පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක් (විඩියෝ)

02 • පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 40 ක් නීතිපති, පොලිස්පතිට ආපසු හරවා යවයි (විඩියෝ)

03 • පාතාල වෙඩික්කරු කැටවලපිටියේ සම්පත් ගැන තොරතුරු එළියට (විඩියෝ)

04 • බැඳුම්කර සිද්ධියට රවී ඇතුළු 7 දෙනෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

05 • MCC ගිවිසුමට අදාළව කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත මාරු කර හෝ වියදම් කර නැතැයි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි (විඩියෝ)

06 • පෙර පාසල් යළි ආරම්භ වන හැටි ගැන සෞඛ්‍ය ඇමතිනිය කියයි (විඩියෝ)

07 • අවසන් ඡන්ද ප්‍රතිඵලය දෙන වෙලාව ගැන මැ.කො.ස.ගෙන් ඉඟියක් (විඩියෝ)

08 • කොරෝනා සමඟ දැඩි දුෂ්කරතාවට පත්වූ කජුගම – කජු ලියන් (විඩියෝ)

09 • මහජන මුදල් කෝටි ගණනක් වැය කර ඉදි වූ රෝහලට අත්ව ඇති ඉරණම (විඩියෝ)

10 • මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම් කරන බව පොලිසිය කියයි

11 • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නොහැකි බව කරුණා කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

(01) පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

(26.06.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ අණාවරණය වුණා.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්සවයක් ද පවත්වමින් අදාළ මුදල ලබා දී තිබුණේ එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතයි.

එමෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානය වෙනුවෙන් අගරදගුරු හිමියන් පරිත්‍යාග කළ රුපියල් මිලියන පහක (5) චෙක්පත රැගෙන කැනඩාව බලා ගිය එවක එම දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා තවමත් පැමිණ නැති බවද කොමිසමේදී හෙළිවුණා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) රාත්‍රියේ සාක්ෂි ලබාදුන්නේ, කොළඹ අගරදගුරු පදවියෙහි සමාජ සුබ සාධන ආයතනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පවුල් 78 කට අයත් පුද්ගලයන් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඒ අතරින් 32 කු දරුවන් බවත් පියතුමන් ප්‍රකාශ කළා.

මියගිය අය අතර එක් බෞද්ධ තරුණයෙකු හා ඉස්ලාම් දියණියක වූ බවද උන්වහන්සේ කොමිසමට පෙන්වා දුන්නා.

පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පවුල් 42 කට අයත් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඒ අතර හින්දු පවුල් 13 ක පුද්ගලයන් හා බෞද්ධයන් 05 දෙනෙකු වන බවයි.

එම පිපිරීම් දෙකෙන් පුද්ගලයින් 381 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊට කොළඹ මෙන්ම නුවරඑළිය, මස්කෙළිය, හැටන් සහ යාපනය ප්‍රදේශවල පිරිස්ද අයත්.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද පසුගිය සතියේ සිය නිවෙස බලා පිටත්ව ගිය ද එම රෝගියා ඇතුළු නිවෙස් තුළ ප්‍රතිකාර ලබන 37 දෙනෙකුගේ තත්ත්වය ඉතා අවදානම් මට්ටමක පවතින බව පියතුමන් කොමිසමට පෙන්වා දුන්නා.

කොමිසම එහිදී විමසුවේ රජය විසින් ලබාදෙන බව පැවසූ මුදල් දේවස්ථාන වෙත ලැබුණේද යන්නයි. රජයෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිට පීඩාවට පත් කතෝලික මෙන්ම බෞද්ධ, හින්දු හා ඉස්ලාම් සියලු පවුල් වෙත අගරදගුරු හිමියන්ගේ උපදෙස් මත මූල්‍ය උපකාර සිදුකළ බව පියතුමන් පිළිතුරු දෙමින් සඳහන් කළා.

ඒ අනුව කොච්චිකඩේ දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් 114 ක් සදහා රුපියල් මිලියන 42.9 ක මුදලක් ද, කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් 281 ක් සදහා රජයෙන් රුපියල් මිලියන 95.5 ක මුදලක්ද ලබාදුන් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් හඳුනා ගැනීමෙන් පසු පළමු අදියරේදී රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දී තිබෙනවා.

පසු අවස්ථාවක අගරදගුරු හිමියන් විසින් චෙක්පතක් මාර්ගයෙන් රුපියල් මිලියන 5 ක් එම දේවස්ථානයේ එවක ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් දේවගැතිවරයා වෙත ලබාදුන් බවද පියතුමන් කොමිසම හමුවේ සඳහන් කළා.

නමුත් පියතුමන් පැවසුවේ මෙතෙක් කිසිඳු මුදලක් නොලැබුනු බවට එහි තවත් දේවගැතිවරුන් පිරිසක් මෙම කොමිසමට ප්‍රකාශ කර ඇති බව තමන් ජනමාධ්‍ය මගින් දැනගත් බවයි.

රොෂාන් නමැති ප්‍රධාන දේවගැතිවරයා රුපියල් මිලියන 5 ක චෙක් පත ලැබීමෙන් පසු කැනඩාව බලා පිටත් ව ගොස් ඇති බවත් තමන් ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ නැවත දිනක ලංකාවට පැමිණි පසු මුදල් සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කරන බවට එම දේවගැතිවරයා සදහන් කළ බවත් පියතුමන් කොමිසමට පැවසුවා.

කෙසේවෙතත් පියතුමන් වැඩිදුරත් සඳහන් කළේ අදාල දේවගැතිවරයා සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන යළි පිළිසකර කිරීම වෙනුවෙන් සතිපතා පැවති සාකච්ඡාවන් සදහා සියෝන් දේවස්ථානයේ රොෂාන් දේවගැතිවරයාට ආරාධනා කර තිබුණද ඔහු පැමිණ නැහැ.

රොෂාන් දේවගැතිවරයා වෙනත් ස්ථානයකින් ඉඩමක් ලබාදී එහි අලුත් පල්ලියක් ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කළ බව අදාළ සාකච්ඡා සඳහා එක්වූ මඩකලපුව ප්‍රාදේශීය ලේකම්වරිය වරෙක සඳහන් කළේයැයි පියතුමන් කොමිසමට සාක්ෂි දෙමින් සඳහන් කළා.

නමුත් අලුත් ඉඩම ලබාගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසා සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීම් යුධ හමුදාව වෙත භාර දීමට රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් කොළඹ නෙළුම් පොකුණේදී උත්සවයක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක අනුරූප චෙක්පතක් ලබාදී තිබූ බව පියතුමන් කොමිසමට පැවසුවා.

කෙසේ වෙතත් බෝම්බ පිපිරීමෙන් හානි වූ කිසිවෙකුටත් එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බවත් එම මුදලට කුමක් සිදුවූයේදැයි මෙතෙක් නොදන්නා බවත් උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණය කළා.

මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ වත්මන් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා ද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදුන්නා.

පැය 9 කට අධික කාලයක් කොමිසම බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් සාක්ෂි විමසූ අතර එම අවස්ථාව මාධ්‍යයට අනාවරණ කළේ නැහැ.

+++++++++++++++++++++++++++++++++++

(02) පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 40 ක් නීතිපති, පොලිස්පතිට ආපසු හරවා යවයි

(26.06.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල අසම්පූර්ණ වාර්තා 40 ක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යැවීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ විමර්ශන උදෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් එම දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එම කිසිදු විමර්ශන වාර්තාවක නීතිමය පියවර ගැනීමට තරම් විමර්ශන අවසන් කර නොමැති බව පෙනී යන බැවින් යළි ඒවා හරවා යැවීමට නීතිපතිවරයා අද (26) උපදෙස් ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++++++

***************************************

(03) පාතාල වෙඩික්කරු කැටවලපිටියේ සම්පත් ගැන තොරතුරු එළියට

(26.06.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටියේ සම්පත් ගම්පහ – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (26) අලුයම 05:30 ට ගම්පහ – මිරිස්වත්ත ප්‍රදේශයේදී යොදවා තිබූ මාර්ග බාධකයකදී පොලිස් අණ නොතකා සිය යතුරුපැදියෙන් පළා ගොස් මාර්ගය අසළ රබර් කැළයක සැඟව සිටි ඔහු, ලුහුබැඳ පැමිණි පොලිස් නිළ රථයට වෙඩි ප්‍රහාර 3 ක් එල්ල කරනු ලැබුවා.

පසුව පොලීසිය එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ සැකකරු මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිළ රථයට ද වෙඩි ප්‍රහර 3 ක් එල්ල වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ 25 හැවිරිදි කැටවලපිටියේ සම්පත් ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රුපියල් 48,000 ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මොහු කලක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදා හැරිමේ ජාවාරමේ නිරතව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු පසුගිය 2018 වසරේ අගෝස්තු 28 වනදින කඩවත රන්මුතුගල ප්‍රදේශයේදි 35 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියට බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු ද වනවා.

මොහු පතාල කල්ලිවල වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, සැකකරු දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස නම් දරා සිටින පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන රැසක විමර්ශන ද ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, මොරගහහේන – ගෝනපළ මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු දෙහිවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය කිලෝ එකයි (1) ග්‍රෑම් 28 ක්.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරිය සහ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකු වන අගුලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු වූ දැනට බන්ධනාගාර ගතව සිටින ජනිත් හෂාන් විමලවීර හෙවත් මර්වින් ජානා විසින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මෙහෙයවා ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 33 සහ 35 හැවිරිදි මතුගම – පරදුව සහ ගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අවි ආයුධ සමඟ ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ 03 ක් සහ තියුණු ආයුධ දෙකක් (02) පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, අලුත්ගම – බෝන්දුපිටිය – මුදලිගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 25 කට ආසන්න හෙරොයින් සමඟ මවක සහ පුත්‍රයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) සිදුකළ මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 510 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මවගේ වැඩිමහල් පුත්‍රයාද මීට පෙර හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවකට බන්ධනාගාරගතව සිටින අයෙකු බව පොලිසිය සඳහන් කළා.

පිටකොටුව – මැනිං වෙළඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ සහ ඕල්කට් මාවත අසළ නවතා තිබූ එළවළු ලොරි රථවලින් කප්පම් ලබා ගත් පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 24, 36, 38, 55 සහ 60 හැවිරිදි වියේ පසුවන ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

+++++++++++++++++++++

පොලිස් වෙඩි පහරින් මියගිය පාතාල වෙඩික්කරුගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27)

(26.06.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවලපිටිගේ සම්පත් ගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) ගම්පහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ඔහු පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

ගම්පහ – මල්වතුහිරිපිටිය – පුවක්පිටිය – රබර්වත්ත පාරේදි අද (26) අලුයම 05:30 ට පමණ විමර්ශන රාජකාරියේ යෙදී සිටි මල්වතුහිරිපිටිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව, ක්ෂණික මාර්ග බාධකයක් යොදා යතුරුපැදියක් නැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ යතුරුපැදිය පොලිස් අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් එය ලුහුබැඳ ගොස් ඇති අතර, එහි ගමන් කළ සැකකරු පොලීසියට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

මෙහිදී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් තුවාල ලැබූ සැකකරු මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිළ රථයට ද වෙඩි ප්‍රහර 3 ක් එල්ල වී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ 25 හැවිරිදි කැටවලපිටියේ සම්පත් ළඟ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක්, හිස් පතොරම් කොපු දෙකක් සහ රුපියල් 48,000 ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මේ අතර මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ලියනගේ ජනිත් හෂාන් විමලවීර හෙවත් කොන්ඩ ජනිත්ගේ නිවස ඉදිරිපිට තිබී රිවෝල්වරයක් සහ පතොරොම් 5 ක් අද අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මොරටුව – අගුලාන – සමුද්‍රදිසි මාවත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට ආරක්ෂිතව සගවා තිබියදී මේවා සොයා ගත් බවයි.

මේ අතර, නිට්ටඹුව – ඌරාපොල ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ පාතාලයට සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ බෙදා හරින පුද්ගලයින්, ඊට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් මෙන්ම නිල ඇඳුමින් සැරසී සිටින පුද්ගලයින් මෙලෙස නීතිය හමුවට ගෙන ආ යුතු බවයි.

+++++++++++++++++++++

***************************************

(04) බැඳුම්කර සිද්ධියට රවී ඇතුළු 7 දෙනෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

(26.06.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපුු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ගොනුකළ පෙත්සම් අද (26) අභියාචනාධිකරණයේදී සලකා බැලූණා.

අදාළ චෝදනා වරෙන්තු නියෝගයක් නැතිව හෝ අත්අඩංගුවට ගත හැකි ඒවා බවයි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක එහිදී අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මාර්තු 6 වනදා නියෝග කළා.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශවයට ඉදිරිපත් වී ඇති චෝදනා පොදු දේපල පනත යටතේ වන වැරදි බවයි.

එමෙන්ම, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හේතුවෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98 ක අති විශාල ලාභයක් ලැබී ඇති බව ද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයෙකුට පවතින බවයි.

මේ අතර, නඩුකරයක් පවතින අවස්ථාවක නීතියේ සීමාවේ සිට කටයුතු නොකරන්නේ නම් ලබාදී තිබෙන ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (26) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රන්ජන් ලමාහේවා ට දැඩිව අවවාද කළා.

අදාල පුද්ගලයින් දෙදෙනා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී නඩුවට සහ පැමිණිල්ලට අගතියක් වන අයුරින් විවේචන ඉදිරිපත් කළ බවට පවසමිනුයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අවවාදය සිදුකර තිබුණේ.

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අද (26) අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී විවේචන අධිකරණයට අපහාස කිරීමක් වන බැවින් ඊට අදාළ සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව නඩුවට බලපාන අයුරින් හා පැමිණිල්ලට අගතියක් වන අයුරින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ සිදුනොකරන ලෙස, විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට අවවාද කළා.

එමෙන්ම, විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග කියා සිටියේ අදාළ පුද්ගලයින් දෙදෙනා මාධ්‍යයට සිදුකර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් වූ පසු එකී ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (26) පෙනී සිටියා.

ඒ ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති එම කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි ෴

***************************************

(05) MCC ගිවිසුමට අදාළව කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත මාරු කර හෝ වියදම් කර නැතැයි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි

(26.06.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

MCC ගිවිසුමට අදාළ යෝජිත ඩොලර් මිලියන 480 ක ප්‍රදානය යටතේ වන මුදල් කිසි විටකත් ශ්‍රී ලංකා රජය වෙත මාරු කර හෝ වියදම් කර නැතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කළ කමිටුව, එහි අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබුවා.

එම කමිටු වාර්තාව ජනතා අවධානයට යොමු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ ෴

+++++++++++++++++++++

Millennium Challenge Corporation Official Visits Sri Lanka to Continue Progress on Compact Development

+++++++++++++++++++++

(MCC) සමාලෝචන කමිටුවට ජනපති – අගමැති බලපෑම් කළාද? කමිටුවේ නියමුවා මුල්වරට කරන මාධ්‍ය හෙළිදරව්ව මෙන්න

(26.06.2020 – 22:13 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ‘සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය’ (MCC) සමාලෝචන කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් එල්ල නොවූ බව කමිටු සභාපති ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

අන්තර්ජාල යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ගුණරුවන් මහතා පෙන්වා දෙන්නේ ස්වාධීනව තම කණ්ඩායමට ගිවිසුම අධ්‍යයනය කර අවසන් වාර්තාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබා දීමට හැකියාව ලැබුණු බවය.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කළ බවත්, පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට (2) අත්සන් තබා ඇති බවත් ලලිතසිරි ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.

ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඔහු කීය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත් එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බවත් නිරීක්ෂණය වී ඇතැයි ඔහු අවධාරණය කර සිටියේය.

+++++++++++++++++++++

***************************************

(06) පෙර පාසල් යළි ආරම්භ වන හැටි ගැන සෞඛ්‍ය ඇමතිනිය කියයි

(26.06.2020 – 16:54 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පෙර පාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් මත සියයට 50 ක ධාරිතාවකින් ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ප්‍රදේශයේදී පෙර පාසල් ගුරුවරුන්ගේ ගැටලු පිලිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කොරෝනා ව්‍යාප්තිය සමග පසුගිය මාර්තු 13 වනදා සිට දිවයිනේ සියලු පෙර පාසල් වසා දැමුණා.

***************************************

(07) අවසන් ඡන්ද ප්‍රතිඵලය දෙන වෙලාව ගැන මැ.කො.ස.ගෙන් ඉඟියක්

(26.06.2020 – 16:45 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 06 වන දින පස්වරු අට පමණ වනවිට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධව, මොණරාගල රාජකීය විද්‍යාලයේ අද (26) පැවති ආදර්ශ ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් සභාපතිවරයා මේ බව පවසා සිටියා.

+++++++++++++++++++++

***************************************

(08) කොරෝනා සමඟ දැඩි දුෂ්කරතාවට පත්වූ කජුගම – කජු ලියන්

(26.06.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කජු වෙළදාමේ නිරත වෙමින් තම ජීවිකාව රැකගත් කජුගම – කජු ලියන් කොරෝනා වසංගතයත් සමඟ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මේ ඒ කජු ලියන්ගේ කථාවයි.

කොළඹ- නුවර පාරේ වාහන යන්නේ බොහෝම වේගයකින්.

නමුත් ඒ වාහනවල වේගය පස්‌යාලත් වේවැල්දෙණියත් අතර මැද පිහිටි කජුගමදී ටික ටික අඩුවී ඉබේම නවතින්නේ, කජු විකුණන හැඩකාර කජු ලියන් දෑත් දිගුකරමින් කරන ආරාධනාව අහක දමන්නට බැරි නිසාවෙන්.

පරම්පරා කිහිපයක ඉතිහාසයකට උරුමකම් කියන මේ කජු ලියන්ගේ කතාව, උරුමයේ හැඩය වෙනස්‌ වෙමින් වෙළදාමේ හරය එලෙසින්ම පවත්වා ගනිමින් තවමත් මේ පාර දෙපැත්තේ වාහනවලට අත වනනවා.

කජුගම යැයි පැවසුවද මේ ප්‍රදේශයට කජු ගෙනෙන්නේ කුරුණෑගල, වාරියපොල, පුත්තලම, මන්නාරම ආදී ප්‍රදේශවලින්.

මේ කජු ලියන් උදෑසන 07:30 සිට රාත්‍රී 10:00 දක්‌වා මේ පාර දෙපැත්තේ කජු වෙළෙඳාමේ නිරතවීම සුලබ වශයෙන් දැකගන්නට පුළුවන්.

මීට වසර කිහිපයකට පෙරාතුව අත් බෝරිච්චි කළ හැට්‌ටයකින්ද ඊටම ගැලපෙන චීත්ත රෙද්දක් ඇඳගෙන කුඩා කූඩාරම්වල කජු විකිණීම ආරම්භ වන්නේ කජු ලියන් 08 දෙනෙකුගෙන් පමණ.

අද වන විට කජු විකුණන කජු ලියන් 75 සිට 100 ක අතර පිරිසක් මේ මාර්ගය දෙපස දැක ගන්නට පුළුවන්.

ඔවුන්ගේ පරම්පරා උරුමය, කජු වෙළදාම.

මේ කජු ලියන්ට ගිනියම් අව්වේ වගක්‌ නැහැ. ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවේත් වගක් නැහැ. ඔවුන්ගේ ජීවිත බලාපොරොත්තු ඇත්තේ පැකට්‌ කළ කජු මද තුළය.

පරම්පරා කිහිපයක්‌ ඉක්මවා ඇතත් තවමත් මේ කජු ලියන් කජු විකුණනවා.

ඔවුන් ඒ කජු වලින් තම ජීවිත ගොඩ නගනවා. එය සාරවත් කර ගැනීම වෙනුවෙන් මේ ලියන්ට ඇත්තේ සීමිත ඉල්ලීම් කිහිපයක් පමණයි.

***************************************

(09) මහජන මුදල් කෝටි ගණනක් වැය කර ඉදි වූ රෝහලට අත්ව ඇති ඉරණම

(26.06.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලංගමුව ප්‍රදේශයේ අලුතින් ඉදිකළ රෝහල් සංකීර්ණය, ගොවිතැන් කටයුතු තම ජීවිකාව කරගත් සියඹලංගමුව, තලාව, අඹගස්වැව, මානේරුව, කදුලුගමුව, වැටකොලුවාගම, ආදී ගම්මාන 50 ක පමණ ගම්මානවල ජනතාව ප්‍රධාන වශයෙන් මුහුණ දෙන වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීම මූලික අරමුණ කර ගනිමින් තිබෙනවා.

නමුත් අවාසනාව නම්, මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැය කර ඉදි වූ මෙම රෝහලට වර්තමානයේ අත්ව ඇති ඉරණමයි.

මෙම රෝහලේ ඉදි කිරීම් අවසන්ව ඇත්තේ මීට වසර 3 කට පෙරාතුවයි.

වාට්ටු සංකීර්ණයක්, බාහිර රෝගී අංශයක්, වෛද්‍ය නිල නිවාසයක් ද ඇතුලු සියලු පහසුකම් වලින් යුක්තව මෙම රෝහලේ ඉදිකිරීම් සිදුව තිබෙනවා.

අභාවයට යාමට ඉඩ නොදී හැකි ඉක්මනින් මෙම රෝහල සිය ප්‍රතිකාර කටයුතු සදහා විවෘත කර දෙන ලෙසට ප්‍රදේශවාසී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පමණක්ම අරමුණු කර ගත් මෙය අද වන විට වල් බිහිවී ඇත්තේ කාගේ වුවමණාවකින්ද ?

නිදහස් සෞඛ්‍ය සේවාවක ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ඉදි වූ මෙම රෝහල, තව දුරටත් වල් බිහිවීමට ඉඩ නොදී හැකි ඉක්මණින් ජනතා අයිතියට පත් කරන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(10) මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම් කරන බව පොලිසිය කියයි

(26.06.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහ අත්‍යවශ්‍ය බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

මාස 3 ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම දුරස්ථ භාවය තබා ගැනීම ඇතුලු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගන්නා බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ ෴

***************************************

(11) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නොහැකි බව කරුණා කියයි

(26.06.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නොහැකි බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා.

ඒ එල්.ටී.ටී.ඊ. නායකයෙකුු ලෙස සිටි සමයේ ඔහු විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මානව හිමිකම් මණ්ඩලය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *