MCC මුදල් ගැන උදය ගම්මන්පිළ හෙළිකරයි

(30.06.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

එම්.සී.සී. ගිවිසුමේ ප්‍රදානයන් ලෙස ශ්‍රී ලංකාවට මුදල් නොලැබුණු බවට අමෙරිකාව සමඟ එක්ව විපක්ෂය නඟන තර්ක නිවැරදි නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න…

(01.07.2020 – 03:24 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

සහශ්‍ර අභියෝගතා සංයුක්ත ගිවිසුම නැතිනම් එම්සීසී ගිවිසුම පිළිබඳ ඇමති මණ්ඩලය පත් කළ සමාලෝචන කමිටුවේ වාර්ථාව දැන් එළි දක්වා තිබෙනවා. ඒ වාර්ථාවට අනුව එම්සීසී සම්බන්ධයෙන් ඩොලර් මිලියන 10 ක් දැනටමත් භාණ්ඩාගාරයට ගෙවන්න ගිවිසුම් ගත වෙලා. නමුත් ඒ මුදල් දුන්නා ද? දුන්නා නම් ඒ මුදල් වලට මොකද වුණේ කියා තොරතුරු සැපයීමට භාණ්ඩාගාරය අසමත් වෙලා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය කියන්නේ ඩොලර් මිලියන 480 ක එම්සීසී ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ලංකාණ්ඩුවට දීලාත් නෑ, ලංකාණ්ඩුව වියදම් කරලාත් නෑ කියා.

ඒක ඇත්තක් නම් ඇමෙරිකාව විසින් සිදුවීම් දෙකක් පැහැදිලි කළ යුතුයි. 2017 ජූලි 27 දින එම්සීසී ආයතනය විසින් එම්සීසී ගිවිසුම සැකසීමට සහ ව්‍යාපෘති හඳුනා ගැනීමට අවශ්‍ය වියදම් ලෙස ඩොලර් මිලියන 7.4ක් ලබා දීම සඳහා ගිවිසුම් ගත වුණා නේද? මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ එම්සීසී ආයතනයේ කලාපීය නියෝජ්‍ය උප සභාපති ෆාතිමා සුමර් සමග භාණ්ඩාගාර ලේක්ම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග ගිවිසුම අත්සන් කළ ආකාරයයි. මී ළඟට 2018 ජූනි 13 දින එම්සීසී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කැරලින් න්ගුයෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සමරතුංග සමග එම්සීසී පෙර සූදානම් කටයුතු සඳහා ඩොලර් මිලියන 2.7ක ප්‍රදානයක් ලබා දීමට තවත් ගිවිසුමක් අත්සන් කරනවා. මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. ඇත්තටම ඒ මුදල දුන්නේ නැද්ද? මේ මුදල් දුන්නේ නැතිනම් ගිවිසුම අත්සන් කලේ බොරුවට ද? දුන්නා නම් මේ ඩොලර් මිලියන 10ට මොකද වුණේ?

එම්සීසී ගිවිසුමට අනුව පරිපාලන සහ අධීක්ෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 32ක් වෙන් කරලා තිබෙනවා. මේ ඩොලර් මිලියන 10 දුන්නේ ඒ ප්‍රතිපාදන වලින් නොවේ නම් ඒවා ලැබුණේ කොහෙන්ද? පළමු ගිවිසුම අනුව මුදල් නොලැබුණේ නම් දෙවන ගිවිසුමක් අත්සන් කරන්නේ නෑනෙ. ඒ් නිසා මුදල් ලැබුණු බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා.

ශක්‍යතා අධ්‍යනයේ දී ලර්න් ඒෂියා සහ වෙරිටේ රිර්සච් වැනි එන්ජිඕ වලටත් හාවඩ් විශ්ව විද්‍යාලයටත් විවිධ වාර්ථා සකසන්න භාර දී තිබෙනවා. මේ මුදල් වැය කලේ ඒවාටද? භාණ්ඩාගාරය නම් මේ මුදල් වැය කලේ මෙම ආයතන තෝරා ගත් පදනමක් තිබිය යුතුයි. මුදල් වැය කළ ආකාරය පිළිබඳ ගිණුම් තිබිය යුතුයි.

ඇමති මණ්ඩලය විසින් පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුව විසින් එම්සීසී ව්‍යාපෘතිය පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යනයනක් කර තිබෙනවා. ඒ අනුව එම්සීසී ගිවිසුමත් එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පිහිටුවන සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියත් රටේ නීතියට පටහැනි බව පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් මතු වන සමාජ, ආර්ථික සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙම වාර්ථාවේ අඩංගු වෙනවා. අවසාන වශයෙන් ඇමති මණ්ඩලයට මෙම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ මෙම ගිවිසුම අත්සන් නොකිරීමටයි. එසේ නම් දැන් එම්සීසී ගිවිසුම ඡන්දයෙන් පස්සේ අත්සන් කරන බවට විපක්ෂය ගෙන යන බොරු ප්‍රචාරයට කිසිම පදනමක් නෑ. ඡන්දයට තව මාසයක්ම තිබෙන නිසා දැන් විපක්ෂයට අළුත් බොරුවක් සොයා ගන්න වේවි.

එම්සීසී ගිවිසුම පිළිබඳ මුලින්ම සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමගයි කියා ඇමෙරිකාව කියනවා. ඒක පට්ටපල් බොරුවක්. ලංකාව එම්සීසී ප්‍රදානයකට සුදුසුකම් ලබා ඇති බැවින් ඊට අයැදුම් කරන මෙන් ඇමෙරිකාව දැනුම් දෙන්නේ 2004 පෙබරවාරි 11 දින චන්ද්‍රිකා ආණ්ඩුවටයි. 2005 දෙසැම්බර් 8 සහ 2006 දෙසැම්බර් 7 දින එම්සීසී ආයතන විසින් එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙවරක්ම දැනුම් දුන්නත් 2015 ඇමරිකාණු රූකඩ ආණ්ඩුව බලයට එනතුරුම මහින්ද රාජපක්ෂ ලංකාණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=xRr-xStCw38

***************************************

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ

(30.06.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට අදාල යෝජනා, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුව විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අදාල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

රාජ්‍ය අංශයේ රාජකාරි වේලාව පෙරවරු 09:00 ට ආරම්භ වී පස්වරු 04:45 ට අවසන් කරන ලෙසයි අදාල යෝජනාවල දැක්වෙන්නේ.

එසේම පෞද්ගලික අංශයේ රාජකාරි වේලාව පෙරවරු 09:45 සිට පස්වරු 06:45 දක්වා ක්‍රියාත්මක කරන ලෙසට ද අදාල කමිටුව යෝජනා කර තිබෙනවා ෴

***************************************

කෝටි 225 හෙරොයින් ජාවාරමට, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරීන්, සම්බන්ධ බවට තොරතුරු

(30.06.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

වැලිසර – නුගේවත්ත ප්‍රදේශයේදී සහල් මළු තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පැවසූ රුපියල් කෝටි 225 ක් වටිනා මත්කුඩු, ජාවාරම්කරුවන්ගේ සහයෙන් අදාළ සහල් මළු තුළ සඟවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බවට අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා එම කාර්යාංශය භාර උසස් නිළධාරීන්ගේ සහය ද ලැබී ඇති බවට සැක මතුව ඇති බවයි සිද්ධිය පිළිබඳව විමර්ශණ සිදු කරන රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් විශාල ප්‍රමාණයක් නැවත ජාවාරම්කරුවන් වෙත විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් 04 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුගිය මැයි මස 14 වනදා කළ වැටලීමකදි සහල් මළු තුළ සඟවා තිබූ කෝටි 225 ක වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කළේ ඊට පසුදින කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙය වීමෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙම මත්කුඩු රැගෙනවිත් සහල් මළු තුළ සඟවා ඇදිරි නීති කාල සීමාවේ මේවා බෙදා හැරීමට සැලසුම් කර තිබූ බව එහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියා.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී හෙලි නොවූ කරුණු රැසක් රහස් පොලිසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ මාධ්‍ය හමුවට පෙර අදාළ මත්කුඩු තොගය සැකකරුවන් විසින් ගාල්ල – බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඔවුන් විසින්ම අසුරා ඇති බවට තොරතුරු හෙලි වීමත් සමඟයි.

මෙම මත්කුඩු දින 20 ක පමණ කාලයක් අදාළ හෝටලය තුළ තිබී ඇති අතර දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒවා නිරීක්ෂණය කර ඇති බවද හෙලි වී තිබෙනවා.

ඒ, හෝටලයේ හිමිකරුගෙන් රහස් පොලිසිය ඊයේ (29) කළ ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රශ්ණ කිරීම්වලදීයි.

මෙම මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒම සඳහා ට්‍රෝලර් යාත්‍රාවක් කුලියට ගෙන ඇත්තේත් ඒවා සහල් මළු තුළ අසුරා වැලිසර ප්‍රදේශයට ප්‍රවාහන කර ඇත්තේත් මෙම සැකකරුවන් බවට හෙලිවී තිබෙනවා.

ඒ සඳහා බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුගෙන් මොවුන්ට රුපියල් කෝටි 4 ක ආසන්න මුදලක් ලැබී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කරන රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම තවත් මත්කුඩු තොගයක් බේරුවල සහ පාර්ලිමේන්තුව අසල ප්‍රදේශයේදී සැකකරුවන් විසින් පිරිසකට ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකාර පොලිස් නිළධාරීන් හෙරොයින් විකුණා ලබාගන්නා ලද 11,45,000 ක මුදලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයාගනු ලැබුවේ අත්අඩංගුවේ සිටින පොලිස් සැරයන්වරයෙකුගේ මහව – දළදා ගම ප්‍රදේශයේ වත්තක සඟවා තිබියදීයි.

ඔහු ඇතුළු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ අතර මෙම ජාවාරම අනාවරණය වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පොලිස් සුභ සාධන කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගත්තා.

එහි නව ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සුයි ෴

+++++++++++++++++++++++++++++++++++

ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අයි.පී. කෙනෙකු ගැනත් විමර්ශන

(30.06.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් නැවත ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්කම් උපයා ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ දේපළ, බැංකු ගිණුම් මෙන්ම ස්වර්ණාභරණ මිලදී ගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු, කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට අතුරුදන්ව ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තාවන්නේ.

දැනට අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමටද වැඩබලන පොලිස්පතිවරයා පියවර ගත් අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පොලිස් සුභ සාධන කොට්ඨාශය වෙත මාරු කර යැවුණා.

එහි නව ප්‍රධානියා ලෙස පත් කෙරුණේ නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සුයි.

වැලිසර – නුගේවත්ත ප්‍රදේශයේදී සහල් මළු තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව පැවසූ රුපියල් කෝටි 225 ක් වටිනා මත්කුඩු තොගයද ජාවාරම්කරුවන්ගේ සහයෙන් අදාළ සහල් මළු තුළ සඟවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බවට අනාවරණ වුණා.

***************************************

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

(30.06.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය වෙත අද (30) කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය වෙත අරවින්ද ද සිල්වා පස්වරු 2 ට පෙනී සිටිමට නියමිතයි.

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සැක කල හැකි තොරතුරු කිහිපයක් ලිඛිතව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සදහන් කර තිබුනා.

එමෙන්ම, ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් එකකය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දගෙන් මීට පෙර ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, අද (30) දිනයේ අරවින්ද ද සිල්වාගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම සම්බන්ධයෙන් වු ඉදිරි විමර්ශණ සිදුකරන බවද විශේෂ පොලිස් එකකය වැඩිදුරටත් සදහන් කර සිටියා.

(30.06.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු රාත්‍රී 08 ට ඉන් පිටව ගොස් තිබෙනවා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි ඔහු එහි පැමිණියේ ෴

***************************************

මෛත්‍රීගේ ආරක්ෂක රැස්වීමේදී හෙළිවූ IS දෙදෙනා

(30.06.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙරට තුළ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස් මතවාදි ක්‍රියාකාරකම් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර තිබුණද, කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (29) අනාවරණය වුණා.

ඒ, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට ජනාධිපතිවරයාට පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (29) සවස සාක්ෂි ලබාදුන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී එස්.ජී. සතරසිංහ මහතායි.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වු ආකාරය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු එහිදී සදහන් කළේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාසික සමාලෝචනයක් පැවති අතර ජනතාව සහභාගි වන විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා සහභාගි වන්නේ නම් මාසික රැස්වීමට අමතරව විශේෂ රැස්වීම්ද පැවැත්වුණු බවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීම සම්බන්ධයෙන් 2019 පෙබරවාරි මස රැස්වීමක් පැවතියේද යන්නයි.

එම වසරේ නිදහස් උත්සවයට ප්‍රථම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාගත් අතර එහිදි රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගීව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර, ඉරානය සහ ඉරාකයේ අයි.එස්.අයි.එස් සංවිධානය පසුබෑමකට ලක්වි ඇති හෙයින් අයි.එස්. සාමාජිකයන් මව් රටවලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් ඇතැයි ඔහු හෙළිකළ බව සාක්ෂිකරු පැවසුවා.

රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ පිටත් කර හැරි දෙදෙනෙකු මෙරට වැල්ලම්පිටියේ සහ දෙහිවල ප්‍රදේශවල සිටින බවයි.

එසේම පසුගිය වසරේ පෙබරවාරි 15 වන දින තවත් රැස්වීමක් පැවති අතර එයට රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගි වු පොලිස් අධීකාරී ජනක සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාව තුළ සිටි අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට පිටව ගොස් ඇති බවත් ඉන් 03 දෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයි සාක්ෂිකරු පැවසුවා.

මෙරට තුළ අයි.එස්.අයි.එස්. මතවාදව දරන්නන් 100 වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹ, මහනුවර සහ මඩකලපුව යන ප්‍රදේශ වල රැඳී සිටින බවත් රාජ්‍ය බුද්ධි නිලධාරියා තමන්ව වැඩිදුරටත් දැනුවත් කළ බව සාක්ෂිකරු කියා සිටියා.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 12 වෙනි දින මඩකලපුවේ වෙබර් ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයකට සහභාගීවීමට නියමිත වු බැවින් රාජ්‍ය බුද්ධි සේවයෙන් රහස්‍ය තොරතුරු වාර්තාවක් කැඳවු බවයි.

හිටපු ජනාධිපතිවරයාට අන්තවාදී හෝ ත්‍රස්වාදී කණ්ඩායමක තර්ජනයක් නොමැති බව එහි සඳහන් වුවද අයි.එස්.අයි.එස් මතවාදය දරන්නගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස එහි සටහන් වු බව සාක්ෂිකරු කියා සිටියා.

එසේම කාත්තන්කුඩියේ ක්‍රියාත්මක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් මෙරට නීති පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අන්‍යාගමිකයන් විවේචනය කිරීමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර ඇති අතර ඔහුට අනුගාමිකයන් විශාල පිරිසක් නැඹුරු වී ඇති බව එහි සඳහන් වු බවද සාක්ෂිකරු සඳහන් කළා.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් 18 වනදා පැවති ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීමේ රැස්වීමේදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබි තිබු බව රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපති ආරක්ෂයක අංශය දැනුවත් කළේද යන්නයි.

සාක්ෂිකරු එහිදී සදහන් කළේ එම රැස්වීමටද රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජනය කරමින් පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා සහභාගි වු අතර ඔහු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වු තොරතුරක් පිළිබද දැනුවත් නොකළ බවයි.

කෙසේ වෙතත් එම රැස්වීමෙදි කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් නැමැති පුද්ගලයෙකු අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට අනුගාමිකයන් දැනුවත් කරමින් සිටින බවට තොරතුරක් පොලිස් අධිකාරිවරයා විසින් දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

මෙහිදි අතිරේක සොලිසිටි ජනරාල්වරිය යළි විමසා සිටියේ 2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ 2019 වසරේ ජනවාරි 16 වැනි දින වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිදුවීම අතර සම්බන්ධයක් ඇති බවක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා මෙම රැස්වීමේදි අනාවරණය කළේද යන්නයි.

එයට පිළිතුරු දුන් සාක්ෂිකරු සදහන් කළේ එවැනි කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා අප්‍රේල් 18 රැස්වීමේදි අනාවරණය නොකළ බවයි.

හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ලේකම්වරයෙක් වූ තස්ලිම් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරීමක් හෝ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරායාමක් පිළිබඳව කරුණු වාර්තා කළේද යන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසූ අතර සාක්ෂිකරු නැත ලෙස පිළිතුරු ලබාදුන්නා.

+++++++++++++++++++++

***************************************

විනීතගම ජනතාව පීඩා විඳීන ජල ගැටලුව

(30.06.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

නිල්ල ගැහුණු විනීතගම, නමුණුකුල පාමුල පිහිටි බදුල්ල දිස්ත්‍රික් සීමාවට අයත් වන කුඩා ගම්මානයක්.

බැලූ බැල්මට සුන්දරත්වයෙන් අනූන වුවත් 300 ක් පමණ වන එහි වෙසෙන පවුල් උග්‍ර ජල අර්බුදයකින් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි.

ජල බිඳක් වෙනුවෙන් අසල්වාසියා සමග අඩදබරයේ පැටලෙන්ටද අද වන විට ඔවුන් පැකිලෙන්නේ නැහැ.

මේ ටැංකිය පිරෙන්නේ නමුණුකුල මුදුනේ සිට එලන ලද බටයකින් එකතු වන ජලයෙන්.

නමුත් ඒ තුලින් එන්නේ ජලය පමණක් නොවේ.

පිරිසිදු ජල බිඳක් වෙනුවෙන් තිස් වසරක පමණ කාලයක් මුලුල්ලේ විනීතගම වැසියන් නගන හඬ වගකිව යුතු බලධාරීන්ටත් ඡන්දය ඉල්ලා පැමිණෙන දේශපාලකයන්ටත් නෑසුණේ ඇයිද යන්න විමතියට කරුණක්.

ජලය වෙනුවෙන් අනවරත අරගලයක නිරත මේ ජනතාව අවිනීත වීම වලක්වා ගත හැකි රේඛීය අමාත්‍යංශයට මෙන්ම පළාත් සභාවට අයත් වන රාජ්‍ය ආයතන බොහෝය.

***************************************

ඊ.ටී.අයි. පෙත්සම සළකා බැලීම කල් යයි

(30.06.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද (30) සලකා බැලුවා.

මේ අතර ඊ.ටී.අයි. සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අදත් (30) සාක්ෂි විමසීම සිදු කළා.

කොමිසම හමුවේ අද පෙනී සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂ ඩබ්ලිව් රණවීර යි.

සාක්ෂි ලබා දීමේදී ඔහු කොමිසම හමුවේ කියා සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ අයථා මුදල් තැන්පත් භාර ගැනීමට එරෙහිව ඔහු අධ්‍යක්ෂ ධුරය දැරූ වසර 3 ක පමණ කාලය තුළ ඊ.ටී.අයි.ආයතනයට විරුද්ධව කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

මේ අතර ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද (30) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊ.ටී.අයි. සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ එම ඉල්ලීමට විරෝධය පළ කළා.

ඔහු පැවසුවේ ඊ.ටී.අයි. සමාගමේ කටයුතු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන් කිරීම සඳහා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මෙම මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් සිදුකළේ නැහැ.

පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 25 වනදා තෙක් කල් තැබුණා ෴

***************************************

රටම කම්පා කරවූ ලග්ගල සේර ඇල්ලට වැටුණු පෙම්යුවල බේරන්න මුලින්ම වතුරට පැන්න අම්මා කියන සංවේදී කතාව

(30.06.2020 – 15:23 +0530 – hirunews.lk/sinhala)

විවාහ උත්සවයේ පෙරහුරු ඡායාරූප ගත කිරීමක් සඳහා ලග්ගල – ඉලුක්කුඹුර ප්‍රදේශයේ පිහිටි සේරඇල්ලට ගොස් ඉන් ඇද වැටී මියගිය තරුණයා සම්බන්ධ පුවත පිළිබඳව ඊයේ (29) දිනයේ මුළු රටේම අවධානය යොමුවූවා.

කෙසේ වෙතත් එම අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි පෙම්වතියගේ මවද මොවුන් දෙදෙනා බේරාගැනීමට ජලයට පැන ඇති බවයි වාර්තාවන්නේ.

ඇය එම සංවේදී කතාව විස්තර කරමින් පැවසුවේ සිය දියණියගේ හැට්ටයෙන් අල්ලාගැනීමට සමත්වුවද ඒ වනවිටත් තරුණයා දියේ ගිලී ගිය බවයි.

වයස අවුරුදු 27 ක් වූ ඔහු සිය 20 හැවිරිදි පෙම්වතිය සහ මව්පියන් සමඟ කුරුණෑගල සිට ලග්ගල – සේරඇල්ල වෙත පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුර සිදුවූයේ.

කෙසේ වෙතත්, ඡායාරූප ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම පය ලිස්සා සේර ඇල්ලට ඇද වැටීමෙන් තරුණයා ජීවිතක්ෂයට පත්වූවා.

මේ අතර ඔවුන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජලයට ඇදවැටීමට පෙර ලබාගත් ඡායාරූපයද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

+++++++++++++++++++++

***************************************

අරන්තලාව භික්ෂු ඝාතනයට සම්බන්ධ ජීවත්ව සිටින සියලු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

(30.06.2020 – 17:24 +0530 – hirunews.lk/sinhala)

අරන්තලාව භික්ෂු ඝාතනයට සම්බන්ධ, මේ වනවිට ජීවත්ව සිටින සියලු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

සිද්ධියේදී බරපතල තුවාල ලැබූ පූජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් ගොනුකළ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්‍ෂවරයායි.

උන්වහන්සේ පෙත්සමෙන් රුපියල් මිලියන 20 ක වන්දියක් ද ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

***************************************

දිවාසුරැකුම් මධ්‍යස්ථාන ගැන සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය

(30.06.2020 – 17:51 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 02 සිට විවෘත කිරිමට අවසර ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලසීමාවේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවූයේ නෑ.

කෙසේ වෙතත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවය සළකා බලමින් සහ මාස දෙකක් වැනි කාලයක් තුල සමාජය තුලින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

***************************************

වෛද්‍ය සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා

(30.06.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානම තේරුම් ගනිමින් සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශණ ඇතුලත් ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් නොවීම සම්බන්ධයෙන් ගැටලුකාරිත්වයක් පවතින බවයි.

මේ අතර කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් 33 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඉන් 9 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූවන්.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1711 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 836 ක්.

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2,047 දක්වා ඉහළ ගියා.

එම ආසාදිතයන් ඕමානයේ සිට දිවයිනට පැමිණි පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම දෝහා කටාර් හි රැඳී සිටි 168 දෙනෙකු සහ මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

මේ අතර, ජාතික කෞතුකාගාරය ඇතුළු වසා දැමුණු කෞතුකාගාර සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව හෙට සිට දිනපතා පෙරවරු 09 සිට පස්වරු 04:30 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, උසස් පෙළ විභාගය පවත්වන දිනය සම්බන්ධව සිසුන්ගේ අදහස් විමසීමකින් පසුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (29) හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

මේ අතර, යලි කොරෝනා අසාදිතයින් ඉහලයාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට අයත් ප්‍රදේශ 36 ක් දැඩි සෞඛ්‍ය නිතී රිති යටතේ පාලනය කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිලිපැදීමට කටයුතු කරන ලෙස බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් නිවසින් බැහැර වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 10,436,954 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 508,876 ක් ෴

***************************************

හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන 5 ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(30.06.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජුලි 13 වනදා වෙන් කර තිබෙනවා.

මීට පෙර නම් කළ දින 6 ට එය ඇතුළත්ව තිබුණේ නැහැ.

අනෙකුත් රජයේ නිලධාරීන් සඳහා ජූලි 14 සිට 17 දක්වා තැපැල් ඡුන්දය සඳහා දින වෙන් කර ඇති අතර, එම දිනවල ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව නොලැබෙන තැපැල් ඡන්ද දායකයන්ට ජුලි මස 20 සහ 21 යන දිනවලදී සිය ඡන්දය භාවිත කළ හැකියි.

මැතිවරණයේ ඡන්දය පවත්වන කාලසීමාව දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ තීරණය කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

එසේම මෙතෙක් රථවාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන 5 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා කරුණා අම්මාන්ට ඉදිරිපත්වීමට ඉඩ ලබානොදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා අද (30) මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිදු අයෙකුට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුර මහමැතිවරණයේ අපේක්ෂකයන්ගේ දැන්වීම් එම ශාලාවල ප්‍රදර්ශනය නොකරන ලෙසට පොලිසිය සිනමා ශාලා හිමිකරුවන් වෙත දැනුම් දී තිබෙනවා ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *