මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

02 • ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව (විඩියෝ)

03 • වව්නතිව් මුරපොලේ පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවි සොයාගත් හැටි පාස්කු කොමිසමේදී අනාවරණ වෙයි (විඩියෝ)

04 • හිටපු ඇමති බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයකයින් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුයි – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න (විඩියෝ)

05 • එල්ලවූ දේශපාලන පීඩාවක් ගැන එමිල් රන්ජන් ළමාහේවාගෙන් අනාවරණයක් (විඩියෝ)

06 • සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රේගුවෙන් දුන් රත්තරන් ගැන ජනපති කොමිසමේ දී අනාවරණයක්

07 • මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශන අරඹයි (විඩියෝ)

08 • සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ නිවසින් ගිනි අවි සහ උණ්ඩ හමුවෙයි – සැකකරුගේ මව අත්අඩංගුවට

09 • උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන්නැයි අගමැතිගෙන් කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස්

10 • අලි – මිනිස් ගැටුමට පරිසරහිතකාමී විසඳුමක් සොයන ගම්වැසියන් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

(01) මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(19.06.2020 – 14:16 +0530 – lankadeepa.lk)

මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රිත්මකවීම සම්බන්ධයෙන් තමා 2013 වසරේ දී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දුන් බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (18) ප්‍රකාශ කළහ.

මුස්ලිම් අන්තවාදය එල්ටීටීඊ සංවිධානය මෙන් නොව වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන නිසා බුද්ධි අංශ යොදවා ඒ පිළිබඳව සොයා බලන බව ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දුන් බව ද ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළහ.

අභියාචනාධිකරණයේ සභාපති ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (18) රැස්විය.

එහිදී රජයේ නීතිඥවරිය ඇසූ ප්‍රශ්නවලට අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ :

රජයේ නීතිඥ :- අන්තවාදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළාද?

ඥානසාර හිමි :- එහෙමයි. ඔව්. ජනතාව දැනුම්වත් කළා.

රජයේ නීතිඥවරිය :- මහරගම දී 2013 පෙබරවාරි 17 වැනි දින පැවැත්වූ සමුළුවක දී ඔබ වහන්සේ අදහස් දක්වා තිබේද? විවිධ අවස්ථාවලදී ජනතාව දැනුම්වත් කර තිබනෙවා නේද? එවැනි ආකාරයෙන් නිපෝන් හෝටලයේ දී අදහස් දැක්වීමක් ගැන ඔබ වහන්සේට මතකයක් තිබේද?

ඥානසාර හිමි :- මම නිපෝන් හෝටලයේ පැවති එම හමුවට සහභාගි වුණේ අහඹු ලෙස. ඊට දින හතරකට (04) පෙර ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල නියෝජිතයන් එකතු කරගෙන විල්පත්තුවේ සිදු වූ වන විනාශය සහ නීති විරෝධී ජනපදකරණය පිළිබඳ සොයා බැලීමට එහි ගියා. රිෂාද් බදියුදීන් කළ වන විනාශය සහ නීතිවිරෝධී ජනපදකරණය ගැන මාධ්‍යවල ප්‍රචාරය වුණා. මේ හෙළිදරව්ව නිසා රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා රිෂාද් බදියුදීන් මට විරුද්ධව නඩු පවරනවා කියා නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් එවා තිබුණා.

රිෂාද් බදියුදීන්ගේ මැදිහත්වීම මත වටරැක විජිතහිමි සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග මුස්ලිම් මව්ලවිවරුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට යන බව එම මාධ්‍ය හමුවට ආරාධනා ලැබූ මාධ්‍යවේදියෙක් බොදුබල සේනා සංවිධානයට දැනුම්දීමක් කළා. ඉන්පසු අපේ නියෝජිතයන් පිරිසක් සමග මා එතනට ගියා. මුස්ලිම් මව්ලවිවරුන් සහ ස්වාමීන් වහන්සේලා පළිහක් කරගෙන අපේ චෝදනාවලින් හා විල්පත්තුව විනාශය පිළිබඳව බේරෙන්න රිෂාද් උත්සාහ කර තිබුණා. මා ඒ මාධ්‍ය හමුව පැවති නිපෝන් හෝටලයේ දෙවන මහලට ගියාට එහි මාධ්‍ය හමුවක් තිබුණේ නෑ. ඉන්පසු සොයා බලද්දී ඔවුන් පළමු මහලේ රැස්වී සිටින බව දැන ගන්න ලැබුණා. පළමු මහලට යනවිට ස්වාමීන් වහන්සේලා සහ මව්ලවිවරුන් සාකච්ඡාවක නිරතවී සිටියා. එහිදී ඔවුන් හා අප අතර සංවාදයක් ඇතිවුණා.

විනිසුරු මඩුල්ල:- ඔබ පවසන ආකාරයට අනිත් දේශපාලනඥයන් කවුද?

ඥානසාර හිමි:- රාවුෆ් හකීම්, සලීම් වැනි අය ස්වාමීන් වහන්සේලා මෙහෙයවා තිබුණා. වටරැක විජිත හිමිට රිෂාද් බදියුදීන් මුදල් දී තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- එම මාධ්‍ය හමුවට කී දෙනෙක් සහභාගි වුණා ද?

ඥානසාර හිමි :- මාධ්‍යවේදීන් හතළිහක් පමණ සිටියා මතකයි. තවත් තිහක පමණ පිරිසක් හිටියා.

රජයේ නීතිඥවරිය :- විල්පත්තුව කැලය හරහා කාපට් පාරක් තිබෙන බව සහ ජනපදකරණයක් පිළිබඳ විල්පත්තුවට යනවිට ඔබවහන්සේ දැනගෙන හිටියද?

ඥානසාර හිමි :- අපි මුලින්ම දැනගෙන හිටියේ නැහැ. අපි තන්තිරිමලේට යනවිට එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් කොළඹට පිටත්වීමට කෙටි පාරක් ඇඳලා දුන්නා. ඒ පාර වැටිලා තිබුණේ විල්පත්තුව හරහා. අපි ඒ පාර දිගේ යනවිට පටුවට තිබුණු පාරේ ටික දුරක් යනවිට කාපට් දමා ඇති බව දැක ගන්න ලැබුණා. කාපට් පාර ඔස්සේ කිලෝමීටර් 10 ක් පමණ යනවිට ගෙවල් වගයක් දැක්කා. ඒ පිළිබඳ සොයා බලන විට තැනින් තැන ගෙවල් හතළිහක් තිබෙන බවත් ඒ ගෙවල්වලට වෙනමම පල්ලියක් තිබෙන බවත් දැන ගන්නට ලැබුණා. ඒ අවස්ථාවේ අපි වැඩිවෙලා මාධ්‍යවේදීන් සමග රැඳී නොසිට අවශ්‍ය ෆොටෝ සහ වීඩියෝ අරගෙන පිටත් වුණා. හමුදාව උතුරට ආයුධ ප්‍රවාහනය කිරීමට විල්පත්තුව හරහා කැපූ පාරක් එලෙස සංවර්ධනය කර කැලය කපා ජනපදකරණය කරගෙන තිබෙන බව කොළඹට පැමිණ සොයා බලන විට දැන ගැනීමට ලැබුණා.

රජයේ නීතිඥවරිය :- රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පරිසරවේදීන් පිරිසක් විල්පත්තුව හරහා කපා තිබෙන පාර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බව ඔබවහන්සේ දන්නවාද?

ඥානසාර හිමි :- ඒ පිළිබඳව මට මතකයක් නැහැ.

රජයේ නීතිඥවරිය :- විල්පත්තුවට අදාළ ප්‍රශ්නයට විසඳුම මාධ්‍ය හමුවක් මගින් ප්‍රචාරයක් ලබාදීම බව යැයි ඔබ වහන්සේ සිතනවාද?

ඥානසාර හිමි :- මේ ප්‍රශ්න ගැන රටේ දේශපාලනඥයන්ට කියලා වැඩක් නැහැ. ඔවුන් එකතුවී තමයි විල්පත්තු සංහාරය කළේ. අපට අවශ්‍ය වුණේ ජනතාව අතර මේ විනාශය ගැන මතයක් හැදීමටයි. එය නිර්මාණය කරන්නයි අපි උත්සාහ කළේ.

රජයේ නීතිඥවරිය :- රට තුළ පවතින ක්‍රමවේදයට එරෙහිවීමට ඔබවහන්සේ මුල් වුණා ද?

ඥානසාර හිමි :- එහෙම දෙයක් කළේ නැහැ. මේ ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි කියා අපි සිතුවා. ඉන්පසු සත්‍ය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙයි කියා අපි විශ්වාස කළා. ඡන්දයක් පවත්වද්දී ජනතාව ඊට සම්බන්ධ දේශපාලනඥයන්ට විරුද්ධව කටයුතු කරනු ඇති බව අපි කල්පනා කළා.

රජයේ නීතිඥවරිය :- මැතිවරණ සමයක දී ද ඔබලා විල්පත්තු ගියේ.

ඥානසාර හිමි :- නැහැ. ඒකාලෙ පළාත් සභා ඡන්දය පැවැත්වුණේ කඩින් කඩ. ඒ නිසා මට නිශ්චිතව ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න බැහැ.

රජයේ නීතිඥවරිය :- පාලකයන් මාරු කිරීමට නොව ජනතාව උසිගන්වන්නද විල්පත්තු විනාශය ගැන ප්‍රචාරය කළේ?

ඥානසාර හිමි :- නැහැ. ඒක වැරදියි. කලින් කලට බලයට පත්වන ආණ්ඩුවල ප්‍රතිපත්ති වෙනස්. ඉස්ලාමීය කණ්ඩායම් මේ දෙගොල්ලො එක්කම උපක්‍රමශීලීව වැඩ කරනවා. සූක්ෂම ආකාරයෙන් පාලකයන් ලවා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට මුස්ලිම්වරුන් දන්නවා. තමන්ගේ අරමුණු වෙනුවෙන් කුමන අයුරකින් හෝ දේශපාලනඥයන් පාවිච්චි කර ඒ අය තමන්ගෙ වැඩේ කර ගන්නවා.

රජයේ නීතිඥවරිය :- නිපෝන් හෝටලයට ගිය අවස්ථාවේ ඔබ වහන්සේ කළ කතාව මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාද?

ඥානසාර හිමි :- ඔව්. එය ප්‍රචාරය වූවා.

මේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ඥානසාර හිමි ඇතුළු පිරිස නිපෝන් හෝටලයේදී හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විනිසුරු මඩුල්ලේ අවධානයට ලක්කර පෙන්වීය.

රජයේ නීතිඥවරිය :- ඔබවහන්සේ නියෝජනය කරන මතවාදය පිළිගන්න විශාල පිරිසක් හෝ අනුගාමිකයන් පිරිසක් බොදුබල සේනාව වටා රොක්වී සිටිනවාද?

ඥානසාර හිමි :- ඔව්.

රජයේ නීතිඥවරිය :- ඔබවහන්සේ අනුගමනය කරන විශාල පිරිසක් සිටින විට නායකයකු වශයෙන් ඉතා දැඩි ආකාරයට ප්‍රකාශයන් සිදු කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට මග පෙන්වීමක් සිදු වන්නේ නැතිද?

ඥානසාර හිමි :- අපගේ එකම උවමනාව අපගේ රට රැක ගැනීමයි. රට ගොඩනගපු ජාතියක් අපි. අපට ආගමික දර්ශනයක් තිබෙනවා. අපගේ ඒ උරුමය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. විවිධ අවස්ථාවල දී කථා කළ යුත්තේ ඒ මොහොතට අනුකූලව රිද්මයකට අනුවයි. බණ කියන විට බණ කියන රිද්මයක් තිබෙනවා. පිරිත් කියන විට ද එහෙමයි. ඉතා උතුම් සම්පතක් වන විල්පත්තුව වැනි වටිනා අපේ උරුමයක් විනාශ කරන විට කට වහගෙන අපට ඉන්න බැහැ. සද්ද නැතිව තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතිව ඒකයි ඒ මොහොතේදී කථා කළේ. අනිත් කාරණය අලුත්ගමදීත් එහෙමයි. අපේ ජාතිය වෙනුවෙන් අපි කථා කරනවා.

රජයේ නීතිඥ :- ඔබවහන්සේගේ කතා පටිගත වූවා නේද?

ඥානසාර හිමි :- ඔව්. එතන මාධ්‍යවේදීන් සිටියා. ඒ අයට අපි කතා කළ විලාසය ඇහිලා ඇවිත් මගේ කතා පටිගත කරන්න ඇති.

රජයේ නීතිඥවරිය :- බොදුබල සේනාවේ නායකයා වශයෙන් ඔබ වහන්සේට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා මාධ්‍ය ඉදිරියේදී සංවරව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සිට කථා කළ යුතුයි නේද?

ඥානසාර හිමි :- පන්සලක ඝණ්ඨාරයක් හයිකරලා තිබෙන්නේ කුමකටද? යම් කරදරයක් වුණොත් හයියෙන් ඒක ගහනවා. ඒ වගේ රට, දැය සමයට විපතක් වෙද්දී ඒක මොරගහල මම ප්‍රකාශ කරනවා. සිද්ධියෙන් සිද්ධියට අනුව කතා කරන විලාසය වෙනස්. මට වැදගත් වන්නේ සිද්ධිය පමණයි. චීවරය පාවිච්චි කරලා වැරදි වැඩක් කරනවා නම් අපි හඬ නගනවා. කෑගහල ඒක ගැන කියන්න කැක්කුමක් තියෙනවා. නිපෝන් හෝටලයේ සිද්ධියෙන් පසු ඒ මොහොතෙම විජිත හිමි අපේ සිංහල ජාතියෙන් සමාව ඉල්ලුවා. මාධ්‍යවේදීන්ගෙනුත් සමාව ඉල්ලුවා. මුස්ලිම් ගම්මාන සහ මුස්ලිම් ජනතාව සිටින තැන්වල අපි ඕනෑ තරම් බොදුබල සේනාවේ සමුළු පවත්වා තිබෙනවා. ඒවායේදී කිසිදු ගැටලුවක් වුණේ නැහැ.

විනිසුරු මඩුල්ල :- විල්පත්තුව කැපීමට මූලික වුණ ඇමැතිවරයා කවුද?

ඥානසාර හිමි :- රිෂාද් බදුයුදීන්.

විනිසුරු මඩුල්ල :- ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ගියෙ නැත්තෙ ඇයි?

ඥානසාර හිමි :- එවකට හිටපු ආණ්ඩුවේ ජනාධිපතිවරයාට අපි ඒ ගැන පැමිණිල කළා. ඔහුටත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක පවතින බව ඔහු අප සමග පැවසුවා. ඔහු එහෙම කීවේ මේ ජරා දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසයි. නීතිය හරියට ක්‍රියාත්මක වනවා නම් අපි මේ තරම් කෑ ගහන්නේ නැහැ.

විනිසුරු මඩුල්ලේ සභාපති ජනක් ද සිල්වා මහතා :- විල්පත්තුව කැලය කැපීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් මේ වන විට පැවැත් වෙනවා. එම නඩුවට සම්බන්ධ විනිසුරුවරුන් දෙදෙනකු මෙම ජනාධිපති කොමිසමේ සිටිනවා. එබැවින් මින් ඉදිරියට විල්පත්තු කැලයට සම්බන්ධ සිද්ධිය පිළිබඳව කථා නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඥානසාර හිමි :- විල්පත්තුව සිද්ධිය ජාතික ප්‍රශ්නයක් වූ නිසයි අපි ඒ ගැන කථා කළේ.

රජයේ නීතිඥවරිය :- යම් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වන විට ඊට කඩා පැන එය කඩාකප්පල් කරනවාට වඩා වෙනමම මාධ්‍ය හමුවක් ඔබවහන්සේ පැවැත්වූවා නම් එය වඩා ප්‍රජාතන්ත්‍රවාදියි නේද? එසේ නොකර නිපෝන් හෝටලයේ එවැනි මාධ්‍ය හමුවට ඔබ වහන්සේ මැදිහත් වුණේ ඇයි?

ඥානසාර හිමි :- ඔබ ප්‍රශ්නය වැරදියට වටහාගෙන තිබෙන බව පෙනෙවා. අපි ගියේ නිපෝන් හෝටලයේ මාධ්‍ය හමුව පවත්වන විට නෙවෙයි. ඒ වෙද්දි මාධ්‍ය හමුවක් පැවතියේ නැහැ. ඔය කථා බහ අපි දෙපිරිස අතර ඇතිවුණේ ඔවුන් පළමු මහළේ සාකච්ඡාවක නිරතව සිටින විටයි.

මාධ්‍ය හමුව ප්‍රමාද ඇයි කියලා අපි හොයද්දී විජිත හිමි සහ මව්ලවිවරුන් පළමු මහලේ වෙනමම සාකච්ඡාවක නිරත වී සිටින බව දැන ගත්තා. එවිට අපි ඒ සාකච්ඡාව වුණ තැනට ගියා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් ද එතනට ආවා. එකයි සිදුවුණේ. ඒ නිසා අපි මාධ්‍ය හමුවකට මැදිහත් වුණේ නැහැ. අපි මාධ්‍ය හමුව කඩාකප්පල් කළා කියා ඔබට කියන්න බැහැ ඒ නිසා.

රජයේ නීතිඥවරිය :- ඔබ වහන්සේගේ ක්‍රියාකලාපය නිසා යම් අයකුගේ සිත් රිඳවීමට පුළුවන්. ඒ ගැන මොකද කියන්නෙ ?

ඥානසාර හිමි :- මුස්ලිම් අය විශේෂයි. සහරාන්ට ගහද්දී මුස්ලිම් අය එකට එකතු වුණේ ඒකයි. මේ අසාධාරණකම් පෙන්වන අපි යක්කු බවට පත් කරනවා. මුස්ලිම් ජාතිකයන් මොන වගේද කියන එක මුලින්ම අපි අවබෝධ කරගත යුතුයි.

මේ අවස්ථාවේ දර්ගා නගරයේ ඇති වූ කෝලාහලය ඇතුළත් වීඩියෝ පටයක් රජයේ නීතිඥවරිය ක්‍රියාත්මක කෙරූ අතර එහි සඳහන් ඥානසාර හිමිගේ කථාව පිළිගන්නේ නැති බව පවසමින් එම වීඩියෝව මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් සංස්කරණය කර ඇත්තේ අසාම් අමීන් නම් මුස්ලිම් ජාතිකයා බව විනිසුරු මඩුල්ලේ අවධානයට ලක් කළහ.

ඉන් පසු එහිදී ඥානසාර හිමි කරන සංස්කරණය නොකෙරු සම්පූර්ණ කථාව බොදුබල සේනාවේ නියෝජිතයකු විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කළේය.

රජයේ නීතිඥවරිය :- වීඩියෝ පටයේ දැක්වෙන අවස්ථාව කුමක් ද?

ඥානසාර හිමි :- වීඩියෝ පටයේ දැක්වෙන්නේ අලුත්ගම දර්ගා නගරයේදී ඇති වූ කෝලාහලය හා එහිදී මා කළ කථාවක්. මා කළ කථාවේ කොටසක් පමණයි ඔබ පෙන්වූ අසාම් අමීන් නැමැත්තා මාධ්‍ය ආයතනයකට සංස්කරණය කළ වීඩියෝ පටයේ දැක්වූයේ. ඒ කොටස අල්ලගෙන වැරදි කෝණයකින් මා දෙස බලන්න එපා.

මට ඔය කථාව කිරීමට සිද්ධීන් කීපයක් බලපෑවා. දර්ගා නගරයට කලින් කිව්වේ කාදියවත්ත කියන සිංහල නම. දැන් ඒ සිංහල නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නගරය ආසන්නයේ සිංහල සිද්ධස්ථාන දෙකක් තිබෙනවා. සිංහල පවුල් 60 ක් පමණ ජීවත් වෙනවා. මුස්ලිම් ජාතිකයන් කිසිම අවස්ථාවක ඔය පන්සල් දෙකේ නායක හාමුදුරුවෙකු ආවොත් වැඩිකාලයක් ඉන්න දෙන්නේ නැහැ. විවිධ නොපනත් ක්‍රියා කරල උන්වහන්සේලාට පන්සල්වලින් යන්න කටයුතු සලස්වනවා. දර්ගා නගරයේ කලබලයේ පසුබිම ඒකයි.

(ඊට අදාළව ඥානසාර හිමිනම විසින් සාක්ෂියක් ලබාදුන් අතර ජාතිවාදය ඇවිස්සෙන සුළු ප්‍රකාශ එහි ඇතුළත් බැවින් එම කොටස මෙම පුවතින් ඉවත් කර තිබේ.)

ඥානසාර හිමි :- ඇත්තටම අලුත්ගම ගැටුම නැවැත්තුවේ බොදුබල සේනාවේ මැදිහත්වීමෙන්. අපි සිංහලයන්ව සන්සුන් කළා. ජනතාව අතර පැවති ආවේගශීලිත්වය ආරූඪ කරගෙන මා කථාවක් පවත්වල ජනතාව සන්සුන් කළා. එම කථාව එම ජනතාව සාමකාමී කළා. බෞද්ධයන්ගේ ක්‍රමය ප්‍රචණ්ඩත්වය නොව සාමකාමී වීම මම ජනතාවට ඒත්තු ගැන්නුවා. මම කිසිම අයෙකුට මුස්ලිම් කඩ කඩන්න කීවේ නැහැ. මම කීවේ ඒ කඩවලට යන්න එපා කියලයි. සන්සුන් වූ ජනතාව සාමකාමීව පිටත් වෙද්දී හැංගී සිටි මුස්ලිම් පිරිසක් ගල්වලින් ගැහුවා. ඒ සිද්ධිය මුල්කරගෙන තමයි දර්ගා නගර ගැටුම ඇතිවීමට බලපෑවේ.

විනිසුරු මඩුල්ල :- 2013 වසරට පසු මෙරට තුළ මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන බව එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජක්ෂ මහතාට ඔබ වහන්සේ දැනුම් දී තිබෙනවද?

ඥානසාර හිමි :- ඔව්. ගෝඨාභය මහතාට ඒ බව කිව්වා.

විනිසුරු මඩුල්ල :- මුස්ලිම් අන්තවාදය නැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවාද කියන කාරණය ඔහු සඳහන් කළා ද?

ඥානසාර හිමි :- ඔව්. ඒ සම්බන්ධයෙන් හොයන බව එවකට ආරක්ෂක ලේකම්වරයා මා සමග පැවසුවා. කොටි සංවිධානය මෙන් නොව මුස්ලිම් අන්තවාදය වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වන බව එතුමා කීවා. ඒ නිසා බුද්ධි අංශ යොදවා ඒ ගැන සොයන බව ඔහු ප්‍රකාශ කලා.

විනිසුරුවරයා :- රජයේ පරිපාලන පද්ධතිය ඔබ කීව දේ පිළිගත් බව ඒ අවස්ථාවේ ඔබට වැටහුණා ද?

ඥානසාර හිමි :- දේශපාලනඥයන් ගැන නම් විශ්වාසයක් නැහැ. රජයේ පරිපාලන නිලධාරියෙක් වූ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ දේවල් යහපත් බව මා අවබෝධ කරගත්තා.

විනිසුරු මඩුල්ල :- මෙහිදී පෙන්වූ එක්තරා වීඩියෝවක ඔබ වහන්සේ ජාතිවාදියකු බව සඳහන් වුණා. ඉන් අදහස් වන්නේ කුමක්ද?

ඥානසාර හිමි :- වීඩියෝවේ දැක්වූ කථාව මා කළේ එතන හිටපු ජනතාවගේ තත්ත්වය ගැන හිතලා. මම ජාතිවාදියකු නෙවෙයි. මම ජාතිකවාදියෙක්.

(දසුන් රාජපක්ෂ)

+++++++++++++++++++++

(02) ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව

(19.06.2020 – 14:14 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර පළාත තුළ ඇති පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් ස්ථාන සියයට හැටක (60%) ප්‍රමාණයක් විවිධ කණ්ඩායම්වල මෙහෙයවීමෙන් විනාශ කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ ඊයේ (18) මෙම කරුණු අනාවරණය කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තුන්වැනි (03) දිනටත් ඊයේ (18) රාත්‍රි වන තෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදි සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පිරිස පාස්කු ප්‍රහාරය සිදුකිරීමට පෙර දින ගල්කිස්සේ පිහිටි ‘ස්පෑන් ටවර්’ නිවාස සංකීර්ණයක් තුළ පටිගත කළ වීඩියෝව කොමිසම ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණි.

සහරාන් ඇතුළු කණ්ඩායම ප්‍රහාර එල්ල කිරීමට හේතු අතර ‘ඥානසාර නමැති යක්ෂයා’ ලෙස අවස්ථා දෙකකදී එම වීඩියෝ පටයෙහි ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් දරණ මතය කුමක්දැයි පූජ්‍ය ඥානසාර හිමිගෙන් කොමිසම ප්‍රශ්න කළා.

“මේ තමයි වහබිසම්. ඔවුන්ගේ ජීවිත හෝ ඉගැන්වීම් ගැන ප්‍රශ්න කරන්න තහනම්. අපිට ඒ ගැන කතා කරන්න බැහැ. එහෙම වුණාම අපි යක්ෂයො. සහරාන්ලා පුහුණුවුණේ අන්තවාදි ඉගැන්වීම් මත” උන්වහන්සේ පිළිතුරු දෙමින් සඳහන් කළේය.

ඒ අතර නැගෙනහිර පළාත තුළ මේ වන විටත් පුරාවිද්‍යා ස්ථාන 60% ක් පමණ විවිධ පිරිස්වල මෙහෙයවීමෙන් විනාශ කර ඇති බව උන්වහන්සේ කොමිසම හමුවේ පැවසීය.

ඒ අනුව දැනට නැගෙනහිර පළාත තුළ පවතින්නේ පුරාවිද්‍යා ස්ථාන 1089 ක් බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙරට තුළ නිකාබ් සහ බුර්කා පැළදීම තහනම් කළ යුතු බව පැවසු උන්වහන්සේ පුත්තලම ප්‍රදේශයේ හෙදියන් පවා බුර්කා අදින බව පවසමින් එවැනි ඡායාරූප පෙළක්ද කොමිසමට ලබා දුන්නේය.

එහිදී කොමිසම විමසා සිටියේ සහරාන්ගේ ප්‍රහාරය පිළිබදව තොරතුරු ලැබුණත් එය වළක්වා නොගැනිමට වගකිව යුත්තන් කවුද යන්නයි?

ඊට පිළිතුරු දෙමින් ඥානසාර හිමියන් : “නායකයන් නැති වුනත් විනාශයි, නායකයෝ වැඩි වුනත් විනාශයි” දැන් ඔය ප්‍රහාරය වෙන කොට රටේ නායකයෝ වැඩියි. නමුත් වගකියන්න කවුරුත් නැහැ. එකිනෙකාට ඇගිල්ල දිගු කලාට වගකියන්නේ නැහැ. හරිහමන් නායකයෙක් නැතිවුණාම මෙහෙම දේවල් වෙනවා.. , හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිස් ප්‍රහාරයේ වගකීම ගැන තවමත් විවිධ ප්‍රකාශ කිරීම පමණක් සිදුකරමින් ඉන්නවා.”

අනතුරුව, ඉදිරියට මතුව ඇති ජාතික අවදානම කවරේද යන්න කොමිසම ප්‍රශ්න කළේය.

“හෙට දවසේ දී දියසෙන් කුමාරයා ආවත් මේක නවත්තන්න බෑ. අන්තවාදී ඉගැන්වීම් සිදුකරන කල් මේ ගැහැට විදින්න නියමිතයි. මේක පිළිකාවක් වගේ. පිළිකාවක් හැදුනාම හැම තිස්සේම ඒ ගැන සැලකිල්ලෙන් බලන්න ඕනේ. ඉතින් මේකත් හැමතිස්සේම බල බල ඉන්න ඕන. බුද්ධි අංශ හා ආරක්ෂක අංශවල දැඩි අවධානය මගින් මෙය පාලනයක් පමණයි කළ හැක්කේ” යනුවෙන් උන්වහන්සේ ඊට පිළිතුරු ලබා දුන්නේය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබාදුන් සාක්ෂිය හේතුවෙන් ජීවිත තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන ලෙස කොමිෂන් සභාව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (19) පෙරවරුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශයට පැමිණ සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

(03) වව්නතිව් මුරපොලේ පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවි සොයාගත් හැටි පාස්කු කොමිසමේදී අනාවරණ වෙයි

(19.06.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නිකුත් කල සිතාසියක් අනුව ඔහු ප්‍රකාශයක් ලබා දීම සදහා අද (19) පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට පැමිණියා.

මේ අතර, වව්නතිව් පොලිස් මුරපොලේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (02) ඝාතනය කර පැහැරගත් ගිනි අවි දෙක (02) සොයාගත් ආකාරයද අද (19) අනාවරණ වුණා.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම විසින් මීට පෙර නිකුත් කෙරුණු සිතාසියකට අනුව හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා අද (19) එහි විමර්ශන අංශයට පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සදහායි.

පෙරවරු 09:30 ට පමණ එහි විමර්ශන අංශය පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පස්වරු 12:15 ට යාඥා සදහා ඉස්ලාම් දේවස්ථානය වෙත යෑමට අවශය බව සදහන් කර ඉන් පිටව ගියා.

නමුත් ඔහු නැවතත් පස්වරු 2 ට පමණ ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබුණා.

පසුව ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටතට පැමිණි හිටපු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (19) සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ මහතායි.

ඒ වව්නතිවු පොලිස් මුරපොලෙහි 2018 නොවැම්බර් 29 වැනි දින පොලිස් නිලධාරින් දෙදෙනෙකු (02) ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි.

ඔහු සදහන් කලේ තමන් 2019 අප්‍රේල් 26 වනදින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි අවස්ථාවේ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතාගේ උපදෙස් පරිදි කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ගොස් පොලිස් අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු වන “මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ” තම භාරයට ගත් බවයි.

අනතුරුව එදින රාත්‍රී 07:25 ට පමණ එම සැකකරු රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මඩකලපුව ඒකකයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත් බව ඔහු පැවසුවා.

සැකකරු ලබාදුන් තොරතුරු මත නින්දවූර් ප්‍රදේශයට යෑමට සිදුවූ බවත් ඊට සැකකරු විසින්ම මඟ පෙන්වීම සිදුකල බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

කෙසේ වෙතත් නින්දවූර් වෙත යන අතරතුර තමන් අනපේක්ෂිත සිදුවීමකට නින්දවූර්වලට නුදුරින් පිහිටි සෛන්දමර්දු හීදී මුහුණදුන් බව ඔහු සදහන් කළා.

කොමිසම එහිදී විමසුවේ එම අනපේක්ෂිත සිදුවීම කුමක්ද යන්නයි.

“අපට යාමට හැකිවූයේ සෛන්දමර්දු අල් හිලාල් මුස්ලිම් විද්‍යාලය අසලට පමණයි. එම විදුහල අසලින් හමුදා ට්‍රක් රථ යොදා මාර්ගය අවහිර කර තිබුණා. ඒ ස්ථානය යුද පිටියක ස්වරූපයක් ගත්තා. විටින් විට වෙඩි හඩ කීපයක් ඇහුණා. අපිට එතනින් ඉදිරියට යන්න බෑ කියල එතන හිටපු එස් ටී එෆ් නිලදාරීන් කිව්වා” යැයි සාක්ෂිකරු සදහන් කළා.

අනතුරුව තමන් පරිවාරක රථපෙලේ සිටි විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සමග ගොස් ආරක්ෂක මාර්ග බාධකය භාරව කටයුතු කල ප්‍රධානීන් හමුවී තම කාරණාව පවසා විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව සහිතව නින්දවූර් බලා ගමන් කිරීමට අවසර හිමිවූ බව සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කලා.

ඒ අනුව තම අත්ඩංගුවේ සිටි සැකකරු ලබා දුන් තොතුරු අනුව නින්දවූර් මුස්තකින් විදීයේ පිහිටි අංක 214 නිවස වෙත රාත්‍රී 11:15 ට පැමණ පැමිණි බව සාක්ෂිකරු කොමිසමට සදහන් කලා.

එහිදී විශේෂ කාර්‍ය බලකායේ පරීක්ෂා කිරීමවලින් පසු තමන් ඇතුළු පිරිස නිවසට ඇතුල් වූ බව ඔහු සදහන් කලා.

කොමිසම එහිදී විමසුවේ එම නිවස තුලින් සොයාගත හැකිවූයේ මොනවාද යන්නයි.

නිවසේ කුස්සියේ දුම් කවුලුවේ සඟවා තිබූ රිවෝල්වරයක් සොයාගත් බව පැවසූ සාක්ෂිකරු සදහන් කලේ එම රිවෝල්වරය සදහා උණ්ඩ 06 ක් දැමිය හැකි වූවද එහි තිබී හමුවූයේ උණ්ඩ හතරක් (04) පමණක් බවයි.

එම රිවෝල්වරයේ අංකය ඒ.එස්. 3887 ලෙස පැහැදිලිව දැකගත හැකි වූවත් අනෙක් අංකය හදුනාගත නොහැකි ලෙස සූරා තිබූ බවද ඔහු පැවසුවා.

එමෙන්ම එම නිවසේ තිබී ලැප්ටොප් තුනක්, ජංගම දුරකතනයක්, ඇදුම් සහිත පාර්සල් පහක්, අංක 484/3, වේදිය පාර, එඩේරමුල්ල, වත්තල ලිපිනය සදහන් ජල හා විදුලි බිලපත් දෙකක්ල සී ඩී තැටි කිහිපයක්, මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ නම් තමන් සතුව සිටි සැකකරුට අයත් රියදුරු බලපත්‍රයක් සොයාගත් බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා සදහන් කළා.

අනතුරුව පසුදින එනම් 2019 අප්‍රෙල් 27 වැනිදා අලුයම 01:45 ට පමණ එම සැකකරුගෙන් ලද තොරතුරු මත කාත්තන්කුඩිහී සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීම සදහා පිටත්ව ගිය බව සාක්ෂිකරු සදහන් කලා.

ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේදී හම්සා මොහිදීන් මොහොමඩ් ඉම්රාන් සහ අබ්දුල් මනාල් මොහොමදු යන පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව ඔහු පැවසුවා.

සැකකරුවන් තිදෙනාගෙන් කල වැඩිදුර ප්‍රශ්න කිරීම් මගින් තවත් ගිනි අවි තොගයක් මීට පෙර 2019 ජනවාරී 16 වනදා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනු පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ඉඩමේ වලදමා ඇති බව අනාවරණය වූ බව සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කලා.

ඒ අනුව 2019 අප්‍රේල් 27 වන දින තමන් ඇතුලු අපරාධ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්, පුත්තලම විශේෂ කාර්‍ය බලකා කදවුරේ නිලධාරීන් සමග සැකකරුවන් තිදෙනාද (03) රැගෙන පස්වරු 06:05 ට පමණ ලැක්ටෝස්වත්තට ඇතුල් වූ බව ඔහු සදහන් කලා.

ඒ අනුව විශේෂ කාර්‍ය බලකායේ සෙබලුන් විසින් එම ස්ථනයේ කැණීම් සිදු කල අතර එහිදී ඉතා සූක්ෂම ලෙස වලදමා තිබූ කලු පැහැති බැරල් මූඩියක් මතූවූ බවත් අනතුරුව මීට පෙර ලැක්ටෝස්වත්තෙන් හමුවූ විශාල නිල් පැහැති අකාරයේම බැරලයක් ගොඩ ගත්බව සාක්ෂිකරු සදහන් කලා.

එහි තිබී ගිනි අවි කිහිපයක් හා උණ්ඩ ඇතුළු උපකරණ හමුවූ බවයි ඔහු පැවසුවේ.

කොමිසම එහිදී විමසුවේ නින්දවූර් නිවසෙන් සහ ලැක්ටෝස්වත්තෙන් සොයා ගත් ගිනි අවි අතර වවුනතිව් පොලිස් ස්ථානයට අයත් ගිනි අවි තිබුණේද යන්නයි.

එහිදී ඔව් ලෙස පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ වවුනතිව් පොලිස් මුරපලේදී ඝාතනය වූ නිලදාරීන් දෙදෙනාට අයත්ව තිබූ ඒ.එස්. 3887 සහ ඒ.එස් 3826 ගිනි අවි දෙක එලෙස සොයාගත් බවයි.

+++++++++++++++++++++++++++++++++++

(04) හිටපු ඇමති බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයකයින් සමග ඍජු සබඳතා පැවැත් වු බව තහවුරුයි – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න

(19.06.2020 – 12:51 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

‘දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව හෙළිකළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන් මොහොමඩ් රියාජ් මේ වන විට රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටී.

මොහු බෝම්බකරුවන් ප්‍රවාහනයට ආධාර සහ අනුබල දුන් බවට ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ , මොහොමඩ් රියාජ් පාස්කු පාස්කු ප්‍රහාරය සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවයි.

ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශන සිදු කරන බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉතා ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි වනු ඇතැයි ද පැවසීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව පවසමින් බදියුදීන් මොහොමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ඊයේ (18) ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලීසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, මෙවැනි ඉල්ලීමක් කිරීමට මෙරට නීතිය අනුව අයිතිවාසිකමක් ඇති බවයි.

එම අයිතිවාසිකම පිළිගන්නා බවද පැවසු ඒ මහතා, සෑම විටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ මෙරට ඇති නෛතික ප්‍රතිපාදන අනුව බවද පැවසීය.

ඒ නිසාවෙන් යම් අභියෝගයක් ඇත්නම් ඒ සඳහා නොබියම මුහුණ දෙන බවද ඒ මහතා කියා සිටියේය.

***************************************

(05) එල්ලවූ දේශපාලන පීඩාවක් ගැන එමිල් රන්ජන් ළමාහේවාගෙන් අනාවරණයක්

(19.06.2020 – 14:28 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොකිරිම හේතුවෙන් දේශපාලන වශයෙන් තමන්ට පීඩා එල්ල වූ බව හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් ළමාහේවා මහතා අනාවරණයක් සිදු කළා.

ඒ දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

***************************************

(06) සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රේගුවෙන් දුන් රත්තරන් ගැන ජනපති කොමිසමේ දී අනාවරණයක්

(19.06.2020 – 18:10 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර සඳ හිරු සෑයේ තැන්පත් කිරිමට රේගුවෙන් ලබා දුන් රත්‍රං තොගය හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට ලබා දුන් බව පවසන්නැයි විමර්ශන නිලධාරීන් තමාට දෙවරක් බලපෑම් සිදු කළ බව විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන තාරක සෙනෙවිරත්න මහතා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.

යහපාලන රජ‍ය සමයේ දේශපාලන පිළිගැනිම් සිදු වූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තාරක සෙනෙවිරත්න මහතා සිදු කළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේ ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව පළමු ප්‍රකාශය තමාගෙන් 2016 වසරේ ලබා ගත් අතර එය සාර්ථක නැති බව පවසමින් නීතිපතිවරයාගේ උපදෙස් මත තවත් ප්‍රකාශයක් ගන්නා බව පවසා දෙවන කට උත්තරය 2019 වසරේ තමා රෝහල් ගතව සිටියදී ලබා ගත් බව සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නීතිපතිවරයා සකස් කර දී තිබු ප්‍රශ්න 21ක් ලබා දී “දැන්වත් පිළිගන්න ගෝඨාභය කියු නිසා රන් ලබා දුන් බවට”යැයි තමාට විමර්ශන නිලධාරියා දැඩි ලෙස කියා සිටි බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් සඳ හිරු සෑයට සමාධි බුද්ධ ප්‍රතිමාවක් හැදීමේ ඉල්ලීම ලැබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බව විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් තාරක සෙනෙවිරත්න එහිදී සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් තමා ව්‍යාජ නඩුවකට සම්බන්ධ කර ඇති බව එහිදී පැවසූ තාරක සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති තමා, රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් මානසික පීඩනයකට පත් කළ බවය ෴

***************************************

(07) මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශන අරඹයි

(19.06.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අනුවයි ෴

***************************************

(08) සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ නිවසින් ගිනි අවි සහ උණ්ඩ හමුවෙයි – සැකකරුගේ මව අත්අඩංගුවට

(19.06.2020 – 18:34 +0530 – hirunews.lk/sinhala)

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ලක්ෂිත නම් සැකකරුගේ නිවස අසල සඟවා තිබූ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොරටුමුල්ල ඉඳිබැද්ද ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ කසල ජලය රැස්වන වලක සඟවා තිබියදීයි ගල්කිස්ස පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඒවා සොයාගෙන ඇත්තේ.

ටී 56 උණ්ඩ භාවිත කළ හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ප්ලාසිටික් පිස්තෝලයක් 9mm, ටී56 ජීව උණ්ඩ කිහිපයක් සහ ටී 56 හිස් පතොරම් කොපු කිහිපයක් මෙහිදී හමුවී තිබෙනවා.

සැකකරුගේ මව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

***************************************

(09) උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන්නැයි අගමැතිගෙන් කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස්

(19.06.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන්නැයි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි පරිදි සිදු නොවන බවට ලැබුණු පැමිණිලි මත එම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද (19) සහභාගි වූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කළේ.

එහිදී අධිවේගී මාර්ගයේ මීරිගම සිට රිලෝළුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කර තිබෙනවා.

ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයට දීර්ඝ පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ සිටියේ මංතීරු හතරක් (04) හා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හයක් (06) සහිතව ඉදිකිරීම් ඇරඹුණ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා මාස 30 ක කොන්ත්‍රාත් කාලයක් ලබාදී ඇති බවයි.

නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් ලබාදීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බව සහ පැකේජ හතරක් (04) යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් දෙවැනි අදියරට අයත් වන අතර දේශීය ඉදිකිරිම් සමාගම් සදහායි මෙම කොටසේ ඉදිකිරීම් භාරදි ඇත්තේ.

ගිවිසුම්වලට අනුව නියමිත කාලයට මධ්‍යම අධීවේගී මාර්ගයේ ඉදිකිරිම් සිදුව නොමැති බව ද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඇතැම් ඉදිකිරීම් සමාගම් අත්තිකාරම් මුදලට අදාලව හෝ ඉදිකිරිම් අවසන් කර නොමැති අතර දිගින් දිගටම හේතු දක්වමින් ඉදිකිරීම් අවසන් කිරීමේ කාලය දීර්ඝකර ගැනීමට පියවර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

රිලෝළුව සිට රංගල්ලෙපොල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 69 ක් වන අතර එම කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා එම කොටසේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගමේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් ඉදිකිරීම් සමාගම් සිය ඉදිකිරීම් අවසන් කිරිමට ආසන්න වුවත්, ඇතැම් සමාගම්වල මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගත වන බවයි ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මාස 30 ක කොන්ත්‍රාත්තුවක් ලෙස ආරම්භවූ මෙම අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලසුම් අනුව නියමිත පරිදි අවසන් වූයේ නම් 2019 ජුලි මාසය වන විට මෙම අධීවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට හැකියාව තිබුණු බව ද ඔහු අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කර තිබෙනවා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළකළා :

“ඇතැම් සමාගම් වල වැඩ දුර්වලයි. ඇතැම් සමාගම් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැතුව බංකො‍ළොත් කරපු නිසා ඇතැම් සමාගම්වල ඉදිකිරීම් කටයුතු නැවතිලා තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපෘති වලට අදාළ මුදල් අපි ලබාදුන් පසුව නැවතත් එම සමාගම් වැඩ ටික පටන් ගනියි. ඒ සම්බන්ධයෙන් අපි කඩිනම් පියවර ගන්නවා. මේ හැම ව්‍යාපෘතියක්ම මම මුල්ගල තියලා ආරම්භ කළේ. පසුගිය ආණ්ඩුවෙන් මේ ව්‍යාපෘතියේ වැඩ පටන් ගත්තා .නමුත් අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙනකොට අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල වැඩ අවසන් කරලා ජනතා අයිතියටත් පත් කරලා. පුළුවන් තරම් ඉක්මණින් මෙහි වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න අපි කටයුතු කරනවා.”

***************************************

(10) අලි – මිනිස් ගැටුමට පරිසරහිතකාමී විසඳුමක් සොයන ගම්වැසියන්

(19.06.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

අද වනවිට අලි – මිනිස් ගැටුම මෙරට සමාජ පිළිලයක් තරමට ව්‍යාප්ත වී අවසන්.

මේ සඳහා කලින් කලට විවිධ පැලැස්තර විසඳුම් යෝජනා කෙරුණ ද ඒ කිසිවකින් යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමට මෙතෙක් නොහැකිවීම කනගාටුවට කරුණක්.

මේ අලි – මිනිස් ගැටුමට පරිසරහිතකාමී විසඳුමක් සොයන විල්ගමුව ගම්වැසියන්ගේ කතාවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *