රට ගොඩනැගිය හැකි පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවීම අවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

(22.06.2020 – 09:43 +0530 – sinhala.adaderana.lk)

රට ගොඩනැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවිමට ජනතාව කටයුතු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතාම ඓතිහාසික පරිවර්තනයකට අවශ්‍ය ලෝක හා දේශීය වාතාවරණයක් පවතින විටෙක බවයි.

මෙය නිවැරදිව තේරුම් ගත් ජනතාවගෙන් මෙවර පාර්ලිමේන්තුව පිරවිය හැකි බව ද පැවසු අමාත්‍යවරයා, එවැන්නක් සිදුවුවහොත් මෙය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය බවට පත්වනු ඇතැයි ද පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

නොමිනිස්කම නිසා වැනසෙන කලාඔය නිම්නය

(22.06.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ආසන්නව ගලාබසින කලා ඔයේ අතු ගංගාවක් ඇතුළු පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ මුඛයට යාමේ පුවතක් වාර්තා වනවා.

පරිසරවේදීන් චෝදනා කරන්නේ, අදාළ ස්ථානයේ දියනෑම සඳහා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය වර්ධනය වී ඇති බවයි.

විල්පත්තුව වනෝද්‍යානයට දකුණු මායිම්ව ගලාබසින රමණීය කලා ගං කොමලිය, නෙතට රසඳුනක් මවන රමණීය දර්ශනයක් බවට කිසිදු සැකයක් නැහැ.

කෙසේ වෙතත්, ස්වභාව ධර්මයේ ඒ අපූරු දායදාය මේ වනවිට විනාශ මුඛයට පත්වෙමින් පවතින බවට හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වනවා.

මීට වසර 6 කට පමණ ඉහත සිට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ස්ථානයේ දිය නෑම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නේ දෛනිකව එමගින් සැලකිය යුතු ආදායමක් ලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ආදායම පිළිබඳව මිස මෙම පරිසර පද්ධතියේ ආරක්ෂාව ගැන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම සහ පරිසරය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන පිරිස් හේතුවෙන් මෙම ස්ථානය නුදුරේදීම දැවැන්ත ඛේදවාචකයකට අතවනමින් සිටින බවට වන සාක්ෂියි මේ.

***************************************

මුර්ති ශිල්පයට නව මානයකට ගෙන ගිය දිරිය කතක්

(22.06.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කලා ක්ෂේත්‍රයේ මූර්ති ශිල්පයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

දෑතේ නිර්මාණ ශක්තියෙන් විස්මිත රූ මවන්නට මූර්ති ශිල්පයේ නිපුණයින්ට ඇත්තේ අදහා ගත නොහැකි හැකියාවක්.

එවන් අපූරු හැකියාවක් ඇති මූර්ති ශිල්පය නව මානයකට ගෙන ගිය දිරිය කතක් පිළිබඳ අපට කිරිඳිවැල ප්‍රදේශයෙන් හමුවුණා.

මූර්ති කලාව බොහෝ විට අප දැක තිබෙන්නේ රළු දෑතකින් ඔප මට්ටම් වී නිමැවෙන කලාත්මක නිර්මාණයක් ලෙසයි.

නමුත් ඔබ මේ දකින සියළු නිර්මාණවලට ජීවය එක්කර තිබෙන්නේ ඇයයි.

ඇය ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි ජානකී නදීශානී මහත්මියයි.

සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වය ස්පර්ශ නොකරන මූර්ති ශිල්පයට ජානකී මහත්මියගේ හිත යන්නේ ඇයගේ පාසල් අවදියේමයි.

මූර්ති ශිල්පය පිළිබඳව මනා හැදෑරීමකට යොමුවන ඇය එහි පරිපූර්ණත්වයට පත්වෙන්නේ අදාළ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරට ඉතිහාසයේ පළමු වරට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ සාමාර්ථයක්ද ලබා ගනිමින්.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති ශිල්පය පිළිබද පළමු උපදේශිකාවද වන ජානකී මහත්මිය අද වනවිට සිය ජීවන වෘත්තිය බවට ද මූර්ති කලාව පත්කර ගෙන ඇත්තේ ඊට ඇති දැඩි ඇල්ම නිසාමයි.

ඇය පමණක් නොව අද වනවිට ඇයගේ සැමියා සහ දරු දෙදෙනාද මේ මැටි සහ සිමෙන්තියෙන් ජීවය දෙන රූ සිතුවම් කරන්නට එක්වී සිටින්නේ ජානකී මහත්මියගේ ජීවන ගමනට විශාල ශක්තියක් සපයමින්.

සියුමැලි දෑතින් හැඩ වුණු ජීවමාන රූ ඉදි කරමින් මෙරට මූර්ති ශිල්පය නව මානයකට ගෙන යන්නට ජානකී මහත්මියට ලොව දිනන්නට අවැසි ශක්තිය ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනපති කොමිසමට නීතිපති නිලධාරීන් නෑ

(22.06.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි කරවිය නොහැකි බව නීතිපතිවරයා අද (22) එම කොමිසමට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ පනතේ 16 වන වගන්තියට අනුව ඒ සඳහා නීතිපතිවරයා වෙත ප්‍රතිපාදන සලසා නොමැති බවයි ෴

***************************************

තමන් කොරෝනා වෛරසයට වඩා, භයානක බව කියූ කරුණාට එරෙහිව සෝභිත හිමියන්ගෙනුත් පැමිණිල්ලක්

(22.06.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කැඳවීමක් ලැබුණහොත් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට සූදානම් බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (22) හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කරුණාඅම්මාන්ට කැඳවීමක් කර ඇති නමුත්, මේ වන තෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි.

කරුණා අම්මාන්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ කළ ක්‍රියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) නියෝග කළා.

ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දමිල එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් එල්.ටී.ටී.ඊ. සමයේ සිදුකළ ඝාතන පිළිබඳ ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

අම්පාර ප්‍රදේශයේ පසුගිය බදාදා පැවති දේශපාලන රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්, කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයන් දෙදහසත්, තුන්දහසත් අතර පිරිසක් ඝාතනය කළ බවයි.

මෙවර මහ මැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටියදියි ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ.

මේ අතර, කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය පිලිබඳව කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

***************************************

කාදිනල් හිමිට පරිභව කළ හරීන්ට දසතින් විරෝධය

(22.06.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පිළිබඳ කළ ප්‍රකාශය පිළිබදව දැඩි කණගාටුවට සහ කම්පාවට පත්වන බව කතෝලික සභාව පවසනවා.

ඒ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු සාමාජික හරින් ප්‍රනාන්දු පොලොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ (21) පැවති ජනහමුවකට එක්වෙමින් සිදුකල චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

පසුගිය ජනාධිපතිවරණයේදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට කතෝලික ඡන්ද අහිමි කළේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බවට හරීන් ප්‍රනාන්දු චෝදනා කළා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු නිවසේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී කතෝලික සභාව ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදි කළුතර දහම් සෙවන දෙවිසත්හලේ අධ්‍යක්ෂ සිසිල් ජොයි පියතුමා, අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා, ජාතික ජන සන්නිවේදන හිටපු අධ්‍යක්ෂ බෙනඩික් ජොශප් පියතුමා සහ ජුඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් අදහස් පළ කරමින් ඊට දැඩි විරෝධයක් එල්ල කළා.

එමෙන්ම, හරින් ප්‍රනාන්දුගේ මෙම ප්‍රකාශය පිළිබදව මීගමුව සහ කටුවපිටිය ඇතුළු ප්‍රදේශ රැසක කතෝලික ජනතාව දැඩි අප්‍රසාදය පල කළා.

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශව වලින් ද එල්ල වන්නේ දැඩි විරෝධයක්.

***************************************

පාස්කු බෝම්බකරුවෙකු වන ඊබ්‍රාහිම්ගේ මංගල උත්සවයට හිටපු ඇමති හකීම් පැමිණි බවට හෙළිදරව්වක්

(22.06.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගල උත්සවයට එවකට සිටි අමාත්‍යවරුන් දෙදෙනෙකු (02) සහභාගි වී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අද (22) හෙළි වුණා.

ඒ, ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ නැන්දණිය වන ෆාතිමා ජෙෆ්රිගේ මවගේ ප්‍රකාශයක් මගින්.

එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඇය සඳහන් කළේ තම පවුලේ බාල දියණිය වූ ෆාතිමා ජිෆ්රි 2012 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඊබ්‍රාහිම් ඉල්හාම් සමඟ විවාහ වූ බවයි.

ඉතා උත්සවාකාරයෙන් පැවති එම විවාහ උත්සවයට එවකට හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ තවත් අමාත්‍යවරයෙකු පැමිණි බවට තමන්ට මතකයක් පවතින බව ඇය එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අනෙක් අමාත්‍යවරයා කවුරුන් ද යන්න තමාට නිසි මතකයක් නොමැති බවත් තොරතුරු නිශ්චිතව අවශ්‍ය නම් තම දරුවන්ගෙන් විමසා තහවුරු කළ හැකි බව ද ඇය කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

***************************************

වැලිකඩ සිද්ධියේ මුල්පිටපත්වල සාක්ෂි අතුරුදන්වෙලා

(22.06.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ මුල්පිටපත්වල සාක්ෂි මේ වන විට අතුරුදන් වී ඇති බව පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී අනාවරණය කළා.

එහිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදාගේ හඩ ඇතුලත් සිඩිපට දෙකක්ද ඒ මහතා කොමිසමට ඉදිරිපත් කළා.

+++++++++++++++++++++

***************************************

මහින්දානන්දගෙන් තවමත් අයි.සී.සී.යට පැමිණිල්ලක් නැහැ

(22.06.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති බව අයි.සී.සී. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් බලාපොරොත්තු වන බවත්, එමගින් හෙළි කර ගන්නා කරුණු අනුව අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අයි.සී.සී. මාධ්‍ය ප්‍රකාශක රාජ් ශංකර් රා ඕ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ සම්බන්ධීකාරක ස්ටීව් රිචඩ්සන් සඳහන් කළේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් විමර්ශන 50 ක් පමණ අයි.සී.සී. ය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම, තරඟ පාවාදීම්වලට ඉන්දීය සබඳතා වැඩි වශයෙන් පවතින බවයි ඔහු කියා සිටියේ.

පසුගිය වසරේ සම්මත කර ගත් ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත තුළින් ශ්‍රී ලංකාව තුළ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන අතර, ඉන්දියාව ද ඉදිරියේදී එවැනි නීති රීති සකස් කරනු ඇති බවත් ස්ටීව් රිචඩ්සන් වැඩිදුරටත් සඳහන් කළා.

= VIDEO =

***************************************

ආනයන සීමා කළා, නිෂ්පාදන අරඹන්න – ජනපති කර්මාන්තකරුවන්ට කියයි

(22.06.2020 – 22:09 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සහ ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා ඇති බවත් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම හා රටට නව තාක්ෂණය හඳුන්වාදීම වැනි ව්‍යාපාරිකයන් විසින් කළයුතු බොහෝ දේ ඇති බවයි ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවීමට උත්සාහය කළයුතු යැයි ද ජනාධිපතිතුමා අවධාරණය කළා.

කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා ඇති බවත් තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බවත් ජනපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි බෝග ‍ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවන අතර ඝෘජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ ෴

***************************************

ETI ආයතනය නීතිවිරෝධී ලෙස මුදල් තැන්පත් භාරගෙන

(22.06.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ETI ආයතනය සහ ඊට අනුබද්ධ ආයතන නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් තැන්පත් භාරගෙන ඇති බවට අද (22) හෙළිවුණා.

ඒ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂක සහ මුල්‍ය මණ්ඩලයේ ලේකම් K.M.A.N. දවුලගල මහත්මිය සාක්ෂි ලබා දීමේදීයි.

***************************************

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ CCTV සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 09 දෙනෙක් අත්අඩංගුවට

(23.06.2020 – 00:08 +0530 – sinhala.adaderana.lk)

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ CCTV ගලවා ඉවත් කිරිම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

එම CCTV කැමරා, සැකකාර ශිෂ්‍යයන් විසින් මේ වසරේ පෙබරවාරි මාසයේදී අනවසරයෙන් ගලවා ඉවත් කර ඇත ෴

***************************************

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම්

(22.06.2020 – 18:23 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක් ලබාදුන් බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

අදාල බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලීසිය වෙත භාර දී ඇත.

https://www.youtube.com/watch?v=i6vbTIFmlk8#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *