සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි (විඩියෝ)

02 • මාස 08 කට පෙර යැවු සහරාන්ට සම්බන්ධ ලිපි ගොනු හතරක් (04) නීතිපතියේ ගල් වෙයි

03 • මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා ඉඩම් මැනීම වැළැක්වීමේ දේශපාලන ව්‍යාපාරයක නිරුවත හෙළිවෙයි (විඩියෝ)

04 • පොතුවිල් ජනතාව උසිගැන්වූයේ රිෂාඩ්ගේ ගෝලයෙක්

05 • 1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි (විඩියෝ)

06 • ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

07 • මද්‍රසා පාසලකට මුදල් එකතු කළ සැක කටයුතු මවුලවිවරු තිදෙනා රිමාන්ඩ්

08 • මුහමාලේ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

09 • ලංකාවේ කුඩු පසුපස සිටින චරිත මෙන්න (විඩියෝ)

10 • රට භීතියට පත් කරන පාතාල කල්ලි ගණන 26 ක් – පොලිසිය සොයා ගත් නම් ගම් සහිත තොරතුරු මෙන්න

11 • පෝස්ටර් – කටවුට් ගැහුවොත් වෙන දේ (විඩියෝ)

12 • දින 65 කට පසු කිසිදු ආසාදිතයෙක් ඊයේ (20) වාර්තා වී නැහැ

13 • ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සෞඛ්‍ය නිලධාරියෙකු පත් කිරීමට සැලැස්මක් (විඩියෝ)

14 • රැදවියන්ට ජංගම දුරකථන ලබාදුන් නියාමකවරුන් දෙදෙනෙකුගේ (02) වැඩ තහනම්

15 • අලි – මිනිස් ගැටුම අවම කිරීමේ තවත් පියවරක් (විඩියෝ)

16 • කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි

17 • රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ පැදවූ මෝටර් රථයේ ගැටී මවක හා දියණියකට තුවාල

+++++++++++++++++++++++++++++++++++

(01) සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි

(20.06.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හසීම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ එම සිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශවලට අනුවයි.

එම ප්‍රකාශ ඇතුළත් විශේෂ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉකුත් වසරේ පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහි සඳහන් වූයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් විමර්ශන සිදුකරනු ලබන නීතීඥ හිජාස් ඕමර් හිස්බුල්ලා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි.

මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව නීතීඥ හිජාස් ඕමර් නැමැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ජංගම දුරකථන අංක 7 ක් සහ ඒවා භාවිත කර තිබූ ජංගම දුරකථන 9 ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

එම දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් සැක සහිත දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් අනාවරණවන කරුණු අනුව දීර්ඝ විමර්ශනයක් පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

මෙම නීතීඥවරයා විසින් සාමාජිකත්වය හා සභාපතිත්වය දැරූ ‘සේව්ද පර්ල් සොසයිටි’ නැමති සංවිධානය මගින් පුත්තලම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට යොමුකර තිබූ ළමුන් 24 දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

ඉන් ළමුන් 10 දෙනෙකු හෙළිකර ඇත්තේ නීතීඥ හිජාස් මද්‍රසා පාසලට පැමිණ අන්‍ය ජාතීන් හා ආගමිකයන් කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයේ දේශණ පවත්වා පුහුණුවීම් සිදුකර ඇති බවටයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් කාසිම්, මොහොමඩ් සහරාන්, ඉල්හාම් මොහොමඩ් ඊබ්‍රහිම් සහ මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නවුෆර් යන අය පාසලට පැමිණ පැය එක හමාරක පමණ කාලයක් වීඩියෝවක් පෙන්වූ බවත් එම වීඩියෝව මගින් ගුවන් හමුදාවෙන් පැමිණ බෝම්බ ගසන ආකාරය සහ මියගිය පුද්ගලයන් වැටී සිටි ආකාරය පෙන්වා සිටි බවද එක් සිසුවෙකු ලබාදුන් ප්‍රකාශවල සඳහන්වනවා.

තවත් සිසුවෙකු ලබාදුන් ප්‍රකාශවල සඳහන්ව ඇත්තේ හිස්බුල්ලා නම් නීතිඥවරයා පැමිණ දේශනයක් පවත්වා ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් ඊශ්‍රායලය හා පලස්තීනයේ යුද්ධයට සම්බන්ධ වීඩියෝවක් පෙන්වූ බවයි.

ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි පිරිස් අල්ලාගෙන සිටින්නේ තමන්ගේ පල්ලි බවත්, ලංකාවේ කතෝලික අයට ප්‍රහාර එල්ල කළ හොත් ඒ අය බියවනු ඇති බවත් නීතීඥ හිජාස් හිස්බුල්ලා පැවසූ බව සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සඳහන්වනවා.

අදාළ සිසුවා ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2018 දෙසැම්බර් මාසයේදී නසීර් නවුෆර් නැමැත්තෙකු පැමිණ තවත් දේශනයක් පැවැත්වූ බවයි.

එහිදී පරිගණකයෙන් තැනූ රොබෝවරයෙකු මරා දමන ලෙස ඔහු පැවසූ බවට ද සිසුවෙකු ප්‍රකාශ ලබාදී තිබුණා.

මිනිස් රූප දෙකක් ගෙන එක් අයෙකු මැරුණහොත් අනෙක් පුද්ගලයා ඉතිරිවන බව කියා ඊශ්‍රායලයේ ඉගැන්වීම් සිදුකර තිබෙන බවද ළමුන් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

වැඩිදුරටත් එම ප්‍රකාශවල දැක්වෙන්නේ අපේ ආගම කතෝලික අයගෙන් බේරාගත යුතු බවත්, කතෝලික ආගමට විරුද්ධව අපි වැඩ කළ යුතු බවත් අදාළ පුද්ගලයා ප්‍රකාශ කළ බවයි.

එම සිසුවා වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 ජනවාරි මාසයේ දිනක පාස්කු ප්‍රහාරය සිදුකල සහරාන් හසීම් සුදු පැහැති KDH වර්ගයේ වෑන් රථයකින් පාසලට පැමිණ දේශණ පැවැත්වූ බවයි.

එහිදී ආගම වෙනුවෙන් පණ දිය යුතු බව සහරාන් පැවසූ බවත්, ආගම බේරාගැනීම සඳහා සටන් කිරීමට ධෛර්ය තිබෙන්නේ කාටදැයි විමසා සිටි බවයි.

එහිදී ඇතැම් සිසුන් සටන් කිරීමට කැමැත්ත පළ කළ බවත් ඔවුන් පමණක් රැඳි සිට අනෙක් සිසුන්ට ඉන් ඉවත්වන ලෙස විදුහල්පතිවරයා පැවසූ බව එම සිසුවා ප්‍රකාශ කර තිබෙනවා.

සහරාන් හෂීම්ගේ සොහොයුරෙකුවන මොහොමඩ් රිල්වාන් නැමැත්තා තුවක්කුවක් ගලවා වෙඩි තබන ආකාරය පෙන්වූ බවද සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සඳහන්.

එලෙස පාසල් ළමුන්ට ගිනි අවි නැරඹීමට ලබාදුන් අවස්ථාවේ විදුහලේ විදුහල්පතිවරයාද සිට තිබෙනවා.

එමෙන්ම අරාබි ජාතික පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ ළමුන්ට රුපියල් 3000 බැගින් මුදල් පරිත්‍යාගයක්ද සිදුකර ඇති අතර එම අවස්ථාවේ විදුහල්පතිවරයාටද අරාබි මුදල් මිටියක් ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිසුවෙකු ලබාදුන් ප්‍රකාශයක සදහන්.

මෙම සිසුන් ලබාදුන් ප්‍රකාශ අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන සහරාන් හෂීම්ට අමතරව ඉල්හාම් මොහොමඩ්, මොහොමඩ් ඊබ්‍රහිම්, මොහොමඩ් ජෙෆ්රි ෆාතිමා, නීතීඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් සහ තවත් පිරිසක් වරින්වර මද්‍රසා පාසල්වලට පැමිණ වැඩමුළු හා දේශන පවත්වා ඇති බවට කරුණු හෙළිව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

(02) මාස 08 කට පෙර යැවු සහරාන්ට සම්බන්ධ ලිපි ගොනු හතරක් (04) නීතිපතියේ ගල් වෙයි

(21.06.2020 – aruna.lk)

මහත් ආන්දෝලනයකට තුඩු දුන් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු (02) ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම, මාවනැල්ලේ බුදුපිළිම කැඩීම, මාවනැල්ලේ තස්ලිම්ට වෙඩි තැබීම හා වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම යන සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයේ කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු නඩු පැවරීමට යොමු කර මාස අටකට (08) ආසන්න කාලයක් ගතව ඇතත් එය සිදු නොවී ඇති බව වාර්තා වේ.

2018 නොවැම්බර් 30 වැනි දින මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු (02) ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම, 2018 දෙසැම්බර් 22 දින මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම හයට (06) පහරදීම, අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමේ වරදට රාසික් මොහොමඩ් තස්ලිම්ට 2018 මාර්තු 09 දින වෙඩි තැබීමේ සිද්ධිය, 2019 ජනවාරි 18 දින වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවීම යන සිද්ධි හතරට (04) අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අධ්‍යයනය කර ත්‍රස්තවාදි පනත යටතේ නඩු ගොනු කිරීම සඳහා පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි ෴

***************************************

(03) මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා ඉඩම් මැනීම වැළැක්වීමේ දේශපාලන ව්‍යාපාරයක නිරුවත හෙළිවෙයි

(20.06.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් මුහුදු මහා විහාරය සතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීම් කටයුතු වැළැක්වීමේ කූට දේශපාලන ව්‍යාපාරයක නිරුවත අද (20) හෙළිවුණා.

ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයෙකු ඇතුලු පිරිසකගේ හැසිරීමත් සමඟයි.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය සාමාන්‍ය ජනතාව උසිගන්වමින් තම දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සහ දැරීමේ එම ක්‍රියාදාමය පිළිබඳවයි.

+++++++++++++++++++++

(04) පොතුවිල් ජනතාව උසිගැන්වූයේ රිෂාඩ්ගේ ගෝලයෙක්

(22.06.2020 – mawbima.lk)

පොතුවිල් මුහුදු මහ විහාරය සතු ඉඩම්වල මැනුම් කටයුතු බලහත්කාරයෙන් වැළැක්වීමට තැත් කිරීම පිටුපස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන දිගාමඬුල්ල අපේක්ෂකයකු වන මුෂාරෆ් මුදුනබීන් සිටින බව අනාවරණය වී තිබේ.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන බලය යොදා ගනිමින් දීර්ඝ කාලයක් පුරා එම පුද්ගලයා ඓතිහාසික වටිනාකමක් ඇති ඉඩම් බලහත්කාරයෙන් පවරාදීමට සහ නීත්‍යනුකූල පදනමකින් යුතුව සිදුකරන ඉඩම්වල මැනීම් කටයුතුවලට දිගින් දිගටම සංවිධානාත්මක කල්ලි, කණ්ඩායම් යොදාගෙන බාධා එල්ල කිරීමක් පසුගියදා වාර්තා විය.

එහිදී පොතුවිල් මුහුදු මහ විහාරයේ ඉඩම් හඳුනාගැනීමට සහ මැනුම් කටයුතු කිරීමට එම පරිශ්‍රයට ගිය රජයේ නිලධාරීන්ට දැඩි බාධා එල්ල කරමින් එම තත්ත්වය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් සමඟද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ අපේක්ෂකයා ඇතුළු පිරිස ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගත්හ.

මෙහිදී එම පිරිස පාලනය කිරීමට පැමිණි පොලිස් කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියා පවතින තත්ත්වය පැහැදිලි කරමින් අදහස් දැක්වීමේදී පෙර කී පුද්ගලයා දැඩි ආවේගශීලීව කතා කරමින් තර්ජනාත්මකව හැසිරෙන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවැසීය.

එහිදී බහින් බස් වීම් ඇති වූයේ මෙලෙසිනි :

පොලිස් නිලධාරියා :- ඔබ ඡන්දය ඉල්ලන කෙනෙක්. අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර රජයේ උපදෙස් මත නීත්‍යනුකූලව රාජකාරි කරන නිලධාරීන්ට රාජකාරි කරන්න ඉඩදීලා කරුණාකර මේ ස්ථානයෙන් පිටවෙලා යන්න. මෙතැන කාටවත් ආසාධාරණයක් කරන්න නෙවේ උත්සාහ කරන්නේ. පුරාවිද්‍යා වටිනාකම් තියෙන ඉඩම් තියෙනවාද කියා සොයා බලා ඒවායේ මැනුම් කටයුතු නිසි පරිදි කරන්නැයි මේ උත්සාහ ගන්නේ. ඔබ බාධා කරනවා නම් අපි දණ්ඩ නීති සංග්‍රහයේ 348 වැනි වගන්තිය අනුව කටයුතු කරනවා.

මැතිවරණ අපේක්ෂකයා :- ඔයා නිකන් ඉන්න. මේවා අපේ ඉඩම්. මේවාගේ එහෙම ඔයාලට මොකුත් කරන්න බෑ.

පොලිස් නිලධාරියා :- ඔයා කොහොමද මට නිකන් ඉන්න කියන්නේ. අපි වැඩ කරන්නේ රජයේ තීරණයට. රටේ නීතියට අනුවයි.

පවතින නීතිමය තත්ත්වය මත රජයේ උපදෙස් මත සිදුකරන මැනුම් කටයුතුවලදී පෙර කී අපේක්ෂකයා ඇතුළු පිරිසක් ජනතාව නොමඟ යවමින් මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඉන් අනතුරුව ඔවුන් තවත් විශාල පිරිසක් රැගෙන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් පවත්වා බලහත්කාරයෙන් විශාල පිරිසක් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට කඩා වැදී තිබේ.

පවතින සෞඛ්‍යාරක්ෂිත නීතිරීති මත රට තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර ඇති පසුබිමක සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ හෝ පැලඳ නොසිටි මෙම පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති අතර එහිදීද තත්ත්වය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට එම අපේක්ෂකයා නැවතත් බාධා එල්ල කරමින් “කිසිම වචනයක් කතා කරන්න එපා. මේ ඉඩම් මැනිල්ල වහාම නතර කරන්න. අපි කොහෙත්ම ඉඩදෙන්නේ නෑ මේ ඉඩම් මනින්න. අධිකරණ නියෝග දුන්නත් අපිට කමක් නෑ. පුළුවන් නම් අත්අඩංගුවට අරගන්නකෝ. ඔයා කවුද අපිට කතා කරන්න” යැයි දැඩි ස්වරයෙන් තර්ජනය කිරීමක් සිදුකළ අයුරුද දක්නට ලැබිණි.

රජය මඟින් මෙම ඉඩම් මැනීමට පටන් ගත් අතර මෙම ඉඩම් මැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එයට ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය සමඟ උණුසුම් තත්ත්වයක් උදාවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පසුගියදා පොතුවිල් මුහුදු මහ විහාර භූමි ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව දුන් උපදෙස් මත මෙම මැනීම් කටයුතු ආරම්භ කර තිබේ.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කිරීමේදී ජනතාව උසිගන්වමින් අපේක්ෂකයා පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කරමින් අවස්ථා කිහිපයකදීම පොතුවිල් පොලිස් ස්ථානාධිපති නිශාන්ත කුමාරසිරි මහතා සමඟ සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා සමඟ උණුසුම් වචන හුවමාරුවක්ද සිදුකරගනු ලැබීය.

පසුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදා යොදා ගනිමින් අක්කර 72 ක භූමිය මැනීමේ කටයුතු කරනු ලැබීය.

පොතුවිල් මුහුදු මහ විහාරයට 1952 වසරේ පුරාවිද්‍යා මහ කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විසින් අක්කර 72 ක් වෙන් කළ අතර 1962 වසරේදී එය අක්කර 30 දක්වා අඩුකර මැනීම් කටයුතු කර තිබේ. පසුකාලීනව මෙම අක්කර 30 භූමිය තුළ පුද්ගලයන් 39 දෙනකුට ඔප්පු ලබාදීමට කටයුතු කර ඇති බව මුහුදු මහ විහාරාධිපති නැඟෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වරකාපොළ ඉන්දසාර හිමියෝ පැවසූහ. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම නිසා මුහුදු මහ විහාරයේ ඉඩම් අක්කර 72 මැනීම් කටයුතු අවසන් කිරීමට හැකි වූ බවද උන්වහන්සේ සඳහන් කළේය. ආරක්ෂක බළකාය මැදිහත් නොවුණා නම් මෙම ඉඩම් මැනීමට කිසිදා නොහැකි වන බවද උන්වහන්සේ කීහ.

ඉඩම් අක්කර 72 බෙදීමෙන් පසුව එහි සිටින පිරිස එළවා දැමීමට කිසිසේත් කටයුතු නොකරන අතර මීළඟ පියවර වශයෙන් පුරාවිද්‍යා කැණීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය. නිවාස ඉදිකර ඇති ස්ථානවල පුරා විද්‍යා සාධක හමුවුණොත් එම පිරිසට සාධාරණයක් ඉටු කිරීමට රජය කටයුතු කරන බව පැවැසීය. ඒ නිසා මෙම අවස්ථාවේ කුපිත නොවී කටයුතු කිරීමට සමස්ත මුස්ලිම් ජනතාව කටයුතු කළ යුතු අතර මෙම ගැටලුව ඉතා සාමකාමීව විසඳා ගැනීමට හැකි බවද උන්වහන්සේ කීහ.

මෙම ගැටුම්කාරී අවස්ථාවේ එය සමථයකට පත්කිරීම සඳහා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා කටයුතු කළේය.

පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ වුවද පොතුවිල් මුහුදු මහ විහාරයේ ඉඩම් මැනුම් කටයුතු සියල්ල මේ වන විට සිදුකර අවසන් බවත් මෙම ඉඩම් සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණවලදී පවතින නීතිමය රාමුවට පිටින් ගොස් ඉහත කී අපේක්ෂකයා හෝ කිසියම් පිරිසක් කටයුතු කිරීමට උත්සාහ ගතහොත් අධිකරණ නියෝග මත වහාම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් ‘මව්බිම’ කළ විමසීමකදී නැඟෙනහිර පළාත් උසස් පොලිස් නිලධාරියකු පැවැසීය ෴

+++++++++++++++++++++++++++++++++++

(05) 1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

(22.06.2020 – colombotoday.com)

1959 දී ප්‍රථම වරට තමන් වහන්සේ මුහුදු මහා විහාරය වෙත යන විට අක්කර 75 ක 80 ක පමණ ප්‍රමාණයක පුරාවිද්‍යා නටබුන් විසිරි තිබුන බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කර සිටිනවා.

Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඒ හිමියෝ වැඩිදුරටත් දැක්වූ අදහස් :

***************************************

(06) ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

(21.06.2020 – todaycolombo)

ජේසුස් වහන්සේ මුස්ලිම් ජාතිකයෙක් යැයි සඳහන් කරමින් සහ ඉස්ලාම් ආගම ප්‍රචාරය කරමින් ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසරන මුස්ලිම් කල්ලියක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය දා ක්‍රියා කර සිටියා.

Street Dawah Sri Lanka යන තේමාව යටතේ IIRF (Islamic Information and Research Foundation) නමැති සංවිධානයක මෙහෙයවීම යටතේ මෙම ආගම් ප්‍රචාරය කිරීම සිදු කර ඇති අතර මෙම වසරේ මුලදී IIRF සමුළුවක ප්‍රධාන ආරාධිතය ලෙස ශ්‍රී ලංකා පොදු ජින පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොඩ් ඇලි සබ්‍බිරියා සහබාගි වී තිබුනා.

***************************************

(07) මද්‍රසා පාසලකට මුදල් එකතු කළ සැක කටයුතු මවුලවිවරු තිදෙනා රිමාන්ඩ්

(22.06.2020 – mawbima.lk)

පුත්තලමේ මද්‍රසා පාසලකට බව පවසමින් මීගමුව නගරයේ මුදල් ආධාර එකතු කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් මවුලවිවරුන් බව කියන තරුණයන් තිදෙනකු මේ මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

පුත්තලමේ රත්මල්යාය ප්‍රදේශයේ මද්‍රසා පාසලක් සඳහා බව පවසමින් මුදල් ආධාර එකතු කරමින් සිටියදී මීගමුව පොලිසියේ නගර ආරක්ෂක මුරපොළේ ස්ථානාධිපති කොනේස්වරන් මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් ස්ථානාධිපති උදය කුමාර වුල්ටර් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයනාත් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මොවුන් සන්තකයේ තිබී රුපියල් 65,000 ක්, රුපියල් 250,000 ක් වටිනා චෙක්පත් සහ මුදල් බැංකුගත කළ රිසිට්පත් ද අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නඩු කටයුතු මෙහෙයවන නවරත්න බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය ෴

***************************************

(08) මුහමාලේ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

(21.06.2020 – 07:41 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි – මුහමාලේ ප්‍රදේශයේදී නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමක් වැටලීමට යුද හමුදාව ගොස් ඇති අතර, එහිදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට පත්වුණා.

පසුව ඉන් එක් පුද්ගලයෙකු යතුරුපැදියකින් පලායාමට උත්සාහ දරා තිබෙනවා.

එම ස්ථානයේ සිටි එක් හමුදා නිලධාරියෙකුට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා යතුරුපැදියට නැගී පලායාමට උත්සාහ කිරීමේදී තවත් එක් හමුදා නිලධාරියෙකු මෙම යතුරුපැදිය නැවැත්වීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව, පලායාමට උත්සාහ කළ පුද්ගලයා යතුරුපැදිය සමග එය නැවැත්වීමට ගිය හමුදා නිලධාරියාගේ සිරුර මතට ඇද වැටී තිබෙනවා.

එම පුද්ගලයා හමුදා නිලධාරියාගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති අතර, එහිදී තවත් හමුදා නිලධාරියෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ සැකකරු යාපනය – පලෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(09) ලංකාවේ කුඩු පසුපස සිටින චරිත මෙන්න

(21.06.2020 – 01:28 +0530 – truenews.lk)

මත්ද්‍රව්‍ය වැළක්වීමට නොහැකිවී ඇත්තේ පොලිසිය සහ දේශපාලන චරිත නිසා බව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මුදලාලි දරුවන්ගේ පූර්වාදර්ශ චරිතයක් වී ඇති බවයි.

පොලිසියේ ස්ථානාධිපතිවරයා ද මීට වගකිවයුතු බවයි හිටපු නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධ ප්‍රකාශය :

+++++++++++++++++++++++++++++++++++

(10) රට භීතියට පත් කරන පාතාල කල්ලි ගණන 26 ක් – පොලිසිය සොයා ගත් නම් ගම් සහිත තොරතුරු මෙන්න

(21.06.2020 – 16:05 +0530 – truenews.lk)

හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම පාතාල කණ්ඩායම් අතරින් 20 ක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය තත්ත්වයේ පවතින අතර දකුණු පළාතේ ප‍්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගෙන පාතාල කණ්ඩායම් 6 ක් ක‍්‍රියාත්මක වන බව ද හෙළි වී තිබුණා.

මෙම පාතාල කණ්ඩායම් බහුතරයක නායකයන් ලෙස කටයුතු කරන අපරාධකාරයන් විදේශගතව සිටින අතර තවත් පිරිසක් පාතාල කල්ලි මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිට බව ද වාර්තා වනවා.

බස්නාහිර පළාත කේන්‍ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් මෙසේයි :

  1. දෙමටගොඩ චමින්ද සහ ඔහුගේ සොහොයුරු මෙහෙයවන පාතාල කල්ලිය දෙමටගොඩ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙන සක‍්‍රීය තත්ත්වයෙන් සිටියි. දෙමටගොඩ චමින්ද බන්ධනාගාරගතව සිට සිය කල්ලිය මෙහෙයවනු ලබන බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
  2. බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවන කල්ලිය කොටහේන බ්ලූමෙන්ඩල් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි. සංඛ විදේශගතව සිට සිය කල්ලිය මෙහෙයවයි.
  3. අංගොඩ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් අංගොඩ ලොක්කා මෙහෙයවන කල්ලිය ක‍්‍රියාත්මක වෙයි. අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යයේ සිට සිය කල්ලිය මෙහෙයවයි.
  4. පස්පොඩ්ඩා මෙහෙයවන පාතාල කල්ලිය ගම්පහ ප‍්‍රදේශය තුළ ක‍්‍රියාත්මක වෙයි.
  5. කඩුවෙල ප‍්‍රදේශයේ සක‍්‍රීයව පවතින පාතාල කල්ලිය මෙහෙයවන්නේ ඌරුජුවා නමැති අපරාධකරු විසින්ය. ඌරුජුවා සිය කල්ලිය මෙහෙයවන්නේ බූස්ස බන්ධනාගාරයේ සිටය.
  6. දූනගහ සුජී මෙහෙයවන කල්ලිය දිවුලපිටිය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි.
  7. බැරල් සංඛ නමැති අපරාධකරු පෑලියගොඩ ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගෙන සිටියි.
  8. ගොනාකෝවිලේ අංජු ඉතාලියේ සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි.
  9. ගොනාකෝවිලේ රොහා මෙහෙයවන කල්ලිය මොරටුව, රත්මලාන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙයි.
  10. කොටහේන මෝදර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගත් පාතාල කල්ලියට නායකත්වය දෙන්නේ පූකුඩුකන්නා සහ කෙනඩි නොහොත් බුම්මා විසින් ය.
  11. මෝදර ප‍්‍රදේශය සිය පාතාල බලකොටුව කරගත් වැල්ලෙ සුරංග සිය කල්ලිය මෙහෙයවයි.
  12. කොටහේන ජම්පටාවීදිය සිය රජදහන කරගත් පාතාල සෙල්ලි ගේ පුතුන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් පාතාල කල්ලියක් මෙහෙයවයි.
  13. මාලිගාවත්ත පාතාල රාජධානියට නායකත්වය දෙන්නේ දැනට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් ය.
  14. වනාතමුල්ල ප‍්‍රදේශයේ බිම්සර නමැති අපරාධකරු ක‍්‍රියාත්මක වෙයි.
  15. මට්ටක්කුලියේ කුඩු රොෂාන් ද මෝදර ප‍්‍රදේශයේ පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරයි.
  16. ගනේමුල්ලේ සංජීව ගම්පහ ගණේමුල්ල ප‍්‍රදේශය පුරා සිය පාතාල බලය ක‍්‍රියාත්මක කරගෙන සිටියි
  17. කඩුවෙල ‘ඉන්‍ද්‍රා’ නමැත්තා ද හංවැල්ල. කඩුවෙල, රණාල, බෝමිරිය ප‍්‍රදේශවල පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියි.
  18. කෙසෙල්වත්ත ඩිනුක ඩුබායි හි සිට සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාල කණ්ඩායම් 6 ක් මෙසේයි :

  1. කොස්ගොඩ තාරක බන්ධනාගාරගතව සිට ගාල්ල, රත්ගම, කොස්ගොඩ ප‍්‍රදේශවල සිය පාතාල කල්ලිය මෙහෙයවයි.
  2. මාකඳුරේ මධුෂ් ගේ කල්ලිය මාතර, කඹුරුපිටිය, මාකඳුර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක වන අතර, එම කල්ලිය මාතර ඩිල්ෂාන්, හරක්කටා යන පාතාල සාමාජිකයන් විසින් මේ වන විට මෙහෙයවයි.
  3. මිදිගම චින්තක ගේ කල්ලිය ද දකුණු පළාතේ ක‍්‍රියාත්මක වන තවත් පාතාල කල්ලියකි.
  4. රත්ගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආමි අමිල නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය ක‍්‍රියාත්මක වෙයි.
  5. තංගල්ල ප‍්‍රදේශය සිය පාතාල රජදහන කරගත් නේවි රුවන් පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක කරගෙන යන බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

***************************************

(11) පෝස්ටර් – කටවුට් ගැහුවොත් වෙන දේ

(20.06.2020 – 20:46 +0530 – sinhala.adaderana.lk)

පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් අදත් (20) දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.

විශේෂ පෙරහුරු මැතිවරණ අද (20) පැවැත්වුණේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමසිංහපුර ප්‍රජා ශාලාවේදී සහ දෙමටගොඩ සාම විහාරයේදීයි.

මෙම පෙරහුරු මැතිවරණවල අරමුණ වන්නේ, සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද භාවිතය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගත වන කාලය පිළිබඳව අදහසක් ගැනීමයි.

ඡන්ද දායකයන් 400 ක් පමණ මෙම පෙරහුරු මැතිවරණ දෙක සඳහා සහභාගී වී සිටියේය.

***************************************

(12) දින 65 කට පසු කිසිදු ආසාදිතයෙක් ඊයේ (20) වාර්තා වී නැහැ

(21.06.2020 – 07:17 +0530 – hirunews.lk/sinhala)

දින 65 කට පසුව කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු ඊයේ (20) දිනයේදී මෙරටින් වාර්තා වූයේ නැහැ.

අවසන් වරට එලෙස කිසිදු කොරෝනා රෝගියෙකු එක් දිනක් තුලදී දිවයිනෙන් වාර්තා නොවූයේ අප්‍රේල් මස 16 වනදායි.

මේ වනවිට දිවයිනෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1950 ක් වාර්තා වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,472 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 467 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් 901 දෙනාගෙන් 771 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 130 ක්.

එසේම, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් 691 ක් විදේශවල සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, 08 දෙනෙකු විදේශිකයින් වනවා ෴

***************************************

(13) ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සෞඛ්‍ය නිලධාරියෙකු පත් කිරීමට සැලැස්මක්

(21.06.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද විමසීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සිදුවනවාද යන්න සොයා බැලීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සෞඛ්‍ය නිලධාරියෙකු පත් කිරීමට සැලැස්මක් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

මේ අතර කිසියම් ඡන්දදායකයෙක් උණ රෝගයෙන් පෙලේ නම් එවැනි පුද්ගලයින්, ඡන්ද විමසීම සිදුකරන අවසන් පැය තුලදී ඡන්දපොළට පැමිණ සිය ඡන්දය භාවිත කරන ලෙස ද වෛද්‍යවරයා දැනුම් දෙනවා.

***************************************

(14) රැදවියන්ට ජංගම දුරකථන ලබාදුන් නියාමකවරුන් දෙදෙනෙකුගේ (02) වැඩ තහනම්

(21.06.2020 – 16:14 +0530 – hirunews.lk/sinhala)

රැදවියන්ට ජංගම දුරකථන ලබාදුන් බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ (02) වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මහර සහ මාතර යන බන්ධනාගාරවල සේවයේ නියුතු නියාමකවරුන් දෙදෙනෙකුයි.

එම නියාමකවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මහර බන්ධනාගාරයේ වැඩ තහනම් වූ නියාමකවරයා මීට පෙර ද අවස්ථාවකදී රැදවියන්ට ජංගම දුරකථන ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බවයි වාර්තා වන්නේ ෴

***************************************

(15) අලි – මිනිස් ගැටුම අවම කිරීමේ තවත් පියවරක්

(21.06.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

වස්ගමුව – පුස්සැල්ලයාය ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට ආරම්භ කළ පරිසර හිතකාමී ප්‍රවිශ්ටයක් පිළිබඳ තොරතුරු අප ඔබට ඊයේ ගෙන ආවා.

මේ එහි තවත් දිගුවක්.

***************************************

(16) කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි

(21.06.2020 – 15:20 +0530 – lankadeepa.lk)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

අප රට තුළ කොරෝනා වසංගතය යම් මට්ටමකට මැඩ පැවැත්වුවද ඉන්දියාව, තමිල් නාඩුව වැනි රට වල බරපතළ අයුරින් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා අප රටේ ජනතාවද ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතු බවද කියා සිටියේය.

යමිකිසි විදියකින් කොරෝනා වයිරසය ආසාධිතවූ පුද්ගලයෙකු දේවාලයේ බැතිමතුන් පිරි සිටින අවස්ථාවක ඇතුළු වුවහොත් කතරගම ඇතුළු රට පුරා මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, කතරගම ප්‍රදේශය ද වසා දැමීමට සිදු වන බවත් අවධාරණය කළේ ය.

මේ නිසා දුරස්ථභාවය, මුඛ ආවරණ, දෙඅත් සේදීම වැනි නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ ම පිළිපැදිය යුතු බවද දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය ෴

***************************************

(17) රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ පැදවූ මෝටර් රථයේ ගැටී මවක හා දියණියකට තුවාල

(22.06.2020 – mawbima.lk)

කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පදවාගෙන ගිය මෝටර් රථයේ ගැටීමෙන් මවක් හා දියණියක් තුවාල ලබා රෝහල් ගත කළ බව කොහුවල පොලිසිය පැවැසීය.

රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා හා ඔහු පැදවූ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

විජේරත්න වරකාගොඩ මහතා කොහුවල සිට දෙහිවල දෙසට මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී තුවාල ලද මව හා දියණිය රෝහල ඉදිරිපිට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට රෝහල දෙසට මාර්ගය හරහා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

අනතුරට පත් මව හා දියණියගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

රෝහල් ගතකළ මව හා දියණිය වයස අවුරුදු 32 හා 07 පසු වන නාවලමුල්ල පදිංචිකාරියන්ය.

කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

රිය අනතුරෙන් පසුව වරකාගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක (02) බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර ඔහුට අධිකරණය නියෝග කර ඇත්තේ රියැදුරු බලපත්‍රයට අදාළව වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය. එතෙක් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *