලසුම් කෙරෙන අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

මේ අතර බන්ධනාගාර තුළ සිදුවන යම් අකටයුතුකම් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර බුද්ධි ආරක්ෂක නමින් නව ඒකකයක් පිහිටුවා ඇති අතර 011 267 8600 යන දුරකථන අංකයෙන් මහජනතාවට බන්ධනාගාර සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

***************************************

ජනපති සහ මහ බැංකු ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ සාධනීය ප්‍රතිඵල

(17.06.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ මහ බැංකු ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ සාධනීය ප්‍රතිඵල අද (17) උදෑසන වනවිට ලැබී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

***************************************

මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සොයන්න කමිටුවක්

(17.06.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතායි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී කුමාරසිරි මහතා සහ මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජේ.පී ගම්ලත් මහතා සෙසු සාමාජිකයන් වනවා.

මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගණුදෙනු සිදු කිරීමේදී සිදුකරන සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ නිර්දේශ ලබාදෙන ලෙසටයි මෙම කමිටුවට දන්වා ඇත්තේ.

මහ බැංකුවේ අධිපතිවරයා විසින් නියෝග කර ඇත්තේ බැංකු ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් සහ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන මෙම වාර්තාව දින 14 ක් තුළ ලබාදෙන ලෙසටයි ෴

***************************************

බීමට පිරිසිදු ජලය නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින හබරණ ජනතාව

(17.06.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

බීමට පිරිසිදු ජලය නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින හබරණ ප්‍රදේශයේ ජනතාවගේ දුක්බර කතාවයි මේ.

හබරණ පාළුගස්වැව ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට අයත් වේරගල ගම්මානය බීමට සුදුසු ජලය නොමැති වීම හේතුවෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින ගම්මානයක් බවට පත්වෙලා.

පසුගිය අවුරුදු 10 තුළ වකුගඩු රෝගය හේතුවෙන් ගම්මානයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

එමෙන්ම මේ වන විට වකුගඩු රෝගය හේතුවෙන් පීඩා විඳින හා ප්‍රතිකාර ලබන පිරිස 30 කට අධිකයි.

ලිං ජලයේ කිවුල් බව අධික වීම හේතුවෙන් බීමට ජලය ලබා ගැනිම සඳහා කිලෝමීටර් 6 කට ආසන්න දුරක් යාමට ජනතාවට සිදු ව තිබෙනවා.

නමුත් වල් අලි ගහනය අදික වීම හේතුවෙන් සවස් කාලයේ දී මාර්ගයේ ගමන් කිරීම ද අවදානම් බව ප්‍රදේශවාසීන් පවසනවා.

මින් පෙර අවස්ථාවකදී රුපියල් ලක්ෂ 40 ක් වියදම් කරමින් ජල පිරිපහදු ඒකකයක් ස්තාපිත කළ ද එම ජල පිරිපහදු ඒකකයද ඇනහිටියේ එම ප්‍රදේශයේ ඇති ජලයේ කිවුල වැඩිවීම හේතුවෙන්.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට බීමට පිරිසිදු ජල පොදක් ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි.

***************************************

වසර 15 සිට අබලන් තත්ත්වයේ පවතින තලාව – හිඟුරාන මාර්ගය

(17.06.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

‘මාර්ග පහසුකම්’ ජන ජීවිතය කාර්යක්ෂම කර ගැනීමට අත්‍යවශය සාධකයක්.

නමුත් රථවාහන ධාවනය කෙසේ වෙතත්, පා ගමනින් පවා යාමට අසීරු මාර්ගයක් පිළිබඳව අපට දැරණියගල – මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දැරණියගල – මාලිබොඩ හරහා වැටී ඇති තලාව – හිඟුරාන මාර්ගයයි.

මෙම මාර්ගය වසර 15 ක පමණ කාලයක සිට පවතින්නේ අබලන් තත්ත්වයකයි.

ළමුන් 300 ක් පමණ සිප්සතර හදාරන මාලිබොඩ හිඟුරාන විද්‍යාලයට යාමට ඇත්තේ ද මෙම මාර්ගය ඔස්සේයි.

අද වනවිට මෙම මාර්ගයේ රථවාහන ධාවනය කෙසේ වෙතත්, පාගමනින් යාම පවා අසීරු වී තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා එකම ලංගම බස් රථය වැසි කාලවලදී මුහුණ දෙන තත්ත්වයයි මේ.

බස් රථය ද අතරමඟ නතර වී ඇති තත්ත්වයක ජනතාවට ආසන්නතම නගරය වන දැරණියගලට ගමන් කිරීමට ත්‍රිරෝද රථයක් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයෙකු වසර කිහිපයක් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ද ගම්වාසීන් චෝදනා කරන්නේ මැතිවරණ කාලවලදී ඔවුන් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වූ බවයි.

පසුගිය වසර කිහිපයේ අසන්නට ලැබුණු රුපියල් කෝටි ගණනක් වැය කළ ‘රන් මාවත්’ ව්‍යාපෘතිවලට ද මඟ හැරුණු මාලිබොඩ, තලාව – හිඟුරාන මාර්ගය :

***************************************

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

(17.06.2020 – colombotoday.com)

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 07 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා නුවරට ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට ගොස් තිබේ.

ඇය මේ දක්වාම රහස් පොලිසියට කටඋත්තරයක් දී නැත. ගානියා ප‍්‍රැන්සිස් ළඟ තිබූ ජංගම දුරකථනය දර්ෂා බැස්ටියන්ට ලබා දුන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ගානියා සිද්ධියට අදාළ තොරතුරු මෙම පරිගණකයේ ඇතැයි රහස් පොලිසිය සැක කරයි. මේ වනවිට රහස් පොලිසිය දර්ෂා බැස්ටියන්ගේ දුරකථන දත්ත ද සොයාගෙන ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කීපදෙනකු එක්වී මෙම බොරු පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි ෴

***************************************

විදුලි බිල්පත වාරික වශයෙන් ගෙව්වත් විදුලිය විසන්ධි කරන්නේ නෑ

(17.06.2020 – 17:41 +0530 – lankadeepa.lk)

විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ.

කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද අමාත්‍යවරයා එම මණ්ඩලය එම මන්ඩලය වෙත උපදෙස් ලබාදි ඇත.

විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ මල්පාරේ ඛණිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධව අද (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් විමසූ බවත්, ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවත් අමරවීර මහතා එහිදී සඳහන් කළේය.

කොවිඞ් 19 න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බව මේ පිළිබඳ කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයින්හට ලබා දෙන සහන ඒකක කප්පාදුවක් කිසිසේත්ම සිදුකර නොමැති බවත් සහන ඒකක 30 මාස දෙකක බිල්පතක් එක්වර ලබා දීමේ දී ඒකක 60 ක් වශයෙන් සළකා කටයුතු කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

ඇදිරි නීතිය බලපැවැත්වු කාල සීමාව තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ පවුලේ සියලු සාමාජිකයින් නිවස තුළ රැඳි සිටි බැවින් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති නිසා බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිදු අයුරකින් හෝ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය ෴

***************************************

අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනයට තිත.. ඇමති විමල් දේශීය රෙදි පිළි කර්මාන්තයට පණ දෙයි

(17.06.2020 – 21:31 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා වත්මන් ආණ්ඩුව මූලික අඩිතාලම දමා ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීම ඇතුළු දේශීය රෙදිපිළි කර්මාන්තයට අදාළව පසුගිය දා ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ තුළින් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අද (17) දිනයේ සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද පැවසීය :

“මේ රටේ රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන පිරිස් සමඟ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ විශේෂ තීරණ තුළින් එම කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුම් දීමටයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූයේ. එම සාකච්ඡාව සඳහා දේශීය රෙදිපිළි නිෂ්පාදනයෙහි නිරත වන අංශ ගණනාවක පිරිස් සහභාගී වූවා. එක් අංශයක් තමයි පාසල් නිල ඇඳුම් රෙදිපිළි නිෂ්පාදනය කරන පිරිස්. එසේම බතික් රෙදිපිළි කර්මාන්තයේ නිරත පිරිස් හා අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ නිරත පිරිස් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.

අත්යන්ත්‍ර රෙදිපිළි ආනයනය නතර කිරීම

මෙහි දී ප්‍රධාන තීරණ කිහිපයක් ගනු ලැබුවා. පළමුවැන්න අත්යන්ත්‍ර රෙදිපිළි ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම. ඒ අනුව දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කිරීමේ ඉඩකඩ එම කර්මාන්තයේ නියැලී සිටින පිරිස්වලට ලැබෙනවා. අප අමාත්‍යාංශයේ ඇති පේෂකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් පේෂකර්ම අමාත්‍යාංශ සමඟ අප සාකච්ඡා ගණනාවක් පවත්වා දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ඇති ස්වාභාවික නොහැකියාවන් හඳුනාගෙන තිබෙනවා. මෙම තීරණයත් සමඟ එය නතර වෙනවා. මෙම කර්මාන්තය නව ජවයකින් පණ ගැන්වෙනවා. කර්මාන්තයේ නියැලෙන පිරිසට නව වෙළෙඳපොළක් හිමි වෙනවා. ඒ සුබ පණිවිඩය එම තීරණයත් සමඟ ඔවුනට ලැබෙනවා.

‘බතික් රෙදිපිළි ආනයනයත් නතර වීම’

බතික් රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදකයන් හා නිර්මාණ ශිල්පීන් ඉල්ලා සිටි පරිදි විදෙස් රටවලින් බතික් රෙදිපිළි ගෙන ඒම නතර කිරීමට ද ජනාධිපතිතුමන් එහි දී තීරණය කරනු ලැබුවා. අපේ රටේ සාම්ප්‍රදායික හා දේශීය අනන්‍යතාවකින් හෙබි කර්මාන්තයක් වූ බතික් කර්මාන්තයට මෙම තීරණයත් සමඟ නව පණක් ලැබේවි. විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති මෙරට බතික් නිමි ඇඳුම් මේ තීරණය තුළින් වඩාත් ප්‍රචලිත වේවි. ඉහත තීරණ දෙක දේශීය රෙදිපිළි කර්මාන්තයෙහි නිරත පිරිසට අනුබලයක්, උත්තේජනයක් ලබා දෙන බව අපට විශ්වාසයි.

‘නිල ඇඳුම් නිෂ්පාදනය රට තුළ දීම’

එසේම දේශීය රෙදිපිළි කර්මාන්තයේ නියැලී සිටින පාසල් නිල ඇඳුම් ටෙන්ඩරය සහ හමුදා නිල ඇඳුම් ටෙන්ඩරය ලබා ගන්නා පිරිස්වලට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූවා. එම පිරිස්වලට එල්ල වන චෝදනාව තමයි ටෙන්ඩරය ලබා ගෙන ඊට අදාළ රෙදිපිළි ඉල්ලුමට සරිලන සේ සැපයීමට නොහැකි නිසා පසුව ඒ අඩුව ආනයනික රෙදිපිළිවලින් සපුරන බව. එයට පිළියමක් ලෙස එම රෙදිපිළි ටෙන්ඩර ලබා ගන්නා පිරිස්වල රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ධාරිතාවන් සමීපව අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කළා. ඒ සඳහා මෙම ටෙන්ඩර් ලබා දීමෙන් පසු එම රෙදිපිළි හා නිල ඇඳුම් සැපයීම සමීපව අධික්ෂණය කිරීම සඳහා දැනට සම්බන්ධ වන අධ්‍යාපන අමාත්‍යාංශ තාක්ෂණ කමිටුවල පිරිස්වලට අමතරව ආරක්ෂක අංශ නිලධාරීන් ද යෙදවීමට තීරණය වුණා. මෙම නිසි අධික්ෂණයත් සමඟ අපට අනාවරණය කරගත හැකියි, මෙම ටෙන්ඩරවලට අදාළ නිල ඇඳුම් රෙදිපිළි දේශීයව නිපදවිය හැකිද, නොහැකිද කියා. එසේ නිපදවිය නොහැකි නම් අපට එම නිපදවිය නොහැකි ප්‍රමාණය ආනයනය කිරීම සඳහා තීරණයක් ගත හැකියි.

වවුචර් වෙනුවට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමෙන් රජයට ඉතිරි කරගත හැකි මුදල රුපියල් මිලියන 450 ක් බව ද කීමට කැමතියි. එසේම පාසල් නිල ඇඳුම් රෙදිපිළි අදාළ කර්මාන්තකරුවන් මගින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දීම මගින් ද අපට ප්‍රවාහන වියදම්වල විශාල ඉතිරියක් කරගත හැකියි.

පාසල් නිල ඇඳුම්, ආරක්ෂක හමුදා නිල ඇඳුම් පමණක් නොවෙයි, සෞඛ්‍ය අංශවල නිල ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා ආදී ඇඟලුම් හා රෙදිපිළි ටෙන්ඩර ද දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට ලබා දීමෙන් දේශීය රෙදිපිළි කර්මාන්තයේ නව ජවයක් ඇති කළ හැකියි. ඒ අනුව දැනට පාසල් නිල ඇඳුම් ටෙන්ඩර හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් ටෙන්ඩර දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට ලබා දීමේ තීරණය ද ජනාධිපතිතුමන් විසින් ගනු ලැබුවා.

මේ සියලු තීරණ මගින් රෙදිපිළි, ඇඟලුම් සඳහා පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගත හැකියි. එමගින් රුපියල අවප්‍රමාණ වීම නතර කරගත හැකියි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය අනුව යමින් අපි ගනු ලැබූ ඉහත තීරණ මගින් යළි අප පා නඟන්නේ විජය නමැති ඉන්දියානුවා මේ රටට පා තබන විටත් කුවේණිය කපු කටිමින් සිටි යුගය සිහිපත් කරනු ලබන නව යුගයකට. අපට එමඟින් නැවත රෙදිපිළි පුළුල් ලෙස නිපදවන යුගයක් කරා මේ රට ගෙන යෑමට හැකි වේවි.

‘රාජ්‍ය සේවකයන්ට දේශීය රෙදිපිළි කර්මාන්තයට අත දෙන්න ඉඩක්’

එසේම එහි දී සාකච්ඡාවට භාජනය වූවා පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවක පිරිස් සතියේ එක් දිනක දී අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි හා නිමි ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීමෙන් මෙම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට දිරි දීමේ හැකියාව පිළිබඳව. මේ සියලු තීරණ සමඟ මෙරට දේශීය රෙදිපිළි කර්මාන්තය නව උත්තේජනයකින් හා පිබිදීමකින් පෙරට එන බවට සුබවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

General Election 2020 – Theme Song of Wimal Weerawansa

***************************************

අයෝමාගේ තේ කෝප්පය ගම්මන්පිල පරදුවට තබයි…

(18.06.2020 – 00:02 +0530 – lankacnews.com)

තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය සඳහා ආරාධනා කළේ 2013 වසරේදී බවත් ඒ සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාද තමන් සමග එක්වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට ආරාධනා කිරීමේ අදහස තමන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට ප්‍රකාශ කර සිටි අවස්ථාවේ “ඔබ ඔය හදන්නේ ගෝඨාභය ගේ නිවසේදී අයෝමා ගේ (ජනාධිපති ආර්යාව) අතින් ලැබෙන තේ කෝප්පයද නැති කරගැනීමට” යැයි ඔහු තමන්ට පැවසූ බව මෙහිදී ගම්මන්පිල මහතා සිහිපත් කළේය. කෙසේ වෙතත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට හැකි වූ බව ඒ මහතා කියා සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශනය වූ 360 වැඩසටහන හා එක්වෙමිනි.

මෙහිදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ලොව පුරා රටවල් 102 ක ශ්‍රි ලංකාවට පැමිණීමට අපේක්ෂා කරණ 49,470 ක ශ්‍රී ලාංකිකයන් ද ලක් මවගේ දරුවන් බවය. ඒ සෑම දෙනාම රැක බලා ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් එම වගකීම ඉටු කිරීමට රජය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වනුයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සෑම ශ්‍රී ලාංකිකයෙකුම මවුබිමට ගෙන්වාගැනීම බව සඳහන් කළ උදය ගම්මන්පිල මහතා එය සෞඛ්‍යය නිරෝධායන පද්ධතියේ ධාරිතාවයන්ට අනුකූලව නිසි සැලසුමකට ඉතා ක්‍රමානුකූලව සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව වත්මන් දේශපාලනයේ උණුසුම් කරුණු රාශියක් පිළිබඳව ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන :

16-06-2020

***************************************

විදෙස් සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම්

(17.06.2020 – 20:31 +0530 – lankadeepa.lk)

විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්‍ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

ඒ අනුව කිසිදු විදෙස් සංචාරකයෙකුට බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම විශේෂ මාර්ගෝපදේශ යටතේ සිදුකරන බව ඇය කීවාය.

කොවිට් 19 වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මෙම මාර්ගෝපදේශ සකස් කළ බව ද ඇය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි හෝටල් සඳහා වෙන්කර ගැනීම් කළ හැකි අතර සංචාරකයින් මෙරටට පැමිණීමට පැය 72 කට පෙරත්, පැමිණි පසුත් පී.සී.ආර් පරීක්‍ෂණ කරගත යුතු බවද ඇය පැවසුවාය.

මෙරටට පැමිණි පසු සිදුකරන පරීක්‍ෂණයෙන් ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බව තහවුරු වුවහොත් පමණක් කොවිඩ් සහතිකලත් නවාතැන් ස්ථානයකට යාමට අවසර හිමිවන බව ඇය කීවාය.

ඉන්පසු ඔවුන් රැඳී සිටින කාලයේදී දවස් 5-7 අතර මෙන්ම දවස් 10-12 අතර වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ කරන බවත් ජංගම ඒකකයක් හරහා පහසු ආකාරයෙන් මෙම පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මෙරටට පැමිණ වීසා ලබාගැනීමේ ක්‍රමවේදය නතර කර ඇති අතර සංචාරකයින් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු බවත්, ඊට අදාළ අයදුම්පතෙහි සංචාරකයාගේ ගමන් විස්තර, සැලස්ම, වෙන්කළ ස්ථාන ආදී අලුත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ද සභාපතිනිය පැවසුවාය.

ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු නවාතැන් ගන්නා හෝටලයෙන් සංවිධානය කළ යුතු අතර සහතිකලත් හෝටල් සහ සංචාරක නියෝජිතයින් පිළිබඳ විස්තර වීසා අයදුම්පතෙහි ඇතුළත් කරන බව ද ඇය කීවාය.

පිටු 90 කින් පමණ යුතු මාර්ගෝපදේශ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් වෙත ලබා දී ඇතැයි සභාපතිනිය පැවසුවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින් නවාතැන් ගන්නා තරු පංතියේ හෝටල් ඇතුළු ලියාපදිංචි නවාතැන් පහසුකම් සපයන්නන්ට මේ සඳහා සහතිකයක් ලබාදෙන බවත්, ඔවුන් කොවිඞ් වසංගතයෙන් ආරක්‍ෂාවීමට අදාළ නියාමනයන් පිළිපදින්නේද යන්න සොයාබලන බවත් ඇය කීවාය ෴

***************************************

මුහුදු පතුලේ කිමිදුනු නාවික හමුදාපතිට දියකිඳුරියන් දෙදෙනෙකු උදව්වට එයි

(17.06.2020 – aruna.lk)

දිය යට ලෝකයේ අද්භූත අත්දැකීමක් විදින්නට මෙරටදී ඉදිකල පළමු සමුද්‍ර කෞතුකාගාරය ගාල්ලේදි විවෘත වන්නේ ශ්‍රී ලංකා නාමය යළි ජාත්‍යන්තරය වෙත ගෙනයමින්ය.

ගාලු කොටුවේ සිට මීටර් 800 ක් ඈත මුහුදේ ගැඹුරින් අඩි පනහක් යට මුහුදු පත්ලේ මෙම කෞතුකාගාරය විවෘත වීම විශේෂත්වය විය.

එහි අත්දැකීම විදින්නට නම් සැබවින්ම කිමිදුම්කරුවෙකු සේ මුහුදු පත්ලේ කිමිදි යායුතුය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිටින දක්ෂතම මෙන්ම අත්දැකීම් වැඩි කිමිදුම් කරුවා වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින්ම මුහුදු පත්ලේ කිමිදි දියයට කෞතුකාගාරය විවෘත කිරීම විශේෂත්වය විය. පීත්ත පටි කපා උත්සවශ්‍රියෙන් මෙම කෞතුකාගාරය විවෘත කිරීම නැවුම් අත්දැකීමක් විය.

මහා පරිමාණ ඉදිකිරීම් වලදී ඉවත් කරන කොන්ක්‍රීට් තට්ටු හා යකඩ මත මූර්ති හා පිළිම නෙලා දොඹකර ආධාරයෙන් මුහුදු පත්ලේ තැන්පත් කරන්නේ සුවිශේෂී මෙහෙයුමකිනි.

ලොව මෙවන් කෞතුකාගාරයක් අත්දැකීම් විදින්නට හැකිවූයේ මෙක්සිකෝහි ක්‍රන්චූන් මුහුදු ප්‍රදේශයේ පමණි.

මීට පෙර පැරණි නෞකා හා ප්‍රභූවරුන් භාවිතාකල වෙඩි නොවදින වාහන ගිල්වා දමමින් මීගමු මුහුදු තීරයේ කිමිදුම්කරුවන්ට මුහුදු පත්ලේ අත්දැකීම් ලබන්නට නාවික හමුදාවට හැකිවිය. නාවික හමුදාපතිවරයා එම වෑයමෙන් පසුව මුහුදු කෞතුකාගාරය ඉදිකරන්නට යොමුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කල යෝජනාවක් මුල්කරගෙනය.

ඉවත ලද කෝච්චි පෙට්ටි හා ධීවර යාත්‍රා යොදාගෙන මෙවැනි දෙයක් කරන ලෙසත් ඒමගින් ධීවර හා සංචාරක කර්මාන්තයේ නියැලි සිටින්නන්ට එය කිමිදුම්කරුවන්ගේ තෝතැන්නක් කරදිය හැකි බවත් අගමැතිවරයා කළ යෝජනාව මල්ඵල ගැන්වීමට පටන්ගන්නේ ජනවාරි මාසයේදීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ අනුමැතිය මත කිමිදුම් අංශයේ නාවිකයන්, සිවිල් ඉංජිනේරුවන් පනහක පමණ දායකත්වයෙන් මෙම සමුද්‍ර කෞතුකාගාරයේ වැඩකටයුතු ඇරඹෙන්නේ ජනවාරි 15 දා පටන්ය. මාර්තු විසිවනදා (20) වනවිට මෙහි තැන්පත් කිරීමට සැකසූ මූර්ති හා පිළිම නෙලා අවසන් කරගත හැකිවිය. අප්‍රේල් 05 දා වනවිට සියලු කටයුතු අවසන් කල යුතු විය.

දක්ෂින නාවික කදවුරේදී මූර්ති ශිල්පීන් අතින් මෙම මූර්ති ඉදිකලේ අයි.සී.සී. ඉදිකිරීම් සමාගම ලබාදුන් ඉවතලන කොන්ක්‍රීට් තට්ටු හා ඉන්සී සමාගම ලබාදුන් සිමෙන්ති යොදාගෙනය.

– තිස්ස රවින්ද්‍ර පෙරේරා

***************************************

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

(17.06.2020 – colombotoday.com)

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික යාත්‍රා නාවික යාත‍්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ද ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ආසන්න කලාපයේ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට නීති විරෝදී සංකත‍්‍රමණ නැවැත්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

නීති විරෝධී සංක්‍රමණ මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් නීති විරෝධී මිනිස් ජාවාරම් ඇතුළු සියලු නීති විරෝදී ක‍්‍රියාවන් මැඩලීමට නාවික හමුදාව මෙසේ ස්ථානගත කර ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද ඔවුන්ගේ ආවේක්ෂණ යානා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉහළින් නිතර යාත්‍රා කරමින් නාවික හමුදාවට සහාය දෙන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ තීරය තීක්ෂණ චාරිකාවන් සදහා නිරන්තර යොදවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *