‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට බාධා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට බාධා (විඩියෝ)

• අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

• කුඩු අංජුගේ ලක්ෂ 4900 යක මුදල් ගැන තවත් තොරතුරු

• කංජිපානිගේ පියාට පහරදීමේ සිද්ධියෙන් පසු මන්න කන්නාට සහ බාචාට සිදුවූ දේ (විඩියෝ)

• රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ යයි

• නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බව ජනපති කියයි

• බැඳුම්කර වංචාව ගැන රනිල්, මෛත්‍රී ඇතුළු සිව්දෙනෙකුගෙන් ප්‍රකාශ ගන්න නීතිපතිගෙන් නියෝග

• 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාවාදීලා – ප්‍රබල සාක්ෂි තමන්සතු බව එකල ක්‍රීඩා ඇමති කියයි

• ව්‍යාජ වෙබ් අඩවියක් ගැන කම්කරු කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

• ජනපතිගෙන් මහජන බැංකු කළමනාකාරීත්වයට උපදෙස් (විඩියෝ)

• එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් 290 ක් දිවයිනට

• ඊ.ටී.අයි. ගණුදෙනුව ගැන අදත් ප්‍රශ්න කෙරේ

• මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

• වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට විවෘත වේ

• හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සඳුදා පැය 12 ක් ජලය අත්හිටුවයි

• රතුමිනිත්තුව : ගොවිතැනත් ජීවිතයත් අවදානමේ දැමූ ගෝනගලතැන්න වැව (විඩියෝ)

• රථවාහන දඩ මුදල් ගෙවන්න තවත් අතිරේක සහන කාලයක්

+++++++++++++++++++++++++++++++++++

‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට බාධා

(17.06.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය ගැන හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පසු එම ප්‍රදේශයේ පුරාවස්තු හඳුනාගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට සංවිධානාත්මක පිරිසක් බාධා එල්ලකර තිබෙනවා.

ඒ අතර, මුහුදු මහා විහාරයට 1951 වර්ෂයේදී ගැසට් කර තිබූ ඉඩම් අක්කර 72 ක ප්‍රමාණය ලබා නොදී අක්කර 30 ක ප්‍රදේශයක් සලකුණු කිරීමට පූරාවිද්‍යා නිලධාරීන් මේවන විට කටයුතු කරමින් සිටිනවා.

අද (17) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

***************************************

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

(18.06.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් අනුමැතිය හිමි වූ බවයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට මෙරට විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් 12,500 ක් සිටිනවා ෴

***************************************

කුඩු අංජුගේ ලක්ෂ 4900 යක මුදල් ගැන තවත් තොරතුරු

(18.06.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙය වූ කුඩු අංජු නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 4,900 ක් හුවමාරු වූ ගිණුමේ හිමිකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් ඊයේ (17) පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.

පිළියන්දල – දම්පේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම පුද්ගලයා අදාළ ගිණුම, බෝකුන්දර පෞද්ගලික බැංකුවක විවෘත කර ඇත්තේ කුඩු අංජු නැමැත්තාගේ මත්කුඩු ජාවාරම ඩුබායි හි සිට මෙහෙයවන ධර්මසිරි පෙරේරා නැමැත්තා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

මෙම ගිණුම සම්බන්ධයෙන් මුල් වරට තොරතුරු අනාවරණ වුණේ පසුගියදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් රත්මලාන – ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

ගිණුම් අංකයක් ලබාදී එම පුද්ගලයා පොලිසියට සඳහන් කර තිබුණේ ධර්මසිරි නැමැත්තා ලබාදෙන මත්කුඩු අලෙවි කර ලබා ගන්නා මුදල් මෙම ගිණුමේ තැන්පත් කරන බවයි.

පසුව කළ විමර්ශනයකදී 2018 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය ජූනි 01 වැනිදා දක්වා මෙම ගිණුමෙන් රුපියල් ලක්ෂ 4900 ක මුදලක් හුවමාරු වී ඇති බවට කරුණු අනාවරණ වුණා.

රත්මලාන – ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගැනීමත් සමඟ එය වසා දමා තිබුණේ අවසන් වරට එහි ඉතිරිව තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික මුදලද ලබාගනිමින්.

පසුව මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය, එය දම්පේ – මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවට කරුණු හෙලිකරගත්තා.

එම ලිපිනය සඳහන් නිවස පරීක්ෂා කළ නමුත් සැකකරු එහි රැඳී නොසිටි අතර, බුත්තල – හඳපානාගල ප්‍රදේශයේ නිවසක් පොලිසිය පරීක්ෂා කළේ ඔහු එහි රැඳී සිටින බවට තොරතුරු හෙළිවීමත් සමඟයි.

එහි සිටි සැකකරුගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ අදාළ පුද්ගලයා දීර්ඝ කාලයක සිට නිවසට නොපැමිණි බවයි.

දුරකථන වාර්තා විශ්ලේෂනය කළ පොලීසිය සැකකරුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ගිණුම් හිමියා දින දෙකක් තුළ පොලීසියට රැගෙන එන බවට වූ කොන්දේසි මත ඔහුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුවයි ඊයේ (17) එම සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවී ඇත්තේ.

ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට ගිණුමක් විවෘත කර දෙන ලෙස ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැනට ඩුබායි හි රැඳී සිටින ධර්මසිරි නැමැත්තා දැනුම් දුන් බවයි.

ඔන්ලයින් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමට හැකිවන පරිදි අදාළ ගිණුම විවෘත කළ පසු රුපියල් 50,000 ක මුදලක්ද ධර්මසිරි නැමැත්තා ඔහුට ලබා දී තිබෙනවා.

ධර්මසිරි, සැකකරුට දැනුම්දී තිබුණේ ගිණුමට අදාළ ඒ.ටී.එම් කාඩ්පත සහ රහස් අංකය තමන් විසින් එවනු ලබන පුද්ගලයෙකුට ලබාදෙන ලෙසයි.

ගිණුම විවෘත කළ පසු සිදුවූ ගණුදෙනු සම්බන්ධයෙන් තමන් තොරතුරු නොදන්නා බව සැකකරු පොලීසියට ප්‍රකාශ කළ නමුත් සිදුවූ සෑම ගණුදෙනුවකම තොරතුරු සැකකරුගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවුඩ හරහා ලැබී ඇති බවට පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.

ගිණුම වසා දමන ලෙසද එම සැකකරුට උපදෙස් ලබාදී ඇත්තේ ඩුබායි හි සිටින ධර්මසිරි නැමැත්තා බවටයි අනාවරණ වුණේ.

එම අවස්ථාවේ ගිණුමේ රුපියල් 7,53,000 ක මුදලක් තිබී ඇති අතර, රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන, ඉතිරි මුදල පිළියන්දල ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කර තිබෙනවා.

මේ වනවිට ඊට අදාළ ගිණුම පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ෴

***************************************

කංජිපානිගේ පියාට පහරදීමේ සිද්ධියෙන් පසු මන්න කන්නාට සහ බාචාට සිදුවූ දේ

(18.06.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

= කංජිපානිගේ පියාට පහරදීම ගැන ‘මන්න කන්නා’ සහ ‘බාචා’ අත්අඩංගුවට =

බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් සහ උගේ පියා පහරකෑමට ලක්වූ තැන

මාළිගාවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා නමින් හඳුන්වන මොවුන් දෙදෙනා ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරන අය බවද පොලීසිය සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථයක් සහ මන්නා පිහි තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාළිගාවත්ත – සද්ධර්ම මාවත අසළදී කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නජිත් නැමැත්තාට තියුණු ආයුධවලින් පහරදී තිබුණේ ඊයේ (17) රාත්‍රියේයි.

පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩු කන්නා නැමැත්තාගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් කංජිපානි ඉම්රාන්ගේ පියාට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

+++++++++++++++++++++

***************************************

රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ යයි

(18.06.2020 – 09:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ මෙරට රත්‍රන් මිලෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ රත්‍රන් මිල අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 92,000 ක් පමණ වනවා.

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ද මේ වනවිට ඉහලගොස් තිබෙනවා.

කොරෝනා වසංගත තත්වයට පෙර මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල පැවතුනේ රුපියල් 70,000 ත් 75,000ත් අතර ප්‍රමාණයකයි.

කෙසේ වෙතත් රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔවුන් අනුමාන කරන්නේ කැරට් 24 රන් පවුම රුපියල් 120,000 ක් පමණ අගයකට ඉදිරියේදී ළඟාවිය හැකිබවයි ෴

***************************************

නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බව ජනපති කියයි

(18.06.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000 කට ආසන්න මුදලක් වැය වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මහ මැතිවරණයට අවශ්‍ය සියලු සහය සහ ඊට වැයවන සියලු මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවයි.

එම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මැතිවරණ කොමිසමේ ලේකම්, වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද එක්ව සිටියා.

සාකච්ඡාව ඊයේ (17) පස්වරු 04:30 ට පමණ ආරම්භ වූ අතර, එය පැයකට අධික කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් විසින් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රට තුළ පවතින වාතාවරණය හමුවේ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා.

එහිදී ප්‍රකාශ වී ඇත්තේ එය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන බවයි.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛන්ඩව ඉදිරියට ගෙන යන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. එම තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදීමට හැකියාව ලැබෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවද ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබෙනවා.

මේ අතර මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (22) පැවැත්වීමට නියමිතයි. පෙරවරු 10 ට මැතිවරණ කොමිසන් සභාවේදී පැවැත්වෙන එම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුලු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වනවා.

එහිදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාදීම සඳහා ලබන මස 11, 12 සහ 13 යන දිනවලදී තැපෑලට භාරදෙන බවද මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළා ෴

***************************************

බැඳුම්කර වංචාව ගැන රනිල්, මෛත්‍රී ඇතුළු සිව්දෙනෙකුගෙන් ප්‍රකාශ ගන්න නීතිපතිගෙන් නියෝග

(18.06.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (8) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ එස්.පාස්කරලිංගම් මෙන්ම, මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන අයගෙන් ෴

***************************************

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාවාදීලා – ප්‍රබල සාක්ෂි තමන්සතු බව එකල ක්‍රීඩා ඇමති කියයි

(18.06.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

2011 පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මුදලට හෝ වෙනයම් දෙයකට පාවාදීම පිළිබඳව තමන් සතුව පැහැදිළි තොරතුරු පවතින බව එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එක් උදාහරණයක් පෙන්වමින් ඔහු පැවසුවේ අවසාන තරඟයට අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබානොගත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු (04) තරඟයට ක්‍රීඩා කළ බවයි.

තමන් එය දුටුවේ ඉන්දියාවේ තරඟය පැවැත්වෙන අතරතුර බවද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව ඇති පැහැදිලි හා ප්‍රබල සාක්ෂි වගකිවයුතු ආයතන වෙත තමන් ඉදිරිපත් කර ඇති බවද, නොකියූ තවත් සාක්ෂි පවතින බවද දීර්ඝ ප්‍රකාශයක් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම තරඟය පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ වී නොමැති බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

2011 වසරේ අප්‍රේල් දෙවනදා (02) පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 274 ක් ලබාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් තුළ කඩුලු 04 ක් පමණක් දැවී පහසුවෙන් තරඟය ජයගැනීමට සමත්වුණා.

කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් අනතුරුව අවසන් තරඟය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් විවිධ අදහස් පළකලා ෴

***************************************

ව්‍යාජ වෙබ් අඩවියක් ගැන කම්කරු කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

(18.06.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් කම්කරුවන්ට හිමිවන බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ දැන්වීමක් සංසරණය වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම ව්‍යාජ දැන්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි.

1990 ත්, 2020 ත් දක්වා වූ කාලය තුළ සේවය කළ කම්කරුවන් වෙත ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින් ලබාගැනීමට හැකියාව ඇති බවට එම ව්‍යාජ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර තිබුණා.

ඒ සඳහා සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ ප්‍රශ්නාවලියක්ද එහි දක්වා ඇති අතර, එම දැන්වීමට හසු නොවන ලෙසයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

ජනපතිගෙන් මහජන බැංකු කළමනාකාරීත්වයට උපදෙස්

(18.06.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව දුන් සහන ආර්ථිකයන්, ජනතාව ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ, ඊයේ (17) පස්වරුවේ මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුලු ඉහළ කළමනාකාරීත්වය එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාර හඳුනාගෙන ණය නිකුත් කිරීම, රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600 කට පැවරී ඇති වගකීම බවයි ජනාධිපතිවරයා එය සඳහන් කළේ.

එමෙන්ම ලීසිං ණය වාරික සඳහා දුන් මාස හයක සහනය අදාළ පාර්ශවයන්ට අනිවාර්යයෙන් දිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

***************************************

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් 290 ක් දිවයිනට

(18.06.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් ඩුබායි සිට අද (18) අලුයම 05:35 ට දිවයිනට පැමිණියා.

මොවුන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙනතුරු කටුනායක ගුවන් තොටුපල අවට හෝටල් හතරක (04) තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළස්වා ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නැවියන් 54 දෙනෙකු ඊයේ (17) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

මුම්බායි නුවර සිට මොවුන් මෙරටට පැමිණියේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.

එම යානයේ සිටි තවත් මගීන් 15 දෙනෙකු වෙනත් ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත් කර යැවීමට නියමිත බවද හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා.

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,924 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (17) අවසන් වරට වාර්තාවූ ආසාදිතයන් සිව්දෙනා (04) ගෙන් දෙදෙනෙකු (02) නාවික හමුදා සාමාජිකයින් වන අතර, සෙසු දෙදෙනා (02) බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා ආසාදිතයන් 516 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1,397 ක්.

මේ අතර ඉටුකම – කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴

***************************************

ඊ.ටී.අයි. ගණුදෙනුව ගැන අදත් ප්‍රශ්න කෙරේ

(18.06.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු (02) අද (18) තුන්වන (03) දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.

ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදීද මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.

මේ වනවිට ඊ.ටී.අයි. සමාගමේ සිදුවුණු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමද අදාළ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනවා.

බරපතල මූල්‍ය ගැටලූවලට මුහුණදී වත්කම් විකිණීමට සිදුවූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ සිදුවුණු බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කොමිසමට බලය පැවරුණා.

මෙම සමාගමේ වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස්, ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් කම්පැනි ලිමිටඩ් සහ එහි අනුබද්ධ සමාගම්, ඊ.ඒ.පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ් සහ එහි පාලිත සමාගම්, හොටෙල් සෆායර් පුද්ගලික සමාගම, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඞ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම සතු වෙනත් නිශ්චල වත්කම් ඇතුළත් ෴

***************************************

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

(17.06.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා මහජනතාව වෙත දින වෙන්කරගැනීමට නව දුරකථන අංක කිහිපයක් එම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව සතියේ දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා කාලය තුළ අදාළ රථවාහන සහ සේවා ඛාණ්ඩ වලට අදාළ දුරකථන අංක ඇමතීමෙන් දිනය හා වේලාව වෙන්කරගැනීමට මහජනතාවට අවස්ථාව උදාවනු ඇති.

එම දුරකථන අංක සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ නිවේදනය පහතින් :

***************************************

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට විවෘත වේ

(18.06.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පළමු අදියර යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල සිසුන් 50 ට අඩු සියලු මධ්‍යස්ථාන විවෘත කෙරෙන බවයි නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුව, ඒවා විවෘත කෙරෙන අතර, ආපනශාලා පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ යුතු වනවා ෴

***************************************

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සඳුදා පැය 12 ක් ජලය අත්හිටුවයි

(18.06.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සඳුදා (22) ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, බැදිගම, මුල්කිරිගල සහ හොරේවෙල යන ප්‍රදේශවලට එළඹෙන සඳුදා (22) පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා පැය 12 ක් කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

රතුමිනිත්තුව : ගොවිතැනත් ජීවිතයත් අවදානමේ දැමූ ගෝනගලතැන්න වැව

(18.06.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ගෝනගලතැන්න වැව නිසි ප්‍රමිතියකින් ඉදි නොකිරීම හේතුවෙන් ගම්මානයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.

අද (18) රතුමිනිත්තුවේ අවදානය ඒ පිළිබඳවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝපිකොලනිය හරහා ගලා බසිනා ගෝනගල කඳුර හරස් කර මෙම ගෝනගලතැන්න වැව ඉදිකිරීමට පියවර ගෙන තිබුණේ 2012 වර්ෂයේදී.

ගෝනගලතැන්න වැව වටා මීටර් 150 ක දිගින් යුත් පස්බැම්මක් වන අතර මෙම ඉදිකිරීමෙන් ජලය ඝන අඩි 160,500 ක ජල ධාරිතාවක් රඳවා ගත හැකියි.

මෙම වැව මගින් කුඹුරු අක්කර 325 ක් යල මහ දෙකන්නයේම අස්වද්දීමට හැකියාවක් පවතිනවා.

කෝටි ගණනක වියදමින් සිදුකර ඇති මෙම වැවෙහි මේ වනවිට වැව්බැම්ම මෙන්ම පිටවාන ද ජල කාන්දු හේතුවෙන් අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ගම්වාසීන් ජීවත්වන්නේ ද දැඩි අවදානමක් ගනිමින්.

කෙසේ වෙතත් එම වැව නිසි පරිදි මේ වන තෙක් ඉදිනොකිරීමෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොවිතැන් කටුයුතු සිදුකිරීමට ද නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

***************************************

රථවාහන දඩ මුදල් ගෙවන්න තවත් අතිරේක සහන කාලයක්

(18.06.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිසිය විසින් 2020 පෙබරවාරි මස 16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා 2020 ජුනි මස 30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

මෙම දඩ මුදල් දිවයින පුරා ඇති ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකියාව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *