රට මෙන්ම ලෝකය පිළිබඳව දැනුමක් ඇති අපේක්ෂකයින් තරඟ බිමට – අගමැති මහින්ද රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • රට මෙන්ම ලෝකය පිළිබඳව දැනුමක් ඇති අපේක්ෂකයින් තරඟ බිමට – අගමැති මහින්ද රාජපක්ෂ (විඩියෝ)

02 • හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මෙතෙක් කිසිදු තොරතුරක් ලබා දී නෑ (විඩියෝ)

03 • ‘හිරු සී.අයි.ඒ.’ : පරිසරය වනසන සාම්බල්තිව් කලපුවේ ඉඩම් ජාවාරම ගැන CIA හෙළිදරව්ව (විඩියෝ)

04 • STF වැටලීමකින් ‘කබාලි’ සාමාජිකයෙකු කොටුවෙයි

05 • බෙදන්න කියද්දී ආපසු රැගෙන ගිය සජිත්ගේ රුපියල් ලක්ෂ 37 බඩු තොගය මෙන්න

06 • විනාශ මුඛයට යන අක්කර 10 ක වී ගබඩා සංකීර්ණය (විඩියෝ)

07 • සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වෙත යොමුකරන ලෙස දැනුම් දීමක්

08 • මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ලියාපදිංචි හෝටල්වල පමණක් නවාතැන් පහසුකම්

09 • මීගමුව බන්ධනාගාරයේ ආපනශාලා භාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

10 • දෝහා හි සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වියළි සලාක

11 • ලීසිං සම්බන්ධයෙන් මහජන අදහස් ගැනීමට පියවර

12 • සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්

13 • ගම්පහ ප්‍රදේශයට හෙට (25) පැය 12 ක ජල කප්පාදුවක්

14 • කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1392 දක්වා ඉහළට

15 • මැතිවරණ පැමිණිලි සඳහා නව දුරකථන අංක කිහිපයක්

+++++++++++++++++++++++++++++++++++

(01) රට මෙන්ම ලෝකය පිළිබඳව දැනුමක් ඇති අපේක්ෂකයින් තරඟ බිමට – අගමැති මහින්ද රාජපක්ෂ

(23.06.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ගම, රට මෙන්ම ලෝකය පිළිබඳවද දැනුමක් ඇති අපේක්ෂකයින් පිරිසක් තරඟ බිමට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල මහව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

***************************************

(02) හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මෙතෙක් කිසිදු තොරතුරක් ලබා දී නෑ

(23.06.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදු වී ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළිකළේ ගෙවුණු බ්‍රහස්පතින්දා හිරු TV සමඟ විශේෂ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින්.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විවිධ පාර්ශ්වයන් කියා සිටියේ තරග පාවාදීමට අදාළව සාක්ෂි හෙළිදරව් කරන්නට පියවර ගන්නා ලෙසටයි.

ඒ අතරතුර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් K.D.S. රුවන්චන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශයක් සිදු කරන ලෙස ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

නමුත් හිරු TV වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් කිසිදු තොරතුරක් ලබා දී නොමැති බවයි.

***************************************

(03) ‘හිරු සී.අයි.ඒ.’ : පරිසරය වනසන සාම්බල්තිව් කලපුවේ ඉඩම් ජාවාරම ගැන CIA හෙළිදරව්ව

(23.06.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – සාම්බල්තිව් කලපුව ආශ්‍රීත ඉඩම් මහා පරිමාණයෙන් ගොඩ කර මේ වනවිට විවිධ ඉදිකිරීම් සිදුකරන බවට පරිසර සංවිධාන චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කලපු ආශ්‍රීත භුමිවලට ඔප්පු ලබා දුන් ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය සාම්බල්තිව් කලපුව ආශ්‍රීතව සිදුවන බව ඉඩම් ජාවාරම පිළිබඳවයි.

ත්‍රිකුණාමලය නගරයේ සිට නිලාවේලි මාර්ගයේ කිලෝ මීටර් 4 ක් පමණ ගමන් ගන්නා විටයි ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්වන සාම්බල්තිව් කලපුව හමුවන්නේ.

ප්‍රධාන මාර්ගය දෙපසටම විහිදී තිබෙන සම්බල්තිව් කලපුවේ අයිතිය හිමිව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

ජෛව විවිධත්වමය වටිනාකමින් පිරි මෙම කලපු තීරය පසුගිය කාලය පුරා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත අක්කර 150 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ කර තිබෙනවා.

මේ වන විට ඇතැම් ඉඩම් කම්බි කණු ගසා වෙන්කර ඇති අතර තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් පස් දමා ගොඩකර ගොඩනැගිලි සෑදීමද අරඹා අවසන්.

කලක පටන් පස් පුරවමින් හා ඉඩම් වෙන්කර ගනිමින් මෙලෙස වෙන්කරනු ලබන්නේ කලපු තීරයට අයත් අධි ආරක්ෂිත භූමි ප්‍රදේශ බව නොරහසක්.

මේ භූමි ප්‍රදේශවලට පසුගිය කාලයේ කූට ලෙස ඉඩම් ඔප්පුද සාදා ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම ඉදිකිරීම් හරහා සාම්බල්තිව් කලපුවේ වටිනා කඩොලාන පද්ධතියට සෘජු බලපෑමක් එල්ලවන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ.

එසේ නම් දිනෙන් දින සාම්බල්තිව් කලපුව ආක්‍රමණය කරන්නන්ට ඉඩම් ඔප්පු මගින් ලබාදුන්නේ කවුරුන්ද යන්න වහ වහා සොයා බැලිය යුතු කරුණක් නොවේද?

***************************************

(04) STF වැටලීමකින් ‘කබාලි’ සාමාජිකයෙකු කොටුවෙයි

(23.06.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘කබාලි’ නමැති පාතාල කණ්ඩායමේ සාමාජිකයෙකු පුදුකුඩිඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේදී පොලිසි විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් සහ තියුණු ආයුද ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇතිබවයි වාර්තාවන්නේ ෴

***************************************

(05) බෙදන්න කියද්දී ආපසු රැගෙන ගිය සජිත්ගේ රුපියල් ලක්ෂ 37 බඩු තොගය මෙන්න

(23.06.2020 – 18:01 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (23) දින පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගත්තා.

මෙලෙස නතර කෙරුණේ පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට හෘදය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු රුපියල් ලක්ෂ 37 ක් පමණ වටිනා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සංවිධානය කර තිබූ උත්සවයක්.

එම අවස්ථාවේ එහි පැමිණි මොරටුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මැතිවරණ කොමිසමේ නිවේදනය එම සංවිධායකවරුන්ට ඇසෙන සේ නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ අපේක්ෂකයන් සහභාගී කරවාගැනීමෙන් තොරව එම උපකරණ තොගය රෝහලට පරිත්‍යාග කරන ලෙසයි.

එම නියෝගයට එකඟ නොවූ සංවිධායකවරුන් පසුව යළිත් එම උපකරණ තොගය එම ස්ථානයෙන් ඉවත්කරගෙන යාමට පියවර ගෙන තිබෙනවා ෴

***************************************

(06) විනාශ මුඛයට යන අක්කර 10 ක වී ගබඩා සංකීර්ණය

(23.06.2020 – 15:47 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක සිට කිසිඳු ප්‍රයෝජනයක් නොගෙනම විනාශ වෙමින් පවතින ඉඟිනියාගල වී ගබඩා සංකීර්ණය නැවත පිලිසකර කර දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.

අක්කර 10 ක භූමියක පිහිටි මෙම වී ගබඩා සංකීර්ණය 60 දශකයේ දී ආරම්භ කර ඇති බව සඳහන්.

වී අලෙවි මණ්ලය යටතේ පවතින මෙම වී ගබඩා සංකීර්ණයේ වී තැම්බීම, වී කෙටීම සහ වී කිලෝ ලක්ෂ 5 ක් පමණ ගබඩා කර තැබීමේ හැකියාව පවතිනවා.

එලෙස ආරම්භ වූ මෙම ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු 1971 වසරේ සිට 1994 දක්වා සිදු කර ඇති අතර එම කාලයේ දී එහි සේවකයින් විශාල ප්‍රමාණයක් එහි සේවය කර තිබෙනවා.

නමුත් මේ වන විට මෙම වී ගබඩා සංකීර්ණය වසර ගණනාවක සිට පවතින්නේ අක්‍රීය මට්ටමේ.

මෙම වී ගබඩා සංකීර්ණයේ ඇති යන්ත්‍ර සූත්‍ර වසර ගණනාවක සිට කිසිඳු ප්‍රයෝජනයකට නොගෙනම විනාශ වෙමින් පවතිනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වී ගබඩා සංකීර්ණය නිසි පරිදි සකස් කොට මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසයි.

***************************************

(07) සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වෙත යොමුකරන ලෙස දැනුම් දීමක්

(23.06.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වෙත යොමුකරන ලෙස අධ්‍යපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වනදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබනවා.

ඒ අනුව, රක්ෂණ ප්‍රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 011 235 7357 යන දුරකථන අංකය හෝ සුරක්ෂා සේවාව සඳහා ම වෙන්වූ විශේෂ වූ දුරකථන අංක වන 011 231 9015 , 011 231 9016 හෝ 011 231 9017 ඇමතීමෙන් ලබාගත හැකියි ෴

***************************************

(08) මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ලියාපදිංචි හෝටල්වල පමණක් නවාතැන් පහසුකම්

(23.06.2020 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ලබන අගෝස්තු 1 වන දා සිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, නවාතැන් සපයන ස්ථානවල පමණක් බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ මහතා කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට සංචාරක හෝටල් සහ නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා.

ලියාපදිංචි නොවූ එවැනි ස්ථාන 20,000 ක් පමණ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා එවැනි සංචාරක හෝටල් නිවස්න කඩිනමින් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අධිකාරියට උපදෙස් ලබාදුන් බවයි කියා සිටියේ ෴

***************************************

(09) මීගමුව බන්ධනාගාරයේ ආපනශාලා භාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

(23.06.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔහු එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයා බවයි.

මොහු මීට පෙර ද අදාළ රැඳවියාට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එසේම, අදාළ බන්ධනාගාර නියාමකවරයා එම රැඳවියාට වරින් වර දුරකථන ඇමතුම් ද ලබාගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ ෴

***************************************

(10) දෝහා හි සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වියළි සලාක

(23.06.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් දෝහා හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ පා ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් වියළි ආහාර සලාක සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදුකර තිබෙනවා.

ඕමාන් තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවස්නක රැදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක, තමන් ඇතුළු පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බැවින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා ෴

***************************************

(11) ලීසිං සම්බන්ධයෙන් මහජන අදහස් ගැනීමට පියවර

(23.06.2020 – 08:55 +0530 – sinhala.adaderana.lk)

මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීති විරෝධි කටයුතු පිළිබඳව මහජන අදහස් ලබන 30 වන දිනට පෙර ලබා දෙන ලෙස මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව දැනුම් දෙයි.

මහ බැංකු අධිපතිවරයා විසින් පත් කළ අදාළ කමිටුව ඊයේ (22) දෙවන වරටත් රැස්වූ අතර එහිදී අදාළ කමිටුව මහජන අදහස් ලබා ගැනීමට තිරණය කර තිබේ.

ඒ අනුව මුදල් ව්‍යාපාර සහ මුල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධ මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට සිවිල් සංවිධානවලට සහ මුල්‍ය ආයතනවලට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, නොම්බර 30 ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ එක ලිපිනයට එම දැනුම්දිම් ලිඛිතව සිදුකළ හැකි වෙයි.

ඊට අමතරව dlcd@cbsl.lk හෝ dsmbfi@cbsl.lk යන විද්‍යුත් ලිපිනයන්ට ද යෝජනා හා අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව සඳහන් කළේය ෴

***************************************

(12) සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්

(23.06.2020 – 08:22 +0530 – sinhala.adaderana.lk)

සියලු සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මේ අතර දිවයින් පුරා ඇති සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් පහත පරිදි වේ.

නිවේදනය – 222 සිනමා ශාලා වි… by Prageeth Karunasinghe on Scribd

***************************************

(13) ගම්පහ ප්‍රදේශයට හෙට (25) පැය 12 ක ජල කප්පාදුවක්

(24.06.2020 – 10:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (25) පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති ෴

***************************************

(14) කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1392 දක්වා ඉහළට

(24.06.2020 – 09:45 +0530 – hirunews.lk/sinhala)

ඉටුකම කොවිඞ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1392 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අරමුදලෙන් කොවිඞ් මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සැලසීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සපයන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ යටතේ පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200 ක් වන අතර ඉන් රුපියල් මිලියන 6 ක ප්‍රමාණයක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා ෴

***************************************

(15) මැතිවරණ පැමිණිලි සඳහා නව දුරකථන අංක කිහිපයක්

(24.06.2020 – 08:39 +0530 – hirunews.lk/sinhala)

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

එසේම වයිබර්, වට්ස්ඇප් මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කාලසීමාව තුළදී පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා මැතිවරණ කොමිසන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය වීම් පිළිබඳව 011 288 6179 , 011 288 6421 හෝ 011 288 6117 යන දුරකථන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, 011 288 6551 හෝ 011 288 6552 යන ෆැක්ස් අංක හරහා ද පැමිණිලි යොමුකළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

වයිබර් හෝ වට්ස් ඇප් මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන්නේ 071 916 0000 යන දුරකථන අංකයටයි.

එසේම ‘ඉලෙක්ෂන් කමිෂන් ඔෆ් ශ්‍රී ලංකා’ හෝ ‘ටෙල් කමිෂන් – ඉලෙක්ෂන් කමිෂන් ඔෆ් ශ්‍රී ලංකා’ යන ෆේස්බුක් ගිණුම හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ අතර, මහමැතිවරණය සඳහා යන වියදම රුපියල් කෝටි 1000 කට ආසන්න විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

එසේම, දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳව තමන් විශ්වාස නොකරන බවයි ඔහු ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ෴

[ පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 05 – ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ] (pdf file)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *