ජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

(25.06.2020 – presidentsoffice.gov.lk)

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.

පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු කීය.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළේය.

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට පිළිවන. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමකි. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කළහ.

කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව දීම ගැන කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළේය.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අතුරු වාර්තාව පෙබරවාරි 17 වැනි දින ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

[ MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ] (pdf file)

+++++++++++++++++++++

+++++++++++++++++++++

MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුවෙන් විශේෂ ප්‍රකාශයක්

(28.06.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

MCC ගිවිසුම් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක නොවන බැවින් ශ්‍රී ලංකාව MCC ගිවිසුම පිළිබඳව සලකා බැලිමට පෙර එම අත්දැකිම් වලින් ලැබිය හැකි පාඩම් මනාව වටහාගත යුතු බව අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුව සඳහන් කරනවා.

කමිටු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ‍ MCC හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට MCC ආධාර ලද බහුතරයක් රටවලට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

අමෙරිකාව් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමඟ පසුගිය රජය සමයේ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සමාලෝචන වාර්තාවේ සදහන් ඇතැම් කරුණු පිළිබඳව හිරු ප්‍රවාත්ති තුලින් අප ඊයේ දිනයේ (27) කරුණු වාර්තා කලා.

MCC යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් සෝෆා සහ ඇක්සා වැනි ගිවිසුම්වලට ඇතුළත්ව ශ්‍රී ලංකාව අමෙරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඉඩ ඇති බව කමිටුව විශේෂයෙන් සඳහන් කර තිබුණා.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ එවක මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා 2018 වසරේ ඔක්තෝබර් මස 01 දින සිට 05 දින තෙක් අමෙරිකාවේ පැවැති සාකච්ජා සම්මුති රැස්විමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පෙනි සිට ඇති අතර ඒ වන විට ව්‍යාපෘතියේ සියලු තින්දු තීරණ ගෙන අවසන් ව තිබු බවට ඔහු සඳහන් කල බවයි.

එමෙන්ම කමිටු වාර්තාවේ දැක්වෙන්නේ MCC හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට MCC ආධාර ලද බහුතරයක් රටවලට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

MCC ගිවිසුම ඔස්සේ දිළිඳුකම පිටුදැකීම නොව එයින් සිදුවන්නේ අමෙරිකානු සමාගම්වලට දුප්පත් රටවල් කොල්ලකෑමට පාර කැපීමක් බව කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය එමා මවුඩ්ස්ලි කමිටුවට අදහස් දක්වා තිබෙනවා.

කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් මැක්මිචෙල් උපුටා දක්වන කමිටු වාර්තාවේ සඳහන් වන්නේ MCC ගිවිසුම මගින් පළමුව ආණ්ඩුව මඟින් ඉඩම් නීති වෙනස් කරවා ගනිමින් ඉඩම් ඩැහැ ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරගන්නා බවයි.

කැනඩාවේ ක්වීන්ස් සරසවියේ මහාචාර්ය සුසාන් සෝඩර්බර්ග් ට අනුව MCC ගිවිසුම යනු නව පන්නයේ අමෙරිකානු අධිරාජ්‍යවාදයක්.

නේපාලය MCC සංයුක්තයක් අත්සන් කළද එය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීමට නේපාලය මෙතෙක් අසමත් වී ඇත්තේ අමෙරිකාවේ ඉන්දු පැසිෆික් යුද මූල උපාය තුළ ඇතිවිය හැකි භූ දේශපාලනික අවධානමට MCC ක්‍රියාන්විතය දායක වීමට ඇති ඉඩ කඩ පිළිබඳ නේපාල පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළ උද්ගත වී ඇති මතගැටුම් හේතුවෙන්.

පිලිපීන ජනාධිපතිවරයා මෑතකදී කළ ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ 2016දී අත්සන් කර ඇති දෙවැනි MCC ගිවිසුම පිළිබඳ පිලිපීනය තුළ ප්‍රසාදයක් නොමැති බවයි.

මේ කමිටු වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ MCC ගිවිසුම පිළිබඳ මෙතෙක් පවත්නා ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක හෝ සුභදායී නොවන බවයි.

එබැවින් ශ්‍රී ලංකාව විසින් MCC ගිවිසුම සළකා බැලීමට පෙර මෙම අත්දැකීම්වලින් ලැබිය හැකි පාඩම් මනාව උකහාගත යුතු බව වාර්තාවේ සඳහන්.

ප්‍රතිපාදන සහිතව MCC ගිවිසුම ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගනු ලැබුවහොත් එම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්වෙන බැවින් ඒ තුළින් රටතුළ උද්ගත විය හැකි සමාජ, සංස්කෘතික, දේශපාලනමය බලපෑම් සහ නීතිමය ව්‍යාකූලත්වය නොසලකා හැරිය නොහැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

MCC ප්‍රධාන යෝජනාවලිය අත්සන් කළහොත් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ අමෙරිකානු භූ දේශපාලනික සිතියමට නිතැතින්ම ඇතුලත් වන බවත් භූ දේශපාලනික වට පිටාව සහ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ජාත්‍යන්තර බල අරගලයකදී අදාළ තරඟකරුවන්ට වැදගත් වියහැකි බවත් යුද කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම යන කාරණා ශ්‍රී ලංකාව විසින් නොසළකා හැරිය යුතු නොවන බවට වාර්තාවේ දැක්වෙනවා.

මෙම කරුණු එකින් එක වෙන් වෙන්ව සැලකූ විට අවධානමක් නොපෙනුනද මෙම කරුණු සියල්ල එක්ව ගත් කළ ඒවායේ ජාතික ආරක්ෂාවට හා දේශයේ ස්වෛරීත්වයට පවා තර්ජන එල්ල විය හැකි බවයි කමිටුව පෙන්වා දෙන්නේ.

මේ අතර, යෝජිත එම්.සී.සී. ගිවිසුමට අදාළ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී නොමැති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන්ගේ ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ලැබෙන තෙක් ප්‍රදානයන් ලබාදීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

කෙසේ වෙතත්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයක් පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ 2018 වසරේ ජුනි 13 වැනි දින පළ කළ ලිපියක දැක්වෙන්නේ කොළඹ දී එම්.සී.සී. ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4 ක මුදලක් 2017 වසරේ ජුලි මාසයේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

රටට හොරෙන් එම්සීසී ගිවිසුමට අත්සන් කර ඇත්තේ ඇයි?

(29.06.2020 – aruna.lk)

පසුගිය යහපාලන ආණ්ඩුව රටට හොරෙන් සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘති ගිවිසුම හෙවත් එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ ආකාරය සාධක සහිතව දැන් හෙළිදරව් වී තිබේ. එම්.සී.සී. ගිවිසුම සමාලෝචනය සඳහා පත්කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් අතර මේ වනවිට එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත. මෙම කමිටු වාර්තාවෙන් හෙළිදරව්වන බරපතළම කාරණය නම් පසුගිය යහපාලන ආණ්ඩුව රටට නොදන්වා එම්.සී.සී. ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවය. තවදුරටත් යහපාලන ආණ්ඩුව පැවතියේ නම් මේ වනවිට සම්පූර්ණ ගිවිසුමට අත්සන් තබා අවසන් වන්නට ඉඩ තිබිණ.

යහපාලන ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කටයුතු කළේ වංචනික ආකාරයටය. මෙම ව්‍යාපෘතියට අදාළ කාර්යාලයක් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පවතිවන බවට අනාවරණය වූ විට ආණ්ඩුව කීවේ එය අසත්‍යයක් බවය. ගිවිසුම නිසා රටේ ස්වාධිපත්‍ය පවා අභියෝගයට ලක්වන බවට චෝදනා නැගෙනවිට ආණ්ඩුව කියා සිටියේ ඒවා විපක්ෂයේ හිතලු බවය. එසේම මෙම ගිවිසුමට අත්සන් තබා නොමැති බවද යහපාලන ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව රටට කළ මේ වංචාව පමණක් නොව ගිවිසුම නිසා රටට විය හැකි විනාශය ගැන නැගුණු චෝදනාද සත්‍ය බව දැන් තහවුරු වී තිබේ. යම් හෙයකින් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා පනතක් බවට පත්ව තිබුණේ නම් ඊට එරෙහිව කිසිවක් කළ නොහැකි බව ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාව පෙන්වාදී තිබේ. එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමකි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමට පියවර ගත් ආණ්ඩුවක්, මේ ආකාරයට පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක්වන ලෙස කටයුතු කිරීම තේරුම් ගන්නේ කෙසේද? 19 වැනි සංශෝධනයත් හුදෙක් ඔවුන්ගේ බල ව්‍යාපෘතියක් මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනයක් සඳහා ගෙනඑන ලද්දක් නොවන බවට තවත් සාක්ෂි කුමටද?

යහපාලන ආණ්ඩුව ඇත්තටම පාර්ලිමේන්තුව බලාත්මක කිරීමට අවශ්‍ය වූයේනම් කළ යුතුව තිබුණේ එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අනුමැතිය ලබා ගැනීමය. ​මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ බව අප දන්නා නමුත්, කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් වූයේදැයි අප දන්නේ නැත. ඒ බව කිව යුත්තේ යහපාලන කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන්ය. මේ ආකාරයේ රටට තීරණාත්මකව බලපාන ගිවිසුම්වලට රටට හොරෙන් අත්සන් කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවල ලක්ෂණයකි. 1987- ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාව සමග සාම ගිවිසුමකට අත්සන් තැබුවේ කැබිනට් මණ්ඩලයට හෝ නොදන්වාය. ඒ හරහා රටට අත්වූ විනාශය කොතරම්ද? මෙම ගිවිසුම තුළින් බිහිවූ පළාත් සභා අදටත් අපේ දේශපාලනය තුළ පිළිලයකි. 2002 වසරේ එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ කොටි ත්‍රස්තවාදීන් සමග සටන් විරාම ගිවිසුම අත්සන් කළේද මේ ආකාරයටය. මේ ගිවිසුම හරහා කොටි සංවිධානයට දේශසීමා පවා ලකුණු කර දුන් අතර යුද්ධය ජය නොගන්නට අදටත් එය වලංගු ගිවිසුමක් වන්නට ඉඩ තිබුණි.

පසුගිය යහපාලන ආණ්ඩුව රටට හොරෙන් අත්සන් කර ඇති එම්.සී.සී. ගිවිසුමද ඉහත සඳහන් ගිවිසුම්වලට සමානව හෝ ඇතැම් විට ඊටත් වඩා බරපතළ ගිවිසුමකි. යහපාලන ආණ්ඩුව එම ගිවිසුම සම්බන්ධයෙන් රටට කළ වංචාව දැන් හෙළිවී ඇතත්, ගිවිසුම නිසා රටට විය හැකි හානිය තුරන්වී ඇතැයි කිව නොහැක. දැනටමත් ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති තත්ත්වයක් තුළ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් තිබේදැයි අපි නොදනිමු. දෙරටක් අතර අත්සන් තබන ගිවිසුමක් ආණ්ඩුවක් මාරුවූ පමණින් බල රහිත නොවන බැවිනි.

මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ඩොලර් මිලියන 480කි. ඉන් කොටසක් දැනටමත් ලැබී ඇති බව ලලිතසිරි ගුණරුවන් කමිටුව කියතත්, ඇමරිකාව කියන්නේ මුදල් ගනුදෙනුවක් සිදුව නැති බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඉන් පැහැදිලි වන්නේ ගිවිසුම මුදල් ගනුදෙනු සිදුවන තරමට ක්‍රියාත්මක වී තිබූ බවය. මුදල් ගනුදෙනු සිදුව ඇති බවට ගුණරුවන් කමිටුව කියන කාරණය ප්‍රතික්ෂේප කළත්, ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කළ බව ඇතුළු අනෙකුත් කාරණා ඇමරිකාව ප්‍රතික්ෂේප කරන්නේද නැත. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය ලැබෙනතෙක් ඊට අදාළ කටයුතු අත්හිටුවා ඇතැයිද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කොට තිබේ. ඉන් කියැවෙන්නේ ඇමරිකාව තවමත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව සිටින බවය.

මේ සියලු කාරණා, සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ඇටවූ එම්.සී.සී. උගුලක ආණ්ඩුව සිරවී සිටින බවය. කිසිසේත්ම මෙම ගිවිසුම ක්‍රියාත්මක නොකරන බව ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර සහතිකවී තිබේ. එසේ වුවත් ඊට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැදගත් බව අපගේ අදහසය. පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ කෙරෙන සාකච්ඡාවක් තුළින් රටට ඒ ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. රටකට ආධාර කිරීමේදී ඒ රටේ, මානව හිමිකම් වාර්තා, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සොයා බලන ඇමරිකාව රටට හොරෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නට යහපාලන ආණ්ඩුවට ඉඩ දුන්නේ මන්දැයි යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට ජනතාව ඉන් අවකාශයක් ලැබෙනු ඇත. ඉන්පසු අවශ්‍ය නම් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ජනමත විමසීමක් හෝ කළ හැකිය. රටේ බහුතරය මෙම ගිවිසුමට අකමැති වුවහොත් ගිවිසුමෙන් ඒක පාර්ශ්විකව ඉවත්වීමට වුවත් ආණ්ඩුවට ඉඩ ලැබෙනු ඇත. ජනතා පරමාධිපත්‍ය සියල්ලට ඉහළින් සිටින බැවිණි ෴

***************************************

හෝමාගම මුලික රෝහල සාමාන්‍ය රෝගීන්ට විවෘත කරයි

(28.06.2020 – 12:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 රෝගීන්ට වෙන් කර තිබු හෝමාගම මුලික රෝහල අදියර කිහිපයක් යටතේ හෙට (29) සිට සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

***************************************

අද (28) සිට ඇඳිරි නීතිය මුලුමනින්ම ඉවත් කෙරේ

(28.06.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය මුලුමනින්ම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අද (28) සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් මාර්තු 20 වනදා පළමු වරට පනවනු ලැබු ඇඳිරි නීතිය ජුනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට පසුදා අලුයම 04 දක්වා පමණයි ෴

***************************************

බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු දිවයිනට

(28.06.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද (28) දිවයිනට පැමිණියා.

මෙම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද (28) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මින්ස්ක් නුවර සිට පැමිණි එම කණ්ඩායමට අයත් වැඩිදෙනෙකු එරට උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ගොස් සිටි සිසුන් බව සඳහන්.

මොවුන් කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.

මීට පෙරද බෙලරූස් සිට විශේෂ ගුවන් යානයකින් තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එනු ලැබුවා.

***************************************

පාස්කු බෝම්බකරුවන්ට අනුබල දුන් බවට පැවසූ හිජාස්ගේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට බලපෑම්

(28.06.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන් බවට සැකපිට රදවාගෙන ප්‍රශ්න කෙරෙන හිජාස් හිස්බුල්ලා බැලීමට පැමිණි නීතිඥවරුන් දෙදෙනෙකු (2) ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අයුතුසහගත උත්සාහයක් දරා ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා කරනු ලැබූ කරුණු දැක්වීමකට අනුවයි.

සැකකරු බැලීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට අනුව පසුගිය 23 වන දා ඒ සඳහා අවසර ලබාදී තිබුණා. එම අවසරය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් දරා ඇති එම වෑයම විමර්ශන නිලධාරීන් ක්ෂණිකව දැක්වූ විරෝධතාව නිසා වළක්වා ගැනීමට හැකි වී ඇතත්, පැමිණිල්ල වෙනුවෙන් තමන් ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

ඒ අනුව සැකකරු සමඟ අයුතු ලෙස සාකච්ඡා කිරීමට උත්සාහ දැරූ විත්තියේ නීතිඥයින් දෙදෙනාගේ නම් සඳහන් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පියවර ගෙන තිබුණා.

අධිකරණයෙන් ලබා ගත් නොතීසි එකී හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා කැදවා තිබූ සිසුන් වෙත භාරදීමෙන් අනතුරුව එක්තරා කණ්ඩායමක් ඔවුන්ට විශාල වශයෙන් බලපෑම් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

සැකකාර හිජාස් හිස්බුල්ලා සභාපතීත්වය දරණ ‘සේව් ද පර්ල්ස් සොසයිටි’ නැමති සංවිධානය මගින් පුත්තලම අල් සුහාරියා මද්‍රසා පාසලට යොමු කර තිබූ සිසුන්ට ඔහු විසින් ආගමිකයන් කෙරෙහි වෛරීසහගත හැගීම් ඇති වන පරිදි දේශන සහ පුහුණුවීම් දුන් බවට එම සිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් තම සංවිධානය මෙතෙක් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබා දි නොමැති බව ලෝක මුස්ලිම් ලීගය පවසනවා.

නිවේදනයක් නිකුත් කර එහි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඊට අදාලව අවශ්‍ය කෙරෙන දත්ත කිහිපයක් තම සංවිධානය වෙත ලැබි නොතිබීම ඊට හේතුව බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ලෝක මුස්ලිම් ලීගය විසින් පසුගිය වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් ලැබුණු බවත් එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයන් ලැබි නොමැති බවත් පසුගියදා පාස්කු කොමිසමේ අනාවරණය වී තිබුනා.

මේ අතර, අදාළ මුදල් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රදානය කළ බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දක්වා තිබුනු කරුණු වල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබාදී නෑ – ලෝක මුස්ලිම් ලීගය

(28.06.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් තම සංවිධානය මෙතෙක් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබාදී නොමැති බව ලෝක මුස්ලිම් ලීගය පවසනවා.

නිවේදනයක් නිකුත් කරන එහි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ, ඊට අදාළව අවශ්‍ය කෙරෙන දත්ත කිහිපයක් මෙතෙක් තම සංවිධානය වෙත නිල වශයෙන් ලැබී නොතිබීම ඊට හේතුව බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලෝක මුස්ලිම් ලීගය විසින් 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් ලැබුණු බවත්, එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා අනාවරණ වුණා.

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරන ලෝක මුස්ලිම් ලීගය පෙන්වා දෙන්නේ අදාළ මුදල පිරිනැමීම සඳහා අවශ්‍ය කෙරෙන දත්ත පිළිබඳව නිල වාර්තා තම සංවිධානයට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා බලධාරීන් වෙත දන්වා තිබුණද මෙතෙක් ඒවා ලැබී නොමැති බවයි.

ඒ හේතුවෙන් අදාළ මුදල් මේ දක්වා ශ්‍රී ලංකාවට ප්‍රදානය කර නොමැති බවද ලෝක මුස්ලිම් ලීගය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, අදාළ මුදල් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රදානය කළ බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් දක්වා තිබූ කරුණු සත්‍යයෙන් තොර බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

***************************************

ගුවන්තොටුපළ විවෘත කිරීම අගෝස්තු 15 න් පසු – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(28.06.2020 – 10:03 +0530 – sinhala.adaderana.lk)

ගුවන්තොටුපළ අගෝස්තු 15 න් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (27) මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර බංග්ලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට තහවුරු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 2033 ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 773කි.

එහි ප්‍රතිශතය සියයට 38.02 ක් වේ.

සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන අතර එය සියයට 46.58 ක ප්‍රතිශතයකි.

දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස සියයට 15.40 කි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 2033 දෙනා අතරින් 1639 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 79.35 කි.

383 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය සියයට 20.09 කි.

මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් සුවය ලැබූ ගණන 823 කි.

***************************************

බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැනයන සැකකරු – CCTV කැමරා දර්ශන

(27.06.2020 – 22:25 +0530 – sinhala.adaderana.lk)

පොල්ගහවෙළ මහෙස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිළධාරීන් යටතේ සිටි සැකකරුවෙකු ඔවුන්ගෙන් මිදී පළා යන දර්ශන සී.සි.ටී.වී කැමරාවක සටහන් ව තිබුණි.

කෙසේවෙතත් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *