විමල් වීරවංශගෙන් මැතිවරණ කොමිසමට යළිත් චෝදනා

(27.06.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසම එජාපය ප්‍රමුඛ විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (27) යළි චෝදනා කළා. ඒ වව්නියාව – බෝගස්වැව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

‘අලුතෙන් හිතමු’ තේමාවට හේතුපාඨ (26.06.2020)

***************************************

MCC පිළිබඳ සමාලෝචනය කළ කමිටුවේ හෙළිදරව්ව

(27.06.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

දැනට ගොඩනගා ඇති MCC යොජනාවලිය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව අමෙරිකානු යුද උපායමාර්ගවල කොටස්කරුවෙකු බවට පත් වීමට ඉඩ ඇති බව අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුව සඳහන් කරනවා.

පසුගියදා ජනාධිපතිවරයා වෙත භාරදුන් එම කමිටුවේ සමාලෝචන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වන බවයි.

අමෙරිකාව් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමඟ පසුගිය රජය සමයේ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා සිව් පුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අවසන් වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට භාරදුන්නා.

අදාළ වාර්තාව මගින් එම කමිටුව සඳහන් කර ඇත්තේ 2015 න් පසු MCC යෝජනාවලිය පිළිබඳ ශ්‍රී ලාංකික සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ගැණුනු කාර්යාලයක් හරහා බවයි.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ නයිජර්, යේමනය, මොරිටානියාව, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආර්මේනියාව, මාලි හා මලාවි යන රටවල් සමඟ අමෙරිකාව ඇති කරගෙන තිබූ ගිවිසුම් ද බිඳවැටී හෝ අතරමඟ නතර වී ඇති බවටයි.

මැඩගස්කරය වැනි රටවල් ගිවිසුමේ ප්‍රදානයන් අත්හිටවූ පසුත් ගිවිසුමෙන් ඉවත් වීමට නොහැකි තත්ත්වයකට පත්වීම එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ බැරෑරුම් තත්ත්වයක් ලෙසයි.

සමාලෝචන කමිටු වාර්තාවේ මහජන අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති අතර 75% ක් අදාළ යෝජනාව අත්සන් කිරීමට විරුද්ධත්වය පළකර තිබෙනවා.

ගිවිසුම අත්සන් කිරීම සඳහා සෘජු එකඟතාව පළ කර ඇත්තේ 7‍% ක ප්‍රතිශතයක් පමණයි.

මෙම ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන තුරුම එම කෙටුම්පත් ප්‍රසිද්ධ නොකෙරුණේ එහි ඇතැම් කොටස් මහජනතාවගෙන් වසන් කිරීමේ අරමුණින්දැයි සැකයක් මතුවන බවද කොමිසම පෙන්වා දෙනවා.

යෝජිත ගිවිසුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කීරීම තුළින් ඊට වලංගුතාවය ලබාදීමට MCC ආයතනය පියවර ගෙන ඇති නමුත් ගිවිසුමේ වගන්ති විමසා බැලීමේදී ශ්‍රී ලංකාවේ නොවන අණපනත්, රෙගුලාසි සහ ක්‍රමවේද කිහිපයක් මෙරට තුළ නෛතික පිළිගැනීමකට ලක්වන බවත්, සමාලෝචන කමිටුව විසින් හඳුනාගෙන තිබෙනවා.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම ජනතා ස්වෛරීත්වය වක්‍රානුකූලව උල්ලංඝනය කිරීමක් බවයි කමිටුව පෙන්වා දෙන්නේ.

රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට අදාළ ව්‍යාපෘතියක් MCC ගිවිසුමේ ඇතත් එය රටේ පවත්නා නීතියට පටහැනි බවයි කමිටුව පෙන්වා දෙන්නේ.

එම නීතිය පාර්ලිමේන්වේ සරළ බහුතරයකින් පනතක් ලෙස සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි කරුණක් බව කොමිසමේ වාර්තාව මගින් පැහැදිළිව පෙන්වා දී තිබෙනවා.

එවැනි ප්‍රශ්නගත අන්තර්ගතයන් ඉවත් කළහොත් මිස MCC යෝජනාවලියට අදාළ ගිවිසුම අත්සන් කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නීත්‍යනුකූල නොවන බව කමිටුවේ මතයයි.

2019 ඔක්තෝබර් 29 වැනිදා මෙම ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ගැඹුරු විමර්ශනයකින් තොරව බවත් කමිටුව අනාවරණ කරගෙන තිබෙනවා.

කමිටුව නිර්දේශ කරන්නේ මෙරට ස්වෛරීත්වයට හා ජාතික ආර්ථික ස්වංපෝෂිත තත්ත්වයට හානි කර කිසිදු කොන්දේසියක් යෝජනාවලිය තුළ අඩංගු නොවිය යුතු බවයි.

යම් හෙයකින් රජය MCC ගිවිසුමට එළැඹීමට අපේක්ෂා කරන්නේ නම්ල ඊට පෙර මෙරට ස්වෛරීත්වය අවදානමේ හෙලීමට ඉඩ ඇති වගන්ති මෙන්ම අනාගත සමාජ, ආර්ථික, දේශපාලන ස්වාධීන්තවයට හා සුබ සිද්ධියට හානිකර විය හැකි වගන්තිද ඉවත් කළයුතු බව කමිටුවේ නිර්දේශයයි.

සංවර්ධන ප්‍රදානයක් ලෙස මතුපිටින් පෙනුණත්, කමිටුව සැක පළ කරන්නේ මෙම ගිවිසුම ඉන්දු පැසිෆික් මූලෝපායට අනුකූල ව්‍යාපෘති යෝජනාවක් විය හැකි බවයි.

ඒ අනුව MCC යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් සෝෆා සහ ඇක්සා වැනි ගිවිසුම්වලට ඇතුළත්ව ශ්‍රී ලංකාව අමෙරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඉඩ ඇති බව කමිටුව විශේෂයෙන් සඳහන් කරනවා.

ඒ අනුව ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් නිර්දේශ කරන කමිටුව පවසන්නේ එම සංශෝධනවලට එකඟනම් පොදු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් හැර අන් කිසි අයුරකින් ගිවිසුම අත්සන් නොකළ යුතු බවයි.

+++++++++++++++++++++

***************************************

විජේදාස රාජපක්ෂ ගෙන් ජවිපෙට අභියෝගයක්

(27.06.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා, ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් කළා.

ඒ කොළඹ ඊයේ (26) පැවති උත්සවයකදීයි.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට න්‍යාය පත්‍ර දෙකක් ඇති බවට කවුරුන් විසින් හෝ පවසන්නේ නම්, තමන් එය එසේ නොවන බවට තමන් අභියෝග කරන බවයි.

රට පාවාදෙන සෑම ගිවිසුමකම ජනතා විමුක්ති පෙරමුණ සිටි බවට ද ඔහු එහිදී චෝදනා කළා.

***************************************

ජාවාරම්වලට සහය දුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 4 ක් අත්අඩංගුවට – උපයා ඇති මුදල ලක්ෂ 311 ක්

(27.06.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

එසේම, එම පොලිස් නිලධාරින් 4 දෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමට සහය ලබාදීමෙන් රුපියල් ලක්ෂ 311 ක පමණ මුදලක් උපයාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පසුගියදා වාර්තා පළ වූයේ අත්අඩංගුවට ගෙන තිබූ හෙරොයින් තොගයක් පිටස්තර ජාවාරම්කරුවෙකුට අලෙවි කළ බවට ‘ටයිල් චමින්ද’ නමැති හෙරොයින් ජාවාරම්කරුවෙකු විසින් අනාවරණ කළ බවටයි.

අනතුරුවයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ.

පසුගිය කාලය තුළ දකුණු පළාතේ පමණක් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 212 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා එහිදී කියා සිටියා.

මේ අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති, නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද (27) මාතර පිහිටි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා ද ඊට එක්ව සිටි බව සඳහන්.

බස්නාහිර පළාත තුළ පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර, දකුණු පළාත තුළ ද මේ වනවිට සංවිධානාත්මක අපරාධ කල්ලි රැසක් ක්‍රියාත්මක බව අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන්, අදාළ අපරාධ කල්ලි මර්දනය සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත තුළ ද විශේෂ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අද (27) පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

මේ අතර, විශිෂ්ඨ ක්‍රියාවන් සිදුකළ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම හා සහය දුන් සිවිල් පුරවැසියන් ඇගයීමේ උත්සවයක් ඊයේ (26) ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී පසුගිය මැයි මස 21 වනදා ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවගේ දිවි බේරා ගැනීමට සමත් වූ තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ඩී. ප්‍රනාන්දු මහතා සහ පොලිස් කොස්තාපල් එස්.කාන්තරූබන් මහතා ඇගයීමට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, පසුගියදා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය සහ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයා වන ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.පී. ප්‍රනාන්දු මහතා ද එහිදී ඇගයීමට ලක් කර තිබෙනවා.

***************************************

ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය, මහින්දානන්දගෙන් කරුණු විමසයි

(27.06.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහනුවර ඊයේ (26) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවූ බවට පසුගිය දා තමන් සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් එහිදී කරුණු විමසු බවයි.

ඒ අනුව අදාළ තොරතුරු අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

එළවළු ලොරිවලින් කප්පම් ගත් 5 දෙනා ඇප මත මුදා හරී

(27.06.2020 – 10:03 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – මැනිං වෙළඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ සහ ඕල්කට් මාවත අසළ නවතා තිබූ එළවළු ලොරි රථවලින් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, නැවත මෙම සිද්ධියට අදාළ නඩුව ලබන මස 14 වනදා කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

පෙරේදා පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරුවන් අවුරුදු 24, 36, 38, 55 සහ 60 හැවිරිදි වියේ පසුවන ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය සහ කහවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා ෴

***************************************

පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

(27.06.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු වල සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලිම සඳහා හැකි ඉක්මනින් කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ලංකා බැංකු සේවක සංගමය සමඟ ඊයේ(26) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය බැංකු මගින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳ සහ සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බලා කොමිසමක් පත් කර අදාළ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර, රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳව වූ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ ගැටලු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කමිටුවක් හරහා ඉක්මනින් විසඳුම් දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, 2019 වර්ෂයට අදාළ මෙතෙක් ලබා දුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, එම දිරි දීමනා ද ලබාදීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය බැංකුවල ඉහළ කළමනාකාරිත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද මැදිහත්ව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

***************************************

ගංජා ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(27.06.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ගංජා කිලෝ 10 ක් සමඟ අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැටලීම් ඒකකය සඳහන් කළේ තම ඒකකයට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

46 හැවිරිදි අදාළ පොලිස් කොස්තාපල්වරයා ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාජකාරී වේලාව තුළ මෙලෙස ගංජා ප්‍රවාහනය කර ඇති අතර, ඔහු රාජකාරී සඳහා අනුයුක්ත කර ඇත්තේ ද අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළ නිවසේ ප්‍රධාන ගේට්ටුව භාරවයි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා ගමන් කළ යතුරුපැදිය නවතා සිදුකළ පරීක්ෂාවකදී එහි පසුපස අසුනට යාබද බෑගයක් තුළ පාර්සල් 5 ක බහා සගවා තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

තලාව ප්‍රදේශයේ පදිංචි තවත් ගංජා ජාවාරම්කරුවෙකුට ලබාදීම සඳහා මෙම ගංජා පාර්සල් තොගය රැගෙන යමින් තිබූ බවයි සැකකාර කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

ලියුම් බෙදන ගමන් ගංජා බෙදූ තැපැල් සේවකයෙක් අත්අඩංගුවට

(27.06.2020 – 18:54 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලිපි බෙදාහරින්නෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටියදී අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු දිගු කලක් තිස්සේ ලිපි බෙදන අතරතුර ගංජා බෙදා හැරීම ද සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු සතුව තිබී කුඩා ගංජා පැකට් 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් උපාය දූතයෙකු යොදවා අඹගස්වැව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබුණා ෴

***************************************

මාල කොල්ලයට ආ සැකකරු සී.සී.ටි.වී. දර්ශන ඔස්සේ අත්අඩංගුවට

(27.06.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කාත්තාන්කුඩි, ආරයන්පති මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙක් ආරක්‍ෂිත කැමරාවක දර්ශන ඔස්සේ කාත්තාන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.

සැකකරු මාල කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවයි කාත්තාන්කුඩි පොලිසිය පවසන්නේ.

මීට දින කීපයකට ඉහතදී සැකකරු මෙම කාන්තාවගේ මාලය කොල්ල කෑමට උත්සහකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සිදුවීම සිදු වූ ස්ථානයේ අසල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා දත්ත උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

***************************************

පොදු ස්ථානවලදී මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් විමර්ශනයට පොලිසිය සැරසේ

(27.06.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ පැලදීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන පුද්ගලයින්ට අවවාද කර ඔවුන්ගේ තොරතුරු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එලෙස ලබා ගන්නා තොරතුරු පිළිබඳ සංඛ්‍යාත්මක වාර්තාවක් පොලිස් ස්ථාන අනුව කොට්ඨාශ මට්ටමින් සකස් කර ඉදිරි සතියේ සිට සෑම දිනෙකම තමන් වෙත යොමු කිරීමට පියවර ගත යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෑම තැනැත්තෙකු විසින්ම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී මුඛ ආවරණ පැළදිය යුතු බවට වන උපදෙස් කඩ කරමින් බොහෝ තැනැත්තන් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන බවට අනාවරණ වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

***************************************

මාස දෙකකින් (02) සමාජයෙන් ආසාදිතයන් නැහැ – සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් වලංගු බවට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රකාශයක්

(27.06.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකා තුළ සාර්ථකව පාලනය කර තිබුණ ද ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සියළු ජනතාවගේ වගකීමක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොළඹ දී අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ නාවික හමුදාව තුළින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ විදේශගතව මෙරටට පැමිණි ආසාදිතයන් හැරුණු විට මෙරට ජන සමාජය තුළින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 313 ක් බවයි.

මෙරට කොරෝනා ආසාදිතයින් තවදුරටත් 2014 සීමාවේ පවතින අතර, ඉන් 1619 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ආසාදිතයින් 384 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම පමා වන ලකුණු

(27.06.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු 1 වන දා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට සැලසුම් කළ ද එය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (27) පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ විවෘත කරන දිනය අගෝස්තු 15 හෝ ඊටත් පසු විය හැකි බවයි.

මේ අතර, අද (27) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, කොරෝනා මර්දන කටයුතු පිළිබඳව අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවයි ෴

***************************************

ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු වසංගතයක් ?

(27.06.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

වසරේ ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තාවන කාලසීමාව ජූලි සහ අගෝස්තු මාස බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෝසම් වර්ෂාව හේතුවෙන් රට තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

පසුගිය මාස පහ තුළ ඩෙංගු රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර, ඉන් 11,000 ක් වාර්තාවූයේ පසුගිය ජනවාරි මාසයේයි.

වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ, ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තාවනවා.

පසුගිය වර්ෂවලට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *